නිවස විශේෂාංග සම්ප්‍රදායට එහා ගිය සංස්කෘතික කලා මංගල්‍යයක් ආනන්දයේ අවුරුදු උලෙළ

සම්ප්‍රදායට එහා ගිය සංස්කෘතික කලා මංගල්‍යයක් ආනන්දයේ අවුරුදු උලෙළ

by Thanushika
May 2, 2024 12:30 am 0 comment

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ “ආනන්දේ අවුරුද්දේ” නමින් වූ අවුරුදු උලෙළ ඉකුත් 26දා උදෑසන 7:00සිට දවස පුරා විද්‍යාලයීය බාස්කට් බෝල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි . එම අවුරුදු උලෙළේ අරමුණු පිළිබඳවත් එහි වූ විවිධ අංගයන් පිළිබඳවත් එකී මෙකී නොයෙක් තොරතුරු රැසක් මෙම ලිපියට අන්තර්ගතය.

මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන්, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රාථමික අංශ ප්‍රධාන සහකාර විදුහල්පති නුවන් ප්‍රියන්ත මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ මූලිකත්වයෙන් “ආනන්දේ අවුරුද්දේ බක්මහ මංගල්‍යය පැවැත්වුණි . මෙහි ප්‍රධාන සංවිධායක වශයෙන් සියලු සංවිධාන කටයුතු සිදුකරනු ලැබුවේ විද්‍යාලයේ ආචාර්යවරයකු වන ප්‍රියන්ත ගීගනගේ මහතායි. ඔහු මෙහි සියලු වගකීම් නොපිරිහෙලා ඉටුකර තිබීම ද විශේෂත්වයකි .

සිංහල ජන සමාජය අනෙක් ජන සමාජයන්ට වඩා සුවිශේෂී සංස්කෘතිකාංගයන්ගෙන් පෝෂණය වෙමින් දියුණු වූ සමාජයකි. ඒ අතර වූ කැපී පෙනෙන සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි අලුත් අවුරුදු චාරිත්‍ර හා ඒ හා බැඳුණු ජන ක්‍රීඩා ද සිංහල ජන ජීවිතය හා බොහෝ බද්ධවී පවතියි. අනාදිමත් කාලයක සිට මුතුන්මිත්තන් විසින් ආරක්ෂා කරගෙන ආ එකී සංස්කෘතිකාංග, චාරිත්‍ර විධික්‍රම වර්තමානයේ තාක්ෂණික දියුණුව සහ ගෝලීයකරණය සමඟ මිනිසාගෙන් දුරස්වීමට පටන්ගෙන තිබේ. අද සමාජයේ බොහෝදෙනා එකී චාරිත්‍ර විධික්‍රම උපහාසයට ලක් කරන අතර ඒවා අවඥාවෙන් ද බැහැර කරන යුගයක් ද උදාවී තිබීම කනගාටුවට කරුණකි . තරුණ පරපුරට එදා පැවැති සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර, සිරිත් විරිත්, ජන ක්‍රීඩා පිළිබඳව ද දැනුමක් නොමැති තරම් ය. එහෙත් මෙම සංස්කෘතිකාංග අද වෙද්දී සමාජයෙන් වියැකී යාමේ ඛේදජනක ඉරණමට ගොදුරුවෙමින් පවතියි. එසේ සමාජයෙන් වියැකී යන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, ජන ක්‍රීඩා පිළිබඳ පාසල් සිසුන් මෙන්ම මවුපියන් ද දැනුම්වත් කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය විසින් මෙවර පවත්වනු ලැබූ ආනන්දේ අවුරුද්දේ සංස්කෘතික මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණේය. මෙම වැඩසටහන තුළින් ඉහත කී දෑ පිළිබඳ අවබෝධය ලබාදීම මෙන්ම ළමා විඥානය අවදි කරවීම ද ප්‍රධාන අරමුණක් විය.

යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි ශිෂ්‍ය ප්‍රජාවක් සමාජයට දායාද කිරීම, අලුත් අවුරුදු චාරිත්‍ර, ජන ක්‍රීඩා පිළිබඳ ශිෂ්‍යයන්ගේ අවබෝධය වැඩිදියුණු කිරීම සහ එකී චාරිත්‍ර, ජන ක්‍රීඩා මතු පරපුරට ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කිරීම මෙහි සංවිධානක මණ්ඩලයේ මුඛ්‍යතම අරමුණ විය.

“ආනන්දේ අවුරුද්දේ” බක්මහ සංස්කෘතික මංගල්‍යය පිළිබඳ විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධාන සහකාර විදුහල්පති නුවන් ප්‍රියන්ත මහතා සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මෙවර අපි 2024 ආනන්දේ අවුරුද්දේ යන්න තේමාව කරගනිමින් තමයි මේ අවුරුදු උලෙළ පැවැත්වුයේ. එහිදී අපි බලාපොරොත්තු වුණේ සාම්ප්‍රදායික අවුරුද්දකට එහාගිය අධ්‍යාපනික මෙවලමක් ලෙස මෙම අවුරුදු උත්සවය භාවිත කරන්නයි. වෙනදාට අපි කරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු ක්‍රීඩා කරලා ශිෂ්‍යයන්ට අවුරුදු චාරිත්‍ර ගැන හඳුන්වාදීමක් කිරීමයි. එහෙත් මෙවර ඊට එහාගිය වැඩසටහනක් කරන්නයි අපි තීරණය කළේ.”

අද වනවිට සමාජයේ අභාවයට යමින් පවත්නා ජන ක්‍රීඩා පිළිබඳව ඔහු කීවේ මෙවැන්නකි.

“අද සමාජයේ ජන ක්‍රීඩා වැළලීයමිනුයි තිබෙන්නේ. මේ කාලයේ දරුවෝ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ. ඇත්තෙන්ම ඒක කනගාටුදායක තත්ත්වයක්. වැඩිහිටියන් පවා දන්නේ නැහැ මේ ජන ක්‍රීඩා කරන්නේ කොහොමද කියලාවත්. ඒ ජන ක්‍රීඩා සමාජගත කරන්නටයි අපි මෙහිදී තීරණය කළේ. ඒ අනුව අපේ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ජන ක්‍රීඩා පිළිබඳ අවබෝධයක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළේ. ඒ නිසා සියලුම ජන ක්‍රීඩා සඳහා විශාල කාලයක් යොදවා දරුවන් පුහුණු කරවා ඉදිරිපත් කරන්නට අපි කටයුතු කළා.. දරුවනුත් එයින් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඔවුන්ගේ දැනුමට බොහෝ දේවල් එකතු කරගත්තා. මේ වැඩේදී ප්‍රාථමික අංශයේ දරුවන්ගේ උනන්දුව, කැපවීම ඉහළින්ම පෙන්වුම් කළා.”

අවුරුදු චාරිත්‍ර සිදුකරන අයුරු දරුවන් අතරට රැගෙනගිය ආකාරය නුවන් ප්‍රියන්ත මහතා මෙසේ සඳහන් කළේය.

“චාරිත්‍ර පිළිබඳ දරුවන්ව දැනුම්වත් කිරීමේදී අපි ප්‍රායෝගිකව විශාල වැඩ කොටසක් සිදුකළා. සිංහල නිවෙසක් වගේම දෙමළ නිවෙසකුත් අපි නිර්මාණය කළා. ඒ ජාතීන් දෙකට අයත් ආහාරපාන වර්ග ගෙනවිත් එකී අවුරුදු චාරිත්‍ර වෙන් වෙන් වශයෙන් දරුවන්ට හඳුන්වා දීමත් කළා. මේ සඳහා අපේ විදුහල්පතිතුමා වන ලාල් දිසානායක මහතා ඇතුළු ගුරු මණ්ඩලය ද විශාල වෙහෙසක් මෙන්ම කැපකිරීමක් ද සිදුකළා”

මෙහිදී දරුවන්ට සේම මවුපියන්ට ද ශාස්ත්‍රීය දැනුම ලබාදීමට ආරාධිතයන් වශයෙන් සහභාගී කරවාගත් පිරිස පිළිබඳ ප්‍රාථමික අංශ ප්‍රධාන සහකාර විදුහල්පතිවරයා මෙසේ පැවැසීය.

” මෙවර අපි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත මහත්මයා වගේම ජන ක්‍රීඩා සංගමයේ නිර්මාතෘ, ගම්පහ කලාපයේ ගුරු උපදේශක අතුල විජේනායක මහතා, රන්වල පදනමේ සහන් රන්වල මහතා වැනි ප්‍රවීණයන්ට අපි ආරාධනා කළා.. අවුරුදු උලෙළේදී අදාළ විශේෂාංගය ඉදිරිපත් කිරීමට පෙර එහි ඓතිහාසික පසුබිම, සමාජ, සංස්කෘතික පසුබිම වගේම ශාස්ත්‍රීය පසුබිම ආදිය පිළිබඳ දරුවන්වත්, මවුපියන්වත්, ගුරුවරුන්වත් දැනුම්වත් කරන්න අපි කටයුතු කළා. අති ගෞරවනීය මහා සංඝරත්නය, ආදිශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය ඇතුළු අධ්‍යාපන බලධාරීන්, පළාත් සහ ජාතික තලයේ සියලුම නිලධාරීන් ගෙන්වන්නටත් අපි කටයුතු කළා. ඔවුන්ගේ සහභාගිත්වයෙන් තමයි මෙවර ආනන්දේ අවුරුද්දේ සංස්කෘතික මංගල්‍යය පවත්වන්නට යෙදුණේ . එම පිරිසගේ දායකත්වය අපට මහත් ශක්තියක් වුණු බවත් මෙහිදී විශේෂයෙන් කියන්න කැමැතියි.

අවුරුදු උලෙළේ විවිධ අංගයන් පැවැතියේ මෙලෙසිනි.

ගම හරහා දිවීම / ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය / පුණ්‍ය කාලය (අදාළ ස්ථානවල සිට පන්සිල් ගැනීම) / අවුරුදු කුමරා පැමිණීම /අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සහ ආහාර අනුභවය (පන්ති කාමරය තුළ) / දරුවන් ප්‍රධාන වේදිකාව ඉදිරිපිට අසුන් ගැන්වීම / පිළිගැනීමේ නැටුම / පිළිගැනීමේ කතාව / රබන් සුරල් වැයීම / හිසතෙල් ගෑම / ඔන්චිලි වාරම් (03 ශ්‍රේණියේ දරුවන්) / ලිස්සන ගසේ නැඟීම (04 ශ්‍රේණියේ දරුවන්) /එළුවන් කෑම (01 ශ්‍රේණියේ දරුවන්) / විදුහල්පතිගෙන් අදහස් විමසීම / මේවර කෙළිය (05 ශ්‍රේණියේ දරුවන්) / පනා හැංගීම (02 ශ්‍රේණියේ දරුවන්) / පොරපොල් ගැසීම (03 ශ්‍රේණියේ දරුවන්) / තාච්චි පැනීම (04 ශ්‍රේ‍ණියේ දරුවන්) / කොප්පර කොප්පර (02 ශ්‍රේණියේ දරුවන්) / කඹ ඇදීම (01 ශ්‍රේණියේ දරුවන්) / අවුරුදු ගීතයකට නැටුම (03 ශ්‍රේණියේ දරුවන්) / කොට්ට පොර (05 ශ්‍රේණියේ දරුවන්) / චක්ගුඩු (05 ශ්‍රේණියේ දරුවන්) / ඔළිඳ කෙළිය (04 ශ්‍රේණියේ දරුවන්) / පන්ති මට්ටමින් ක්‍රීඩා තරග පැවැත්වීම.

 

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT