නිවස විශේෂාංග ‘ප්‍රතිරූපය’ රාජ්‍ය ආයතනයක පුරෝගාමී ප්‍රයත්නයක්

‘ප්‍රතිරූපය’ රාජ්‍ය ආයතනයක පුරෝගාමී ප්‍රයත්නයක්

වත්තල ප්‍රාෙද්ශීය ලේකම් පී.ඩී.ටී.සී.රාජිකා

by Test User
February 29, 2024 12:58 am 0 comment

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරියගේ මූලිකත්වයෙන් සහ එහි සංස්කෘතික නිලධාරිනියගේ මෙහෙයවීම මත වත්තල බලප්‍රදේශයේ සංස්කෘතික බලමණ්ඩලයට අයත් කලාකරුවන්ගේ දායකත්වයෙන් ‘ප්‍රතිරූපය’ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් U Tube

නාලිකාවක් ද ආරම්භ කර තිබෙන අතර රාජ්‍ය ආයතනයක් මෙවැනි කටයුත්තක් ප්‍රථමවරට සිදුකිරීම ද විශේෂත්වයක් වෙයි. කෙටි චිත්‍රපටය පිළිබඳවත් U Tube
නාලිකාව පිළිබඳවත් අදහස් දැක්වීමට වත්තල ප්‍රාදේශීය ලේකම්වරිය සහ එහි සංස්කෘතික නිලධාරිනිය මෙසේ සරසවිය හා එක්වූහ.

වත්තල ප්‍රාදේශීය ලේකම් P.D.T.C.  රාජිකා මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය. කෙටි චිත්‍රපටය සඳහා ඔබට අදහස පහළවූයේ කොහොමද …?

ඒක ඇත්තෙන්ම සංස්කෘතික නිලධාරිතුමිය වන චමිලා රූපසිංහ මහත්මියගේ වැඩක්. අපේ බලප්‍රදේශයේ සංස්කෘතික බලමණ්ඩලයේ සිටින කලාකරුවන් එක්ක එකතුවී අලුත් යමක් කළ යුතුයි කියන අදහසින් තමයි ඇය සාකච්ඡා පවත්වා මෙවැනි කෙටි චිත්‍රපටයක් නිර්මාණයට පෙලැඹුණේ. කිසිම සංස්කෘතික බලමණ්ඩලයකින් මේ වෙනතෙක් මේවගේ දෙයක් කෙරිලා නැහැ. පළමුවරටයි මෙවැනි දෙයක් වෙන්නේ. මෙහි අදහස, යෝජනා සියල්ල අපේ සංස්කෘතික නිලධාරිතුමිය සහ සංස්කෘතික බලමණ්ඩලයේ කලාකරුවන්ගේ. ඉන්පසුවයි මට මේ යෝජනාව කළේ. ඒකට මමත් සතුටු වුණා. අලුත් දෙයක් නිසා මමත් කැමැති වුණා.

ඔබලගේ සංස්කෘතික බලමණ්ඩලයට අයත් කලාකරුවන් ගැන කීවොත් ……?

මෙහිදී අපේ සංස්කෘතික බලමණ්ඩලය කීවම වත්තල කොට්ඨාසයට අයත් කලාකරුවන් තමයි මෙහි නියෝජනය වෙන්නේ. ප්‍රධාන කලාකරුවන් විදිහට රොඩ්නි වර්ණකුල මහතා ඉන්නවා. සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති ලෙස පත්කරගෙන ඉන්නේත් ඔහුයි. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ සිට විශිෂ්ට කලාකරුවන් රැසක් අපේ බලමණ්ඩලයට සම්බන්ධ වී සිටිනවා.

“ප්‍රතිරූපය” කෙටි චිත්‍රපටයට දායකවූ පිරිස මතක් කළොත්….?

ඔව්, මෙයට රොඩ්නි වර්ණකුල, නිලූකා රේඛානි, සුසිල් පෙරේරා, ශෂිරංග වික්‍රමසේකර, මනෝහාරි විමලතුංග වැනි පිරිසක් රංගනයෙන් එකතුවෙනවා. ඒවගේම හිටපු සංස්කෘතික අධ්‍යක්ෂිකාවක වන අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියත් මෙහි චරිතයක් නිරූපණය කිරීම විශේෂයි. අනෙක අපි කලාකරුවන්ට මුදල් දෙනවා වෙනුවට ඔවුන්ම අතින් වියදම් කරගෙනයි මෙයට දායක වුණේ. ඒ පිළිබඳවත් ඔවුන්ට අපේ ප්‍රණාමය පුදකරනවා.

ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මීට පෙරත් කලාකටයුතු සිදුකර තිබෙනවා ද….?

කලාකටයුතු රැසක් අපි මීට පෙර සිදුකර තිබෙනවා . ඒත් මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කළේ පළමුවතාවටයි.

“ප්‍රතිරූපය” සඳහා අනුෂා ගෝකුල ප්‍රනාන්දුගේ දායකත්වයත් විශේෂ වුණා නේද….?

ඇත්තෙන්ම. අනුෂා ගෝකුල ප්‍රනාන්දු අපේ හිටපු සංස්කෘතික අධ්‍යක්ෂතුමිය වගේම ඇය චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිනියත් වෙනවා. ඇයව විශේෂයෙන් මතක් කරන්න ඕන. ඇගේ දායකත්වය ලොකුවටම අපට ලැබුණා. ඒක අපට ලොකු ශක්තියක් වුණා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කර සුළු කාලයකින් රූපවාහිනියේ ප්‍රදර්ශනයටත් අවස්ථාව ලැබුණා. එයට විශාල දායකත්වයක් දැක්වූයේ ඇයයි. එතුමියගේ සම්බන්ධතා ජාලය මේ සඳහා අපට ලබාගන්න හැකිවුණා. ඒවගේම ඇය මෙහි විදුහල්පතිනියගේ චරිතයක් කරනවා. ඇගේ පළමු රංගනය මෙය වීමත් ඉතා සුවිශේෂී දෙයක්. ලෝක ළමා දිනය දා ජාතික රූපවාහිනියේම මෙය විකාශනය කරන්න හැකිවුණෙත් අනුෂා ගෝකුල මහත්මියගේ මැදිහත්වීම නිසයි. ඇය දැන් ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරනවා

වත්තල ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස මෙම කෙටි චිත්‍රපටයට ඔබේ දායකත්වය ගැන කතා කළොත්…….?

මම මේ සඳහා ඔවුන්ට උපරිම නිදහස ලබාදුන්නා. මම කියන්නේ අලුත් යමක් සිතලා කරන්න කියලා. සමාජයට පණිවිඩයක් දෙන දෙයක් කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක මූලිකම අරමුණ මහජන සේවාවන්නේ. දරුවෙක්ගේ, වැඩිහිටියන්ගේ ප්‍රශ්නයක් හෝ වෙනත් ප්‍රශ්නයකට හෝ උත්තරයක් හොයන්න මිනිස්සු එන්නේ මෙතැනටනේ..ළමයි ගැන අපි අවධානය යොමුකරන්න ඕන. ළමයාට පණිවිඩයක් දෙන දෙයක් අපි කරන්න ඕන. මේ චිත්‍රපටයේ ළමයින්ට පණිවිඩයක් දෙනවා. දරුවන්ගේ හැකියාව තේරුම්ගෙන දරුවාව ගෙනියන්න ඕන කොතැනටද කියා අපි තේරුම්ගන්න ඕන. අවාසනාවකට බොහෝ අය දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන නැහැ. අපි දරුවන්ගේ දක්ෂතා තේරුම්ගන්න ඕන. මෙවැනි තේමාවක් යටතේ කළ මේ චිත්‍රපටයේ වැඩවලට මගේ සහෝදර කාර්යමණ්ඩලයේ පිරිසට මම උපරිම මානසික නිදහස ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස ලබාදුන්නා.

“ප්‍රතිරූපය” තුළින් සමාජයට දෙන ආදර්ශය පැහැදිලි කරනවානම්…..?

මේක දරුවන් තේමකරගෙන කළ නිර්මාණයක්. මෙයින් සමාජයට පණිවිඩයක් , ආදර්ශයක් දෙනවා. බොහෝඅය හදන්නේ දරුවාව වෛද්‍යවරයෙක් , ඉංජිනේරුවරයෙක් කරන්න. දරුවාගේ නිර්මාණාත්මක හැකියාව, දක්ෂතාව වටහාගෙන ඒ දරුවාට ඒ මාර්ගයේ අනාගතය හදගන්න ඉඩදිය යුතුයි කියන පණිවිඩය මේ චිත්‍රපටයෙන් අපි ලබාදෙනවා .මෙය අපි ප්‍රදර්ශනය කළේත් ලෝක ළමාදිනය යෙදුණු ඔක්තෝබර් 01 වැනිදා. දරුවන් ගැන මවුපියන්, ගුරුවරුන් බලන්න ඕන කොහොමද කියන්දේත් මේ තුළින් අපි පෙන්වාදෙනවා. දරුවාට මාර්ගය හදලා දුන්නම ඒ මාර්ගයේ දරුවා ගමන් කරනවා. අපි සංවේදී දරුවෙක් හදන්න ඕන.

“ප්‍රතිරූපය” මුලින්ම ප්‍රදර්ශනය කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේමද….?

මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයම තමයි චිත්‍රපට ශාලාවක් බවට පත්කරගෙන මුලින්ම මෙය ප්‍රදර්ශනය කළේ. අපේ හිටපු දිසාපතිතුමා වන සමන් දර්ශන පාඬිකෝරාල මහතාවත් මේ මොහොතේ මතක් කරන්න ඕනි. ඔහුත් කලාවට බොහෝම ළැදි කෙනෙක්. ඔහු මෙහාට ඇවිත් චිත්‍රපටය බලලා අපට සුබපතලා අපට විශාල ශක්තියක් වුණා. මෙසේ ප්‍රදර්ශනය කළාට පස්සේ ළමා දිනයට ජාතික රූපවාහිනියේ ප්‍රදර්ශනය කළා. ඒ ප්‍රදර්ශනයට අනුෂා ගෝකුල මහත්මිය උපරිම සහය දුන්නා

මේ නිර්මාණයට වෙනත් රාජ්‍ය ආයතනවල දායකත්වයත් ලැබුණාද…..?

ඔව්, එතැනදී සංස්කෘතික නිලධාරිනියගේ හා කලාකරුවන්ගේ හිතවත්කම මත කඩුවෙල සංස්කෘතික බලමණ්ඩලයේ නිලධාරීන් මෙයට සම්බන්ධ වුණා. අපේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේත් විවිධ දක්ෂතා තිබෙනවා . ඒත් ඔවුන්ට ඒවා එළිදක්වන්න ශක්තියක් නැහැ. ඒ අතින් සංස්කෘතික නිලධාරිතුමියට ස්තුති කරනවා. දක්ෂතා ඇති අපෙන් ඈත්වෙලා ඉන්න පිරිස එකතු කරගෙන මේ වැඩේ කිරීම් වෙනුවෙන්. කලාව කියන්නේ අපේ රාජකාරිවලින් හෙම්බත්වනවිට ලබාගත හැකි විශාල් මානසික තෘප්තියක්.

චිත්‍රපටය ප්‍රාදේශීය මට්ටමින් , පාසල් මට්ටමින් ප්‍රදර්ශනයට අදහසක් නැද්ද….?

ඔව්, එහෙම අදහසක් තිබෙනවා. එහෙම කරද්දී ලොකු පණිවිඩයක් සමාජයට දෙන්න පුළුවන් විශාල වපසරියක ඉඳන්. මෙය දරුවන්ට වගේම ගුරුවරුන්ටත්, මවුපියන්ටත් විශේෂයෙන්ම වැදගත්. අපේ කොට්ඨාසයේ පාසල් තුළට මේක පණිවිඩයක් විදිහට ගෙනියන්න ඕන. අධ්‍යාපන කලාප කාර්යාලවලට එහෙමත් පෙන්වන්න පුළුවන්

ඔබ ආයතනයෙන් නිර්මාණය කළ U TUBE  නාලිකාව ගැනත් මතක් කළොත් …..? ඒ සඳහා නම් ලොකු දායකත්වයක් දෙන්න කාලයක් ලැබුණේ නැහැ. ඒකත් ඇත්තටම හොඳ වැඩක්. ඒකත් වුණේ සංස්කෘතික නිලධාරිනිය සහ කලාකරුවන්ගේ අදහස් එකතුවෙන් .අද අපි ඉන්නේ නව තාක්ෂණය සහ සමාජ මාධ්‍ය එක්කනේ. අනික අපිට අනෙක් මාධ්‍ය හරහා යනවට වඩා U TUBE  වගේ තරුණ පරපුර ආකර්ෂණය වී ඇති මාධ්‍ය හරහා විශාල පණිවිඩයක් ගෙනියන්න පුළුවන් කියා සිතනවා. U TUBE  වැනි දෑ තුළිනුත් අපට සංවේදී දරුවකු හදන්නත් තරුණ පරපුරට සාහිත්‍යය, කලාව වැනි දේ තවත් සමීප කරන්න පුළුවන්. අනික අපේ චිත්‍රපටයම අපිට U TUBE  හරහා සමාජගත කරන්න පුළුවන්

ඉදිරියට මෙවැනි කෙටි චිත්‍රපට වැනි කලා නිර්මාණ කිරීමේ අදහසක් තිබේද….?

මම නිතරම කියන්නේ යමක් කරලා සමාජයට අපි පණිවිඩයක් දෙන්න ඕන. හුදකලාවේ යමක් කර වැඩක් නැහැ . ඒ කරන දේ තුළින් දරුවන්ට, මවුපියන්ට, රාජ්‍ය නිලධාරීන්ට , පොදු මහජනයාට පණිවිඩයක් දෙන්න ඕන. එවැනි වැඩසටහන් , චිත්‍රපට කරන්න ඕන..මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව මෙවැනි චිත්‍රපටයක් කරන්න කියන අදහසත් දැනටමත් අපට ලැබී තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ ගායන හැකියාවට අවස්ථාව ලබාදී එවැනි කලාකටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා කලාකරුවන්ගේ හොඳ දායකත්වයක් ලැබුණු බව පේනවා …..?

ඇත්තෙන්ම. මෙහිදී සෑමදෙනාගේම හොඳ එකමුතුවක් තිබෙනවා. ඒ එකමුතුකම තමයි මෙවැනි නිර්මාණයක් බිහිවෙන්න හේතුවුණෙත්. මෙයට දායකවූ කලාකරුවනුත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි මෙයට සම්බන්ධ වුණේ. ඔවුන්ම වියදම් දරාගෙන මේකට සම්බන්ධ වීමයි මෙතැන වැදගත්කම වුණේ. අපි සමාජයට දෙයක් කරන්න ඕන කියන අදහසයි ඔවුන්ටත් තිබ්බේ. රොඩ්නි වර්ණකුල වගේ ප්‍රවීණ කලාකරුවන්ට මේවාට කාලය යොදවනවාට වඩා තවත් කලාකටයුතු තිබෙනවා . ඒත් ඔවුන් ඒවා නොසිතා මේකට ස්වේච්ඡාවෙන්ම දායකවීමම හරිම වටිනවා. ආර්ථික ලාභ නොසිතා මෙසේ එකතුවීම අපට ශක්තියක්. ඒ වෙනුවෙන් මම ඔවුන්ට ස්තුති කරනවා

ඔබ යටතේ සේවය කරන පිරිස අතරත් දක්ෂතා සපිරි පිරිසක් ඇති….?

ඔව්, මම දන්නවා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් විවිධ කලා හැකියාවන් ඇති අය ඉන්නවා. හොඳ ගායකයෝ ටිකකුත් මෙතැන ඉන්නවා.ගායන තරඟ වගේ විවිධ වැඩසටහන් කරන්නත් අදහසක් තියෙනවා. ඒ වගේ සාහිත්‍ය තරඟ තිබ්බොත් බොහෝ දක්ෂතා ඇති දක්ෂ පිරිසක් මේ ආයතනය ඇතුළෙන් එළියට එන්න් පුළුවන්. සංස්කෘතික බලමණ්ඩලය හරහා වාර්ෂිකව පවත්වන සාහිත්‍ය උත්සවවලදී මගේ කාර්යාලයේ නිලධාරීන් බොහෝ අවස්ථාවල ත්‍යාග දිනා තිබෙනවා. සමස්තලංකා ගිය අයත් ඉන්නවා. අපි ඔවුන්ට අවස්ථාව දෙන්න ඕන. ටැලන්ට් ෂෝ එකක් කරන්න කාර්යාල නිලධාරීන්ට විතරක් අවස්ථාව දෙන්න මම හිතාගෙන ඉන්නවා .

කෙටි චිත්‍රපට නිර්මාණ ක්‍රියාවලිය ගැන ආපසු හැරීබලද්දී ඔබට මොකද හිතෙන්නේ ….?

ලොකු සතුටක් දැනෙනවා. ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ගේ රාජකාරිය කියන්නේ කොට්ඨාසයට යමක් කිරීම. මිනිසුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම. ඊට එහා ගිහින් ප්‍රජාවට යමක් කළ යුතුයි. අපි මෙතැන ඉන්නේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්නම විතරක් නෙවෙයි. ඊට එහා ගිය දෙයක් කළ යුතුයි කියන තැනයි අපි ඉන්නේ. කාලවේලාව නොමැති ප්‍රශ්නයත් එක්ක අලුත් යමක් කරලා සමාජයට දෙයක් දෙන්න පුළුවන් වීම ගැන මට හරිම සතුටුයි. වත්තල කොට්ඨාසයේ ප්‍රසිද්ධ කලාකරුවන් රැසක්ම ඉන්නවා. මාධ්‍යයම නෙවෙයි කලාව කියන්නේ. චිත්‍රපටයක් කරලා මිනිස්සුන්ට දෙන එකම නෙවෙයි, ඊට එහා බොහෝ දේ තිබෙනවා. සාහිත්‍යය කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාව කරා යන දෙයක්නේ. අපි සතුටු වෙනගමන් අනෙකාටත් ඒ සතුට, දැනුම බෙදාදෙන්න ඕන. එයට හොඳ මූලාරම්භයක් තමයි මේ වැඩේ කියා මම සිතනවා. මානව හිතවාදී සෞන්දර්යාත්මක දරුවෙක් අපි බිහිකරන්න ඕන. ඒ දේ තියෙන්නේ කලාව, සාහිත්‍යය තුළයි. තාක්ෂණය පැත්තෙන් ගිහින් රොබෝ වගේ දරුවෝ හැදුවට වැඩක් නැහැ. කලාව, සාහිත්‍යය ඇසුරු කරන දරුවෙක්ට ජීවිතයේ එන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් සොයාගන්න හැකියාව, අභියෝගවලට මුහුණදීමේ ශක්තිය, හැකියාව ලැබෙනවා. ඒවගේම U TUBE  නාලිකාවෙන් අපට අපේ නිර්මාණ සමාජගත කරන්න පුළුවන් නිසයි එය ඇරඹුවේ. දැන් ළමයින්ට පොතක් කියවන්න කිව්වට කියවන්නේ නැහැ. ඒ දරුවන්ට දැනුම සමාජ මාධ්‍යයෙන් දෙන්න ඕන. ළමුන් හුරුවුණු U TUBE  වැනි සමාජමාධ්‍ය තුළින් අපි ඔවුන්ට සාහිත්‍ය, කලා දැනුම දෙනවිට ඒවා ළමයි ඉක්මනින් ග්‍රහණය කරගන්නවා. ඒ නිසා U TUBE  නාලිකාව ආරම්භයත් සාර්ථක,හොඳ වැඩක් විදිහට මා දකිනවා. අපිත් මේ යන සමාජ ක්‍රමයත් එක්ක හැඩගැසෙන්න ඕන කියන දේ මමත් පිළිගන්නවා.

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනී චමිලා රූපසිංහ මහත්මිය සිය අදහස් දක්වමින් ….

“ප්‍රතිරූපය” කෙටි චිත්‍රපටය නිර්මාණයට යොමුවූ ආකාරය සිහිකළොත්….?

මම මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ වෙන්නේ 2019දී. ඉන්පසුව තමයි මම මේ ප්‍රදේශයේ කලාකරුවන් හඳුනාගෙන ඔවුන්ව එකතු කර ගන්නේ. ඒක ඇත්තෙන්ම තැන්තැන්වල තිබූ මැණික් එකතු කර නිධියකට දාගන්නවා වගේ වැඩක් තමයි මම කළේ. මට දැන් මෙතැන ඉන්නවා සෑම වර්ගයකම කලාකරුවන්. චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ ඉඳන් රොඩ්නි වර්ණකුල ඇතුළු ප්‍රවීණ චිත්‍ර ශිල්පි පුලස්ති එදිරිවීර වැනි සෑම වර්ගයක්ම අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්. රංගන ශිල්පීන්, කැමරා ශිල්පීන් ආදී සියල්ලන්ගෙන් සැදුම්ලත් පිරිසක්. ඔවුන්ගේ එකමුතුවත් එක්ක ඔවුනුත් මට හරිම ආදරෙයි. මාව ඔවුන් විශ්වාස කරනවා. එහි පළමු ගෞරවය ලැබෙන්න ඕන අපේ ප්‍රාදේශීය ලේකම්වරිය වන ර්‍ථ.ච්.ඊ.ඛ්. රාජිකා මහත්මියට. ඇයත් මට සුවිශේෂී චරිතයක්. ඇය මාව හඳුනාගැනීම සහ මට දුන් නිදහස මට මාරම විදිහට දැනුණා. ඒ නිදහස එක්ක තමයි මේ සංස්කෘතික බලමණ්ඩලයේ කලාකරුවන්ගේ සහයෙන් “ප්‍රතිරූපය” නිර්මාණයට පෙළැඹුණේ. මෙය විනාඩි 18ක ධාවන කාලයකින් යුතු කෙටි චිත්‍රපටයක්

ප්‍රාදේශීය ලේකම්වරිය ඔබට උපරිම නිදහස දී තිබුණා මේ වැඩේට….? අනිවාර්යයෙන් . මට දීපු නිදහසින් මම හොඳම කලාකරුවන් පිරිසක් එකතු කරගත්තා . ඇයට පුද්ගලයන් තේරුම් ගතකැකි පුදුමාකාර හැකියාවක් තිබෙනවා . අනික මම රාජකාරි කරන්නේ හරිම ආදරයෙන්, භක්තියෙන්. එයට ආයතන ප්‍රධානියාව මට බොහෝසෙයින් බලපෑවා. එතුමියට තමයි මෙහි සෑම ගෞරවයක්ම හිමිවෙන්න ඕන. මට කොතරම් සිතුවිලි ආවත් ආයතන ප්‍රධානියාගේ අනුග්‍රහය නැත්නම් ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ .

“ප්‍රතිරූපය” අධ්‍යක්ෂණය කළේ කවුද…..? මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමේ ගෞරවය මා ලබාදෙන්නේ අධ්‍යක්ෂ සුධිල පෙරේරා නමැති තරුණයාට. ඔහු ලංකාවේ සිටින ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා. ඔහු හීන්කෙන්ද ප්‍රදේශයේ පදිංචි. ඔහු මෙයට සම්බන්ධ වීම හරි අහඹු සිදුවීමක්.

ඒ අහඹු සිදුවීමත් මතක් කළොත්…..? ඔව්, ඔහු අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවා රාජකාරි වැඩක් කරගන්න. මාව හමුවීමට එන සෑම කලාකරුවෙක්ම මෙතැනට එන්නේ වෙනත් වැඩකට. ඒත් අවසානයේ ඔවුන් අපි එක්ක එකතුවෙනවා. සුධිල පෙරේරා මාව හමුවෙන්න ආවා හැඳුනුම්පත හදාගන්න. එතැනදී මම ඔහුව අපේ සංස්කෘතික බලමණ්ඩලයට බඳවාගත්තා. ඔහු කලින් කෙටි චිත්‍රපට කර තිබෙනවා. මාස 06ක් යද්දී ඔහු කියනවා අපි එකතුවෙලා වැඩක් කරමු කියා. මම ඒ අදහසට කැමැති වෙලා අපේ සමූහයේ (අපේ ගෲප් එකක් තියෙනවා) අදහස් එකතු කරගෙන වැඩේට බැස්සා.

“ප්‍රතිරූපය” කැමරාකරණය කළේ මෙරට විශිෂ්ටතම සිනමා කැමරාවේදියෙක්….?

ඔව්, මෙහි කැමරා අධ්‍යක්ෂවරයා වුණේ ලංකාවේ විශිෂ්ටතම , සම්මානනීය සිනමා කැමරාවේදියෙක් වන කේ.ඩී.දයානන්දයන්… ඔහුව අපට සම්බන්ධ වෙන්නෙත් අධ්‍යක්ෂ සුධිල පෙරේරා සහ කේ.ඩී. දයානන්දයන්ගේ සම්බන්ධතාව මතයි. එතුමා ඉතා කැපවීමෙන් කිසිඳු මුදලක් අය නොකර මේ වැඩේට උපරිම ශ්‍රමය ලබාදුන්නා.

මෙහි තිරරචනය ලියැවුණේ කොහොමද ….?

“ප්‍රතිරූපය” තිරරචනය ලිව්වේ අපේ අතිදක්ෂ චිත්‍ර ශිල්පියකු වන පුලස්ති එදිරිවීරයි. මෙහි කතාව සහ තිරරචනය ඔහුගේයි. මෙහි තේමාව මම ඔහුට දුන්නා. ඔහු ඒ තේමාව හොඳයි කියලා ලස්සන කතාවක් ලිව්වා. පසුව එය සාකච්ඡා කර රූගතකිරීම් කළා.

මෙහි රූගතකිරීම් ඉක්මනින්ම සිදුවුණා නේද…..?

අපි හිතුවේ නැහැ මෙතරම් ඉක්මනින් මෙහි වැඩ අවසන් කළ හැකියි කියලා. පසුගිය ජූලි මාසයේ අපි මේ ගැන සාකච්ඡා කළා, අගෝස්තු මාසයේ රූගතකිරීම් කළා, සැප්තැම්බර් 30 වෙද්දී ජාතික රූපවාහිනියට භාරදුන්නා ඔක්තෝබර් 01 වැනිදා විකාශනය සඳහා

අනුෂා ගෝකුල මහත්මියගේ දායකත්වයත් මෙහිදී වැදගත් වුණා නේද….?

ඇය අපට මෙහිදි චිත්‍රපටය ප්‍රදර්ශනයට සියලු මැදිහත්වීම් කළා. ඇය නිසයි රූපවාහිනියේ මෙය ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණේ. ඇයත් මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ඇගේ රංගනයත් මේ කෙටි චිත්‍රපටයට හොඳ වටිනාකමක් ලබාදුන්නා. එතුමියගේ පළමු රංගනය තමයි අපේ මේ කෙටි චිත්‍රපටය . ඒක අපට ලොකු ආඩම්බරයක් වුණා.

මෙහි රංගන ශිල්පීන් තෝරාගැනීම ගැන කිව්වොත් ….?

මගේ තිබෙනවා ළමා බලමණ්ඩලයක්. වත්තල ඉන්න සියලු දරුවන්ගේ එකමුතුවක් එතැන තියෙනවා . ප්‍රධාන චරිතය සහ අනෙක් සියලු ළමා චරිත නිරූපණය කළේ මගේ ඒ බලමණ්ඩලයේ දක්ෂතා ඇති දරුවෝ. දරුවන්ට ඒක විශේෂ වුණා ප්‍රවීණයෝ එක්ක රඟපාන්න ලැබීම නිසා. ප්‍රවීණ පිරිස ලෙස මෙහි රොඩ්නි වර්ණකුල , නිලූකා රේඛානි, මනෝහාරි විමලතුංග, සුසිල් පෙරේරා, වගේ අයත් ශෂිරංග වික්‍රමසේකර, අනුෂා ගෝකුල ප්‍රනාන්දු , දෙමළ ජාතිකයකු වන පෝල් රාජ් වැනි අයත් ප්‍රධාන ළමා චරිතය නිරූපණය කළ සතිර සංදීප දරුවා, කවීෂ සෙනෙත් දරුවා ඇතුළු පිරිසත් ලෙනාඩ් හපුආරච්චි , රශ්මි රවීනා වැනි පිරිසකුත් මෙහි රංගනයෙන් දායක වුණා.

U TUBE  නාලිකාව ආරම්භ කිරීම ගැනත් මතක් කළොත් …..?

ඔව්, මේක ආරම්භ කරන්නේ ජනවාරි 19 වැනිදා . ලොකු ප්‍රසංගයක් පවත්වලයි U TUBE  නාලිකාව සමාජගත කළේ..ඒකටත් ප්‍රසිද්ධ කලාකරුවන් රැසක්ම පැමිණියා. දැනට සීමිත වැඩසටහන් ප්‍රමාණයක් එහි මුදාහැරියේ. ප්‍රාදේශීය මට්ටමින් ර්ඥඤඪච උදඪබ එකක් U TUBE  චැනලය හරහා පටන්ගත්තොත් අපට පුළුවන් අපේ කොටස තුළ දක්ෂ පිරිස හා සමාජය ඉදිරියට ආවේ නැති පිරිස ගැනත් කතා කරන්න . ඔවුන්ගේ දක්ෂතා ගැන ලෝකයා දැනුම්වත් කරන්න. U TUBE  නාලිකාව ගැන අපේ ප්‍රාදේශීය ලේකම්තුමියට අදහස දැම්මම කොච්චර හොඳද කියලා නීතිමය පදනම ගැන සොයාබලා එය කරගෙන යන්න කියා කිව්වා. දිස්ත්‍රික් ලේකම්, සංස්කෘතික අධ්‍යක්ෂ යන අයගේ උපදෙස් මත පටන්ගන්න කියා ඇය ආශිර්වාද කළා.

ඔබ ලංකාව පුරා සිටින කලාකරුවන් ජාලය සමඟම සබඳතාව තබාගෙන සිටින බව පේනවා….?

මෙහෙමයි, මම වැඩකරගෙන යද්දී මට මේ ප්‍රදේශයෙන් පරිබාහිරව කලාකරුවන් රැසක් මුහුණුපොත හරහා සම්බන්ධ වී සිටිනවා. ලංකාව පුරාම සිටින කලාකරුවන් ඒ අතර ඉන්නවා . වැඩකිරීම පිළිබඳ සුබවාදී පණිවිඩය මතයි ඔවුන් මට සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් බොහෝ පිරිසකුත් මේ සංස්කෘතික බලමණ්ඩලයට බඳවාගන්න කියා ඉල්ලීමුත් ලැබෙනවා .

මෙහි කතා තේමාව ගැන කියනවානම් ……? මෙහි ඉන්නවා දරුවෙක්. එයා චිත්‍ර ශිල්පයට ඉතා දක්ෂයි. ඒත් මවුපියන් දන්නෙත් නැහැ ඒ ළමයාට එහෙම හැකියාවක් තියෙනවා කියලා. මේ දරුවාට පාසලේදී ඔහු කැමැති චිත්‍ර විෂයය මගහැරෙනවා. එයාට චිත්‍ර ශිල්පය හදාරන්න ඕනකම තිබ්බට තෝරාගන්න වෙන්නේ සංගීත විෂයය. එයාට සංගීතය බැහැ. ඒ නිසා තැන්පත්ව සිටි දරුවා ටිකක් මුරණ්ඩු වෙනවා. මවුපියන් දරුවගේ වෙනසට හේතුව හොයනවා. පාසලේදීත් මුරණ්ඩු ගතිය වැඩිවෙනවා. විදුහල්පතිනිය වරක් ඒ දරුවට සැරකරලා යනවිට එතුමියගේ රූපය මේළමයා කාටූනයක් විදිහට අඳීනවා. විදුහල්පතිනියට එතැනදී හොඳ දැක්මක් තියෙනවා. විහිළු රූපයක් වුණත් මේ ළමයා දක්ෂ ලෙස ඇඳලා කියන දේ ඇය වටහාගන්නවා. අපි ඒ දේ තමයි මෙතැන කතා කරන්නේ…ඒ කියන්නේ ඉහළ පරිපාලනයක් ඇතුළේ හොඳ දැක්මක් තිබිය යුතුයි කියන දේ. ළමයා අවසානයේ අන්තර්ජාතික මට්ටමට ගිහින් ජීවිතය හදාගන්නවා කියන දේ මෙයින් කියැවෙනවා

“ප්‍රතිරූපය” කෙටි චිත්‍රපටය සහ U TUBE  චැනලයේ ඉදිරි පියවර ගැන කිව්වොත්…..?

රූපවාහිනී සංස්ථාව මේ කෙටි චිත්‍රපටය කෙටි චිත්‍රපට තරඟයකට ගන්න හිතාගෙන ඉන්නවා. විකාශය වුණාට පසුව අනෙක් නාලිකාවලිනුත් මේක අපෙන් ඉල්ලුවා. ඒත් රූපවාහිනිය ඒක දෙන්න කැමැති වුණේ නැහැ. ඒ කෙටි චිත්‍රපට තරඟයකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා. අපේ සංස්කෘතික බලමණ්ඩලයට බැඳෙන දරුවන් , කලාකරුවන් ඉදිරියට ගෙනියන්න U TUBE  චැනලය හරහා අපි අවස්ථාව ලබාදෙනවා. තමන්ගේ දක්ෂතාව රටට, ලෝකයට පෙන්වන්න U TUBE  නාලිකාව හරහා අපි අවස්ථාව දෙනවා. චිත්‍රපටය වගේම රාජ්‍ය ආයතනයකින් පළමුවරට බිහිවූ U TUBE  නාලිකාවත් මේක. අපේ කෙටි චිත්‍රපටය ඉදිරියේදී U TUBE  නාලිකාවට මුදාහරින්න බලාපොරොත්තු වෙනවා.

ඔබට මෙම කාර්යයන් සඳහා පවුලෙන් ලැබෙන සහය මතක් කළොත් ….?

ඔව්, මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා . පුතාලා දෙන්නයි එක් දුවයි.මේ දරුවන්ගේ වැඩ එක්ක මම දවස් 07ම වැඩ. උදේ 3:30ට මම අවදිවෙනවා. මම මගේ පවුල් ජීවිතය සහ රැකියා ජීවිතය යන දෙකම සමබරව ගෙනියන නිසා මම ඉතා තෘප්තිමත්ව ජීවත්වෙන්නේ. මගේ සතුට, නිදහස තියෙන්නේ කොතැනද කියා මගේ මහත්තයා දන්නවා. ඒ නිදහස ඔහු මට දීලා තියෙනවා. ඔහු මාව හොඳීන් හඳුනාගෙන තියෙනවා. මගේ වැඩ ගැන ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. ඔහු කලාව විඳීන කෙනෙක් වගේම ජීවත්වීමේ කලාව තේරුම්ගත්ත කෙනෙක් .

“ප්‍රතිරූපය” කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන සුධිල පෙරේරා සිය අදහස් දක්වමින්….. ” මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්න අවස්ථාව ලබාදී එයට අවශ්‍ය සහය සහ නිදහස මට ලබාදීම වෙනුවෙන් වත්තල ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සංස්කෘතික නිලධාරිතුමියට ස්තුතිවන්ත වෙනවා . රංගන ශිල්පීන්ගෙත් හොඳ එකමුතුවක් තිබ්බා. මේක මගේ 03 වැනි නිර්මාණය . මේ වැඩේට විශිෂ්ට කැමරාවේදී කේ.ඩී. දයානන්ද මහතාගේ උපරිම සහයත් මට ලැබුණා….ඔහු ඇත්තෙන්ම මට විශ්වවිද්‍යාලයක් වගේ. මෙම නිර්මාණයේදී පරම්පරා 03ක එකතුවක් සිදුවුණා. ඒ වගේම හිටපු සංස්කෘතික අධ්‍යක්ෂිකාව වන අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියව අධ්‍යක්ෂණය කරන්න ලැබීමත් මට ලොකු දෙයක්. ඒක මගේ වාසනාවක්”

 

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT