Home » සාම්ප්‍රදායික නර්තන කලාව රැකගෙන ඉදිරියට යා යුතුයි

සාම්ප්‍රදායික නර්තන කලාව රැකගෙන ඉදිරියට යා යුතුයි

නර්තනාචාරිනී හංසිනී මධුරප්පෙරුම

by mavan
December 4, 2025 10:08 am 0 comment

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ශත වර්ෂ ගණනාවක් පැරණිය. විවිධ යාග හෝම, ඇදහිලි, ඔස්සේ පැවතගෙන ආ අපේ නර්තන කලාව උඩරට, පහතරට, සබරගමු යන සාම්ප්‍රදායන් තුනෙන් යුක්තය. ඒවාට භාවිතා කරන වස්ත්‍රාභරණ, වාදන භාණඩ සහ නර්තන රිද්මය අනුව මෙම සාම්ප්‍රදායන් ත්‍රිත්වය එකිනෙකට වෙනස් වේ. පැරණි නර්තනාචාර්‍යවරුන්, ගුරුන්නාන්සේලාගෙන් පැවත ගෙන ආ ශ්‍රී ලාංකික නර්තන කලාව වර්තමානයේදී එලෙසින් පවත්වාගෙන යාමට වෙහෙසෙන නර්තන පරපුරක් සිටීම වාසනාවකි.

කුඩාකල සිටම නර්තනයට ඇලුම් කොට එය හොඳීන් අධ්‍යයනය කරමින්, මනා පුහුණුවක් ලබා මතු පරපුරට දායාද කරන වත්මන් නර්තන පරම්පරාව ඇගැයුමට ලක් කළ යුතුය. එවන් ගුරු පරපුරක නර්තන ගුරුවරියක හඳුනා ගැනීමට සරසවියට හැකිවිය. ඇය නර්තනාචාරිනී හංසිනී මධුරප්පෙරුමය. මීගමුවේ හංසිනී මධුරප්පෙරුම රංග කලායතනයේ අධිපතිනිය ඇයයි. වසර ගණනාවක සිට පවත්වා ගෙන එන මෙම කලායතනයෙන් වන සේවය අතිමහත්ය. එපමණක්ද නොව ඇය දෙස් විදෙස් නර්තන තරඟ වලින් ජය ලබා සම්මාන හිමි කරගත් දක්ෂ නර්ත ශිල්පිනියකි. දෙසැම්බර් 13 වෙනිදා පැවැත්වෙන කලඑළි මංගල්‍යය “2025 මහා රංගාභිෂේකය 10″ ගැන දැනුම්වත් කිරීමට සහ ඇගේ වගතුග සරසවිය හමුවේ එළිදැක්වීමට ඇය සෙනෙහසින් මෙසේ එක්වූවාය.

ලබන 13 වෙනිදා විශේෂ සුබ කටයුත්තක් සිදුවීමට නියමිතයි. ඒ ගැන කතා කිරීමට මත්තෙන් මා ගැන හඳුන්වා දෙන එක හොඳයි කියා මා සිතනවා. මම මුලින්ම නැටුම් ඉගෙන ගත්තේ හයවසරේදී. මම ඒ කාලේ මුතුහර ළමා සමාජයේ සාමාජිකාවක් විදිහට කටයුතු කළා. මීගමුවේ රුක්මණී දේවි අනුස්මරණ ශාලාවේදි පැවති නර්තන, සංගීත, නිවේදන යන සෑම තරඟ අංශයකින්ම මම ජයග්‍රහණය කර තිබෙනවා. මම ඉගෙන ගත්තේ මීගමුව නිවුස්ටඩ් බාලිකාවේ. මගේ මුල්ම නර්තන ගුරුවරයා වුණේ නාමල් වේවැල්දෙණිය ගුරුතුමා. එතුමාගෙන් මම උඩරට නැටුම් ඉගෙන ගත්තා. එරන්දතී චතුතන්ත්‍රී ගුරුතුමියගෙන් භරත නාට්‍යයම් ඉගෙන ගත්තා. මම 2005 දී උසස් පෙළ කළේ. ඒ කාලේ මාව තේරුණා බස්නාහිර පළාත් නර්තන කණ්ඩායමට. එයට තෝරා ගත්තේ ශිල්පිනියන් පහළොස් දෙනෙකු පමණයි. මම එහි වසර තුනක් සේවය කළා.

2007 වසරේදී මාව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණා. අපේ පාසලෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යාමට වරම් ලැබූ මුල්ම ශිෂ්‍යාව මම. එහිදී මම හොඳීන් නර්තනය ඉගෙන ගෙන උසස් අයුරින් සමත් වුණා. ඒ නිසා මට උඩරට සහ භරත නාට්‍යයම් ඒකාබද්ධ විශේෂවේදී උපාධිය ලබා ගැනීමට හැකිවුණා. භරත නාට්‍යයම් භාත්ඛණ්ඩේ විශාරද දක්වා මම ඉගෙන ගත්තා. ගාන්ධර්ව විභාගයත් මම ඉහළින් සමත්. සංස්කෘතික අමාත්‍යාංශය මඟින් පැවැත්වූ දේශීය , විදේශීය නර්තන තරඟ වලින් මම ජයග්‍රහණය අත්පත් කරගත්තා. 2005 වසරේදී මම හංසිනී මධුරප්පෙරුම රංග කලායතනය ආරම්භ කළා. 2007 වසරේදී මීගමුව පුරවරයේ විශිෂ්ටතම කලායතනය ලෙස මගේ කලායතනය සම්මාන හිමිකරගත්තා.

උඩරට, පහතරට, සබරගමු, භරත, කථක්, බැලේ සහ බෙරවාදනය මේ සියල්ල උගන්වන්නේ මා විසින්මයි. මට ගුරුපත්වීමත් ලැබුණා. පසුව මම බස්නාහිර පළාත් ගුරු උපදේශිකාවක ලෙසත් නොවිධිමත් අධ්‍යාපන ගුරු උපදේශිකාවක ලෙසත් කටයුතු කළා. මේ විදිහට තමයි මගේ නර්තන ජීවිතය ගලාගෙන ගියේ. වර්තමානයේ මම මගේ කලායතනයට මගේ පූර්ණ කාලය යොදවලා තියෙනවා. එහි ප්‍රථිඵලයක් ලෙස දසවැනි මහා කලඑළි මංගල්‍යය පවත්වන්නට මට හැකියාව ලැබී තියෙනවා. මෙවර කලඑළි බසින්නේ ශිෂ්‍යාවන් දොළොස් දෙනෙකු පමණයි. එය පහිම්පත් මංගල්‍යයක්. මෙය දෙසැම්බර් 13 වෙනිදා මීගමුව අබේසේකරාමයේදී තමයි මෙම සුබ කටයුත්ත සිදු කෙරෙන්නේ. හිමිදිරියේදී තිබෙන සුබ මොහොතින් පාහිම්පත් මංගල්‍යය සිදු වෙනවා. මේ සඳහා දෙසැම්බර් 12 වෙනිදා පෙරදින චාරිත්‍ර සිදු කරනවා. ඉන්පසු අලුයම දෙකට පමණ දියනෑමේ චාරිත්‍රය පවත්වා වස්ත්‍රාභරණ අන්දවනවා. අනතුරුව බුදුන් නැමද, සෙත් පිරිත් සජ්ඣායනා කොට මංගල බෙර වාදනය මධ්‍යයේ පාහිම්පත් බැඳීම සිදු කරනවා. කිරිගහ බැලීම, කිරි දෙන බැලීම සහ දිය කොරහෙන් මුහුණ බැලීම සිදුවෙන්නේ ඉන් අනතුරුවයි. පසුව ආශීර්වාදය සහ ආරක්ෂාව වෙනුවෙන් බුදුන් වැඳ, දේව යාතිකා සිදුකර සභයෙන් අවසර ගෙන නර්තනය ඉදිරිපත් කරනවා. මේ සියලු දේ අවසන් වූ පසු ශිල්පිනියන්ගේ වස්දොස් යන්නට ගරා ශාන්ති කර්මය සිදු කොට දෙහි කපනවා.

මේ සුබ කටයුත්තට මහාචාර්ය මුදියන්සේ දිසානායක, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පහතරට නර්තනාංශයේ කථිකාචාර්‍ය හර්ෂ වික්‍රමතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වෙනවා. මෙහි සියලු බරපැන දරන්නේ දරුවන්ගේ මව්පියන්. එය ඉතා අගය කළයුත්තක්. මේ ආකාරයට මම භරත නාට්‍යයම් කලඑළි මංගල්‍යයක් පවත්වා තියෙනවා. මම එය වසරක් පාසා පැවැත්වුවා. අවසන් වරට මීට වසර කිහිපයකට පෙර ශිෂ්‍යාවන් හයදෙනෙකු සම්බන්ධ කරගෙන අරංගේත්‍රම් මංගල්‍යයක් පැවැත්වූවා. අපේ පාරම්පරික නර්තන සාම්ප්‍රාදායන් අනුව තමයි මම උඩරට කලඑළි මංගල්‍යය පවත්වන්නේ. වර්තමානයේ අපේ නර්තන කලාවත් ඇතැම් පිරිස් නවිකරණය කර තිබෙනවා. නිතර නව නිර්මාණ කරන එක හොඳයි. එහෙත් අපේ නර්තන සාම්ප්‍රදායන් රැක ගනිමින් ප්‍රාසංගිකව එය ඉදිරිපත් කළාට වරදක් නැහැ. අද මා සාර්ථක කලායතනයක් පවත්වා ගෙන යන්නේ මට නිවැරදි මඟ පෙන්වීමක් ලැබුණ නිසා. මට නර්තන ක්ෂේත්‍රයේ සිටින රවිබන්දු විද්‍යාපති, ශ්‍රියාණි කෝට්ටේගොඩ, ජයසේන කෝටේගොඩ, පාලිකා සමන්ති, රංගනා ආරියදාස, පවිත්‍රා අබේනායක, සුනිලා රූපස්සර, සමන්ති විද්‍යාපති, බුද්ධික රණවීර, උත්පලා රණවීර, අංජලී මිශ්‍රා, ධනපාල ඔවිටිගෙදර, සුමති ශිල්පාධිපති සහ සද්ධා ගලප්පත්ති යන ප්‍රවීණයන් සියලු දෙනාම පාහේ මම දෙස් විදෙස් නර්තනයන් ඉගෙන ගෙන තියෙනවා. ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබන්නට හැකිවෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයේදී මම භරත නාට්‍යයම් ඉගෙන ගත්තේ පවිත්‍රා අබේනායක ගුරුතුමිය සහ රංගනා ආරියදාස ගුරුතුමියගෙන්. ඔවුන්ගෙන් ලද ගුරුහරුකම් නිසා තමයි අද මම සාර්ථක වෙලා ඉන්නේ.

මා ඉගෙන ගත් සියලු දේ ගුරුමුෂ්ටියෙන් තොරව මගේ ගෝලයන්ට ලබා දෙනවා. එය මගේ යුතුකම සහ වගකීම. ඒ වගේම මම ඔවුන්ට විදිමත් ලෙස නර්තනය උගන්වනවා. සෑම වසරකම වගේ මේ දෙසැම්බර් අවසානයේ භාත්ඛණ්ඩේ විභාගය සඳහා සිසු දරු දැරියන් යොමු කරනවා. නර්තනය පිළිබඳ මනා දැනුමක් සහිත ගෝල පිරිසක් බිහිකිරීම තමයි මගේ අරමුණ.

මම මගේ සිසු දැරියන් එකතු කරගෙන මීට අවුරුදු දෙකකට කලින් ” හංසාංගනා” නමින් ප්‍රසංගයක් පැවැත්වූවා. ලබන වසරේදීත් එවැනි ප්‍රසංගයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2026 වසරෙදී අරංගේට්‍රම් ප්‍රසංගයක් පැවැත්වීමටත් බලාපොරොත්තුවක් තියෙනවා. මට මෙවැනි සාර්ථක ගමනක් එන්න සහයෝගය දුන් විශේෂ පිරිසක් ඉන්නවා. ඒ තමයි මගේ ගුරුවරුන්. මට මුලින්ම නර්තනයට අත්පොත් තබන්නට මඟ පෙන්වූ නාමල් වේවැල්දෙණිය ගුරුතුමා සහ එරන්දති චතුතන්ත්‍රි ගුරුතුමිය. නාමල් ගුරුතුමා යටතේ තමයි මම පාහිම්පත් තැබුවේ. ඒ වගේම මම ඉගෙන ගත් පාසලේ නර්තන විෂය භාරව සිටි රුක්මණී අමරසිංහ මහත්මිය සහ ශිරෝමි ඩයස් මහත්මිය ,උසස් අධ්‍යාපනය ලබා උපාධිය ලබාගත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සියලුම ගුරුභවතුන්ටත් මම මගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම කලාවට අතහිත දෙන සරසවිය පුවත්පතට මාව සම්බන්ධ කරදුන් ප්‍රකට මාධ්‍යවේදී සහ නිවේදක වසන්ත ජයසිංහආරච්චි සොහොයුරාටත් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මේ අතරින් මගේ නර්තන ජීවිතය සාර්ථක කරගන්න දැනුම මෙන්ම මා දිරිමත් කරන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ භරත නාට්‍යයම් පිළිබඳ කථිකාචාරිනි පවිත්‍රා අබේනායක ගුරුතුමිය. මගේ සෑම කටයුත්තකදීම එතුමිය මා සමඟ සිටියා. අදත් එසේමයි. අද මා මෙවැනි තත්ත්වයකට ඔසවා තැබන්න ඇයත් කොටස්කාරිනියක් වුණා. එතුමියවත් මේ අවස්ථාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා. මගේ මේ ගමනට ශක්තියක් වන මගේ ආදරණීය ස්වාමිපුරුෂයා ෂෙරෝන් පෙරේරා සහ පුතා ඩෙවෝන් පෙරේරාවත් ආදරෙන් මතක් කරනවා.

මේ වනවිට නර්තන ශිල්පීන් ගණනාවක් මම බිහිකර තියෙනවා. එය මට සතුටක්. වර්තමානයේ ඉන්න තරුණ පිරිස් නර්තනයට දක්ෂයි. නමුත් අපේ වටිනා නර්තන සාම්ප්‍රදායන් ද රැකගෙන කටයුතු කිරීම වැදගත් ලෙසයි මා නිතරම කියන්නේ. අපි එසේ කළ නිසයි සාර්ථක ලෙස ඉදිරියට ඒමට හැකිවුණේ. ඒ නිසා මම තරුණ පරපුරට දෙන එකම පණිවිඩය තමයි අපේ දේ රැකගන්න කියන කාරණය. විදෙස් නර්තන කලාවත් අවශ්‍යමයි. අපේ කලාවන්ට හානි නොවන පරිදි කටයුතු කළ යුතුයි. ප්‍රාසංගිකව නර්තනය ඉදිරිපත් කිරීමේදී එම කාරණය වැදගත් වෙනවා. මම මේ කලඑළි මංගල්‍යය පවත්වන්නේ අපේ ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ඉතාමත් පරිස්සමට. මගේ දරුවන්ද ඒ දේවල් ඉතා හොඳීන් අනුගමනය කරනවා. මේ දිනවල අපි මහන්සි වී පුහුණුවීම් කටයුතු සිදු කරනවා. දෙසැම්බර් 13 වෙනිදා කලඑළි මංගල්‍යයට “2025 මහා රංගාභිෂේකය 10” සඳහා සූදානම් වන දැරියන් දොළොස් දෙනාට මම සුබ ප්‍රාර්ථනා සහ ආශීර්වාදය එක් කරනවා.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT