නිවස සංවාද පළමු සිහිනය තිබුණේ නැටුම් ගුරුවරියක් වෙන්නයි

පළමු සිහිනය තිබුණේ නැටුම් ගුරුවරියක් වෙන්නයි

ප්‍රකට රංගන ශිල්පිනී ශාලිකා එදිරිසිංහ

by Test User
March 14, 2024 1:05 am 0 comment

ලබන 16 වැනිදා වේදිකාගත වන “කතරගම ප්‍රේමා” හි ප්‍රධාන චරිතයට ජීවය දෙන ජනප්‍රිය නිළි ශාලිකා එදිරිසිංහ වී.සිවදාසන් අධ්‍යක්ෂණය කළ “කිඳුරු නදිය”ටෙලි නාට්‍යයේ රඟාපාමින් පුංචිතිරයේ රංගනයටද එක්වූවාය. සිය නවතම වේදිකා නාට්‍යයේ රංගනය පිළිබඳවත් ටෙලිනාට්‍ය සහ සිනමා රංගන චාරිකාව පිළිබඳවත් කතා කිරීමේ අරමුණින් ඇය සරසවිය හා මෙසේ එක්වූවාය

ඔබේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන “කතරගම ප්‍රේමා” ගැන විස්තර කළොත් ….?

“කතරගම ප්‍රේමා” කියන්නේ 1971දී රූමත් කාන්තාවකට කතරගමදී සිදුවුණු ඛේදවාචකයක් . මෙහි අධ්‍යක්ෂණය සරත් දික්කුඹුරයි. මෙහි “කතරගම ප්‍රේමා”ගේ චරිතය හෙවත් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මමයි. මේ කතාපුවත ලංකාව තුළ ඒ කාලයේ බොහෝ කතාබහට ලක්වූ සිද්ධියක් වුණා….මෙය ඇත්තෙන්ම ඉතිහාසගත සිදුවීමක්. ඒ ආශ්‍රයෙන් නිර්මාණය වූ මෙම වේදිකා නාට්‍යයට දක්ෂ රංගන ශිල්පීන් පිරිසකගේ දායකත්වය ලැබී තිබෙනවා . ක්ලීටස් මෙන්ඩිස්, අජිත් ලොකුගේ, කුමාරි මුණසිංහ, කුමාර කරුණානන්ද, දොන් ගයි වැනි පිරිසක් මෙහි රංගනයේ යෙදෙනවා.මෙහි ගීත රචනය චන්ද්‍රරත්න මාපිටිගම. ඔහු දක්ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. සුසන්ත දන්දෙණිය, මංගලී දිසානායක වැන්නන්ද මෙයට දායකත්වය දෙනවා . ඒවගේම තවත් බොහෝ පිරිසක් මෙයට දායකවුණා.

“කතරගම ප්‍රේමා” ට ආරාධනා ලද ආකාරය පැහැදිලි කළොත් …?

එහි අධ්‍යක්ෂ සරත් දික්කුඹුර මහතායි මේ සඳහා මට ආරාධනා කළේ. ඔහු එක්ක පසුගිය සමයේ කලා නිර්මාණ කිහිපයකටම මම දායක වුණු නිසා ඔහුට වැටහෙන්න ඇති මගේ රංගන පරාසය සහ මගේ කැපවීම මත මේ චරිතයට මාව සුදුසුයි කියලා. අනෙක් චරිතවලටත් සුදුසුම පිරිස දායක කරගෙන තිබෙනවා . අධ්‍යක්ෂ සමඟ මම පසුව මේ චරිතය පිළිබඳ කතාකළා. පසුගිය කාලයේත් මට වේදිකා නාට්‍යවලට කතා කළත් සම්බන්ධ වුණේ නැහැ. මොකද වේදිකා නාට්‍යයක් කියන්නේ ඉතා කැපවීමෙන් කළ යුතු දෙයක් . එහෙත් “කතරගම ප්‍රේමා” චරිතයේ වැඩක් කළ හැකියි නේද කියලා මට හිතුණා. කාන්තාවක් ලෙස මට ඒ චරිතය ඇත්තෙන්ම දැනුණා. මේක මටත් හරිම සංවේදී කතාවක්. ඒ නිසා මට හිතුණා කතරගම රූමතියට සාධාරණයක් මට කරන්න පුළුවන් කියලා.

පළමු දිනයේම මට පිටපත ලැබුණා. ඒක මම හොඳීන් අධ්‍යයනය කළා. දින කිහිපයක්ම අපි කට්ටිය එකතුවෙලා මේ ගැන සාකච්ඡා කළා.ඉන්පසුවයි ක්‍රමානුකූලව පෙර පුහුණුවීම් ආරම්භ කළේ.

“කතරගම ප්‍රේමා” චරිතයේ චරිත ලක්ෂණ මොනවගේද කිව්වොත් ….? “කතරගම ප්‍රේමා” මම සිතන විදිහට ඉතා ලස්සන රූපයක් තිබුණු කාන්තාවක් . අවුරුදු කුමාරියට තේරුණු ගමටට හිටපු ලස්සනම කාන්තාවක් කියන්න පුළුවන් . ඇය පවුලට ඉතා ළැදියි. මවුපියන්ට, සහෝදර සහෝදරියන්ට හරිම ආදරෙයි..පවුල වෙනුවෙන් කැපකිරීම් කරන කාන්තාවක් .ඒවගේම තම ආත්ම ගරුත්වය පළමුකොට සලකන, නිවැරදි තීන්දු ගන්න, සත්‍යය කතා කරන, බය නැති නිර්භීත කාන්තාවක් තමයි ඇය. ඒවගේම ඇය උගත්කමක් සහිත කාන්තාවක් කියන්නත් පුළුවන්

මෙහි අධ්‍යක්ෂවරයා සමඟ ඔබේ කතිකාව කවරාකාරද …? සහ අනෙක් ශිල්පීන්ගෙන් ඔබට ලැබුණු සහය ගැනත් මතක් කළොත් …..?

මෙහි අධ්‍යක්ෂ සරත් දික්කුඹුර මහතා අධ්‍යක්ෂණයෙන් වගේම රංගනයෙනුත් දායකවෙනවා. එහිදී ඔහු මා සමඟත් රංගනයේ යෙදෙනවා. අධ්‍යක්ෂවරයා සහ රංගන ශිල්පියා යන භූමිකා දෙක තුළදීයි ඔහුත් සමඟ මගේ ගනුදෙනුව ඇතිවෙන්නේ. ඔහු විශාල කැපකිරීමක් මෙහිදී කරනවා හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න. යම් තීරණයක් ගැනීමේදීත් ඔහු සෑම කෙනෙක් එක්කම කතා කරලයි තීරණ ගන්නේ. අනෙක් රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහය අති විශිෂ්ටයි. මගේ මවට රඟපාන්නේ කුමාරි මුණසිංහ මහත්මිය. නීතිඥ චරිතයක් ක්ලීටස් මෙන්ඩිස් මහතා රඟපානවා. යෂ් මගේ පෙම්වතා ලෙසත් අජිත් ලොකුගේ මගේ මස්සිනා ලෙසත් රඟපානවා. ඔවුන් සමඟ රඟපෑම හරිම පහසුයි.සෑම කෙනෙක් එක්කම එකමුතුවෙන් තමතමන්ගේ අඩුපාඩුත් නිවැරදි කරගනිමින් විශාල කැපවීමකින් මොවුන් වැඩේට දායක වෙනවා..ඔවුන් අපට ඉතා විශාල ආලෝකයක්.

ඔබේ රංගන දිවියේ ආරම්භක අවධියට ගියොත්….?

2001 වසරේ තමයි මගේ ටෙලිනාට්‍ය රංගන දිවියේ ආරම්භය සනිටුහන් වෙන්නේ. පාසල් කාලයේත් මම රංගනයට එකතුවෙනවා. පාසල් වේදිකාවේ “සාම ජාතකය” වේදිකා නාට්‍යයට දායකවෙනවා. එය මගේ පාසල් දිවියේ පළමු වේදිකා නිර්මාණය. එතැනින් තමයි රංගනය ආරම්භ කළේ. ඉන්පසු එළිමහන් වේදිකාවේ “21 ශ්‍රී, ගෝවේ ගෑනු, පුත නොබලන් හෙළ ගැඹුරුයි”ආදී වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒවගේම මගේ ආදරණීය ගුරුවරයකු වූ ඒ.ඩී. පෙරේරා මහතා යටතේ වේදිකා නාට්‍ය කලාව හදාරා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එතුමාගෙන් බොහෝ ගුරුහරුකම් ලබාගත්තා. ජයලාල් රෝහණ මහතාගෙනුත් ඒ කාලයේ මම රංගනය ඉගෙනගත්තා . අනුර වරාගොඩගේ නිර්මාණවල රඟපෑවා. ඒ අතර තමයි වි.සිවදාසන් මහතා ඔහුගේ “කිඳුරු නදිය” ටෙලිනාට්‍යයට මාව සම්බන්ධ කරගන්නේ. කාංචනා මෙන්ඩිස්ගේ නංගිගේ චරිතයට කෙනෙක් හොයනවා කියලා ඒ වෙනුවෙන් මට ආරාධනා කළා. එහිදී සම්මුඛ පරීක්ෂණයක් තියලා මාව එයට තෝරාගත්තා.එහෙමයි ටෙලිනාට්‍ය රංගනයට යොමුවෙන්නේ

මුල්ම රංගනයේදී ඔබ මුහුණදුන් අත්දැකීම් මොන්වගේද….?

මුලින්ම කැමරාවට මුහුණදුන් අවස්ථාව ඇත්තෙන්ම ජීවිතයට අමතක නොවන අවස්ථාවක්. රංගන ශිල්පිනියක් වෙන්න මගේ සිහිනයක් තිබ්බේ නැහැ. නැටුම් ගුරුවරියක් වෙන්නයි මගේ සිහිනය තිබ්බේ. රංගනය කියන්නේ මට නොසිතූ වේලාවක ලැබුණු වරප්‍රසාදයක්.මුලින්ම රඟපෑවේ පාසල් සිසුවියකගේ චරිතයක්. ඒ කාලයේ ඇත්තටම මමත් පාසල් සිසුවියක්. “කිඳුරු නදිය” ටෙලිනාට්‍යයේ තමයි මුලින්ම මම රූපවාහිනී කැමරාවකට මුහුණදුන්නේ. එහිදී අධ්‍යක්ෂ වී.සිවදාසන් මහතාගෙන් ලොකු සහයක් ලැබුණා . ඒ වගේම කාංචනා මෙන්ඩිස්, රොජර් සෙනෙවිරත්න වගේ අයගෙනුත් හොඳ සහායක් ලැබුණා

රංගන දිවිය තුළ ඔබ දායකවූ චරිත අතරින් සුවිශේෂ චරිතවේ නම් ඒ මොනවාද ….? සහ ඒවා සුවිශේෂී වෙන්න හේතු මොනවාද …..?

ඕනෑම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් කැමැතියි විවිධ වූ චරිත නිරූපණයට . වෙනත් වෘත්තියක අපි සිටියානම් එකම් රාමුවකට කොටුවෙන්න වෙනවා. ඒත් රංගන වෘත්තියේදී විවිධ අත්දැකීම් , සමාජ පැතිකඩයන්, විවිධ චරිතයන් , පළාතින් පළාතට ලැබෙන අත්දැකීම්, භාෂාමය අත්දැකීම්, සංස්කෘතික අත්දැකීම්, පවුල් සංස්ථාවේ වපසරිය, රැකියාවන්වල ස්වභාවය ආදී විවිධ දෑ අධ්‍යයනය කළ හැකියි. එය රංගන ශිල්පියකුට ලැබෙන භාග්‍යයක් . පාසල් සිසුවියගේ, පෙම්වතියගේ, බිරියගේ , මවගේ ආදී ලෙස විවිධ රංගනයන්හි මම නිරතව තිබෙනවා . කාලයෙන් කාලයට මගේ කුමන හෝ චරිතයක් ප්‍රේක්ෂකයන් අතරට යනවා. එය ඇත්තෙන්ම වාසනාවක් විදිහට මම දකිනවා.

රංගනයෙන් දායකවූ ටෙලිනිර්මාණ ගැන සිහිකළොත් ….?

“කිඳුරු නදිය” ටෙලිනාට්‍යයෙන් ආරම්භ වූ ටෙලිනාට්‍ය රංගන දිවියේදී “කාව්‍යා, වසූදා” හි රඟපෑවා . ඒ චරිතත් ජනප්‍රිය වුණා.ඉන්පසුව “සසර බැඳී බැමි, තවත් වසන්තයක් ඇවිත්, ඉහිරුණු කිරි, ජීවිතය ඇතිතුරා, නාටක මාරයි, දෙකොන් මාරු, රන්තිළි වැව, කෝරලේ මහත්තයා , ඉඳීවැට අද්දර, අඳුන්ගිර”වැනි ඒවායේත් රඟපෑවා . “අඳුන්ගිර”හි රඟපෑවේ දෙමළ කාන්තාවකගේ චරිතයක්

ඔබේ සිනමා නිර්මාණ දිවිය ගැන කතා කළොත් …..?

ඔව්, එහිදී “තුෂාරා” (නව පිටපත) චිත්‍රපටයත් එහි තුෂාරා ලෙස කළ රංගනයත් විශේෂයි.ඒ චරිතය ගැන අදටත් ප්‍රේක්ෂකයා කතා කරනවා . ඊට අමතරව ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දුගේ “සුදු සළු” , නාලක විතානගේගේ “සරුංගල්”, ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්ගේ “බෝනික්කා” වගේම මේ වසරේ දැකගන්න පුළුවන් වේවි මගේ රංගනය ඇතුළත් චිත්‍රපට 02ක්. එනම් ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ “නුහුරු වෑයම”චිත්‍රපටය එකක්. එහි මම පොලිස් නිලධාරිනියක්. අනික අකිල සඳකැලුම් අධ්‍යක්ෂණය කළ “හදගැස්ම”. ඒ දෙකේම එකිනෙකට වෙනස් චරිත දෙකක් කළේ.

ඔබ දකින ආකාරයට රංගන ශිල්පියකුට රංගනය නමැති විෂයය හැදෑරීමේදී න්‍යායාත්මක අධ්‍යයනයට වඩා ප්‍රායෝගික අධ්‍යයනය වැදගත් වෙන්නේ කවරාකාරයෙන්ද …..?

මෙහෙමයි, රංගනයේදී හෝ වෙනත් දෙයකදී හෝ කෙනෙකුට අධ්‍යාපනය කියනදේ ඉතා සුවිශේෂියි එය අපේ ගමනට ශක්තියක්. ඒවගේම කොතරම් දැනුම් සම්භාරයක් තිබුණත් වැඩක් නැහැඅපට ප්‍රායෝගිකව චරිතයක් නිරූපණය කිරීමේ හැකියාවක් නැත්නම්. පිටපතක් කියවා බැලුවට පසු ඒ චරිතය ප්‍රායෝගිකව කොහොමද ප්‍රේක්ෂකයාට දෙන්නේ කියන දේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. වේදිකා නාට්‍ය තුළ වටිනාකමක් තියෙන්නේ ඒ තුළින් අපි බොහෝදේ ඉගෙනගන්නවා. රංගනය ගැනත් ඉගෙනගන්නවා, චරිත ගැනත් ඉගෙනගන්නවා .ප්‍රවීණයන් එක්ක වැඩකරද්දි විශාල දැනුමක් එකතුවෙනවා. ප්‍රායෝගික අධ්‍යයනය සමාජයේ ගැවසෙද්දී, මිනිස්සු ඇසුරු කරද්දී ලබාගන්න පුළුවන්. නළුවා හෝ නිළියට ලැබෙන චරිතයයි අභියෝගයක් වෙන්නේ.ඒ අභියෝගය ජයගන්න අපට ප්‍රායෝගික දැනුම ඉතා ඉවහල් වෙනවා

රංගනයෙන් ඔබ සම්මානයට ලක්වූ අවස්ථා කිව්වොත්….?

සම්මාන ගැන කියද්දි නම් මට ජනතා සම්මාන රැසක්ම ලැබී තිබෙනවා. ඊට අමතරව ජනප්‍රිය නිළියට එහෙම මාව යෝජනා වූ අවස්ථා තිබෙනවා . “ඉහිරුණු කිරි” ටෙලිනාට්‍යය වෙනුවෙන් ජනප්‍රිය නිළියට නිර්දේශ වුණා. සම්මාන නම් ලැබි නැහැ.සම්මාන ලැබිය යුතු අවස්ථාවල ඒවා අහිමිවූ අවස්ථාත් තියෙනවා

ඉදිරි සිනමා නිර්මාණ ගැන මතක් කරනවා නම්…..?

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ “නුහුරු වෑයම” චිත්‍රපටය .අකිල සඳකැලුම්ගේ “හදගැස්ම” චිත්‍රපටය , ඒවගේම “බුද්ධි” නමින් චිත්‍රපටයක් කළා. “රාක්ෂා”චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කළා.

සිනමාව තුළ “ශාලිකා එදිරිසිංහ ” භූමිකාව විස්තර කළොත් ….? සිනමාවේදී මා රඟපෑ චිත්‍රපට 04ක් තිරගත වී තියෙනවා .සහන් විජේසිංහ අධ්‍යක්ෂණය කළ “තුෂාරා”(නව පිටපත) තවමත් මිනිස්සුන්ගේ හදවත්වල රැඳීලා තියෙනවා. සිනමාවේ මම ලොකුවට චරිත නිරූපණය කළ කෙනෙක් නෙවෙයි. ආරාධනා කරන හැම එකකටම යන්නෙත් නැහැ….අදටත් මම කැමැති මට දැනෙන, සමාජයට දෙයක් දෙන්න පුළුවන් , මහන්සි වෙලා දැනෙන්න දෙයක් කරන්නයි

වේදිකාවේ රංගන අභ්‍යාස ඔබේ රංගනයේ සාර්ථකත්වයට කොතෙක්දුරට ඉවහල්වුණාද…..?

ඔව්, වේදිකාවේ රංගන අභ්‍යාස මගේ රංගනයේ සාර්ථකත්වයට බොහෝසේ උපකාර වුණා. හඬ පිළිබඳ, විවිධ චරිත නිරූපණය පිළිබඳ දේවල් ඉගෙනගත්තා. වේලාවට වැඩකිරීම, කැපවීම වැනි දෑද,වේදිකාව තුළින් අපි ඉගෙනගන්නවා .

දර්ශනතලයන්හි ගතකරද්දී අමතක නොවන සිදුවීම්වලට එහෙමත් මුහුණදීලා ඇති….?

අමතක නොවන සිදුවීම් නම් ගොඩාක් තියෙනවා .දවසක් ශූටින් ගිහින් එද්දි අපි ආව වාහනය අනතුරකට ලක්වුණා හරකෙක් වාහනයේ ගැටිලා . ඒත් වාහනය ඇතුළේ හිටිය කාටවත් කරදරයක් වුණේ නැහැ . එහිදී අපි කම්පනයට පත්වුණා. “හිමගිර” ටෙලිනාට්‍යයේ අමතක නොවන සිදුවීම් රැසක් තියෙනවා .එක අවස්ථාවක පාරේ අපි රූගතකිරීම් කරද්දී වාහනයකින් ඇවිත් මාව බලෙන් දාගෙනයන අවස්ථාවක් තිබ්බා. එහිදි ආමි එකෙන් ඇවිත් එයාලා මාව බේරාගන්න ගියා . ඔවුන් හිතුවේ මේක ඇත්තටම වුණු දෙයක් කියලා. කැමරා එහෙම තිබ්බේ උඩ. සංජය ගුණවර්ධනගේ “ඉහිරුණු කිරි” ටෙලිනාට්‍යයේ මම මැරෙන්න බලාගෙන වැවකට ගිලෙන්න යනවා. ඒ වැවේ කිඹුල්ලුත් ඉන්නවා. එතැනදී මරණ බය එක්කයි ඒ දර්ශනය ගත්තේ. අපේ කණ්ඩායමත් වැවට බැහැලා මට උදව්වට ආවා….

සමාජසේවා කටයුතුවලත් ඔබ නිරත වෙනවා නේද…..? ඒ පිළිබඳ සඳහන් කළොත් ….?

මම මට තේරෙන කාලයේ ඉඳන් තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. මම කන දෙයක් හරි වෙන්ත් කෙනෙක්ට දීපු කෙනෙක් මම.ඒවගේ දේවල් තමයි ටිකටික දියුණුවෙලා ඇවිත් සමාජසේවා බවට පත්වුණේ . මම මට හැකි විදිහට සමාජ සේවා කටයුතුවලට දායකත්වය දෙනවා. උත්සව ආදියට මම වැඩිය සහභාගි වෙන්නේ නැතත් සමාජ සේවා වැඩනම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ

සිනමාව තුළ ඔබේ හැකියාව , දක්ෂතාව නිසි ආකාරයට ඉදිරිපත් කරන්න ප්‍රමාණවත් අවස්ථා ලැබුණේ නැද්ද කියා මට සිතෙනවා …..?

ඔව්, ඔයාට හැඟුණ දේ හරි. මට ලැබුණු හැම චරිතයක්ම භාරගත්තානම් අද මෙවැනි චරිත නොකර ඉන්නත් ඉඩතිබ්බා. මා කැමැති වුණේ මගේ දක්ෂතාවලින් ප්‍රයෝජනයක් ගතහැකි නිර්මාණවලට දායකවෙන්න.මම නර්තනය හැදෑරුවට රියැලිටි ෂෝස්වලට ගියේ නැහැ . ඒත් ඒවා රංගනයට මම යොදාගත්තා.

අද වනවිට මෙරට සිනමාව ඔබ දකින්නේ කෙසේද ….?

මෙරට සිනමාව ගත්තොත් එදා සිට අද දක්වාම දක්ෂයෝ හිටියා. තාක්ෂණික මට්ටමින් තමයි අපි ටිකක් අඩු මට්ටමක ඉන්නේ. අපට සම්පත්වලින් එහෙම අඩුවකුත් නැහැ. අද වෙද්දී නම් තාක්ෂණයත් මුසුකරගෙන හොඳ නිර්මාණ කෙරෙනවා. හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. ළඟ ළඟ චිත්‍රපට තිරගත වීමත් හොඳ දෙයක්. වැටී තිබූ සිනමාවේ යම් ප්‍රබෝධයක් අද වෙද්දී ඇතිවී තියෙනවා

මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන නවතම නිර්මාණ කාර්යයන් ගැන කිව්වොත් …..?

මේ දිනවල “නෙයිනගේ සූදුව” වේදිකා නාට්‍යයේ සහ “කතරගම ප්‍රේමා”වේදිකා නාට්‍යයේ වැඩ කරමින් යනවා

ශාලිකා එදිරිසිංහ නමැති නිෂ්පාදකවරිය ඉදිරියේදී අපට දැකගන්න ලැබේවිද…..?

එක් සිනමා නිර්මාණයකට නිෂ්පාදකවරියක් ලෙස දායකවෙලා තිබෙනවා .හොඳ නිර්මාණයකට නිෂ්පාදනයෙන් දායකවෙන්න ලැබුණොත් සම්බන්ධ වෙනවා

අද වනවිට රංගනයට පිවිසෙන නවක ශිල්පීන් ගැන ඔබේ මතය කෙසේද…..? අද බොහෝ දක්ෂයෝ බිහිවෙනවා. දක්ෂයෝ හිටියට පැවැත්මක් රඳවාගන්න දක්ෂකමම ප්‍රමාණවත් නැහැ. අලුත් අය එන්න ඕන ක්ෂේත්‍රයට. ඔවුන්ට තැන දෙන්න ඕන.

සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වය තුළ ඔබ වඩාත් කැමැත්තක් දක්වන්නේ කුමන මාධ්‍යයටද….?

මේ තුනෙන් වේදිකාවට මම බොහෝ කැමැතියි. වේදිකාවෙන් තමයි මම රංගනයට ආවේ. මම මේ ක්ෂේත්‍රයට එන්නවත් හිතපු කෙනෙක් නෙවෙයිනේ. ධර්මාලෝක විද්‍යාලයේදී පාසල් වේදිකාවට ගොඩවෙන්න අවස්ථාව ලැබෙනවා. වේදිකාවේ සජීවීව ලැබෙන ප්‍රතිචාරය නම් මාරයි.

මේ දිනවල වසංගතයක් බවට පත්ව තිබෙන මෙගා ටෙලිනාට්‍ය රැල්ල ගැන ඔබේ මතය මොනවගේද……?

ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා .මෙගාවල රඟපාන අයට එව් ටෙලියේ වැඩ දිගටම තියෙනවා කියන එකෙන් ඔවුන්ට වාසියකුත් තියෙනවා. ඒවගේම එකම දේ අවුරුදු ගණනක් කරද්දී විවිධ චරිත නිරූපණයට අවස්ථාව නැතිවෙනවා. හැම චැනල් එකකින්ම මෙගා ටෙලිනාට්‍ය කරන්න ගත්තහම හොඳ ගුණාත්මක නිර්මාණයක් කරන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. මෙහි හොඳ, නරක දෙපැත්තම තියෙනවා

නවීන තාක්ෂණයත් එක්ක සිනමාව ද වෙනස්වීම්වලට ලක්වෙමින් පවතිනවා. චිත්‍රපටය ද සමාජ මාධ්‍ය තුළට කොටුවෙන බවක් පේනවා. මෙම වෙනස ඔබ දකින්නේ කෙසේද ……?

ඔව්, අද වෙද්දී සෙල්ෆෝන් එකෙන් චිත්‍රපට කරලා උ ඊඋඕඡ් මුදාහරින තත්ත්වයකුත් තියෙනවා . අද වෙද්දී ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවකට නොගොස් දුරකතනයෙන් චිත්‍රපට බලන තත්ත්වයක් තියෙන්නේ. මේ දේවල්වලට ප්‍රේක්ෂකයා දැන් පුරුදුවෙලා. මේ තත්ත්වය සිනමාවට පාඩුවක් කියාත් සිතෙනවා. සිනමාපටයක් පුළුල් තිරයෙන් නොබලා ගෙදර ඉඳන් ච්ඍච් හෝ ජංගම දුරකතනයෙන්, රූපවාහිනියෙන් බලන තත්ත්වයට අද පත්වෙලා. මේ වෙනස ක්‍රියාකාරීව භුක්ති විඳීනවානම් හොඳයි . ඒවගේම උ ඊඋඕඡ් ආදී සමාජ මාධ්‍ය හරහා යම් සිනමා නිර්මාණයක් ගැන දැනුම්වත් කිරීම් වුණත් කරන්න පුළුවන්. ඒ වගේම උ ඊඋඕඡ් හරහා නිර්මාණකරුවන්ට මුදල් ඉපයීමේ මාර්ගයකුත් සැකසිලා තියෙනවා. ඒකත් එක අතකට හොඳයි .

නවීන තාක්ෂණය තුළින් අද සිනමාවත් යම් තැනකට පැමිණ තිබීම ගැන සතුටුයි

“කතරගම ප්‍රේමා” වේදිකාගත වෙන්නේ කවදාද…..?

ඔව්. මේ මාසයේ 16 වැනිදා සවස 3:30ට සහ 6:30ට මරදාන එල්ෆින්ස්ටන්හිදී “කතරගම ප්‍රේමා” ව මුණගැසෙන්න එන්න කියලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම ආරාධනා කරනවා

ඔබේ පවුලේ විස්තර කිව්වොත්….?

මමයි අම්මයි තාත්තයි එකට ඉන්නේ. සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා…එයාලා විවාහකයි.

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT