Home » මා සිත සුවපත් කළ ඔහු

මා සිත සුවපත් කළ ඔහු

44 වැනි කොටස

by mavan
June 4, 2026 1:49 pm 0 comment

සුරේන් මට මුණ ගැහෙන්නේ අහඹු සිදුවිමක් හැටියට අප අතරින් වියෝවුණු ලක්ෂ්මන් හුළුගල්ල ඒ කාලේ අපේ පවුලේ සමීපතම හිතවතෙක්. ඈතින් අපේ නැදැයොත් වෙනවා. සුරේන්ලාගේ ව්‍යාපාර වුණේ ජපානයෙන් මෝටර් රථ අමතර කොටස් ආනයනය කිරීම. ඔවුන්ගේ එක කන්ටේනර් එකක් රේගුවෙන් ප්‍රමාද වෙලා ඔහු ලක්ෂ්මන් හුළුගල්ලට කියලා ඒක ඉක්මන් කර ගන්න ක්‍රමවේදයක් හොයලා තිබෙනවා. සුරේන්ලාත් ලක්ෂ්මන් හුළුගල්ලව ළඟින් ආශ්‍රය කරනවා. ඒ කාලේ මගේ හොඳම යාළුවෙක් රේගුවේ වැඩ කළා. ලක්ෂ්මන් හුළුගල්ල සුරේන්ට කියලා තිබුණා නදිකාට කිවුවොත් යාළුවා ලවා ඕක කරලා දෙයි කියලා. ඒකට තමයි ඉස්ඉස්රලම සුරේන් මට කෝල් කරන්නනේ.

සුරේන්ගේ උවමනාව මම මගේ යාළුවාට කියලා කරවලා දෙනවා. නමුත් අපි දෙන්නගේ දුරකතන කතාව එතැනින් නිම වෙන්නේ නෑ. අපි හරිම සුහදව බොහෝ දේවල් දුරකතනයෙන් බෙදා හදා ගත්තා. මාස ුඅටත් වැනි දිර්ඝ කාලයක් අපි දෙන්නා දන්නෙම නැතුව සුහද දුරකතන පිළිසදරවල යෙදිලා තිබුණා. මේ කාලය ඇතුළත අපි දෙන්නා කිසි දවසක මුහුණට මුහුණ හමුවෙලා තිබුණේ නෑ. දෙන්නටම ඒ ගැන උනන්දුවක් තිබුනෙත් නෑ. ඒ වුණාට මේ දීර්ඝකාලීන දුරකතන සංවාද අපි දෙන්නා අතර කිසියම් බැදිමක් ඇති කර ලා තිබුණා.

කාලයක් යනකොට එක්තරා දවසක සුරේන් කියනවා” මම එයාව බලා ගන්නම් කියලා.

එතනදි ඔහු අදහස් කළේ අපි දෙන්නට එකට ගමනක් යන්න පුළුවන් කියන එක වෙන්න ඕන. ඒ වෙනකොට මම තවත් කෙනෙකුගේ බලාගැනීමකට යටත් වෙන්න තරම් පසුබිමක හිටියේ නැ. මම වයසින් මුහුකුරා ගිහින්, ජිවිතේ යම් යම් කාරණා බොහොම සම සිතින් විදිමින්, ඉවසමින්, දුක්දරා ගනිමින්, නැවත ජිවිතය පන ගන්වා ගනිමින්, ගෙවල් දොරවල් යාන වාහන හදා ගත්ත කෙනෙත්. මට තවත් කෙනෙකු මත්තේ ඉඳගෙන ගොඩනඟා ගන්න දේවල් තිබුණේ නැ. නමුත් සුරේන් හමුවිම මගේ හිතට වෙනස් අකාරයේ සමීපබවක් ඇති කළා. මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා, මම කතා කළාම එන්න කෙනෙක් ඉන්නවා, මට හැම දෙයක්ම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවාය කියන හැඟිම මා තුළ ඇති වුණා. කොහොම වුණත් ඉට පස්සේ අපි හමුවෙලා කතා බහ කරන්න පටන් ගන්නවා. සුරේන් අපේ ගෙදර යන්න එන්න පටන් ගන්නවා.

සුරේන්ගේ ගම කුරුණෑගල, හෙට්ටිපොළ. එයාගේ තාත්තා හෙට්ටිපොල හිටපු ලොකු තොග බඩු ව්‍යාපාරිකයෙක්. හෙට්ටිපොල තිබුණ ලොකුම තොග බඩු කඩේ තිබුණේ සුරේන් ගේ තාත්තාට. එයාගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනයි. සුරේන් සහ මල්ලි නිවුන් සහෝදරයෝ. දරුවෝ පුංචි කාලේ දිම අම්මා නැතිවෙලා. තාත්තා දරුවෝ හය දෙනාටම වෙනවෙනම නැනිලා තියලා තමයි සුරේන්ලව හදලා තියෙන්නේ.

කොහොමහරි සුරේන් මට මුණ ගැහෙන්නේ මගේ ජීවිතේ යම් පරිණත අවධියකට ආවට පස්සේ. මේ යුගය වනවිට යොවුන් ප්‍රේමයේ චමත්කාර ජනක බොලඳ සිතුවිලි මගෙන් බොහෝ දුරට දුරස් වෙලා. නමුත් සුරේන්ගේ හමුවිම නිසා මගේ ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙන් ගන්නවා. විවාහයක් ගැන, අනාගතයක් ගැන හැඟිමක් නැතිව ජිවත් වුණු මට යම්කිසි හැඟිමක් මේ නිසා ඇති වෙන්න ගන්නවා. මටත් අනාගතයක් ඒන කියන හැඟිම ඇති වෙන්න පටන් ගන්නවා.

සුරේන් මට වගේම අපේ පවුගේ අනිත් අයටත් හරිම ලෙන්ගතු වෙනවා. ඔහු මට මුණ ගැසුණු මුල් කාලෙදිම තමයි අපේ තාත්තා තද බල විදියට අසනීප වෙන්නේ. තාත්තා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ ගම්පොළ එයාගේ ගමේ ගෙදරට යනවා. එයාට එයාගේ ගෙවල් දොරවල් ඉඩකඩම් සියල්ලම ලැබෙනවා. ඒවා බලා කියාගෙන එයා හරි සතුටෙන් සුවබර විශ්‍රාම දිවියක් ගත කරනවා. ඔහොම ඉන්න අතරෙදි තමයි එයා එකපාරටම අසනීප වෙන්නේ. දරුණු හාදයාබාධයක් සමඟ එයා පැරලයිස් වෙන්න එනවා. අපි ඉක්මනටම එයාව කොළමට ගෙන්න ගෙන ආසිරි රෝහලේ නතර කරනවා. මට තාමත් මතකයි මේ වෙලාවේ හරියට කලබල වෙන්නේ අපේ අම්මා. ඒ දෙන්නා කොයි විදියට දෙන්න දෙපැත්ට වෙලා හිටියත් දෙන්නට දෙන්නා ගැන පුදුම හැඟීමකින් කටයුතු කළා. තාත්තාගේ වැඩ කටයුතු වෙනුවෙන් මම දිවා රෑ වෙහෙසෙනවා. මේ වෙලාවේ මගේ තනියට හිටියේ සුරේන් තමයි. ඒ වෙලාවේ එයා මට ලොකු හයියක් වුණා. සමහරදාට තාත්තා ළඟ නවතින්නේ සුරේන්. තාත්තාත් එයාට හරියට ආදරේ කළා. ඇත්තටම තාත්තා අසනීප වුණා කියන්නේ මගේ ජිවිතේ එක පැත්තක් කඩාගෙන වැටුණා වගේ වුණා. ඒ අපහසු අවස්ථාවලදි මාව අත නොහැරම සුරේන් මගේ ළඟ හිටියා. ඔහුට එන්න අපහසු අවස්ථාවලදි ඔහු ඔහුගේ මල්ලිව පවා අපේ උදව්වට එව්වා. බොහෝ අවස්ථාවල තාත්තාගේ රෝහලේ බිල ගෙව්වෙත් සුරේන් තමයි. මම කඩා වැටිලා හිටපු ඒ අවස්ථාවල මගේ ළඟින් ඉඳගෙන මට හයියක් වුණේ, මගේ සිත සුවපත් කළේ ඇත්තටම සුරේන්. එදා සුරේන් ඒ දක්වපු කරුණාව දයාව අදටත් මගේ හිතේ අමතක නොවන තැනක තියෙනවා.

සති ගාණකට පස්සේ තාත්තාව සනීප කරගෙන කොහොම හරි මම මගේ ගෙදරට තාත්තාව අරගෙන එනවා. පිසියොතෙරපිස්ට් කෙනෙක් ගෙදරට ගෙනත් තාත්තාට ට්‍රීරිට්මන්ට් කරවලා කොහොමහරි තාත්තව ආයෙත් නැග්ට්ටව ගන්නවා. ඒ උත්සාහය කොච්චරද කියනවා නම් තාත්තා ආපහු සැරයක් තමන්ගේ වැඩ ටික තනියම කරගන්න පුවවන් මට්ටමට සුවය ලබනවා. ඊට පස්සේ එයා ආයෙමත් ගම්පොළට යන්න ඒන කිව්ව නිසා ගම්පොළ ගිහින් ඇරලනවා. හැබැයි තාත්තව බලා ගන්න ගංගා නංගි තාත්තත් එක්ක ගම්පොළට යනවා. ඇත්තටම ඒක මගේ හිතට හරිම සුවදායි දෙයක් වුණා. මට කොළඹ ඉදගෙන එක හිතකින් වැඩකර ගන්න ඒක නිසා පුළුවන් වුණා.

සිනමාවෙන්ම හම්බකරපු සල්ලි වලින් ගත්ත ඉඩමේ ගෙයක් හදන්න ඕන කියන කල්පනාව මට ආවේ සුරේන් හම්බවෙන්න බොහෝ කාලයකට ඉස්සර. ඒ අනුව තමයි පොඩි ප්ලැන් එකක් ඇඳලා ගෙයක් හදන්න පටන් ගත්තේ. ඇත්තටම අද හිතෙනවා තනි මම ඒවගේ දෙයක් කරන්න ධෛර්යය ගත්තේ කොහොමද කියලා. මොකද ඒ වනවිට මට අනාගතය පිළිබඳ කිසිම බලාපොරොතුවක් තිබුණෙත් නැ. මට අදටත් මතකයි අත්තිවාරම කපන දවසේ බහිරව පුජාව දෙන්නත් හිටියේ මමයි ගංගා නංගියි විතරයි. බහිරව පුජාවෙන් පස්සේ අපි දෙන්නා තනිවම දාලා යන්න බැරි නිසා ගේ හදන්න ආව බාස්ලා ටිකත් තනිවට නැවතුණා. ගේ උඩට ගොඩ නගා ගන්න තනි මම ගත්ත මහන්සිය දන්නේ මම විතරයි. ඒකාලේ වෙනකොට ගෙවල් හදන්න මම මගේ කාරෙක පවා විකුණලා තිබුණේ. යන්න එන්න වාහනයක් වත් තිබුණේ නැ. ඒ කාලේ මම හිටියේ තලකොටුවවත්ත පාරේ කුලි ගෙයක නැවතිලා. එතැන ඉදන් ගේ හදන තැනට එන්නෙත් ත්‍රී විලරයක නැඟලා. දවසක් බාස්උන්නැහේ කෙනෙක් සිමෙන්ති කොට්ට ඕන කියලා මම ත්‍රිවිලරයකින් ආවා ළඟ තිබුණු හාඩ්වෙයාර් එකකට. මාව දැකලා ඒ කාඩේ අමුදලාලි මට දුරකතන අංකයට දිලා කිව්වා මිස් එන්න එපා මට දුරකතනයෙන් මොනවද ඕන කියන්න. බාස් උන්නැහේට කියන්න ඇවිත් අරන් යන්න කියලා කියලා කිව්වා. ඒ වගේම මට මම නැවතිලා හිටිය තලකොටුවවත්ත පාරේ හාඩ්වෙයර් එකකිනුත් බඩු දුන්නා පස්සේ සල්ලි දෙන්න. ඒ විදියට තමයි ගේ ගොඩනගා ගත්තේ. සුරේන් මට හමුවෙනකොට කොහොම කොහොමහරි ගේ ගොඩනඟාගෙන ඉවරයි. නමුත් පදිංචි වෙන්න තරම් ෆිනිෂින් වැඩ ඉවරවෙලා තිබුණේ නැ.

ලබන සතියේ…

පසන් නිවෙසක සිරියාව

 

නදිකාගේ හදවතට

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT