නිසඳැසක, කවක දැවටුණු හැඟීමක් ගීයක දැවටූ රස මිහිරක් බවට පත් වූ කල දැනෙන මිහිර අපමණ ය.ආධුනික ලේඛිකාවක හා කිවිඳීයක වන ෂෙරීනා තල්පාවිල සිය කුලුඳුල් ගී නිර්මාණය ‘රෑ තරු ඇවිත්’ ඔස්සේ මේ වන විට සිය ප්‍රතිභාව නිර්මාණ ලෝකයේ ඔප් නංවමින් සිටී. කිවිඳීයක, නවකතා රචිකාවක ලෙස ක්ෂේත්‍රයට එක් වූ ඈ මේ වන විට නිර්මාණ ලොවට අලංකාර නිර්මාණ කීපයක්ම එක්කර අවසන් ය. මේ ඒ පිළිබඳ ඈ සමඟ කළ කතා බහය.
මම මුලින්ම සම්බන්ධ වෙලා වැඩ කළේ පුවත්පත් ක්ෂේත්‍රයට. ඒ මීට අවුරුදු දොළහකට දහතුනකට විතර කලින්. ලලිත් එදිරිසිංහ මහත්මයව හඳුන ගන්න ලැබුණෙත් ඒ අවධියේමයි. සඳ රේණු කියන පුවත්පතේ. ඔහුගෙනුත් ආරාධනාවක් ආව ලියන්න කියල. කෙටිකතා රචනයට තමා ඒ කාලෙ මුල්තැනක් දුන්නෙ. නමුත් ටික කාලෙකින් මට ලිවීම මඟ හැරුණා. මොකද මම වෙනත් රැකියාවක් ආරම්භ කළ නිසා.නමුත් රැකියාවේ කාර්‍යබහුලත්වය වගෙම ඉන් ඇතිවූ වෙහෙස නිසාත් මට නැවත ලිවීම පටන් ගන්න සිත් වුණා. ඒ ලියද්දි මම දිනපොත් තමයි බොහෝ දුරට භාවිත කළේ. නැවත විවාහයෙන් පසු ඒ ඇතිවූ කාර්‍යබහුල බවත් එක්ක ආයෙ ලිවීමටත් පොඩි විරාමයක් තැබුණා. හැබැයි ඉන්පස්සෙ නැවත දරුවන්ගෙ වැඩ කටයුතු සමඟ කාලය ගත කරද්දි ලියන්න පටන් ගත්තා. එවර මම මුහුණු පොතේ ලියන්න ගත්තෙ.
ඔය අතරෙ තමයි අජිත් සංජීව පෙරේරා කියන සහෘද සොයුරා මුහුණු පොතේ පළ කර තිබූ සටහනක් දුටුවෙ. ඔහු කියා තිබුණා නවකයන්ගේ ගී පද රචනා ඔහුගේ ගීත සඳහා යොදාගන්න කැමති බව. ඒ අනුවයි මම ලියපු එක් නිසඳැසක් ඔහුගේ මුහුණු පොතට එක් කළේ. ඒ දුටු පසු ඔහු මට කතා කළා. කතා කොට කීවා මේ යොමු කර තිබෙන නිර්මාණය ලස්සනයි කියා. ඒ වගේම දිගටම ලියන ලෙසයි ඔහු උනන්දු කළේ. එපමණක් නෙවෙයි ගී පද රචනාවක් කොහොමද නිවැරැදිව ගොඩ නැඟෙන්න ඕන කියන දේ ගැනත් ඔහු මට ගොඩක් ගුරුහරුකම් ලබා දුන්නා. ඒක තමයි මගෙ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඒ ඔස්සේ මේ වන විට මම ගීත දහයක් පමණ රචනා කර තිබෙනවා. ඒව මේ වෙද්දි ජනගත කර තිබෙනවා.මම මුල්ම ගීතය ලිව්වෙ අක්ෂා චමුදි දුවට. ඒ අජිත් සංජීව පෙරේරා සොයුරා නිර්මාණය කර තිබුණු තනුවකට. ‘රෑ තරු ඇවිත්’ කියල ලීව. ඒක තමයි මගෙ මුල්ම ගීතය. ඉන්පස්සෙ තවත් ගීත නවයක් ලිව්වා. ඒ ඔක්කොම යූ ටියුබයේ නරඹන්න පුළුවන්.
ලිවීම ඔස්සේ අපේ ප්‍රවීණ ගායනවේදී කීර්ති පැස්කුවල් මහතා හඳුනගන්න ලැබීමත් හරි විශේෂ දෙයක්. මොකද එතුමාත් මගෙ නිසඳැස් හා නිර්මාණ කියවා අගය කරන කෙනෙක්. එසේම ඒවායේ අඩුපාඩු සාදා ගැනීමටත් ගොඩක් උපකාර කරන අයෙක්.
ඇත්තටම මේ ගමනෙ මට ගොඩක්ම මඟ පෙන්වූ කෙනා තමයි අජිත් සංජීව පෙරේරා මහත්මයා. මොකද මගෙ නිසඳැස් ගීත රචනා බවට වර්ධනය කරගන්න ඔහු පෙන්වූ මඟ පෙන්වීම ගොඩක් ඉහළයි.
කියවීමට ගොඩක් කැමති කෙනෙක් මම. ඉතින් මම හිතනව ඒක තමයි මට ලියන්නත් ගොඩක්ම බලපෑවේ කියන එක.මගෙ හීනයක් තමයි ගීත පොතක් හා නවකතා පොතක් එළිදැක්වීම.
ඇත්තටම මේ යුගය තරුණ පරපුරට ගොඩක් සතුටු වෙන්න පුළුවන් යුගයක්. මොකද තමාට හැකියාවක් තියෙනව නම් ඉදිරියට යන්න ගොඩක් අවස්ථාව ද මාර්ග ද අද විවෘත වී තිබෙනවා. ඉස්සර වගෙ නෙවෙයි. තමාගෙ නිර්මාණයක් පළ කර ගැනීම හෝ අධ්‍යයන කටයුත්තක් සඳහා ගොඩක් මාර්ග තිබෙනව අද. විශේෂයෙන් සමජ මාධ්‍ය ආධුනිකයන්ට හොඳ තෝතැන්නක්. මම සමාජ මාධ්‍යය ඇසුරු කරමින් ලස්සන ගමනක් ආරම්භ කළ කෙනෙක්.
ඉතින් ඒ විදියටම මගෙ ඉදිරි නිර්මාණ ජීවිතයත් ඉදිරියට ගෙනියන්න කැමැත්තෙන් කටයුතු කරගෙන යනවා.
මගෙ නිර්මාණ ජීවිතය ගැන මම ගොඩක් සතුටුයි.
රෑ තරු ඇවිත් නොකියාම
සරසන්න සඳ නේන …
මේ රාත්‍රියේ …
ළා දම් වලාසැගවෙද්දි
ඔය හැටිම සීතලට මං ගුලිවෙවී..//
මීදුම් වලා හමනා සුළං එක්ක පාවී ඔහේ මං යමී…
තුරුලේ වෙළී පිපෙනා මලුත් එක්ක යාවී ඔහේ මං ඉමී…
රෑ තරු ඇවිත්…
නින්දේ එතී ඇහෙනා රැහැයි හඩට සිත නිව්නා මාගේ බැඳී..
ආසයි ඉතිං මට ඉන්න ආකාසෙ සිත නිවන තරුවක්ම වී..
රෑ තරු ඇවිත්…
Artist – aksha chamudi (අක්ෂා චමුදි)
Music & melody – Dinura dilkisha ( දිනුර දිල්කිෂ)
Lyrics – Sherina thalpawila ( ෂෙරිනා තල්පාවිල)
සමුද්‍රිකා වර්ණකුල
