Home » සතතාභ්‍යාසයෙන් එළිය දුටු විකල්ප රූපණවේදියා සෝමසිරි දෙහිපිටිය

සතතාභ්‍යාසයෙන් එළිය දුටු විකල්ප රූපණවේදියා සෝමසිරි දෙහිපිටිය

by mavan
June 11, 2026 12:41 pm 0 comment

සුපිරි සිනමා තරුවක් බවට පත්වීමේ මූලික සුදුසුකම් කිසිවක් නොමැති විකල්ප සිනමා තරු කලාත්මක හා සම්භාවනීය සිනමාපට මාදිලි සමඟ වැඩිපුර ඇයි හොඳයිකම් පවත්වන ආකාරය සිරිලක සිනමා ඉතිහාසය පිරික්සීමේදී සුලබව දැක ගත හැකිය. එනේමුදු මෙම හඳුන්වාදීම සහේතුක නොවන බව භාවිතයෙන්ම ප්‍රකට කළ විකල්ප සිනමා තරු හමුවීමද ඒ හැටි උගහට නොවේ. මෙයින් දනවන එක වැදගත් අදහසක් වනුයේ විකල්ප සිනමා තරු හා කලාත්මක සම්භාවනීය සිනමාපට මාදිලි අතර අවියෝජනීය සබඳතා දිගින් දිගටම පවතින බවයි. නිසැක වශයෙන්ම සිරිලක සිනමාවේ හමුවන විකල්ප සිනමා තරුවක් වන සෝමසිරි දෙහිපිටිය හැඳීන ගන්නා පළමු අවස්ථාවේදීම පසක් වන්නේ මෙකරුණුය.

සුපිරි සිනමා තරු අබියස ඔහු සපුරාම විකල්ප සිනමා තරුවකි. සුපිරි සිනමා තරු පෙනී සිටින පෙම්වතාගේ හෝ විරුවාගේ චරිතයට හේ කිසිසේත්ම නොගැළපෙන වග පැහැදිලිය. විටෙක ඔහු සටන්කාමියකුද වේ. එහෙත් සමකාලීනව එච්.ඩී.කුලතුංග, මර්වින් ජයතුංග හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු පෙනී සිටින දුදන සටන්කාමියාගේ චරිතය ගෙන ඒමට ඔහු උනන්දු නොවන තරම්ය. බැහැර නොකළ යුතුම කාරණයක් වනුයේ ඔහු කලාත්මක හා සම්භාවනීය සිනමාපට මාදිලි සමඟ පමණක්ම රැඳී නොසිටීමයි. වෙසෙසින්ම 1970 දශකයේ ප්‍රදර්ශිත ජනාකර්ෂණීය රසාලිප්ත සිනමාපට කිහිපයකදීම සිය රූපණ සමත්කම් ප්‍රකට කරන්නට ඔහු සමත් වූ බව කිව යුතුය.

මෙවැනි රූපණවේදීනට ප්‍රමුඛ චරිත නිරූපණ අවස්ථා ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. සෝමසිරි මෙම ඉරණමට සෘජුවම මුහුණ දුන් අයකු ලෙසින්ද හඳුනා ගත හැකිය. සැබැවින්ම ඔහු නිරූපණය කළේම සහය චරිත හෝ සුළු චරිතය. කෙසේ වුවත් සිය රූපණ ප්‍රතිභාව සියුම්ව උපයෝගී කොට ගන්නා සෝමසිරි ඉතා කුඩා චරිතයකට වුව ජීවය ලබා දෙන්නේ පරිණත ආකාරයෙනි. නිදසුන් ගණනාවක්ම වුව ඉදිරිපත් කළ හැකිය.

රූපණය විධිමත්ව හැදෑරිය හැකි පාසලක් හෝ වෙනත් එබඳු මධ්‍යස්ථානයක් නොමැති පසුබිමක සෝමසිරි පළ කරන මේ හපන්කම් කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නොවේ. සතතාභ්‍යාසය මෙතැනදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරලන වග පෙනේ. මේ අනුව දත හැක්කේ සෝමසිරි යනු සතතාභ්‍යාසයේම ගොදුරක් බවට පත්වූවකු ලෙසිනි. මෙහි වඩා පරිණත අවස්ථා දැක ගත නොහැකි වීම කනගාටුවට කරුණකි. මන්ද 1982 වසරේදී ඔහු අකල්හි සමුගන්නා හෙයිනි. මෙනිසාම 1980 හා 1990 දෙදශකයේ සිරිලක සිනමාවේ උන්නතිය පිණිස මැදහත්වීමේ අවකාශය ඔහුට අහිමි වෙයි. කෙසේ වුවද ඔහුගේ සමීපතම සමකාලීනයන් වන දයා තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි හා විමල් කුමාර ද කොස්තා බඳු රූපණවේදීන් 1980 හා 1990 දෙදශකයේ සිරිලක සිනමා රූපණය වෙත සාරවත් අවස්ථා එක් කළ බව පෙනේ. මේ සෝමසිරි අහිමි කර ගත් වැදගත්ම ජයග්‍රහණ විය යුතුය.

සෝමසිරි රූපණයට සපැමිණෙන්නේ වේදිකා නාට්‍යයෙනි. මේ පී. වැලිකලගේ හඳුන්වා දීම ඔස්සේය. සිරිලක ප්‍රසිද්ධ වේදිකාව තරණය කළ නාට්‍ය කිහිපයකම විවිධ චරිත නිරූපණය කිරීමේ භාග්‍යය සෝමසිරි වෙත උදා වූ බව දක්නට ලැබේ . සෝමසිරිගේ සිනමාවතරණය සිදුවන්නේද ප්‍රබලාකාරයෙනි. මේ සිරි ගුණසිංහගේ ‘සත් සමුදුර’ සිනමාපටයෙනි. ඉනික්බිතිව ගෙවී ගිය දහ අට වසර මුළුල්ලේ සිනමාපට ගණනාවකට සෝමසිරි රූපණයෙන් එක්වූයේ සුපිරි සිනමා තරු සිටීම හෝ නොසිටීම සම්බන්ධයෙන් වැඩිදුර සැලකිල්ලක් නොදක්වමිනි. ස්වීයත්වය සහිත රූපණ විලාසය මෙහිදී ඔහුට මහෝපකාරී වූ බව පෙනේ. රූපණවේදීන් පිරිසක් සමඟ සිටින කළ සොමසිරිගේ මෙම ස්වීයත්වයේ ස්වභාවය පිළිබඳ වඩා නිවැරදි අදහසක් සරි කර ගත හැකිය.

දහ අට වසරක් තිස්සේ සෝමසිරිව මෙහෙයවූ සිනමාකරුවන් වැඩි දෙනෙකු එක්කෝ සිරිලක කලාත්මක හා සම්භාවනීය සිනමාවේ කැපී පෙනෙන්නවුන්ය. නැතහොත් රසාලිප්ත සිනමාවේ පළමුවැන්නන්ය. සුපිරි රූපණ පෙනුමක් නොමැති සෝමසිරි වැන්නකු මෙසේ විවිධ සිනමාකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම දෙස තුලනාත්මකව බැලීම අත්‍යන්තයෙන්ම වැදගත්ය. සිරි ගුණසිංහ සමඟ මහගම සේකර, වසන්ත ඔබේසේකර, ටයිටස් තොටවත්ත, ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුනිල් ආරියරත්න, තිස්ස අබේසේකර, ගාමිණී ෆොන්සේකා, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ඩී.බී. නිහාල්සිංහ, එච්.ඩී.ප්‍රේමරත්න, සුමිත්‍රා පීරිස්, සිරිල් වික්‍රමගේ යන සිනමාකරුවන් සෝමසිරිගේ පරිණත විකල්ප රූපණය අපේක්ෂා කළ සිනමාකරුවෝ වෙති. එසේම මිල්ටන් ජයවර්ධන, සේන සමරසිංහ, රන්ජිත් පෙරේරා, ධර්ම ශශ්‍රී කල්දේරා, නිමල් සිල්වා, නීල් රූපසිංහ, ලුවී වැන්ඩස්ට්‍රාටන් යන සිරිලක රසාලිප්ත සිනමාව නන් අයුරින් පොහොසත් කළ සිනමාකරුවන්ගේ තෝරා ගැනීමටද සෝමසිරි බඳුන් විය.

මෙය විකල්ප සිනමා තරුවක් විසින් සැමවිටම උපයා ගනු ලබන තත්ත්වයක් නොවේ. සෝමසිරිගේ රූපණ දායකත්වය විමසීමේදී මේ කිසිසේත්ම අත්හළ යුතු නොවන කාරණයකි.

ප්‍රමුඛ චරිත නිරූපණයෙන් සෝමසිරි කැපී පෙනෙන අවස්ථා ඇත්තේ සුළු සංඛ්‍යාවකි. ටයිටස් තොටවත්තගේ ‘සිහසුන’ එවැන්නකි. එසේම වසන්ත ඔබේසේකරගේ ‘වෙස්ගත්තෝ’ , ‘දියමන්ති’ හා ‘වල්මත්වූවෝ’ යන සිනමාපට වෙතින්ද සෝමසිරිගේ ප්‍රමුඛ රූපණ දක්නට පුළුවන. මෙහිලා ඔහු ප්‍රමුඛ පුරුෂ චරිත දෙකතුනක් සමඟම මෙම රූපණ කාර්යයෙහි නිරත වෙයි. ‘වෙස්ගත්තෝ’ හි සිරිල් වික්‍රමගේ හා නාමෙල් විරමුණි සමඟය. මේ දෙදෙනා කිසිසේත්ම සුපිරි සිනමාතරු නොවෙති. ‘දියමන්ති’ හිදී විජය කුමාරතුංග හා මාලිනී ෆොන්සේකා යන සුපිරි සිනමා තරු යුගලද සමඟිනි. විමල් කුමාර ද කොස්තාද මෙතැනට එක්ව සිටි වග සිහිකටයුතුය. ‘වල්මත්වූවෝ’ හිදී ඔහු සිය චරිතය නිරූපණය කරන්නේ ටෝනි රණසිංහ, සිරිල් වික්‍රමගේ, නාමෙල් වීරමුනි හා ෂර්ලි ගෝමස් සමඟිනි. මෙහි ටෝනි නිරූපණය කළේද තරුණ චරිතයකි.

‘වල්මත්වූවෝ’ හි එන්නේ විරැකියාවෙන් පීඩා විඳීන ගැමි තරුණ පිරිසක් ආදායම් සොයා වරෙක අවදානම් තීන්දුද ගන්නා අවස්ථා නිරූපිත පුවතකි. බැලූ බැල්මට මෙහි එක් අයකුගේ චරිතය නිරූපණය කරන සෝමසිරි වෙතින් තාරුණ්‍යයේ ලකුණු දිස් නොවන තරම්ය. මුල් සමයේ සිටම ඔහු මෙය අභියෝගයක් කොට භාරගත් බවක් පෙනේ. තුරුණු බව වෑහෙන විජය කුමාරතුංග හා මාලිනී ෆොන්සේකා වැනි සුපිරි තරු සමඟ හරි හරියට රූපණ කාර්යයෙහි නිරත වීමට ඔහු සමත් වන්නේ මේ අනුවය.

‘වල්මත්වූවෝ’හි තරුණයන්ගේ දිවි සාරවත් නොවේ. ඔවුහු පවත්නා අසංවිධිත සමාජ රටාවේ ගොදුරු බවට පත්වෙති. මෙය හොඳීන්ම පිළිබිඹු කරන චරිතය ලැබෙන්නේ සෝමසිරි නිරූපණය කරන සෝමදාසගේ චරිතයටයි . එක් තරුණයකු ගම හැරදා නගරයට යයි. තවෙකෙකු පෙම්වතිය ගැබිනියක කොට අතුරුදන් වෙයි. නීතියට පටහැනි වීම නිසා තවත් අයකු පොලිස් අත්අඩංගුවට පත් වෙයි. අනෙක් තරුණයා දිවියෙන් වන්දි ගෙවයි . නගරයට යන මිතුරා ගම කෙළවරට ඇරලවා ආපසු හැරෙන සෝමදාස ගොඩවන්නේ සමීප ඇසුරක් පවත්වන විවාහක යුවතියකගේ නිවහනටය. පසුබිමෙන් සදය උපහාසය හා හුදෙකලාව දනවන සිනා හඬකි. සෝමසිරි, සෝමදාසගේ මේ අත්දැකීම නිරූපණයේදී පෙන්වන පරිණත බව සිනමාපටයේ විශිෂ්ටත්වය අවධාරණය කරයි .මේ වසන්ත ඔබේසේකරහ්ගේ මුද්‍රාව වඩා නිශ්චිතව සනිටුහන් වූ පළමු අවස්ථාවද වේ.

සෝමසිරි සිරිලක සිනමාවේ විකල්ප තරුවක් වන්නේ වැඩිහිටි චරිත සඳහාද නොපැකිළව පෙනී සිටිමිනි. සුනිල් ආරියරත්නගේ ‘සරුංගලේ’ හා තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’ මෙසේ සෝමසිරිගේ වැඩිහිටි චරිත නිරූපණයේ ඵලදායීම අවස්ථාය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT