නිවස විදෙස් සිනමා අනියම් පෙමක ඛේදවාචකය

අනියම් පෙමක ඛේදවාචකය

UNFAITHFUL

by Test User
March 21, 2024 1:13 pm 0 comment

‘ඒඩ්‍රියන් ලීන්’ හොලිවුඩ් යටගියාව ලිපි පෙලෙන් කීප වතාවක්ම අපට හමුවූ අධ්‍යක්ෂකවරයෙකි. මුලින්ම මා ඔහුගේ චිත්‍රපටයක් මෙම ලිපි පෙලට ලීවේ 1983 වසරේ තිරගත කළ ‘ෆ්ලෑෂ් ඩාන්ස්’ චිත්‍රපටය පිළිබඳවය. ඒ එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු නිසාය. ඉන්පසුද මා ඔහු අධ්‍යක්ෂණය කළ තවත් ජනප්‍රිය මෙන්ම ඇකඩමි සම්මානයන්ට නිර්දේශ වූ චිත්‍රපටයක් ගැන සටහනක් ලීවෙමි. ඒ 1987 වසරේ තිරගත කළ ‘ෆේටල් ඇට්‍රැක්ෂන්’ චිත්‍රපටය ගැනය. ඉන්පසු ඔහු 1993 වසරේ අධ්‍යක්ෂණය කර තිරගත කළ චිත්‍රපටයක් වූ ‘ඉන්ඩීසන්ට් ප්‍රොපෝසල්’ ගැනද ලීවෙමි.

ඒඩ්‍රියන් ලීන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙස බලන විට පෙනී යන්නේ ඔහු වැඩිපුරම ශෘංගාරාත්මක තේමාවන් ගැන දැඩි උනන්දුවක් දක්වන බවකි. එහෙත් ඔහු ඒ ශෘංගාරාත්මක බව පෙන්වන්නේ ප්‍රබල කථා තේමාවක් හරහාය. ඔහු අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වූ ‘ෆොක්ස්’ (1980) ද යෞවනයන් ගේ කථා තේමාව තුළින් එකී ශෘංගාර ය හුවා දැක්වීය. එහෙත් ඉන්පසු කළ චිත්‍රපටය වූ ‘ෆ්ලෑෂ් ඩාන්ස්'(1983), සංගීතය හා නැටුම් සහිත රොමැන්තයක් විය. ඔහු ගේ ‘9 1/2′ වීක්’ (1986), චිත්‍රපටයද, එමෙන්ම ‘ෆේටල් ඇට්‍රැක්ෂන්’ චිත්‍රපටයද එවැනි ශෘංගාරාත්මක දර්ශන ඇතුළත් ප්‍රබල කථා තේමාවන් සහිත චිත්‍රපටයන් ය. නමුත් ඔහුගේ⁣ ‘ජේකොබ්’ස් ලැඩර්’ (1990) චිත්‍රපටය සුපුරුදු ශෘංගාරයෙන් මිදී, අද්භූත , එනම් හොරර් ගණයේ චිත්‍රපටයක් විය.

⁣යළි ඔහු අපූරු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ ශෘංගාරාත්මක තේමාවක් මතය. එය 1993 වසරේ තිරගත කළ ‘ඉන්ඩීසන්ට් ප්‍රොපෝසල්’ චිත්‍රපටය යි. 1997 වර්ෂය තුළ තිරගතවූ ‘ලොලිටා’ රී මේක්, චිත්‍රපටයද එලෙස ශෘංගාරාත්මක පසුබිමක් සහිත කථාවක් විය. මෙම ලිපියේ අඩංගු වන ‘අන්ෆේත්ෆුල්’ චිත්‍රපටයද ශෘංගාරය මුසු කථාවක් ය.

ඒඩ්‍රියන් ලීන් ගේ එකී හැම චිත්‍රපටයක්ම සාර්ථක ප්‍රතිචාර ලබන්නේ ශෘංගාරයත් සමඟ එන ඒ කථාසාරය දක්ෂ ලෙස අධ්‍යක්ෂණය කරන නිසාය. මේ හැම චිත්‍රපටයක්ම මුල සිට අග දක්වා කුතුහලයකින් නැරඹිය හැකි අන්දමට ඔහු අධ්‍යක්ෂණය කර තිබුණි. එලෙසම එකී ශෘංගාර දර්ශනද ඔහු කිසිම පැකිළීමක් නොමැතිව, මෙන්ම කිසිදු අඩුවක් නොමැතිව ඉදිරිපත් කෙරීය. දිගු තොල් සිප ගැනීම්, නිරුවත් සිරුරු ගැටීම් මෙන්ම රමණය පවා, තාත්විකව එහෙත් සිනමාත්මකව ඉදිරිපත් කිරීමට ඔහු අතී දක්ෂ විය.

