20 වැනි කොටස
බැද්දේගම චිත්‍රපටයට පාදක වුණේ1913දී ලෙනාඩ් වුල්ෆ් විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද village in the jungle නම් නව කතාවයි. ඔහු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කරත්දී ලත් අත්දැකීම් ඇසුරෙන් මෙම නවකතාව රචනා කලේ.
ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, හෙන්රි ජයසේන, ටෝනි රණසිංහ, ඩී.ආර් නානායක්කාර, ට්‍රිලීෂියා ගුණවර්ධන, නවනන්දන විජේසිංහ, රොඩ්නි ජොන්ක්ලාස් ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට මාත් එක්ක රංගනයෙන් දායක වුණා.
මේ චිත්‍රපටයේ එක තැනක තිබෙනවා හින්නිහාමිව ඩී.ආර්.නානායක්කාරට විවාහ කරල දීලා, ටික දවසකින් ජෝ අබේවික්‍රම බලන්න පැමිනුණාම හින්නිහාමි පියාත් එක්ක ගෙදර එනවා. ඒ එන්න කලින් ඩී.ආර්ට හින්නිහාමි දරුණු දෙබස් ටිකකින් දමල ගහනවා. ලෙස්ටර් සර් සහාය අධ්‍යක්ෂක උපාලි පෙරේරාගෙන් ඇහුවලු “මෙයා ඔය දෙබස් ටික කියයිද කියලා”
මං උඹට බය නෑ වාහේ…….
යකා කිව්වෙ එන්න කියල මිසක් ඉන්ඩ කියල නෙමේ.
ඕක මේ ගමේ ගොඩේ ඉන්න මෝඩ අම්මණ්ඩිලට කියපං….
මේ දෙබස් ටික පණ පිහුටුවල මම කියයි කියලා ලෙස්ටර් මහත්මයත් හිතන්න නැතුව ඇති. ඒත් මේ දර්ශනේ එක පාරින්ම ඕකේ වුණා.
මේ විදියට දින හැටකට වැඩි කාලයක් අපි රූ ගත කිරීම් කළා. කැලේ ඇතුළේ රූ ගත කිරීම් ඉවර වෙලා අපිව ගෙනියන්න එන වෑන් එකට අපි නගිනවා. මම හැමදාම වාඩිවෙන්නේ ඩ්‍රයිවර්ට පිටුපස්සේ සීට් එකේ. වීදුරු කවුළුවෙන් වටපිට බලන්න ඕන කමට දවසක් මම සීට් එකේ වාඩිවෙලා ඉන්නකොට එහා පැත්තේ ජනේලය පැත්තෙන් කැමරා ශිල්පී විලී බ්ලේක් ආවා.
“One day you will get a award this character…
ඔහු කිව්ව දේ එදා මට ලොකුවට දැනුණේ නෑ. ඒ මම මේ ක්ෂේත්‍රයට ආධුනික නිසා වෙන්න ඇති. නමුත් ඒ වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානය මේ චරිතයට මට ලැබෙනවා. ඒ එක්කම ලක්ස් නැඟී එන නිළිය සම්මානයත් ලැබෙනවා.
ලෙස්ටර් පීරිස් එක්ක ජීවිත කාලෙටම මට කරන්න ලැබෙන්නේ ඒ චිත්‍රපටය විතරයි. නමුත් බැද්දේගමින් පස්සේ ඔහු නිර්මාණය කරපු වාර්තා චිත්‍රපට හා කෙටි චිත්‍රපට රැසකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ලෙස්ටර්, සුමිත්‍රා යුවළ සමඟ එදා ඇතිවුණ ඒ සමීප සබඳතාවය ඔවුන් දෙදෙනා ජීවිතයෙන් සමුගන්නාතුරුම පැවතියා.
මීළඟට මගේ සිනමා ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙන්නේ “චංචල රේඛා සිනමා පටය. නදීකා ගුණසේකර වූ මම මුළු ලංකාවටම “දංචූටි “වෙන්නේ මේ චිත්‍රපටය නිසා. ඒක එදා විතරක් නොවෙයි දශක ගණනාවක් ගෙවුණ මේ මොහොතෙත් සමහරු මට දංචූටි කියනවා. මේ ආශ්චර්යය අදටත් මම විඳ ගන්නේ කියාගන්න බැරි සතුටකින්
ලබන සතියේ
චංචල රේඛා අත්දැකීම්
