Home » මගේ සැබෑ නමට වඩා හැමෝම කතා කරන්නෙ ‘කස්සා’ කියලා

මගේ සැබෑ නමට වඩා හැමෝම කතා කරන්නෙ ‘කස්සා’ කියලා

යොවුන් රංගන ශිල්පි අනුදිස කොඩිතුවක්කු

by mavan
April 23, 2026 11:23 am 0 comment

මේ දිනවල ‘කස්සා’ කා අතරත් කතාබහට ලක්වන තරුණයෙකි. හැඩකාර තාරුණ්‍යයකට හිමිකම්පාන ‘කස්සා’ හෙවත් අනුදිස කොඩිතුවක්කු අපට හමුවන්නේ ඔහුගේ ප්‍රථම ටෙලි රංගනය වන ‘ජහුටා’ තුළිනි. එකී චරිතයත් සිය කලා නිර්මාණ දිවිය ගැනත් කතා කිරීමට හෙතෙම සරසවිය හා මෙසේ එක්වූයේය.

මේ දවස්වල ‘ කස්සා’ හරිම ජනප්‍රියයි නේද?
ඇත්තෙන්ම, මේ දවස්වල මගේ සැබෑ නමට වඩා මිනිස්සු මාව හඳුන්වන්නේ , මටකතා කරන්නේ ‘කස්සා’ කියලා. යාළුවොත් එහෙමයි කතා කරන්නේ. ‘ජහුටා’ ටෙලිනාට්‍යයේ ‘කස්සා’ චරිතය ඇතළේ තිබෙන දේට මිනිස්සු හරිම ආදරෙයි. ඒවගේම කියන්න ඕනෙ මට මේ චරිතය ලැබෙන්නේ රංගනය පිළිබඳ හැදෑරීමට සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ගේ Impas ආයතනයට යෑමත් සමඟයි. එහිදී දැනගන්න ලැබුණා මේ චරිතයට තිර පරීක්ෂණයක් පවත්වනවා කියලා

‘කස්සා’ට මෙතරම් ප්‍රතිචාර ලැබේවි කියා සිතුවද?
ඇත්තෙන්ම එහෙම හිතුවේ නැහැ. ‘ජහුටා’ මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. චරිතය ඇතුළේ වූ නිහතමානීත්වයට ප්‍රේක්ෂකයා ආදරය කරනවා. ඔක්කෝම සුබවාදී ප්‍රතිචාරමයි ලැබෙන්නේ. අසුබවාදී ප්‍රතිචාර ඇත්තෙම නැහැ.

අනුදිසත් කස්සාත් අතර සමානකමුත් ඇති?
ඔව්, ගොඩාක් සමානකම් තියෙනවා. දෙදෙනාගේ හැසිරීම් රටා, කතා විලාසය බොහෝදුරට සමානයි. මට එය කස්සාව නිරූපණයට පහසුවක් වුණා. රංගනයේදී අනුදිසව සම්පූර්ණයෙන් වෙනස් කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒවගේම තමන් තමන්වම නිරූපණය ඇතැම් අවස්ථාවල අපහසුත් වුණා.

බොහෝ අය සිතාගෙන ඉන්නේ ඔබයි, චතුරංග කොඩිතුවක්කුයි සහෝදරයෝ කියලා?
මේක බොහෝ අය අහන ප්‍රශ්නයක්. ඒකට හේතුව අපි දෙන්නම කොඩිතුවක්කුලා නිසා වෙන්න ඇති. අපි අතර ඥාතීත්වයක් නැහැ. චතුරංග කොඩිතුවක්කු කියන්නේ ප්‍රේක්ෂකයන් ආදරය කරන නළුවෙක්. ඔහු මෙවර ජනප්‍රිය නළුවාට හිමි සම්මානයත් ලබාගත් නිර්මාණ රැසකටම දායක වූ ශිල්පියෙක්. මම ඔහුගෙන් බොහෝදේ ඉගෙනගන්නවා බලාසිටීම තුළින්. ඔහු මට බොහෝ දේ කියා දුන්නා. අපි දෙදෙනා අතර සබඳතාව ලොකු බැඳීිමක් කියා මා සිතනවා. සහෝදරයෝ කිව්වත් වැරදි නැහැ. සහෝදර බැඳීමක් අපි අතර තියෙන්නේ..

පසුගියදා ධම්ම දිසානායකත් ‘කස්සා’ චරිතයත් ඔබේ රංගනයත් අගය කර තිබුණා?
ඔව්, ඔහු තමන්ගේ face book Page එකේ වීඩියෝවක් පළකර ‘කස්සා’ චරිතය ගැනත් මගේ රංගනයත් අගයා තිබුණා. එවැනි උගත් , වැදගත් සමාජයේ සම්භාවනාවට පාත්‍ර වූ කෙනෙක්ගේ ඇගයීමට ලක්වීම ගැන ඉතා සතුටුයි. ඔහු මගේ පෙනුම ගැනත් විශේෂ සඳහනක් කර තිබුණා චේගුවේරාගේ පෙනුමට මා සමීපයි කියලා. චේගුවේරා කියද්දි මගේ ඔළුවේත් තිබුණේ ඔහුගේ මැදිවියේ රූපයක්. ධම්ම දිසානායක සර් කියූ නිසාම චේගුවේරාගේ තරුණ අවධියේ ෆොටෝස් මා සොයා බැලුවා. එහිදී ඔහුගේ තරුණ වියේ පෙනුම මට සමාන බව දැකගන්න ලැබුණා.

‘කස්සා’ට තරුණියන්ගේ ආකර්ෂණයක් තිබෙනවා. ඔබටත් එහෙම ආකර්ෂණයක් නැතිවෙන්න බැහැ?
ඔව්, කස්සාගේ චරිතය ලියවෙන විදිහ අනුව එහෙම ආකර්ෂණයක් නම් තිබෙනවා. සැබෑ දිවියේත් තරුණියන්ගේ ආකර්ෂණය තිබෙනවා. නැත්තේ නැහැ. ඒත් මම එය හඹායන්නේ නැහැ. සාමාන්‍ය ලෙස ඒවා මටත් ලැබී සහ නොලැබී තිබූ අවස්ථා තියෙනවා. ඒක සාමාන්‍යයි. අවංකවම තවම මට එහෙම පෙම්වතියකුත් නැහැ. මිනිහෙක් වුණාම ජීවිතයේ දේවල් පෙළගස්වාගන්න ඕන පිළිවෙළක් තියෙනවා. මට තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒවා එක්ක හැමදේම පටලවා ගන්නේ නැහැ. අවශ්‍ය කාලයට ඒ දේවල් සිදුවේවි.
අවුරුදු කුමාරයා රංගනයට පාර කැපුවා කීවොත්?
Social Media වල දුටු Post එකකට අයදුම් කර තරගයට ඉදිරිපත් වුණා. එහිදී නොසිතූ විදිහට මම අවුරුදු කුමාරයාහි ජයග්‍රහණය ලැබුවා. එතැනදී මට ලොකු පන්නරයක් ලැබුණා සහ බොහෝ දේ ඉගෙනගත්තා. ආසාවත් වැඩිවුණා. හොඳ ප්‍රතිචාර ලැබුණා. මට යමක් කළ හැකියි කියන ආත්මවිශ්වාසය මේ තරගය නිසා මට ඇතිවුණා.

පාසල් කාලයේ ඉංග්‍රීසි නාට්‍යවල රඟපෑවා නේද?
05 වසරේදී මුලින්ම වේදිකා නාට්‍යයක රඟපෑවා. ඉංග්‍රීසි නාට්‍ය කිහිපයක්ම කළා. සා.පෙළට නාට්‍ය හා රංගකලාව හැදෑරුවා. ඉන්පසු ‘මැක්බර්ත්’ නමින් ඉංග්‍රීසි ඩ්‍රාමා එකක් කළා. ඒකට සමස්තලංකා පළමු ස්ථානය හිමිවුණා.

රඟපෑමට ආස චරිතයක් වේද?
දෙබස් අඩු හෝ දෙබස් නොමැති චරිතයක් රඟපාන්න ලැබෙනවානම් ආසයි. ඒකෙන්ම දැනගන්න පුළුවන් දෙබස් නැතුව තමන්ට රංගන හැකියාවක් තිබේද, Rcaction වලින් මිනිස්සු එක්ක කතාකළ හැකිද කියලා. එයින් අපට සෑහෙන වපසරියක් දකින්න පුළුවන්.. උදාහරණයක් ලෙස ‘ගොළු තාත්තා: ටෙලිනාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරා සර් රඟපෑ විදිහ හිතුවොත්. ඒ චරිතය මගේ සිතේ තියෙනවා. එවැනි චරිතයක් රඟපාන්න ලොකු ආසාවක් තිබෙනවා.

දර්ශනතලයේදී රංගනය ගැන ප්‍රායෝගිකව හැදෑරීමකුත් කරනවා ඇති?
අධ්‍යක්ෂ අපව නිවැරදි කරනවට අමතරව අපට ප්‍රායෝගිකව හැදෑරීමක් කළ හැකියි අනෙක් ශිල්පීන් රංගන කාර්යයේ නිරතවීම නැරඹීම තුළින්. ‘ජහුටා’ හිදීත් චතුරංග, දුෂේනි දෙදෙනා රඟපාන විදිහ බලාසිටීමෙන් පමණක් මට හැදෑරීමක් ලබාගන්න පුළුවන්. Reaction මාරුවෙන්නේ, Dialogs හසුරුවන්නේ කොහොමද ආදිය හදාරන්න පුළුවන්. මම වගේ නවකයකුට රංගනයන් නැරඹීමෙන් ලබන පන්නරය මාරම වටිනවා . එතැනදී තමයි රංගනය ප්‍රායෝගිකව අපි දකින්නේ.

ගායන, නර්තන, නිවේදන අංශවලටත් දක්ෂතා ඇති?
රංගනයට සේම ගායනය හා නිවේදනයට මම ගොඩාක් ආදරෙයි. පාසලේදීත් මුලින්ම හැදෑරුවේ Weston Music  නිවේදනයටත් වඩා මම ගායනයට දක්ෂයි. නර්තනය මගේ ජීවිතයෙන් තරමක් එහාට ගිය පැතිකඩක්. ඒත් මම ඒ කලාවටත් ආසයි. නර්තනය දියුණු කරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ දිනවල මම නර්තන වැඩමුළුවකට එක්වෙනවා . රංගන ශිල්පියකුට නර්තනය තමන්ගේ ඇඟේ තිබිය යුතුයි. ගායනයට, නිවේදනයට මගේ හැකියාවක් තිබෙනවා.

මියුසික් වීඩියෝ කලාවේ ඔබේ වපසරිය කෙසේද?
මම මියුසික් වීඩියෝ කිහිපයක් කළා වගේම ඉදිරියටත් කිහිපයක් රිලීස් වෙන්න තියෙනවා. දැනටත් ආරාධනා ලැබෙනවා. මියුසික් වීඩියෝ තුළ තිබෙන ඛ්චදජඥනබ එක පුංචි තිරයට වඩා ටිකක් එහාට ගිය වෙනස් දෙයක්.

මෝස්තර නිරූපණය තුළ අනුදිසගේ භූමිකාව කොහොමද?
Modling නම් මම වැඩිදුරට හදාරා නැහැ. එහෙත් මාස කිහිපයක් රුක්මාල් සේනානායකයන්ගේ පන්තිවලට්ව් ගියා. ඒවට යද්දි තමයි මට ‘ජහුටා’ රංගනයට අවස්ථාව ලැබෙන්නේ. Modler කෙනෙක්ගෙයි Actor කෙනෙක්ගෙයි Persanality එක තරමක් වෙනස් කියා මම දකිනවා. Persanality කරන ගමන් Act කරන අයත් ඉන්නවා. මම දකින විදිහට රංගන ශිල්පියකුගේ තිබෙන ඕනෑම චරිතයකට හැඩගැසීමේ Personality එක යම් තරමක්දුරට කැඩෙනවා Modling වලදී හැදෙන Personality එකේදී සහ මේ දෙක තරමක් ළඟින් දිවයන්නේ. එනිසා අපට ඉන් එකක් තෝරාගන්න තිබෙන අවස්ථාව වැඩියි.. එබැවින් මම තෝරාගන්නේ රංගන ශිල්පියකු ලෙස කටයුතු කිරීමයි.

ඔබ රංගනය හැදෑරුවේ Impas ආයතනයෙන්?
ඔව්, Impas ආයතනය ගැනනම් කිවයුතුමයි. අනුදිස කොඩිතුවක්කු කෙනෙක්ව හැදුවෙත් ඒ ආයතනයෙන්. සද්ධාමංගල සූරියබණ්ඩාර සර් සහ චේතනී මිස් එය පවත්වාගෙනයන්නේ. ප්‍රසන්න මහගමගේ සර් තමයි එහි රංගනය පිළිබඳ උගන්වන්නේ. රංගනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන නවකයන්ට ඉතා සුදුසුම ස්ථානයක් තමයි එතැන. එහි දක්ෂයාට අනිවාර්යයෙන් තැනක් ලැබෙනවා.

සම්මාන උලෙළයන් ගැන ඔබේ තක්සේරුව කවරාකාරද?
ලංකාවේ සම්මාන උලෙළ කිහිපයක්ම සක්‍රිය මට්ටමින් පවතිනවා. එය හොඳ දෙයක්. මෙයින් සිදුවන්නේ රංගන ශිල්පීන්ගේ දක්ෂතාව ඇගයීමක්නේ. සම්මාන උලෙළවලින් සමස්තයක් ලෙස මේ කලා ක්ෂේත්‍රයේ නිර්මාණ, නිර්මාණකරුවන් ඇගයුමට ලක්වීම සුබවාදී දෙයක්. සමහරු ඇගයුමට ලක්වෙන්න සිතාගෙනම හොඳීන් රංගනයේ යෙදෙන්න අවස්ථාත් තිබෙනවා. මම වුණත් සම්මානයක් ලබාගන්න පෞද්ගලිකව කැමැතියි. ඒක මගේ සිහිනයක්. සම්මානයක් කියන්නේ රංගන ශිල්පියකුට හොඳ උත්තේජනයක්. ක්ෂේත්‍රයේ පැවැත්මටත් සම්මාන උලෙළයන් ඉවහල් වෙනවා.

රංගනයේදී ගුරුකොට ගන්නා චරිතයක් වේද?
හේමාල් රණසිංහ, රොෂාන් රණවන දෙදෙනාගේ රංගනයන් තුළින් මට යම් යම් දේ උකහාගන්න පුළුවන්.

දෙස් – විදෙස් නිර්මාණයන්ගේ ආභාසය ඔබේ නිර්මාණ කාර්යයට කොතෙක්දුරට ඉවහල් වෙනවාද?
මම නිර්මාණ නරඹන්න, රසවිඳීන්න, කියවන්න කැමැති කෙනෙක්. මට නිදහස් වේලාවට ඉන්නේ සිනමා ශාලාවක. ඒ යන්නේත් තනියමයි. ඒ ගිහින් කෙළවරක ඉඳගෙන ඒ රසය ලබාගන්නවා. මම ක්ෂේත්‍රයට එන්න පෙර ෆිල්ම් එකක් නරඹා අර්ථරසය ගන්න විදිහට නෙවෙයි, මම ක්ෂේත්‍රයට ආවට පසුව අර්ථරසය ලබාගන්නේ. එහිදී ඒ නළුනිළියන්ගේ රංගන පරාසයන් ගැන වෙනවෙනම එහිදී සිතනවා. ඔවුන්ගේ අඩුපාඩු , තව ඇතුළු කළ යුතු දේ, රංගන චර්යාවන් මොනවද ආදී දේවල් මම එහිදී අධ්‍යයනය කරනවා. මම නිර්මාණයකට දායක වෙන අවස්ථාවේදී ඒ දේවල් මට සෑහෙන්න ඉවහල් වෙනවා. ඕනෑම රංගන ශිල්පියකුට, ශිල්පිනියකට හොඳ නිර්මාණ දැකීමෙන්, ඇසීමෙන්, කියවීමෙන් තමන්ගේ නිර්මාණ කෞශල්‍යය වැඩිදියුණු කරගත හැකියි.

නිර්මාණයකදී අධ්‍යක්ෂවරයා සමඟ ඔබේ ගනුදෙනුව කවරාකාරද?
දැනට මගේ නිර්මාණ දෙකේම අධ්‍යක්ෂවරයා සිවගුරුනාදන් සර්. මා සිතනවා ඔහු වැඩකරන්න ලෙහෙසි, මිත්‍රශීලී කෙනෙක් කියලා. මම දකින විදිහට රංගන ශිල්පියා හා අධ්‍යක්ෂවරයා අතර අන්‍යෙන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ සඳහා තිබිය යුතු ලොකුම දෙය ඇහුම්කන්දීමයි. අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන අපේ අඩුපාඩුවලට අපි ඇහුම්කන් දුන්නොත් අපේ රංගනය දියුණු කරගත හැකියි..

මුලින්ම කැමරාවට මුහුණදුන් ඒ දවස සිහිකළොත්?
මුලින්ම කැමරාවකට මුහුණදුන්නේ ‘ජහුටා’ ටෙලිනාට්‍යයේ පළමු රූගතකිරීම් දිනයේයි.. දර්ශනතලයේදී වැඩේ වෙන්නේ කෙසේද කියා හරියටම අවබෝධ කරගත්තේත් එදායි. එදා මා අතින් අඩුපාඩුත් සිදුවුණා. ඒක සමාන්‍ය දෙයක්. එදා මම ටිකක් බයවෙලාත් හිටියේ . ඒ දවස සිහිවෙද්දි හරිම සුන්දර, ආදරණීය මතකයක් ඇතිවෙන්නේ.

සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?
තවම නම් නැහැ. සිනමා රංගන ශිල්පියෙක් වීම මගේ ලොකුම සිහිනයක්. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැපවෙනවා. ආරාධනයක් ලැබුණොත් සතුටින් භාරගන්නවා..

අද සිනමාව ගැන ඔබේ පෞද්ගලික අදහස දැනගන්න කැමැතියි?
අද සිනමාව දියුණු තත්ත්වයක තියෙන්නේ. ෆිල්ම් බොහෝමයක් නිර්මාණය වෙනවා.ඒ තුළින් රංගන ශිල්පීන්ට, කාර්මික ශිල්පීන්ට් වෘත්තියමය අතින් ස්ථාවරත්වයක් ඇතිවෙනවා. තාක්ෂණය අතින් වුවත් අද සිනමාව දියුණුයි. පසුගිය දිනවල හොඳ චිත්‍රපට කිහිපයක්ම එක ළඟම තිරගත වුණා .

‘නොසිතූ ඇමතුමේ’ ඔබට ප්‍රධාන චරිතයක් ලැබෙනවා?
ඔව්, ‘නොසිතූ ඇමතුම’ කියන්නේ වෙබ් සීරීස් එකක්. පසුගිය මාසයේ එය රිලීස් කළේ. අධ්‍යක්ෂණය කරන්නේ ළහිරු වෙඩිපුල්ආරච්චි අයියා. මම එහි ප්‍රධාන චරිතයක් නීරූපණය කරන්නේ. ඒ චරිතයේ මගෙ නම රමිල. මෙයින් මම සෑහෙන අත්දැකීම් ලැබුවා. ප්‍රවීණ පිරිසක් එක්ක රංගනයට අවස්ථාව ලැබීම මගේ භාග්‍යයක්. ත්‍රාසය, කුතුහලය, විනෝදය ඇතුළත් ‘නොසිතූ ඇමතුම’ ලංකාව ඇතුළේ වෙනස්ම පෙරළියක් කරාවි කියා සිතනවා.

පවුලේ විස්තර කීවොත්?
පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා. අපි පුංචි පවුලක්. අම්මා ගුරුවරියක්. තාත්තා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්. අක්කා රජරට විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා දැන් විධායක නිලධාරිනියක් ලෙස සේවය කරනවා. කලා දිවියට ලොකුම ශක්තිය ලැබෙන්නේ මගේ පවුලෙන්. මිනිස්සු මට ආදරය කරනවා දකිද්දි මට වඩා ගෙදර අය සතුටු වෙනවා. මා ගැන ඔවුන්ට ආඩම්බරයි..පවුලේ අය නැත්නම් මට මේ ගමන යන්නත් බැහැ. එවැනි පවුලක උපත ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. දැනට මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉංජිනේරු තාක්ෂණය හදාරමින් ඉන්න අතරෙයි රඟපෑම් කටයුතු කරන්නේ.

 

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT