නිවස විශේෂාංග එදා වගේම තවමත් මට ගීත ගයන්න පුළුවන්

එදා වගේම තවමත් මට ගීත ගයන්න පුළුවන්

ජ්‍යේෂ්ඨ ගායන ශිල්පී සරත් සන්දනායක

by Thanushika
September 26, 2024 11:33 am 0 comment

“එදා අපේ සංගීත කලාව ගැන බැලුවාම අද සංගීතය කරන අයට තාක්ෂණය නැතිව කිසිවක්ම කරන්නට බැහැ…එදා සංගීතයේ කිසියම් සජීවි බවක් තිබුණාය කියලයි මම විශ්වාස කරන්නේ ”

අපේ යටගිය සංගීත ක්ෂෙත්‍රයේ භාෂා ත්‍රිත්වයෙන් ඕනෑම ශෛලියයක ගීතයක් ගායනා කරන්නට උපන් හපන්කම් පෑ අතලොස්සක් අතුරින් මේ අපේ ගායන ශිල්පියාට හිමිවන්නේ සුවිශේෂී තැනෙකි..

සිය මවුතුමියගෙන් ලද ආභාසයද ඔහුගේ ගායන දිවියට අත්වැලක් වී යැයි වරෙක සිතේ…

වේදිකා නාට්‍ය ..ගුවන් විදුලියේ හා චිත්‍රපට සංගීතයේ දී විශිෂ්ට ගායන ශිල්පියකු ලෙසින් ඔහු ලද හරසර සම්මානද අප්‍රමාණය .. ගුවන් විදුලියේ “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පියකු වන ඔහු ගැයූ සහසක් ගීත අතුරින් ගීත ශ්‍රාවක සිත්සතන්හි තවමත් ලැගුම්ගත් ගීත තවත් කලෙකට නොමියෙනු ඇතැයි හැඟේ.

ප්‍රකට ගායිකා පුෂ්පරාණී ආරියරත්න මහත්මිය සමඟින් එදා ගැයූ “අක්කෙ ටිකක් ඉන්නකෝ” නම් ගීතය සමඟින් තවමත් ඔහු අප මතකයේ අලුත් වෙයි…

ගායන ශිල්පියකු…ගේය පද රචකයකු…සහය චිත්‍රපට අධ්‍යක්ෂවරයකුද වන ඔහු සරත් සන්දනායකයන්ය. නොඑසේනම් යටගිය එක් යුගයක ගීත කෝකිලාව ලෙසින් කිරුළු පලන් ගායන ශිල්පිනී වසන්තා සන්දනායක මහත්මියගේ ආදරණිය ලොකු පුතු ඔහු ය..

ඔහු සමඟ සරසවිය වෙනුවෙන් යටගිය තතු කතාබහ කිරීමේ අරමුණින් අප ගොඩ වැදුණේ බණ්ඩාරගම..කිඳෙල්පිටිය ප්‍රදේශයේ ඔහු වෙසෙන නිවසටය…සිය එකම පුතු තුෂාර සංජය සන්දනායක ඔහුගේ ආදරණිය ලේලිය සමඟින් වසර කිහිපයක සිට වෙසෙන්නේ ප්‍රංශයේය. ඔහුගේ තනි නොතනිය මකා දමමින් ළඟම පසුවන ආදරණිය බිරිඳ කරුණා සන්දනායක මහත්මිය ද අප පිළිගත්තේ ආදරය පෙරදැරිවමය…

“දැන් ඉතින් මට වයස 86 ක්. ඉස්සර ගුවන් විදුලියේ එකට උන්නු බොහෝ යාලු මිත්‍රයන් අද ජීවතුන් අතරත් නැහැ..ඉතින් මමත් ජීවිතයේ සැඳෑ සමය භුක්ති විඳීමින් ඉන්නවා..

” ඒත්..එදා වගේම තාමත් මට ඕනෑම ශෛලියකින් ගීත ගයන්න ඇති හැකියාව නම් එහෙමම තියෙනවා…ඒත් බොහෝ දෙනකුට නම් අද අපව අමතක වෙලා වගේ…”

අපේ ආදරණිය කතා නායකයාණෝ මුවපුරා සිනාසෙන්නේය..

” අපොයි ඔව්..මම සංගීත ක්ෂෙත්‍රයේ මෙතුවක් පැමිණි ගමන් මග ගැන හදවතින් ම සතුටු වෙනවා ” යැයි ඔහු කීයේ මා විමසූ පැනයකට පිළිතුරක් ලෙසිනි..

දොන් සරත් ආරියවංශ සන්දනායක අපේ මේ කතා නායකයාගේ උප්පැන්නයේ සඳහන් නමය. 1939 ක්වූ මාර්තු මස 16 වනදා නාවලපිටියේදී උපත ලද හෙතෙම ඉගෙනුම ලැබුවේද නාවලපිටිය ශාන්ත මේරි විදුහලේදීය..පසුව කොළඹ මහාබෝධි විදුහලට ඇතුළත් වූයේය…

කළුතර…කජුගහවත්ත.. විලේගොඩ දොන් ධර්මපාල සන්දනායක මහතා සහ ජ්‍යෝෂ්ඨ ගායන ශිල්පිනී වසන්තා සන්දනායක ඔහුගේ ආදරණිය මවුපියන්ය.

” මගෙ ජීවිතයට සංගීතය එකතුවන්නට එකම හේතුව මගෙ අම්මා නිසයි කියල කීවොත් එය නිවැරදියි…ඒත් අපෙ අම්මා අපට සංගීතයට එන්න කියල බලපෑම් කරල නැහැ…මම ඉගෙනුමින් පස්සෙ අම්මා පස්සෙ වැටුණා..අම්මා යන යන තැනට මාවත් එක්ක ගියා. ඒ ගමන් බිමන් නිසා මටත් නොදැනීම මාව ගායනයට යොමු වුණා..

පාසල් වියෙහිදී සංගීතයට හෝ පාසල් වේදිකාවේ කලා කටයුත්තකදී හෝ ඊට ඉදිරිපත් නොවූ හේ පාසලේ පාපන්දු සහ දිවීමේ තරඟාදියෙන් ඉදිරියෙන්ම සිටියේය..

” මගෙ පුංචි අම්මා චන්ද්‍රවතී බාප්පා ස්ටේෂන් මාස්ටර් නිසා පදිංචි ව හිටියෙ නාවලපිටියෙ ..මගෙ ළමා කාලය ගෙවුණෙත් බාප්පා පුංචි අම්මා ළඟයි..උසස් අධ්‍යාපනයට කොළඹ ආවාට පස්සෙ තමයි අම්මා සමඟ එකතුව සිටියේ..”

අම්මා සමඟ සංගීත කටයුතු අතර සිටියදී සරත්, ෂෙල්ටන් ප්‍රේමරත්න යටතේ සංගීතය හැදෑරුවේ ය.

“ඉතිං මෙහෙම ඉන්න කොට පුෂ්පරාණි ආරියරත්න මහත්මියගෙ සරල ගී වැඩ සටහනකට ගයන්න මට අවස්ථාව ලැබුණා”

” ගලේ යන්න බැහැ මැණිකේ…” කැලණි ගඟෙන් නාලා..” ආදී ගීත ගයමින් සිටියදී පුෂ්පරාණි මහත්මිය සමඟින් ගැයූ යුග ගීතය” අක්කෙ ටිකක් එන්නකෝ..” එදාමෙදාතුර ලද ජනප්‍රියතාවය අතිමහත්ය…

වයසින් අවුරුදු 15 තරමේදී ගායන දිවිය ඇරඹූ සරත් තම අම්මා හා එක්ව බජව් සංගීත වලටද ගැයුමින් එක්වූයේය.

ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණ සඳහා භාරතයේ දීපාල් නාත් නමැති මහාචාර්යවරියක පැමිණියාය….එහිදී සරල ගී පරීක්ෂණයේදී ගයන්නට ගීතය ලියාගත්තේද ඔහු තමන් අතිනි. එය ” මවුගෙ ගුණේ පුතුට දැනේ..”නම් ගීතයය.

සරත් සන්දනායක ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ” ඒ ” ශ්‍රේණියට හිමිකම් කියමින් ජයග්‍රහණය ලද්දේය…

“පාවහන් නැති සෝකයෙන් හඬනා…” “ලහිරු පෙරදිග නැගී එනවිට..” “රෑ වැටෙන්නේ නෑ දවාලේ වැටුණු වලේ…” ” මගේ අහිංසක මුහුණ බලාගෙන ” ආදී ගීත රැසක් තමන් අතින් ලියැවුණු අතර ළහිරු පෙරදිග නැඟී එනවිට..” ගීතය ලියාදුන්නේ රත්නසේන ඩයස්ය.

“ඒ කාලෙ මටත් අපෙ අම්මාටත් ගීත ගොඩාක් ලියාදුන්නෙ කරුණාරත්න අබේසේකර…සරත් විමලවීර…සිරිල් ඒ සීලවිමල…හර්බට් එම්. සෙනෙවිරත්න ..ඇලෝයි ගුණවර්ධන ..චිත්‍රානන්ද අබේසේකර…මහත්වරුන් තමයි.. මුලින්ම මට යුග ගායනයට අම්මා …ඒ එක්කම පුෂ්පරාණි ආරියරත්න ..ජී.එස්.බී රාණි පෙරේරා ..අයිරින් ද අල්විස්. සුජාතා අත්තනායක…දයා හේමන්තා අබේසේකර ..නන්දා මාලනී..සමගත් යුග ගායනා කළා..එතකොට මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයාගෙ ප්‍රසංග වලදිත් නන්දා මාලනිය සමග මම යුග ගී ගැයුවා..

මගෙ නංගිගෙ දූලා දෙන්නා සුප්‍රියා සහ සධානා සමඟත් මම ගැයුවා..”

අපේ ආදරණීය සරත් සන්දනායකයාණෝ මුව පිරුණු සිනහවකින් කියයි.

සරත් හාපුරා කියා ප්‍රථම වරට චිත්‍රපටයක පසුබිම් ගායනයට පිවිසියේ “සුනිලා” චිත්‍රපටයෙනි. ඉන්පසුව ” සේයාවක් පසුපස…වනගත කෙල්ල..මාතෘ භූමි..සිහින හතක්..වහල් දූපත..සිදාදියෙන් හයක්..ඉඳුනිල..ලදක මහිම..සැකය…පැංචා… රොමියෝ ජුලියට්..දෙයියන්ගෙ තීන්දුව…ආදී තවත් චිත්‍රපට රැසකට ඔහුගේ ගැයුම් සිරිත එක්වූයේය…

වේදිකා නාට්‍ය රැසකටද සිය ගායනයෙන් දායක වූ හෙතෙම ශාස්ත්‍රකාරයෝ…වැරදුණු වෙඩිපහර..අවිගත්තෝ..හොටබරි යුද්ධය .ඩුංඩු බෙරේ…හුණුවටයේ කතාව..පටාචාරා…පරමාණු…පාපැදි කිංකිණි…පරහස්ත..පුදුම සත්තු ආදී තවත් නාට්‍ය රැසකට ගායන හඬ මුසු කළේය…

එම වේදිකා නාට්‍යවල සංගීත කටයුතු කළේද ඔහු විසින්මය.

” අපෙ අම්මා වසන්තා සන්දනායක මහත්මිය නිසාම මට කලා ලොවට එන්නට වගේම ගමනක් යෑමටත් ආශිර්වාදය හැම අතින්ම සවියක් වුණා..

ඔය අක්කෙ ටිකක් ඉන්නකෝ ගීතය ගයන විට මට වයස අවුරුදු 20 ක් විතර ඇති.

සරත්ට සිය ජීවන සහකාරිය මුණගැසෙන්නේ කොළඹදීය…ඕ තොමෝ නමින් හපු අච්චිගේ කරුණාවතී පෙරේරා හෙවත් කරුණා සන්දනායකය.

ගේය පද රචනයෙහි නිපුණ සරත් චිත්‍රපට හයකට ගී පබැඳුම් කළේය…

සිදාදියෙන් හයක්…මාතෘ භූමි…වහල් දූපත චිත්‍රපටවල සහය අධ්‍යක්ෂ වූයේද සරත් සන්දනායකය.

සිය ගැයුම් සිරිත ගුවන් විදුලියේ සේම ප්‍රසංග වේදිකා මත සිරිමත් කළ සරත් සන්දනායක වේදිකා නාට්‍ය සංගීතයද මෙහෙය වූයේය..

“අපොයි නෑ..මම රංගනයට එහෙමට කැමැත්තක් නම් නෑ..”

ඔහු කියන්නේය.

ඔහු සිය ජීවන සහකාරිය වන කරුණා සමඟ අතිනත ගත්තේ 1971 ක්වූ ජුනි මස 24 වැනිදාය..කලා ක්ෂෙත්‍රයට අවතීර්ණ නොවූ ඕ හැමවිටකදීම සිය හිමිගේ සෙවණැල්ල මෙන් ළඟම පසුවෙමින් ඔහුගේ සෞන්දර්ය දිවිපෙවෙතට දියහැකි හැම සහයක්ම නොඅඩුව ලැබ දෙන්නීය.

බණ්ඩාරගම..කිඳෙල්පිටිය නිසසල පරිසරයක බිරිඳට අයත් නිවසෙහි පදිංචිව සිට ඒ කිට්ටුවෙන්ම නව නිවසක් තනා පදිංචි වූයේය. විවේකී සුවයෙන් කල්ගෙවන හෙතෙම තම බිරිඳ සමග එක්ව වගා කටයුතුවල නිරත වන්නේය..ඉන් ඔහු අසීමිත සතුටක් ලබන්නේය..

“අපි දෙන්නට ඉන්නෙ එකම පුතයි..තුෂාර සංජය සන්දනායක…එයත් සංගීතයට බොහොම දක්ෂයි…ව්‍යාපාර කටයුතුවලදිත් එහෙමයි. පුතා විවාහ වුණේ ඉරේඛා දිල්රුක්ෂි දියණිය සමගයි. අපෙ ලේලිය වුණාට ඇය අපේම දුවක්..දැන් ඒ දෙන්නාම ඉන්නෙ ප්‍රංශයේ..”

“මගෙ මුළු ජීවිතයම සංගීතයයි..ඉන් එහා කිසිවක් නැහැ…සංගීත ප්‍රසංග වලටත් යනවා.. හැබැයි දැන් නම් ඒවාට යනවා අඩුයි…ආරාධනා ලැබුණොත් සහභාගි වෙනවා…තවමත් මට ඉස්සර වගේම ඕනෑම ශෛලියකින් සිංහල හින්දි දමිල ගීත ගයන්නට පුලුවන්..

හැබැයි කියන්න කණගාටුයි..අපේ රාජ්‍ය රූපවාහිනී ආයතන වලට නම් අපි වගේ අයව අමතක වෙලා…කිසිම මතක් කිරීමක්..ආරාධනයක් ඇත්තේම නැහැ..”

ඒ ටික ඔහු කීවේ කනස්සලු ස්වරයකිනි.

ගී රස ගංගා ” ඒකපුද්ගල ගී ප්‍රසංගය ඔහුගේ ය..බණ්ඩාරගම ප්‍රදේශයේ සහ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේද එම ප්‍රසංගය පැවැත්වීය…

හරූන් ලන්ත්‍රා වැඩිපුර ඇවිත් හිඳීන්නේ ඔහුගේ නිවසේය…මිල්ටන් පෙරේරා..ෂෙල්ටන් ප්‍රේමරත්න..තිලක් කරුණාතිලක..ආර්. මුත්තුසාමි.. ලයනල් අල්ගම..ටී.එෆ්. ලතීෆ්..මොහොමඩ් සාලි..එම්.කේ. රොක්සාමි..පැට්රික් දෙනිපිටිය….ස්ටැන්ලි පීරිස්..ආදී සංගීත ක්ෂෙත්‍රයේ තවත් අයවලුන් ඔහුගේ සමීපතමයෝය..

“මා එක්ක ලඟින්ම උන්න හුඟක් ඈයො දැන් ජීවතුන් අතර නැහැ…

අද තියෙන සංගීතයයි එදා අපේ කාලෙ තිබුණු සංගීතයයි අහසට පොළොව වගේ..එදා සංගීතය කිව්වාම හැමඅතින්ම සජීවි..ඒත් අද තත්ත්වය හාත්පසින්ම වෙනස්..තාක්ෂණය නැත්නම් මුකුත් ම බැහැ.. 60 සහ 70 දශකවල ගීත තමයි කාටත් තවමත් මතක තියෙන්නෙ..”

” ඇත්තම කියනවානම් අද ගයන්නෙ නැත්තෙ ගොළුවො විතරයි…”

අපේ ආදරණිය කතා නායකයාණෝ තම ගැයුම් සිරිතෙන් අනේක පැසසුමට බඳුන් විය.. නිවසේ බරාඳයේ එක් තැනෙක කනප්පුවක් මත තබා තිබෙන්නේ ඔහු මෙතුවක් පැමිණි සංගීත ගමනේ විශිෂ්ට බව කියාපානා නන්වැදෑරුම් සමරු …සමරු සම්මාන..සම්මාන සහතික ආදිය ය..ඒ අතර කලා භූෂණ ..කලාශූරී..විශ්වාභිනන්දනී..රත්නදීප කාලතීර්ථභානී…සුවඳ පද්ම..පද්ම රජත…සමග සිල්වර් ස්ක්‍රීන් සම්මානයටද පාත්‍රව..තවත් සමරු සිහිවටන ද වෙති.

” මම රජයෙන් කිසිම දෙයක් මේ වනතුරු ඉල්ලලා නැහැ..රජයෙන් කියල කිසිම දෙයක් මට ලැබිලත් නැහැ..මට ඕනත් නැහැ..මම ස්වෝත්සාහයෙන් මේ තැනට ආවේ..”

” ඔය මහින්ද රාජපක්ෂ ..රනිල් වික්‍රමසිංහ වගේ තවත් නායකකාරකාදීන් හරියටම මගෙ උපන් දිනයට පාන්දර සුබ පතනවා…ඒ ඉතින් එච්චරම තමයි..මං ඒ කාගෙන්වත් ජීවත් වෙලා නැහැ…”

සරත් සන්දනායක තිර හඬින් කියන්නේය..

“මං කවදත් ලද පමණින් සිත සැනසිල්ල රැකගෙන ජීවත්වෙන කෙනෙක්..මට දැන් අසූ හයක්නෙ”

ඔහු සිනාසෙන්නේය.

ඔහු අතීතයේ කතාවක් කියන්නට සැරසෙයි.

“මම සහය අධ්‍යක්ෂණය කරපු මාතෘ භූමි චිත්‍රපටය යාපනයේ පලෙයි චැම්පියන් පත්තුවෙ. එහි මාලු මුදලාලි යාපනයේ.. සංගීත ප්‍රසංගයක් තිබ්බා..කන්නන් කොස්ටික් වාදක මඩුල්ල . මම දමිල හින්දි ගීත ගැයුවට පස්සෙ එයාල සිංහල සින්දුත් ඉල්ලුවා..මමත් ගැයුවා. වසර දෙකක් මට ඒ ප්‍රසංගයට ආරාධනා ලැබුණා..”

මගෙ නංගිගෙ දුවලා දෙන්නා සුප්‍රියා සහ සධානා. මම ඒ දූලත් එක්ක ගයනවා..”

ප්‍රවීණ සංගීතවේදී හා ගායන ශිල්පී සරත් සන්දනායකයන් වෙතින් සමුගන්නට මොහොතක් තිබියදී සරසවිය පුවත්පතට කෘතවේදි ප්‍රණාමය පුද කළේය….

විශිෂ්ට කලාකරුවාණෙනි! ඔබට සරසවිය වෙනුවෙන් නිබඳ චිර ජීවනයම පතමු.!

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT