Home » හොඳ ගීත නිර්මාණ සමඟ රසිකයන් අතරට එනවා

හොඳ ගීත නිර්මාණ සමඟ රසිකයන් අතරට එනවා

යොවුන් ගායන ශිල්පිනී මිහිරි පේෂලා

by Thanushika
October 30, 2025 12:17 pm 0 comment

මෙරට ප්‍රංසග වේදිකාවේ කලක් අතිශය ජනප්‍රිය තලයේ වැජඹුණු ළමා සංගීත කණ්ඩායමක් නියෝජනය කරමින් ගායන ක්ෂේත්‍රයට පිවිසෙන ඇය මේ වනවිට ඒ ජනප්‍රසාදය සමඟ සිය ස්වතන්ත්‍ර නිර්මාණ ඔස්සේ රසිකයන් හමුවට පැමිණ තිබේ. ඉතා ළාබාල අවධියේදී ම එනම් පාසල් අවධියේම ජනප්‍රිය ළමා සංගීත කණ්ඩායමක් ඇසුරේ සිය හැකියා ලොවට පෙන්වු ඇය මිහිරි පේෂලා ය. මේ දිනවල ‘නළවා උකුළ ආයේ’ නම් ස්වතන්ත්‍ර ගී නිර්මාණය ඔස්සේ රසිකයන් අතරට එන ඈ සිය නිර්මාණ දිවියේ ඉදිරි අරමුණු පැහැදිලි කළේ මෙසේය.

සංගීතය තමයි මගේ ගමනේ ඇරැඹුම. ඒක  ටිකක් පැහැදිලි කළොත් මම කාලෙකට කලින් ජනප්‍රිය ළමා සංගීත කණ්ඩායමක නිත්‍ය ගායිකාව හා නිත්‍ය නිවේදිකාව විදියට කටයුතු කරමින් තමයි මගෙ සංගීත දිවිය ආරම්භ කළේ. ඒ යුගයේ හොඳීන් මගෙ සංගීත කටයුතු කරගෙන ගියත් යම්  කාලයකදි  මගෙ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දිය යුතු නිසා මට සංගීත කණ්ඩායමෙන් ඉවත් වී අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවධානය යොමු කරන්න වුණා.

හැබැයි අද වන විට මම අලුත් ගමනක් ආරම්භ කර තියෙනවා. එහි පියවරක් තමයි ‘ නළවා උකුළ ආයේ ‘ කියන ගීතය.

ඒ ගීතය අද වෙද්දී රසිකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රංසග වේදිකාවෙත් ඉල්ලුමක් තියෙනවා.

දෙදහස් විස්ස වසරේදි තමයි මම ලංකාවේ ඉතාම ජනප්‍රිය ළමා සංගීත කණ්ඩායමක් හා සම්බන්ධ වෙන්නෙ. අවුරුදු තුනක් එතැන් සිට ඒ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාව හා නිවේදිකාව වශයෙන් මම කටයුතු කළා. නමුත් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දිය යුතු නිසා ඉන් ඉවත් වුණත් දැන් නැවත ගායිකාවක් විදියට ප්‍රසංග වේදිකාවේ මගේම නිර්මාණ ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් ඉන්නවා. ඒ අතරෙම මගෙ උසස් අධ්‍යාපන කටයුතු හා අනෙකුත් කලා කටයුතුවලටත් මුල් තැනක් දෙමින් කටයුතු කරනවා.

හඬ කැවීම් ශිල්පිනියක් හා පසුබිම් ගායන ශිල්පිනියක් විදියටත් ඉදිරියට යන්න ඒ අතරෙ ලොකු කැමැත්තක් තියෙනවා.

මේ ගමන පුරා මවත් පියාත් ඔබේ සෙවණැල්ල සේ ඔබට දෙන ශක්තිය පැහැදිලි කරන්නෙ කොහොමද ?

මේ තාක් හැම කටයුත්තකදීම මට සහය වෙන්නෙ ඔවුන්. මගෙ අම්මයි තාත්තා යි. ඔවුන්ගේ මඟ පෙන්වීම ආරක්ෂාව මත තමයි ඒ හැම දෙයක්ම  වෙන්නෙ. මගෙ තාත්තා හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ අයෙක්. තාත්තා තමයි අපේ පවුලේ ශක්තිය. අපේ පවුලේ මට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සිටිනවා. අම්මා තමයි අපි තිදෙනාටම නිසි මඟ පෙන්වන්නේ. ඇය තමයි මගෙ සෙවණැල්ල.

ඔබ විලාසිතා කෙරේ වැඩි නැඹුරුවක් නොදක්වන කෙනෙක් ද?

නෑ.විලාසිතා ගැන උනන්දු යි. නමුත් චාම් විලාසිතා කෙරේ තමා වැඩි නැඹුරුවක් තිබෙන්නේ. මගෙ සිතට දැනෙන මට ගැළපෙන ලස්සන විලාසිතාවලට මම කැමැතියි.

ගීත නිර්මාණ තෝරා ගැනීමේදී මොන වගේ ශෛලියේ ගීතද තෝරා ගන්නේ  ?

නූතන සංගීත ප්‍රවණතා ගැන මම උනන්දු යි. වේග රිද්මයේ ගීත ගයන්න කැමතියි. මොකද රසිකයන් ඊට ආසයි.

ඒවගේම නිර්මාණයක් තෝරා ගනිද්දී  පදරචනය ගැනත් මම උනන්දු වෙනවා. ඒ අතරෙ රසිකයන් , ප්‍රේක්ෂකාගාරය වඩා උනන්දු විදිහේ නිර්මාණ අරගෙන ඔවුන් අතරට යන්න තමයි කැමැති.

‘ නළවා උකුළ ආයේ ‘  ගීතයට රසිකයන්ගේ ප්‍රතිචාරය කොහොමද ?

හොඳයි. මේ තාක් ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය සතුටුදායකයි.දිගටම ඒ වගෙ ලස්සන නිර්මාණ ටිකක් එක්ක ඉදිරියට යන්න තමයි කැමැති.

මේ ගීතය රචනා කළේ චතු බණ්ඩාර. සංගීතය  තනුව හා සංගීත සංයෝජනය තරිඳු බණ්ඩාර.

ඔබ වරෙක ලංකාවේ ජනප්‍රිය ම සංගීත කණ්ඩායමක නිත්‍ය ගායිකාවක් ලෙස කාර්‍යබහුල වී සිටි කෙනෙක්.එයින් මිදී මේ යන ගමනේ අත්දැකීම් මොන වගේද ?

ඔව් ඇත්තෙන්ම ඒ යුගයේ ඉතාම කාර්‍යබහුල කාලසටහනක් එක්ක තමා වැඩකරන්න වෙලා තිබුණේ. මේ ගමනේත් වගකීම කාර්‍යබහුල බව නැතිව නොවේ. නමුත් මේ ගමනේදි මගෙම නිර්මාණ එක්ක කාලය අරන් යන ගමනක් මේක. ඉතින් ඒ අත්දැකීම් වෙනස්. මේ අත්දැකීම් එක්ක මිහිරි පේෂලා කියන මගෙ නම වෙනම විදියකට ගොඩනැඟෙනවා.

ඔබේ සංගීත දිවියේ ඉදිරි බලාපොරොත්තු මොනවාද ?

හොඳ නිර්මාණ එක්ක රසිකයන් අතරට යන එක තමයි මූලික පැතුම. ඒ අතරෙ මගෙ උසස් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න මම කටයුතු කරනවා. ඒ අතරෙ මම විශේෂයෙන් සිහිපත් කරනවා මගෙ සංගීත චාරිකාවේ ආරම්භය ගෙන දුන් නාලක ජයලත් මහතාව. එතුමා තමයි ආශාවරී සංගීත කණ්ඩායම ඔස්සේ මගෙ සංගීත මඟ ආරම්භ කරන්න මූලික වුණේ. ඒ ගමනේ මේ තාක් මට උදව් උපකාර කළ බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඔවුන් සියලු දෙනාම  ඉතා ගෞරවෙන් මතක් කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.ඒ එක්ක විශේෂයෙන් ම මගෙ රසිකයන්. ඔවුන් තමයි මගෙ නිර්මාණ ජීවිතය ආලෝකවත් කරන පිරිස.ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මගෙ නිර්මාණ දිවිය ආලෝකවත් කරනවාට.එහිදී  ගායනය තවදුරටත් ප්‍රගුණ කරන්න මගෙ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම අනිත් කලා හැකියාවනුත්. ඒ බලාපොරොත්තු ඔක්කොමත් එක්ක ඉදිරියේ දී හොඳ නිර්මාණ ටිකක් එක්ක රසිකයන් අතරට එන්න කැමැත්තෙන් ඉන්නවා.

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT