පුංචි දරුවන් මල් වැනිය. ඔවුන්ගේ ලෝකය සුන්දරය. උපතින්ම ගෙනඑන දක්ෂතා, හැකියාව නිසා ඔවුන්ගේ ළමා ලෝකය තවත් සුන්දරය. ඇතැම් දරුවන් තුළ තිබෙන දක්ෂතා පුදුමාකාරය. අද සරසවියෙන් කතා බහ කරන්නේ එවැනි අසාමාන්ය දක්ෂතාවයක් කරපින්නා ගෙන ආ පුංචි දියණියක පිළිබඳවයි. යන්තමට බහතෝරන අවධියේ පසුවන දියණියක ජනමාධ්ය ඩිප්ලෝමාධාරිනියක වීම විශ්වාස කළ හැකිද? අධ්යාපනයට වයස අදාල නොවන බව ඔප්පු කිරීමට පුංචි දියණියක් සමත්වී ඇත. ඒ වයස අවුරුදු හතරේදී ජනමාධ්ය ඩිප්ලෝමාධාරිනියක් ලෙස නමක් දිනා ගත් රන්සේයා රූපසිංහ සරසවිය සමඟ කතාබහ කිරීමට එක්වූවාය. රන්සේයාගේ ජීවිතය ආලෝකමත් කිරීමට ඇය පිටුපස සිට ඇයට යෝධ ශක්තියක් වන ඇගේ පියා චලන රූපසිංහ මුලින්ම කතාබහට එක්විය.
අපේ දුව පුංචි කාලේ ඉඳලම කතාවට දක්ෂයි කියලා අපට තේරුණේ ඇය යන්තමට කතා කරන අවධියේමයි. ඇය කතාව හරිම ආකර්ෂණීයයි. දුවගේ කතාබහේදී යම්කිසි නිර්මාණාත්මක බවක් සැඟවී තිබෙන බව මට හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ නිසා ඒ හැකියාව තවත් වැඩි දියුණු කරන්න හිතාගෙන මුහුණු පොත හරහා ඇයගේ පොඩි පොඩි වීඩියෝ දැම්මා. දුව හරිම කැමතියි ආහාර පාන සකසන වීඩියෝ කරන්න. ඊට පස්සේ මම තීරණය කළා දුවට ඒ පිළිබඳ නිසියාකාර දැනුමක් ලබා දෙන්න. ඒ අනුව තමයි ප්රවීණ මාධ්යවේදි නදීක කරුණානායක යටතේ පුහුණුවක් සහ දැනුමක් ලබා දුන්නේ. දුව ආහාර පාන සැකසීම කළේ ඇයට වයස තුනේදී පමණ. ඒ වගේම තමයි ඇය නිරූපණ කලාවටත් දක්ෂයි. ඒ නිසා ඒ පිළිබඳ ඉගෙන ගන්න ත්රිකලා ධරණී ගුරුතුමියට ගාවට යොමු කළා. එයාගේ ඡායාරූප ගන්න කොට හරි අපූරු ඉරියව් ඉදිරිපත් කරනවා.දුව මේ මොනවා කලත් පෙර පාසල් ඉගෙනීම් කටයුතු හොඳීන් කරනවා. දුවගේ මුහුණු පොත Ranseya Ruu අභභ ලෙස නම්කර තියෙනවා. මේ හැම දෙයක් පිටුපසම මගේ බිරිඳ පියුමි අරඹවෙලත් ඉන්නවා. මම කතාකරනවාට වඩා දුවත් හරිම ආසාවෙන් ඉන්නේ සරසවිය පත්තරේ නැන්දලා මාමලා එක්ක කතා කරන්න.
මම රන්සේයා රූපසිංහ. මම තාම ළදරු පාසල් යනවා. මම ආසයි ලස්සනට කතා කරන්න. මගේ තාත්තා ඒ ගැන හිතලම මට ඒ ගැන ඉගෙන ගන්න නදීක සර් ළඟට එක්කගෙන ගියා. මම එහිදී හොඳට ඉගෙන ගෙන ඩිප්ලෝමා එකක් ගත්තා. BMICH එකේ දී තමයි මට ඩිප්ලෝමා සහතිකය ලබුණේ. එදා එතන හිටපු හැමෝම මට සුබ පැතුවා. මේ වෙනකොට ලංකාවේ ගොඩක් අය මං ගැන දන්නවා. මම එදා ගොඩක් සතුටු වුණා. මේ දේවල් වලට මට අම්මයි තාත්තායි උදව් කරනවා. ලබන අවුරුද්දේ මම ඉස්කෝලේ යනවා. නිවේදනය , සින්දු කියන්න, නටන්නත් මට පුළුවන්. දැන් මම නැටුම් පංතියකටත් යනවා. මට තාම ලොකු පොත් කියවන්න බැහැ. පින්තූර පොත් බලලා කතන්දර කියන්න මට පුළුවන්. අම්මා මාව පුස්තකාලයකටත් එක්ක ගෙන යනවා. ෆේස්බුක් එකට දාන වීඩියෝ හදන්නේ තාත්තා. අම්මත් උදව් කරනවා. ඒ දාන වීඩියෝ ආයේ ආයේ බලන්නත් ආසයි.
මම ආසයි journalist කෙනෙක් වෙන්න. ඒ නිසා මම ඒ ගැන තව තවත් හොඳට ඉගෙන ගන්නවා. ඒ වගේම තාරකා විද්යාඥයෙක් වෙන්නත් ආසයි. රෑට හඳ බලන්න , තරු බලන්න මම හරි කැමතියි. ඒ වෙලාවට අම්මයි , තාත්තායි එක්ක මම එළියට ගිහින් අහස දිහා බලාගෙන ඉන්නවා. මං එයාලට ගොඩාක් ආදරෙයි. මට උගන්වපු නදීක කරුණානායක සර්ටයි, ත්රිකලා ටීචර්ටයි මම ගොඩාක් ස්තුතියි කියනවා.
නයනාංජලි දෙහිපිටිය
