නිවස විචාර බොලිවුඩි ආධිපත්‍යයට අභියෝග කරන දකුණු ඉන්දියානු සිනමාවේ අනාගතය කොයිබටද?

බොලිවුඩි ආධිපත්‍යයට අභියෝග කරන දකුණු ඉන්දියානු සිනමාවේ අනාගතය කොයිබටද?

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

ඉන්දියානු සිනමාව යනු ලෝකයේ අන් රටවල පිහිටි සිනමාවන්ගෙන් බොහෝ සෙයින් වෙනස්වන්නා වූ සංකීර්ණ ස්වරූපයකින් සමන්විත සිනමා කලාපයකි. මන්ද එක් රාජ්‍යයක් තුළ සිනමා සංස්කෘතීන් සහ ශානර බොහෝමයක් පවතින බැවිනි. බහු සංස්කෘතික ප්‍රවාහයන්ගෙන් සමන්විත වීම නිසා ම ඉන්දියානු සිනමාව තුළ ප්‍රධාන වශයෙන් හින්දි, තෙළිඟු, දමිළ, මලයාලම්, කන්නඩ, ඇසැමි, බෙංගාල යන ඉන්දියානු භාෂාවන්ගෙන් කේන්ද්‍ර වූ අනන්‍යතාවක් පෙරදැරිකරගත් සිනමා ප්‍රභේද රාශියකින් සමන්විත වේ. කාලාන්තරයක් තිස්සේ ඉන්දියානු සිනමාව තුළ වෙළාගෙන තිබු හින්දි සිනමාව හෙවත් බොලිවුඩ් වාණිජ සිනමා ධාරාව දැවැන්ත කඩාවැටීමක් ලක්වීම මෑතභාගය තුළ දක්නට ලැබුණ ප්‍රධානතම නිරීක්ෂණයක් විය. මෙතෙක් ඉන්දියානු සිනමා තුළ සිනමා අධිරාජ්‍යයක් ගොඩනඟමින් සිටි බොලිවුඩ් සිනමා ආධිපත්‍යය බිඳ වැටෙන්නට පටන් ගන්නේ කෝවිඩි වසංගතයටත් පෙර සිටය. සමකාලීන බොලිවුඩ් සිනමා කර්මාන්තයේ අසාර්ථකත්වය හේතුව ලෙස විචාරකයන් පවසන්නේ වර්තමානයේ වාණිජ ධාරාව තුළ ගුණාත්මක අන්තර්ගතයක් සහිත චිත්‍රපට නිෂ්පාදනය නොවීමත්, වර්තමාන නවක තරු කෙරෙහි ආකර්ෂණය නොමැති වීම නිසා බොහෝ චිත්‍රපට ආදායමි අතින් අසාර්ථක වන බවයි. එමෙන්ම වත්මන් බොලිවුඩ් චිත්‍රපටවලට ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් බහුතරයකගේ කැමැත්ත පවතින්නේ ක්‍රියාදාම (Action) ශානරය වෙතටයි. උතුරු ඉන්දියාව ප්‍රමුඛ කරගත් බොලිවුඩ් සිනමාවට වර්තමානයේ දැවැන්ත අභියෝගයක් එල්ල කරන්නට දකුණු ඉන්දියානු සිනමාව සමත්ව තිබේ.

සිනමා ආදායම් වාර්තාවල දැක්වෙන පරිදි දකුණු ඉන්දීය චිත්‍රපට විසින් 2021 වසරේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 2400ක් ඉපැයූ අතර බොලිවුඩ් චිත්‍රපටවලින් ඉන්දියානු රුපියල් කෝටි 800ක ආදායමක් උපයා ඇත. 2020 වසරේ ජනවාරි සහ 2022 අප්‍රේල් අතර ඉන්දියානු රුපියල් කෝටි 9,759ක සමුච්චිත දළ බොක්ස් ඔෆිස් මුළු ආදායමි එකතුවෙන් සියයට 57.3ක් දකුණු ඉන්දියානු චිත්‍රපට දායකත්වය සැපයීය. මෙම කාලසීමාව තුළ හොඳම ආදායම් ලැබූ චිත්‍රපට දහයෙන් හතක්ම දකුණු ඉන්දියානු සිනමාවෙන් බිහි වූ ඒවා විය. KGF: දෙවන චිත්‍රපටය’, ‘RRR’, ‘පොනියන් සෙල්වන් පළමු චිත්‍රපටය’, ‘වික්‍රමි’ සහ ‘කන්ටාරා’ යන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කළ දකුණු ඉන්දිය චිත්‍රපට අතර වේ.

තවදුරටත් මල් ගස් වටේ ඇවිදිමින් ප්‍රේම කරන, අයිස් කඳු මත ප්‍රේම ජවනිකා සහිත ප්‍රේම කතා නරඹන්නට ප්‍රේක්ෂකයන් රුචිකත්වයක් දක්වන්නේ නැත. නිදර්ශනයක් ලෙස මෙතෙක් බොලිවුඩයේ සදාතනික ප්‍රේමවන්තයාගේ චරිතය නිරූපණය කළ ෂාරුක් ඛාන්ගේ ගිය වසරේ තිරගත වූ ‘පතාන්’ සහ ‘ජවාන්’ චිත්‍රපට ද්විත්වය කෝටි 1000 දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් පසු කර ගියේ ක්‍රියාදාම ශානරයේ චිත්‍රපට වූ නිසා ය. සුපිරි නළු රන්බීර් කපුර් රඟපෑ ‘ඇනිමල්’ ක්‍රියාදාම චිත්‍රපටය කෝටි 500 ඉක්මවා ගියේ ක්‍රියාදාම ශානරයේ චිත්‍රපටයක් වූ නිසාය. එමෙන්ම හොලිවුඩ් අධිපතිවාදී සිනමා ධාරාවේ සෙවණැල්ල වත්මන් ඉන්දියානු සිනමාවට වැටී තිබෙි. වත්මන් පරමිපරාවේ බොලිවුඩ් ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය වන්නේ ඉහළ ක්‍රියාදාම රසාස්වාදය ලබා දෙන හොලිවුඩ් පන්නයේ ආකෘතියට සැකසු ක්‍රියාදාම චිත්‍රපට ය. මීට කදිම නිදර්ශන කීපයක් වෙයි. සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කළ ‘⁣War’, ‘Pathaan’ වැනි හින්දි චිත්‍රපට හොලිවුඩ් අනුකාරක ලක්ෂණ සහිතව නිර්මාණය කළ චිත්‍රපට වෙයි.

අනෙක් අතට ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ චිත්‍රපට ද යන්න දමිළ සිනමාව සහ තෙළිඟු සිනමාව ඉක්මනින් වටහාගත්තේය. බොලිවුඩ් නමැති සිනමා අධිරාජ්‍යයේ පවුරු දෙදරා යන්නේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ 2021 වසරේ තිරගත කරන ලද ‘බාහුබලී’ දමිළ චිත්‍රපටය සහ 2018 වසරේ තිරගත කරන ලද කන්නඩ චිත්‍රපටයක් වූ ‘ම්ට්ජ්’ චිත්‍රපට ද්විත්වය නිසාවෙනි. වාණිජ සිනමාව තුළ මේ චිත්‍රපට ද්විත්වය විසින් සමකාලීන බොලිවුඩ් සිනමා කර්මාන්තය පමණක් නොව මුළු ඉන්දියානු වාණිජ සිනමාව තුළ හැරවුමි ලක්ෂ්‍යයක් බවට පත් වෙමින් දැඩි බලපෑමක්ක් සිදු කළේය. දකුණු ඉන්දියානු සිනමාව ඉන්දියානු සිනමාව තුළ තරඟකාරීබවක් සහිත කලාපයක් බවට පත්ව ඇත්තේ දමිළ, තෙළිඟු, කන්නඩ යන වාණිජ සිනමා කර්මාන්ත අතර වේ.

මෑත වසරවල දකුණු ඉන්දීය සිනමාවේ වඩාත් කැපී පෙනෙන ප්‍රවණතාවක් වන්නේ අන්තර්ගතය මත පදනම් වූ චිත්‍රපට නිෂ්පාදනය සඳහා දක්වන උනන්දුවයි. චිත්‍රපට නිෂ්පාදකයින් සාම්ප්‍රදායික කතා සහ ඒකාකෘති අදහස්වලට අභියෝග කරමින් කතන්දර නිර්මාණය කිරීමත්, තේමාත්මක පොහොසත්කම කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරයි. අර්ථවත් ආඛ්‍යානවලට ප්‍රමුඛත්වය දෙමින් විචාරක පැසසුම් සහ වාණිජමය සාර්ථකත්වයක් ලබා ගත් “අරුවි” (දමිළ), “මහන්ති” (තෙළිඟු), “කුම්බලංගි නයිට්ස්” (මලයාලම්) සහ “උලිදවරු කන්දන්තේ” (කන්නඩ) වැනි චිත්‍රපටවල මෙම වෙනස පැහැදිලි වේ.

දකුණු ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයින් ස්ත්‍රී පුරුෂ සමජභාවය, ලිංගිකත්වය, කුලය සහ ආගමට අදාළ තේමා ගවේෂණය කරමින් සහ එම සාධක හරහා මුල් බැසගත් අගතීන් සහ ඒකාකෘති අදහස්වලට අභියෝග කරමින් සියුම් හා සංවේදී වූ චිත්‍රපට නිර්මාණය කිරීම ප්‍රවණාවක් බවට පත්ව ඇත. ‘වික්‍රම් වේදා’ (දමිළ), “සුපර් ඩිලක්ස්”(දමිළ), “ට්‍රාන්ස්” (මලයාලම්), “ද ⁣ග්‍රේට් ඉන්ඩියන් කිචන්” (මලයාලම්), “කර්නන්” (දෙමළ) වැනි චිත්‍රපට සමාජ සාධාරණත්වය පිළිබඳ සංවාද කරන නූතන දකුණු ඉන්දියානු සිනමාවෙන් බිහි වූ ප්‍රබල ගණයේ චිත්‍රපට අතර වෙයි.

තාක්‍ෂණයේ දියුණුව දකුණු ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනයේ විප්ලවීය වෙනසක් ඇති කර ඇති අතර අති නවීන දෘශ්‍ය ප්‍රයෝගවල සිට විශ්මයජනක සිනමාකරණය දක්වා දකුණු ඉන්දියානු චිත්‍රපටවල ගුණාත්මකබවින් පොහොසත් වී ඇත. නිදර්ශනයක් ලෙස ‘වික්‍රමි’, ‘2.0’ දමිළ චිත්‍රපට ද්විත්වය,’KGF කන්නඩ චිත්‍රපටය සහ ‘සලාර්’ සහ ‘බාහුබලී’ තෙළිඟු චිත්‍රපට ද්විත්වය සඳහා අධි තාක්ෂණය භාවිතා කර නිර්මාණය කළ ආදායමි වාර්තා බිඳ හෙළු වාණිජ චිත්‍රපට වෙයි. මෙයින් නිරික්ෂණය වන්නේ දකුණු ඉන්දියානු සිනමා කලාපය තුළ ඇති ප්‍රමිතිගත වාණිජ චිත්‍රපට නිර්මාණය කිරීමෙහිලා ඇති සුවිශේෂි බවයි. ගෝලීය වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපට සඳහා ‘නෙටිෆ්ලික්ස්’, ‘ඇමසොන්’ වැනි අන්තර්ජාල ප්‍රවාහ සේවාවන් සමඟ ද ජාලගත වී ඇත.

බොලිවුඩ් සිනමාව තුළ ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, රිතික් රෝෂන් වැනි දැවැන්ත සිනමා තරුවලින් පසුව බොලිවුඩ් සිනමාව සඳහා නවක තරුවලින් බොලිවුඩ් සිනමාවේ සාර්ථක පදනමක් ඇති කිරීමට අපොහොසත් වී ඇත. විශේෂයෙන් වරුන් ධවාන්, ටයිගර් ෂෙරෝෆ්, සිද්ධාර්ථ මල්හෝත්‍රා වැනි සුපිරි තරු විසින් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන පන්නයේ බිලොක්බස්ටර් තරු නොවෙති. චිත්‍රපට සාපේක්ෂව තලපති විජේ, කමල් හසන්, ධනුෂ්, සූර්යයා, අල්ලු අර්ජුන්, විජය සේදුපති වැනි දැවැන්ත තරු බලයක් සහිත නළුවන් දකුණු ඉන්දියානු සිනමාවේ පැවැත්ම වසරින් වසර තහවුරු කරගෙන ඇත. දමිළ සිනමාව තුළ නවමු තේමාවන් සහිත ක්‍රියාදාම චිත්‍රපට නිර්මාණය කරන්නට ශක්‍යතාවයක් ඇති ‘ලෝකේෂ් කනගරාජ්’ විසින් හොලිවුඩ් සුප්‍රකට අධ්‍යක්ෂවරයෙක් වන ‘ක්වීන්ටින් ටැරැන්ටිනෝගේ’ ශෛලියේ ක්‍රියාදාම චිත්‍රපට නිර්මාණය කිරීම කැපී පෙනෙන නිරික්ෂණ වේ. කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කළ ‘කයිති’, ‘වික්‍රමි’ සහ ‘ලියෝ’ චිත්‍රපට ත්‍රිත්වය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අලුත් කළ චිත්‍රපට වෙයි.

එමෙන්ම තෙළිඟු සහ කන්නඩ ක්‍රියාදාම චිත්‍රපට නිර්මාණය කරන ප්‍රශාන්ත් නීල් විසින් අධ්‍යක්ෂණය කළ ‘ම්ට්ජ්’ සහ ‘සලාර්’ චිත්‍රපට ද්විත්වය ⁣දකුනු ඉන්දියානු මසාලා පන්නයේ ක්‍රියාදාම චිත්‍රපට හැඩය සහමුලින්ම වෙනස් කරමින් බටහිර චිත්‍රපට ශෛලියක් අන්තර්ගත කළේය. මෙි සාධක නිසාම දකුණු ඉන්දියානු සිනමාව වටා නොසිතූ පරිදි ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු තබාගෙන ඇත. දකුණු ඉන්දීය සිනමාව තුළ සිනමාත්මක ලෙස යාවත්කාලීන වන තාක්ෂණික දියුණුවත් සහ ගෝලීය සිනමාව තුළ කරට කර තරඟ කරමින් විදේශිය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්නා චිත්‍රපට නිෂ්පාදනය කිරීම කැපී පෙනෙන අතර අවධාරණයකින් මෙහෙයවනු ලබන පරිවර්තනීය අවධියකට භාජනය වෙමින් පවතී. නිදර්ශනයක් ලෙස ගිය වසරේ 95වැනි ඔස්කාර් සිනමා උළෙලේදී හොඳම ගීතය සමිමානය ලබා ගත්තේ ‘RRR’ දමිළ චිත්‍රපටය වීම සුවිශේෂී අවස්ථාවකි. සාපේක්ෂව බොලිවුඩ් සිනමාවට වඩා ප්‍රේක්ෂකයන්ට නවමු සිනමා අත්දැකීමක් නිරතුරුවම ලබා දෙන දකුණු ඉන්දියානු සිනමාවේ හැඩය සහ රිද්මය නිරතුරුවම වසරින් වසර වෙනස් වෙමින් ගෝලීය සිනමාවක් දක්වා තහවුරු කරගෙන අවසන්ය.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT