” මගේ ජිවිතයේ දි මම දැකපු සරලම හොඳම මනුෂ්‍යයා මගේ රත්තරන් තාත්තා ..”
” තාත්තා කියන කොටස ඉවත් කළොත් මා දුටු මනුෂ්‍යත්වයෙන් පිරුණු එකම එක්කෙනාත් ඒ මගේම තාත්තා ..කාගෙන්වත් කිසිම දෙයක්වත් බලාපොරොත්තු නොවී පවුලේ අයට..හිතමිතුරන් ට කළ යුතුකම් ගැන අපට වඩාත්ම තේරුම් ගන්නට ලැබුණේ අපෙ තාත්තා අපට අහිමි වුණාට පස්සෙදියි…”
මෙවර සරසවිය අපේ සොඳුරු කතා නායකයාණෝ අතිශය ප්‍රිය මනාප රූ සම්පත්තියකට හිමිකම් කී කලා ක්ෂෙත්‍රයේ කොයි කා අතරත් ආදරයටම බඳුන් වූ රසවතෙකි..වරෙක හෙතෙම රසික හදබැඳී ප්‍රකට ගායන ශිල්පියෙකි. තව වරෙක සංගීතඥයෙකි. තවත් වරෙක ටෙලි හා වේදිකා නාට්‍ය නළුවකු සේම සම්මානිත අධ්‍යක්ෂවරයෙකි..හොඳම මිතුරු සමාජයකට භාග්‍යවන්තයකු වූ අපේ ආදරණිය කතා නායකයා නිහතමානී ගුණාංගයෙන් පිරිපුන් අපූර්වතම සහෘදයෙකි…
ඔහු පිළිබඳ කතාබහ කරන්නට අප ගිය ගමනේදී ඔහු දියණිය ප්‍රකට රූපණවේදිණියක වන අමා ශාක්‍යා විජේසේකර හෙවත් රටක් හඳුනන රුවැති අමා විජේසේකර ප්‍රථමයෙන් සරසවිය පුවත්පතට පැසසුම් කරමින් තම ආදරණිය පියාණන් ගැන කතා කරන්නට පැමිණීම වෙනුවෙන් කෘතඥ වූවාය.
මා අසුනට නුදුරේ සුවපහසු අසුනකට බරදෙමින් අප සංලාපයට කටහඬ අවදිකළේද දිගු සුසුමක් හෙළමිනි..
” අපෙ තාත්තා ගැන ඕනතරම් කතා කරන්න පුළුවන් …ඒ තරම් අපෙ තාත්තා අදටත් එදා වාගේම අපේ හිතට සමීපයි.”
අනුරාධපුරයේ වෝල්ටර් විජේසේකර සහ ගර්ට්රූඩ් විජේසේකර මවුපිය දෙපළට නවදෙනකුගෙන් යුත් දූ පුතුන් වූ අතර අපේ කතා නායකයාණෝ ඒ අතර දෙවන දරුවාය..වෘත්තීය මට්ටමින් වෝල්ටර් විජේසේකර මහතා පදිංචිය වරින්වර වෙනස් කළ අවස්ථා ද තිබිණි…එම දරු පවුලේ වැඩිමහල් දැරිය දේවිකාය..දෙවැන්නා අපේ කතා නායකයා වන රවීන්ද්‍රනාත් ලක්ෂ්මන් ඩී. අල්විස් විජේසේකර ය. පසුකලෙක හෙතෙම පරසිදු වූයේ ලක්ෂ්මන් විජේසේකර නමිනි. ශේෂා..අශෝක්..අනුර..ජානක..රාජ්.. ඔහුගේ සහෝදරයන් වන අතර නිශා සහ චූලාංගනී නංගිලා දෙදෙනාය…
1948 ක්වූ මාර්තු මස 14 වනදා කළුතර..දකුණේ උපත ලද බව කියන ලක්ෂ්මන් විජේසේකරයන් ඉගෙනුමට පිවිසියේ කුරුණෑගල මලියදේව විද්‍යාලයටය..
ඉගෙනුමට මෙන්ම වඩාත් සංගීතයට ඇලුම් පෑ හෙතෙම නිවසේදී මිතුරන් අතරේදී සිය ගැයුම් සිරිතෙන් අනුන් පිනවාලූයේය…
මම අමා විජේසේකර මහත්මිය දෙස බලමි..ඕ නිහඬව ම කල්පනාවක මෙනි…
” මට දන්න හැටියට නම් අපේ තාත්තා ඉපදුණේ කළුතර …ඉතින් …අධ්‍යාපනයට පස්සෙ අපෙ තාත්තා රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණා…ඉන්පස්සේ ගුරු වෘත්තීයට එක්වුණා..
මං අහල තියෙන හැටියට තාත්තා අනුරාධපුර සෙන්ට්‍රල් එකට මුල්ම ගුරු පත්වීම ලබලා පස්සෙ කොළඹ ඉසිපතන මහා විද්‍යාලය වගේම අන්තිමට ඉගැන්වූයේ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ…”
ඕ එලෙසින් කීවේ මා විමසූ පැනයකදීය..
රජයේ සංගීත විද්‍යාලයේ වයලීන වාදනයෙන් කුසලතා ප්‍රකට කළ හේ සංගීත මධ්‍යම හැදෑරූ බවද කීවේ අමාය..
මම තවත් පැනයක් ඇයට යොමුකරද්දී ඕ තොමෝ මුවපුරා සිනා වන්නීය.
” අපොයි ඔව් ..අප්පේ අපෙ තාත්තාගෙන් මම හොඳට ගුටිකාලත් තියෙනවා..අපෙ තාත්තා හරිම වසයි…අපෙ වරදකදී දඬුවම් කරනවාමයි..ඇත්තම කිවොත්…අපි හොඳට ගුටිකාල හැදිච්ච දරුවන්..හැබැයි …” යැයි කී අමා එක්වරම කතාව නවතා බිම බලාගත්වනම සිට යළි මදෙස බලා මෙසේ කියන්නීය..
” ඒ දඬුවම් වලට වඩා අපට අදටත් වැඩිපුර මතක් වෙන්නෙ තාත්තා අපට දුන්න ඇත්තම ආදරයයි…ඇත්තමයි..ඒ කරපු දඬුවම් දිහා දුක හිතිල නෙවෙයි අපි අදත් බලන්නේ…දඬුවම් ගැන වුණත් අද හිත සතුටකින් බලන්නේ…”
ඈ මුවගෙහි පෙර සිනහව නැති.
” අපෙ තාත්තා සල්ලි පස්සෙ හඹාගිය කෙනකුත් නෙවි..එහෙමට සල්ලි හොයාපු කෙනකුත් නෙවි..අනේ..අපෙ තාත්තා කොච්චරවත් අනුනට උදව් උපකාර කරල තියෙනවද. සල්ලිවලින්මත් නෙවි. ශ්‍රමයෙන්..වචනයෙන්..අනේ අපිට පස්සෙ කාලෙක ඒ හැමදෙයක්ම දැනගන්නට ලැබුණෙ.. අපේ තාත්තා එච්චරටම මිනිස්සුන්ට උපකාර කරන්න ඒ පරිත්‍යාග ගති වලට කොහෙන්ද ශක්තිය ලැබුණෙ කියල පුදුම හිතෙන වාර අනන්තයි..අප්‍රමාණයි”
අමා කියන්නීය.
අපේ ආදරණිය කතා නායකයාණෝ සිතෙන දේ කරන්නේය..ඒ ඔහුගේ හැටිය.. තමන්ට කෙතරම් අලාභ වුවද ඇත්තම කතා කරන්නේය…තම දරු පවුල වෙනුවෙන් ඔහු ඇප කැපවී හුන් අයුරු දියණිය අමාගේ මුවින් නිතර කියැවෙයි. නිහතමානී ගුණය…කුහකකමක් අහලකවත් නොවූ තාත්තා ඉල්ලන දේ ගෙනැත් දෙමින් සනසාලූ අයුරුද ඇය කියන්නී තාත්තා සමඟ ගෙවුණු රසබර අතීතයේ සොඳුරු තැන් පිළිබඳව නිරායාසයෙන් හිත මෝදුවන මතකයෙනි.
” ඇත්තම කියනවානම් අප ගැන සොයා බලන…අපව තනි නොකරමින් අදටත් කොහොමද දරුවො කියල අහන බලන තාත්තා ගෙ ඇසුරේ හිටපු වටිනා අය ඉන්නවා…ඒ තාත්තාට එයාල ළඟ අදටත් තියෙන ළෙන්ගතුකම්නෙ….අපේ තාත්තාගෙ ගුණධර්ම තුළින් අපත් ජීවත් වන්නෙ”
අමා එසේ කියාගෙන යන්නී….වරෙක මට රහසේ ඕ තම දෑස පිසදා ගන්නීය..
වයලීනයට..ගිටාරයට වඩාත් පෙම්බැඳී අපේ ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ගුවන් විදුලියේ ප්‍රථම සරල ගී වැඩ සටහන ශ්‍රාවකයන් අතර අතිශයින් ජනප්‍රිය වූයේය…ඒ 1975 දී පමණය.
අදටත් ඇසෙන…” ඇයි තරහින්..මානකාරී…” ” දෑත දෙපාලන ගිගිරි සරින් – මා කැඳවා නොතැවෙන්…” ” දුර ඈත ජීවිතේ…” ආදී ඔහු ගී සිරිත එදා සිරිමත් වූයේ ඔහු නාමයද ඉහළට නැංවෙමිනි..
” අපෙ තාත්තාට සංගීතය ගැන ඉතා හොඳ පුළුල් දැනුමි සම්භාරයක් තිබුණා ”
ඒ ටික කීවේද අපේ අමාය.
” ඉතින් අමල්…සංගීත ක්ෂෙත්‍රයේ ආචාර්ය රෝහණ වීරසිංහ ..සුනිල් එදිරිසිංහ…ආනන්ද වීරසිරි..කුලරත්න ආරියවංශ…සිසිර විජේතුංග..කුමාරදාස සපුතන්ත්‍රි …අප්පේ ගොඩක් අය අපෙ තාත්තා ළඟින්ම උන්නා..එයාලා ඒ දවස්වල අපේ ගෙදරට එනවා..තාත්තා අපිව එයාලගෙ ගෙවල්වලට එක්කන් යනවා..හරිම රසවත් ඒ කාලෙ දවස් නම්…”
අමා සිනාසෙන්නීය.
” අපේ තාත්තාගෙ ඇසුරේ හිටිය හැමෝටම අපෙ තාත්තා හොඳම යාළුවෙක් වෙලා හිටිය කියල නම් අදටත් ඒ අය අප ගැන සොයා බලන හැටියෙන්ම අපට තේරුම් යනවා..ඒ සබඳතා ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණා ”
අපේ සොඳුරු විශිෂ්ටයාණෝ සංගීත සිරිතෙන් තවත් පියවරකට පිවිසෙමින් වේදිකා නාට්‍ය ලොවට ආශක්ත වූයේය…වේදිකා නාට්‍ය නළුවකුසේම අධ්‍යක්ෂණයෙහිද නියැළුණේය..අනතුරුව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට අත ගැසුවේය…ටෙලි නාට්‍ය රංගනයටද පිවිසියේය…” ගංගා සහ නිශ්ශංක ” තවමත් මා මතක තිරයේ මේ මොහොතේද දිස්වෙයි.
අමා විජේසේකර සිනාමුසුව මාදෙස බලා හිඳී…ඕ කටහඬ අවදි කරන්නීය.
” අපෙ තාත්තා ටෙලි නාට්‍ය හතරක් අධ්‍යක්ෂණය කළා.. ඒත් ..තාත්තා මුලින්ම කළේ ඒකාංගික ටෙලි නාට්‍යයක්.. ඒක ටී.බී. ඉලංගරත්නයන්ගෙ ” විලම්බීත”. පස්සෙ දඟයන්ට පමණයි” “ටිකිරි සහ උංගි” අපේ තාත්තා පුංචි දරුවන් ඉලක්ක කරගෙනයි ටෙලි නිර්මාණ කළේ…අපෙ තාත්තා පුංචි දරුවන්ට ඇති ආදරය ගැන නම් වෙනම කතා කරන්න තරම් මාතෘකාවක්..ඒ තරම් පුංචි අයට පුදුම සෙනෙහසක් තාත්තා ළඟ තිබුනේ.. රූපවාහිනීයේ වැඩසටහන්වලදිත් පුංචි දරුවන් වෙනුවෙන් ගායනා ඉදිරිපත් කළා..ළමුන් වෙනුවෙන් තාත්තා ට හැඟෙන දේවල් කළා…අනේ..ඉතින් අපෙ තාත්තා මේ මාවත් ඒවාට එක්ක ගිහින් තියෙනවානෙ”
සැබැවින්ම ඔහු දරුවන්ට අතිශය සමීප ගුරුවරයෙකි.. එතරම් සමීප සබඳතාවකින් ඔහු පුංචි දරුවන් සමග පසුවූයේය…
“අපෙ තාත්තාගෙ පන්තිවල ඒ පුංචි දරුවන් …එයාලට තාත්තා වසයි…ඒත් මට හොඳටම තේරුම් ගියේ..ඒ දරුවන් ඒත් තාත්තාට හරිම ආදරෙයි…”
ලක්ෂ්මන් විජේසේකරයන් හිතමිතුරන් වූ ආචාර්ය රෝහණ වීරසිංහ සහ ආනන්ද වීරසිරි සමඟින් එක්ව කලා භූමි නමින් සංගීත කලායතනයක් බිහිකොට එමඟින් දරු දැරියනට සංගීත ඥානය බෙදා දුන්නේය.. මේ දරුවන්ගේ ගුරුතුමා වරදකදී කෙතරම් සැරවැර වුවද දරුවන් ගුරුතුමා මත්තේමය..
“තවමත් ඒ සංගීත පන්ති ඉතා හොඳ මට්ටමින් කරගෙන යනවා”
අමා කියන්නීය.
අපේ කතා නායක තෙමේ ගැයූ ගීත සංඛ්‍යාව එකසිය පණහක් පමණ වන බව ඕ කියන්නීය..
තම ආදරණිය තාත්තාගේ රංගන දිවිය දෙස ආපසු හැරී බලන ආදරණිය අමා කියන්නී…” තාත්තාගෙ රඟපෑම් ගැන නම් මිනිස්සු ගොඩාක් ආසයි.. ඒක මම දන්නවා..(සිනා පහළ කරමින්) රඟපෑම් ගැන නම් තාත්තා ට තාත්තා ගැන එහෙමට පැහැදීමක් තිබුණේ නම් නැහැ…තාත්තා ඒ ගැන කිව්වේම මං රඟපානව මදි කියලමයි…මං රඟපෑම ඉගෙන ගෙන නැහැ..මං රඟපෑම ඉගෙන ගෙනම රඟපානවා කියලත් තාත්තාම කියල තියෙනවා.”
ඒ කතාවට මම අමා දෙස බලා සිටියදී ඕ අවධාරණය කරමින් ඒ ගැනම කීයේ ” ඔව්…අපෙ තාත්තා එයා ගැන එයාම තක්සේරුවක් දාගෙන හිටියා…” කියාය.
සිය අසුනේ තවත් හරිබරි ගැසුණු ඕ තොමෝ මෙලෙසින් ද කියන්නීය.
” අපෙ තාත්තා කලා ක්ෂෙත්‍රයේ විවිධ ඉසව් රැසකම නිරතව සිටියානෙ. ඒත් …ඒත් …අපෙ තාත්තා වඩාත් ම තෘප්තිමත් වුණේ අධ්‍යක්ෂණයෙන් තමයි. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න තාත්තාගෙ හිතේ ලොකු ආසාවක් උවමනාවක් තිබුණා..අනේ එයට කාලය මදි වුණා.”
ඇයගේ මුහුණෙහි ශෝභාව යටපත් වී අඳුරක සේයා පෙනේ..
” සංගීත අධ්‍යක්ෂණයෙන් තෘප්තිමත් වුණා වගේ අපෙ තාත්තා බලාපොරොත්තු වුණා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන සිහිනය සැබෑ කරගන්න තාත්තා ට බැරිව ගියා..”
අපේ සොඳුරු කතා නායකයාණෝ අපූර්වතම අයකු ලෙසින් හැදින්වෙන්නේ ඔහු වඩාත් ලොල් වූ අතිශය සරල දිවිපැවැත්ම දෙස බැලීමෙනි. තමන්ට ලැබෙන කොයියම් දෙයක් වුවද බාරගත්තේ සමසිතිනි. ලාභයකදී උද්දාමයට පත්නොවූ හේ අලාභයකදීද උපේක්ෂා සහගත පසුවූයේය..හැමදේම ඔහුට සාපේක්ෂව ඉතාමත් සරලය…තම දරු පවුලේ අය සමඟින් සතුට භුක්ති විඳීන හේ සතුටේ කෙලවරටම නොයන්නේය.
රජයේ සංගීත විද්‍යාලයේ සිටියදී ප්‍රියමනාප පෙනුමකින් හෙබි තරුණියක් තවත් තරුණියන් දෙතුන් දෙනකු සමඟ පැමිණියාය…මින්පෙර දැක ඇතත් කතාබහක් නොකළ ඕ තොමෝ පැමිණ නතරවූයේ අපේ ආදරණිය ලක්ෂ්මන් සමීපයේය..ඒ වනවිට ඔහු සමීපයේ සිටියේ රෝහණ වීරසිංහ සමඟ දෙතුන් දෙනෙකි.
ඒ වනවිට ප්‍රකට නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ වේදිකා නාට්‍ය නිර්මාණයන්හි නිරතව එහි කළමණාකාර සහායිකාව ලෙසින්ද කටයුතු කරමින් සිටියාය. ඇය ඔහු හමුවන්නට පැමිණ සිටියේ නාට්‍ය නිර්මාණයකට සංගීත කණ්ඩායමක් ගැන කතාබහ කරන්නටය… සමීප මිතුරුබවින් යුතුව ඒ පළමු කතාබහ තවත් දිගුකලකට මෝදුව යමින් වසර කිහිපයක බැඳුණු තිර පෙම් බැඳීමක අවසන නිමාවූයේ ඇය ඔහුගේ ජීවන සහකාරිය බවට අතිනත ගැනීමෙනි.
එනම් 1975 වසරේදී පමණය.
ඕ තොමෝ අන් කිසිවකු නොව පසුකලෙක සිනමාව..රූපවාහිනිය හා වේදිකාව යන ත්‍රිත්වයම ජයගත් කුසලතා පිරිපුන් රූපණවේදිණියක වූ අපේ ආදරණිය චන්ද්‍රා කළුආරච්චි මෙනවියය. එම විවාහයෙන් එම දෙපළට දුවක සහ පුතකු තිළිණ විණි…
ඒ දියණිය මා සමඟ තවමත් පිළිසඳරේ පසුවන අමා ශාක්‍යා විජේසේකර හෙවත් අමා විජේසේකරය..විහඟ ප්‍රමුදිත විජේසේකර පුතු සිය බිරිඳද සමඟින් එතෙර පදිංචි ව සිටී.
අපේ අමා විජේසේකර ද නමක් දිනූ රූපණවේදිණියකි. විලාසිතා ඇඳුම් නිර්මාණ ශිල්පය සිය වෘත්තීය කරගත් ඇය රංගනයේද පසුවන්නීය.
” මං රඟපෑමට ආවෙ මට වයස අවුරුදු පහේදි විතර..මේ දක්වාම රංගනයෙන් ටෙලි වේදිකා චිත්‍රපට වලට දායක වුවත් අනේ මං ඒව වෙනම ලැයිස්තු ගතකරල නම් නැහැ..මුලින්ම ටයිටස් තොටවත්ත මහත්තයාගෙ ” මමෝ පුබ්බංගමා” ටෙලි නිර්මාණයට එකතු වුණා. මගෙ වාසනාවක් වෙන්නැති ..ඉතා හොඳ අධ්‍යක්ෂවරු යටතේ මට රඟපාන්න ලැබුනේ.. ”
” අපෙ තාත්තා මම රංගනය තෝරා ගත්තාට අකමැති වුනේ නම් නැහැ. වේදිකා නාට්‍යවල රගපාද්දි නම් මම ගායනය කරනව මිසක් ගායනයටම ඇරිල නැහැ.. මට රගපාන්න හැකි කුසලතාව තියෙන බව තාත්තාට අවබෝධයක් තිබුණා..හැබැයි ..රංගනයට ගායනයට එන්න කියලනම් තාත්තා කියල නැහැ.. ඒ වුණාට ඒව කරනවට කැමැත්ත තිබුණා. මෙහෙම කළානම් හොඳයි කීවා මිසක් කවදාවත් අපෙ තාත්තා අපට බලපෑම් කරල නැහැ”
” අපෙ මල්ලිත් රඟපාල තියෙනවා. එයා වැඩිපුර කරන්නෙ සංගීතය තමයි. ”
මා විමසූ පැනයකින් නිහඬ ව පසුවූ අමා කටහඬ අවදි කරන්නීය.
” අපෙ තාත්තා අනේ.. ගොඩාක් දුකකට පත්වී ඉන්නව මම දැක්කෙ අපෙ අම්මා නැතිවූ දවසෙත් තාත්තාගෙ අම්මා …ඒ කිවෙ අපෙ ආච්චි නැතිවූ දවසෙත්…හැමදෙයක්ම සරලව ගත් තාත්තා කිසිවකින් වැඩිදුර ගිය චරිතයක් නෙවි කියල මං කලිනුත් කිවේ .”
කිසිකලෙකවත් දුම්වැටියක රස නොබැලූ ලක්ෂ්මන් විජේසේකරයන් මධුවිතට පෙම් බැන්දේය…තම මිතුරන් සමඟ එක්ව මධුවිත තොල’ලන ඔවුන්ගේ ඉදිරි වැඩ සටහන්වලට මදුවිත නැතිවම බැරිය.
“එයාලගෙ සංවාදයට උත්තේජනයක් ලැබෙන්නෙ මධුවිතෙන් කියල මම හිතන්නේ…තාත්තා හරිම සමාජශීලියිනෙ..”
අමා සිනාසෙන්නීය..
” හැබැයි …කවදාවත් කොතැනකදීවත් සමාජයට පරිසරයට අහිතකර තත්ත්වයකින් නම් ඒව කරලම නැහැ…”
ඒ ටික කීවේද අමාය.
කලා නිර්මාණ කටයුතු බහුල වීම හේතුකොටගෙන සිය ගුරු වෘත්තියෙන්ද බැහැරව කලා කෙතේ ඉසව් රැසක සිය අනන්‍ය ප්‍රතිභාව විදහා දක්වමින් ඉහළම ජනප්‍රියත්වයකට හිමිකම් කී තෙමේ වෙළද දැන්වීම් අධ්‍යක්ෂකවරයකු ලෙසින් ද නමක් දිනා සිටියේය. වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයෙන් ද හොඳම සංගීත අධ්‍යක්ෂණයෙන්ද සම්මානිත වූ හෙතෙම විලම්බීත රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් ද ඔහු සම්මානිත වූයේය..
” අපේ තාත්තා කුරුල්ලෙක් වගේ ජීවත් වූ කෙනෙක්…”
අමා කීවේ සිනාසෙමිනි.
” අපෙ තාත්තා උත්පත්තියෙන්ම ලස්සනයි. ඒ ලස්සන අපෙ තාත්තා හොඳීන් නඩත්තු කළා කීවත් මං හරි. පිරිසුදුකම නම් අංක එකට..අන්තිම දවස වෙනකම්ම අපෙ තාත්තා ලස්සනට ඇන්දා..ෆැෂන් වලටත් තාත්තා කැමතියි. වියපත් වුවත් තාත්තාට තිබුණෙ තරුණ හිතක්…පරම්පරා දෙකක් අතර වෙනස…පරිවර්තනය හොඳීන් හඳුනාගෙන තාත්තා හිටියේ…දරුවන් වන අප ගැන හිතන්න කතා කරන්න වගේම දරාගන්නත් පුළුවන් වෙන්න එපායැ…අන්න ඒ ටික තාත්තා දැනසිටියා. ස්ටයිල් කළා…කොතැනත් කවදත් තාත්තා අනුන්ට සුන්දරනීය කෙනකු විදිහටමයි පෙනුණේ..”
දියණිය අමා දිගින් දිගටම කියාගෙන යන්නීය..වරෙක ඈ හඬ හැඬුම් ස්වරයකි. වරෙක හිසමත බරක් පැටවූවාක් මෙන් බිම බලාගත්වනම ය…
රටම දුකඳුරට හෙළූ කොවිඩ් වසංගතය රටම වසා පැතිර ගියේය…අපේ කතා නායක තෙමේ රෝගාතුර වූයේය..ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකින් යුතුව කල්ගත කළ හේ මෙලෙස රෝගාතුර වීම ඔහුට සමීප හැම කෙනකුගේම දුකටම හේතුවක් විය…
” තාත්තාගෙ අසනීපය හඳුනාගන්න ගොඩක් පරක්කු වුණා ..”
අමා ඒ ටික කීවේ හැඬුම් ස්වරයෙනි.
අපේ රසවතාණෝ පෙනහළු පිළිකාවකින් පීඩිතව ගිලන් යහනේමය.. තමන් නොසැලෙන බව ඒ ඔහු නෙත කියාපාන්නා සේය…තවත් ගතවූ දින තුන හතර ඔහු සිහිකල්පනාවෙන් තොරවමය…
ආශක්ත රුවකින් සේම කලා ක්ෂෙත්‍රයේ විවිධ ඉසව් තරණය කෙරෙමින් රටක් මෝහණය කළ අපේ ආදරණිය සොඳුරු කතා නායකයාණෝ රහසේවත් කාහටවත් කිසිවක්ම නොකියාම ඒ ගිලන් යහනේදීම නෙත පියාගනිමින් යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය..
එනම්…2021 ක්වූ නොවැම්බර් මස 12 වනදාය…
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