‘අන් ෆේත්ෆුල්’ චිත්‍රපටයද එක් අතකට ‘රී මේක්’ චිත්‍රපටයක් විය. මෙය 1969 වර්ෂයේ ප්‍රංශ අධ්‍යක්ෂක වරයෙක් වූ ‘ක්ලෝඩ් චාබ්රෝල්’ විසින් ලියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. එය ඉදිරිපත් වූයේ ප්‍රංශ හා ඉතාලි චිත්‍රපටයක් ලෙසටය. එලෙසම එය ‘අපරාධ’ ශානරය යටතේ නිර්මාණ වූවද, එය ශෘංගාරාත්මක තේමාවක් විය. මෙම චිත්‍රපටය නම් කර තිබුනේ ‘ලා ෆෙමී ඉන්ෆිඩෙලි’ ලෙසටය. ප්‍රංශය හා ඉතාලිය මෙය තිර ගත කළේ ඒ නමිනි. එහී රඟපෑවේද ප්‍රංශ නළු නිළියන් වූ ස්ටෙෆන් ඕඩ්‍රන්, මයිකල් බොකට්, මොරිස් රොනෙට්, හා මයිකල් ඩුචාසෝයි ය. චිත්‍රපටය ප්‍රංශය තුළ ජනප්‍රිය වූයේ නැත. එය නැරඹුවේ ඉතාමත් අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවකි. එහෙයින් මෙය ඉංග්‍රිසියට හරවා ඇමරිකාව තුළ ප්‍රදර්ශනය කරන්නට විය. එවිට එය නම් කළේ ‘ ද අන්ෆේත්ෆුල් වයිෆ්’ ලෙසටය. මෙය ⁣ඇමරිකාව තුළ බෙදාහැරීම භාර ගත්තේ ‘ඇලයිඩ් ආර්ටිස්ට්’ නම් ඇමරිකානු චිත්‍රපට සමාගමය. ඔවුන් මෙහී මංගල දර්ශනය 1969 වසරේ නොවැම්බර් 9 වන දින උත්සවශ්‍රීයෙන් පවත්වන්නට විය. ප්‍රංශයේ හා ඉතාලියේ අසාර්ථක වූ චිත්‍රපටය, ඇමරිකාවේ ප්‍රදර්ශනයේදී සාර්ථක විය. ‘ ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් පත පැවසූවේ මෙය හොඳම සිනමාත්මක නිර්මාණයක් බවය. එම පුවත් පතේ සිනමා විචාරකයා වූ වින්සන්ට් කැන්බි ට අනුව මෙම ‘ ද අන්ෆේත්ෆුල් වයිෆ්’ චිත්‍රපටය එම වසරේ ඇමරිකාවේ තිරගත කළ චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපට 10 ය අතරට එකතු කළ හැකි බවය. නිව්යොක් නගරයේ චිත්‍රපට සංගමයක් වූ ‘නැෂනල් බෝඩ් ඔෆ් රිවිව් ඔෆ් මෝෂන් පිච්චර්ස්’ විසින් සංවිධානය කරන සම්මාන උලෙළේ දී මෙම චිත්‍රපටය 1969 වසරේ හොඳම විදේශිය චිත්‍රපට ය ලෙස සම්මාන ලැබීය.

ඒඩ්‍රියන් ලීන් මෙම ප්‍රංශ චිත්‍රපටය වූ ‘ද අන්ෆේත්ෆුල් වයිෆ්’ නැවත තිර නාටකය ලිවීමට භාර කළේ ‘ඇල්වින් සාර්ජන්ට්’ හා ‘විලියම් බ්‍රොයිලස් ජූනියර්’ ටය. ‘ඇල්වින් සාර්ජන්ට් ‘ යන නම සිහියට එනවිට මතක් වන්නේ ‘ස්පයිඩර් මෑන්’, (2002) ‘ස්පයිඩර් මෑන් 2’,(2004) ‘ස්පයිඩර් මෑන් 3′(2007) හා ‘ද ඇමේසින් ස්පයිඩර් මෑන්’ (2012)ය. එලෙසම මයිකල් කේන් රඟපෑ ‘ගැම්බිට්’,(1966) ග්‍රෙගරි පැක් රඟපෑ ‘ද ස්ටොකින්ග් මූන්’ (1968), රයන් ඕ නීල් රඟපෑ ‘පේපර් නූන්’, (1972), ජේන් ෆොන්ඩා රඟපෑ ‘ජූලියා’ (1977) ඩොනල්ඩ් සදර්ලෑන්ඩ් රඟපෑ ‘ඕඩිනරි පීපල්’ (1980) යන චිත්‍රපටයන් ය. ඒ ඔහු විසින් තිර නාටකය ලියූ චිත්‍රපට නිසාය.

එලෙසම ‘විලියමි බ්‍රොයිල් ජූනියර් ‘යගේ නම සිහිපත් වනුයේ , ටොම් හෑන්ක්ස් රඟපෑ ‘ඇපලෝ 13’ (1995), හා ‘කාස්ට් අවේ (2000), මාර්ක් වැල්බර්ග් රඟපෑ ‘ප්ලැනට් ඔෆ් ද ඒප්ස්'(2001 – රී මේක්), චිත්‍රපටයන් ය.

ඔවුන් දෙදෙනා එක්ව මෙම ප්‍රංශ චිත්‍රපටය වූ ‘ලා ෆෙමි ඉන්ෆිඩෙලි’ චිත්‍රපටය නැතහොත් එය ඉංග්‍රිසියට හැර වූ පසු ‘ද අන් ෆේත්ෆුල් වයිෆ්’ නැවත ලියා එයට නම් තැබුවේ ‘අන්ෆේත්ෆුල්’ කියාය.

මෙහි ප්‍රධාන ලෙස චරිත 4 ක් විය. ඒ එඩවඩ් සම්නර්, කොන්ස්ටන්ස් (කොනී) සම්නර්, යන අඹු සැමි යුවළ, ඔවුන්ගේ කුඩා පුත්‍රයා චාලි සම්නර් හා ඔවුන් අතරට පිටතින් එක්වන ප්‍රංශ තරුණයා වූයේ පෝල් මාර්ටල් ය.

ඒඩ්‍රියන් ලීන් මෙම හතරදෙනාට පිළිවළින් තෝරා ගත්තේ ‘රිචඩ් ගියර්’ , ‘ඩ්යානේ ලානේ’, ‘එරික් පේර් සුලිවාන්’, සහ ‘ඔලිවර් මාර්ටිනස්’ ය.

ඇමරිකාවේ පෙන්සිල්වානියා ප්‍රාන්තයේ පිලඩෙල්පියා හී 1949 වසරේ අගෝ 31 වන දින ඉපදුනු ‘රිචඩ් ටිෆානි ගියර්’ හෙවත් ‘රිචඩ් ගියර්’, ඇමරිකානු සිනමාවේ රඟපෑමට එකතු වී ඇත්තේ 1975 වසරේ තිර ගත කළ මිල්ටන් කැට්සීලස් අධ්‍යක්ෂණය කළ ‘රිපෝට් ටු ද කමිෂනර්’ චිත්‍රපටයෙනි. ඔහු එහී ‘බිලී’ නම් සහය චරිතයක් රඟපා ඇත. ‘බේබි බ්ලූ මැරීන් (1976), ‘ලුකින් ෆො මිස්ටර් ගුඩ්බාර්’,(1977), යන චිත්‍රපටවල සහය චරිත රඟපෑ රිචඩ් ගියර්, 1978 වසරේ තිරගත කළ ,රොබට් මුලිගන්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘බ්ලඩ් බ්‍රදර්ස්’ චිත්‍රපටයේ ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයක් රඟපෑවේය.

එතැන් සිට මෙම ලිපියට පාත්‍ර වන ‘අන්- ෆේත් ෆුල් ‘චිත්‍රපටයේ රඟපාන තෙක් ඔහු චිත්‍රපට 26 ක පමණ රඟපෑවේය. ඒවා නම් ‘ ඩේ ඔෆ් හෙවන්’, ‘යෑන්ක්ස්’, ‘ඇමරිකන් ජිගොලෝ, ‘ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන්’ ‘ද හොනරි කොන්සල්’, ‘බ්‍රීත්ලස්’, ‘ද කොටන් ක්ලබ්’, ‘කිංග් ඩේවිඩ්’, ‘නෝ මර්සි’, ‘පවර්’, ‘මයිල්ස් ෆ්‍රොම් හෝම්’, ‘ඉන්ටර්නල් අෆෙයාර්ස්’, ‘ප්‍රිටි වුමන්’, ‘රැප්සොඩි ඉන් ඕගස්ට්’, ‘ෆයිනල් ඇනැලිසිස්’, ‘මිස්ටර් ජෝන්ස්’, ‘ ‘සොමර්ස්බයි’, ‘ඉන්ටර්සෙක්ෂන්’, ‘ෆර්ස්ට් නයිට්’,’ ප්‍රිමල් ෆියර්’, ‘ද ජැකල්’, ‘රෙඩ් කෝනර්’, ‘රනර්වේ බ්‍රයිඩ්’, ‘ඩොක්ටර් ටී ඇන්ඩ් ද වුමන්’, ‘ඕටම් ඉන් නිව්යෝක්’, සහ ‘ද මොත්මන් ප්‍රොපෙසීස්’ ය. ‘අන්ෆේත්ෆුල්’ වලට පසු ඔහු ‘චිකාගෝ’, ‘ෂැල් වී ඩාන්ස්’, ‘බී සීසන්’, ”ද හොක්ස්’, ‘ද හන්ටින් පාටි’, ‘අයැම් නොට් දෙයාර්’, ‘ද ෆ්ලොක්’, ‘නයිට්ස් ඉන් රොඩන්ත්’, ‘අමේලියා’, ‘ ‘හචී, අ ඩෝග්ස් ටේල්’,’ ‘බෲක් ලීන්ස් ෆයිනස්ට්’, ‘ ද ඩබල්’, ‘ආර්බිට්‍රේජ්’, ‘මූවි 43’, ‘හෙන්රි ඇන්ඩ් මී’, ‘ටයිම් අවුට් ඔෆ් මයින්ඩ්’, ‘ ද සෙකන්ඩ් බෙස්ට් එක්සොටික් මෙරිගෝල්ඩ් හොටෙල්’, ‘ද බෙනිෆැක්ටර්’, ‘නෝර්මන්’, ‘ද ඩිනර්’, ‘ ත්‍රී ක්‍රයිස්ට්ස්’, ‘ මේ බී අයි ඩූ’, ‘ලෝන්ගින්ග්’, යන චිත්‍රපටවල 2023 වසරේ වන තෙක් රඟපාන අතර, 2024 එනම් මෙම වසරේ තිරගත කිරීම සඳහා ඔහු ‘ඕ කැනඩා’ නම් චිත්‍රපටයක රඟපාමින් සිටී.

රිචඩ් ගියර් ‘ෆයිනල් ඇනලයිසීස්’, ‘මිස්ටර් ජෝන්ස්’, ‘සොමර්ස්බයි’, යන චිත්‍රපටවල රඟපෑමට අමතරව විධායක නිෂ්පාදකයෙකු වූ අතර, ‘හචි අ ඩෝග්’ස් ටේල්’, හා ‘ටයිම් අවුට් ඔෆ් මයින්ඩ්’ යන චිත්‍රපටවල සම නිෂ්පාදක වී ඇත. ඔහු 1983 වසරේ පැවතී ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලෙදී , ‘ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන්’ චිත්‍රපටයේ රඟපෑම සඳහා හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගතී. ඔහු තවම ඇකඩමි සම්මාන ලාභියෙක් හෝ අවම තරමේ නිර්දේශ වී හෝ නැත.

කොනී සම්නර් ගේ චරිතය රඟපෑ ‘ඩියානෙ ලානේ’ ද ඇමරිකානු නිළියකි. ඇයට මෙහී රඟපෑමට සිදුවූයේ, ආදරයත්, ශෘංගාරයත් අතර අතරමං වුණු චරිතයකි. එලෙසම ඇයගේ ආශාවන් නිසා, මුළු පවුලම විනාශ වී ගිය චරිතයකි ඇයට රඟපෑමට සිදු වූයේ. එය මතුපිටින් සැහැල්ලු ලෙස පෙනුණද, ඇතුළාන්තය ගිනි ජාලාවකි.

චිත්‍රපටයේ අභියෝගාත්මක චරිතය තිබුණේ ඇයටය. ඇය තම චරිතය නිසි ලෙස අවබෝධ කර ගෙන තිබුණි.

1965 ජනවාරි 22 වන දින ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉපදුණු ඇය, හොලිවුඩ් සිනමාවට අවතීර්ණ වී තිබුණේ 1979 වසෙර්ය. ඒ වන විට ඇයට වයස අවුරුදු 14 ක් පමණව තිබුණි. චිත්‍රපටය වූයේ ජෝර්ජ් රෝයි හිල් අධ්‍යක්ෂණය කළ ‘අ ලිට්ල් රොමැන්ස්’ චිත්‍රපටයෙන්ය. ඇයට එහී රඟපාන්නට සිදුවූයේ ලෝකයේ දැවැන්ත නළුවෙකු වූ ⁣’ලෝරන්ස් ඔලිවර් ‘ සමඟය.

ඉන්පසු ඇය වෝල්ටර් හිල් අධ්‍යක්ෂණය කළ ‘ස්ට්‍රීට් ඔෆ් ෆයර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවාය. ඒ වර්ෂ 1984 දීය. එය අසාර්ථක චිත්‍රපටයක් වූ හෙයින් ඇයව වැඩි අවධානයට ලක් වූයේ නැත. 1987 වර්ෂයේදී ඇය ‘ද බිග් ටවුන්’ හා ‘ලේඩි බිවෙයාර්’ යන චිත්‍රපට වල රඟපෑවද ඒවා තුළින්ද ඇය කැපී පෙනුණේ නැත. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ගියේ රූපවාහිනි කථා මාලාවක් වූ ‘ලෝන්සම් ඩෝව්’ ටෙලි කථා මාලාවෙනි. එහී ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ රොබට් ඩුවාල් ය. එහි ඇය සමඟ ටොමි ලී ජෝන්ස්, ඩැනි ග්ලෝවර්, සහ ඇන්ජලිකා හස්ටන් ද රඟපෑහ. ඇය 1999 වර්ෂයේ රඟපෑ ටෝනි ගෝල්ඩ්වින් අධ්‍යක්ෂණය කළ ‘අ වෝක් ඔන් ද මූන්’ චිත්‍රපටයේ චරිතයට මුල්ම සම්මානය හිමි කර ගතී. ඒ ඉන්ඩිපෙන්ඩන්ට් ස්පිරිට් සම්මානයයි. ඉන්පසු ඇය ප්‍රධාන චරිත රඟපෑ ජේ රසල් අධ්‍යක්ෂණය කළ, ‘මයි ඩෝග් ස්කිප්’ (2000) වොල්ෆ්ගැන්ග් පීටර්සන් අධ්‍යක්ෂණය කළ ‘ද පර්ෆෙක්ට් ස්ටෝර්ම්’ (2000), ඩැනියල් සැක්හෙයිම් අධ්‍යක්ෂණය කළ ‘ද ග්ලාස් හවුස් (2001), බ්‍රයන් රොබින්ස් අධ්‍යක්ෂණය කළ ‘හාර්ඩ් බෝල් (2001) විත්‍රපට තුළින් ඇය ප්‍රවීණ නිළියකගේ තත්වයට පත්විය. ඉන් පසුය ඇයට ඒඩ්‍රියන් ලීන්ගේ ‘අන්ෆේත්ෆුල්’ චිත්‍රපටයේ කොනී සම්නර් ගේ චරිතය රඟපෑමට ලැබු⁣⁣ණේ. එය ඇයව හොඳම නිළිය සඳහා ඇමරිකන් ඇකඩමි සම්මාන නිර්⁣දේශය තෙක් රැගෙන ගියාය. ඉන්පසු ඇය ‘අන්ඩර් ද ටස්කන් සන්'(2003), ‘මස්ට් ලව් ඩෝග්ස්(2005),

‘නයිට්ස් ඉන් රොඩාන්තේ’-(2008), ‘ෆියර්ස් පීපල්'(2005), ‘හොලිවුඩ්ලෑන්ඩ්’ (2006),සහ ‘අන්ට්‍රේස්බල්’-(2008) වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑවාය. ඇය මෑතකදී එනම් 2020 වසරේ නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක් වූ ‘අ මෑන් ඉන් ෆුල්’, හී රඟපෑ අතර, ජැන් කොමාසා අධ්‍යක්ෂණය කළ ‘ඇනවසරි’ චිත්‍රපටය 2024 හෝ 2025 වසරේ තිරගත වීමට නියමිතය.

‘අන්-ෆේත්ෆුල්’ හී අනෙක් ප්‍රධාන එමෙන්ම ආකර්ෂණීය චරිතය වූයේ තරුණ පෝල් මාර්ටල් ය. එය රඟපෑවේ ප්‍රංශ නළුවෙකු වූ ‘ඔලිවියර් මාර්ටිනස්’ ය. 1966 ජනවාරි 12 වන දින ප්‍රංශයේ පැරිස් නගරයේ ඉපදුණු ඔහු ප්‍රංශ සිනමාවට නළුවෙකු ලෙස ඇතුල් වූයේ ‘ප්ලෙයින් ෆර්’ නම් චිත්‍රපටයෙනි. එතැන් සිට ඔහු වසර 2000 වන තෙක් ප්‍රංශ හා ස්පැනිශ් චිත්‍රප⁣ට 11 ක රඟපෑ තිබුණි. වසර 2000 දී ඔහු ගෙ ප්‍රථම ඉංග්‍රීසි චිත්‍රපටය වූ ‘බිෆෝ නයිට් ෆෝල්ස්’හී රඟපෑවේය. එය ජූලියන් ශෙනබල් ගේ අධ්‍යක්ෂණයක් විය. එම චිත්‍රපටයේ ඔහු සමඟ ජොනි ඩෙප් යන නළුවාද රඟපෑවේය. රූනේ බෙන්ඩික්සන් අධ්‍යක්ෂණය කළ ‘බුල් ෆයිටර්’ ඔහුගේ අනෙක් ඉංග්‍රිසි චිත්‍රපටය විය. එය වසර 2000 දී තිරගත වූ ක්‍රියාදාම චිත්‍රපටය විය. 2002 වසරේ ‘සෙමානා සාන්ටා’ නමි වූ ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑවට පසුවය, ඔහු ඒඩ්‍රියන් ලීන් ගේ ‘අන්ෆේත්ෆුල්’ චිත්‍රපටයට සම්බන්ධ වූයේ. ඉන්පසු ඔහු දිගටම ඉංග්‍රිසි චිත්‍රපට වල රඟපෑවේය. ඒවනම් ඉ.එ.ඒ.ඊ. (2003), ටේකින් ලිව්ස් (2004), ‘බ්ලඩ් ඇන්ඩ් චොක්ලට්'(2007) ‘නයිට් ඇන්ඩ් ඩේ’ (2010), ‘ඩාර්ක් ටයිඩ්’ (2012), ‘ද පිසිෂන්'(2013), ‘පෝල් ඇපෝස්ටල්ඔෆ් ක්‍රයිස්ට් (2018) සහ ‘මොස්කිටෝ ස්ටේට්’ය. ඔහු ප්‍රංශයේ ප්‍රධාන සම්මාන උලෙළක් වූ ‘සෙසර් සම්මාන’ උළෙලේදී 1993 වසරේ හොඳම නවක නළුවා සම්මානය සඳහා නිර්දේශ වූ අතර, 1994 පැවැත්වූ ‘සෙසර් සම්මාන’ උළෙලෙ හොඳම නවක නළුවාට හිමි සම්මානය දිනා ගතී.

‘අන් ෆේත්ෆුල්’ චිත්‍රපටය සඳහා ඇස්තිමේන්තු ව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 50 කී. එය උතුරු ඇමරිකාවෙ තිරගත කිරීමෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 52 කක් වූ අතර, ලොව වටා ප්‍රදර්ශනයේදී ඇමරිකානු ඩොලර් මිලියන 119.1 ලබා ගති.

කථාව ගලා යන්නේ එඩ්වඩ් සම්නර්, කොනී සම්නර් හා ඔවුනගේ 8 හැවිරිදි පුත්‍රයා වූ චාලි සම්නර් වටාය. ඔවුන් නිව්යෝර්ක් හී වෙස්ට්චෙස්ටර් ප්‍රාන්තයේ ඉහළ මට්ටම ජීවත් වේ. ඔවුන්ගේ විවාහය ආදරණීය නමුත් එකාකාරි විය. එහෙත් ඔවුනොවුන් එයට තෘප්තිමත් බව එකිනෙකාට ඇඟවීය. නමුත් මුල සිටම අවධානයෙන්ම බැලුවහොත් ඔවුනතරේ විශාල තෘප්තිමත් බවක් දක්නට නොලැබිණ. විශේෂයෙන් ලිංගීක සම්බන්ධතාවය අරභයා.

එඩ්වඩ් කොනීට වඩා වැඩිමහල් විය. කොනී අතීශයින්ම රූමත්, තාරුණ්‍යයේ උච්චතම කාලයේ සිටින්නියකි. ලිංගීක ආතතියකින් ඇය සිටියද, ඇය ඒවා සඟවා ගෙන සිටියාය. ඒ් ‘පෝල් මාර්ටල්’ නම් වූ අතීශය හැඩකාර ප්‍රංශ තරුණයා මුණ ගැසෙන තෙක්,ය. එතෙක් ඇයට තම පවුල් ජීවිතය ගෙනයාම⁣ට බාධාවක් තිබුණේ නැත. එහෙයින් අප තිරයේ දකින්නේ එඩ්වඩ්, කොනී හා ඔවුන්ගේ කුඩා පුත් ඉතාමත් සොඳුරු කැඳැල්ලක් තුළ සුන්දර වූ ජීවිතයක් ගෙන යන බවය.

කොනීගේ ‘සොහෝ’ වල ගිය සාප්පු සවාරිය මේ සියල්ල වෙනස් කළේය. හදිසියේ ඇතිවූ දරුණු සුළි සුළඟ මෙයට සම්පූර්ණ වග කිව යුතුය. කොනී සාප්පුවක් තුළ සිට එළියට එන විටය , සුළඟට ඇය හසුවූයේ. ඇය ටැක්සි කීපයක්ම නතර කරන්නට උත්සහා ගත්තද කිසිම ටැක්සියක් මෙම සුළඟ නිසා නතර කිරීමට කැමති වූයේ නැත. ඒ අතරේම ඇය කිසියම් කෙනෙකුගෙ ඇඟේ හැප්පුණි. ඒ තරුණයෙකුගේය. එම තරුණයා විශාල පොත් තොගයක් උසුලා යන විටය ඔවුන් දෙදෙනා හැප්පුණේ. දෙදෙනාම බිම වැටුණි. ඇය ඔහුගේ ඇඟ මතය. එම වැටීම නිසා ඇයගේ දණ හිස සීරී ලේ ගලන්නට විය. ඔහු තම පොත් ටිකද අසුලා ගෙන ඇයට කිවේ මෙම බිල්ඩිමෙිම උඩ තට්ටුවේ තමා නැවතී සිටින නිවස තිබෙන බවත්, එහී ගියහොත් ඔහු ට එම තුවාලයට බෙහෙත් දමා පැලැස්තර ඇලවිය හැකි අතර,උණුසුම් කෝපි කෝප්පයක් බීමටද හැකි බවකි.

තුවාලය එතරම් දරුණු නැතත් එය යන්තමක සීරීමක් වුවත්, මේ හුරුබුහුටි කෙළිලොල් තරුණයාගේ ඉල්ලීම ඇයට එක්වරම ඉවත දැමීමට හිත දුන්නේ නැත. ඇය මේ නන්නාදුනන තරුණයා සමඟ යන්නට විය. ඔහු ඇයට උණුසුම් කෝපි කෝප්පයක් හදා දී ඇයගේ කකුලේ සීරිමට බෙහෙත් දමා, පැලැස්තර ඇලවීය. ඒ අලවන අතරේ ඔහු තම අත ඇයගේ අත මත තැබීය. තප්පර කීපයක් තම තමන්ගේ අත් ගැටී තිබුණද ඇය වහා තම අත ගත්තාය. ඇය ඔහුට ස්තූති කර යන්නට සැරසුණු අතර ඔහු ඇයට පොතක් දුනී. ඒ වන විට එතෙක් කල් ඇයගේ සිරුර තුළ සැඟවී සිටි ඇයගේ අතෘප්තිමත් ආශාවන් එළියට එන්නට දගලන්නට විය. ඇය වහා එතැනින් පිට වුණි. ඒ වන විට සුළඟද අඩුවී තිබුණි. ඒ කෙසේ වෙතත් ඇය පිටව ගියේ ඔහු දුන් පොතද අතැතිවය.

නිවසට ගිය ඇය පොත පෙරලා බැලුවේ නිකමට වාගේය. ඔහු ඉතාමත් සූක්ෂම ලෙස ඔහුගේ දුරකථන නොම්මරය එහී ලියා තිබුණි. එහෙත් එම සිදුවීම ඇය අමතක කිරීමට උත්සහා ගත්තාය… ඇය එය අමතක කළේ නැත. උත්සහා කළා පමණි.

තම සැමියා සමඟ යහනේ සිටින විටද ඇයට මැවී පෙනුනේ අහඹු ලෙස හමුවූ කඩවසම් තරුණයාගේ තාරුණ්‍යයෙන් පෙරෙන කෙළිලොල් මුහුණය. එහී සිටි පැයක පමණ වේලාවක් තුළ ඔහු ඇයව වෙනස්ම ලොවකට ගෙන ගියා නොවේදැයි ඇයට සිතුණි.

චිත්‍රපටය තුළදී අපට බොහෝ විට හැඟෙන්නේ ඇයගේ සැමියා ලිංගීක අක්‍රිය බවක් නොව, ලිංගීක මන්දෝත්සාහී බවකින් පෙළෙන බවක්ය. එයද නැවත අර තරුණයා සොයා යෑමට ඇයව පොලඹවන්නට ඇත.

දින කීපයක් ඇය තම සිත සමඟ සටන් කෙරුවද, ඇයගේ සටනට වඩා සිත ප්‍රබල විය. එහෙයින් ඇය නිකමට මෙන් ඔහු දුන් නොම්මරයට කථා කළාය. එහෙත් එම අවස්ථාවේ ඔහු නිවසේ සිටියේ නැත. ටෙලිෆෝනයේ ස්වංක්‍රීය මැෂිමේ හඬ කිවේ ඇයට පණිවිඩයක් තබන ලෙසටය. එහෙත් ඇය පණිවිඩයක් තිබ්බේ නැත.

නමුත් වෙනත් දිනයක ඇය ඔහු සොයා එම නිවසට ගියාය. ඇය කීවේ ඇය මේ පැත්තට වැඩකට පැමිණි නිසා ඔහුව බැලීමට පැමිණි බවකි. නමුත් ප්‍රේක්ෂකයා පමණක් නොව, ඔහුද ඇය මේ පැමිණියේ උවමනාවෙන්ම සැලසුම් කර ගෙන බව දැන ගෙන හමාරය.

සියල්ල එතනින් පසු වෙනස් විය. ඇය ඔහුගේ ‘සෙක්ස් ස්ලේවර්’ කෙනෙක් බවට පත් විය. ඒ තාරුණ්‍ය දෙන වේගාකාරි ලිංගීක ක්‍රියාවලියට ඇය ලොල් විය. මෙතෙක් කල් ඇය සිර කරගෙන සිටි ඇයගේ අතෘප්තිමත් ආශාවෝ සියල්ලම ඇය ඔහු මත මුදා හැරියාය.

එතැන් සිට ඇය ගින්දර සමඟ සෙල්ලම් කළාය. ඇයට ඒ වේගවත් ලිංගීක ක්‍රියාවලිය නැතිවම බැරි විය. ඇය තම පවුලේ කටයුතුත්, ඇය කරමින් සිටි නිදහස් රැකියාවත් අතපසු කරමින් සතියකට දෙතුන් වතාවක් ඔහුව සොයා ගොස් මේ වේගවත් ලිංගීක ක්‍රියාවලියේ ඇලී ගැලී සිටියාය. ඔහුට නම් ඇය තවත් එක් ගැහැනියක් පමණි. නමුත් ඇයට ඔහු තම මුළු ජීවිතය බවට පත් විය.

ඒඩ්‍රියන් ලීන් ගේ බොහෝ චිත්‍රපට වල ඔහු මේ නිරුවත හා ක්‍රියාකාරි වේගවත් රමණයට චිත්‍රපටයේදී බොහෝ ඉඩ කඩ වෙන් කරයි. එය ‘ෆේටල් ඇට්‍රැක්ෂන්’ ⁣’ලොලිටා'( රී මේක්) හා ‘ ද ඉන්ඩීසන්ට් ප්‍රොපසල්’ යන චිත්‍රපටවලින් මනා ලෙස පිළිඹිබු වෙයි. එයට ඔහු තෝරා ගත් නිළියන් වූ ‘ග්ලෙන් ග්ලෝස්'( ෆේටල් ඇට්‍රැක්ෂන්) ‘ඩොමිනික් ස්වෙයින්’, (ලොලිටා), සහ ‘ඩෙමි මුවර්'( ද ඉන්ඩීසන්ට් ප්‍රොපෝසල්), එකී නිරුවත හා ඒ අතී ධාවන රමණය නොපැකිළිව ඉදිරිපත් කරන්නට විය. ‘අන්ෆේත්ෆුල් ‘ චිත්‍රපටයේ ද ‘ඩියානේ ලානේ’ ද කිසිදු පැකිළීමක් නැතිව ඒ නිරුවත හා වේගවත් රමණය ඒඩ්‍රියන් ලීන්ට අවශ්‍ය අන්දමටම ඉදිරිපත් කරන්නට විය. එය රංගනයක් ය, මේ නිරුවත හා රමණය රංගනයේ කොටසක්ය යන්න ඔවුන් දැන සිටියහ.එහෙයින් ඔවුන් තම රංගනය හැකි උසස් අයුරින් ඉදිරිපත් කිරීම නිසාම ඔවුන් ඇකඩමි සම්මානයට හා නිර්දේශයන්ටද පාත්‍රවිය.

කොනී ගේ දිනෙන් දින සිදුවන අතපසු වීම්, හා ඇගේ දින චාරියාවෙ වෙනසත් එමෙන්ම නිදි යහනේ තමා ඉදිරියේ ඇය දක්වන මන්දෝත්සාහී බව ඇයගේ සැමියා වූ එඩ්වඩ් ට වැටහුණිද, ඔහු, ඔහුගේ කාර්යාල සඟයෙකුට ඇයව සොහෝ නගරයේ හමුවූ බවක් කියන තෙක් ඇයව අවිශ්වාස නොකළේය. එහෙත් තම කාර්යාල සඟයා ඇයව මුණ ගැසුණු බවක් කී දිනයේ ඇය ඔහුට පවසා තිබු⁣නේ ඇය රූපලාවණ්‍යාගාරයට යන බව කි. ඔහු ඇයගෙන් එදින ගත කළේ කෙහේදැයි ඇසුවද ඇය කීවේ රූපලාවණ්‍යාගාරයේ සිටිය බවකි. ඇයට නොදැනී ඇය ගිය රූපලාවණ්‍ය ගාරයට ඔහු දුරකථන ඇමතුමක් ගත්තද, ඔවුන් කීවේ එදිනවත් ඉන් පසුවවත් ඇය රූපලාවණ්‍යගාරයට නොපැමිණි බවය. ඔහුගේ සිතේ ඇය ගැන සැකයේ බීජය දලුලන්නට වූයේ ඉන්පසුවය.

ඔහු පුද්ගලීන රහස් පරික්ෂක වරයෙකුගේ සේවය ලබා ගත්තේ ය. රහස් පරික්ෂක වරයා සියලු විස්තර පමණක් නොව කොනී හා තරුණයා වූ පෝල් සමඟ එකට සිටින ඡායාරූප පවා රැගෙන ගෙනවිත් දුනී. එඩ්වඩ් ගේ සැකය දැන් තහවරු විය. තවත් ඔප්පු කිරීමට දෙයක් නොමැති විය.

එඩ්වඩ් කොනීට නොදැනී පෝල් ව සොයා ගියේය. පෝල් ඔහුව තම නිවසට ගෙන ගියේ ඔහු කොනීගේ සැමියා යයි කී පසුව⁣ය. පෝල් ට නම් කොනීව අත් හැරීම එතරම් ප්‍රශ්නයක් නොවීය. ඒ, ඔහුට ඒ වන විටත් තවත් රූමත් යුවතියන් කීප දෙනෙක්ම සිටි නිසාය. නමුත් කොනී මේ තරුණයාට ආදරය කිරීම ගැන එඩ්වඩ් ට තිබුණේ මේ තරුණයා ගැන ඊරිසියාව ත්, තමා ගැන පසු තැවීමත්ය. එහෙයින් එඩ්වඩ් පෝල්ව මරා දැමීය. පසුව ඔහු ම්නිය කාපට් එකකින් ඔතා පහළට ගෙනවිත් තම වාහනයේ ඩිකියේ දමා එය රැගෙන ගොස් කුණු දමන තැනකට දැම්මේ, එම කුණු බැකෝ යන්ත්‍රයක් මඟින් අදින නිසා මෙම ඔතා ඇති මිනියද බැකෝ යන්ත්‍රය මගින් කුණුත් සමඟ එකතු වී යනු ඇතැයි සිතාය. ඉන් පසු ඔහු කෙළින්ම නිවසට පැමිණ කොනී සමග සාමාන්‍ය අන්දමට සිටියේ මේ කිසිවක් නොසිදුවූ ආකාරයෙනි.

දින කීපයකට පසු රහස් පරීක්ෂකයන් දෙදෙනෙක් කොනි හා එඩ්වඩ්ගේ නිවසට පැමිණ කීවේ පෝල්ගේ සහෝදරියක් පැමිණ පෝල් අතුරුදහන් වී ඇති බවක් පොලිසියට දැන්වූ බවත්, ඔහුගේ ටෙලිපෝන් ඩයරියේ තිබූ කොනීගේ නොම්මරය නිසා ඒ ඔස්සේ මෙතනට පැමිණි බවත් ඔහුගේ අතුරුදහන් වීම ගැන කුමක් හෝ දෙයක් කොනී දන්නේදැයි විමසීය. එහෙත් ඇය කී⁣වේ වරක් හෝ දෙකක් ඇය ඔහුව හමුවීමට ගියේ පොත් වගයක් ගැනීමට බවත් ඉන් අනතුරුව ඔහු සමඟ සම්බන්ධ කමක් නොමැති බවකී. රහස් පරික්ෂකයන් එම කථාව පිළිගෙන ආපසු හැරී ගියහ.

මේ අතර, දිනෙක එඩ්වඩ් නැති අතරේ ඔහුගේ ලිපි ගොනු අතරේ තිබී කොනී හා පෝල් එකට සිටින ඡායාරූප කීපයක් ඇයට හසුවිය. එතැනින් පසු බොහෝ දේවල් ඇයට අවබෝධ විය. ඒ අතරේ පොලිසිය විසින් කුණු ගොඩේ තිබී පෝල්ගේ මළ මිනිය සොයා ගෙන තිබුණි.

පෝල් මරා දමා ඇත්තේ තම සැමියා බව ඇයට වැටහුණි. ඇය සැමියාට කිවේ මේ සිටින ගෙය විකුණා වෙන රටකට ගොස් සියල්ල අමතක කර ⁣අලුත්ම ජීවිතයක් ගත කරමු කියාය. එහෙත් ඒ වන විට රහස් පරීක්ෂකයෝ මෙය කොනී හෝ එඩ්වඩ් අතින් සිදුවී ඇති බවක් අනුමාන කළහ.

කොනී මේ දේපළ විකුණා පිටරටකට ගොස් අලුත් ජීවිතයක් ගත කරන්නට සිහින මැව්වද, ඒවා සිහින පමණක් බව දැනගත් එඩ්වඩ්, මෙම මිනිමැරුම තමා අතින් සිදුවූ බව කියා පොලිසියට ගොස් පාපොච්චාරනය කිරීමට තීරණය කළේය. ‘අන්ෆේත්ෆුල්’ චිත්‍රපටය අවසන් වන්නේ ඒ අයුරිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT