Home » මම දුවන්නේ ජනප්‍රියතාව පසුපස නොවේ දක්ෂතාව සොයාගෙන OICගඩාෆි චිත්‍රපටයේ හිරුණි – ඩිලුක්ෂි වීරප්පෙරුම

මම දුවන්නේ ජනප්‍රියතාව පසුපස නොවේ දක්ෂතාව සොයාගෙන OICගඩාෆි චිත්‍රපටයේ හිරුණි – ඩිලුක්ෂි වීරප්පෙරුම

by mavan
May 21, 2026 12:00 pm 0 comment

වර්තමාන සිනමාවට පායා එන තරු බොහෝය. එහෙත් අඛණ්ඩව දිදුලන තරු ඉන්නේ ඉතාමත් අතළොස්සකි. තරු ගුණය තමන් සතුවුවත් රංගනයට දුර්වල නම් රූපයෙන් බැබලුණත්, පලක් නැත. එසේම තමාට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරමින් තම රංගන හැකියාව ඉස්මතු කරගනිමින් ක්ෂේත්‍රයේ රැඳී සිටිය හැක්කේ සුළු පිරිසකට පමණි.

එවන් සුළු පිරිසක් අතර ඩිලුක්ෂි වීරප්පෙරුම රංගන ශිල්පිනියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඩිලුක්ෂි මේ දිනවල අතිශයයෙන්ම කතාබහට ලක් වූ රංගන ශිල්පිනියකි. මේ දිනවල කාගේත් කතාබහට ලක් වී ඇත්තේ සිනමා පටයක් වූ ගඩාෆි චිත්‍රපටයයි. සුපිරි නළු රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ ගඩාෆි චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වෙමින් පවතී. එය හාස්‍ය රසයෙන් යුත් නිර්මාණයකි. එහි රඟන චරිත අතරින් හිරුණිගේ චරිතය ගැන කවුරුත් කතාබහ කරති. රංගන ශිල්පිනියකට එය තරමක අභියෝගාත්මක චරිතයක් බව කිව යුතුය. එහෙත් ඒ බව මැනවින් තේරුම්ගෙන ඩිලුක්ෂි වීරප්පෙරුම එම චරිතයට සාර්ථකව පණ පෙවූවාය. ඒ ගැන කතාකරන්නට ඇය සරසවිය හමුවට පැමිණියේ මහත් උනන්දුවෙනි. සිනහ මුසු මුහුණින් යුතුව දඟකාරකමින් ඇය ඇගේ කථාවට මෙසේ මුලපිරුවාය.

“මම මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්. මම රංගනයෙන් දායක වූ ගඩාෆි චිත්‍රපටය නිසා ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි. මට ඒ වගේ චරිතයක් මින් පෙර ලැබිලා නැහැ. මම මීට පෙර කරලා තිබුණේ හූ කියලා කෑගහන චරිත පමණයි. එහෙත් ගඩාෆි චිත්‍රපටයේ මම කරපු චරිතය මින් පෙර මා කළ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස්.

මම හිතුවේ නැහැ ඒ චරිතය කවුරුත් ආදරෙන් වැලඳගනීවි කියලා. එහෙත් නොසිතූ ලෙස මට හොඳ ප්‍රතිචාර ලැබුණා. එය මට මගේ රංගන ජීවිතයට හොඳ දිරිගැන්වීමක් වුණා. ගඩාෆි මංගල දර්ශනය දා සමහර සහෝදර නිළියන් මා ළඟට ඇවිත් කියූ දේවල් ගැන මට හරි පුදුම හිතුණා. ඒවගේම සතුටක් දැනුණා.

‘කොහොමද ඒ වගේ චරිතයක් කළේ?

හරි දක්ෂයි ඔයා.

මට මේ වගේ චරිතයක් ලැබුණා නම් හිතාගන්නවත් බැහැ කොහොමද කරන්නෙ කියලා.

මේ රංගනය වෙනුවෙන් අපි ඔයාට රෙස්පෙක්ට් කරනවා.’

මෙවැනි ප්‍රතිචාර තමයි මට එදා ලැබුණේ. ඇත්තටම මහන්සි වෙලා කරපු චරිතයක් වෙනුවෙන් එවැනි ප්‍රතිචාර ලැබීම සතුටක්.

ගඩාෆි චිත්‍රපටයේ හිරුණිගේ චරිතයට මට ආරාධනා ලැබුණේ රන්ජන් අයියාගෙන්. මම රන්ජන් අයියාව දැකලා තිබුණා. අවස්ථා දෙකකදී විතර මුහුණගැසීලා කතා කරලා තිබුණා. රන්ජන් අයියා සුපර්ස්ටාර් කෙනෙක්.“දවසක් මට කෝල් එකක් ආවා රන්ජන් රාමනායක කියලා. ඒක වට්සැප් කෝල් එකක්. ඒක බොරුවක් කියලා හිතුණා නිසා මම පිළිතුරු දුන්නේ නැහැ. ඉන් ටික වෙලාවකට පසු එයා මට කෙටි පණිවිඩයක් එවලා තිබුණා. ඒ කෝල් එක මම හරියටම ස්ථිර කරගෙන රන්ජන් අයියාට කතා කළා.

රන්ජන් අයියා චරිතය ගැන මට විස්තර කළා. එයා කිව්වා මේක හාස්‍ය මුසු චිත්‍රපටයක් කියලා. මට දිගටම වගේ ලැබුණේ ඒ වගේ චරිත නිසා මම මුලින්ම ඒක එක හේතුවක් කිව්වා ‘මේක කරන්න බෑ වගේ’ කියලා. ඒත් රන්ජන් අයියා කිව්වා, ‘ස්ක්‍රිප්ට් එක එක පාරක් කියවන්න නංගි’ කියලා.”

“රන්ජන් අයියා මගේ ගැන ලොකු විශ්වාසයක් තියාගෙන තමයි මට කතා කළේ කියලා තේරුණා. මට කතා කරන්න කලින් තවත් රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ටම හිරුණිගේ චරිතය ගැන කතා කරලා තිබුණා. එයාලා කැමතිවෙලා තිබුණේ නැහැ.

ඒ ගැන සමහර ශිල්පිනියන් මංගල දර්ශනයේ දවසේ ඇවිත් මට කියලා සුභ පැතුවා. හිරුණි වගේ චරිතයකට මාව තෝරාගත් එකට අදටත් මම රන්ජන් අයියාට ස්තූතියි කියනවා.

මට මේ චිත්‍රපටයේ දෙබස් කියන්න තිබුණේ නැහැ. මට කියන්න තිබුණේ ‘මියා අහුවුණා කියලා විතරයි. රන්ජන් අයියා මම රඟපානවා දැකලා තිබුණලු. ඒ ටෙලිනාට්‍යවලින්. එයා මගේ රංගනය දැකලා එයාට හිතුණලු මම හරිම ක්‍රියාශීලී කියලා. ඒ නිසාම තමයි මාව තෝරාගෙන තිබුණේ.

ඒ අවස්ථාවේ කණ්ඩායමේ සිටි අනෙක් අය මට කැමතිවෙලා නැහැ. ඒත් රන්ජන් අයියා සහ ලකි අයියා තමයි මාව තෝරාගත යුතුයි කියලා තීරණයකට ඇවිත් තිබුණේ.

එතැන සිටි අනෙක් අයට මා ගැන විශ්වාසයක් තිබිලා නැහැ. මගේ කට සද්දයි. මම මෙතෙක් කළ රඟපෑම් වලදී සද්ද දාලා දෙබස් කියූ චරිත තමයි කරලා තිබුණේ. ඒකත් හේතුවක් වුණාලු මාව තෝරාගන්න.

අවසානයේදී රන්ජන් අයියා කියලා තිබුණා, ‘මේ කෙල්ලව මේ චරිතයට ගන්න මට ඉඩ දෙන්න’ කියලා. ඒ අනුව හිරුණිගේ චරිතයට මාව තෝරාගෙන තිබුණා.

රංජන් අයියා හරිම විනෝදයෙන් ඉන්න චරිතයක්. රූගත කිරීම වරදින්නත් බැහැ. රූගත කිරීම් වලදීත් එහෙමයි. රූගත කිරීම් කරන විට එක පාරටම කියනවා, ‘මෙන්න මෙහෙම කරන්න’ කියලා. එයා එක්ක වැඩ කරන්න පහසුයි. අපට බලකිරීම් කළේ නැහැ කිසිම වෙලාවක.

ඔහු අධ්‍යක්ෂවරයෙක් වෙන්න කලින් රංගන ශිල්පියෙක්. ඒ නිසාමද කොහෙද අපිට උපරිම සැප පහසුකම් ලබා දුන්නා. කෑම බීම, ඉඳුම් හිටුම් උපරිම උසස් විදිහට දුන්නා. හැමදෙනා ගැනම සොයා බැලුවා.”

“එක වෙලාවකට මට හිතුණේ රන්ජන් අයියා මනුස්සයෙක්ද, දෙවියෙක්ද කියලා. එතරම්ම ඔහු තුළ යහපත් ගතිගුණ තියෙනවා. ඒ වගේ පුද්ගලයෙක් මම දැකලාම නැහැ. ඔහු හරි අපූරු වෙනස් පුද්ගලයෙක්.

හිරුණි කියන චරිතය මට අභියෝගාත්මක චරිතයක් වුණා. එවැනි චරිත භාරගන්න මම කැමතියි. මම ඒ චරිතය කරනකොට ‍රන්ජන් අයියා සමහර වෙලාවට ඇවිත් ඇහුවා, ‘නංගි ඔයාට ඒ සීන් එක කරන්න අපහසුද?’ කියලා. ‘ඔයාට ඔයාගේ ඇඳුම අපහසුද?’ කියලා. ඒ වගේම නිතරම මම ගැන අවධානයෙන් සිටියා.

මම තමයි එතන හිටපු ළාබාලම රංගන ශිල්පිනිය. සෙට් එකේ හැමෝගෙන්ම වගේ මට ලැබුණේ ආදරය සහ සහයෝගය. ඒ වගේම ජයනී අක්කා එක්ක මම වැඩ කරලා තිබුණේ නැහැ. ඇය දුන්න උපදෙස් මට ගොඩාක් වටිනවා. ඒ දුන්න උපදෙස් මගේ රංගනය ඉහළට ගෙනියන්න කවදාහරි රුකුලක් වේවි. ජයනී අක්කා වෙලාවකට මට අම්මා කෙනෙක් වගේ. වෙලාවකට මිතුරියක්, සහෝදරියක් වගේ.

ඒ වගේම තමයි ධර්මප්‍රිය අයියා. ඔහුගෙනුත් මට උපරිම සහයෝගය ලැබුණා. ගිහාන් අයියා මගේ තාත්තා විදිහට රංගනයේ යෙදිලා තිබුණා. ඒ නිසා ඒ බැඳීම අපි අතර තිබුණා. ඔහු නිර්මාණශීලී පුද්ගලයෙක්. ඔහු අපේ දක්ෂතාව දැක්කාම අපිවත් ඉදිරියට අරගෙන යන පුද්ගලයෙක්.

ඒ වගේම මහින්ද අයියා, සමන් අයියා, පියුමි අක්කාවත් මම ආදරයෙන් මතක් කරනවා. විශේෂයෙන් මේ වෙලාවේ ගඩාෆි ටීම් එකටම ස්තූතියි කියන්න ඕනේ. ඒ අය මට කිසිම වෙනස්කමක් නොකර හොඳීන් සැලකුවා. රූගත කිරීම් අවසානයේ ඒ සියලු දෙනාම වගේ මාව ආදරයෙන් වැලඳගත්තා. මගේ රංගනය අගය කළා.රූගත කිරීම් අවසන් වූ දවසේ ඇත්තටම දුක හිතුණා වෙන්වෙන්න. මේ පමණ කාලයක් නිර්මාණවලදී මාව එක රාමුවකට කොටු කරලායි තිබුණේ. ඉතින් මම හිතුවා ටිකක් විවේක ගන්න. මෙගා නාට්‍යවලින් ඈත්වෙන්නත් සිතුවා. විශේෂයෙන් මගේ අවසාන මෙගා නාට්‍යය විසේකාරි වේවි. මින් පසු මම චරිත තෝරා බේරාගෙන රඟපානවා.

මම රංගනයට එන්න කලින් නර්තන ශිල්පිනියක්. පාසලේ ඉගෙන ග

ගන්නවාට වඩා කළේ නටපු එක. මම ගියේ විශාඛාවට. අපේ පාසලේ නීතියක් දාලා තිබුණා රංගනය තහනම් කියලා. එහෙම නීතියක් තිබීම හොඳයි. මම රංගනයට යොමුවුණේ උසස් පෙළින් පසු.

මම භරතනාට්‍යම් ශිල්පිනියක්. පුංචි කාලේ ඉඳන්ම මම භරතනාට්‍යම් ප්‍රගුණ කළා. පහ වසරේදී මම අරංගේට්‍රම් ප්‍රසංගයට කළා . උඩරට නර්තනයත් හොඳීන් ප්‍රගුණ කළා. විශේෂයෙන් භරතනාට්‍යය මගේ රංගන ජීවිතයට බොහෝ උපකාරී වුණා. මගේ යාළුවෝ පමණයි දන්නේ මම නර්තනයේ දක්ෂයි කියලා. කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඒක දන්නේ නැහැ.

රංගනය නිසා නර්තනයෙ ඈත්වුණා. ඒත් මම බලාපොරොත්තු වෙනවා නැවතත් භරත නාට්‍යයම් වෙනස්ම ආකාරයකින් කරළියට ගෙනෙන්න. නැවතත් භරත නාට්‍යයම් ඇඳුම අඳීන්න ආසාවෙන් ඉන්නවා.

‘ගෝත්‍රා’ චිත්‍රපටයේ තමයි මම මුලින්ම රංගනයේ යෙදුණේ. පසුව ‘බෆලෝ ට්‍රැවල්ස්’. ඒත් පසුව තමයි ‘ගෝත්‍රා’ තිරගත වුණේ. ඊට අමතරව දෙමළ චිත්‍රපටයකත් මම රංගනයේ යෙදුණා. ටෙලිනාට්‍ය නම් බොහෝමයක සිටියා.

මට ආදරය ලැබෙනවා උපරිමයෙන්. ඒ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන්. ඉතින් ඒ ආදරය පරිස්සම් කරගෙන හොඳ චරිත පමණක් තෝරාගන්නවා කියලා මම තීරණය කළා.

මම හැමදාමත් කියන දෙයක් තියෙනවා. ඒ තමයි දක්ෂ නිළියක් වෙනවා කියන එක. මම දුවන්නේ ජනප්‍රියතාව පිටුපස නොවෙයි. මම දුවන්නේ දක්ෂතාව පිටුපස. කවදාහරි දක්ෂ නිළියක ලෙසින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණීම තමයි මගේ එකම බලාපොරොත්තුව.”

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT