Home » මම නාට්‍ය හැදුවටත් වඩා කලාකරුවන් හැදුවා නාට්‍යවේදී , නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

මම නාට්‍ය හැදුවටත් වඩා කලාකරුවන් හැදුවා නාට්‍යවේදී , නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

by mavan
May 28, 2026 11:36 am 0 comment

ශ්‍රී ලංකා නාට්‍ය කලාව බැබළවූ එය ඉදිරියට ගෙන යමින් දහසකුත් ආධුනිකයන්ට නාට්‍ය කලාවේ පරතෙර වටහා දුන් දිසාපාමොක් කෙනෙක් වේ නම් ඒ අදත් අප අතර සිටින නීතිඥ ඩග්ලස් සිරිවර්ධනයන් හැඳීන්විය හැක. සම්මානනීය නාට්‍ය පිටපත් රචකයෙකු, අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකවරයෙකු ලෙස නාට්‍ය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් දශක පහකට අධික කාලයක් ඔහු කටයුතු කරනු ලැබුවේ මේ මහා කලා කෙතේ දක්ෂයන් අති දක්ෂයන් බිහි කරන්නටය.

මේ වනවිට ජීවන රඟමඩලේ 75 වන වියද ඉක්මවා ගොස් සිටින මේ දිසාපාමොක් ආචාර්යවරයා ජීවිතයෙන් හරි අඩකටත් වඩා කාලයක් ගෙවා ඇත්තේ නාට්‍ය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙනි. තම ජීවත් කරවූ නාට්‍ය කලාව ජීවත් කරවීමේ වගකීම යුතුකම තමන් සතු බව පසක් කරමිනි. අදටත් මේ මහා කලා කෙතේ අභිවෘද්ධිය වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන නීතිඥ ඩග්ලස් සිරිවර්ධන හා කතාබහට එක්වෙමු.

මෙරට නාට්‍ය කලාවේ නොමැකෙන චරිතයක් ඔබ?

ඒකට පිළිතුර පහුගියදා ඇස් පනාපිටම දකින්න අහන්න ලැබුණා. මම නොවෙයි මම ගැන කිව්වේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් කලාකාරයෝ.

ගොඩක් අය ඔබ ගැන දන්නේ නීතීඥ ඩග්ලස් සිරිවර්ධන කියන නමින්?

නාට්‍ය ක්ෂේත්‍රයේ මට කලින් අපේ නාට්‍ය ඉතිහාසයේ ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් වැනි නීතීඥ නාට්‍යවේදීන් හිටියා. ඒ අතරින් කෙනෙක් විතරයි මම නීතිඥ වෘත්තියත් සමඟ බැඳී සිටිමින් තමයි නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළේ.

ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඔබව විවිධ අයුරින් අමතනවා නොවේද?

සමහරුන්ට මම ඩගී. තවත් අයට ඩගී අයියා. එහෙමත් නැත්නම් ඩග්ලස් සර් සමහරුන්ට ඩග්ලස් සිරිවර්ධන. හැබැයි ටික දෙනෙකුට මම ඩගී මල්ලි. ඩග්ලස් කිව්වත් ඩගී කිව්වත් ඩගී අයියා කිව්වත් ඩගී මල්ලි කිව්වත් මම ඩග්ලස් සිරිවර්ධන තමයි. මේ කොයි විදියෙන් මට ආමන්ත්‍රණය කළත් ඒ සහෘදකමට මම හරි කැමතියි.

ඒ දැනෙන සහෘදකම නිසාම වෙන්න ඇති මීට නොබෝ දිනකට පෙර ජනගත වූ ඔබේ අපදාන කෘතිය ඩගී ලෙස නම් කරලා තිබුණේ?

ඒකත් එක හේතුවක්.

කලා ජීවිතයට අඩ සියවසක් කිව්වහම ඊටත් වැඩියි. කියලයි මට හිතෙන්නේ?

ඩගී අපදානය ලියැවෙන්නත් එක හේතුවක් මගේ කලා ජීවිතයට වසර පනහක් පිරීම. නමුත් මගේ කලා ජීවිතයට මේ වන විට වසර පනහකටත් වැඩියි. ඇත්තෙන්ම මගේ කලා ජීවිතේ ඇරඹෙන්නේ 1972 දී.

ශශ්‍රී ලංකා සංස්කෘතික මණ්ඩලය පැවැත් වූ දීප ව්‍යාප්ත නාට්‍ය පිටපත් තරඟයෙන් මම ප්‍රථම ස්ථානය ලැබුවා. ඒ වසරේම රයිගම් කෝරළ සංස්කෘතික මණ්ඩලය මෙහෙය වූ අත්පිටපත් තරඟයෙන් ප්‍රථම ස්ථානය ලැබුවා. ඒ වගේම පුස්තකාල පාඨක සමාජය මෙහෙය වූ අත් පිටපත් තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබනවා. නාට්‍ය පිටපත් රචකයෙකු ලෙස මගේ කලා ජීවිතය 1972 පටන් ගත්ත මම 2022 වසරට පනස් වසරක් සමරනවා. ඒ සන්ධිස්ථානය මට සමරන්න අපහසු වෙනවා රටේ කොරෝනා තත්වය, පාස්කු ප්‍රහාරය රටේ ආර්ථිකය කඩා වැටීම් නිසාවෙන්. ඒ කඩඉම සැමරීම අතහැර දැමුවා. නමුත් මෙවන් වටපිටාවක් රට තුළ නොතිබුණා නම් මං අදහස් කරලා තිබුණේම මගේ නාට්‍ය උලෙළක් කරන්න. ඒ වගේම මගේ සියලුම නාට්‍ය පිටපත් මුද්‍රණය කරලා පනස් වසර සමරන්න තමයි අදහස් කරලා තිබුණේ. නමුත් අපෙත් ආර්ථිකය කඩා වැටීම් නිසා මම අදහස ආපස්සට ගත්තා.

ඔබේ අපදාන කෘත්‍රියක් කරන්න කොහෙත්ම බලාපොරොත්තුවක් තිබුණේම නැද්ද?

තිබුණා. නමුත් මෙහෙම කලබලයට නොවෙයි. විස්තර ඇතුව කාලයක් අරගෙන කරන්න මම හීන දැක්කා. නමුත් මේ මගේ අපදානය දැම්ම ලියමු කියලා මාව පෙලඹෙව්වේ අරුණි මුතුමලි. ඇය කීපවර මා සමග සාකච්ඡා පවත්වා තිබුණා පුවත්පත් සඳහා ලිපි සම්පාදනයට නමුත් මම දැන සිටියේ නෑ ඇය මෙවැන්නක අරමුණින් මාත් සමග කතාබහකට එනවා කියා ඇය මට කිව්වා අංකල් පුවත්පත් ලිපියක් නොවෙයි අපි අංකල් ගැන පොතක් කරමු කියලා. ඒ පාර මම කිව්වා දුව මා ගැන මොනව ලියන්නද පොත් ලෙස කියලා. නමුත් ඇය මට දිගින් දිගටම පෙරැත්ත කළා. අපි ළඟ තොරතුරු තියෙනවා. අංකල් අපි මේ වැඩේ කරමු. මොනතරම් වටින පුද්ගලයෙක්ද ඔබ කියලා. මෙහෙමනේ ගෑනියෙකුට අහුවුණොත් ගැලවීමක් නෑනේ. පත්තර කලාවේදිනියකට අහුවුණාම ගැලවීමක් ඇත්තෙම නෑනේ. ඒකනේ සත්‍ය. අරුණි කියන්නේ පුවත්පත් කලාවේදිනියක් වගේම පුවත්පත් කතුවරියක් ඇය මේක ලියල ඉවර වෙනකම්ම පස්සෙන් ආවා. දවස් ගාණක් එයා මේකට කැප වුණා. නිවාඩු නැත්නම් නිවාඩුව හදාගෙන අරුණි මේ ඩගීගේ කතාව පෑනෙන් අකුරු බවට පත් කළා.

කෙනෙකුගේ අපදානය හදිස්සියේ කළ හැකි දෙයක් නොවන බව ඔබම පවසද්දී අරුණි විසින් ඔබ ගැන ලියූ අපදානය තුළ ඔබට සීයයට සියයක් සාධාරණීයකරණය කරලා තියෙනවාද? ඔබේ බලාපොරොත්තුවේ සියල්ල ඇතුළත්ව?

එහෙම කියන්න බෑ. මගේ තියන ඉලක්ක සහ තොරතුරු තියෙන්නේ මා ළඟ. අරුණිගේ තොරතුරු හා ඉලක්ක තියෙන්නේ අරුණි ගාව. ඇය පුවත්පත් කලාවේදනියක්, කර්තෘවරියක්. එයා මගෙන් ප්‍රශ්න කරමින් ඇයගේ ඉලක්ක වලට යනවා. ඒක තුළ ඇය සීයයට සීයයක් සාර්ථකයි. එතැනදී අඩුපාඩුව තියෙන්නේ මගේ අඩුපාඩු. මම තොරතුරු සම්පාදනය කරන්නේ නැත්නම් ඇයට එවා ලැබෙන්නේ නෑ.

ඒ කියන්නේ ඔබ තොරතුරු නොදී යම් යම් අයුරින් ඇයට තොරතුරු වසන් කළාද?

නෑ. තිබුණු කාලයත් සමඟ මට ලොකු තරගයක් තිබුණා. මම ඇයට දිය යුත්තේ නිවැරැදි තොරතුරු. යම් සිද්ධි මට මතකයෙන් කියන්න පුළුවන්. නමුත් වෙහෙසීමක් කරල ඒ තොරතුරු සනාථ කරන්න නම් දින වකවානුත් එක්ක ඒ දේ කියන්න ඕනේ. අන්න ඒ වගේ අඩුපාඩු මගෙන් සිදු වුණා. මම ගැන සම්පූර්ණ නිර්මාණාත්මක නිබන්ධනයක් කරනවා නම් ඒ සිතුවිල්ලේ මම හිතුවොත් වැරදියි. නමුත් ඇය ඇයගේ කාර්ය මැනවින් කළා. නීරස මාතෘකාවක්නේ කෙනෙකුගේ චරිත කතාවක් ලියන එක. මම හිතන්නේ ඉතාම රසවත් කතා තියෙන්නේ නළු නිළියන්ගේ් ජීවිත කතාවල නමුත් ඒවා මිනිස්සු කියවන්නේ නෑ ඒකට හේතුව ඒවා තමන් දන්න දෙයින් ලේඛිකාව ඒවා පුරවන්න යෑම. නමුත් අරුණි පුවත්පත් කලාවේදිනියක් ලෙස සිනමා පත්තරයක් වූ සරසවිය තුළ වැඩ කිරීමෙන් ලබාගත්තු පරිචය තුළ ඇය ඉතා සුළු දෙයකින් විශාල දෙයක් මවන්න පුළුවන් තැනැත්තියක් කියල මේ කෘතිය තුළ ඔප්පු කරලා තියනවා. කලා ක්ෂේත්‍රය තුළ කලාකරුවන් ඇසුරු කිරීම තුළ ලබාගත් තොරතුරු ඇසුරින් ඇය තම රචනය නවකතාවක් බවට පත් කරලනවා. මෑතකදී ලියවෙච්ච චරිත කතා අතරින් මම ජනප්‍රිය පුද්ගලයෙක් නොවූවද ඇය මට ගෞරවයක් ලැබෙන පරිදි මේ ග්‍රන්ථය නිබන්ධනය කරලා තියෙනවා. ඒ ඇය සතු සුවිශේෂී හැකියාවට මම ස්තූතිවන්ත වෙනවා.

දශක පහක් තුළ ඔබේ කලා දිවියේ නිර්මාණකරණය සංඛ්‍යාත්මකව ගත්තොත්?

සුභ හැන්දෑවක්, අඹු සැමියෝ, හිට්ලර්, බොරු කකුල්, සිංහල වංශලා, ගොදුරු, අන්තිම රාත්‍රිය, විදුරනුර්තිය, පුලතිසි පුවත, සක්කය දිට්ඨි ආදී නාට්‍ය නිර්මාණ මම කළා තමයි. නමුත් අධ්‍යක්ෂකවරු ඉන්නවා මම අච්චර කළා මෙච්චර කළා කියලා සංඛ්‍යාත්මකව කියන. නමුත් මම ඒ අයට වඩා වෙනස් කෙනෙක්. ඒකට හේතුව මම මගේ පාසල් ජීවිතයේදීමයි නාට්‍ය ක්ෂේත්‍රයට එන්නේ. හොරණ විද්‍යාරත්නයේ ඉගෙනගන්න කාලේම තමයි මේ ගමනට මම පය තියන්නේ. අඹු සැමියෝ නාට්‍යය මම හදන්නේ 1976 දී. 1972 දී මම ලියන අන්තෝජටා බහිජටා පිටපත තමයි මගේ මුල්ම නාට්‍ය රචනය. ඒක තමයි මම අඹු සැමියෝ කියල මගේ මුල්ම නාට්‍ය නිර්මාණයට එකතු කරගන්නේ. මගේ පළමු නාට්‍ය නිර්මාණය වූ අඹු සැමියෝ රාජ්‍ය නාට්‍ය උලෙළට තේරෙනවා. ඒක මම රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයේදී ඉවත් කරගන්නවා. 1977 අලුත් ආණ්ඩුවක් බලයට එනවා 1978 වන විට රාජ්‍ය ආයතන විකුණලා හෝ වහලා දාන්න පිඹුරුපත් සකස් කරනවා. ඔය කාලයේ මම රැකියාව කළේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ. එහි සේවක අතිරික්ත අයින් කරන්න කටයුතු කරමින් ඉන්න කොට මම එහි වෘත්තීය සමගම් ලේකම්වරයෙක් ලෙස කටයුතු කරමින් හිටියා. ඔය අතරේ රජයට පක්ෂපාති නොවන කට්ටිය ගොඩට මාවත් ඇතුළත් වීම නිසා මාව රැකියාවෙන් අයින් කරනවා. ඔබගේ සේවය හෙට සිට අනවශ්‍යයි. ඔබට හිමි හිඟ වැටුප් වන්දි අර්ථ සාධක මුදල් ඒ දිනේම ලබා දෙනවා කියලා. සියල්ල සැලසුම් සහගතව කරලා අපේ අතට ලියුම දුන්නා. කර කියාගන්න දෙයක් නෑ ඔය වගේ තත්ත්වයක් කලින් ඇතිවෙන්න යනවා කියලා රාවයක් යනකොට මම නීති විද්‍යාලට ඇතුළත් වෙන්න ඉල්ලුම් පතක් දැම්මා. රැකියාවෙන් ඉවත් වෙනකොට නීති විද්‍යාල විභාගය තිබුණා. මම ලිව්වා ඒකෙන් මම පාස් වුණා. මම නීති විද්‍යාලට ගියා. ඒ වෙනකොට මම දෙදරු පියෙක්. කුලී ගේක ජීවත් වුණා. මට රැකියාවක් නැති නිසා මටත් ජීවත්වීමේ අරගලයක් කරන්න සිදුවුණා. ඔය කාලෙ මගේ වාසනාවකට මගේ මුල්ම නාට්‍ය නිර්මාණය වූ අඹුසැමියෝ රට පුරා හොඳ හැටි දුවනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් තියන කාලයක්. ඒ නාට්‍ය පෙන්වීමෙන් ලැබෙන ආදායමෙන් තමයි මම ජීවත් වෙන්නේ මගේ බිරිය කාල ඇඳලා ඉන්නේ. ලෝ කොලේජ් එකේ ඉගෙන ගන්නේ වියදම් කරන්නේ මේ හැමදෙයක් සඳහා මට මුදල් ලැබෙන්නේ මේ නාට්‍යය පෙන්වීමෙන්. කොටින්ම කිව්වොත් මාව ජීවත් කළේ් නාට්‍ය. ඒක නිසා මගේ යුතුකම තියෙනවා මාව ජීවත් කරපු නාට්‍ය කලාව ජීවත් කරවන එක ඒ නිසා මම කළේ නාට්‍ය තොගයක් හදනවට වඩා නාට්‍ය කලාවට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම.

අනෙකුත් නාට්‍යකරුවන් නිර්මාණ සංඛ්‍යාත්මකව ගොඩ ගසාගන්නා විට නීතිඥ ඩග්ලස් සිරිවර්ධන තමන්ව ජීවත් කරපු නාට්‍ය කලාව ජීවත් කරවීමේ පරම වගකීම අතට ගන්නවා?

ඇත්තෙන්ම ඒක තමයි මම කළේ. ලෝ කොලෙජ් එක තුළ ඉගෙනගන්න අතරේ මට නාට්‍ය පෙන්නලා හම්බවෙන සල්ලි වලින්. යම් ප්‍රමාණයක් ඉතිරි කරලා අවුරුද්ද අවසානයේ දින දහයක වැඩමුළුවක් කළා. 1983 වර්ෂයේ ඉඳලා 1988 වර්ෂය දක්වා මේ සඳහා මට ශශ්‍රී ලංකා සෝවියට් මිත්‍රත්ව මන්දිරය නොමිලයේම ලැබුණා. අය කිරීමකින් තොරව මම එහි තරුණ සංවිධානයේ උප සභාපති.

මම අහල තියෙනවා ඩග්ලස් සිරිවර්ධන නාට්‍ය හැදුවට වඩා කළේ නාට්‍යකරුවන් බිහිකරපු එක කියලා?

ඒ කතාව වරදක් නෑ මම කළේ නාට්‍ය නිර්මාණ කරමින් ඉන්නවට වඩා නාට්‍යකරුවන් මේ කලා ක්ෂේත්‍රයට බිහි කිරීම.

කවුද ඔබේ නාට්‍ය වැඩමුළු හරහා බිහිවුණු නාට්‍යකරුවෝ?

අශෝක හඳගම, ජයලාල්් රෝහණ, ප්‍රසාද් සූරිය ආරච්චි, සුරේෂ් අබේසේකර, චන්න පෙරේරා, රසාදරී පීරිස්, මාලි ජයවීරගේ, උදේනි අල්විස්, අජිත් ලොකුගේ, මැල්කම් මචාඩෝ, සේන නානයක්කාර, තුසිත ජයවර්ධන, හේමන්ත ගමගේ, සුජීව නිවුන්හැල්ල, අජන්ත අලහකෝන්, අනුලා හඳුවල, අනෝමා ජනාදරී, අමිත්ත විරසිංහ, ඇන්ටනී ජයලත්, කුමාර තිරිමාදුර, ගාමිණී ජයකොඩි, ජගත් බෙනරගම, මනෝහරී හේවාවසම්, විමලනාත් වීරරත්න ඇතුළු විශාල පිරිසක් ඉන්නවා. මේ අය මගේ වැඩමුළුවලට සහභාගි වෙන්න කලින් කලාවට ඇවිත් ඉන්න ඇති. නමුත් ඔවුන්ට මේ වැඩමුළු හරහා ලොකු තල්ලුවක් ලැබුණා තමන්ගේ ඉලක්කයන් වෙත යන්න.

නාට්‍ය වැඩමුළු පමණක් කර ඔබ සෑහීමකට පත් නොවන පුද්ගලයෙක් වගෙයි?

තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාවක් අපි පටන් ගත්තා. මමත් ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුගතපාල ද සිල්වා ඇතුළුව බුද්ධික දමයන්ත, ප්‍රසන්න ජයකොඩි ඒ හරහා බිහිවුණු නාට්‍යකරුවන්. ඊට පස්සේ අපි ජාතික තරුණ සේවා සභා නාට්‍ය පාසල ආරම්භ කළා. ඒ හරහා සම්පත් ජයවීර, රොෂාන් රවින්ද්‍ර, රුක්ෂාන් විජේරත්න, සුමිත් රත්නායක, මාදනී මල්වත්ත, දීපිකා තෙල්මා, සරත් කරුණාරත්න වගේ අය බිහි වුණා. මම ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්වුණාට පස්සේ ආරම්භ කළ ටවර් නාට්‍ය පාසල තුළින් විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දුන්නා. ඒ තුළින් බිහිවන දරුවන්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී ගුරු පත්වීම් පවා ලබා දුන්නා. අද ඔවුන් ලංකාව පුරා පාසල්වල ගුරුවරු හැටියට උගන්වනවා.

ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට ඔබ පත්වීමත් සමඟ මෙරට නාට්‍ය කලාවේ අලුත් පරිච්ඡේදයක් ඇතිවුණා නොවේද?

මම ඇති කළා. විනාශ වෙමින් තිබූ ටවර් හෝල් එක. එල්ෆින්ස්ටන් එක රුක්මණී දේවී රඟහල නවීකරණය කළා. මේ ආයතනවලට නවීන තාක්ෂණික උපකරණ සම්බන්ධ කළා. ටවර් එකේ් හා එල්ෆින්ස්ටන් එකේ නාට්‍ය ප්‍රකාශන එළි දැක්වූවා. ප්‍රකාශන අංශයක් අලෙවි අංශයක් පටන්ගත්තා. මම ඉන්න කාළේ් ටවර් එකට සියවස සම්පූර්ණ වුණා. ඒ නිමිත්තෙන් මම නූර්ති ගී දාහකට ආසන්න ප්‍රමාණයක් පටිගත කලා. යුද්ධය අවසන් වීමත් සමඟ අපි යාපනයට සංස්කෘතික කණ්ඩායමක් යවලා පාසල්වල වැඩමුළු කළා. සිංහල දෙමළ නාට්‍ය තරඟ හැදුවා. එයින් හොඳ නාට්‍ය නිර්මාණය වුණා. ඒවා අපි වේදිකාගත කළා. මගේ උත්සාහයක් තිබුණා ටවර් රඟහලේ ශාඛාවක් යාපනයේ ඇති කරන්න. අපේ නාට්‍ය පාසල සම්බන්ධකර ඒ හරහා යාපනය විශ්වවිද්‍යාල සමග අපි සාකච්ඡා කලා උපාධියක් දෙන්න අපේ මෙහෙ ඉන්න කලාකරුවන්ට යාපනේ ගිහින් නැවතී ඉන්න මධ්‍යස්ථානයක් හදන්න අපි එහි දිසාපති සමඟ සාකච්ඡා කළා ඉඩමක් ගන්න නමුත් මගේ සේවා කාලය අවසන් වීමත් සමඟ ඒ දේවල් අතරමඟ නතර වුණා.

මගේ සේවා කාලයේ අවසන් භාගයේ කොරෝනා වසංගතය රට වෙලා ගත්තා. රටේ ආර්ථිකයේ ඉඳලා හැමදේම කඩා වැටුණා. කලාකාරයෝ අසරණ වුණා. ඒ අය වෙනුවෙන් මම ප්‍රේක්ෂා, නාට්‍ය උලෙළ පටන් ගත්තා. නාට්‍යකරුවන් 500ක් රක්ෂණය කළා. ප්‍රේක්ෂා රක්ෂණාවරණය ද වයස් සීමාවක් නොමැතිව නාට්‍යයකට සම්බන්ධ වීම පදනම් කරගෙන දෙන්න අපි කටයුතු කළා. රංග ශාලාව නොමිලේ දෙමින් ප්‍රවාහන පහසුකම් නොමිලේ දෙමින් ඉතිරි ටිකෙට් වලට නැවත මුදල් ගෙවමින්. අපි කොරෝනා වකවානුවේ නාට්‍යකරුවන් ප්‍රබෝධමත් කරමින් නාට්‍ය කලාව රැක ගන්න කටයුතු කළා.

ඔබේ නිර්මාණ දිහා බලනකොට දකින්න තිබුණු විශේෂත්වයක් තමයි ඔබ තුන්කල් දුටු නාට්‍ය නිර්මාණකරුවෙක් කියලා?

මම කරපු දෙවැනි නාට්‍ය නිර්මාණය වුණේ 82 වර්ෂයේ සුභ සැන්දෑවක්. ඒ වෙනකොට රටේ තිබුණු වාතාවරණය අනුව මට හිතුණා ජාතිවාදී අරගලයක් ඇතිවෙයි කියලා ඒ වගේම වුණා. ඒක 83දී වුණා. මම ඒක දැක්කේ රටේ හිටිය දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය අනුව. ඊට පස්සේ ජාතිවාදී කල කෝලාහළ නිසා ගිනිබත් වූ ගෙවල් දොරවල් බලන්න ගියාම මට දැනිච්ච දෙයක් තමයි කරපු විනාශය ඒ ගැන දුකක් ඇතිවුණා. ඒ එක්කම මට දැනුණා දැන් ඊළඟට එන්නේ ජාතිවාදී අරගලයක් නොවෙයි දේශපාලන අරගලයක් කියලා. ඒක ඉතාමත් කුරීරු ලෙස මැඩ පවත්වනවා කියලා මගේ සිතට දැණුනා. ඒ අනුව තමයි මම හිට්ලර් නාට්‍යය නිර්මාණය කරන්නේ.

වේදිකා නාට්‍ය සඳහා නවීන තාක්ෂණය රැගෙන ආ පුද්ගලයෙක් වශයෙනුත් ඔබ මෙරට නාට්‍ය නිර්මාණකරුවන් අතරේ පෙරමුණේ ඉන්නවා?

මම ඒ වෙනස ඇති කළේ හිට්ලර් නාට්‍ය හරහා. මේ නාට්‍ය වේදිකාගත වෙන කාලයේ ප්‍රේක්ෂකයෝ රූපවාහිනිය හා බද්ධවෙලා හිටියේ මට ඕන කළා ඒ බැඳීම කඩලා ඔවුන්ට නැවත වේදිකාවට රැගෙන එන්න. අන්න ඒ වේදිකාවෙන් දුරස් වූ ප්‍රේක්ෂකයා නැවත වේදිකාවට ගෙන්වා ගන්න තමයි මම නවීන තාක්ෂණය වේදිකා නිර්මාණයට හඳුන්වලා දුන්නේ. සවුන්ඩ් ඉෆෙක්ට්ස් ස්ටීරීයෝ සවුන්ඩ් මම භාවිතා කළා. තාක්ෂණික තත්ත්වය අතිතාත්වික කළා. නාට්‍ය කියන දේ බුද්ධිමය භාවය අබිබවා භාවමය භාවයට පත් කළා හිට්ලර් නාට්‍ය.

ඔබේ තාක්ෂණික වෙනස්කම වේදිකාව තුළ පසුවටත් නාට්‍ය නිර්මාණකරුවෝ භාවිතයට ගත්තද?

ඔව් මම අරපු දේ පසුව තව නාට්‍යකරුවෝ ඉදිරියට රැගෙන ආවා. ධර්මසිරි බණ්ඩාරනායක ධවල භීෂණ නාට්‍යය තුළ ඒ දේ කළා.

රංග ශාලාව ඇතුළේ් නාට්‍ය පෙන්වන අතරේ ඔබ චිත්‍රපටයකුත් පෙන්නලා හැඩයි?

එහෙම නැතුව බෑ. ඒ සජීවී අත්දැකීම මම ප්‍රේක්ෂකයන්ට දැනෙන්න හැරියා. අපේ නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට මේක අලුත් දෙයක් වුණාට ලෝකයේ වෙන රටවල මේක නාට්‍ය ශාලාවල සාමාන්‍ය දෙයක්. අපි ප්‍රාථමික අවධියේ ඉන්නකොට ලෝකය බොහෝ ඈතට ගිහින් මම අඹුසැමියෝ කරනකොට කරපු තාක්ෂණික උප්පරවැටිය නොවෙයි. සුභ හැන්දෑවක් කරනකොට කළේ් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි හිට්ලර්වල කළේ නාට්‍ය කියන්නේ තාක්ෂණයම ද කියලත් මට හිතුණා. ඒ නිසා මම ඒ දේ ප්‍රතික්ෂේප කර සිංහල වංශලා කරනකොට නාට්‍ය පාරේ පෙන්වන තත්ත්වයට නිර්මාණය කළා. නාට්‍ය ඉල්ලා සිටින දේ මම දුන්නා. හැම නාට්‍යයකටම එක වගේ සලකන්න බෑ. නාට්‍යකරුවෙක් හැටියට ඒ වෙනුවෙන්ම කැපවෙලා ඉන්නකොට අපිව පේනවා. සමාජ වාතාවරණය කොයි වගේද කියලා. මගේ නාට්‍ය කලා ජීවිතයෙන් තිස් අවුරුද්දක්ම ගෙවුනේ යුද්ධයත් සමඟ. අද අපිට කියන්න බෑ ඉදිරිය කොයි වගේද කියලා රටේ හැමදේම අවිනිශ්චිතයි. මිනිසුන්ගේ සිතුවිලිත් අවිනිශ්චිතයි. යුද්ධය ඉවරවීම සරල දෙයක් නොවෙයි.

ඔබගේ අවසන් නාට්‍යය නිර්මාණය බවට පත්වන්නේ?

තාම කරපු නැති එක. දින වකවානු නෑ. සමහරවිට මේ අවුරුද්දේ අවසානයේ වෙන්නත් පුළුවන්.

ඔය කියන කරන්න ඉන්නවයි කියන නිර්මාණය වචනයට පමණක් සීමාවුවක් නම්?

මේ ඩග්ලස් සිරිවර්ධන කියල විතරක් නතර වන මිනිහෙක් නොවෙයි. කියන දේ කරන කරන දේ කියන මිනිහෙක්. මගේ ජීවිතය පුරාවට මං කිය කිය කරන පුද්ගලයෙක් නොවෙයි. වෙලාවට සිද්ධ වෙයි. කිය කිය කරනකොට සමහරක් විට ඒක වස්කවියක් වෙන්නත් බැරි නෑ.

ඔබ ආ ගමන දෙස ආපසු හැරෙන කොට මොකද හිතෙන්නේ?

සතුටක් දැනෙනවා දුකක් නෑ. තිස් අවුරුදු යුද්ධයක් රට තුළ තියෙනකොට තමයි මේ හැම දෙයක්ම මම කළේ. මම කිසි දෙයක් කරල පසුතැවෙන්නෙ නෑ. මම හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඒ සතුට මට පරම ධනයක් වෙලා තියෙනවා. සන්තුට්ඨි පරමං දනං. මට ආරෝග්‍යා පරමාලබා ලැබිලා තියෙනවා. ඒ නිසා මම නිදුක් නිරෝගීව ඉන්නවා.

ඔබ නීති විද්‍යාලට ගියත් නීතිඥ වෘත්තියට පැමිණියත් ඇයිද ඔබ මෙතරම් තමන්ගේ වෘත්තියට වඩා නාට්‍ය කලාවට පෙම් කරන්නේ?

ඕක මගේ නෝනත් අහන අහපු දෙයක්. ඔය ප්‍රශ්නයට උත්තරය සරලව දෙන්නත් අමාරුයි. ගැඹුරින් දෙන්නත් අමාරුයි. සමහර මිනිස්සු බැඳලා ඉන්නවා. පාරේ එක්කන් යන්න බැරි ගෑනු. ඒත් ඒ අය මාර ලව් එකේ ඉන්නේ. සමහර ගෑනු ලස්සන රූමතියෝ ඒ අය පණ ඇරලා මිනිස්සුන්ට ආදරය කරන අය ඉන්නවා. ජාතක පොත්වල කතා තියෙනවා. අංග විකල මිනිසුන්ට රුමතියෝ ආදරය කළා කියලා. ඒ වගේ මගේ ජීවිතය මාව ගොඩ දැම්මේ නාට්‍ය කලාව ඉතින් මම නාට්‍ය කරගෙන ඉන්නවා. මට නාට්‍ය කලාව ප්‍රශ්නයක් වෙලා නෑ. ඒකෙන් මට පාඩුවක් වෙලත් නෑ. ලාභයක් අරගෙනත් නෑ. මම සතුටින් ඉඳලා තියෙනවා. සතුට පරම ධනය නම් මම වැඩමුළු මඟින් නළු නිළියෝ හදලා තියෙනවා ඒ ගැන මගේ විශ්වාසයක් තියනවා වැඩ කිරීම තුළ මම නීරෝගී වෙලා කියලා.

කෙලෙහි ගුණය කියන දේ අද සමාජයේ නොමැති තරම් ඒ වටපිටාව තුළ ඔබ හැදුව වැඩුව ගෝල පිරිස් අද වෙනකොට මේ ගුණයෙනුත් ඈත් වෙලාද?

මම මොකටද එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ. වැඩක් නෑනේ මම හිතන්නේ කුරුලු පැටියාගේ න්‍යාය කුරුල්ලා පැටියා ලොකු කළා. කූඩුවෙන් කොටලා බිමට දැම්මා. ඌ දැනගන්න ඕනි ඉගිළෙන්න. ඌ දැනගන්න ඕනේ කෑම හොයා ගන්න. ඌ දැනගන්න ඕන ජීවිත ආරක්ෂාව සපයා ගන්න. එහෙම නැතුව අපි හැමදාම පැටව් රකින්න ගියොත් මට ජීවත් වෙන්න විදියක් නෑ. එයාගේ ගමන එයා යන්න ඕනේ. කෙලෙහි ගුණ ගැන හිතන් නැතුව බුදුහාමුදුරුවෝ කෙළෙහිගුණ පෙන්නුව ඒක සත්‍යයක්. කෙළෙහි ගුණ කියල අපිට පුළුවන්ද මගේ ගෝලයෝ ගෙනත් කන්න දෙන්න. ළමයි දෙමව්පියන්ට සලකන්න නැති මෙවන් යුගයක පිටස්තර දරුවෝ එහෙම කරයි කියලා අපිට හිතන්න බෑ. නමුත් මගේ ගෝලයන්ගේ කෙලෙහි ගුණය දැක්ක හොඳම හොඳම දේ තමයි මා වෙනුවෙන් මුද්‍රණය කළ ප්‍රේක්ෂා තුළ අන්තර්ගත ලිපිටික යමක් බලාපොරොත්තු වුණොත් තමයි ඒක බිඳෙන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නෑ. මගේ යුතුකම මම ඉෂ්ට කළා. ඒ අය යුතුකම් ඉෂ්ට කළාද කියලා මට අදාළ නෑ. ඒක තමයි මගේ ජීවන දැක්ම. මගෙන් රටට රටෙන් මට මොනව ලැබුණාත් මට වැඩක් නෑ. මගෙන් රටට මගෙන් ඔබට මම දෙයක් කළා.

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT