නිවස සංවාද කවදහරි මං විවාහ වෙන්නේ ආදරයේ වටිනාකම දන්න කෙනෙක් එක්ක

කවදහරි මං විවාහ වෙන්නේ ආදරයේ වටිනාකම දන්න කෙනෙක් එක්ක

-රංගන ශිල්පිනී නිපුණි ගුණවර්ධන

by Thanushika
June 6, 2024 11:19 am 0 comment

පාසල් අධ්‍යාපනය ලබන කාලයේ සිටම ඇ කලාවට පෙම් බැන්දාය. එහිදී මාධ්‍ය නිවේදනය, රංගනය, නර්තනය යන කලාවේ විවිධ ඉසව්වත් ස්පර්ශ කළාය. එලෙස ඇරඹී ගමනේ අද වන විට ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වී හමාරය. මීට ටික කලකට පෙර ජනප්‍රියතම සම්මානීය ටෙලි නාට්‍යය බවට පත්වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය ඔබට මතකද? එහි ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනිය ලෙසින් ඇය ඉහළ ජනප්‍රියත්වයක් ද හිමිකර ගත්තාය. මේ දිනවල ද ඇ අපේ ආලින්දයට ගොඩවන්නීය. ඒ සතියේ දිනවල සිරස රූපවාහිනි සේවයෙන් (සිරස ඊඍ) රාත්‍රී 8.00ට විකාශනය වන සර්කස්කාරයෝ ටෙලි නාට්‍යය තුළිනි. අද අපේ කතා බහට එකතු වන්නේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනි නිපුණි ගුණවර්ධනයි.

මුලින්ම ඔබේ සම්පූර්ණ නම අපිට දැනගන්න කියන්න.

නිපුණි පූජිත ගුණවර්ධන

පවුලේ විස්තර කොහොමද?

අම්මයි, අක්කලා දෙන්නයි(02), අයියලා දෙන්නයි(02), මමයි.

ඔබ අධ්‍යාපනය ලැබුවේ?

ශාන්ත අන්තෝනි බාලිකා මහා විදුහල, පානදුර.

අධ්‍යාපනය ලබන කාලයේදී කලාවට බැහැලම වැඩ කළා ද?

ඔව් අයියා, ඒ කාලේ පාසලේ දි මම නර්තනය, රංගනය, නිවේදනය ක්‍රීඩාව වගේ හැම දෙයක්ම කළා. මම පාසලේ මාධ්‍ය ඒකකයේ සභාපති ලෙසත් පාසලේ නැටුම් කණ්ඩායමේ ද තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කරලා තියෙනවා.

ඒ කාලේ කලාවට එනවා කියලා අරමුණක් තිබ්බ ද?

මම පොඩි කාලේ ඉදන් කලාවට ගොඩක් කැමති හැබැයි මම ආස කළේ නැටුම් ගුරුවරියක් වෙන්න.

කලාවේ ඔබේ ගමනේ ආරම්භය සිදුවෙන්නේ කොහොමද?

2015 වසරේදී තමයි ඒ ආරම්භය සිදු වෙන්නේ. වෙළඳ දැන්වීම්වලට තමයි මම මුලින්ම සහභාගි වෙන්නේ ඒ අතරතුර තමයි මට රංගනය ගැන ලොකු කැමැත්තක් ඇතිවෙන්නේ ඒ එක්කම මම රංගනය ගැන ඉගෙන ගන්න උනන්දු වෙනවා.

ඊට පස්සේ ඔබ ?

ඊට පස්සේ මට තිබුණු තවත් එක් හීනයක් වුණ මිස් ශ්‍රී ලංකා තරගයට මම 2018 වසරේදී සහභාගි වෙනවා, සියත රූපවාහිනියේ මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් තරඟයට ඉදිරිපත් වෙලා එයින් අවසන් එකොළොස් (11) දෙනා අතර තරග කරනවා.

එතකොට නිපුණි ප්‍රථමයෙන්ම කියලා නිර්මාණයකට දායක වෙන්නේ

චිත්‍රපටයකට තමා ප්‍රථමයෙන්ම නිර්මාණයක රංගනයට අවස්ථාව ලැබෙන්නේ රොහාන් පෙරේරා මහතාගේ හීන හොයන සමනල්ලු. ඊට පස්සේ චිත්‍රපටයකට දායක වෙනවා ඒ ලෙවල් (ඒ/ඹ්) ඉවරයි කියන චිත්‍රපටයේ.

වේදිකා නාට්‍යවලටත් දායක වුණා නේද?

ඔව් වේදිකාව කියන්නේ මම පාසල් කාලේ ඉදන් බොහොම ආදරේ කරපු තැනක් කිව්වොත් හරි, “ප්‍රේමයේ නගරය වේදිකා නාට්‍යයේ එමලීගේ චරිතය මම රංගනයෙන් දායක වුණා , ඒ චරිතය වෙනුවෙන් මට 2019 ජාතික යෞවන සම්මාන උළෙලේදී කුසලතා සම්මානත් හිමි වෙනවා ඒ වගේම දේදුනු කලුපහන අධ්‍යක්ෂණය කළ “බයිලා ගහන දවසක් ” කෙටි නාට්‍යය වෙනුවෙන් 2023 යෞවන සම්මාන උළලේදී හොඳම සහය නිළියට සම්මානයක් හිමි කරගන්නවා. වේදිකාවෙන් අදටත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

ඔබ දායක වුණ නිර්මාණවලින් ඔබේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණේ?

අන්සතු ඔබ කියන තිසර වීරසිංහගේ මියුසික් විඩියෝ එකෙන් තමයි ගොඩ දෙනෙක් මාව දැන ගන්නේ.

ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ඒ මියුසික් වීඩියෝවට මාව සම්බන්ධ කළේ සේවියර් කණිෂ්ක අයියා,

අර නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධන නිලධාරී නෝනා ලෙසත් ඔයා අසීමිත ජනප්‍රියත්වයක් ලැබුවා නේද?

ඔව්, මට තිසර වීරසිංහගේ අන්සතු ඔබ කියන මියුසික් වීඩියෝවෙන් පස්සේ දෙවනවරට වැඩියෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ නාඩගම්කාරයෝ එකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධන නිලධාරිනියගේ චරිතයට. අදටත් ඒ චරිතය ගැන ප්‍රේක්ෂකයින් කතා කරනවා, ඒ තමයි මගේ පළවෙනි ටෙලි නාට්‍යය රංගනය.

ඒ චරිතය කරද්දි අමතක නොවන දේකුත් සිද්ධ වුණා නේද?

ඔව් අයියා, ඇත්තටම මට ඒ චරිතය වෙනුවෙන් ස්කූටර් එකක් පදින්න වුණා. මට සද්ධා මහත්මයා කිව්වා බයික් එකක් පැදගෙන යන්නත් තියෙනවා පුළුවන් ද කියලා. මම මීට කලින් ස්කූටර් පැදලා තිබුණේ නෑ. ඒත් මම ඒක චැලේන්ජ් එකක් විදිහට ගත්තා, ඒ වගේම මම මතක් කරන්න ඕන මට ස්කූටර් එක පදින්න ලොකුම සපෝර්ට් එකක් දුන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂණක ලෙස වැඩ කරපු අපේ දුලා අයියා, දවසක් මගේ අතින් බයික් එක රේස් වෙලා මම වැටුණා ඒත් තුවාලයක් වුණේනෑ යන්තම් බේරුණා.

ඊට පස්සේ ?

ඊට පස්සේ ඉදන් පරිස්සමින් බයික් එක පැද්දා.

දැන් නිපුණිට හොඳට බයික් පදින්නත් පුළුවන්ද?

එහෙම හොඳටම පදින්න පුළුවන් කියලා කියන්න බෑ. මම දැනටත් බයික් පදින්න බයයි.

මේ දවස්වල නිපුණිව අපට දකින්න ලැබෙන්නේ

සිරස ටීවී තුළින් සතියේ දිනවල රාත්‍රී 8.00ට යන සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයෙන්

ඒකේ ඔබ රඟපාන චරිතය මොකක්ද?

මගේ චරිතය තමයි වසුන්දරා කියන්නේ, අනුකිගේ අක්කා කාංචනාගේ නංගි විදිහට තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ,

ඒ අවස්ථාව ඔයාට ලැබෙන්නේ කොහොමද?

