නිවස සංවාද මෙයා නම් නපුරු බිසවක්ම තමයි රවී අයියා කිව්වා

මෙයා නම් නපුරු බිසවක්ම තමයි රවී අයියා කිව්වා

- ප්‍රකට රංගන ශිල්පිනී රමණි සිරිවර්ධන

by Test User
March 7, 2024 12:30 am 0 comment

දශක ගණනාවක සිටම ඇ රංගන කලාවේ නිරත වන්නීය. ඒ එදා මෙන්ම අදත් තම ජනප්‍රියත්වය එලෙසම රඳවා තබා ගනිමින් එය පවත්වාගෙන යමින් කලාවේ රැඳී රැඳී සිටිමිනි. සිනමාව, වේදිකාව ටෙලි නාට්‍ය කලාව යන සෑම මාධ්‍යයක්ම ඇය ජයගෙන හමාරය. දොඩම්ගොඩ බදා ගන්නාක් මෙන් සියල්ල බදාගෙන දුවන්නන් වාලේ දිවයෑම එදත් අදත් ඇයගේ කලා දිවියේ සිරිත නොවීමද සුවිශේෂී වන්නේය. කලාකරුවෙකුට නිදහස අත්‍යවශ්‍ය වේ ඒ නිදහස උපරිම ලෙස භුක්ති විදිමින් ඉතාම සැහැල්ලු නිදහස් පරිසර හිතකාමී අයෙකු ලෙසින් ජීවිතයද කලාව ද ඇය විඳීන්නීය. එනිසාම රඟපෑමේදී ඕනෑම චරිතයකට උපරිම අයුරින් සාධාරණය ඉටුකරමින් ඇය මෙරට ප්‍රේක්ෂකයින්ගේ මතකයේ සදා නොමැකෙන චරිත රැසක්ම නිර්මාණය කිරීමට සමත්වූවාය. එමෙන්ම ඇය කලාකාරිනියක් ලෙස මෙන්ම පුරවැසියෙක් ලෙසද උතුම් මිනිස්කම පෙරදැරි කරගනිමින් රටට සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් පවා නොපිරිහෙලා ඉටු කිරීමටද ප්‍රමුඛ වී ඇත. විවිධ සංවිධාන රැසකම ඇ සාමාජික හා නිලධාරිනියක් ලෙසින් සමාජ සත්කාරක වැඩසටහන්වලටද ක්‍රියාකාරීව දායක වෙමිනි. මේ දිනවල ඇය අපේ ආලින්දයට ගොඩ වන්නීය. තාරුණ්‍යයේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය වන දෙරණ නාලිකාවේ රාත්‍රී අටයි තිහට (රාත්‍රී 8.30) යන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ටෙක්ලා නම් මවකගේ චරිතය තුළින් හා රාත්‍රී දාහයට (10.00) ස්වර්ණවාහිනියෙන් යන සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයේ එවන් මවකගේ චරිතයකට සැබෑ ලෙසම පණ පොවන්නීය. කලකට පසුව ඇයගේ අලුත්ම තොරතුරු සමඟින් මෙවර අපේ කතා බහට මුලපුරන්නේ ජ්‍යෙෂ්ඨ රංගන කලාවේදනී රමණී සිරිවර්ධනයි.

මුලින්ම අපිට කියන්නකෝ දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනවද කියලා?

මං හිතන්නේ වසර හතළිහකටත් (40) වැඩියි.

ප්‍රථම රංගනය ගැනත් කියමු?

ඔව් ඩියර් මම මුලින්ම රඟපෑමට එන්නේ එක්දහස් නවසිය අසූ දෙක (1982) වසරේදී “ඇය වැරදිද ඔබ කියන්න” කියන චිත්‍රපටය නිෂ්පාදනය කළේ නිමල් විරක්කොඩි එය අධ්‍යක්ෂණය කලේ විල්ෆ්‍රඩ් සිල්වා.

ඊට පස්සේ,

පෙරළිකාරයෝ, ඔබට දිවුරා කියන්නම්, ජය පිට ජය, උලත් එකයි පිලත් එකයි, සුවඳ දැනී, මංගල තෑග්ග මේ මෑතකදී “පත්තිනි” යන චිත්‍රපටයත් එක්ක චිත්‍රපට රැසකම වාගේ මම රඟපෑවා.

මං හිතන්නෙ එහෙම වුණාට මම වැඩියෙන්ම රඟපෑවේ ටෙලි නිර්මාණවල තමා.

වැඩියෙන්ම රංගනයෙන් දායක වුණේ ටෙලි නිර්මණ වලින් කිව්වොත් මම හරි නේද මේ වෙනකොට ටෙලි නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවාද?

සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මම ටෙලි නාට්‍ය පන්සීයකට (500) වඩා වැඩියෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මං ප්‍රථමයෙන්ම රගපෑවේ චාරුලතා කියන ටෙලි නාට්‍යයේ විජය ධර්මශ්‍රීගේ තමයි ඒ ටෙලිනාට්‍යය

එතකොට චිත්‍රපට කීයක විතර රඟපෑවද?

චිත්‍රපට තිස් පහක වගේ තමයි මං රඟපෑවේ (35) මෑතකදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ) පත්තිනි චිත්‍රපටයේ රඟපෑම විශේෂයි එ ගැනත් නැවතත් මතක් කරනවා.

වේදිකා නාට්‍ය වලට ඔබේ

දායකත්වය කොහොමද?

රොසැලෙන් ඩයස්ගේ “ටෝම්ස්ටෝයි”, දඟමල්ල නාලක ස්වර්ණතිලකගේ ස්ටේජ් ඩ්‍රාමා (වේදිකා නාට්‍යයෙන්) දඟමල්ල කියන ටෙලිනාට්‍යයෙත් යන දෙකේම මම රඟපෑවා.

ඔබ විදෙස් ගතවෙලත් හිටියා නේද?

ඔව්, මම විටින් විට මේ නිර්මාණ වලට දායක වෙලා ඒවායේ රඟපෑමේ වැඩවලට අවහිරයක් නොවන ලෙස විදෙස් ගත වුණා.නිදහස්ව යම් විවේකයක් ගන්න හිතාන ඒ අනුව මං එංගලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවලට තමා ගියේ. හැබැයි පදිංචියට නම් නොවේ.

නැවතත් ළඟදි විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ම්ම්ම්…. ළඟදි ඕස්ට්‍රේලියාවේ ගිහින් එන්න යනවා.

මෙතෙක් ඔබ රඟපෑ නිර්මාණවල ඔබේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණේ?

ඒවා අතරින් මම හරිම කැමති “පත්තිනි”කියන චිත්‍රපටයට ඒකේ මම හරිම කැමැත්තෙන් රඟපෑවා. විශේෂයෙන්ම පත්තිනි එකේ බිසව අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න) මට කිව්වා නංගි මේක බය නැතුව කරන්න භාරගන්න කියලා. සුනිල් අයියා ලොකු විශ්වාසයක් ඇතිව මට කරන්න දුන්නා භාර මම එයට උපරිම සාධාරණයක් ඉටුකරමින් රඟපෑවා. තව මංගල තෑග්ග, වීසි දැල වගේ චිත්‍රපටවල රඟපෑමත් මට විශේෂයි.

මෙතෙක් නිර්මාණවල ඔබ රඟපෑ චරිත ගැන සෑහීමකට පත්වෙනවාද?

මට ගොඩක් විට ලැබිලා තියෙන්නේ වෙස්ටන් (බටහිර) චරිත මං හිතන්නේ ඒක ඒ ඒ අධ්‍යක්ෂවරුන්ගේ තේරීම ඒ අය මාව දකින හැටි වෙන්න ඇති. එවැනි චරිත මට සුදුසුයි කියලා ඒ අය හිතනවා ඇති. මම මාගම්පුර බිසව පත්තිනි එකේ බිසවගේ චරිතයත් මට සුවිශේෂයි. මේ පත්තිනි එකේ චරිතය සුනිල් අයියා මට කිව්වා නපුරු බිසවකගේ චරිතයක් තමා කරන්න තියෙන්නේ නංගි කියලා මට ඒ චරිතට ගැන විස්තර කරලා දුන්නා.

එතැනදී මම ඒ දුන් උපදෙස් අනුව චරිතයට උපරිම දායකත්වය ලබාදුන්නා. ඒ චරිතය ගොඩක් සැරපරුෂ ගාම්භීර රජතුමෙකුගේ චරිතයක් ඒ රජතුමාවත් යටත් කරගෙන ඉන්න බිසවකගේ චරිතයක් තමයි මම රගපෑවේ. මගේ ඒකෙ බිසවගේ චරිතයේ රඟපෑමේ සාර්ථකත්වය කොත්තෙක්ද කියනවා නම් බිසවගේ රජතුමා ලෙස රවින්ද්‍ර අයියා තමා රඟපෑවේ. (ප්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා) රවින්ද්‍ර අයියා කිවා අපෝ මෙයා නම් නපුරු බිසවක්ම තමයි කියලා. ඒ චරිතය කරලත් ගොඩක් කාලෙකට පස්සේ මාව දකින හැම විටකම නපුරු බිසව නපුරු බිසව කියල තමා රවින්ද්‍ර අයියා මට කිව්වේ ඉතින් මං කිව්වා මම නොවෙයි සුනිල් අයියා තමා මාව ඒ චරිතයට නපුරු කෙනෙක් බවට පත් කළේ කියලා. මේ පත්තිනි බිසවගේ චරිතය නිසාම මට තවත් දෙයක් වුණා දවසක් ඔය පත්තිනි බිසව චිත්‍රපටය තිරගත වෙන කාලේ මම බඩු වාගයක් ගන්න සුපර් මාකට් එකට ගියා. තව මගේ යාළුවෙක් එක්ක මම බඩු ටික තෝරගෙන කැශියර් එකට ඇවිත් බිල ගෙවන්න දැන් බලාන ඉන්නවා. කැශියර් එකේ හිටිය තරුණ ගෑනු ළමයෙක් එයා මගෙන් සල්ලි ගන්න එක ගැන අවධානය නැති වෙලා මං දිහා බලාගෙන ඉන්නවා. මම ඊට පස්සේ එතැන තියෙන මේසෙට තට්ටුවක් දැම්මා එයාගේ අවධානය ගන්න පස්සේ මෙන්ම ඒ ගර්ල් බයවෙලා ඔයා නේද පත්තිනි කියලා ටිකක් පිටිපස්සට ගියා. එදයින් පස්සේ මම පත්තිනි චිත්‍රපටය තිරගතවීම අවසන් වන තෙක් එළියට ඒ වගේ විවෘත තැන් වලට ගියේ නෑ මොකද ඒ අය ඔහොම බයවෙනකොට මටත් ඒක හරි නෑනේ ඒකයි. තව මම රඟපෑව භ්‍රමණය, ආදරණීය නිෂාදී, මංගල තෑග්ග වගේ ඒවාගේ චරිත. වීසි දැල, රුපියල් ශත මේ රුපියල් ශත එකේ මං රඟපෑ නර්ස් කෙනෙක් චරිතය, තව මම සී.අයි.ඩී (ඛ්ධ්ච්) චරිතයක් රඟපෑවා. අයිරංගනී සේරසිංහ මහත්මිය ඒකෙ රඟපෑවා සිදම්බරන් ලෙස.

කාලෙකට පස්සේ ඔබ මේ දවස්වල ප්‍රේක්ෂකයින් අතරට නැවතත් ඇවිල්ලා නේද?

ඔව් ඩියර් දෙවැනි ඉනිම, සුසුම් රස්තියාදුව යන ටෙලි නාට්‍යවල මව්වරුන්ගේ චරිත තුලින් තව සිටුවර පුවත කියලා ටෙලි නාට්‍යයකත් මේ දවස් වල වැඩ කරගෙන යනවා. ඒක නම් තවම ටෙලිකාස්ට් (විකාශය) වෙන්න පටන් ගත්තෙ නෑ.

මේ නිර්මාණවල රංගනයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

දෙවැනි ඉනිමට සාරංග මල්ලි (දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්) තමා කතා කරලා කිව්වේ. ඒකෙ අලුත් ස්ටෝරි එකක් යනවා කියලා. පස්සේ මම ඇවිත් ඒකෙ පිටපත බැලුවා මගේ සැමියා ඉන්නේ සනත් අයියා. (ප්‍රවීණ රංගනවේදී සනත් ගුණතිලක) ඉතින් හොඳීන් සතුටින් ඒ චරිතය කරන්න භාරගත්තා. සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයට ප්‍රියන්ත මල්ලි. (ඒ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු) ඔහු හොඳ තරුණ අධ්‍යක්ෂවරයෙක්.

ඒ ටෙලි නාට්‍යවල චරිත ගැනත් මතක් කරමු?

දෙවැනි ඉනිම, සුසුම් රස්තියාදුව යන දෙකේම මව්වරුන්ගේ චරිත තමා මං රඟපාන්නේ. දෙවැනි ඉනිමේ ටෙක්ලා පවුල් ජීවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගෙවන ආර්ථිකය අතින් සවිමත් පවුලක මවකගේ චරිතයක් සුසුම් රස්තියාදුවේ නිලන්ති චරිතයත් මවකගේ චරිතයක් ඒකේ ආර්ථිකය අතින් අඩුපාඩු කම් මැද ජීවිතය ගෙවන ජීවිත කතාවක් තමා යන්නේ.

මේ චරිතවලට ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එක එක්කෙනාගේ රසවිඳීම රුචිකත්වය වෙනස්නේ මේ ටෙලි නාට්‍යය දෙකටම කැමති පිරිස් දෙකොටසක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාම ඒ නාට්‍යවලට වෙන වෙනම මට ඒ සඳහා ප්‍රතිචාර ලබාදෙනවා.

තරුණ පරපුරේ පිරිසක් එක්ක තමා දෙවැනි ඉනිමේ ඔබට වැඩ කරන්න ලැබෙන්නේ. ඒ පිරිස හා ක්ෂේත්‍රයට අද ඇවිත් ඉන්න තරුණ නවක රංගන පිරිස් ගැන ඔබේ අදහස?

ඇත්තටම සතුටුයි. ඒ තරුණ අයත් එක්ක මටත් වැඩ කරන්න ලැබීම ගැන හරිම හොඳ පිරිසක් මේ තරුණ අය කියන දේ අහනවා අඩුයි කියලා අද සමහර අය කියනවා. මේ තරුණ පිරිස් ප්‍රවීණයන්ට සලකන්නේ ගෞරව කරන්නේ නැ කියලාත් සමහර අය කියනවා. එහෙම නැ ඒ අය අපිට ගෞරව කරනවා මට ආදරේට ඒ අය රමණි අම්මා කියලා තමා කතා කරන්නේ ඒ අය යද්දි මට වැඳලා තමා යන්නේ. ඉතින් අද අපේ ක්ෂේත්‍රයට එන නවක තරුණ පිරිස් ගත්තම ගොඩාක් දක්ෂ අය ඉන්නවා. හරිම සතුටු වෙනවා මං ඒ පිරිස් ගැන. මං ඔවුන්ට සුභ පතනවා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්.

එදා සහ අද රංගන කලාවේ බිහි වන මේ නිර්මාණ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

ඇත්තට අද තාක්ෂණික පැත්ත ගොඩාක් දියුණුවෙලා ඒ වගේම නවක දක්ෂ තරුණ පිරිස් ගොඩාක් දෙනා ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. එදා වගේ නොවෙයි අද මේ ක්ෂේත්‍රයට එන්න තියෙන ඉඩ ප්‍රස්තා වැඩියි. ඒ වගේම නිර්මාණ පැත්තෙන් ගත්තාමත් ගොඩක් හොඳ සාර්ථක නිර්මාණ බිහිවෙනවා. ගොඩාක් දක්ෂ තරුණ නිර්මාණකරුවොත් ඉන්නවා. ඔවුන් අතින් ඉතා හොඳ නිර්මාණ බිහිවෙනවා. මට හිතාගන්නවත් බැ ඒ අය ගැන. ඉස්සරහට තවත් හොඳ නිර්මාණ බිහිවේවි. ඔවුන්ට මම ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් විවිධ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා.

දශක ගණනාවක් ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ඔබ මෙතෙක් ලබාගත් විවිධ අත්දැකීම් එකතු කරගෙන නිර්මාණයක්, අධ්‍යක්ෂණයක්, නිෂ්පාදනක් වගේ දෙයක් කරන්න අදහසක් නැද්ද?

මම මීට කලකට ඉහතත් රට ඉඳන් ලංකාවට ඇවිත් ඒ වගේ දේකට අත ගහන්න මුල පිරුවා. නිෂ්පාදනය පැත්තට තමා එදා මම මුලපිරුවේ. ෂර්ලොක්ස් හෝම්ස් කතාව ඇසුරින් කළ නිර්මාණයක නිෂ්පාදනයක් තමා මං විසින් කළේ ඒකේ ජාතික රූපවාහිනියේ තමයි මේ ටෙලි නාට්‍ය විකාශය වුණේ. හැබැයි ඊට පස්සේ කොහොම හරි මට නැවත ඉක්මනින්ම විදෙස් ගතවෙන්න වුණා.අනතුරුව මම පුරසඳ පුර කියලා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා ඒකත් අධ්‍යක්ෂකවරයෙක් නොමැතිව විකාශය කර ගන්න බැරිව ගියා. ඒ කාලේ තව පොඩි පොඩි අඩුපාඩුකම් එහෙමත් තිබුණා. ඒ ටිකත් සම්පූර්ණ කරගෙන වැඩේ කරන්න පටන් ගන්න මට ලංකාවේ රැඳී ඉන්න තිබ්බ අවස්ථාව නැතිවෙලා කාලය මදිකම ආදී හේතූන් නිසා ඒ වැඩේ මගහැරුණා.

ඉස්සරහට නැවත ඒ වගේ නිෂ්පාදන කාර්යයකට අතගහන්න බලාපොරොත්තුවක් නැද්ද?

එදා ඒ වැඩේ කරන්න බැරි වුණ නිසා ඉදිරියට ෂර්ලොක්ස් හෝම්ස් සමාන නිෂ්පාදනයක් මා විසින් කරන්න අදහසක් තියෙනවා මේ අවුරුද්දේ මැද විදෙස් ගත වෙලා නැවත ලංකාවට ආවට පස්සේ ඒ ගැන මගේ අවධානය මේ වන විටත් යොමු කරලයි තියෙන්නේ. හැබැයි එදා වගේ නොවෙයි අද හැම පැත්තක් ගැනම හිතන්න ඕනේ. විශේෂයෙන්ම ආර්ථික පැත්තෙන් ගත්තාම විශාල වියදමක් ඒ සඳහා යනවා. ඊට අවශ්‍ය ආර්ථික මූල්‍යමය පැත්ත මූලිකවම සම්පාදනය කරගෙන අනෙකුත් පැතිවලිනුත් ඒ අඩුපාඩු සම්පූර්ණ කරගනිමින් තමා ඒ ගැන බලන්න වෙන්නේ ඉස්සරහට බලමු මගෙන් ඒ කාර්යයත් ඉටු වේවි.

ඔබට විවිධ සංවිධානවලටත් සම්බන්ධ වෙලා සමාජ සත්කාර වැඩසටහන් රැසක්ම පවා කරන්නට මූලික වෙලා නේද?. ඉතින් මේ වෙලාවේ ඒ ගැනත් කතා නොකළොත් ඒකත් ලොකු අඩුවක් අපිට විස්තර කියන්න බලන්න ඒ සත්කාර වැඩසටහන් ගැනත්

මම ඒ කාර්යයන්ට දායක වෙන්නේ හරිම ආසාවෙන්, කැමැත්තෙන්. කලාවෙන් ඔබ්බටත් මගෙන් රටටත් සමාජයටත්, පුරවැසියන්ටත් ඉටුවිය යුතු දෙයක් ලෙස සලකලා තමා මම ස්වෙච්ඡාවෙන්ම ඒ වැඩ කටයුතුවලට දායක වෙන්නේ. ශ්‍රී ලංකා වකුගඩු සංගමයේ අනුශාසක ලෙස මම ඉන්නවා තව විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිනිය ලෙසත් මම ඉන්නවා. ඒ වගේම කඩුවෙල සභා බල ප්‍රදේශයේ කලාකරු සංවිධානයේ උප ලේකම් ලෙසත් මම ඉන්නවා. ඒ වගේම කඩුවෙල සභා බල ප්‍රදේශයේ කලාකරු සංවිධානයේ ඉන්නවා. සිංහ සාමාජයේත් එකේ ලේකම් ලෙසත් මම ඉන්නවා. අපි ඒ සිංහ සමාජය හරහා ඒ වැඩ කටයුතු රැසක්ම දියත් කරනවා. මේ වසර අගදිත් අපි දිවයිනේ තෝරාගත් ප්‍රදේශ රැසකම වැඩසටහන් දියත් කරන්නට නියමිතයි. ඒ සඳහා අපිට පිටරටවලින් ආධාර උපකාර ලැබෙනවා. දුෂ්කරතා ඇති පාසල් වලට ගොඩනැගිලි ඉදිකර ලබාදීම, ගොඩනැගිලි අලුත්වැඩියා කරදීම, අලුතින් ගස් විශාල ප්‍රමාණයක් සිටුවීමේ ව්‍යාපෘතියක් අපි දියත් කළා ඉගෙන ගන්න දක්ෂ ආර්ථික අපහසුතා ඇති අයට පොත් බෑග්, පොත්පත්, පෑන්, පැන්සල් ලබාදීම, පෝෂණය අඩු ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට ආර්ථික ශක්තියක් නැති අයට ඒ ඒ වයස් සීමාවට සරිලන අයුරින් ඒ අවශ්‍යතා අඛණ්ඩව ලබා දීම, රෝගී අයට උදව් කරමින් බේත් හේත්, ඇස් කන්නාඩි, රෝද පුටු ලබාදීම විශේෂඥ හොඳ වෛද්‍යවරු ගෙන්නලා ඒ ඒ තෝරා ගත් ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වලා ඒ මිනිසුන්ට උදව් කිරීම, දක්ෂ ඉගෙන ගන්න පුළුවන් දරුවන් හට ශිෂ්‍යත්ව ලබාදීම, ආදී වැඩ කටයුතු රැසක්ම අපි දියත් කරනවා. මේ වෙනකොටත් අපි කතා බහ කරගෙන යනවා ඉස්සරහට ඒ වැඩසටහන් කරන්නේ කොහොමද කියන එක ගැන.

අපි ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු. මේ දවස්වල පවුල් ජීවිතේ කොහොමද?

මේ දවස්වල මමයි, දුවයි තමා ලංකාවේ මෙහේ ඉන්නේ. දුව හිටියෙත් පිටරට මෑතකදී ලංකාවට ආවා. මගේ මහත්තයා තවම එහේ.

මහත්තයා එහේ මොකද කරන්නේ?

එයා එහේ (චිත්‍රපට නිෂ්පාදන ආයතනයක) සේවය කරනවා. මම මේ අවුරුද්දේ මැද වගේ නැවත ලංකාවෙන් එහෙට (මහත්තයා ඉන්න දිහාට) යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා හැබැයි පදිංචියටනම් නොවේ ලංකාවට වඩා වටිනා රටක් මේ ලෝකේ කොහෙවත් නෑ.

අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවාද ?

කලා කටයුතු, සමාජ සේවා කටයුතු මේ සියල්ලත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ ජීවිතේ හරිම සුන්දරයි මේ ජීවිතයේ වටිනාකම දන්න නිසාම යහපත් දේ කරන්න මම කිසි විටෙක පසු බසින්නේ නැ. මගේ ප්‍රේක්ෂක ජනතාවට මම ගොඩාක් ආදරෙයි මං ඔවුන්ට ගෞරවය පුද කරනවා.

 

 

[email protected]

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT