නර්තන ශිල්පියකු, ලේඛකයකු , කථිකාචාර්යවරයකු ආදී විවිධ භූමිකා රැසක් ඔස්සේ සිය දක්ෂතාවන් ඔප්නංවා තිළිණ සූරියපති තමන්ගේ තාල නෘත්‍ය කලා කේන්ද්‍රයේ සිසුවියන් පිරිසක් එකතු කර ගනිමින් පායින්පත් පැලඳවීමේ කලා මංගල්‍යයක් පැවැත්වීමට මේ වනවිට ලහිලහියේ සූදානම් වෙමින් සිටියි. ලබන 23 වැනි දින දන්තුරේදී පැවැත්වෙන එකී කර්තව්‍යය පිළිබඳවත් මේ වසරේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන ඔහු විසින් රචිත ග්රන්ථ පිළිබඳවත් සරසවිය හා කතාබහකට එක්වුණේ මෙලෙසිනි.
ඔබේ තාල නෘත්‍ය කලා කේන්ද්‍රය මඟින් සිදු කරන පායිිම්පත් පැලඳවීමේ කලා මංගල්‍යය ගැන පැහැදිලි කළොත්?
ඇත්තෙන්ම තාල නෘත්‍ය කලා කේන්ද්‍රය පායිම්පත් මංගල්‍යයක් පැවැත්විය යුතුයි කියා තීරණය කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ . කලක සිටම ඒ සඳහා අපි සූදානම් වුණා . එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වසරේ ජනවාරි මාසයේදී එහි මුහුරත් උලෙළ පැවැත්වුණා. මේ මස 23 වැනිදා පායිම්පත් මංගල්‍යය පැවැත්වීමට සූදානම්. මේ සඳහා සහභාගී වන්නේ ගැහැනු ළමුන් . කුමරියන් 14 දෙනෙක්. ඔවුන් නර්තන ශිල්ප ශාස්ත්‍රාදිය පමණක් නොවේ, නර්තනාදියේ ඇතුළත් ගුණධර්මයන් ප්‍රගුණ කළ අයයි. පිරිමිළමුන්ගේ හිස්වෙස් පැලඳවීමේ කාර්යය තරම් ලොකු ඉතිහාසයක් කාන්තා පායිම්පත් තැබීමට නැහැ. දශක ගණනකට පෙර තමයි කාන්තාවන්ට ශීර්ෂාභරණ පැලඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වුණේ. එසේ අපි හෙළ කුල සිරිතට, අපේ සංස්කෘතියට, නර්තනයට සමගාමීව දිවෙන උප සංස්කෘතික ලක්ෂණවලට එකඟව තමයි අපේ මේ පායිම්පත් පැලඳවීමේ කලා මංගල්‍යය පැවැත්වෙන්නේ .
මේ කාර්යය සඳහා යොමු වුණේ කෙසේද?
මේ කාර්යය සිදුවීමේ පෙරනිමිත්ත වුණේ තාල නෘත්‍ය කේන්ද්‍රයේ දැරියන්ගේ මවුපියන් කිහිප දෙනෙක් පායිම්පත් මංගල්‍යයක් පවත්වන්නැයි කියා මගෙන් කළ ඉල්ලීමයි. එහිදී මම තීරණය කළා මේ දැරිවියන් ඒ සඳහා තවමත් සුදුසු නැහැයි කියලා. ඒ කාලේ ඔවුන් නර්තනය සම්බන්ධව ආධුනික මට්ටමක හිටියේ. ඒත් නැවත නැවත මවුපියන් මගෙන් ඒ ඉල්ලීම කළා. එනිසා මම කල්පනා කළා ඒ දැරිවියන් දිහා බලලා, ඔවුන් පිළිබඳවත් සලකා බලා පායිම්පත් තැබීමට සුදුසු මට්ටමක සිටින ළමුන් කිහිපදෙනෙක් පමණක් තෝරගන්න. ඒ අනුවයි මේ දැරිවියන් 14දෙනා තෝරාගැනුණේ. මේ කලා මංගල්‍යයට නිමිත්ත වුණේ දැරිවියන්ගේ මවුපියන් කළ බලවත් ඉල්ලීමයි.
පායිම්පත් මංගල්‍ය වැඩසටහනේ පෙළගැස්ම කොයි අයුරින්ද සිදුවන්නේ?
මේ ශීර්ෂාභිමානී පායිම්පත් මංගල්‍යය සිදුකෙරෙන්නේ මේ මාසේ 23 වැනිදායි. මෙහි පූර්ව චාරිත්‍ර 22 වැනිදා පැවැත්වෙනවා. ඉකුත් ජනවාරි මාසයේදී මෙහි මුහුරත් මංගල්‍යය පැවැත්වූවා. ඉකුත් අප්‍රේල් 27 වැනිදා මේ වෙනුවෙන් මහා බෝධි පූජාමය පින්කමක් පැවැත්වූවා. මැයි 01 වැනිදා දානමය පින්කමක් පැවැත්වූවා. දළදා මාලිගාවෙන් ආශීර්වාද ගැනීමේ වැඩසටහන මැයි 05 වැනිදා පැවැත්වුණා. ඉදිරියේදීත් මහා බෝධි පූජාමය පින්කමක් පැවැත්වෙනවා. 22 වැනිදා පැවත්වෙන පූර්ව චාරිත්රවලදී සංස්කෘතික චාරිත්‍රවලට අනුකූලව මේ දැරිවියන් ස්නානය කරවීම සිදුකෙරෙනවා. එහිදී යම් තොටකට රැගෙන ගොස් ඒ ළමුන්ව නෑවීම කළ යුතුයි. එදාට බෝධි පූජාමය පින්කමක් සහ ඒ දිනවලම අවසන් පුහුණුවීම් ද සිදුකෙරෙනවා. ඒ සතියේමයි මේ පායිම්පත් මංගල්‍යයට තොරණ සහ යහන් ආදිය සැරසවීම ආරම්භ වෙන්නේත්. 18 වැනිදා සිට වගේ ඒ කටයුතු පැවැත්වෙනවා. 22 වැනි දින රාත්‍රියේ හඟුල පේ කිරීමේ චාරිත්‍රය සිදුවෙනවා. එය දන්තුරේ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. 23 දා පාන්දර ම රාජපූජිත වල්ගම්පායේ අභයරාජ රජමහා විහාරස්ථානයේදී ශීර්ෂාභරණ පැලඳවීම හෙවත් පායිම්පත් මංගල්‍යය සිදුවෙනවා. එසේ ශීර්ෂාභරණ හෙවත් පායිම්පත් පැලැන්දීමෙන් පසුව විවිධ චාරිත්‍රයන් තිබෙනවා. එකී චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව එදින උදෑසන 7:30ට පමණ දන්තුරේ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී මේ පායිම්පත් මංගල්‍යයේ නර්තනයන් ඉදිරිපත් කෙරෙනවා.
මේ සඳහා පෙර පුහුණුවීම් සිදුවූ ආකාරය කීවොත්?
මුලින්ම අපි මුහුරත් උලෙළටයි පුහුණු වුණේ. මූලික අවධියේ තිබූ ආධුනික නර්තන ශිල්පියකු පුහුණු විය යුතු පා සරඹ, ගොඩ සරඹ සහ සාමාන්‍ය සරල වන්නමක් වන නයියඩි වන්නම ආදියයි මේ මුහුරත් උලෙළ සඳහා අපි යොදා ගත්තේ . වෙස් මංගල්‍යයට නම් මාස තුනක සිටම පුහුණුවීම් කෙරෙනවා. ඒ සඳහා නර්තනාංග තුනක් පුහුණු වුණා. පළමුවෙන්ම මංගලම් නර්තනය ඉදිරිපත් කෙරෙන්නේ. එහි තිබෙනවා තිත් පහේ මංගලම්, දෙතිතේ මංගලම් සහ තනි තිතේ මංගලම් යන ප්‍රභේද තුන. ඒ ප්‍රභේද තුනම එකතු කරලා තමයි මේ නර්තනාංගය නිර්මාණය කර තිබෙන්නේ. ඊළඟට දෙවියන් උදෙසා නර්තනය කරනු ලබන කෝල්මුර නර්තනයත්, ඉන්පසු ඕඩිය නමැති වේගාත්මක නර්තනයත් තමයි පුහුණු වුණේ.
තාල නෘත්‍ය කලා කේන්ද්‍රය ඇරඹුණු ඒ අතීතයට ගියොත්?
2017 වසරේ තමයි මෙය ඇරඹුණේ. උසස් පෙළට නර්තනය හදාරනු ලැබූ ශිෂ්‍යාවකගෙන් තමයි මේ තාල නෘත්‍ය කලා කේන්ද්‍රය ඇරඹුණේ . ඉන්පසු ක්‍රමයෙන් ළමයි සිය ගණනක් මේ වටා එකතු වුණා . යටිනුවර ප්‍රදේශයේ කොටලිගොඩ ග්‍රාමයේදී තමයි තාල නෘත්‍ය කලා කේන්ද්‍රය මුලින්ම පටන් ගත්තේ. ඉන්පසු මගේ විශ්වවිද්‍යාල ආගමනයත් සමඟ නෙළුම්දෙණියේ නර්තන පන්තියක් ළමුන් දාහතරකගෙන් වගේ ආරම්භ කළා . අද වෙද්දී මේ ස්ථාන දෙකෙහිම නර්තන පන්ති පැවැත්වෙනවා . මම බොහෝ විට කටයුතු කරන්නේ දන්තුරේ තාල නෘත්‍ය කලා කේන්ද්‍රයේ . මා යටතේ සිටින ගුරුවරුන් දෙදෙනකු තමයි නෙළුම්දෙණිය ශාඛාවේ වැඩ කරගෙන යන්නේ. මෙය තනි ළමයකුගේ ආරම්භ වී අද වෙද්දී ළමුන් සිය ගණනක් ඉගෙන ගන්නා අධ්‍යාපන ආයතනයක් බවට පත්වෙලා . නර්තනය උගන්වන වෙනත් අධ්‍යාපන ආයතනවලට වඩා අපි නර්තන අධ්‍යාපනය ප්‍රමිතිගත කර ඉගැන්වීම සිදුකරනවා. එය අනෙක් ඒවාට වඩා අපේ විශේෂත්වයක්. නර්තනයන් උගන්වමින් එහි ඓතිහාසික පසුබිම, එය කුමක් සඳහා කුමකටද ,කුමක් අරඹයා නර්තනය කරනවාද, ඉන් ලැබෙන සාතිශය ප්‍රතිඵල මොනවද යන්න ගැන අපි ළමුන්ට උගන්වනවා. නර්තනය සමඟ දිවෙන අනෙකුත් කලා විෂයනුත් සමෝධානික කර අපි උගන්වනවා.
නර්තනය පිළිබඳ ඔබ කුඩා අවධියේ සිටම ආසක්තව සිටියාද?
අවුරුදු දෙකේ පමණ සිට මම නර්තනයට ඇලුම් කළ බව මගේ මවුපියන් මට කියා තිබෙනවා. මගේ මතකයේ හැටියට මට අවුරුදු හතරෙදී තමයි කංකාරි නැටුම්වලට සම්බන්ධ වෙන්නේ. අපේ ගමේ එකල තිබුණා වීර මුණ්ඩ කංකාරියක්. ඒ කංකාරිය මැදට පැනලා කුඩා වයසේදීම මම නටනවා. එකල අපේ ගම්වල කංකාරියන් බොහොමයක් නිතරම පවත්වනවා. අවුරුදු 06 විතර වෙද්දි අපේ ප්‍රදේශයේ අමුණුගම ගුරු කුලයට අයත් කලාභූෂණ, කලාගුරු සුමනදාස රාජපක්ෂ ගුරුතුමා නර්තනයට ප්‍රසිද්ධව සිටියා. මම එකල එතුමා ළඟට යොමුවුණා ඉන්පසු වසර හතරක් පමණ ඔහු යටතේ උඩරට නර්තනය හැදෑරුවා. අවුරුදු 10දී තමයි මම වෙස් තැබුවේ. ඉන්පසු මම නොයෙක් නර්තන අධ්‍යයන ආයතනවල ඉගෙන ගත්තා .
ඔබේ නිර්මාණාත්මක දිවියට ඔබ හැදුණු වැඩුණු ගමේ ආභාසයක් බලපාන්න ඇති?
ඔව්, මම හැදුණු වැඩුණු ගම මගේ නර්තන කලාවට ඉතා විශාල ලෙස ඉවහල් වුණා . විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී පවා මගේ ගමේ තිබූ ඒ කංකාරි නැටුම් වැනි ගැමි නර්තනවල ආභාසය උපකාරී වුණා . ගමේදි ලද අත්දැකීම් මගේ නර්තනයට පමණක් නොවෙයි, මා ලියූ කෘති සඳහාත් උපයෝගී වුණා.
තිළිණ සූරියපති නමැති ලේඛකයා පිළිබඳ හඳුන්වා දුන්නොත්?
කුඩා අවධියේදියි මම ලේඛනයටත් යොමුවුණේ. නිසි ලෙස භාෂාව පරිභාවිත කරමින් පළමුවෙන්ම ලේඛනයක් සම්පාදනය කළේ 2016 දියි. එයට මට ප්රබුද්ධ පාඨක සම්මානය ලැබුණා . සම්මානය නිසා මට ලොකු උත්තේජනයක් ලැබුණා ඉදිරි ලේඛන කටයුතුවලට. ඉන්පසු පුවත්පත්, සඟරා ආදියටත් ලිපි සැපයූවා. මේ වනවිට මම කෘති කිහිපයක්ම ලියා පළ කර තිබෙනවා. ‘ක්ෂීණාශ්රව මාර්ගය නමැති ආධ්‍යාත්මික පර්යේෂණ කෘතියත්, ‘ඉසිවර වෙදැදුරු’ නවකතාවත් ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා . නොබෝ දිනෙකින් ‘ මාගම රාජධානියේ මුල් පිහිටීම සහ එහි දේශපාලනික අභිවර්ධනය ‘ නමැති පුරාවිද්‍යා පර්යේෂණ කෘතිය එළිදැක්වීමට නියමිතයි. ඊට අමතරව ඉසිවර වෙදැදුරු කොටසත් ‘මිනිකෝ’ නවකතා මාලාවත් මේ වසර ඇතුළත ඔබට කියවීමට හැකිවේවි.
ඔබේ ලේඛනයේ තුළ සම්භාව්‍ය ශෛලියක් දක්නට ලැබෙනවා?
ඔව්, ඒ ගැන බොහෝ උගතුන් ප්‍රකාශ කර තිබෙනවා. මම මහනුවර ධර්මරාජයේ ඉගෙන ගන්නා විට මට ලේඛනයට අත්පොත් තියන්න උපදෙස් දුන් පළමු ගුරුවරයා වුණේ සිංහල භාෂාව ඉගැන්වූ ආචාර්ය වසන්ත රත්නායක ගුරු මහතායි. ඔහු තමයි මේ සම්භාව්‍ය ශෛලිය දෝතින්ම ගෙනැවිත් මගේ අතට දුන්නේ. ඔහු මට කිව්වා මේ මේ කෘති, වචන කියවන්න කියලා. එකල මම සෑම විටම මහා සිංහල ශබ්දකෝෂය අතේ තියාගත් ගමන්මයි හිටියේ. ඔහුගේ බලපෑම මගේ සම්භාව්‍ය ලේඛන ශෛලියට බොහෝ සේ බලපෑවා . බළන්ගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමි, පොල්වත්තේ බුද්ධදත්තු මහා නාහිමි වැනි පැරණි වියතුන්ගේ කෘති කියවීමට අවස්ථාව ලැබුණා. එකී කෘති පරිශීලනයෙනුත් නෛසර්ගිකවම එහිවූ භාෂා ශෛලියට මගේ සිත ඇදී ගියා . නිරන්තරයෙන් එකී සම්භාව්‍ය භාෂාවට ඇලුම් කළ නිසාම ආයාසයකින් තොරව, යම් කෘතියක් සම්පාදනය කරන විට සම්භාව්‍ය භාෂා ශෛලියට මම ඉබේටම අනුගත වෙනවා . සම්භාව්‍ය ශෛලිය යම් පාඨක පිරිසකට පමණක් යන නිසා පසුකාලීනව මම සරල භාෂා ශෛලියෙනුත් මම පොත් කිහිපයක් ලිවීමට යොමු වුණා. ‘ඉසිවර වෙදැදුරු’ නවකතාව ඉතා සරල බසින් මම ලිව්වේ.
ඔබ තුළ සිටින ලේඛකයා නර්තන ශිල්පියා, කථිකාචාර්යවරයායන භූමිකාවන් එකිනෙකට සමපාත වන බවක් මට පෙනෙනවා ?
කථිකාචාර්යවරයකු සතුව තිබිය යුතු දේ තමයි පර්යේෂණ සිදුකිරීම, නව දැනුම් සොයා යෑම. එහිදී ඔහු ලබා ගන්නා ප්‍රතිඵල විද්‍යාර්ථියා වෙත යොමු කරනවා. විද්‍යාර්ථියා ඉන් දිරිමත්ව ඔහුත් පර්යේෂණ කාර්යයන්හි නියැළෙනවා, නව දැනුම් සොයා යනවා. ඒ දැනුම එක්රැස් කර යම් අයුරින් සංරක්ෂණය කිරීමේ ක්රමෝපායක් තමයි. කලාව කියන්නේ. කෘතියට තමන්ගේ දැනුම එකතු කර, නව දැනුම සම්පාදනය කර එය කෘතියක් තුළ අපි සංරක්ෂණය කරනවා. කථිකාචාර්යවරයා කළ පර්යේෂණයන්හි දත්ත සංරක්ෂණය කිරීමේ ක්රමෝපායක් ලෙසයි කෘතියක් සම්පාදනය වීමෙන් සිදුවන්නේ. නර්තන ශිල්පියා ඊට වඩා තරමක් වෙනස් වුවත් ඔහුටත් දැනුම අවශ්‍යයි. ඔහුත් පර්යේෂණ කළ යුතු අතර, නවදැනුම හඹා යා යුතුයි. එබැවින් මේ භූමිකා ත්‍රිත්වයේම තිබිය යුතුයි නිර්මාණාත්මක ගතිලක්ෂණ, පරිකල්පනය, ප්‍රතිභාව, නිර්මාණය වැනි දේ මේ භූමිකා තුනටම පොදුයි. ඉහත කරුණු තුළින් මේ භූමිකා ත්‍රිත්වයම එකිනෙකට සමපාත වන බව මගේ හැඟීමයි.
හැකියාවන් රැසකින් සමන්විත ඔබ, ඔබ දෙස ආපසු හැරී බැලීමේදී තෘප්තිමත්ද?
එයට පිළිතුරක් ලබාදීම අපහසුයි. මගේ කාර්යයන් සමහරක් හිතසුව පිණිස, උන්නතිය පිණිස හේතුකාරක වී තිබෙනවා කියා මා සිතනවා. එතුළින් මට යම් ආත්මතෘප්තියක් ලැබෙනවා . පායිම්පත් තැබීමේ කාර්යයේදී පවා එම ළමුන් වෙනුවෙන් මම යමක් කළා කියන හැඟීමෙන් මම තෘප්තිමත්. සමස්තයක් ලෙස මේ පැනයට සෘජු පිළිතුරක් දෙන්න මට බැහැ.
ඉදිරි නිර්මාණ ගැන කීවොත්?
පායිම්පත් මංගල්‍යයන් ඉදිරියටත් පවත්වාගෙන යනවා. ශිර්ෂාභරණ පලඳීන නර්තන ශිල්පිනියන් එකතු කර ප්‍රසංගයක් පවත්වන්නත්, මගේ ඒක පුද්ගල නර්තන ප්‍රසංගයක් පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා. නර්තනය පිළිබඳ පර්යේෂණ කෘතියක් (භරත නාට්‍යම් විෂය පිළිබඳ) සම්පාදනය වෙමින් පවතිනවා . නවකතා ද්විත්වයකුත් ‘ඉසිවර වෙදැදුරු 02 හා 03’ කොටස් මේ වසරේ නිකුත් වීමට නියමිතයි. පුරාවිද්‍යා පර්යේෂණ කෘතියත් (මාගම රාජධානිය පිළිබඳ) නිකුත්වීමට ඉතා ආසන්නයි.
මනෝජ් රුක්මල් කුමාරසිංහ
