හලාවත මුතුපුර අවුරුදු කුමරා, කුමරිය තරගයේ නිර්මාණාත්මක අධ්යක්ෂවරයා ඔහුය. මෝස්තර නිරූපණ ශිල්පියකු සහ නර්තන ශිල්පියකු ලෙස කටයුතු කළ හෙතෙම නමින් නිමේෂ් මිරැන්ඩාය. ‘මුතුපුර මුතු රැයක්’ නමින් අලුත්ම ප්‍රාසංගික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සැලසුම් කරමින් සිටින ඔහු සිය නිර්මාණාත්මක දිවිය පිළිබඳ කතාබහ කිරීමට සරසවිය හා මෙසේ එක්විය.
මේ දිනවල ඔබේ නවතම නිර්මාණ කාර්යයන් මොනවද ?
‘මුතුපුර මුතු රැයක්’ නමින් ප්‍රාසාංගික වැඩසටහනක් කරන්න මේ දිනවල මූලික සැලසුම් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ ප්‍රාසංගික වැඩසටහන සඳහා ලංකාවේ තෝරා ගත් කලාකරුවන්, කලාකාරිනියන් සහභාගි කරගන්නවා. හලාවත ප්‍රදේශයේ කලාකරුවනුත් මේ මුතුපුර මුතු රැයක් සඳහා සම්බන්ධ කරගන්නවා. පැරණි චිත්‍රපටවල ජනප්‍රිය ගීතවලට ඔවුන්ගේ නර්තනයන් ඉදිරිපත් කරමින් ඉතා විචිත්‍රවත්ව, කලාත්මකව ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගත හැකි අයුරින් මුතුපුර මුතු රැයක් පවත්වන්න තමයි මම අදහස් කරගෙන ඉන්නේ. මෙය පළමු වරටයි පවත්වන්නේ. ඒ මගේ උපන් දිනය යෙදෙන ඔක්තෝබර් 30 වැනිදාටයි.
ඔබ තුළ යම් කලා හැකියාවන් තිබෙන බව කුඩා කල දැනගත්තේ කොහොමද?
මොන්ටිසෝරි අවධියේ සිටම නර්තනයට, රංගනයට දක්ෂතාවක් දැක්වූවා. ඒ කාලයේ තිබූ සෑම ප්‍රසංගයකට වගේ මගේ සහභාගිත්වය තිබුණා. ඒ ප්‍රසංගවල අංග 20ක් තිබුණොත් ඉන් 19කටම මගේ ඉදිරිපත් කිරීම් තිබුණා. පාසල් කාලයේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට මම සහභාගි වුණා. ගාමිණී ජයකොඩි මහතා ප්රමුඛ ලංකාවේ ප්‍රවීණ වේදිකා නාට්‍ය නළුවන් අපට පුහුණුවීම් කළා. මම පාසල් ගියේ හලාවත සෙන් මේරිස් කොලේජ් එකට. පාසල් සමයේ කලා කටයුතුවලටත් හොඳ දායකත්වයක් තිබුණා කීවොත් නිවැරදියි. කලාව කියන දේ මගේ ඇඟේ තිබුණා කියලා මගේ මවුපියන් පවා ඒ කාලයේ සිටම දැනගෙන සිටියා.
හලාවත මුතුපුර අවුරුදු කුමරා, කුමරිය තරගාවලිය පවත්වන්නේ ඔබයි. මෙයට අඩිතාලම වැටුණේ කෙසේද ? ඒ සිතුවිල්ල පහළ වූ ආකාරය කීවොත් ?
මගේ යාළුවෙක් එක්ක ගිය අවුරුද්දේ ජනවාරියේ වගේ නිකං කතා කරමින් ඉන්න ගමන් අපි කතා වුණා මේ වගේ වැඩක් කරමුද කියලා. එහිදී අපි මේ වැඩේ කරමු කියලා ඒකමතික තීරණයකට ආවා. ඔහුගෙනුත් මට ලොකු සපෝට් එකක් ලැබුණා. මේ වෙද්දි ඒ යාළුවා ලංකාවේ නෑ, විදෙස්ගතවයි ඉන්නේ. මේ අදහස කලින් සිටම මගේ ඔළුවේ තිබුණා. යාළුවාගෙන් ලැබුණු සහයත් එක්ක අපි වැඩේ පටන් ගත්තා. මගේ ඔළුවට නිකම්ම ආපු අදහසකින් තමයි මුතුපුර අවුරුදු කුමරා_ කුමරිය තරගය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම වයඹ පළාතේ හලාවත ප්‍රදේශයේ තරුණ තරුණියන්ටත් යම් අවස්ථාවක් මේ තුළින් ලැබුණා. මට නොලැබුණු මොනයම් හෝ අවස්ථාවක් ඔවුන්ට ලැබෙනවා නම් කියන අදහසින් මෙය ආරම්භ කළේ.
අද වෙද්දි මෙහි වත්මන් තත්ත්වය කොයි වගේද? සහ එහි ඔබේ භූමිකාව පැහැදිලි කළොත් ?
අද වෙද්දි මේ සඳහා මාධ්‍ය ආවරණය ලබාදෙන තත්ත්වයට දියුණුවෙමින් තිබෙනවා. ගිය වසරට වඩා මේ වසරේ තරගය ඉතා සාර්ථක මට්ටමින් තිබුණා. මේ සඳහා නොයෙක් ප්‍රශ්න ආව අවස්ථා තිබුණා. ඒත් මගේ අරමුණ අරමුණ කරා මම ඇවිත් තිබෙනවා. ඒ වගේම මෙවර චැනල් ඛ් තුළින් මාධ්‍ය ආවරණයක් කළා. එහිදී නිලූෂි අබේකෝන් ඇතුළු කණ්ඩායම විශාල සහයක් අපට දුන්නා.
මේ සඳහා දායකත්වය දෙන පිරිසකුත් ඇති ?
හලාවත ඉන්න හොටෙල් ක්ෂේත්රයේ දැවැන්තයෝ මට මේ සඳහා දායකත්වය, අනුග්‍රාහකත්වය ලබා දුන්නා. ගිය වසරේ මුලින්ම අනුග්‍රහය ලබා දුන්නේ Mikayala Resort. ඉන් පසු හලාවත ප්රමුඛපෙළේ නිමිඇඳුම් සම්බන්ධව සිටින පිරිසක්, රූපලාවණ්‍ය ශිල්පීන්, ශිල්පිනියන් මාරම සහයක් දුන්නා මේ වැඩේට. ඔවුන් හැමෝම ආදරයෙන් මතක් කරනවා.
නිමේෂ් මිරැන්ඩා නම් මෝස්තර නිරූපණ ශිල්පියා ගැන කීවොත් ?
2013දී මම මේ ක්ෂේත්රයට අවතීර්ණ වුණේ . අද ජීවතුන් අතර නැති ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි කුසුම්සිරි ජයවීර මහතා යටතේයි. අද මම යම් තැනක සිටිනවා නම් එයට මූලික අඩිතාලම දැම්මේ ඔහුයි. මම මෝස්තර නිරූපණ ක්ෂේත්රයට හරිම කැමැතියි. මට ජීවිතයේ ලබාගත නොහැකි බොහෝ දේ මේ ක්ෂේත්රය තුළින් ලබා ගත්තා කීවොත් නිවැරදියි. මෙය වෘත්තියමය වශයෙන් හැදෑරීමට 2022දී මම Chula Padmendra Cat Walk Studio Modling Academy එකට යොමු වුණා. ඉන් පසු එයින් මම උපාධිය මට්ටමට අධ්‍යාපනික වශයෙන් මෝස්තර නිරූපණය හැදෑරුවා. උපාධි ප්රදානෝත්සවය ටාජ් සමුද්‍රාහි පැවැත්තුවා. එදා සිට මේ දක්වා මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස මම විවිධ අවස්ථාවන්ට මුහුණදුන්නා. අද මේ ක්ෂේත්රය තුළ මා සිටින ස්ථානය ගැන සතුටු වෙනවා. මගේ ජීවිතය දෙස නැවත හැරී බලද්දී ඇතැම් දේ මට මඟහැරුණා. මේ වෙද්දි මා ලබා ගත් දේවල් ගැන සතුටට පත්වෙනවා.
මෙරට මෝස්තර නිරූපණ කලාව ගැන ඔබේ දෘෂ්ටිය කවරාකාරද?
අද ලංකාවේ මෝස්තර නිරූපණ කලාව ජාත්‍යන්තර මට්ටමට තිබෙනවා කියා මම සිතනවා. අද වෙද්දි මේ රටේ මෙය හදාරන තරුණ තරුණියන් අනන්තවත් ඉන්නවා. අද කොල්ලෝ කෙල්ලෝ හරිම කැමැතියි ලස්සනට අඳීන්න, පලඳීන්න. යමක් දියුණුවෙද්දි විය යුත්තේ එහෙමයි. ඉස්සරට වඩා අද මිනිස්සු දියුණුයි. ඒ වගේම යාවත්කාලීනයි. පොඩි ළමයි පවා අද මාරම Style. අද මෙරට මෝස්තර නිරූපණ ශිල්පය හොඳ මට්ටමක තිබෙනවා .
අපේ මෝස්තර නිරූපණ ශිල්පය ජාත්‍යන්තරයේ තිබෙන ස්ථානය ගැන මොකද සිතන්නේ ?
අද වෙද්දි ලංකාවේ බොහොමයක් මෝස්තර නිරූපණ ශිල්පීන්, ශිල්පිනියන් ජාත්‍යන්තරය නියෝජනය කර තිබෙනවා. රෝසි සේනානායක මහත්මිය ජාත්‍යන්තරය නියෝජනය කළා වගේම අද වෙද්දි බොහෝ දෙනා ඇය සාදා දුන් මාර්ගයේ ගමන් කර තිබෙනවා. ඉදිරියටත් බොහෝ අය බිහිවේවි. මුතුපුර අවුරුදු කුමරා, කුමරිය මෙවර තරගයේ මම ටාගට් කරන පිරිමි ළමයෙක් ඉන්නවා Mr Sri lanka යන්න. ඉදිරියේදී ඔහු කවුද කියා මම හෙළිකරන්නම්. වයඹ පළාතේ අපේ කොල්ලො කෙල්ලෝ ඉන්නවා ජාත්‍යන්තරයට යවන්න තරම් සුදුසුකම් තිබෙන.
නර්තනය ද ඔබේ ඇඟේ තිබෙනවා. ඒ ගැන සඳහන් කළොත් ?
පාසල් කාලයේත් මම ඩාන්සින් කළා. නර්තන තරගත් 20ක් තිබ්බොත් ඉන් මම 19කටම පෙනී සිටිනවා. ඔව්. නර්තනය කියන දේ මගේ ඇඟේ තිබෙනවා.
නර්තනය හැදැරීමට යොමු වූ අතීතයට ගියොත් ?
අ.පො. ස. සා. පෙළ විභාගයේ ප්‍රතිඵල එන තෙක්ම නර්තනය සම්බන්ධව මම වැඩිදුර ඉගෙන ගත්තා . ඒ වගේම මට ලොකු ආසාවක් තිබුණා ලංකාවේ සිටින නර්තනයේ ප්‍රවීණයන් ළඟට යන්න. 2006-2007දී වගේ මම චන්දන වික්‍රමසිංහ රංගායතනයට සම්බන්ධ වී නර්තනය වැඩිදුර හැදෑරුවා. එයින් මම බොහෝ දේ ඉගෙන ගත්තා. ප්‍රවීණයන් යටතේ යම් යම් කාලවල නර්තනය හැදෑරීම පිළිබඳ මට යම් අභිමානයක් තිබෙනවා.
දෙස් – විදෙස් නර්තන ප්‍රසංග තරගත් නියෝජනය කරලා ඇති ?
2016දී නර්තන ප්‍රසංගයක් සඳහා මම හයිද්රාබාත්වලට පිටත්ව ගිහින් තිබෙනවා. ජෙහැනස් මඩවල නමැති මගේ හොඳම මිත්‍රයා, සහෝදරයා සමඟ විදෙස් සංචාර රැසකටම සහභාගි වෙලා තිබෙනවා.
නර්තනය, මෝස්තර නිරූපණය යන ක්ෂේත්‍ර තුළ ඔබ ගුරුකොටගත් පිරිසක් සිටීද ?
චන්දන වික්‍රමසිංහයන් යටතේ නර්තනය හැදෑරුවා. මෝස්තර නිරූපණය චූලා පද්මේන්ද්‍රන් යටතේ හැදෑරුවා. ඔවුන් දෙදෙනා මගේ ගුරුවරුන් ලෙස සලකනවා. ඔවුන්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ උගත් දෑ මට මේ වෙන තෙක් බොහෝ සෙයින් උපකාරී වී තිබෙනවා මගේ ගමන් මාර්ගය නිර්මාණය කර ගැනීමේදී .
විදෙස් සංචාරවලින් ක්ෂේත්රයට අදාළ යම් යම් අත්දැකීම් ලබන්නත් ඇති ?
ඔව්, මේ වෙද්දි මම සංචාර රැසකට සහභාගී වී තිබෙනවා. ඉතාලියේ වෙරෝනාහි ලොකු ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වුණා. අතිශය පෞද්ගලික හේතුවක් මත එය පැවැත්වීමට නොහැකි වුණා. ගිය වසරේත් ප්‍රසංගයක් කරන්න සැලසුම් කළත් එයටත් බාධා ඇතිවුණා. විදෙස් සංචාරවලින් ලද අත්දැකීම් සමඟ ඉදිරියේදී අලුත් කාර්යයන් කිහිපයකට යොමු වෙන්න අදහසක් තිබෙනවා. දැවැන්ත විදේශීය ප්රසංගයකටත් අදහසක් තිබෙනවා. එයට මූලික අඩිතාලම යෙදීමට ගිය වසරේ දෙසැම්බර්වල ජර්මනිය බලා පිටත් වුණා .
මෝස්තර නිරූපණයට මඳ විරාමයක් තබන්න සිතුවාද ?
නෑ, මම මෝස්තර් නිරූපණ ශිල්පයට විරාමයක් තැබුවේ නැහැ. මෝස්තර නිරූපණ ශිල්පය හරහා අලුත් දේවල් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවුරුදු 1 1/2ක වගේ සුළු විරාමයක් මම ලබාගත්තා. මම මීට වඩා දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෝස්තර නිරූපණයේ තව තව දේවල් මම ඉගෙන ගන්නවා.
නිවේදන, ගායන හැකියාවන්ගෙන් දක්ෂතා දක්වා නැද්ද ?
නිවේදන- ගායන හැකියාවන් මට නැහැයි කියා මා සිතනවා.
කඩවසම් තාරුණයකට හිමිකම් කියන නිමේෂ්ට ආදරවන්තියක් නැති වෙන්න බැහැ ?
ඔව්, ආදරවන්තියක් සිටියා. මම හැමවෙලේම එක දෙයක් දන්නවා. අද තියෙන්නේ ආදරයක් නෙවෙයි මූල්‍යමය වටිනාකම මතයි හැමදේම පවත්වන්නේ.
මේ තාක් පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බැලුවොත් ?
ආපසු හැරී බැලුවොත් සමහර දේවල් මගේ ජීවිතයෙන් ඈත් වුණා. ඒ ගැන මම දුක් වෙන්නේ නැහැ, සතුටු වෙනවා. මෙතෙක් මම ආ ගමන ගැන මම 100%ක්ම සතුටු වෙනවා. 50%ක් වගේ මට මඟහැරුණු අවස්ථා තිබෙනවා. ඒ දේවල් ලබා නොගත්ත එකට යම් කලකිරීමක් තිබෙනවා. ඒත් දැන් ඒ නැතිවුණු දේ ගැන සතුටුයි.
අනාගත බලාපොරොත්තු එහෙමත් ඇති ?
ජාත්‍යන්තරයේ යම් වැඩක් කරන්න සිතාගෙන ඉන්නවා. ඒ වගේම ලබන නොවැම්බර් මාසයේ තවත් වැඩ කිහිපයක් ගැන ඔළුවේ අදහසක් තිබෙනවා. ඒ වගේම මගේ Modling Bank එකට නවතම නිරූපණ ශිල්පිනියන් සහ ගිය 2025 වසරේ හා අවුරුදු කුමරා අවසන් වටයට තේරුණු පිරිසගෙන් තෝරාගත් පිරිසක් දායක කරගන්න බලාපොරොත්තු වෙනවා. එසේම හිරු සිඟිති අවුරුදු කුමරා 03 වැනි ස්ථානයේ දිනූ ඩියෝන් ප්‍රනාන්දු ප්‍රධානතම ළමා මෝස්තර නිරූපණ ශිල්පියා වශයෙන් තෝරා ගන්නත් හිතාගෙන ඉන්නවා. මගේ Web Site එක පසුගියදා එළිදැක්වුවා. එහි ඉදිරි සැලසුම් රැසක්ම තිබෙනවා. මුතුපුර අවුරුදු කුමරා- කුමරිය තරගය දරුවන්ගේ අනාගතය සඳහා වන හොඳම වැඩසටහනක් බවට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.
පවුලේ විස්තර කීවොත් ?
අම්මා, තාත්තා ඇතුළු සියලු දෙනාම මගේ කටයුතුවලට මනා සහයක් දෙනවා. අයියා සහ සහෝදරියන් දෙදෙනා විදෙස්ගත වී සිටිනවා. මගේ කලා කටයුතුවලට පවුලෙන් කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඒ සඳහා මට උපරිම නිදහස දීලා තිබෙන්නේ.