ඒ අවස්ථාව ලැබෙන්නේ සද්ධා මංගල සූරිය මහත්මයා හරහා ඔහු තමයි මට මේ චරිතය වෙනුවෙන් කතා කළේ ඇත්තටම සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා සහ ශිවගුරුනාදන් අධ්‍යක්ෂතුමා සමඟ මම කලින් වැඩ කරලා තිබුණ නිසා ඔවුන් සමඟ වැඩ කරන එක මට ගොඩක් පහසුයි.

නිපුණි දැන් වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

මම තවම රංගනය ගැන හදාරමින් ගොඩක් හිමින් මේ ගමන යන්නේ ඉතින් තවම තීරණය කරලා නෑ ඒ ගැන, ඒ නිසයි මම තෝරා බේරා ගැනීමක් එක්ක රංගන කටයුතු කරන්නේ.

අර පාසල් යන කාලෙ තිබුණු ගුරුවරියක් වීමේ හීනයට මොකද වුණේ?

ඇත්තටම මම ඒකත් ඉටුකර ගත්තා. මං මීට ටික කාලෙකට ඉහතදී ගුරුවරියක් ලෙස පෞද්ගලික පාසලක සේවය කළා. පස්සේ රංගනයට තිබුණු කැමැත්ත එක්ක මම ඒ රැකියාවෙන් ඉවත් වුණා.

ඉදිරියට නිපුණිව දකින්න ලැබෙන නිර්මාණ එහෙමත් තියෙනවද?

ඔව්, ගීත රූපරචනා සහ කරපු ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා.

නිපුණි පදිංචිය කොහෙද?

කොළඹ

දැන් වයස කීයද?

අවුරුදු 28 යි.

නිපුණි පෙම්වතියක්ද?

නැහැ.

විවාහ වෙන්න කෙනෙක් හොයාගන්නේ නැද්ද?

හොයන්නේ නෑ, හම්බවුණොත් බලනවා ඉතින් ඉස්සරහට

යෝජනාවකින්ද, තමන්ම හොයාගන්න කෙනෙක්ට ද, ඔබේ කැමැත්ත?

ඒ දේවල් කොහොම වෙයිද කියන්න දන්නේ නෑ,

ඒකට තවම ප්‍රමාද ඇයි?

ප්‍රමාදයි කියලා මට හිතන්නේ නෑ, හැබැයි හදිස්සි වෙලා කරදරයක් ඔළුවේ දාගන්නත් මම කැමති නෑ. ආදරේ කියන්නේ හැම මනුස්සයෙකුටම ඕනෑම දෙයක්. හැබැයි ආදරේ කරන්න ඕනේ නිසා ආදරේ කරන කෙනෙක් නෙමෙයි මම, ආදරෙට නියම වටිනාකමක් දෙන කෙනෙක් හම්බුණොත් සලකලා බලනවා. මාව තේරුම් ගන්න පුළුවන් අවංක කෙනෙක් හම්බවුණොත් බලනවා, මම මට ගොඩක් ආදරේ කරන නිසා ඒ ගැන වැඩිය හිතන්නේ නෑ. අවශ්‍ය වෙලාවට ඒ දේවල් වෙයි කියලා හිතෙනවා.

අවසාන වශයෙන් නිපුණිට යමක් කියන්න තියෙනවාද?

මං මගේ අම්මට ගොඩක් ස්තුතියි කරනවා. අද මම කරන හැම දේකම පිටිපස්සෙන් ඉදන් මට ලොකු ශක්තියක් දෙනවා මගේ අම්මා. ඒ වගේම මගේ සහෝදර සහෝදරයින් ආදරෙන් මතක් කරනවා ඔවුන් මගේ හොදම ප්‍රේක්ෂකයෝ. මගේ පාසලේ ගුරුවරුන් සහ මගේ මේ හැම වැඩකදිම මට වචනෙකින් හරි උදවු වෙන හැම කෙනෙක්ටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ප්‍රේක්ෂක ජනතාවටත් මං හදවතින්ම ස්තුති කරනවා, ආදරෙයි ඒ හැමෝටම. මට ඔවුන් සැමගේ ප්‍රතිචාර ගොඩක් වටිනවා මට!

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT