නිවස සංවාද අන්තර්ජාතික මට්ට‍ෙමන් මගේ නම නිර්දේශිත වීම  ලොකු ජයග්‍රහණයක්

අන්තර්ජාතික මට්ට‍ෙමන් මගේ නම නිර්දේශිත වීම  ලොකු ජයග්‍රහණයක්

-රංගන ශිල්පිනී කසුනි කාවින්දි

by Thanushika
June 6, 2024 11:53 am 0 comment

රත්නපුර ප්‍රදේශයේ උපත ලබා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා උපාධිධාරිනියක් බවට පත්වූවාය. පාසල් කාලයේ මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය තුළ වේදිකාව තුළ දස්කම් දැක්වූ ශිල්පිනියකි. ඉන් පසු වේදිකාවත් ටෙලි නාට්‍යයත් මෙන්ම සිනමාවත් එක ලෙස ස්පර්ශ කළ තරුණ ශිල්පිනියන් අතරින් ඇයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. වේදිකා රඟමඬල තුළ සම්මානනිය නිළියක් බවට පත්වන්නිය. ටෙලි නාට්‍යයන් තුළින් ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් පසුගිය කාලයේ විකාශය වූ තණමල්විල කොල්ලෙක් සහ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය තුළින් ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්විය. සිනමා පට හතකට පමණ රංගනයෙන් දායක වීමත්, ඇගේ පළමු සිනමා පටය සිහින සමීකරණ තිරගත වන විට අන්තර්ජාතික මට්ටමේ රටවල් දෙසීයක් අබිබවා හොඳම නිළියට නිර්දේශ වීමද ඇය ලද භාග්‍යයෙකි. අන්තර්ජාතික මට්ටමේ නිර්දේශ වීම හා සිහින සමීකරණ පිළිබඳව කසුනි කාවින්දියා සරසවිය සමඟ කළ කතාබහයි මේ.

සිහින සමීකරණ රිද්මිට මොනවද කියන්න තියෙන්නේ අලුත්ම සිනමාපටය ගැන?

පසුගිය දිනවල සිහින සමීකරණ විශේෂ දර්ශන කිහිපයක් විවිධ තැන්වල පැවැත්වුණා. එළැඹෙන ජුනි 07 වැනිදා සිට සිහින සමීකරණ සියලුම සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතයි. ජුනි 7 වැනිදා ඉඳන් රිද්මි කවුද කියන එකත් රිද්මි මොනාද කරන්නේ කියන එකත් ප්‍රේක්ෂකයන්ට මේ සිනමා පටය හරහා නැරඹීමට අවස්ථාව තියෙනවා. ඉක්කා සිනමා පටයේ විශේෂ දර්ශනයක් නරඹලා සසික අයියා මට ආරාධනාවක් කරනවා. ඔහුගේ මේ සිහින සමීකරණ සිනමා පටයට සම්බන්ධ වෙන්න කියලා. ඉක්කා සිනමා පටය තමයි මගේ පළමුවැනි සිනමා පටය. ඒත් පළමුවෙන්ම තිරගත වුණේ සිහින සමීකරණ සිනමාපටයයි. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ හොඳට කියලයි මම හිතන්නේ.

දැනට සිනමා පට කීයකට සම්බන්ධ වෙලා තියෙනවද?

ඉක්කා සහ සිහින සමීකරණ සමඟ දැනට මම සිනමාපට හතකට වැඩිය සම්බන්ධ වෙලා තියෙනවා. ඉක්කා, සිහින සමීකරණත් සමඟ ගජමෑන් සිනමා පටයේ මම ප්‍රධාන චරිත නිරූපණය කළා. ගජමෑන් සිනමා පටය කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණා. එහි මම මෝෂන් තාක්ෂණය ඔස්සේ පද්මාවතීගේ චරිතය නිරූපණය කළේ. පද්මාවතීගෙන් පස්සේ ආයෙත් මට ලැබෙන්නේ මධ්‍යම පාන්තික සමාජයක ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීමටයි. විසල්ගේ ආදරය වෙනුවෙනුත් ඔහුගේ ගමන වෙනුවෙනුත් විශාල කැපකිරීමක් කරමින් ජීවිතය ගොඩනඟා ගන්නට දඟලන තරුණියක් ලෙසයි. ගම සහ නගරය අතර සිදුවෙන දේවල් ඒවාට විසඳුම් සොයාගෙන ඉදිරියට ගමන් කරන්න වෙරදරන තරුණයකුගේ ජීවිතයට තම ආත්ම අභිමානයටත් නොසිතා ඔහුගේ ජීවිතයට තම ජීවිතයෙන් වටිනකම් එකතු කරන්නට ආදරය වෙනුවෙන් එකතු වෙන රිද්මි කවුද කියන එක මේ තුළින් පෙනෙනවා.

ඉක්කා සිනමා පටය නොයන්නටත් සිහින සමීකරණය තිරගත නොවන්නටත් හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

ඉක්කා සිනමාපටය මීට අවුරුදු නවයකට ඉස්සෙල්ලා රූපගත කිරීම් සිදු කරන්නේ. එහි සියලුම කටයුතු නිමා කරලා තිරගත වීමටයි දැන් තියෙන්නේ. ඒත් සිනමාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් මෙයට හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒත් තිරගතවීම නොවෙන්නේ කුමන ප්‍රශ්නයක් නිසාද කියලා මට කියන්න අමාරුයි. ලාංකේය නිර්මාණ ක්ෂේත්‍රයේ විවිධ ගැටලු මතු වෙනවා. ඒත් ඒ සියලු දේවල්වලට විසඳුම් සොයාගෙන ඕනෑම නිර්මාණයක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම තමයි හොඳම දේ ලෙස මම දකින්නේ. කොහොම නමුත් ඉක්කා සිනමාපටය ළඟදීම තිරගත වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන් කිව යුතු දෙයක් මට තියෙනවා. මේ සිනමා පටයේ වැඩ භාර ගන්න විට මම සිනමාවටත්, තිරයටත් නවක ශිල්පිනියක්. මේ වන විට මම වේදිකාවේ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. මධ්‍යම පාන්තික තරුණියක් ලෙස කලණ ගුණසේකර අයියත් එක්ක මම රංගනයේ යෙදෙන්නේ. සිහින සමීකරණයේ රිද්මිට වැඩිය හාත්පසින්ම ගති ස්වභාවයෙන් වෙනස් වූ චරිතයක් මං මෙහි නිරූපණය කරන්නේ. කලණ අයියගේ පෙම්වතිය ලෙසයි. ආර්ථිකමය වශයෙන් ඔහුගේ දියුණුව පමණයි ඇය හිතන්නේ. ඒත් රිද්මි ශක්තිමත් ගැමි තරුණියක් තමන්ගේ හීන මරාගෙන ඔහුගේ හීන වෙනුවෙන් අනාගතේ ගොඩනඟන ලොවක් දකින්න පුළුවන් තරුණියක්. මේ චරිත දෙක මේ සිනමා පට දෙක අතර අහසට පොළොව වගේ කියලයි මම හිතන්නේ.

වේදිකාව ස්පර්ශ කළ නිළියක් හැටියට ඔබ දුර ගමනක් ඇවිල්ලා කියලා හිතනවද?

ඉක්කා මගේ පළවෙනි සිනමාපටය උණත්, වේදිකාවේ රංගනයේ යෙදුණු රූපණවේදිනියක් ලෙස මගේ දෙවැනි සිනමා පටය තිරගත වන විට රූපණ වේදය පැත්තෙන් මම අද ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා මට දැනුණා. විශේෂ දර්ශන නැරඹු සියලු දෙනාගේ මට හොඳ ප්‍රතිචාරත් එයට ලැබුණා. වේදිකාව ටෙලිනාට්‍යයට වැඩි ලොකු දෙයක් රිද්මිගෙන් දැක්කා කියන එක තමයි කියන්නේ.

ඔබේ කියමන සනාථ කරමින් වෙන්නැති එහෙනම් අන්තර්ජාතික මට්ටමෙන් නිර්දේශයට හිමිකම් කියන්න ලැබෙන්නේ?

මම කවදාකවත් නිර්මාණකරණයට යොමු වන විට සම්මාන සහතික බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් ඕනෑම නළුවෙකුට හෝ නිළියකට ලොකුම සම්මානය හිමිවන්නේ ප්‍රේක්ෂකයන්ගෙන්. වේදිකාවේ මම සම්මාන හිමිකරගෙන තියෙනවා. ඒත් වේදිකාව, ටෙලිනාට්‍ය සම්මාන උලෙළෙ වල ජූරිය කවුද කියන එක මම හරියටම දන්නේ නැහැ. ඒත් තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ ධම්මිගේ චරිතය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත් චරිතයක් වුණා. ගොඩක් දෙනෙක් කිව්වෙ ධම්මිට ඇගැයීමක් ලැබෙයි කියලා. සම්මාන උලෙළවල්වලින් ධම්මිට ඇගැයීමක් නොලැබුණත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ඇගයීම හොඳටම ඇති කියලා මම හිතනවා. ඒත් ලංකාවේ පැවති සම්මාන උලෙළවල් අබිබවා යමින් රටවල් 200කටත් වැඩිය සම්බන්ධ වෙන සිනමා සම්මාන උළෙලකට සිහින සමීකරණ සිනමාපටය නියෝජනය කරන්න ලැබුණා. මේ අතරින් හොඳම නිළිය සම්මානයට අවසන් වටයට තේරුණු රටවල් හතක් අතරින් මාව නිර්දේශ වෙලා තියෙනවා. ඒ රිද්මිගේ රංගනයටයි. තණමල්විල කොල්ලෙක් කළේ සිහින සමීකරණ වලටත් ඉස්සෙල්ලා, ඒ වගේම තමයි සිහින සමීකරණ වලට පසුව තමයි නාඩගම්කාරයෝ වලට මම සම්බන්ධ වෙන්නේ. සිහින සමීකරණ කරල ඉන්න කාලෙ තමයි තණමල්විල කොල්ලෙක් අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණේ. ඊට පස්සේ නාඩගම්කාරයෝ සම්බන්ධ වුණාට පස්සේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මත අතිශය ජනප්‍රියත්වයකට මට පත්වෙන්න ලැබුණා. සිහින සමීකරණයට මාව සම්බන්ධ කරගන්න විට සශික අයියා ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මට තිබුණේ නැහැ. ඒත් සසික අයියා විශ්වාස කළේ මට මේ දෙන චරිතය කිරීමට හැකියාව විශ්වාසය මා තුළ ඇති කියන බලාපොරොත්තුව පමණයි. ඒ විශ්වාසය නිසාම තමයි අන්තර්ජාතික මට්ටමෙන් අද හොඳම නිළියට නිර්දේශ වෙලා තියෙන්නේ. ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්.

රිද්මි සහ විසල් කියන චරිත දෙක දර්ශන තලයේදී දැනුණේ කොහොමද?

සජිත සහ මම වේදිකාවේදීම හමුවුණ දෙදෙනෙක්. වේදිකාවේ රංගනයෙන් පස්සේ තමයි අපි දෙන්නා නැවත මේ සිනමා පටයෙන් හමුවන්නේ. වේදිකාවේ රංගනයේ නිරත වුණු දෙදෙනෙකු ලෙස අපි දෙදෙනාට හොඳ අවබෝධයක් තිබුණා චරිත නිරූපණය ගැන. දෙදෙනාගේ චරිත ගැන නිතරම කතාබහේ යෙදුණා. චරිත දෙක බෙදා හදාගත්තා කරන්න ඕන ආකාරය. දෙදෙනා අතර සිදුවන චරිත අවබෝධය සහ කිව යුතු දෙබස් පිළිබඳ දෙදෙනා අතර අනනෝ‍යය අවබෝධයක් තිබිය යුතුයි. අපි දෙදෙනාට ගොඩක් එයට පහසු වුණේ වේදිකාවේ නිරූපණයයි. ඉන්පසු අපි දෙදෙනා නැවත හමුවන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුළින්.ඕනෑම ශිල්පියකුට හා ශිල්පිනියකට වේදිකාවේ ඇතිවන මිත්‍රකම තුළ ප්‍රායෝගික පුහුණුවීම අතිශයින්ම වැදගත් වෙනවා නිර්මාණකරණයේ යෙදෙන විට. අප්‍රකාශිත ප්‍රේමයක් නිරූපණය කරන විට සහායට ඉන්න නළුවාට සහ සහයට ඉන්න නිළියට පෞද්ගලිකව ඔවුනොවුන් හඳුනාගෙන සිටීම චරිත නිරූපණයට පහසු වෙනවා. අපි දෙදෙනාට එය සැබැවින්ම පිටුවහලක් වුණා.

වේදිකා සහ ටෙලි නාට්‍ය රූපණ වේදනියන් ලෙස නවක අධ්‍යක්ෂකවරයෙක් සමග වැඩ කිරීම පහසුද?

ඔහු සිනමාවට අලුත් අධ්‍යක්ෂකවරයෙක් තමයි. ඒත් ක්ෂේත්‍රයට ඔහු අලුත් අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි.සියලූම ශිල්පීන් සමග ඔහු හරිම නම්‍යශීලී හා මිත්‍රශීලී විදිහට කටයුතු කළේ. ඔහු සමග වැඩ කිරීමට ශිල්පීන්ට හරිම පහසුවක් ලෙස අපිට දැනුණා. මම දකින විදිහට ඔහු තුළ ඊගෝ එක නැහැ.මේක සාමූහික වැඩක් තමන් තනියෙන් කරන වැඩක් කියලා කොයිම මොහොතකවත් හිතන්නේ නැහැ. ඒත් සමහරක් අධ්‍යක්ෂකවරු එහෙම හිතන්නේ නෑ. සසික අයියා කරන වැඩේ සියලු දෙනාගේ එකමුතුවෙන් එන වැඩක් කියන එක ඔහු තුළ හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා ඔහු හැමවිටම ආධුනිකයාගේ සිට පරිණත මනුස්සයා කියන දේ පවා ඇහුම්කන් දීමේ ලක්ෂණයක් තිබුණා. ඒ සියලු දෙනා කියන දේවල් ඔහුට ගන්න තියෙන දේවල් අරගෙන නිර්මාණය සාර්ථක කර ගැනීම තමයි ඔහුගේ අරමුණ වුණේ. නිර්මාණයක් කිරීමේදී තීරණ ගැනීමේ දි ඔහු සෘජුව සිට ගන්නා පුද්ගලයෙක් ලෙස අපි දැක්කා. ඔහු තුළ තියෙන මහත්මා ගතිගුණ නිසා සිනමාවට වගේම අනිත් ක්ෂේත්‍රයන්ටද හොඳ අධ්‍යක්ෂකවරයෙක් බිහිවෙයි කියන එක අපේ සිත් තුළ දැඩිව තියෙන දෙයක්ය.

රිද්මි පාපැදියෙන් ගිය ගමන් කොහේද?

සිහින සමීකරණ සිනමාපටයේ රූපගත කිරීම් සිදුවුණේ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයත්, මහනුවර ප්‍රදේශයත් හා කොළඹ ප්‍රදේශය මට සමීප වුණේ. මේ ප්‍රදේශවලදී තමයි පාපැදියේ ගමන් මෙන්ම බස් රථයේ ගොස් කාර් රථයෙන් යාමත් ත්‍රීවිල් එකේ යාමත් ඔය දේවල් සිදු කළේ මම මේ කියන ප්‍රදේශ තුළ තමයි. සජිතට සහ මට රූපගත කිරීම් වැඩි හරියක් සිදුවුණේ වැලිකන්ද ප්‍රදේශයේදී. හරිම සුන්දර ගම් ප්‍රදේශයක් මේ රූපගත කිරීම් කළේ. මට පාපැදිය අලුත් දෙයක් නොවෙන නිසා හරිම සරල වුණා ඒ ජීවිතයේ නිරූපණයට. මගේ ජීවිතයත් හරිම සරල ජීවිතයක් නිසා මේ හැම දේකටම පහසු වුණා. නගරයට වඩා මම ගමේ හැදිච්ච කෙනෙක් හැටියට මේ වටපිටාව මට අලුත් දෙයක් නොවුණා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නේ භෞතික ලක්ෂණ පමණයි. ඒ සුන්දරත්වය විඳගනිමින් අපි හරිම සරල ලෙස සිනමා පටයේ වැඩකටයුතු නිමා කළා. ඒ නිමා කළ සිනමා පටයේ රිද්මි කියන චරිතය ජුනි 7 ඉදන් මින් පසු මම ප්‍රේක්ෂකයන්ට භාර කරනවා.

කසුනි කාවින්දි කියන වේදිකා නිළිය ප්‍රේක්ෂකයන් දකින්නේ කොහොමද?

මා වටා ඉන්නේ හොඳ බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක්. එදා ඉඳන්ම මට ඒ බව දැනුණා. වේදිකා නාට්‍යය බලන බහුතරයක් ඉන්නේ බුද්ධිමත් පිරිසක්. ඒ වගේම හරිම අඩු ප්‍රේක්ෂක පිරිසක්. ඒ වගේම තමයි කලින් බලපු වේදිකා නාට්‍යවලට මාව හම්බුණාම ඒ නරඹපු ප්‍රේක්ෂකයන් දෙන ප්‍රතිචාර හරිම ඉහළයි. එදා ඉඳන් මා සම්බන්ධ වෙච්ච නිර්මාණත් එක්ක බලපුවාම රසවින්දනාත්මක ගති ස්වභාවයන් විඳීන හා ඒවා ගැන කතා කරන පිරිස් මාවටා එකතුවෙලා ඉන්න හැඟීමක් මට දැනෙනවා. සමහරක් වෙලාවට මම වෙනත් නිර්මාණවල දැකපුවාම මට ආදරය කරන අය මගෙන් අහනවා ඇයි ඔයා මේ වගේ නිර්මාණයකට එකතු වුණේ කියලා.

හරවත් හා ගුණාත්මක නිර්මාණවල මම දකින්නයි ඔවුන් කැමති වෙන්නේ. අනික මම තුන්සිය හැටපස් දවසෙම වේදිකාවෙන් හෝ ටෙලිතිරයෙන් දකින්න පුළුවන් කෙනෙක් නෙවෙයි.ඉඳලා ඉඳලා මම සම්බන්ධ වෙන නිර්මාණ කීයද එය හොඳ සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. මිනිසුන්ට ඒ කරන චරිතය ඉතාමත් හදින් මතක හිටින බැම්මක් ලෙස කියන්න පුළුවන්.දිගු කාලයක් ගියද මා කළ චරිතය ප්‍රේක්ෂකයන්ට හැමදාම මතක සිටිනවා. කොහොම නමුත් මම චරිත නිරූපණයට හරිම කෑදර කෙනෙක්. මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න තමයි මම හැමවෙලේම බැඳී සිටින්නේ.

වේදිකාවේදි ප්‍රේක්ෂකයාව ඔබ මතකයට ගෙනයන්නේ මොනවාද?

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලෙ චෙරි උයන, චත්‍රපාණී, වේදිකා නාට්‍ය අතිශය ජනප්‍රිය වූ වේදිකා නාට්‍යයන් වුණා. කෙටි නාට්‍යවලට ප්‍රිය කරපු ප්‍රේක්ෂක පිරිසක්ද මා වටා සිටියා. ඒ වගේම තමයි මෑත කාලයේදී වේදිකාගත වුණු “අප අතර වු, කියන නාට්‍යය තුළින්ද ප්‍රේක්ෂකයාගේ මතකයට මාවගෙන යනවා.

ඔබ සම්මානයට පාත්‍ර වූ නිළියක් නේද?

2014 යෞවන සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. 2015 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නිළියට නිර්දේශ වීමද, 2017යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළියට හිමි සම්මානයටද නිර්දේශ වීම සමග සිහින සමීකරණ සිනමා පටය සඳහා නයිජීරියාවේ බයෙල් සා අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ 2023 වර්ෂයේ හොඳම නිළියට නිර්දේශ වීම රටවල් 200කට අධිකව චිත්‍රපට 3000කට ඉක්මවා ගිය නිර්මාණ අතරින්ය. හැබැයි ලංකාවේ තිරයේ එක සම්මාන උලෙළෙ කටවත් මම නිර්දේශ වෙලා නැහැ. එහෙම ඉඳගෙන මට අන්තර්ජාතික සිනමා උළෙලක නිර්දේශය ලැබීමම අතිශයින් වැදගත්. එය මම දකින්නේ ඉතාම පිරිසුදු අන්තර්ජාතික සම්මානයක් ලෙසයි. එම උලෙළවල්වල ජූරියේ සිටින කිසිවෙකු අපි දැකලත් නෑ අපි ලොව ප්‍රසිද්ධ රූපණවේදනියන් නෙවෙයි. ජූරියේ සිටින සියලු දෙනාම දකින්නේ නිර්මාණයට සාර්ථකව දක්වා ඇති රූපණය පමණයි. ඒවාගේ නිර්මාණයකට රටින් පිට දී ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලැබෙන සම්මානය අපි ඉතා ඉහළින් අගය කළ යුතුයි. ජීවිතයේ කිසි දිනක නිර්මාණවේදියාවත් දැකලා නැතුව ජූරිය විසින් ඔහුගේ නිර්මාණය පමණක් දැකලා ඇගයීම කොපමණ වටිනවාද කියලා සියලු දෙනාටම හිතෙනවා ඇති. ඒත් සමහර ප්‍රේක්ෂකයන් මා හට කීවේ පසුගිය කාලවල තිබුණු සම්මාන උළෙලවලදී සම්මානයක් ඔබට ලැබෙයි කියලා. ඒත් අපේ ජූරි වල සිටින අයට මගේ රංගනය ප්‍රශස්ත මට්ටමක නොතිබෙන්න ඇති කියලයි මම හිතන්නේ.

ඔබ වැඩිය නිර්මාණකරණයේ දකින්න නැති වෙන්නේ ඇයි?

මම නිර්මාණකරණයේ යෙදෙන්නේ හරවත් හා ගුණාත්මක බවින් යම් දෙයක් සමාජගත කරන්නට පුළුවන් ඒවායි. මගේ කාර්යබහුලතාවයත් එක්ක මම නිර්මාණකරණයේ යෙදෙන්නේ ඉතාම අතළොස්සකයි. එක නිර්මාණයක වැඩ භාර ගත්තාම එයා අවසන් කිරීම තමයි මගේ මූලිකම අරමුණ වන්නේ. නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා අපි ගැන බලාපොරොත්තුවත් තබාගෙනයි නිර්මාණයකට දායක කරගන්නේ ඒ නිසා ඔවුන්ට සාධාරණයක් කිරීම මගේ මූලික පරමාර්ථය වෙනවා. කරන නිර්මාණ දෙකද තුනද නෙවෙයි මට වටින්නේ මම කරන චරිතයට සාධාරණයක් කිරීමයි. මම රංගනයට හරිම කෑදර නිසා එය හරියටම කරන්නේ. වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව, කියන ත්‍රිත්වය තුළම මට සාධාරණයක් කරන්න පුළුවන් ඕනෑම චරිතයක් මම කරනවා.

ඉදිරි නිර්මාණකරණය හා විවාහ ජීවිතයට එළබීම කොහොම සිදු වෙයිද?

ධනුෂ්ක රත්නායකගේ සි.යු මේ දිනවල එහි රූගත කිරීම් සිදුකරගෙන යනවා. ශිවගුරුනාදන් මහත්මයාගේ අලුත් ටෙලි නාට්‍යයකට දැනටමත් කතා කරලා තියෙන්නේ. තව නිර්මාණ කිහිපයකට කතා කරලා සාකච්ඡා මට්ටමින් ඉන්නවා. අප අතර වූ” වේදිකා නාට්‍යයේ දර්ශන වාර කිහිපයකටත් සම්බන්ධ වෙන්නට අවස්ථාව තියෙනවා. විවාහ වීම ගැන නම් තාම එතරම් හිතලා නැහැ. සුදුසු කාලය ආපුවාම ඒ දේවල් වලට උත්තර දෙන්න මම සූදානමින් ඉන්නේ. එතකන් නිර්මාණකරණයේ යෙදීම තමයි මූලිකම අරමුණ වෙන්නේ.

 

[email protected]

සටහන - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT