නිවස විදෙස් සිනමා ලෝක සිනමාවේ මහා මංගල්‍යය 96 වෙනි ඔස්කාර් සම්මාන රාත්‍රිය

ලෝක සිනමාවේ මහා මංගල්‍යය 96 වෙනි ඔස්කාර් සම්මාන රාත්‍රිය

by Test User
March 21, 2024 1:06 pm 0 comment

ලෝක සිනමාවේ මහා කලා මංගල්‍යය විදිහට හදුන්වන ඇකැඩමි සම්මාන උළෙල එහෙමත් නැතිනම් ඔස්කාර් සම්මාන රාත්‍රිය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබුවා. ඒ 96 වෙනි වතාවට. ලෝස් ඇංජලිස් හි හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී පවත්වනු ලැබූ මෙවර සම්මාන උළෙල බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වුණා. 2023 වසරේදී තිරගතකරන ලද සිනමාපට ඇගයීම සදහා කාණ්ඩ 23ක් යටතේ මෙවර සම්මාන පිරිනමනු ලැබුවා. ප්‍රහසන රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබූ අතර, ඔහුගේ ඉදිරිපත් කිරීම් බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වී තිබුණා.

මෙවර සම්මාන උළෙලේ හොදම සිනමාපටය ලෙස ඕපන්හෙයිමර්, ඇමෙරිකන් ෆික්ෂන්, ඇනටොමි ඔෆ් අ ෆෝල්, බාර්බී, ද හෝල්ඩෝවර්ස්, කිලර්ස් ඔෆ් ස ෆ්ලවර් මූන්, මේස්ටෝර්, පාස්ට් ලයිව්ස්, පුවර් තින්ග්ස්, ද සෝන් ඔෆ් ඉන්ටරස්ට් යන සිනමාපට තරඟවැදුණු අතර සම්මානය හිමිවූයේ ක්‍රිස්ටෝපල් නොලන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඕපන් හෙයිමර් සිනමාපටයටයි. එය පසුගිය වසරේ අතිශය ජනප්‍රිය වූ ආදායම් වාර්තා තබන ලද සිනමාපටයක්. අතිශය තරඟකාරී සහ උණුසුම් සම්මානයක් බවට පත් වූ හොදම නළුවා සම්මානය මෙවර දිනාගනු ලැබුවේ ර්පන් හෙයිමර් සිනමාපටයේ රොබර්ට් ලෙස රංගනයෙන් දායක වූ සිලියන් මුර්පි විසින්. ඒ සදහා බ්‍රෙඩ්ලි කූපර්, කෝල්මන් ඩොමින්ගෝ, පාවුල් ජියාමැටී සහ ජෙෆ්රි වරයිට් නිර්දේශ වී තිබුණා.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොදම නිළිය බවට පත් වූයේ, පුවර් තිංග්ස් සිනමාපටයේ බෙලා ලෙස රංගනයේ නියැළුණු එමා ස්ටෝන් විසින්. එමාට තරඟයක් දීම සදහා ඇනට් බෙනිංග්, ලිලී ග්ලැට්ස්ටෝන්, සැන්ඩ්‍රා හූලර් සහ කැරී මුලිගන් නිර්දේශ වී තිබුණා. නමුත් සම්මානය දිනාගනු ලැබූවේ එමා විසින්. ඇය පූවර් තිංග්ස් සිනමාපටයේ කළ රංගනය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණේ අනිවාර්යනේම ඇය මෙම සම්මානය සඳහා සුදුසු බව කියාපාමින්. හොදම සහාය නළුවා ලෙස තේරී පත් වූයේ ඕපන්හෙයිමර් සිනමාපටයේම ලෙවිස් ලෙස රංගනයෙන් දායක වූ රොබර්ට් ඩව්නි විසින්. හොඳම සහාය නිළිය ලෙස ඩාවින් ජෝයි රැන්ඩොල්ෆ් විසින් දිනාගනු ලැබුවා. ඒ ද හෝල්ඩෝවර්ස් සිනමාපටයේ මේරි ලම්බිස් ලෙස කළ රංගනය වෙනුවෙන්.

හොදම තිර පිටපත සදහා ඇනටොමි ඔෆ් අ ෆෝල් සිනමාපටය සඳහා ජස්ටින් ට්‍රයිට් සහ ආර්තර් හරාරි සම්මාන දිනාගනු ලැබුවා. හොදම අනුවර්තිත පිටපත ලෙස ඇමරිකන් ෆික්ෂන් සිනමාපටය වෙනුවෙන් කෝර්ඩ් ජෙෆර්සන් විසින් සම්මානය දිනාගනු ලැබුවා. එය පර්සීවල් එවරේට් විසින් රචිත එරසූර් කෘතිය පදනම් කරගනිමින් නිර්මාණය කර තිබුණා. මෙහිදී හොඳම ත්‍රිමාණ සජීවීකරණ සිනමාපටය ලෙස ද බෝයි ඇන්ඩ් ද හෙරෝන් සිනමාපටය වෙනුවෙන් හයාඕ මියසාකි සහ ටොෂියෝ සුෂුකි විසින් සම්මානය දිනාගනු ලැබූවා.

96 වන ඇකඩමි සම්මාන උළෙලේ හොදම ජාත්‍යන්තර සිනමාපටය ලෙස මෙවර තේරී පත් වූයේ එක්සත්රාජදානියේ ද සෝන් ඔෆ් ඉන්ටරස්ට් සිනමාපටයයි. එය ජොනතන් ග්ලසර්ස් විසින් අධ්‍යක්ෂණය කර තිබුණා. හොඳම වාර්තා චිත්‍රපටය ලෙස 20 ඩේස් ඔෆ් මරියුපූල් වෙනුවෙන් මිස්ටීස්ලා චෙර්නෝ සම්මාන දිනාගත් අතර, හොදම කෙටි චිත්‍රපටය ලෙස ද ලාස්ට් රෙපෙයාර් ෂොප් වෙනුවෙන් බෙන් ප්‍රවුඩ්ෆූට් සහ ක්‍රිස් බෝව්ර්ස් සම්මාන දිනාගනු ලැබුවා. හොදම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය ලෙස ද වොන්ඩර්ෆුල් සුටෝරි ඔෆ් හෙන්රි සුගර් වෙනුවෙන් වෙස් ඇන්ඩර්සන් සහ ස්ටීවන් රේල්ස් සම්මාන ලැබුවා. හොදම සජීවීකරණ කෙටි චිත්‍රපටය ලෙස වෝර් ඊස් ඕවර් ඉන්ස්පයර් බයි ද මියුසික් ඔෆ් ජෝන් ඇන්ඩ් යෝකෝ වෙනුවෙන් ඩේව් මුලින්ස් සහ බ්‍රෑඩ් බූකර් විසින් සම්මාන දිනාගනු ලැබුවා.

මෙවර සිනමා උළෙලේ හොදම සංගීත අධ්‍යක්‍ෂණය සඳහා ඕපන්හෙයිමර් සිනමාපටය වෙනුවෙන් ලුඩ්වින්ග් ගොරන්සොන් සම්මාන දිනාගත්තා. හොදම ගීත නිර්මාණය වෙනුවෙන් බාර්බි සිනමාපටයේ වට් වෝස් අයි මේඩ් ෆෝ ගීතය වෙනුවෙන් බිලී ඊලීෂ් සහ ෆයිනීස් ඔකෝනෙල් විසින් දිනාගනු ලැබුවා. හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් ද සෝන් ඔෆ් ඉන්ටරස්ට් චිත්‍රපටය වෙනුවෙන් ටාන් විලර්ස් සහ ජොනී බර්න් විසින් සම්මාන ලබාගත්තා. හොදම නිෂ්පාදනය වෙනුවෙන් පුවර් තිංග්ස් වෙනුවෙන් ඡේම්ස් ප්‍රයිස් සහ ෂෝනා හේත් විසින් සම්මාන දිනාගත්තා.

මෙවර 96 වන ඇකඩමි සම්මාන උළෙලේ හොදම ජායාරූපකරණය වෙනුවෙන් ඕපන්හෙයිමර් සිනමාපටය වෙනුවෙන් හොයිටි වෑන් හොයිටිමා විසින් දිනාගනු ලැබුවා. හොදම මේකප් සහ කොණ්ඩා සැකසුම වෙනුවෙන් පුවර් තිංග්ස් චිත්‍රපටය වෙනුවෙන් නදියා ස්ටෙසි, මාර්ක් කවුලියර් සහ ජෝෂ් වෙස්ටෝන් විසින් සම්මාන ලැබුවා. හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් පුවර් තිංග්ස් චිත්‍රපටය වෙනුවෙන් හොලී වැඩිංග්ටන් සම්මාන ලැබුවා. ඒ වගේම උළෙලේ හොදම සිනමා සංස්කරණය සඳහා වූ සම්මානය ඕපන්හෙයිමර් චිත්‍රපටයේ සංස්කරණය වෙනුවෙන් ජෙනිෆර් ලැම් විස්නි දිනාගනු ලැබුවා.

ඔන්න ඔය විදිහට තමයි මෙවර 96 වන ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන බෙදී ගියේ. ඕපන්හෙයිමර් සිනමාපටය සම්මාන 13ක් සදහා නිර්දේශ වූ අතර සම්මාන 7ක් දිනාගනිමින් උළෙලේ වැඩිම සම්මාන ගණනක් දිනාගත් චිත්‍රපටය බවට පත් වූවා. පුවර් තිංග්ස් සිනමාපටය සම්මාන 11ක් සඳහා නිර්දේශ වෙමින් සම්මාන 4ක් දිනාගනු ලැබුවා. ද සෝන් ඔෆ් ඉන්ටරස්ට් සිනමාපටය සම්මාන 2ක් දිනාගනිමින් සම්මාන උළෙලේ තෙවනියට වැඩිම සම්මාන ගණනාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්වූවා. සිදුවීම් කිහිපයක් නිසා මෙවර සම්මාන රාත්‍රිය අතිශය රසවත් වුණා. එහිදී විශේෂම කාරණයක් තමයි ජෝන් සීනා විසින් හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් සම්මානය ලබාදීම සඳහා නිරුවතින් වේදිකාවට පැමිණීම. එය වෙනස් අත්දැකීමක් වුවත්, බොහෝ දෙනාගේ හාස්‍යයට සහ දෝෂදර්ශනයට පවා ලක් වූවා. සම්මාන උළෙල සදහා ජාත්‍යන්තර අවධානය ලබාගැනීම සදහා මෙවැන්නක් සිදුකළ බව බොහෝ දෙනා විසින් සදහන් කර තිබුණා. කොහොම වුනත් මෙවර සම්මාන උළෙල තවත් සුවිශේෂී සම්මාන උළෙලක් ලෙස ඉතිහාසයට එකතු වේවි.

 

අමිල නුවන් මධුසංඛ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT