Home » දැන් මා චිත්‍රපට හදන්නේ ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කරගෙනයි

දැන් මා චිත්‍රපට හදන්නේ ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කරගෙනයි

‘ගෞතම බුද්ධ මාතා’ අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

by Thanushika
January 23, 2025 11:22 am 0 comment

ලාංකේය සිනමා රසික ප්‍රජාව වෙත තිළිණ කරන ලද ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටයට එළඹෙන 29 වැනිදාට දින පණහක් සම්පූර්ණ වෙයි.මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කරමින් පුරා දශක ගණනාවක් මෙරට සිනමාලෝලීන් වෙනුවෙන් සිය නිර්මාණ තිළිණ කරන ප්‍රවීණ සිනමාවේදි , සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටය මෙරට සිනමා ශාලා රැසක මේ මොහොත වනවිටත් තිර ගත වෙමින් පවතී.

මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් අති විශාල මුදලක් වියදම් කොට මෙම සිනමා පටය නිර්මාණය කරන ලද්දේ මෙරට සිනමාව වෙනුවෙන් තම ධනය අති විශාල වශයෙන් වැය කල පාරම්පරික උරුමයන්ගෙන් සිනමාවට ආදරය කරන ‘සුමතිපාල‘ නාමයයි. ඒ අනුව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනුයේ තිලංග සුමතිපාල විසිනි.

මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් දීර්ඝ කාලයක් පුරා කරන ලද පර්යේෂණයන්හි තොරතුරු ආශ්‍රයෙන් ඔහු විසින් තිර රචනය කරන ලද මෙම චිත්‍රපටය මේ මොහොත වනවිටත් මෙරට සිනමා ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනිමින් සිටී.

වර්තමානයේ සිනමා පටයක් දින පණහක් එක දිගට ප්‍රදර්ශනය වෙනවා යනුද එක්තරා අන්දමක සුවිශේෂී කාර්යයකි. මන්ද බොහෝ චිත්‍රපට සතියෙන් දෙකෙන් ගැලවී යන ආකාරය අප ඕනෑ තරම් දැක ඇති නිසාවෙනි. කෙසේ වෙතත් මෙවර අප මහැදුරු සුනිල් ආරියරත්නයන් හමුවුයේ ගෞතම බුද්ධ මාතා පිළිබඳ කතා බස් කරන්නටය.

‘ගෞතම බුද්ධ මාතා’ දින පණහක් එක දිගට ප්‍රදර්ශනය වෙනවා. මේ වෙනුවෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කවරේද?

මේ චිත්‍රපටය අපි පටන් ගත්තේ දිවයින පුරා පිහිටි සිනමා ශාලා 73 ක ප්‍රදර්ශනය ආරම්භ කරමින්. ඇත්තටම වර්තමානයේ චිත්‍රපටයකට ඒ තරම් සිනමා ශාලා ප්‍රමාණයක් ලැබෙන්නේ කලාතුරකින්. මේ චිත්‍රපටයට ඒ අනගි අවස්ථාව හිමිවුණා. විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි දින පණහක් ගතවෙලා වුණත් මේ සිනමා ශාලා සියල්ලගේම තාම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. මේ වගේ චිත්‍රපටයකට ඉලක්ක ගත ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. එක පැත්තකින් කොළඹ අවට සිනමා ශාලා සඳහා පැමිණෙන නාගරික ප්‍රේක්ෂක කණ්ඩායම. අනෙක් පැත්තෙන් ඈත ගම් නියම්ගම්වල සිටින ග්‍රාමිය ප්‍රේක්ෂක කණ්ඩායම. නගරාසන්නයෙන් ගත්තොත් කටුබැද්ද, ගම්පහ වැනි පළාත්වල චිත්‍රපට ය හවුස් ෆුල්. එවගේම තමයි මැල්සිරිපුර, රඹුක්කන වැනි කොළඹින් බැහැර ප්‍රදේශ ගත්තත් හවුස් ෆුල්. මේ දෙපැත්තේ ඉන්නේ අන්ත දෙකක ප්‍රේක්ෂකයෝ. ඉතින් සතුටක් තිබෙනවා ප්‍රේක්ෂකයෝ මේ ආකාරයට ගෞතම බුද්ධ මාතා නැරඹීම සම්බන්ධයෙන්.

ඔබ මින් ඉහත නිර්මාණය කළ ‘යශෝධරා’ ගෙන් මේ චිත්‍රපටය වෙනස් කර ගන්න ඔබ උත්සාහ කළේ කොහොමද?

ඒ වෙනුවෙන් මම මුලසිටම කල්පනාකාරි වුණා. ප්‍රේක්ෂකයන් ගේ පැත්තෙන් ගත්තොත් මේක යශෝදරා චිත්‍රපටයට වඩා සංකීර්ණයි. යශෝදරා චිත්‍රපටයේත් බුද්ධ මාතා චරිතය තිබෙනවා. ඒ නිසා තිර නාටකය ලියනවිට මම පරිස්සම් වුණා යශෝදරා චිත්‍රපටයේ එන කිසිදු රූප රාමුවක් මේ සඳහා ඇතුළත් නොකරන්නට. කිසිම ජවනිකාවක් වත්, කිසිම දෙබසක් වත් මේ චිත්‍රපටයේ නෑ. නමුත් ඒ චරිතය මෙහි ඉන්නවා. ඒවගේම සිද්ධාර්ථ ගෞතම, ප්‍රජාපති ගෝතමිය, මහාමායා, සුද්ධෝධන වැනි චරිත හිටියට ගියපාර මගේ ප්‍රමුඛතාවය හිමි වුණේ යශෝදරාවට. කිසිම තැනක එකම රූපරාමුවක් වත් නොයෙදෙන්නට මම පරිස්සම් වුණා. යශෝදරා චිත්‍රපටයේ ප්‍රජාපතිගේ රූප රාමු 4-5ට වඩා නෑ. මේ චිත්‍රපටයේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ ප්‍රජාපතිය වෙත පමණයි.

ඔබ මේ තිර නාටකය ලියන්නේ අතිවිශාල පර්යේෂණ කාර්යයක ප්‍රතිඵලයක් විදියට. ඒ ගැන සදහන් කළොත්?

ඔව්, ඒ වෙනුවෙන් මම ඉතාම ගැඹුරින් පර්යේෂණ කළා. මහා ප්‍රජාපතියගේ චරිතය ගැන බුද්ධ චරිතයේ සඳහන් වෙලා තිබෙන්නේ හරි අපූරු විදියට. ඇයව හඳුන්වන්නේ ‘බුද්ධ මාතා’ කියලයි. සාමාන්‍යයෙන් මව කියන යෙදුම යෙදෙන්නේ වැදූ මවටයි. ඉතාම පුදුම සහගත ආකාරයට බුද්ධ චරිතයේ බුද්ධ මාතාව හැටියට යොදන්නේ බුදුන් වහන්සේගේ සුළු මව වන මහා ප්‍රජාපතී ගෝතමියට. පාලි ත්‍රපිටකයෙහි අපදාන ථෙරි හි ථෙරණියකගේ ජිවිත කතා සහිත කොටස් කිහිපයක් තිබෙනවා. එහිදි ප්‍රජාපති ගෝතමිය රාජ මාතාව, රාජ මහේෂිකා යන නම් වලින් හදුන්වනවා. ඉතාම දුර්ලබ දේ තමයි‘ බුද්ධ මාතා’ නමින් හැඳින්වීම. ඒක ඉතාම භාග්‍ය සම්පන්න දෙයක්. මන්ද සිදුහත් කුමාරයා වැදූ මව මහාමායා දේවිය සිදුහත් උපතින් දින 7ට පසු මියයනවා. එතැන් සිට දිගටම සිදුහත් කුමරුන්ට කිරි දීලා තියෙන්නේ ප්‍රජාපති ගෝතමිය . ඉතාම අසාමාන්‍ය සිද්ධි රාශියක් මෙහි තිබෙනවා. සිදුහත් ඉපදිලා දින පහකින් නන්ද කුමාරයා ප්‍රජාපතියට ඉපදෙනවා. නන්ද කුමරු කිරට අඩනකොට ප්‍රජාපතිය තමන්ගේ දරුවට කිරි දෙන්නේ නෑ. එවිට මහාමායා විමසනවා ඇයි දරුවට කිරි දෙන්නේ නැත්තේ කියලා. මම මතුබුදුවන සිද්ධාර්ථ කුමරුන්ට කිරි දෙන්න ඕන. ඒ නිසා මගේ දෙතන මගේ දරුවාගේ දෙතොලින් වත් ඉදුල් වෙනවට මම කැමති නෑ. කියලා කියලා තියෙනවා. ඒනිසා නන්ද කුමරු කිරි මවුවරුනට බාර කරලා එදා සිටම ප්‍රජාපතිය සිද්ධාර්ථ ගෞතම වෙනුවෙන් කැප වෙනවා.

මහා ප්‍රජාපතිය සිදුහත් උපතේ සිටම බුද්ධත්වයට පාර කැපුවද?

ඔව්. දරුවගේ පියා සුද්ධෝධන ට අවශ්‍ය වුණේ සහ ඔහු කැමැති වෙලා සිටියේ සිදුහත් සකවිති රජ වනු දැකීමටයි. නමුත් ප්‍රජාපති ගෝතමිය එදා සිටම සිදුහත් බුදුවන තැනට තමයි ක්‍රියා කළේ. දරුවව නළවද්දි වුණත් බුදුවෙයන් මගේ පුතේ කියල ඒ නැළවිල්ල කරන්නේ සුද්දෝධනට හොරෙන්. එවැනි ලොකු කැප කිරීමක් ප්‍රජාපතිය විසින් සිදු කරනවා. නමුත් ප්‍රජාපතිය සිදුහත් ගේ ලෞකික ජිවිතයට අකුල් හෙළන්නේ නෑ. තමන්ගේ සහෝදරයාගේ දුව විවාහ කරලා දෙන්න සියලුම කටයුතු සංවිධානය කරන්නේ ඇය. නමුත් ඇගේ හදවතේ ප්‍රාර්ථනය වෙනුනේ කවදහරි බුදුවේවා කියන එකයි.

ගෞතම බුද්ධ මාතා වැනි චිත්‍රපටයක් ඔබතුමන් අතින් නිර්මාණය වෙන්නට හේතු වෙන්නේ කුමන කාරණාද?

අවුරුදු දෙක තුනකට කලින් මට මේ ආරාධනාව කරන්නේ තිලංග සුමතිපාල මැතිතුමා විසින්. ඒ යෝජනාව මට අරගෙන එන්නේ අප අතරින් වියෝ වූ ප්‍රවීණ මාධ්‍යවේදි ඒ. ඩී. රංජිත් කුමාරයන් හරහා. මමත් රංජිතුත් අතර තිබෙන සමීප සබඳතාවය නිසා ඔහු ගෙනෙන යෝජනාවත් මගේ අතින් කිසිදා ප්‍රතික්ෂේප නොවන බව ඔවුන් දන්නවා. මාව සොයාගෙන රංජිත් සහ තිලංග දිනක් පැමිණුනා. තිලංග මට කිව්වේ ඔහුගේ මෑණියන් වන මිලිනා සුමතිපාල මැතිණියට උපහාර පිණිස මෙම ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය කරලා දෙන්න කියලායි. මම ඒ මොහොතේ කිව්වේ මට ටික කාලයක් දෙන්න මේ කතාව ඇසුරින් තිර නාටකයක් සකස් කරන්න පුළුවන්ද කියලා මම බලන්නම් කියලයි. මම මාස කිහිපයක්ම ඒ වෙනුවෙන් තොරතුරු හොයමින් උත්සාහයක නිරත වුණා. මුලින්ම මම පොත් පත් රාශියක් කියවන්න පටන් ගත්තා. මම පූජාවලිය කියෙව්වම මම තීරණය කළා මේ චිත්‍රපටය කරන්න පුළුවන් කියලා. මම යශෝදරා කරත්දිත් ප්‍රධාන මූලාශ්‍රය වුණේ පූජාවලියයි. ඒ අනුව බුද්ධ මාතා හි ප්‍රධාන මූලාශ්‍රය වුණෙත් පූජාවලියයි.. මම තිර නාටකය ලියන්න තවත් පොත් 60-70ක් කියෙව්වා. එහිදි මට ඉතාම වැදගත් වුණේ චීන දේශාටක ෆාහියන් ක්‍රි.ව 400 දි දඹදිවට එනවා වැදපුදා ගන්න. එහිදි මහාප්‍රජාපති සෑය වන්දනාමාන කරන්න එතුමන් එනවා. පූජාවලියෙත් සඳහන් වෙනවා බුදුරදුන් ලිච්ඡවි රජ දරුවන් ලවා ප්‍රජාපති ගෝතමි වෙනුවෙන් සෑයක් බන්දවා වන්දනා මාන කරන බව. මම මේ අවස්ථාව චිත්‍රපටයේ මුලට සම්බන්ධ කර ගන්නවා. ඔහු මේ සෑය වන්දනා කරන්නට පැමිණි පසු එතැන සිටින භික්ෂුනින් වහන්සේ කෙනෙක් සම්පූර්ණ කතාව කියන විදියට තිර නාටකය සකස් කරනාව. මේ කතාව ඉදිරියට විකාශය කරන්න උපක්‍රමයක් හැටියට ඒක යොදා ගන්නවා.

මේක වාර්තාමය ස්වරුපයෙන් වෙනස් වෙන්නේ කොහොමද?

ලොකුම අභියෝගය වුණේ ඒක තමයි. කොහොමද මේ චරිත වාර්තාමය නොවන ආකාරයෙන් වෘත්තාන්තමය ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ කියන එක. මම හිතනවා මම ඒකට සාර්ථකව මුහුණ දුන්නා කියලා. කිසිම නරඹන්නෙක් මෙතෙක් මට ඒ ගැන සඳහනක් කරලා නෑ. ඇත්තටම ඒක වෙහෙසකර කටයුත්තක්. හරිනම් එහෙම වෙන්න තිබුණා. නමුත් වෙනත් උපක්‍රම මින්, වර්ණනා මඟින් උපක්‍රමශිලිව වෘත්තාන්තමය තත්වයට ගෙන ආවා. එක පැත්තකින් මේ චිත්‍රපටය අධ්‍යාපන වටිනාකමක් තිබෙන චිත්‍රපටයක්. විශේෂයෙන් භික්ෂුනි ශාසනය පිහිටුවිම සම්බන්ධයෙන් නිර්මාතෘවරිය වෙන්නේ එතුමියයි. යශෝධරාව තුන් පාරක් ප්‍රජාපති ගෝතමියගෙන් ඉල්ලා හිටියා මේක ලබා දෙන්න කියලා. ඒ වෙකොට දඹදිව පැවිදි භික්ෂුනින් ඉන්නවා. ජෛන භික්ෂුනින් 360000ක් ඒ වනවිට දඹදිව ඉදලා තිබෙනවා කියලා පොත පතේ සදහන් වෙනවා. දෙව්දතුන් මූලික කරගෙනත් භික්ෂුනි ශාසනයත් තිබිලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලේසියෙන් අවසර දෙන්නේ නෑ. ආනන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීම නිසා තමයි ප්‍රජාපතියටත් පැවිද්ද ලැබෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය මෙතනදි සුවිශේෂියි. උන් වහන්සේ රහත් වෙන්නෙත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සෙයි.මහා ප්‍රජාපති ගෝතමිය වෙනුවෙන් පැවිද්ද ඉල්ලන්නේ ආනන්ද හාමුදුරුවෝ. ඒ නිසා භික්ෂුනි ශාසනය පිහිටුවිමේලා විශේෂ කාර්යභාරයක් කළේ උන්වහන්සේ.

මේ චිත්‍රපටයට ඉන්දියානු නළු නිළියන් යොදා ගන්න හිතුවේ ඇයි?

ඒකට විවිධ හේතු තිබෙනවා. ඉන්දියාන් නළුනිළියන් යොදා ගැනීමේ පිස්සුවක් මට තිබුණේ නෑ. මින් ඉහත මම කරපු බොහෝ චිත්‍රපට වෙනුවෙන් මම යොදා ගත්තේ ලාංකික නළු නිළියන් ක්ෂීර සාගරය, විජයබා කොල්ලය වැනි චිත්‍රපට මම කළේ ලාංකේය නළු නිළියන් යොදා ගෙන. මේ චිත්‍රපටයට මම ඉන්දීය නළු නිළියන් යොදා ගත්තේ හේතු ඇතුව. ඒවගේම කදිර දිව්‍ය රාජ කරත්දි මම ඉන්දීය නළු නිළියන් යොදා ගත්තා. මේ රටේ අපි දන්න නළුවෙක් හෝ නිළියෙක් මේ කියන චරිතවලට ආවම චරිතය කෙරෙහි තිබෙන විශ්වසනීයත්වය නැති වෙනවා. අනිත් කාරණාව මේ වගේ පූජනීය චරිත රඟපෑවට පස්සේ වෘත්තිය රංගන ශිල්පිනියකට ශිල්පියෙකුට මොකක්ද වෙන්නේ කියන කාරණාව. මේ චිත්‍රපටයට අඩු ලංසුවක් ඇතිවෙනවා කියන එකයි මගේ හැඟීම. මේක තමයි එකම හේතුව ඉන්දීය නළුනිළියන් යොදාගැනිමට

අනිත් පැත්තෙන් මේ අය සමඟ වැඩ කිරිමට අපිට ලොකු අභියෝගයක සහ අමාරු කාර්යයක්. ඒ අය භාෂාව දන්නෙ නෑ. බුද්ධාගම දන්නෙ නෑ. මුල ඉදලම අපිට කියලා දෙන්න වුණා. යශෝදරාට රඟපෑව නිළිය ජෛන. ජවනිකාවෙන් ජවනිකාව කියලා දෙන්න වුණා. දෙබස් සිංහලෙන් කියන විදිය හින්දි අකුරෙන් ලියලා ඔවුන් ඉස්සරහ අල්ලගෙන ඉන්න වුණා. ඒක හරිම අමාරු වැඩක්. සිංහල වචන වල විරාම ලක්ෂණ හරියට නැවැත්තුවේ නැතිනම් ඒක සාර්ථක වෙන්නෙ නෑ. නමුත් මේ හතර දෙනා ඉතාම ප්‍රශස්ත විදියට ඒ දේ කළා.

චිත්‍රපට ගණනින් ගත්තොත් ඔබ විශාල ප්‍රමාණයක් මේ වනවිට අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. ඒ අතර විවිධ ශානරයන්ට අයත් සිනමා නිර්මාණ තිබෙනවා.මේ ගමන්මඟ වෙනස් වෙන්නේ කොහොමද?

මේ ගමන්මගේ විවිධ චිත්‍රපට තිබෙනවා. කලාත්මක චිත්‍රපට තිබෙනවා. වාණිජ චිත්‍රපට තිබෙනවා. සරුංගලය, සිරිබෝ අයියා, සුදු සෙවණැලි ඇතුළු චිත්‍රපට රැසක් සම්මාන දිනාගත්තා. කාලයක් ගියාම මටම හිතුණා ප්‍රේක්ෂකාගාරය ඉල්ලන චිත්‍රපට හදන්න. ප්‍රේක්ෂකයා ඉලක්ක කර ගත් චිත්‍රපට හැදීම අරමුණු කරගෙන තමයි මම කුසපබා හැදුවේ. ඒ චිත්‍රපටය අතිශයින් සාර්ථක වුණා. ඒවගේ හැදුව යසෝදරා, කදිර දිව්‍ය රාජ වැනි චිත්‍රපට ආදායම් වාර්තා ලබමින් විචාරක ප්‍රශංශා ලබමින් තිරගත වුණා. ඉදිරියටත් මම චිත්‍රපට හැදුවොත් ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කරගෙන චිත්‍රපට හදයි.

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT