සංගීත ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිස ‘ගොළු හදවත’ ටෙලි නාට්‍ය තුළින් රංගන ශිල්පියෙක් බවට පත් වූ ඔහු ගෙවුණු කාලය පුරාවටම ටෙලි නාට්‍ය, සිනමාව, හා වේදිකා නාට්‍ය යන මාධ්‍ය ත්‍රිත්වයන් තුළ ජනප්‍රසාදයක් ලබා ගන්නට සමත් වූ රංග ශිල්පියෙක්. මේ දිනවල පාට කුරුල්ලෝ, ආලවන්ති, තරු ආදරේ, ජහුටා වැනි ටෙලි නාට්‍ය තුළින් ප්‍රේෂක ආදරය නොඅඩුව ලබමින් සිටින රොෂාන් පිලපිටිය සමඟයි මේ කතා බහ.
කලාවට එකතු වුණේ?
හෝටල් වල ගායකයකා වාදකයෙක් හැටියට කටයුතු කළා. ඒකට හුඟක් වෙහෙසෙන්න වෙන නිසා දැන් ඒ පැත්තට යොමු වෙනවා අඩුයි.
රඟපෑමට යොමුවුණේ කොහොමද?
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොළු හදවත’ ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා. ඒක මගේ පළවෙනි ටෙලි නාට්‍යයේ ඒ වගේම ඔහුගේ අවසාන චිත්‍රපටය වුණු ‘අම්මා වරුනේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණා. මාලිනී ෆොන්සේකා සමඟ වැඩ කිරීමට ලැබීම ලොකු භාග්‍යයක් කියලයි හිතෙන්නේ. මට ඒ ලැබුණු අවස්ථාවන් ශක්තිමත් ඉදිරි ගමනක් යන්න හොඳ පිටුවහලක් වුණා. මගේ මව මල්ලිකා පිලපිටිය ලෙස්ටර් මහතාගේ ‘රේඛාව‘ චිත්‍රපටයේ රඟපෑවා.
වෘත්තීය රංගන ශිල්පියෙක් වීම ගැන?
රංගන ශිල්පීන්ට විතරක් නෙමේ. කලා ක්ෂේත්‍රයේ හැමෝටම තියෙන අභියෝගයක්. ඒත් මේක හොඳ වෘත්තීයක්. ලැබෙන දෙයින් සෑහීමකට පත්වෙන්න පුළුවන් නම් කරගෙන යා හැකියි. කලාකරුවෝ කලාව වෙනුවෙන් කැප වෙනවා. නමුත් ඉල්ලීම් කරන්නේ නැහැ. තමන් මොන විදියේ මානසික මට්ටමක හිටියත් චරිතයක් නිරූපණය කරද්දී ඒ සියල්ල අමතක කරල ඒ චරිත නිරූපණය වෙනුවෙන් කැපවෙන්න ඕනෑ. තමන්ට ප්‍රශ්නය තිබුණා කියලා වුණත් හාස්‍යජනක චරිතයක් කරද්දී ඒ චරිතයට සාධාරණ නොකර බැහැ.
මෙගා ටෙලිනාට්‍ය සහ ඔබ?
චරිත තෝරා ගන්නේ නෑ. නමුත් යම් පමණකට ඒ ගැන හිතෙනවා. මම මෙගා නාට්‍යවල වරදක් දකින්නේ නෑ. සමහර ප්‍රදේශවල සිනමා ශාලා වුණත් නැති නිසා. ඒ අයට සිද්ධ වෙනවා ටෙලි නාට්‍යය බලන්න. මෙගා ටෙලි නාට්‍ය සීසන් හැටියට කරනවා. ඒවායේ කොටස් හුඟක් තියෙන නිසා ප්‍රායෝගිකව අනිත් ඒවායේ වගේ නිශ්චිත ප්‍රමාණයකට පිටපත් ලියාගෙන කරන්න බැහැ.
වර්තමානයේ කලාව?
අනිත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව කලාව යහපත් තැනක තියෙනවා. ලෝකයෙ මේ වනවිට ක්‍රීඩාව ගත්තම මානසික මට්ටම හරි නැහැ කියනවා. නමුත් කලාකරුවෝ කායිකව මානසිකව යහපත් තැනක සිටිම්න් මේ කාලයේ තම කටයුතු කරගෙන යනවා.
එදා සහ අද කලා ක්ෂේත්‍රය?
මම හිතන්නේ ඒ කාලෙත් හොඳයි. දැනුත් හොඳයි. අලුත් පරපුර වැරදියි කියන එකට මම කැමැති නැහැ. මමත්වය වැඩි වුණාම එහෙම වෙනවා. ඒ කාලෙත් අවුල් තිබුණා දැන් වගේම. සමාජය තුළ වුණත් එහෙමයි. ඒ කාලෙට සාපෙක්ෂ්ව වර්තමාන පරපුරේ කැපවීම පිළිබඳ ප්‍රශ්න, අධ්‍යපනය කිරීම වගේ දේවල් ගැන ප්‍රශ්න තියෙනවා. අපි විතරක් හරියටම හරි කියලා හිතන එක හොඳ නැහැ.
වර්තමාන සිනමාව
දැන් සිනමාවත් හොඳට තියෙනවා. මිනිස්සු ගෝල් වලට ගිහින් චිත්‍රපටි බලනවා. චිත්‍රපට වෙනුවෙන් විශාල රැල්ලක් හැදිලා තියෙනවා. සිනමාව හොඳ කර්මාන්තයක් කියලා කියන්න් පුළුවන්. දැන් වාර්තා තියලා චිත්‍රපට දුවනවා. චිත්‍රපටයක් හෝල් එකකටම ගිහින් බලන්න ඕනෑ. හුඟාක් ප්‍රදේශවල සිනමා ශාලා නැති එක පාඩුවක්.
ඔබ වේදිකා නාට්‍ය සමඟත් ඉන්නවා.
මේ දවස්වල ‘වෙල්ලස්සේ වෙඩි හඬ’, සල්ලි අරන් හොරු ඇවිදින්’ ‘සෙලියුලොයිඩ් පේ‍්‍ර්මයක්’ වගේ නාට්‍යය වලට රංගනයෙන් දායක වෙනවා. වැඩිපුර වේදිකාවට යොමු වෙන්නත් අපහසුයි. කාලය හොයාගන්න බැරි නිසා. වේදිකා නාට්‍ය වලටත් මේ කාලයේ හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. බොහෝ දෙනා වේදිකා නාට්‍ය බලන්න ප්‍රවණතාවක් දකින්න පුළුවන්.
ගෙවුණු කාලය දිහා බලද්දි
මම සෑහීමකට පත්වෙනවා. මගෙ ලොකු බලාපොරොත්තු හීන නැහැ. හැමවිටම කරන වැඩේ තෘප්තිමත්ව කරන නිසා පසුතැවිල්ලක් නැහැ. මම මේ මාධ්‍ය තුනටම කැමැතියි. මම මේවයින් ලැබෙන මුදල් වලින් ජීවත් වෙන නිසා මේවට ගරුත්වයක් තියෙනවා. ඒවා ගැන අපි හිතන විදිහ අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ.
සම්මාන ගැන?
මට සම්මාන ලැබිලා තියෙනවා. සරසවි, සුමති ඇතුළු විවිධ සම්මාන සම්මාන උලෙළවල් වලින් කලාවට කලාකරුවන්ට උත්තේජනයක් ලැබෙනවා. නමුත් මට සම්මාන ලබා ගන්නම ඕනෑ කියලා අදහසක් නැහැ.
ඔබේ ජීවිතය ?
බිරිඳ රිද්මා සහ රාහුල් පුතා සමඟ සරල ජීවිතයක් ගත කරනවා. සරලව ජීවත් වෙද්දි ජීවිතේ හරි පහසුයි. පුංචි පුතා නිසා අපේ ජීවිතේ තවත් ලස්සන වුණා. ‘දෙවෙනි තාත්තා’ ටෙලි නාට්‍යයේ අපි තුන්දෙනාම රඟපෑවා. මගේ මවත් එයට රංගනයෙන් සම්බන්ධ වුණා.
ෂෙරින් පීරිස්
