නිවස සංවාද ‘ශවීන් කවීන්’ ද්විත්ව චරිත නිසයි ‘විසල් ආදරේ’ පිටපතට මම මුලින්ම කැමැති වුණේ

‘ශවීන් කවීන්’ ද්විත්ව චරිත නිසයි ‘විසල් ආදරේ’ පිටපතට මම මුලින්ම කැමැති වුණේ

- රංගන ශිල්පී නිමේෂ් වීරංග

by Thanushika
June 6, 2024 12:32 pm 0 comment

මේ දිනවල සාර්ථකව් තිරගත වන ‘විසල් ආදරේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට ජීවය දෙන නිමේෂ් වීරංග නමැති යොවුන් රංගන ශිල්පියා සිය රංගනය පිළිබඳවත් කලාව තුළ මෙතෙක් ආ ගමන්මඟ පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.

ඔබ ප්‍රධාන චරිතයකට ජීවය දෙන නවතම සිනමා පටය වන “විසල් ආදරේ” මේ දිනවල සාර්ථක ලෙස තිරගත වෙනවා. කොහොමද “විසල් ආදරේ”ට එකතු වුණේ ….?

මම මීටකලින් “ආදරණීය ප්‍රාර්ථනා ” නමින් චිත්‍රපටයක රඟපෑවා. එය වාසව බදුගේගේ පළමු චිත්‍රපටය එහි උප ප්‍රධාන චරිතයක් මම කළේ. ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට යනවා. ඒ එක්කම වාසවගේ දෙවැනි චිත්‍රපටය වූ “විසල් ආදරේ”ට සම්බන්ධ වුණා. එහි ප්‍රධාන චරිතයකට මට කතා කළේ. “ආදරණීය ප්‍රාර්ථනා ” චිත්‍රපටය තුළින් ඇතිවූ දැනහැඳුනුම්කම මතයි ඔහුගේ මේ දෙවැනි චිත්‍රපටය වූ “විසල් ආදරේ”ට එකතුවෙන්න ලැබුණේ. හැබැයි වාසව බදුගේ මට ඊටත් කලින් මුණගැසෙන්නේ භාතිය සන්තූෂ්ගේ “සෙබළ පුතු” මියුසික් වීඩියෝ එකේදී.

“විසල් ආදරේ” හි ඔබේ චරිතය ගැන කිව්වොත් …..?

මම මෙහි චරිත දෙකකට ජීවය දෙනවා. “ශවීන් ” සහ “කවීන්” යන ද්විත්ව චරිතයක් මම මෙහි නිරූපණය කරන්නේ. ඒ චරිත දෙක ගැන වැඩිය යමක් මම කියන්නේ නැහැ, ඒ චරිත හරියට කියවගන්න නම් ප්‍රේක්ෂකයාට චිත්‍රපටය බලන්නම වෙනවා.. මෙහි “ශවීන්”, “කවීන්” චරිත දෙක හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. අන්ත දෙකක ගමන් කරන චරිත දෙකක්…. “ශවීන්” ආදරය කරන විදිහ හරිම වෙනස්. ඒ චරිතය තුළ ගැඹුරක් තියෙනවා. ඔහු බොහෝදේ සිතේ තියාගෙන ආදරය කරන කෙනෙක්. ඔහු ඒවා එළියට දෙන විදිහත් වෙනස්. සාම්ප්‍රදායික පෙම්වතාට වඩා වෙනස් ඔහු ආදරය දෙස බලන්නේත් සෘජු තැනක ඉඳන්. මගෙයි අධ්‍යක්ෂගෙයි තිරරචකගෙයි එකතුවෙන් තමයි “ශවීන්” චරිතය එළියට එන්නේ. “කවීන්” චරිතය ගැන සරලව කිව්වොත් ඔහු හරිම සෙල්ලක්කාර, මනමාල චරිතයක් කිව්වොත් හරි. ඔහුගේ හැසිරීම “ශවීන්”ගේ හැසිරීමට හාත්පසින්ම වෙනස්.

මෙහි ප්‍රධාන චරිත හතර ගැන යමක් කිව්වොත්….?

ඇත්තෙන්ම මේ ප්‍රධාන චරිත හතර තුළ පෞරුෂ හතරක් තිබෙනවා.ඩිනක්ෂිගේ චරිතය ගත්තොත් සමාජයේ ඉහළ තලයක් දරන වගකීම් සහිත චරිතයක් කියන්න පුළුවන්. රශිපබාගේ චරිතය කෙයාර්ලස් චරිතයක්. ඇයට වෙන්නේම අකරතැබ්බ වගේ දේවල්. සචින්ගේ චරිතය ගත්තොත් දුරදිග යන විහිළු කරන චරිතයක්. මගේ ද්විත්ව චරිතය ගැන කලින් කීවනේ. මෙතැන තියෙන්නේ සිවුකොන් ආදරයක් කිව්වොත් හරි.

හාත්පසින්ම වෙනස්වූ ඔබේ චරිත ද්විත්වය රංගනයට ඔබ උගත් රංගන අභ්‍යාසයන්, අධ්‍යයනයන් උපයෝගී වුණා කිව්වොත්…..?

ඔව්, ඇත්තෙන්ම. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් වසර 10ක් වෙනවා. ඒ ආවෙත් යම් හැදෑරීමක් සමඟයි. මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ මම රංගනය හැදෑරුවා. මේ චරිත දෙකට ජීවය දීමේදී රංගනය පිළිබඳ මම ඉගෙනගත් දේ උපයෝගි කරගත්තා. මේ අන්ත දෙකෙහි චරිත දෙක හරියට කරන්න (මේක හරියට කළා කියා ප්‍රේක්ෂකයා මට කියනවා) මා උගත් දේ මනාව උපයෝගී වුණා… මම දැඩිව විශ්වාස කරනවා අපි මොනදේ කළත් ඉගෙනගෙන කළ යුතුයි කියලා

“විසල් ආදරේ” රංගනයේදී අධ්‍යක්ෂවරයා සමඟ ඔබේ ගනුදෙනුව සිදුවූයේ කුමනාකාරයෙන්ද …..?

අධ්‍යක්ෂ වාසව බදුගේ මට පූර්ණ නිදහස දුන්නා ” ආදරණීය ප්‍රාර්ථනා ” චිත්‍රපටයේ “සාලිය”ගේ චරිතය මගේ විදිහටම පරිවර්තනය කරගෙන නිරූපණය කරන්න. “විසල් ආදරේ” ද්විත්ව රංගනයේදී මගේ අංගචලනයේ සිට හැඟීම් ප්‍රකාශනය කියන දෙයට අධ්‍යක්ෂවරයා සෑහෙන ගතිලක්ෂණ ඇතුළත් කළා. මේ චරිත දෙකෙහි සාර්ථකත්වය අධ්‍යක්ෂ වාසව බදුගේට හිමිවිය යුතුයි. චරිත දෙක පෝෂණයට අධ්‍යක්ෂගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ ගෞරවය මම එකහෙළාම ඔහුට ලබාදෙනවා

“විසල් ආදරේ” දී ඔබ සමඟ සිටි අනෙක් ශිල්පීන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය කොයිවගේද….?

මෙහිදී මම, සචින්, ඩිනක්ෂි,රශිපබා යන හතරදෙනාම එකට වැඩකරන්නේ පළමුවතාවටයි. මෙතැනදී අපි දැනුම්වත් වුණා මේ චරිත හතරේදී එක්කෙනෙක්ගේ හෝ සහයක් නොලැබුණොත් අනෙක් චරිත තුනම ෆේල් වෙනවා කියන කාරණය. අපි එක්කෙනෙක් හෝ ෆේල් වුණොත් ඉතිරි තුන්දෙනාම ෆේල් වෙනවා. ඒ ගැන අවබෝධයක් අපට තිබුණා. ඒ දැනුම්වත්කම මතයි අපි මේ සහය ලබාදෙන්නේ. එහි විශාල වගකීමක් තියෙනවා .අධ්‍යක්ෂ වාසවත් එයට විශාල සහයක් දුන්නා

තිරරචනය කියවද්දි කොහොමද චරිත දෙක ඔබට දැනුණේ…..?

මෙහි තිරරචනය කළේ දිල්ෂි තත්සරණි.මේ තිරරචනය මාව අල්ලගත්තානම් අල්ලගන්නේ ඩබල් ඇක්ටින් කියන තැනදීයි.එහෙම නොවුණානම් මේකත් මට සාමාන්‍ය චිත්‍රපටයක් වෙන්න තිබ්බා.අන්ත දෙකක ධාවනය වන “ශවීන්” සහ “කවීන්” චරිත දෙක නිසාමයි තිරරචනය විසින් මාව අල්ලගනු ලබන්නේ.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරය සිහිකළොත් …..?

මම කලා පවුල් පසුබිමකින් නෙවෙයි ක්ෂේත්‍රයට එන්නේ. මේ ක්ෂේත්‍රයට එන්නේ ආසාව නිසාමයි. මුලින්ම මෝස්තර නිරූපණයට යොමුවුණා. ඒ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. පසුව මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය හැදෑරුවා. මේ ක්ෂේත්‍රයට එද්දි අම්මා, තාත්තා කලබල වුණා. කලාව සම්බන්ධව කවුරුත් අපේ පවුල්වල හිටියේ නැහැ. තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවක් මම කළේ. ඒක අතහැර කලාවට ඇතුළුවෙනවා කියන්නේම ලොකු වගකීමක්. තොරතුරු තාක්ෂණ අංශයේ ඉහළටම මම ආවා. වෙනත් පෞද්ගලික අංශවලින් ඉහළ වැටුපකට මාව තෝරාගත්තා. ඒත් නළුවා කියන කෙනා මගේ සිත ඇතුළෙන් නිතරම එළියට ආවා. මට තේරුණා මම ජීවත්වෙන්නේ වෙනත් කෙනෙක්ගේ ජීවිතයක කියලා. මගේ ඇතුළේ ඉන්න නළුවා කියනකෙනා නිතරම මාව එළියට දාපන් කියලා කෑගහනවා වගේ මට දැනුණා. ඉන්පසු රැකියාවෙන් ඉවත්වෙන්න තීරණය කළත් ගෙදරින් විරෝධයක් ආවා.

“කූඹියෝ” ද මුල්ම රංගනය වුණේ….?

ඔව්, “කූඹියෝ” ටෙලිනාට්‍යයේ සුළු චරිතවලටත් ඔඩිෂන්වලිනුයි තෝරාගත්තේ. එහිදී මට පසුව දන්වන්නම් කිව්වා. පසුව “කුඹියෝ” හි රවින්ද්‍රගේ චරිතයට මාව තෝරාගත්තා කියලා සතුටුදායක කෝල් එක එද්දි මාව ඇක්සිඩන්ට් වෙලා අතපය වෙලාගෙන හිටියේ. මම ඇක්සිඩන්ට් වෙලා කියලා ඔවුන්ට කිව්වේ නැහැ. මම කිව්වා ෂූටින් දවසට එන්න පුළුවන් කියා. ෂූටින් යද්දි මගේ බැන්ඩේජ් ඔක්කොම ගලවාගෙන ගියේ. එහෙම ගිහින් ඒ චරිතයට හැඩගැසී රවින්ද්‍රගේ චරිතය හොඳීන් කළා. ඔවුන් එවිටත් දන්නේ නැහැ මම ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ කියලා

ඒ ලැබුණු අවස්ථාවෙන් මම ප්‍රයෝජනය ගත්තා

ඊටපසුව දිගටම ටෙලිනාට්‍ය රංගනයට අවස්ථාව ලැබෙන්න ඇති….?

ඔව්, “කූඹියෝ”ට පසුව “රාවණා, බ්‍රෝ, ඕඪධ, අහිමි,කොන් කළ දෝණි” ටෙලිනාට්‍යවලටත් “වසන්තය තවදුර ඇති” ටෙලි චිත්‍රපටයේත් රංගනයට අවස්ථාව ලැබුණා

“බ්‍රෝ” ටෙලිනාට්‍යයේ ඔබ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. එය ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක්වුණා….?

“බ්‍රෝ” ටෙලිනාට්‍යය 2020දී රූගතකිරීම් කළේ. එහි “දර්ශන්” නමැති ප්‍රධාන චරිතයක් කළේ. එහි 40 වැනි කොටසෙන් පසුවයි මගේ චරිතය ප්‍රධාන චරිතයක් ලෙස විකාශය වෙන්නේ. මෙහි දුෂ්ටයා ලෙසයි මම ප්‍රේක්ෂකයා අතරට එන්නේ. මම කොහොමත් දුෂ්ටයා වෙන්න කැමැතියි. පසුව ඒ චරිතය සුදු චරිතයක් බවට පරිවර්තනය වෙනවා. “බ්‍රෝ” ටෙලිනාට්‍යයේ මම කරන්නේ මට වඩා වයසින් මුහුකුරා ගිය අවුරුදු 42ක 43ක වගේ චරිතයක්. “බ්‍රෝ” අධ්‍යක්ෂ ඩිලාන් විජය වික්‍රමකීර්ති. මම අධ්‍යක්ෂට වද දීලා කිව්වා මේ චරිතය මේ විදිහට හැදෙන්න ඕනේ, මෙහෙන අඳීන්න ඕනේ කියලා. ඒ චරිතය මැද හරියට එද්දි කොළඹ අල්ලන තැනට එනවා. පාතාල ලෝකයේ වෙස්වලාගෙන ඉන්න චරිතයක්. ඒ චරිතයට අදාළ ඇඳුම පවා මම විසින්ම නිර්මාණය කරගත්තා. එහි කලා අධ්‍යක්ෂවරුන්ට පවා මම වෙනස්ම සහයෝගයක් දුන්නා චරිතය ඒ විදිහට හැදෙන්න ඕන නිසා.

මෝස්තර නිරූපණයට යොමුවුණේ රංගනයට පාර හදාගන්න ද….?

ඇත්තෙන්ම ඔබ හරි. මොඩ්ලින්වලට ගියේ කලා ලොවට ආරම්භයක් දෙන්න ඕන නිසයි. 2013 මොඩ්ලින් ආරම්භ කළා. රොසෑන් ඩයස් මහත්මිය යටතේ මොඩ්ලින් ඉගෙනගත්තේ. රංගන ක්ෂේත්‍රයට එන්න මට කොහෙන් හෝ රිංගන්න ඕනකියන අදහස තිබූ නිසයි මෝස්තර නිරූපණයට යොමුවූයේ. මොඩ්ලින් ෂෝස් එහෙමත් කළා. මොඩ්ලින්වලින් අපට හොඳ පෞරුෂයක් හදාගන්න පුළුවන් වුණා. රංගනයට එන්න මාර්ගය හදාගත්තේ මෝස්තර නිරූපණයත් සමඟයි

රංගනය හදාරන්න මහේන්ද්‍ර පෙරේරා ළඟටත් ඔබ යනවා….?

ඔව්. මම සිතන දෙයක් තමයි දෙයක් ඉගෙනගන්නවනම් මේක ගැඹුරින් වගේම හොඳම මිනිස්සුන්ගේ ඉගෙනගන්න ඕනේ කියලා. රංගනය හදාරන්න මම දැක්ක හොඳම ගුරුවරයා තමයි මහේන්ද්‍ර පෙරේරා මහතා. ඔහුගෙන් උගත් දේ අදටත් මම ප්‍රයෝජනයට ගන්නවා. මහේන්ද්‍ර මහතාගේ හොඳම ගෝලයා මම නොවෙන්න පුළුවන්. ඒත් ගේම අත්නොහැරිය එක් ගෝලයෙක් මම.

වෙළෙඳ දැන්වීම් රංගනයට යොමුවූ ආකාරයත් සිහිකළොත් ….?

මුලින්ම මොඩ්ලින් කරද්දි වෙළෙඳ දැන්වීම් එකක් දෙකක් කළා. ඉන්පසුව වෙළෙඳ දැන්වීම් ලැබෙද්දි මම නළුවෙක් වෙලා. දැනට වෙළෙඳ දැන්වීම් 10ක් විතර කරලා ඇති

ඔබ රංගනයේදී පෙම්වතා හා දුෂ්ටයා අතරින් වඩාත් කැමැත්තක් දක්වන්නේ කාටද…..?

මම ආසම චරිතය පෙම්වතා නෙවෙයි මම ආසම දුෂ්ටයාටයි. පෙම්වතා වුණොත් ඒ රාමුවට සිරවෙනවානේ. “විලන්” නමැත්තා මගේ ඇඟ ඇතුළේ ඉන්නවා. ලෙහෙසියෙන් කෙනෙක්ට විලන් කෙනෙක් වෙන්න බැහැ. දුෂ්ටයා තුළ අභියෝගයක් තියෙනවා. මම කවදා හෝ සිනමාවේ දුෂ්ටයා වුණොත් “මෙයා මාර දුෂ්ටයෙක්” කියන දේ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න කැමැතියි.. ඒක මම හදාගත්ත අභියෝගයක් .දුෂ්ටයා චරිතය කවුරුවත් ලෙහෙසියෙන් ගන්න කැමැති නැහැ. යටිසිතේ දුෂ්ටයාට ප්‍රේක්ෂකයාගේ තිබෙන ආසාව අවුස්සන්නයි මට ඕනේ. එහෙම කරලා සිනමාව ඇතුළේ දුෂ්ටයාව එළියට දාන්නයි මට ඕනේ. ඒක මගේ ඊළග අරමුණ කිව්වොත් හරි

රඟපාන්න කැමැත්තක් දක්වන චරිතයක් තිබේද…..?

විශේෂ කැමැත්තක් සහිත චරිතයක් මම කළා. ළඟදීම විකාශය වීමට නියමිත ගවිඳු දිනිසුරු සහ චමිල් පතිරණ අධ්‍යක්ෂණය කළ “කුරුල්ලෝ” ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ “ගුණේ” නමැති ගැමි චරිතයක්. ඒ චරිතය හාත්පසින්ම වෙනස්. මතුපිට පෙනුමෙන් පවා මම එහි වෙනස්. ඒක විකාශය වෙද්දි ප්‍රේක්ෂකයා මාව හඳුනගන්න එකකුත් නැහැ. “විසල් ආදරේ” හි “ශවීන්” එක්ක “කුරුල්ලෝ”හි “ගුණේ” එළියට එනවා. චරිත දෙක අහසට පොළොව වගේ. ඒක මාරම ගැමි චරිතයක් . “ගුණේ” කියන්නේ මහ පොළොවේ ඉන්න චරිතයක් . ලංකාවේ මාර විදිහකට “කුරුල්ලෝ” හිට් වේවි කියා හිතනවා. ඒවගේම මම හරි ආසයි මිනිස්සුන්ට සමීප මහ පොළොවේ චරිත කරන්න.

වේදිකාව තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත් …..?

වේදිකාව මම ස්පර්ශ කරලම නැහැ. දැන්නම් හිතිලා තියෙනවා වේදිකාව පැත්තට යන්න. මම ආව පාර දිගේදී මට වේදිකාව මගහැරුණා. දෙයක් කරනවානම් හදවතින්ම කළයුතුයි.ඒ පැත්තට මනස හදාගන්න ඕන. මම කාර්යබහුල වෙන්න කැමැති නැහැ

නිවේදන, ගායන, ලේඛන හැකියාව කොයිවගේද….?

ළඟදී වැඩසටහනකදී කෙනෙක් ඇහුවා ගීත ගයන්න පුළුවන් ද කියලා..මට පුළුවන් වුණාට මම බැහැ කිව්වා. මොකද මට පුළුවන් කියන්නේ ඉගෙනගත්තොත් තමයි. වෘත්තියමය ගායකයකු තරමට මට ගීත ගයන්න පුළුවන් ඇති. හදාගත යුතු දේත් ඇති. ඒත් ඒ ගැන ඉගෙනගෙන නැහැ. ඉදිරියේදී ගීතයකුත් ගයාවි. ලියන්නත් පුළුවන්. මුහුණු පොතේ ආටිකල් ලියනවා. මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න ලියන්න පුළුවන්. මම ලියන දේ මිනිස්සුන්ගේ හදවතට සමීපවෙනවා. ධනාත්මක සිතුවිලි වර්ධනයට අදාළ දේවල් මම ලියනවා. තිර රචනය කියන දේත් මගේ ඇඟේ තිබෙනවා

මුලින්ම සිනමා තිරයට මුහුණදුන් අයුරු පැහැදිලි කළොත් …..?

මුලින්ම මම සමීප වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “ඝරසරප” චිත්‍රපටයට. එහි සිටගෙන සිටින අවස්ථාවක් මට තිබ්බේ. ඔඩිෂන් ගිහින් ඒකත් ලැබුණේ. ඊටපසුව මට ලැබුණා ප්‍රසන්න විතානගේ මහතාගේ “ගාඩි” චිත්‍රපටයේ රඟපාන්න. එහිදී ප්‍රසන්න විතානගේ මහතා මට කිව්වා “ඔයාට හොඳ, වෙනස්ම මුහුණක් තිබෙනවා. ඒකට මම කැමැතියි “කියලා. එහි මට තිබුණේ සුද්දාගේ හමුදාවේ සිටි ලස්කිරිඤ්ඤා ජාතිකයෙක් ලෙස එහාට මෙහාට ඇවිදින අවස්ථාවක්. එහිදී බියංක කියලා යාළුවෙකුත් තරමක රඟපෑමක් කළා. එහිදි දවසක් ඔහු මට කිව්වා “උඹට ප්‍රසන්න සර් එන්න කිව්වා” කියලා. එහිදී ප්‍රසන්න මහතා මට දෙබසක් කියන්න කිව්වා. ඒවගේම මම රගපාලත් පෙන්නුවා. මට ඒක ලොකු දෙයක් වුණා. එහිදී මට දෙබසක් සහිත අවස්ථාවක් කරන්න ලැබුණා. මගේ අදහසක් තිබ්බා ඒවගේ විශිෂ්ට අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක සුළු හෝ චරිතයක් කරන්න ඕනේ කියලා.

අධ්‍යක්ෂණයට යොමුවෙන්න අදහසක් නැද්ද….?

නළුවා යන ප්‍රතිරූපය මනාව නිර්මාණය කරගත යුතු නිසා අනෙක් අංශවලට යොමුවුණේ නැහැ. අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට සුළු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් ඒක ළඟපාතක වෙන දෙයක් නෙවෙයි

ඔබට ගුරුතත්හිලා සැලකිය හැකි නිර්මාණවේදීන් සහ නිර්මාණ පිළිබඳ සිහිකළොත්…..?

මෑතකාලයේ ගත්තොත් ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම වැන්නන්ගේ චිත්‍රපටවලට මම කැමැතියි. ඔවුන්ගේ චිත්‍රපටවල සුළු හෝ චරිතයක් කරන්න ආසයි. විදෙස් රටවලින් ගත්තොත් ඉන්දියාවේ අනුරාග් කාශ්‍යප් වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩකරන්න බොහෝම කැමැතියි. ඔවුන් පොළොවේ පය ගහන සිනමාවක ඉන්නේ. එවැනි මහ පොළොවේ යථාර්ථවාදී චරිත නිරූපණයට මම කැමැතියි. වාණිජ සහ කලාත්මක දෙඅංශයේම චිත්‍රපටවල රඟපාන්න කැමැතියි. මම විශ්වාස කරනවා මේ ක්ෂේත්‍රය පවතින්න නම් වාණිජ චිත්‍රපට අවශ්‍යයි කියලා. මලයාලම් චිත්‍රපටවල ඉන්නේ නළුනිළියන් 05ක් වගේ පිරිසක්. ඒත් කර්මාන්තයක් ලෙස හරිම විශාලයි. ප්‍රේක්ෂකාගාරය විශාලයි. ඔවුන් හොලිවුඩ් එක්ක ගැටෙනවා. බොලිවුඩ් ඔවුන් ගණන්ගන්නේ නැති තැනට ඇවිත්.

මෙරට සිනමාව ගැන ඔබේ මතය කුමන ස්ථානයක ද තිබෙන්නේ ….?

සිනමාවේ මේ යන විදිහට මම නම් හරිම කැමැතියි . ඉස්සර කොතරම් දක්ෂ අය හිටියත් දියුණු තාක්ෂණයක් තිබ්බේ නැහැ . ඒත් ගුණාත්මක බව වැඩියි.අද වෙද්දි තාක්ෂණයත් ගුණාත්මක බවත් වැඩිවේගන යන බව පේනවා .අද සිනමාවට එන නවක තරුණ, තරුණියන් හොලිවුඩ් , නෙට්ෆිලික්ස් කියන දේවල ආභාසය ලබනවා .එදාට වඩා අද සිනමාව ගැන දැනුම, ආභාසය ලබන්න තිබෙන අවකාශය වැඩියි. ඕනෑම කෙනෙක්ට ඉන්ටර්නෙට් එකෙන් සිනමාව ගැන දැනුම ලබාගන්න තරම් අද තාක්ෂණය දියුණුයි.චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම දක්වා දැනුම ගන්න පුළුවන්. චිත්‍රපට ක්ෂේත්‍රය දිනෙන්දින දියුණු වේගෙන එනවා. අනෙක රැල්ලට වගේ එකම වර්ගයේ චිත්‍රපට අද බිහිවෙන්නේ නැහැ. පොඩි හිතුවක්කාර ගතියක් තිබෙනවා. කෙනෙක් ළමයින්ට චිත්‍රපටයක් කළොත් අනෙක් කෙනා “නෑ මම ඊට වඩා වෙනස් චිත්‍රපටයක් කරනවා ” කියලා වෙනස් ශානරවලට යනවා. ඒකයි වෙන්න්ත් ඕනේ.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් ….?

“කුරුල්ලෝ” ටෙලිනාට්‍යය විකාශයට නියමිතයි.. තව ටෙලිනාට්‍යයකට සහ චිත්‍රපටයකට කතා කරලා තියෙනවා

පවුලේ විස්තර කිව්වොත්…..?

මගේ පවුලේ අම්මා, තාත්තා, බිරිය ඉන්නේ. අපි සාමාන්‍ය පවුලක්. කලාවට සම්බන්ධ පවුලක් නෙවෙයි. මගේ කලාකටයුතු ගැන පවුලේ අයගේ විශ්වාසයක් මුලින් තිබ්බේ නැහැ. අපි අම්මාට තාත්තාට සැලකීමෙන් ඔවුන්ගෙන් ලැබෙන ආශීර්වාදය ගොඩාක් වටිනවා. අපි මවුපියන්ට සලකද්දී ඒ සැලකීම නිසාම නෙවෙයි කෙනෙකුට හරියන්නේ, ඔවුන්ගෙන් ලැබෙන ආශීර්වාදය නිසයි හරියන්නේ කියලා මම විශ්වාස කරනවා. බොරුවටත් ඕනනම් අපට සලකන්න පුළුවන්නේ.. එහෙම කළාට දේවල් ලැබෙන්නේ නැහැ. අපි දෙයක් හදවතින්ම ඉල්ලන්න ඕනේ. “පවුලෝ කොයියෝ”ගේ කියමනක් තියෙනවා “ඔබට යම් දෙයක් හදවතින්ම අවශ්‍ය නම් මුළු විශ්වයම කුමන්ත්‍රණය කරනවා ඔබට ඒක ලබාදෙන්න” කියලා. ඒ කියමන හරිම ලස්සනයි.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT