Home » රංගනය මගේ වෘත්තිය නෙවෙයි රංගන ශිල්පී නිමේෂ් එදිරිසිංහ

රංගනය මගේ වෘත්තිය නෙවෙයි රංගන ශිල්පී නිමේෂ් එදිරිසිංහ

by mavan
May 28, 2026 11:00 am 0 comment

නිමේෂ් එදිරිසිංහ යනු වර්තමානයේ සිටින කඩවසම් රංගන ශිල්පියෙකි. ඔහු මුලින්ම සිනමාවට පිවිසෙන්නේ රෝස ආදරේ චිත්‍රපටයෙනි. එහෙත් ඔහු ඊට පෙර ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකි. ඔහු තුළ තිබු රංගන හැකියාව, කැපවීම සහ උනන්දුව නිසා ඉතා ඉක්මනින්ම සිනමා තිරයේ පෙනී සිටීමටද ඔහුට හැකිවිය. නිමේෂ් අද වන විට ජනප්‍රිය රංගන ශිල්පියෙකි. පසුගිය කාලයේ ඔහු ටෙලි තිරයේ රඟපෑ ඇතැම් චරිත නිසා ඔහු ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය. නිමේෂ් පිළිබඳ මේ දිනවල නැවතත් කතා බහ ඇරඹී තිබේ. ඒ ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යය පුංචි තිරයේ විකාශය වීමත් සමඟය. එහි අයේෂ් ලෙස රඟන නිමේෂ් රූගත කිරීම් අතර කාර්‍යබහුල වී සිටියත් සරසවිය කළ ආරාධනය පසෙක දැමුවේ නැත. මේ සොඳුරු කතා බහට එක්වූයේ ඔහු රඟපාන ” ඇත්තමයි මං ඔයාට ආදරෙයි ” ටෙලි නිර්මාණය ගැන සහ ඔහුගේ නවතම තොරතුරු ඔබ හමුවේ තැබීමටයි.

මගේ පළමු සිනමා රංගනය වුණේ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ රෝස ආදරේ චිත්‍රපටයයි. නිෂ්පාදනය අශෝක් ජයකොඩිගේ. සිනමාවට එන්න කලින් මම 2021 දී තමයි ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුණේ. මම සිනමා ක්ෂේත්‍රයට ආවේ ආධුනික රංගන ශිල්පියෙක් විදිහට. මම එනකොටත් ක්ෂේත්‍රයේ තරඟකාරී බවක් තිබුණා. දැන් ක්ෂේත්‍රයට එන අයට දැනුමක් තියෙනවා. රංගනය ගැන ඉගෙන ගෙන පිරිසක් ඉන්නවා. එසේ වීම හොඳයි. මට තරඟයක් අවශ්‍ය නැහැ. මම යන ගමන කලබලයක් නැතිව හීන් සීරුවේ යනවා.

මට මුල සිටම ලැබුණේ දුෂ්ටයාගේ චරිතය. මුලින්ම කරන චරිතය අනුව අපිව ඒකට කොටු කරනවා. ඉන්පසුව ලැබෙන්නේ එවැනි චරිතමයි. මටත් වුණේ ඒ දෙයමයි. රංගන ශිල්පියෙකුගෙන් තව කොපමණ වැඩ ගන්න පුළුවන්ද කියන දේ ගැන නිර්මාණකරුවන් සිතන්නේ නැති එක ගැටලුවක්. මට නිතර ලැබෙන්නේ ධනවත් පවුලක ඉන්න දුෂ්ට, නපුරු, සෙල්ලක්කාර තරුණයාගේ චරිත. ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණකරුවන් උත්සාහ කරනවා නම් අපව මේ රාමුවෙන් එළියට ගන්න, තවත් වෙනස් චරිතත් කරන්න පුළුවන් කියන දේ අපිට ඔප්පු කර පෙන්වීමේ හැකියාව තියෙනවා. මම ආසයි දුප්පත් බව පෙන්නුම් කරන ගැමි චරිතයක් රඟපාන්න. කවදා හෝ එවැනි චරිතයක් ලැබෙනවා නම් එයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න මම කැපවෙනවා.

මේ දිනවල මම අලුත් ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙනවා. ඇත්තමයි මං ඔයාට ආදරෙයි. එය හිරු නාලිකාව ඔස්සේ විකාශය වෙන්න පටන් ගත්තා. එය මෙගා නාට්‍යයක් වුවත් වෙනස්ම ආකාරයකට ගලාගෙන යන නිර්මාණයක්. එහි අධ්‍යක්ෂවරයා වන්නේ ධනුෂ්ක රත්නායක. ඔහු දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණ ගුණාත්මක බවකින් යුක්තයි. ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න මම හරි ඕනෑකමකින් සිටියා. ටික කලකට ඉහතදී ඒ ගැන අපි දෙදෙනා කතා කළා. ඒත් එය කෙරුණේ නැහැ. චරිත් මධුරංග කියන්නේ මගේ මිත්‍රයෙක්. ඔහුත් රංගන ශිල්පියෙක්. ඔහු තමයි මට ධනුෂ්ක රත්නායක අයියාව හඳුන්වලා දුන්නේ. ඉතින් ධනුෂ්ක අයියා එයාගේ ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යයට ආරාධනා කළ විට මම ඉතා සතුටින් ඒ සඳහා සම්බන්ධ වුණා.

ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ අයේෂ් කියන තරුණයාගේ චරිතය. ඒ චරිතයේ හැටියට ඔහු කෙසේ හෝ තමාගේ ඉලක්කයන් හඹා යන, තමාගැන විතරක් හිතන තරුණයෙක්.ඔහු ඒ ඉලක්ක කරා යන ගමනේදී තමාවටා ඉන්න පිරිස පාවිච්චි කරනවා. අයේෂ් කියන චරිතය මට මෙතෙක් ලැබුණ චරිතයන්ට වඩා වෙනස්. පෙම්වතාගේ චරිතයත් අයේෂ්ගේ චරිතය තුළ තියෙනවා. මේ චරිතය කරද්දී අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායකගෙන් විශාල සහයෝගයක් ලැබුණා. අයේෂ් කියන චරිතය නිසියාකාරව කරන්නෙ කොහොමද කියන එක ගැන ඔහුගෙන් නිතර උපදෙස් ලැබුණා. ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලිනාට්‍යයේ සිටින රංගන ශිල්පිනියන් දෙදෙනාත් මගේ හොඳ මිතුරියන්. ශෙනායා සහ සුහන්දි. ඒ දෙදෙනා සමඟ තමයි මට වැඩි දර්ශන ප්‍රමාණයක් තියෙන්නේ. ඒ දෙදෙනා සමඟ වැඩ කරන්න ලෙහෙසියි. ඒ වගේම එහි සිටින ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන මම ඔවුන්ට ගෞරව කරනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් බොහෝම ටික කාලයයි. ඉතින් එවැනි තත්වයකදී තිබියදීත් ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් මට එවැනි සහයෝගයක් ලැබෙන එකට ඔවුන්ට ගෞරව කළ යුතුමයි. ඒ වගේම ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා ගැනත් මතක් කරන්න අවශ්‍යයි. අශෝක් ජයකොඩි මහතා කලාවට, සිනමවට, ටෙලි නාට්‍යයට දැඩිලෙස ආදරය කරන කෙනෙක්. ඔහු අපට සියලු දේ නොපැකිළිව ලබා දෙනවා. ඒ නිසා ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යයේ කටයුතු ඉතාමත් සාර්ථකව සිදුවෙනවා.

මම කුඩාකල සිටම රඟපාන්න ආසාවෙන් සිටි කෙනෙක්. කෙසේ හෝ මම රංගන ශිල්පියෙකු වුණා. ඒ ලැබුණ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ නිසාම මම රංගනය හදාරන්න පෙළඹුණා. මගේ ගුරුවරයා මයුර කාංචන. ඔහු අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. මම ඔහු යටතේ රංගනය හදාරනවා. රංගනයේදී මගේ අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන මට කියා දෙනවා. ඔහු හොඳ මඟ පෙන්වන්නෙක්. ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යයේදීත් ඔහු මට උපදෙස් දෙනවා.

මම රඟපෑ රාස් චිත්‍රටයේත් වැඩ කටයුතු මේ දිනවල සිදුවෙනවා. මම එහි ප්‍රධාන චරිතය රඟපානවා. ගමක ජීවත්වෙන තරුණයෙකුට තමයි මම රඟපාන්නේ. තම පවුල වෙනුවෙන් කැපවෙන කෙනෙක්. ඒත් ගෙදර උදවිය හිතන්නේ ඔහු සෙල්ලක්කාරයි කියල. ඒ චරිතයත් මට ලැබුණ වෙනස් චරිතයක් වගේම ලොකු කැපකිරීමකින් , මහන්සියෙන් කරන චරිතයක්. රංගනය මගේ වෘත්තිය කරගෙන නැහැ. මම ඉහතදීත් සඳහන් කළා මම රඟපාන්න ආසාවෙන් සිටිබව. ඒ නිසාම මම මෝස්තර නිරූපණයට යොමුවුණා. එහෙම යොමුවෙණේ ඒ මාර්ගයෙන් රංගනයට එන්න පහසුම මාර්ගය එය කියලා හිතපු නිසා. කෙසේ හෝ රංගනයට අවස්ථාව ලැබුණා. දැන් මුල්තැන දීලා තියෙන්නේ රංගනය පැත්තට.

රංගනයේ යෙදෙන ගමන් රටේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න් ගෙදරින් ලැබෙන සහයෝගය ගැන නොකියාම බැහැ. මගේ අම්මා තාත්තා මට මගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න කැප වෙනවා. මගේ කැමබීම ගැන පවා ඔවුන් සැලකිලිමත් වෙනවා. ගෙදරින් ලැබුණ සහයෝගය නිසයි මම මෙපමණ දුරක් ආවේ. ඉතින් ඒ ගමන ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මට ප්‍රතිචාර දක්වන ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් මම ආදරෙයි.

ඇත්තමයි මං ඔයාට ආදරෙයි වගේම ඇත්තමයි මං හැමෝටම ආදරෙයි.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT