Home » තනි තරුවේ තනියක් දැනුණේ නැහැ

තනි තරුවේ තනියක් දැනුණේ නැහැ

15 වැනි කොටස

by mavan
November 6, 2025 10:44 am 0 comment

සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරිම් නිමවා අපි ඔක්කොම කොළඹ ආවා. ඔය අතරෙදි තමයි මට රත්නවීරද සිල්වා ‘තනි තරුව’ චිත්‍රපටයට කතා කරන්නේ. තනි තරුව කරන්න ගියාම තමයි මට ගෝතමී පතිරාජ, මැණික් කුරුකුලසූරිය මුන ගැහෙන්නේ. තනි කරුව නිර්මාණය වෙන්නේ ඒ කාලේ පුවත්පතක පළවුණු චිත්‍ර කතාවක් ඇසුරින්. ඇඳපු චිත්‍රකතාවේ හැටියට මැණික් ගේ රූප ස්වභාවය තමයි ප්‍රධාන චරිතයට තිබුණේ. නමුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ගෝතමි පතිරාජ විසින්.

ගෝතමියි මමයි දෙන්නම ගම්වලින් කොළඹට ආපු අය. ගෝතමි සඳ ලංකාවෙන් , මම මහනුවරින්. අපි දෙන්නටම මේ ලෝකය ඒ තරමට හුරුවෙලා තිබුණේ නෑ. නමුත් මැණික්ට මේ චිත්‍රපට ලෝකය අපට වඩා හුරුවෙලා තිබුණා. මැණික් ඒ වෙනකොට ගොඩ් කිං වගේ චිත්‍රපටයක් කරලා තිබුණා වගේම ඇගේ වැඩිමල් සහෝදරියන් සිනමාවට පිවිසිලා හිටපු නිසා ඇයට ඒ පිළිබඳ අත්දීම් තිබුණා. ඒ නිසා මේ යුගය වනවිට මැණික්ට හරිම ‘පොෂ්’ පෙනුමක් තිබුණා.

මේ චිත්‍රපටයේදි තමයි මට මුලින්ම සනත් ගුණතිලකව මුණ ගැහෙන්නේ. ඔහුත් මහනුවරින් සිනමාවට පැමිණි කෙනෙක් නිසා අපි දෙන්නා අතරේ සමීප ළෙන්ගතු බැදීමක් ඇති වුණා. ජිවන් කුමාරතුංගව මට මුලින්ම හමු වෙන්නෙත් තනි තරුව චිත්‍රපටයේදි. ඔහු මේ චිත්‍රපටයේ ඉතාම සුළු චරිතයක් නිරූපණය කළා මට මතකයි.

සනත් ගුණතිලක සහ ගෝතමි පතිරාජ තමයි තනි තරුවේ ප්‍රධාන නළු නිළි යුවළ වුණේ. ඊට අමතරව මැණික් කුරුකුලසුරිය, ජිවන් කුමාරතුංග, දේවින්ද මාක්ස්, මර්වින් ජයතුංග, ලොයිඩ් වාකිෂ්ට, ජයසේකර අපොන්සු, චිත්‍රා වාකිෂ්ට, යු. ආරියවිමල්, ඇතළු පිරිසක් මේ චිත්‍රපටයේ රඟපෑවා. අපේ අම්මත් මේ චිත්‍රපටයේ රඟපෑවා.

තනිතරුව දර්ශන ගතකිරිම් කරපු කාලය නම් හරිම රසවත්. මමයි, මැණික් සහ ගෝතමියි තුන්දෙනා තමයි එකටම හිටියේ. ඒ කාලේ සනත් හිටියේ කන වැහෙන්න කොණ්ඩේ වවාගෙන. අපි තුන්දෙනා හැම වෙලේම සනත්ට කරදර කළා කොණ්ඩේ කපන්න කියලා. නමුත් ඔහුට ගානක් වත් තිබුණේ නෑ. දවසක් අපි තුන්දෙනා එකතු වෙලා ඉටි පන්දමක් ගෙනත් සනත් ගේ කන දෙපස කොණ්ඩය පිච්චුවා. සනතුත් ගාණක් නැතිව අපිට ඒ වැඩේ කරන්න ඉඩදීලා හිටියා.

සනතුයි මමයි අඳුනා ගත්තට පස්සේ අපි දෙන්නම නුවර නිසා අපේ නෑදැ හිතමිතුරන් ගැන කතා කළා. එතකොට තමයි දැන ගත්තේ සනත් ගේ අම්මා ඒකාලේ අපේ අත්තම්මාට ගෙතුම් උගන්නලා තිබෙනවා කියලා. ඉතින් පස්සේ කාලෙක අපේ පවුල් අතරත් සමීප සම්බන්ධතා ඇතිවුණා. මට මතකයි සනත් ගේ අම්මා කොළඹ ආවම අත්තම්මාව බලන්න නිතර අපේ ගෙදර ආවා.

මේ කාලේ වෙනකොට සිනමාවේ නව ප්‍රබෝධයක් ඇතිවෙමින් තිබුණා. අපි වගේ අලුත් නළු නිළියන් රාශියක් සිනමාවට එක්වෙමින් හිටියා. විවෘත ආර්ථිකයත් එක්ක බොහෝ චිත්‍රපට නිෂ්පාදකවරු සහ අලුත් චිත්‍රපට අධ්‍යෂවරුත් බිහිවෙන්නට පටන් ගත්තා. තනි තරුව හදපු රත්නවීරද සිල්වාත් එසේ සිනමාවට පැමිණි එකල නවකයෙක්. ඒ වගේම ඒකාලේ පරාක්‍රම සිල්වා, බර්මින් ලයිලි වැනි තවත් අලුත් අධ්‍යක්ෂවරු සිනමාවට එන්න පටන් ගත්තා.

තනිතරුව ඉවර වෙනවත් එක්කම මට පරාක්‍රම සිල්වාගේ ‘ බිත්ති හතර‘ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එතනදි මට තවත් අලුත් ශිල්පින් රැසක් හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. බිත්ති හතර කරපු පරාක්‍රම සිල්වාත් ඒ කාලේ ආපු තවත් අලුත් අධ්‍යක්ෂවරයෙක්. මේ චිත්‍රපටයේ නීල් අලස්, ස්වර්ණා මල්ලවාරච්චි, වසන්ති චතුරාණි, මැණික් කුරුකුලසූරිය, රූබි ද මෙල්, රත්නාවලි කැකුණවෙල, ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර, දේවිකා මිහිරානි, පියසේන අහංගම, නිශ්ශංක දිද්දෙණිය, ප්‍රසන්න ෆොන්සේකා ඇතුළු පිරිසක් රඟපෑවා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඒකාලේ ව්‍යාපාර ලෝකයට අලුත් මුහුණක් වුණු, අද පොත් ව්‍යාපාරයේ ඉහළින්ම වැජඹෙන නාමයක් වන එච්. ඩී ප්‍රේමසිරි මහත්මයා විසින්.

බිත්ති හතර චිත්‍රපටයට පසුබිම් වුණේ සුගතපාලද සිල්වා සුරින් විසින් ලියන ලද එනමින් යුත් නව කතාවයි. එහි තිර නාටකය රචනා කළේ චන්ද්‍රසේන පෙරේරා විසින්. මට රඟපාන්න සිද්ධ වුණේ කතාවේ හැටියට ‘ අනුලා‘ ගේ චරිතය රඟපෑ මානෙල් වානගුරු ගේ නැගණිය ගේ චරිතය.

ඇත්තටම කිවහොත් රත්නවීරද සිල්වා, පරාක්‍රම සිල්වා වැන්නවුන් සම වයසේ අධ්‍යක්ෂවරුන් වූ නිසා මේ චිත්‍රපට රූ ගත කළ දර්ශන තල අතිශයින්ම විනෝද ජනක වුණා. චිත්‍රපටයේ රඟපෑ මම, මැණික්, ගෝතමි , සනත්, ජීවන් ඇතුළු පිරිසත් සම වයසේ වූවන් වූ බැවින් අපි ගතකළේ හරිම විනෝද ජනක කාල පරිච්ඡේදයක්. මේ කාලේ ඇතුළතම මට තවත් නවක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සිනමාවට පිවිසි බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ ‘සිවුරඟසේනා’ චිත්‍රපටය. බර්මින්ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වුණේ ‘සිවුරඟ සේනා’. මට මතකයි මේ චිත්‍රපටයෙන් නවක නිෂ්පාදකවරු දෙදෙනෙකුත් දොරට වැඩියා. ඒ රෝයි ශ්‍රි අනුරාධ බණ්ඩාරනායක සමඟ නන්දනී පිනිදිය බණ්ඩාරනායක.

සිවුරඟ සේනා චිත්‍රපටයේ විජය කුමාරතුංග, ඩග්ලස් රණසිංහ, ගීතා කුමාරසිංහ, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, විමල් කුමාරද කොස්තා, ශාන්තිලේඛා, දම්මි ෆොන්සේකා, රංජිත් මහේන්ද්‍ර පිරිස් වැන්නෝ රගපෑවා. මට රඟපාන්න තිබුණේ මෙහි ප්‍රධාන චරිතය රඟපෑ ගීතා කමාරසිංහගේ නැගණිය වූ කමණි ගේ චරිතයයි.

ලබන සතියේ ඩී. බී නිහාල්සිංහයන් හමුවීම

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT