මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස ඇඳුම් සන්නාම හා සංකල්ප වෘත්‍තියමය වශයෙන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම ඔහුගේ කාර්යයයි. ඩිජිටල් අවුරුදු කුමරා සහ කැලණි නදී අවුරුදු කුමරා තුන්වැනි ස්ථානය හිමිකර ගත්තේ ද ඔහුය. රංගනය නමැති විෂය ද හඬකැවීම් කලාව ද හදාරමින් සිටින ඔහු නමින් චාමින්ද ජයවර්ධනයි. වෘත්තියෙන් බැංකු කළමනාකරුවකු වන හෙතෙම මේවනවිට Paris American International University හි ආචාර්ය උපාධියට සූදානමින් සිටින අතර, මෝස්තර නිරූපණ ශිල්පි භූමිකාව කේන්ද්‍ර කරගනිමින් සිය නිර්මාණාත්මක දිවිය ගැන කතාබහ කිරීමට සරසවිය හා එක්වුණේ මෙලෙසිනි .
මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස ඔබේ භූමිකාව හඳුන්වා දුන්නොත් ?
එහිදී මගේ භූමිකාව වනුයේ නිර්මාණකරුවන්ගේ ඇඳුම් , සන්නාම සහ සංකල්ප වෘත්තියමය ආකාරයෙන් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා විශ්වාසයෙන් යුතුව වේදිකාව මත හෝ කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් ඇඳුමේ අලංකාරය හා පණිවුඩය නිවැරදිව ප්‍රකාශ කිරීමට කටයුතු කරනවා. එසේම විනය, කැපවීම, ශාරීරික යෝග්‍යතාව සහ වෘත්තිය ආකල්ප පවත්වා ගනිමින් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් රැකගැනීම ද මගේ වැදගත් වගකීමක් ලෙසයි මා දකින්නේ
මේ දිනවල සිදුකරන නවතම කාර්යයන් මොනවද ?
රංගනය පිළිබඳ හදාරමින් සිටිනවා. ඊට අමතරව ෆොටෝ ෂූට් වගේම ඇඳුම් සන්නාම කිහිපයක් එළිදැක්වීමේ කටයුතුවලත් නියැළී සිටිනවා
මෝස්තර නිරූපණය වැඩිදුර හදාරන්න සිතුවේ ඇයි ?
එයට හේතුව මේ ක්ෂේත්‍රය කෙරෙහි මට තිබූ දැඩි උනන්දුව සහ ආසාවයි. නිරූපණය යන්න ඇඳුම් පෙන්වීමකට පමණක් සීමා නොවී ආත්මවිශ්වාසය , ශික්ෂණය, සන්නිවේදන කුසලතා සහ පෞරුෂය ගොඩනැඟීමට උපකාරී වන කලාවක් ලෙස මා දකිනවා. එනිසාම වෘත්‍තියමය දැනුම හා පුහුණුව ලබාගෙන ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන නිර්මාණ ශිල්පියකු වශයෙන් වර්ධන වීමට මා තීරණය කළා.
විදෙස් ප්‍රසංගවලට දායකවීමේ සිහිනයකුත් ඇති ?
ඔව්, ඒ හීනය ඉදිරි මාසයේදී සැබෑ වේවි
මෙරට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ වෘත්තියමය පිළිගැනීම ගැන ඔබේ අර්ථකථනය කවරාකාරද ?
මේ ක්ෂේත්‍රය අද වෙද්දි යම් සැලකිය යුතු පිළිගැනීමකට ලක්ව තිබෙන බව මගේ අදහසයි. පෙර කාලයේ මෙය විනෝදාස්වාදනය හෝ අමතර ක්‍රියාකාරකමක් ලෙස පමණක් සැලකුණ ද වත්මනයේ එය විලාසිතා, වෙළෙඳ ප්‍රචාරණ, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍ර සමඟ සෘජුවම සම්බන්ධ වූ වෘත්තියක් බවට පත්වෙලා. ජාත්‍යන්තර මට්ටම හා සසඳන විට තවදුරටත් දියුණු කළ යුතු අංශ තිබෙනවා. වෘත්තියමය පුහුණුව, නීතිමය ආරක්ෂාව හා වෘත්තිය ප්‍රමිතීන් තවත් ශක්තිමත් විය යුතුයි. සමාජ මාධ්‍යයෙහි බලපෑම සහ දේශීය විලාසිතා කර්මාන්තයේ වර්ධනයත් සමඟ මේ ක්ෂේත්‍රයට ලැබෙන ගෞරවය හා පිළිගැනීම අනාගතයේදී තවත් ඉහළට යනු ඇතැයි මා විශ්වාස කරනවා.
මේ ක්ෂේත්‍රය වැඩිදුර ඉගෙනුමට යොමුවූ ආකාරය සිහිකළොත් ?
මූලිකව ත්‍රිකලා ධරණි මිස් යටතේ නිරූපණය පිළිබඳ මූලික පාඨමාලාව හදාරා පසුව වාසනා දන්තනාරායන මිස් යටතේ උසස් පාඨමාලාව හැදෑරුවා. ඉන්පසුව ධ්ර්‍ථඒර් ඛ්චථනභඵ එකට ඇතූළත්වී දැනට නිරූපණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හදාරනවා. ගුරුහරුකම් දුන් ත්‍රිකලා ධරණි මිස්, වාසනා දන්තනාරායන මිස් , නලින්ද සර්, සමන්ත ගුණසේකර සර් ඇතුළු පිරිසක් ඉන්නවා.
මෙරට මෝස්තර නිරූපණ ශිල්පීන් ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වූ අවස්ථා ගැන තෘප්තිමත් විය හැකිද ?
අනිවාර්යයෙන්ම. මොකද කෙනකුගෙන් කෙනකුට තිබෙන හැකියාවන් වෙනස්. ඒ අනුව බැලීමේදී තෘප්තිමත් විය හැකියි.
ඔබ කිහිපවරක් අවුරුදු කුමරා කිරුළ හිමිකර ගත්තා ?
මුලින්ම 2025දී ඩිජිටල් අවුරුදු කුමරා ලෙසත් 2026දී සිරිකත කැලණි නදී අවුරුදු කුමරා තෙවැනි ස්ථානයටත් පත්වුණා
අවුරුදු කුමරා ජයග්‍රහණය මෝස්තර නිරූපණයට ඒමට මඟ විවර කළාද ?
අනිවාර්යයෙන්ම. 2025 ඩිජිටල් අවුරුදු කුමරා බවට පත්වුණාට පසුවයි මෝස්තර නිරූපණය ගැන හදාරන්න ලැබුණේ
අද මෝස්තර නිරූපණයට එන නවකයන්ට යම් උපදෙසක් දුන්නොත් ?
නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ දකින තරම් ලස්සන ඒ වගේම ලොකු කැපකිරීමක් සහ විනයක් අවශ්‍ය වෘත්තියක්.. මේ ක්ෂේත්‍රයට එන අයට දෙන්න තිබෙන උපදෙස නම් ඔබේ අනන්‍යතාව හඳුනාගෙන වැඩ කරන්න කියලයි. එසේම නිරන්තර පුහුණුව වගේම නිරන්තරයෙන් අලුත් වන දේවල් ඉගෙනගන්න. සෑමවිටම යාවත්කාලීන වෙන්න.
වෘත්තියමය වශයෙන් මෙරට මෝස්තර නිරූපණ කලාව හැදෑරීමට තිබෙන පාඨමාලා ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් ද ?
බොහෝදුරට තෘප්තිමත් විය හැකියි. මොකද අද බහුලව විවිධාකාර පාඨමාලා බිහිවෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් හෝ එවැනි ආයතනයකින් පාඨමාලාවක් හැදෑරීමට.
රංගන ශිල්පියකු ලෙසත් ඔබ ගමනක් අරඹා තිබෙනවා ?
රංගන ශිල්පියකු වීම කුඩා කල සිටම මගේ සිතේ තිබුණු ආසාවක් සහ සිහිනයක්. ඉදිරියේදී තෙලිඟු චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබී තිබෙනවා
රංගන කලාව, මෝස්තර නිරූපණය එකිනෙකට සමාන්තර ගමනක දිවෙන මාධ්‍යයන් ද්විත්වයක් යැයි කෙනෙක් කීවොත් ?
එය බොහෝදුරට නිවැරදි අදහසක් නිසා මා ද කියනවා. රංගන කලාව සහ මෝස්තර නිරූපණය යන අංශ දෙකම දෘශ්‍ය සන්නිවේදනය මත පදනම් වූ ක්ෂේත්‍රයන් දෙකක්. දෙකෙහිම ප්‍රධාන අරමුණු වන්නේ ශරීර භාෂාව, මුහුණේ ඉරියව් සහ පෞරුෂය හරහා පණිවුඩයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑමයි. මෝස්තර නිරූපණයේදී නිරූපණ ශිල්පියා ඇඳුමක්, සන්නාමයක් හෝ සංකල්පයක් ඉදිරිපත් කරන අතර රංගනයේදී චරිතයක් සහ කතාවක් ජීවමාන කරවයි. එහෙත් මේ ක්ෂේත්‍ර දෙක අතර ඇති පොදු ලක්ෂණ වන්නේ කැමරාව ඉදිරියේ විශ්වාසයෙන් පෙනී සිටීම, හැඟීම් ප්‍රකාශ කිරීම සහ ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමයි. එනිසා මගේ අදහස නම් රංගන කලාවට සහ මෝස්තර නිරූපණයට වෙනස් අරමුණ තිබුණද එය එකිනෙකට පෝෂණය කරමින්, බොහෝ කුසලතා හුවමාරු කර ගන්නා සමාන්තරව ගමන් කරන නිර්මාණාත්මක මාධ්‍යයන් දෙකක් බවයි .
මුලින්ම ටෙලිකැමරාවක් ඉදිරියට පැමිණි අවස්ථාවේ ඇති වූ හැඟීම මොන වගේද ?
ඒ ලොකු අත්දැකීමක් වුණා. මම මුලින්ම කැමරාවක් ඉදිරියට ගියේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ ‘ආයුබෝවන් ශශ්‍රීලංකා’ වැඩසටහන සඳහායි. මේ වෙනස්ම අත්දැකීමක් වුණා.
මෝස්තර නිරූපණයේ සහ රංගනයේදී කැමරාවට මුහුණ දෙන ආකාරය කොහොමද ඔබට දැනුණේ ?
මෝස්තර නිරූපණයේදීත් රංගනයේදීත් කැමරාවට මුහුණ දීම මට විශේෂ අත්දැකීමක් වුණා. මෝස්තර නිරූපණයේදී කැමරාව ඉදිරියේ ශරීර භාෂාව, මුහුණේ ඉරියව් සහ විශ්වාසය තුළින් පණිවුඩයක් සන්නිවේදනය කිරීමට අවස්ථාව ලැබෙනවා. රංගනයේදී එය තවත් ගැඹුරුයි. මන්ද චරිතයක හැඟීම් සහ කතාව ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑමට සිදුවන නිසා. ආරම්භයේදී යම් තරමක උද්වේගයක් දැනුණත් අත්දැකීම් සමඟ කැමරාව මට හිතවත් මාධ්‍යයක් බවට පත්වුණා. අද වෙද්දි කැමරාව ඉදිරියේ සිටීම මට විශ්වාසයෙන්, නිදහසින් සහ නිර්මාණශීලීව මගේ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට ලද අවස්ථාවක් ලෙස දැනෙනවා.
හඬකැවීම් කලාවත් ඉගෙන ගන්නවා නේද?
ඔව්, දැනට IPD ආයතනයේ තිළිණි චේතනා මිස් යටතේ හඬකැවීම් කලාව හදාරනවා.
සම්මාන රැසකටම ඔබ හිමිකම් කියනවා ?
මේ වෙද්දී වෘත්තියමය හා අධ්‍යාපනික අංශයන්ගෙන් සම්මාන 23ක් ලබා ගැනීමට මා හට හැකි වුණා.
වෘත්තියෙන් ඔබ බැංකු කළමනාකරුවෙක්. මෝස්තර නිරූපණය, රංගනය සමඟ කෙසේද රැකියාව සමබරව කරගෙන යන්නේ ?
මගේ වෘත්තියට මම මුල් තැන දීලා, අනෙකුත් වැඩකටයුතු කරගෙන යනවා. බැංකු කළමනාකරුවෙක් කියන්නේ වගකීම් බහුල රැකියාවක්. ඒ කටයුතු මනාව සිදු කරමින් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතුත් ලස්සනට, සමබරව කරගෙන යනවා. ඒ සඳහා මූලික දේ කාලය කළමනාකරණය කර ගැනීමයි.
ඔබ වැඩිදුර අධ්‍යාපනයටත් යොමුවී සිටිනවා ?
ඔව්, මම දැනට Paris American International University හි ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා.
කඩවසම් තාරුණ්‍යයකට හිමිකම් කියන ඔබට පෙම්වතියක් නැති වෙන්න බැහැ. ආදරය ගැන පෞද්ගලික අදහස මොන වගේද ?
දැනට නම් මට ආදරවන්තියක් නැහැ. මගේ අදහස අනුව ආදරය කියන්නේ පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවන හැඟීමක් පමණක් නෙවෙයි. එය විශ්වාසය, ගෞරවය, අවබෝධය සහ කැපවීම මත ගොඩනැඟෙන බැඳීමක්. සැබෑ ආදරය කියන්නේ කෙනකු වෙනස් කිරීමට උත්සාහ කරන එක නෙවෙයි. ඔහු හෝ ඇය කවුරුන්ද යන්න පිළිගෙන එකිනෙකාගේ දියුණුවට සහය වීමයි. මගේ දෘෂ්ටියෙන් ආදරය යනු ජීවිතය වඩාත් අර්ථවත් සහ සුන්දර කරන ශක්තියක්.
ඔබ ගැන නැවත හැරී බැලුවොත් ඔබ, ඔබ ගැන තෘප්තිමත් ද ?
අනිවාර්යයෙන්ම මම මා ගැන වඩාත් තෘප්තිමත්.
අනාගත බලාපොරොත්තු ඇති ?
අනාගත බලාපොරොත්තුව රංගන ශිල්පියකු වීමයි.
ඔබේ ගමනට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කෙසේද ?
මගේ මවුපියන් සහ සහෝදරයන්ගෙන් මට ලොකු සහයක් ලැබෙනවා. නිරූපණ ශිල්පියකු ලෙස ඉදිරියට ගන්න ඔවුන් මට විශාල ශක්තියක් වී සිටිනවා.
මනෝජ් රුක්මල් කුමාරසිංහ
