නිවස විදෙස් සිනමා චක් නෝරිස් සිනමාවට ගෙනා බෘෘස්ලිගේ අධ්‍යක්ෂණය

චක් නෝරිස් සිනමාවට ගෙනා බෘෘස්ලිගේ අධ්‍යක්ෂණය

by Test User
March 14, 2024 9:12 am 0 comment

බෲස් ලී යනු ලෝකයේ නොමැකෙන අයිකොන් එකකි. ඉතාමත් සුළු කාලයක් තුලදී ඔහු මැවූ විශ්මයන්, ඉතාමත් අසාමාන්‍ය ය. එලෙසම ඔහුගේ සුළු ජීවිත කාලයත්, හදිසි මරණයත් මේ සියල්ලම අසාමාන්‍ය ය.

බෲස් ලී ගේ පුරාවෘත්තය අධ්‍යනය කරන විට, නොඑසේනම් ඔහුගේ ජීවිතය ස්පර්ශ කරන විට, අසුවන අහුමුළු තැන් වලින් වැටහෙන්නෙ ඔහු සටන් කලාවටත් වඩා කලාවට උරුම වස්තුවක් ලෙසටය. සටන් ක්‍රමවේද ඔහු කලාවට හරවා ගන්නට ඇත්තේ ඒ නිසා විය හැක. අන් අතකට ඔහු තම සටන් දක්ෂ කම කලාව තුළින් ඉදිරිපත් නොකෙරුවේ නම් අද බෲස් ලී යනු වැඩි ජනතා ආකර්ෂණයක් නොමැති පුද්ගලයකි. ඔහු සිනමාවට පැමිණි නිසාය, අද ඔහු මෙතරම් ලෝක පූජිත වූයේ. පසු කලෙක ඔහු සිනමාව තම වෘත්තිය පමණක් නොව, තම ජීවිතයම කර ගත්තේ ඒ නිසා විය හැක. 

බෲස් ලී ගේ කලාව ආරම්භ වන්නේ ඔහුගේ පියාගෙනි. ‘ ලී හොයි චෙන්’ ඔහුගේ පියා, වෘත්තියෙන් චීන ඔපේරා ගායකයෙකු වූ අතරම, ඔහු හොංකොං සිනමා නළුවෙකු ද විය. බෲස් ලී ගේ ගායන හැකියාවන් කෙසේ වෙතත් රඟපෑමේ ආභාසය නම් ඔහුට පිහිටන්නට ඇත්තේ ඔහුගේ පියාගෙන් විය හැක.

බෲස් ලී ඉපදුණේ ඇමරිකාවේ ය. ඒ කැලිෆෝනියා හී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේය. එම සිදුවීමද අපූරුය. 1939 වසරේ දෙසැම්බරයේ බෲස් ගේ පියා වූ ‘ලී හොයි චෙන්’ හා ඔහුගේ බිරිඳ ‘ග්‍රේස් හෝ’ , ඇමරිකාව බලා ගියේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී ඇති චයිනා ටවුන් නගරයේ තිබූ ඔපේරා සංගීත ප්‍රසංගයකට සහභාගි වීමටය. ඔවුන් අවුරුද්දක පමණ කාලයක් එහී සිටියහ. බෲස් ලී ඉපදුණේ ඔය අතර වාරයේය. ඇමරිකාවේ ඉපදුණු නිසා ඔහුට ඇමරිකානු පුරවැසිභාවය හිමි විය. ඉන් මාස 4 කට පසු ඔවුන් නැවතත් හොංකොං බලා පැමිණීය.

බෲස් ලී ගේ උපත් නම වූයේ ‘ලී ජුන් ෆෑන්’ ය. ඔහුගේ උපත සිදුවූයේ 1940 නොවැ 7 වන දින ය. බෲස් ලීට සහෝදර, සහෝදරියන් 4 දෙනෙක් සිටි අතර, ඔවුන් නම් පීටර් ලී, රොබට් ලී, පොබේ ලී, සහ ඇග්නස් ලී ය. මොවුන් කිසිවෙක් ජනප්‍රිය පුද්ගලයන් නොවීය.

බෲස් ලී සිනමාවට පැමිණ ඇත්තේ ඉපදුණු ගමන්මය. ඒ 1941 වසරේ තිරගත වූ හොංකොං චිත්‍රපටයක් වූ ‘ ද ගෝල්ඩන් ගේට් ගර්ල්’ තුළින්ය. එම චිත්‍රපටය රූ ගත කර තිබුණේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීය.

ඔය කියන වසරේ බෲස් ලී ඉපදුණේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී නිසා, කෙසේ හෝ මේ අත දරුවාව එම චිත්‍රපටයට රැගෙන තිබුණි.

ඉන්පසු 1956 වන තෙක් ඔහු චිත්‍රපට කීපයකම ළමා චරිත හා යොවුන් චරිත රඟපා තිබුණි. ඒ සියල්ලම හොංකොං චිත්‍රපටයන්ය. 1957 දී ඔහු ‘ද තන්ඩර් ස්ටෝම්’ යන චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපා තිබුණි. එයද හොංකොං චිත්‍රපටයක් වූ අතර අධ්‍යක්ෂණය කළේ නග් වුයි ය. මෙය බෲස් ලී ගේ ප්‍රථම ප්‍රධාන චරිතය විය. එය කිසිසේත්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නොවීය.

1958 දී තිරගත කළ ලි සුන්ග් ෆුන් අධ්‍යක්ෂනය කළ ‘ඕර්ප්හාන්’ නැමැති චිත්‍රපටයේද බෲස් ලී රඟපෑවේ ප්‍රධාන චරිතයයි. එයද හොංකොං චිත්‍රපටයකි.

1968 වසරේදී බෲස් ලී හොලිවුඩ් චිත්‍රපටයක ක්‍රියාදාම අධ්‍යක්ෂකයෙකු විය. චිත්‍රපටය ‘ද රෙකින් කෘ’ ය. අධ්‍යක්ෂකවරයා පිල් කාර්ල්සන් ය. ප්‍රධාන නළුවා ඩීන් මාර්ටින් ය. මෙය විකට ශානරයට අයත් චිත්‍රපට⁣යක් වූ අතර ලංකාවේ එම්පයර් සිනමා ශාලාවේද එය ප්‍රදර්ශනය විය. 

1969 දී බෲස් ලී තවත් හොලිවුඩ් චිත්‍රපටයකට සම්බන්ධ විය. ඒ පෝල් බොගාට් අධ්‍යක්ෂනය කළ, ‘මාලෝ’ චිත්‍රපයටය. එහී ප්‍රධාන චරිතය රඟපෑවේ ජේම්ස් ගාර්නර් ය. බෲස් ලී එහී රඟපෑවද එය ඉතාමත් කුඩා චරිතයක් විය. එය සටන් දර්ශනයක් වූ අතර එය තිරයේ දිස්වූයේ විනාඩි 5 කටත් අඩු කාලයකි. අන් අතකට එම චිත්‍රපටයද බොහෝ මන්දගාමි චිත්‍රපටයක් විය.

ලංකාව තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයෙදී මෙයට පසුබිම් වූ අපූරු කථාවක් විය. මෙම චිත්‍රපටය හොලිවුඩ් හී 1969 දී තිර ගත වූවද, මෙය ලංකාවේ ප්‍රදර්ශනය කළේ 1974-75 කාල වකවානුව තුළය. ඒ වන විට බෲස් ලී ගේ ‘එන්ටර් ද ඩ්‍රැගන්’ චිත්‍රපටය තිර ගත කර, ලංකාවේ ක්‍රියාදාම චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතරේ බෲස් ලී සුපර් හීරෝ බවට පත් වී තිබූණි. ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම තරුණයන්, යෞවනයන් අතර, බෲස් ලී උන්මාදයක් ඇති වී තිබුණි. එය පුදුමාකාර උන්මාදයක් විය. ‘එන්ටර් ද ඩ්‍රැගන්’ තිර ගත වූ පසු තවත් බෲස් ලී ගේ චිත්‍රපටයක් ශාලාවල තිරගත වන තෙක් ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලා සිටියහ.

‘මාලෝ’ චිත්‍රපටය ලංකාවේ තිර ගත කළේ ඔය අතරේදීය. බොහෝ සිනමා ශාලා හිමියන් මෙම චිත්‍රපටය තම ශාලාවලට ගෙන්වා ගෙන ප්‍රදර්ශනයට පෙර පෝස්ටර් මගින් ප්‍රචාරය කළේ, බෲස් ලී රඟපාන අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය ‘මාලෝ’ කියාය. ශාලවට ප්‍රේක්ෂකයන් පිරුණේ මී මැසි පොදියක් මෙනි. ප්‍රවේශ පත්‍ර ගන්නා තැනම විශාල කාල ගෝට්ටියකි. එතැන ටිකට් පත ගැනීමට කරන සටන් මැඩ පැවැත්වීමට ශාලා හිමියන්ට පොලීසියද ගෙන ඒමට සිදුවිය. කෙසේ හෝ ප්‍රවේශ පත්‍ර ලබාගත් අය සිතුවේ ඔවුන්ට විශාල ජයග්‍රහණය ක් ලැබුණා කියාය.

මෙම සිද්ධියේ උච්චතම සිදුවීම වූයේ එකී ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නරඹන විටය. චිත්‍රපටය පටන් ගත් තැනින්ම බෲස් ලී පැමිණෙයි කියා සිතුවද, බෲස් ලී පැමිණියේ නැත. චිත්‍රපටය ඇදී ඇදි පැයක් පමණ ගියද, බෲස් ලී ගේ රුවක් දිස් වූයේ නැත. තමන් කිසියම් ප්‍රයෝගයකට අසුවූ බවක් ප්‍රේකෂකයන්ට දැනුණි. චිත්‍රපටයේ අවසාන පැය භාගය අතර තුර බෲස් ලී සමුහ සටන් දර්ශනයකට පැමිණ තිරයේ විනාඩි 5 කට අඩු ප්‍රමානයක් දිස්වී නොපෙනී යාම ගැන නම් ප්‍රේක්ෂකයන් ඉමහත් කනස්සල්ල ට පත් විය. එයින් සිදුවුණේ ඇතැම් කලබලකාරි ප්‍රේක්ෂකයන් ශාලාවෙ පුටු වලට හානි කිරීමත්, එළියට පැමිණ කලබලකාරි ලෙස හැසිරීමය. එය පාලනය කරන්නටද ශාලා හිමියන්ට යළි පොලිසිය ගෙන ඒමට සිදු විය.

ප්‍රේක්ෂකයන් තර්ක කළේ බෲස් ලී රඟපාන බව උලුප්පා පෝස්ටර් ගැසීම වැරදි බවය. එහෙත් ශාලා හිමියෝ කීවේ බෲස් ලී එහී රඟපාන නිසා ඔවුන් පෝස්ටර් වල ඔහුගෙ නම ඇතුළත් කළ බවය. බෲස් ලී එහි පැයක් ද, විනාඩි 5 ක්ද රඟපාන එක ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවන බවය. ඔවුන් කියන්නේ කෙසේ හෝ බෲස් ලී මෙහී රඟපාන බවය. කථාව ඇත්තය. අවසානයට සිදුවුණේ ප්‍රේක්ෂකයන් ශාලා හිමියන්ට බැන බැන ⁣අපේක්ෂාභංගත්ව නිවෙස්වලට යෑමය. ඒ එකල බෲස් ලී උන්මාදය තිබූ අන්දමය.

1970 වසරේ බෲස් ලී,’ගයි ග්‍රීන්’ අධ්‍යක්ෂණය කළ ඇන්තනි කුවින්,ඉන්ග්‍රීඩ් බර්ග්මන් රඟපෑ ‘අ වෝක් ඉන්ද ස්ප්‍රිංග් රෙයින්’ චිත්‍රපටයේ ක්‍රියාදාම අධ්‍යක්ෂක විය. මෙම චිත්‍රපටයද කොළඹ රීගල් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය විය.

1971 වසරේ බෲස් ලී ගේ චිත්‍රපට දෙකක්ම තිරගත වූ අතර, ඒ දෙකම සුපිරි ආදායම් ලැබු චිත්‍රපට විය. ලො වෙයි හා වූ චියා සියැංග් එක්ව අධ්‍යක්ෂණය කළ ‘ද බිග් බොස්’ ඇමරිකානු ඩොලර් ලක්ෂයක ඇස්තමේන්තුවකට ඩොලර් ලක්ෂ 500 ක් එනම් ඩොලර් මිලියන 50 ක් ඉපැයිය. අනෙක් චිත්‍රපටය ලෝ වෙයි අධ්‍යක්ෂණය කළ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි’ ය. එය ඇමරිකානු ඩොලර් ලක්ෂයකට ,ඩොලර් ලක්ෂ 1000, ක් එනම් ඩොලර් මිලියන 100ක් ඉපැයීය. මෙම චිත්‍රපට යුගලෙන් බෲස් ලී සුපර් ස්ටාර් කෙනෙක් වූවා පමණක් නොව, ඔහු ඩොලර් උපයන මැෂිමක් ද විය.

මෙම ලිපියට අඩංගු වන ‘ ද වේ ඔෆ් ද ඩ්‍රැගන්’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ඉන් පසුවය. ‘එන්ටර් ද ඩ්‍රැගන්’ ඔහු රඟපෑවේ එයිනුත් පසුවය. එය ලොව හෙල්ලු, තවමත් හොල්ලන චිත්‍රපටයකි. රොබට් ක්ලවුස් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපයයේ ඇස්තිමේන්තු ව වූයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 8හාමාරකි. එහෙත් මුල් වටයේ ඉපැයුම ඇමරිකානු ඩොලර් ලක්ෂ හාරදහසකි. එනම් ඩොලර් මිලියන 400 යකි. එය සුපිරිම ආදායමක් විය. (‘එන්ටර් ද ඩ්‍රැගන්’ චිත්‍රපටය පිළිබඳ පූර්ණ සටහනක් මින් පෙර මා හොලිවුඩ් යටගියාව තුළින් ඉදිරිපත් කර ඇත.)

‘ද වේ ඔෆ් ද ඩ්‍රැගන්’ තිර නාටකය ලීවේ බෲස් ලීය. එය නිෂ්පාදනය කළේ රේමන්ඩ් චෝය. ඔහු හොංකොං චිත්‍රපට නිෂ්පාදකයෙක් වූ අතර, හොංකොං වලට පමණක් නොව ලෝකයටම මාර්ෂල් ආර්ට්ස් චිත්‍රපට හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙසටද ඔහු ව පිළිගන්නට විය. එලෙසම ඔහුගේ නිෂ්පාදනවල රඟපෑවේ හොංකොං වල සිටි නළු නිළියන් වූ බෲස් ලී, ජැකි චෑන්, සැමෝ හුන්ග්, ජිමි වැන්ග් යූ, සින්තියා රොත්රොක්, සහ සුයි හාර්ක් වැන්නන්ය. ‘ද වේ ඔෆ් ඩ්‍රැගන්’ චිත්‍රපටයේ රේමන්ඩ් වෝ සමඟ බෲස් ලී ද නිෂ්පාදනයට හවුල් විය. ඔවුන් දෙදෙනා එක්ව යෙදූ මුදල වූයේ ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ තිස්දහකි. නමුත් චිත්‍රපටයෙන් මුල්වටවලින් ලද ආදායම වූයේ ඩොලර් ලක්ෂ 1300 යකි. එනම් ඩොලර් මිලියන 130 කි.

‘ද වේ ඔෆ් ද ඩ්‍රැගන්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වූයේ ද බෲස් ලී මය. එය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය විය. බෲස් ලී ප්‍රධාන චරිතය රඟපාමින් තවත් දක්ෂ ක්‍රියාදාම නළුවෙක් ලොවට හඳුන්වා දුනි. ඒ මාර්ෂල් ආර්ට් සටන් ක්‍රම වලින් නිපුණත්වයට පත් ඇමරිකානුවෙකු වූ ‘චක් නොරිස්’ය. (මා ඔහු ගැන පූර්ණ විස්තරයක් මීට සති කීපයකට ප්‍රථම හොලිවුඩ් යටගියාව තුළින් ඉදිරිපත් කළේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑ ‘ ද ඩෙල්ටා ෆෝස්’ සටහන තුළිනි.)

‘ද වේ ඔෆ් ද ඩ්‍රැගන්’ තනිකරම බෲස් ලී ගේ චිත්‍රපටයක් විය. කථාවත් ඔහුගේ නම්, නිෂ්පාදන සහයත් ඔහුගේ නම්, අධ්‍යක්ෂණයත් ඔහුගේ නම්, ප්‍රධාන නළුවාත් ඔහු නම් එය තනිකරම ඔහුගේ චිත්‍රපටයක් ලෙස හඳුන්වා දීම වරදක් නොවේ.

චිත්‍රපටය ආරම්භ වන්නේ ‘ටැංග් ලුන්ග්’ නම් තරුණයෙක් හොංකොං සිට ඉතාලියේ රෝමයට පැමිණෙන දර්ශනයකිනි. රෝමයේ ගුවන් තොටුපළට පැමිණි ටැංග් ලූන්ග් කිසිවෙක් බලාපොරොත්තුවෙන් සිටින බවක් පෙනේ. මුල් දර්ශන කීපයේදී චිත්‍රපටය තරමක් විකට බවක් දිස් වූ අතර, ටැංග් ලුන්ග්, විකට නළුවෙක් ලෙස රඟපාන්නට විය. චිත්‍රපටයේ මැද භාගය වන තෙක්ම ඔහුගේ ඒ විකට ස්වරූපය දක්නට ලැබුණි.

ඉන්පසු අප දකින්නේ ‘චෙන් චින්ග් හුආ’ නම් තරුණිය ගුවන් තොටුපොළට පැමිණ ටැංග් ලුන්ග්ව රැගෙන යන දර්ශනයකි. 

කථාව ආරම්භ වන්නේ එතැන් සිටය. ⁣’චෙන් චිංන්ග් හුආ’ සහ ඇයගේ මාමා වූ වැන්ග් රෝමයේ අවන් හලක් පවත්වා ගෙන යන අතර, එම අවන්හල භූමිය අයිති කරු තම භූමිය වැන්ග්ගෙන් ඉල්ලා සිටීය. එම අයිති කරු පළාතේ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෙක් විය. ඔහුට මැර කල්ලියක්ම සිටීය. වැන්ග්, අවන් හල යළි දීමට අකමැති නිසා ඔහු තම මැර කල්ලිය එම අවන් හලට යවා, එහී පාරිභෝගිකයන්ට කරදර කරන්නට විය. මෙය වැන්ග් හා චෙන්ට විශාල කරදරයක් විය. එයින් බේරීමට චෙන් කළේ හොංකොං වල සිට ඇයගේ මාමා කෙනෙකුට පනිවිඩයක් යැව්වේ හොඳ සටන් කරුවෙකුව රෝමය ට එවන්නට කියාය. ටැංග් ලුන්ග් හොංකොං සිට පැමිණි ඒ සටන්කරුවාය.

වැන්ග් ගේ අවන් හලේ වැඩ කරන තරුණ පිරිසද කරාටේ පුහුණු වෙමින් සිටියද, ඔවුන් එතරම් හොඳ ප්‍රමිතියකින් එය නොකරන බව ටැංග් ලුන්ග්ට වැටහුණි. ඔහු ඔවුන්ට උගන්වන්නට සැරසුණිද, ඔවුන් කිසිවෙක් ටැංග් ගෙන් ඉගෙන ගැන්මට කැමැත්තක් නොදැක්වූයේ, ටැන්ග් ගේ වික්‍රමයක් මොවුන් තවම නොදුටු නිසා විය හැක.

ටැංග් පැමිණි වේලේ සිට හැසිරෙන විකට ස්වරූපය නිසා කිසිවෙකුට ඔහු ගැන විශ්වාසයක් තිබුණේ නැත. වැන්ග්, චෙන්ට කීවේ මොහුව නැවත හොංකොං බලා යවන ලෙසටය. චෙන්ටද, ටැන්ග්ව පෙනුණේ කොමිටෙල් කාරයෙක් ලෙසටය. එහෙයින් ඇය ටැංග්ට කීවේ, කිසිවෙක් ඔහු ගැන ප්‍රසාදයකට පත් නොවී ඇති හෙයින් ඔහුට නැවතත් හොංකොං බලා ඉක්මනින්ම යන ලෙසටය. ඔහු නැවත යන්නට සැරසෙන විට මැරයන් පිරිස පැමිණ, අවන් හලට කෑම⁣ට පැමිණු පිරිසට තර්ජන කර එලවා දමා, එහී වැඩ කරන පිරිසට පහර දෙන්නට විය. ඔවුන්ද කරාටේ දන්නා නිසා ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළද, සේවක පිරිසව යටත් කර ගැන්මට මැරයන්ට සුළු දෙයක් විය. එහෙත් මෙය බලා සිටි ටැංග් තම සටන් ක්‍රම භාවිතා කරමින් මැරයන් සියල්ලටම පහර දුනි. ඔවුන් සියල්ල වැටි වැටි දුවන්නට විය. ටැංග් ගේ නියම ස්වරූපය සියල්ලොම දුටුවේ මෙම සිදුවීමෙන් පසුවය. වැන්ග් සහ චෙන් ටැංග්ට මෙහී සිටින ලෙසට ආයාචනා කරන්නට වූ අතර , සේවක පිරිස ඔවුන්ට සටන් උගන්වන ලෙසට ඉල්ලා සිටියහ. අවසානයේ සියල්ලන්ගේ ඉල්ලීම නිසා ටැංග් මෙහී සිටීමට තීරණය කළේය.

වැන්ග්, ටැංග්ට කීවේ ඔවුන් නැවතත් කොයි මොහොතක හෝ පැමිණ මෙහි පළිය ගන්නා බවය. එහෙත් ටැංග් කීවේ ඔහු මෙම අවන් හල ආරක්ෂා කර දෙන බවකි.

මේ අතර චෙන් හා ටැංග් කිට්ටු ලෙස මිතුරු විය. ඇය ටැංග් ව, රෝම නගරයේ ඇවිදින්නට රැගෙන ගියාය. ඔවුන් රෝම නගරයේ ඇවිද නැවත අවන් හලට පැමිණි පසු මැර පිරිස පැමිණ අවන් හලේ සේවකයන්ව තම අණසකට ගෙන ඔවුන්ව හිර කර තිබුණි. එතනදීද, ටැංග් එම මැර පිරිස සමඟ ඔහුගේ නන්චුකු දෙක ආධාරයෙන් තනි සටනක් දෙන්නට විය. පසුව හිර වී සිටි සේවකයන්ද පැමිණ සටනට අවතීර්ණ වන්නට විය. අවසානයේදී ටැංග් ඇතුළු කණ්ඩායම මැරයන්ට පහරදී ඔවුන්ව අඩ පණ කර දමයි එදිනද මැරයන් හොඳ හැටි ගුටි කා පරාජය භාර ගෙන යයි. එහෙත් ඔවුන් කියන්නෙ නැවත පැමිණෙන බවකි.

මේ අතර ඉන් දින කීපයකට පසු මැරයන් චෙන්ව පැහැර ගෙන, ඔවුන්ගේ බොස් වූ මෙම අවන්හල අයිතිකරු ළඟට රැගෙන යයි. ඒ බව දැන ගත් ටැංග් හා ⁣අවන් හලේ සේවකයන් පැමිණ ඔවුන්ගේ ස්ථානයේදීම ඔවුන්ට දරුණු ලෙස පහරදී චෙන්ව බේරාගෙන යන්නට විය.

⁣චෙන් ගේ මාමා වැන්ග් මෙම අවන්හල එම භූමිය අයිති කරුට ම විකුණා දැමීමට සැලසුම් කරන්නට විය. එයට චෙන් හා ටැන්ග් විරුද්ධ වූ නිසා ඔහු එම අයිතිකරුගේ ගෝලයා වූ⁣ ‘හෝ’ සමඟ මෙය එම අයිතිකරුට විකිණීමට පිඹුරු පත් සකස් කරයි.

⁣එම අයිතිකරු ළඟ සිටින මැරයන්ට ටැන්ග් ලුන්ග් ව පරාද කිරීමට නොහැකි බව එම අයිතිකරු හා ඔහු සමඟ සිටින ⁣’හෝ’ තේරුම් ගනී. එහෙයින් ඔවුන් ඇමරිකාවෙන් ප්‍රබල ලෝක ප්‍රසිද්ධ මාර්ෂල් ආර්ට්ස් සටන් කරුවෙකු ව ‘කෝල්ට්’ ව ඉතාලියට ගෙන්වන්නට සැලසුම් කරයි.

කෝල්ට් ඉතාලියට පැමිණිය පසු, අවන්හල් භූමිය අයිතිකරු හා ඔහුගේ සගයා ‘හෝ’ ටැංග් ලුන්ග් ට අභියෝග කරයි. ඔවුන් කියන්නේ හැකි නම් කෝල්ට් සමඟ සටන් කර මරණයට පත් වීම හෝ, මේ සියල්ලම අත්හැර නැවත හොංකොං බලා යෑම අතරින් කැමති එකක් තෝරා ගන්නා ලෙසටය. ටැංග් ලුන්ග් ,කෝල්ට් සමඟ සටන් කිරීමේ අභියෝගය භාර ගනී.

කෝල්ට් හා ටැංග් අතර ද්වන්ධ සටන ඇරඹේ. දෙදෙනාම කළු පටිධාරි මාර්ෂල් ආර්ට් සටන් කරුවන් හෙයින් සටන එකෙකුට එකෙක් නොපරදින්නක් විය. කෝල්ට් ⁣එල්ල කරන ලද ප්‍රහාර දරුණු වූ අතර, එයට ටැංග් ගෙන් එල්ලවූ ප්‍රතිවිරෝධ ප්‍රහාර ඊටත් වඩා දරුණු විය. ඔවුන් දෙදෙනා ගේ සටන සිංහයන් දෙදෙනෙක් පොර කනවා මෙනි. අවසන් මොහොත වන තෙක් ඔවුන් දෙදෙනාගෙන් ජය ගන්නේ කවුරුන්දැයි කිව නොහැකි තරමට දෙදෙනා සම සම විය. එහෙත් අවසානයේදී ටැංග් ගේ දරුණු පහරකින් කෝල්ට් මිය ගියේය.

චෙන්ගෙ මාමාවූ වැන්ග්ට අවන් හල විකුණන්නට අවශ්‍ය වූයේ, ඔහුට ලොකු පොහොසතෙක් වී ඔහුගෙ රට වූ හොංකොං බලා යෑමට ය. එහෙයින් ඔහු තම සේවකයෙකුට පිහියෙන් ඇන මරා දැමු අතර, කෝල්ට් හා සටනින් ජය ගෙන එන ටැන්ග්ව මැරීමට වැන්ග් ‘හෝ’ සමඟ එකතු වී කුමන්ත්‍රණ කළේය. එතනට පැමිණි අයිතිකරු වැන්ග් ට හා හෝ ⁣ට වෙඩි තබා ටැංග්ටද වෙඩි තබන්නට සැරසෙන විට, එතැනට චෙන් හා කුඑන් පොලිසිය සමඟ පැමිණි නිසා අයිතිකරුව අත් අඩංගුවට අර ගන්නට හැකි විය.

ටැංග් , ⁣චෙන් හා කුඑන් එකතු වී වැන්ග්ගෙ මිනිය සුසාන භූමියේ වළලා දැමීය. චෙන් සිතුවේ ටැංග් ඇය සමඟ නවතීවි කියාය. එහෙත් ටැංග් කීවේ තමා පැමිණි කාරණාව නිම වී ඇති හෙයින් ඔහු හොංකොං බලා යා යුතුයි කියාය.

ඔහු යන දෙස බලා කුඑන්, චෙන්ට කීවේ ටැංග් ලුන්ග් යනු තනිවම සිටීමට ප්‍රිය කරන කෙනෙක් නිසා, ඔහු කිසිදිනයක විවාහ වන පුද්ගලයෙක් නොවන බවය. එහෙයින් චෙන්ට ඔහු ගැන හැඟීමක් ඇත්නම් එය අත් හරින ලෙසටද කියා සිටියේය.

ටැංග් ලුන්ග් ලෙස බෲස් ලීත්, කෝල්ට් ලෙස චක් නොරිස්, හා චෙන් ලෙස නෝරා මිඕ මෙහී ප්‍රධාන චරිත රඟපෑහ. ⁣

වෙයි පිංග් (හෝ), හුආංග් චුන්ල් සින් (වැන්ග්), ටෝනි ලියු (ටෝනි), යුනිකෝන් චෑන්ග් (ජිමි), ටොමි චෙන් ( තෝමස්), ජොන් බෙන් (අයිතිකරු/බොස්), රොබට් වෝල්(ෆ්‍රෙඩ්), සෙසු චරිත වලට සාර්ථකව පණ දුනී.

‘ද වේ ඔෆ් ද ඩ්‍රැගන්’ වලින් පසු බෲස් ලී රඟපෑවේ ‘එන්ටර් ද ඩ්‍රැගන්’, ‘ගේම් ඔෆ් ඩෙත්’ හා ‘ගේම් ඔෆ් ඩෙත් 2’ යන චිත්‍රපට වල පමණි. බෲස් ලී මිය ගියේ ‘ගේම් ඔෆ් ඩෙත් 2’ චිත්‍රපටය රූ ගත කරන අතර වාරයේය. එහෙයින් ගේම් ඔෆ් ඩෙත් 2 චිත්‍රපටයට ‘එන්ටර් ද ඩ්‍රැගන්’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන එකතු කළේය.

බෲස් ලී මිය ගියේ ‘මස්තිෂ්ක ශෝථය’ (ඛ්ඥපඥඡපචත ඥඤඥථච) රෝගය නිසාය. මස්තිෂ්ක ශෝථය යනු මොළයේ අන්තර් සෛලීය අවකාශයන් හී අධික ලෙස සමුච්චය වීමය. මෙය සාමාන්‍යයෙන් ස්නායු ක්‍රියාකාරිත්වය අඩාල වීම, හිස් කබල තුළ පීඩනය වැඩි වීම, අවසානයේ මොළයේ පටක හා රුධිර නාල සෘජුව සම්පීඩනය වීම වැනි දේ සිදුවීමය. මෙය දරුණුවීමේ උපරිමය මරණය ය. බෲස් ලී 1973 වසරේ ජුලි 20 වන දින මිය ගියේ මේ හේතුවෙනි. මිය යන ව්ට ඔහුගේ වයස අවුරුදු 32 කක් විය. ඔහු ඒ වන විටත් විවාහ වී සිටි අතර, ඔහුට පුතෙක් හා දියණියක් සිටීහ. ඒ බ්‍රැන්ඩන් ලී හා ෂැනොන් ලී ය. බ්‍රැන්ඩන් ලී ද, ‘ද ක්‍රෝ’ චිත්‍රපටයේ රූ ගත කිරීම් කරනා අතර, වැරදීමකින් තුවක්කුවක් පත්තු වී, මිය ගියේය. ඔහු මිය යන විටත් වයස 28 ක් විය. බෲස් ලී ගේ නිසල සිරුර ඇමරිකාවේ වොෂින්ටන් හී ලේක් වීව් සුසාන භූමියේ තැන්පත් කෙරු අතර ඉන් අවුරුදු 20 කට පසු මිය ගිය ඔහුගේ පුත් බ්‍රැන්ඩන් ලී ගේ සිරුරද, එම සුසාන භූමියේ බෲස් ලී ගේ සොහොන් කොත ළඟම තැන්පත් කළේය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT