කුරු / දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිතුම් ආකර්ෂ රාජසිංහ, වයස අවුරුදු 12දී රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙහි හොඳම ළමා නළුවා සම්මානයට හිමිකම් කීමට වාසනාවන්ත විය. රංගනයට පමණක් නොව වේදිකා පරිපාලනයට ද සම්මානනීය වී ඇති ඔහු අද වනවිට කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ද සිය දස්කම් පෙන්වමින් සිටියි. සිය කලා දිවියේ ගමන්මග ගැන කතා කරන්න සරසවිය හා මෙසේ එක්විය.
කලාවට මුලින්ම සම්බන්ධ වූ අයුරු සිහිපත් කළොත් ….?
2018 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට අපේ දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ නාට්‍ය උගන්වන වින්ධ්‍යා ආනන්ද ටීචර් “සපුමල්ගේ ලෝකය” නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. එතකොට මම 7 වසරේ ඉගෙනගනිමින් හිටියේ. ඒ වෙද්දි වේදිකා නාට්‍ය ගැන මම මුකුත්ම දන්නේ නැහැ. වේදිකා නාට්‍යයක් දැකලවත් තිබ්බේ නැහැ. ටීචර් අපෙනුත් ඇහුවා නාට්‍යයක් කරනවා රඟපාන්න කැමැති අය කවුද කියලා. මාත් ඉතින් ගියා. එහිදී ළමයි ගොඩක් අතරින් කිහිපදෙනෙක් තෝරාගෙන ඔවුන්ට චරිත බෙදාදුන්නා. මට ලැබුණේ බල්ලෙකුගේ චරිතය. ටික දවසක් පුහුණුවීම් කරද්දි එහි ප්‍රධාන චරිතය වන සපුමල්ගේ චරිතය කරන කෙනා ඒක කරන්න බැහැ කිව්වා. ඊට පස්සේ ටීචර් මට දෙබස් ටිකක් දීලා බලලා සපුමල්ගේ චරිතයට මාව තෝරාගත්තා
“සපුමල්ගේ ලෝකය”ට සම්මානත් ලැබුණා නේද…..?
ඔව්, ඒ නාට්‍යය, තරගවලට ඉදිරිපත් කළා. 2018 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී “සපුමල්ගේ ලෝකය”ට සම්මාන රැසක්ම හිමිවුණා. එහිදී මම සපුමල්ගේ චරිතය රඟපෑම වෙනුවෙන් හොඳම ළමා නළුවා ලෙස සම්මානයට ලක්වුණා. වින්ධ්‍යා ආනන්ද ටීචර්ටත් සම්මානයක් හිමිවුණා.
ඉන්පසු ඔබ දිගටම වේදිකා රංගනයට යොමුවුණා ද…..?
ඊටපස්සේ ටීචර් කණ්ඩායමක් හදාගත්තා නාට්‍ය, තරගවලට ඉදිරිපත් කරන්න බලාගෙන. ටීචර්ගේ මහත්තයා තමයි සමන්ත පරණලියනගේ කියන්නේ. ඔහු මේ වෙද්දි ලංකාවේ නමගිය නළුවෙක්. ඒ විදිහට ටීචර් හැදූ කණ්ඩායමත් එක්ක නොයෙක් නාට්‍ය තරගවලට අපි ඉදිරිපත් වී යම් යම් ජයග්‍රහණත් ලැබුවා
රංගනයට අමතරව තිර පිටපත් රචනයටත් යොමුවෙනවා නේද……?
ටීචර් දවසක් කිව්වා හැමදාම රඟපාලම වැඩක් නැහැනේ, පිටපතක්වත් ලියන්න කියලා. මම ඉතින් නිකමට වගේ කෙටි චිත්‍රපටයක් ලියන්න ගත්තා. ඒක විනාඩි 10ක ධාවන කාලයකින් යුත් කෙටි චිත්‍රපට තිර රචනයක්. ටීචර්ත් පිටපත ගැන තෘප්තිමත්. පිටපත් ලිවීම ගැන මුකුත්ම නොදන්න මම යූ ටියුබ්වලින් ඒ ගැන අධ්‍යයනය කරමින් ලිව්වා. පිටපත ලියා කැමරා කෝණ වෙන්කරන විදිහ ටීචර්ගෙන් අහගත්තා.සමන්ත පරණලියනගේ සර්, සොඳුරු ලොකුපෝතාගම අයියා, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම කැමරා ශිල්පියෙක් වන සංජීව දේවප්‍රිය සර්ගෙනුත් ඒවා අහගත්තා. ඒවගේම මගේ යෙහෙළියක් ඉන්නවා දිනුලි රන්දීනා කියලා. එයත් කෙටි චිත්‍රපටයක් ලිව්වා. මගේ කෙටි චිත්‍රපටය “The Wishpering Art”. දිනුලිගේ කෙටි චිත්‍රපටය “The Loneliness Of Love”. මේ චිත්‍රපටවලට රංගන ශිල්පීන් යොදාගෙන අපි අධ්‍යක්ෂණය කළා.
ඒ නිර්මාණ අන්තර්ජාතික සිනමා නිර්මාණ උළෙලවලට ඉදිරිපත් කළාද……?
ඔව්, අපි දෙන්නගේ ඒ කෙටි චිත්‍රපට දෙකම අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවලට ඉදිරිපත් කළා. ඒකට මට උදව් කළේත් වින්ධ්‍යා ආනන්ද ටීචර්, සොඳුරු අයියා, දේවප්‍රිය සර්.
ඔබ වඩාත්ම කැමැත්තක් දක්වන්නේ අධ්‍යක්ෂණය, තිර රචනය, රංගනය, වේදිකා පරිපාලනය ආදී අංශයන්ගෙන් කුමකටද….?
මම මේ සියල්ලටම කැමැතියි.මගේ හිතේ තියෙන්නේ ඇක්ටින් වුණාට ඩිරෙක්ටින්වලට වඩාත් කැමැතියි. මේ අංශ සියල්ලම නියෝජනය කරමින් ඩිප්ලෝමාවක් වැනි අධ්‍යයන කාර්යයක නිරතවෙන්න කැමැතියි. මේ වසරේ උසස්පෙළට පෙනීසිටියාට පසු එසේ සිනමා විෂයය ගැඹුරින්ම හදාරන්න කැමැත්තක් තියෙනවා
කලා කටයුතුවලට පාසලෙන් ලැබෙන සහාය මොනවගේද …..?
පාසලේ ටීචර්ලා මට ගොඩාක් උදව් කරනවා.සම්මාන ගත්ත මොහොතේ ඒවා පත්තරවල පළවුණානේ. ඒකට ඒකාලයේ හිටිය වයසක ටීචර්ලා හරි ආසයි.එයාලා මම ගැන ලියවුණු පුවත්පත් ලිපි මට ගෙනවිත් දෙනවා. ඒවගේම වින්ධ්‍යා ආනන්ද ටීචර්ත් උපරිම සහාය දෙනවා
සිනමා-ටෙලිනාට්‍ය රංගනයට අදහසක් නැද්ද ….?
අදහසක් නම් තියෙනවා. තවම ආරාධනා ලැබී නැහැ.
පාසල් නිවාඩු සමයේ චිත්‍රපට-වේදිකා නාට්‍ය නරඹන්න යොමුවෙනවා ඇති…..?
චිත්‍රපට බොහෝවිට නරඹනවා. වේදිකා නාට්‍ය නම් අත්හරින්නේ නැහැ. කොතැනද වේදිකා නාට්‍යයක් පෙන්වන්නේ, කොහොමහරි එතැනට යනවා. කොළඹ තියෙනවා කිව්වත් හෙටහරි ඒවා නරඹන්න කොළඹහරි යනවා. කොහොමත් වේදිකා නාට්‍යවලට මගේ වැඩි ආශාවක්, නැඹුරුවක් තිබෙනවා.
අද වේදිකා නාට්‍ය කලාව තිබෙන ස්ථානය ගැන අර්ථකථනය කළොත් …..?
මම ගමක ජීවත්වෙන නිසා ගමේ මිනිස්සු එක්ක කතා කරද්දි ගමේ ඔවුන් සිතන්නේ ගම තුළ කලාවක් නැහැ කියලා. ගමේ අය කැමැති තරගයට යන්න. කොළඹ මිනිස්සු කලාව එක්ක නිතරම ඉන්නවා. ඔවුන් කලාවට ආසයි. වේදිකා නාට්‍ය පැත්තෙන් ගත්තොත් ප්‍රාදේශීය මට්ටමින් එහි අඩුවක් දකිනවා. වේදිකා නාට්‍ය රංග ශාලාත් ගම් මට්ටමින් නැහැනේ. ගමේ මිනිස්සු අතරට වේදිකා නාට්‍ය කලාව යනවා අඩුයි. දේශීය නාට්‍ය කලාව ගමේ අයට ලොකුවට දැන් දැනෙන්නේ නැහැ වගේ එකක් තියෙනවා. ඔවුන් බලන්නේ හෙටහරි කොළඹට යන්න. කොළඹ තියෙන ඒ කලාව රසවිඳීන්න. ගමේ මිනිස්සුන්ට කලාව රසවිඳීම කියන දේ ලොකුවට දැනෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඒක කනගාටුදායක තත්ත්වයක්..
කලාව පිළිබඳ ගමේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඔබේ යම් වැඩපිළිවෙළක් තිබෙනවද…..?
නියම කලාව තියෙන්නේ ඇත්තෙන්ම ගමේ. ගම අවට ලස්සන කලාවක් තිබෙනවා. අපේ මිනිස්සුන්ට එය මතුකරලා ගන්න තේරෙන්නේ නැහැ. කවුරු නැහැ කිව්වත් තවමත් ගම්වල අර සාම්ප්‍රදායික මානසිකත්වය තිබෙනවා. කොළඹ ජනතාව සම්ප්‍රදාය මතම යැපෙන්නේ නැහැ. සම්ප්‍රදාය මත යැපෙන්නේ නැති තැන කලාව තියෙනවා. සාම්ප්‍රදායිකව යැපෙන තැන කලාවක් නැහැ. ගමේ මිනිස්සුන්ගේ සාම්ප්‍රදායික මානසිකත්වය නැතිවෙනවානම් මම හරි කැමැතියි. ඔවුන් සමාජයට විවෘත වෙන්න බයයි. මම සැමවිටම උත්සහ කරන්නේ ඔවුන්ව ර්‍ණනඥද කරවන්න.
ඔබ ගමක ඉන්නේ. ඔබේ ගමේ මිනිස්සුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහාය මොනවගේද ….?
මිනිස්සු ගත්තම කොටස් 02ක් ඉන්නවා. අපේ ගමේත් ඒ දෙකොටසටම අයත් අය ඉන්නවා. ගිය වසරේ මම “සමස්ත ලංකා කතන්දර කථනය” යටතේ සමස්ත ලංකා පළමු ස්ථානය දිනුවා. අද තරගය දිනුවානම් ඊළඟ දවසේම මගේ බැනර් එකක් ඔවුන් ප්‍රදර්ශනය කළා මට සුබ පතලා. එහෙම පිරිසකුත් ඉන්නවා.
මේ වෙද්දි ඔබ ලද සම්මාන ගැන විග්‍රහ කළොත් …..?
2018 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි රාජ්‍ය සම්මානය (“සපුමල්ගේ ලෝකය” වේදිකා නාට්‍යය), 2022 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංගකලා උළෙලේ හොඳම නිෂ්පාදන පිටපත දෙවැනි ස්ථානය (“සමාජයේ බලකණු” වේදිකා නාට්‍යය) ඒක හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍යයක සිංහල පරිවර්තනයක්., 2023 වයඹ පළාත් පාසල් නාට්‍ය හා රංගකලා උළෙලේ ගැමි නාටක තේමාව යටතේ තෙවැනි ස්ථානය, 2024 වයඹ පළාත් නාට්‍ය හා රංගකලා උළෙලේ හොඳම වේදිකා පරිපාලනයට හිමි සම්මානය (වින්ධ්‍යා ආනන්ද නාට්‍ය නිර්මාණයක් වූ “චයිල්ඩ් හුඩ්” නාට්‍යය) චයිල්ඩ් හුඩ් නාට්‍යය පළමු ස්ථානයටත් තේරුණා. 2024 වයඹ පළාත් පාසල් නාට්‍ය හා රංගකලා උළෙලේ කතන්දර කථනය ඒකල පිරිමි ශීර්ෂය යටතේ පළමු ස්ථානය මට හිමිවුණා. 2024 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංගකලා උළෙලේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිවුණා. පාලිත ලොකුපෝතාගම හා සොඳුරු ලොකුපෝතාගම නාට්‍යවේදීන් දෙදෙනාගේ නාට්‍යයක් වූ “සම්මානේ” ළමා නාට්‍යය වයඹ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස තේරුණා. එයින් මට වසරේ හොඳම වේදිකා පරිපාලනයට හිමි රාජ්‍ය සම්මානය හිමිවුණා. 2024 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටයට “සම්මානේ” නාට්‍යය සුදුසුකම් ලැබුවා. එහි මා රඟපෑ චරිතයේ නමත් මගේ සැබෑම නම වූ “සිතුම්”ම තමයි. එහි මම වේදිකා පරිපාලනයට අමතරව රංගනයෙනුත් දායක වුණා
ඔබේ ගම් පියසේ සිටින ප්‍රවීණ ළමා නාට්‍යවේදියකු වන පාලිත ලොකුපෝතාගම සහ සොඳුරු ලොකුපෝතාගම දෙදෙනාගේ ආභාසය ඔබට ලැබුණේ කොහොමද …..?
පාලිත ලොකුපෝතාගම සර්, වින්ධ්‍යා ආනන්ද ටීචර්ගේ මාමා. ඒ අනුව තමයි මට පාලිත සර් මුණගැසුණේ. සර්ගේ ගෙදර ස්ටේජ් එකේ තමයි එදා ඉඳන්ම අපි පුහුණුවීම් කරන්නේ. ඒ හඳුනාගැනීමත් සමඟයි සොඳුරු අයියා මාව හඳුනාගන්නේ. සොඳුරු අයියා එක්ක මුලින්ම මම වැඩක් කළේ සමන්ත පරණලියන සර්ගේ “ප්‍රේමී කවි නළුව” සමඟයි. මගේ කෙටි චිත්‍රපටයටත් සොඳුරු අයියා මට ගොඩක් උදව් කළා.
ලාංකේය වේදිකාවේ ප්‍රවීණයන් සහ ඔවුන්ගේ නිර්මාණ ඔබ අධ්‍යයනය කිරීමක් කරනවද….?
ඇත්තෙන්ම මම අධ්‍යයනය කරනවා ඔවුන්ව. දයානන්ද ගුණවර්ධන, ජයලත් මනෝරත්න වැනි විශිෂ්ටයන් අධ්‍යයනය කරනවා දයානන්ද ගුණවර්ධනයන්ව මම මේ දවස්වල සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරනවා. එතුමා මා දැක්ක හොඳම රැඩිකල් නිර්මාණවේදියෙක්. අපට සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න බැහැ. මුල් තියෙන්නේ එතැන. එහෙම අතික්‍රමණය කළොත් වැඩිකල් පැවැත්මක් නැහැ. දයානන්ද ගුණවර්ධනයන් සම්ප්‍රදාය හොඳීන් අධ්‍යයනය කර ඒවායේ මුල්බැසගෙන සිට ඒ සම්ප්‍රදාය මතින්මයි එය අතික්‍රමණය කළේ. එතැනදී ඔහුගේ කලාව බිඳවැටෙන්නේ නැහැ. ඔහු ආගම, සංස්කෘතිය මනාව අධ්‍යයනය කර එහි ගුණඅගුණ පෙන්වමින් ගමනක් ගියේ…..කවුරු කොහොම කීවත් කලා ලොවේ මම කැමැතිම චරිතය ජැක්සන් ඇන්තනී
ග්‍රන්ථකරණයට ආසාවක් නැද්ද…..?
මම හරි ආසයි පොත් ලියන්න. නවකතාවක් වැනි දෙයක් ලියන්න අදහසකුත් කියෙනවා.
නිවේදන කලාවට, නර්තනයට එහෙමත් දක්ෂතාවක් තියෙනවද…..?
නිවේදන කලාවට මම හරි කැමැතියි. පාසලේත් නිවේදන කටයුතුවලට දායකවී තිබෙනවා. වැඩමුළුවලට එහෙමත් යනවා. අපේ පාසලේ මාධ්‍ය අංශයේ ඉරේෂා හතුරුසිංහ ටීචර් මට ඒ අංශයෙන් උදව් කරනවා. නර්තනයත් පුරුදු වුණොත් පුළුවන් වේවි කියා මම සිතෙනවා
කලාව තුළින් මිනිසකුගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමේ කාර්යය පිළිබඳ කොහොමද ඔබේ අර්ථකථනය ……?
සිරවෙලා ඉන්න මනුස්සයව එළියට දානවානම් ඒක කළ හැකි එකම මාධ්‍යය තමයි කලාව කියන්නේ. මානසිකව පීඩාවට ලක්වූවන්ට කලාව ඖෂධයක්. මම හොඳීන්ම දැක තියෙනවා සතුටින් ඉන්න පුද්ගලයා අනිවාර්යයෙන් කලාවට ආදරෙයි කියලා. ඔහුගේ ජීවිතය පිටුපස කලාව තිබෙනවා. කලාව ඇඟේ තියෙන කෙනා හැමදාම සතුටින් ඉන්නේ. ඔහුට/ඇයට ආධ්‍යාත්මික සතුට තිබෙනවා. ඝෘණාත්මකව සිතන්නේ නැහැ. ඔවුන් ධනාත්මකව සිතන්නේ. කලාවට ආදරය කරන මිනිසා ලස්සනට ජීවත්වෙනවා
කලාවේ දියුණුවට කළ හැකිදේ ගැන ඔබේත් යම් අදහසක් ඇති……?
අද තිබෙන මුදල් ඉපයීමේ කලාවට මම ඇත්තෙන්ම කැමැති නැහැ. කලාව කියන දේ විෂය නිර්දේශයට පමණක් කොටුකළ යුතු නැහැ කියලා කියලා මම සිතනවා. එතැනින් එහාට යනවනම් පාසල් සිසුන්ගේත් මොළ හැදෙනවා. අද තිබෙන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. මම හරි ආසයි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. පාසලේ සිංහල විෂයය කරන ළමුන් ඉන්නවා. ඔවුන් වේදිකා නාට්‍යයක් දැකලවත් නැහැ. සමහරු මගෙනුත් අහනවා වේදිකා නාට්‍යයක් කියන්නේ මොකද්ද කියලා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ව සමහර ශිෂ්‍යයෝ දන්නේ නැහැ, ඒත් ඔවුන් උසස්පෙළ සිංහල ඉගෙනගන්නවා. මෙහිදී ප්‍රායෝගිකත්වය නැති ප්‍රශ්නයයි තියෙන්නේ. මම සිංහලවලට ආස නිසාම සිංහල ඉගෙනගත්තේ නැහැ.
කලාව අද තිබෙන තැන ගැන මොකද හිතෙන්නේ …..?
අපි අද 80-90 දශකයේ කලාව තුළම සිරවිය යුතුයි කියා දෙයක් නැහැ. සිනමාශාලා වැහෙන්න දෙන්න ඕනෙත් නැහැ. අපිට පුළුවන් අපි කාර්යබහුල වූ විට සමාජමාධ්‍ය තුළින් චිත්‍රපට නරඹන්න. සැහැල්ලු වේලාවට සිනමාශාලාවට ගිහින් චිත්‍රපටයක් නරඹන්න පුළුවන් නම් හොඳයි. අපි එකපැත්තකට සිරවෙන්න ඕනෙත් නැහැ. ඒ දෙකම සමබර කරගන්නවනම් හොඳයි.
ඉදිරි සැලසුම් මොනවගේද කිව්වොත්…..?
මේ දිනවල සොඳුරු ලොකුපෝතාගම අයියගේ “සම්මානේ” වේදිකා නාට්‍යය දිවයින පුරා වේදිකාගත කිරීමට සූදානමක් තිබෙනවා.
පවුලේ අයගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහාය ගැන කිව්වොත්…..?
පුහුණුවීම් අවසන් වෙද්දි උදේ, දවල්, රැයක් නැහැ. ඒවගේදී ගෙදර අය මට උපරිම සහාය දෙනවා. තාත්තා ආමි බෑන්ඩ් එකේ නර්තනය සිදුකරනවා. ගෙදර සියල්ලෝම මට මගේ කලා දිවිය සකස් කරගන්න උපරිම සහාය දෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මගේ ගෞරවාදරය මේ මොහොතේ පිරිනමනවා.
මනෝජ් රුක්මල් කුමාරසිංහ