ගෙදර වැඩ කටයුතු කොහොමින් කොහොම හරි එක ලාසයක් කර ගන්නවා. යාම්තමින් පදිංචි විය හැකි තත්වයකට ඇවිත් තියෙනකොට දවසක් සුරේන් මට මෙහෙම කියනවා.
‘අපි අලුත් ගෙදර පදිංචියට යමු. ඉතිරි ටික ගිහින් හදාගමු…
සුරේන්ගේ ඒ වචනයට මමත් එක පයින්ම කැමති වෙනවා. ඒකට අපේ අම්මගේ ආශිර්වාදයත් නොඅඩුවම ලැබෙනවා. මේ නිසාම අපි වෙලාවක් බලලා ගෙදර පදිංචියට යන්න දිනයක් දාගන්නවා. මට අදටත් හොඳීන් මතකයි එදා මගේ අලුත් ගෙදරට ඉස්ඉසරලාම ගෙවදුණේ මමයි සුරේනුයි අපේ අම්මයි තමයි. අපි ස්වාමින් වහන්සේලා වඩම්මවලා පිරිත් සඣජායනාවක් කළා. හාමුදුරවරු පිරිත් කියන අතරතුරේ අම්මා ගේ හැමතැනම ඇවිදින්න ගත්තා.
‘‘අනේ මන්දා සුදු…… ඔයා කොහොම මෙහෙම ගෙයක් හැදුවද කියලා. මට නම් මෙහෙම දෙයක් ගැන හිතන්නවත් බෑ” මම දන්නවා මටනම් මේහෙම කරන්න බෑ කියලා…..
අම්මා එහෙම කිව්වේ මම ගැන හැබෑ සෙනෙහසකින් කියලා මම දැනගෙන හිටියා. තමන්ගේ දරුවෝ ජීවිතේ ජයගන්නවා දැකීම තරන් සතුටක් අම්ම කෙනෙකුට තවත් තිබිය නොහැකියි. අපේ අම්මගේ ඒ සතුට කොයිතරම්ද කියලා එදාට වඩා මට දැනෙන්නේ අද. මොකද අද මමත් අම්මා කෙනෙක් වෙලා ඒ අත්දැකීම් විඳීනකොට මම දන්නවා මගේ දරුවා වෙනුවෙන් මගේ හිතේ ඇතිවන හැඟීම්. කොහොම වුණත් අපේ අම්මා ට මේ සතුටත් එක්ක වැඩිකල් ජීවත් වෙන්න ලැබුණේ නැ. 2003 වසරෙදි එයා අපි හැමදෙනාම දාලා යනවා.
අම්මගේ ජිවිතේ ලස්සන ගෙයක්, දොරක් ගැන හීනයක් අම්මට කවදා වත් තිබුණේ නෑ කියලා මම දැනගෙන හිටියා. එයා යාන වාහන, ගෙවල් දොරවල් දැසි දස්සෝ ඉඩ කඩම්, මිල මුදල් මේ හැම දෙයක්ම අතේ ගුලිකරන් ඉපදුණ ගැහැනියක්. එයාට කිසිම දේකින් අඩුපාඩුවක් තිබුණේ නෑ. එයාගේ අම්මගේ ගෙදර ඉලංගන්තිලකලාගේ පොල්ගස්දෙනිය වලව්වේ මැද මිදුල් විතරක් හතක් තිබුණා. ඒත් අම්මා මේ එක්කොම දාලා තාත්තා එක්ක විවාහවෙලා පුංචි ෆ්ලැට් එකක ජීවත් වුණා. ඊට පස්සේ අම්මා නොයෙක් තැන්වල හිටියේ පුංචි ගුලි ගෙවල්වල. තාත්තාගේ ගෙදර ගියත් තාත්තාගේ අම්මලා තාත්තලා අම්මව ආදරයෙන් පිළිගත්තත් එයාට එතැන රැඳෙන්න බැරි වුණා. ඒ නිසා එයාගේ හිතේ කවදාවත් සුන්දර ගෙවල් ගැන හින තිබුණේ නෑ. ඒනිසා මම ඒ හීනෙට යනවිට එයා අප්රමාණව සතුටු වෙන්න ඇති.
කොහොමහරි 2003 දි අම්මා අපෙන් වෙන්වෙනවා. එතකොට එයාගේ වයස අවුරුදු හැට දෙකක් විතර ඇති. මේ වෙනකොට තාත්තා හිටියේ ගම්පොළ එයාගේ මහ ගෙදර. තාත්තා අවසන්වරට අම්මට සමු දෙන්න කොළමට එනවා. මම ඒ මොහොත වනවිට හිටියේ බැංකොක්වල. ගිය වැඩකටයුතු සියල්ල මඟ නතරකරලා මම අම්මගේ මළ ගමට සහභාගි වෙන්න ලංකාවට එනවා. තාත්තා අම්මගේ මිනිය ගාවට ඇවිත් හරියට දුක් වෙනවා. එයා කියනවා ‘මම හිතුවේ තලතා මට පස්සේ යයි කියලා.
ඇත්තටම තාත්තා අම්මගෙන් වෙන්වෙලා හිටියට අම්මට පුදුම තරමින් ආදරය කළා. සමහරවිට එයා වෙන විවාහයක් ගැන හිතුවේ නැත්තෙත් ඒ ආදරේ නිසාම වෙන්න ඇති. නැත්නම් තාත්තගේ මවුපියන් ඒ කාගේ තාත්තට මංගල යෝජනා ඕන කරම් අරන් ආවා. ඒවට කැමැති නොවෙන්න තවද් වැදගත්ම කාරණාවක් වුණේ අපි තුන්දෙනාත් වෙන්න ඕන. අම්මගේ වියෝව ඇත්තටම තාත්තට දරා ගන්න හරි අමාරු වුණා.
තාත්තාට වගේම අම්මගේ වියෝව මට තදින් දැනෙන් ගත්තා. මටයි කියලා කොළම හිටිය එකම හයිය මට නැති වුණා. ඒ වෙනකොට අනිත් අය විවාහ වෙලා හිටපු නිසා ඒ අයට ඒක මට තරම්ම දැනෙන් නැතුව ඇති කියලා මට හිතෙනවා. මට සුරේන් හමුවෙලා හිටියත් ඒ වෙනකොට අපි විවාහ වෙලා හිටියේ නෑ. මම සුරේන්ට ආදරය කරන බව අම්මා දැනගෙන හිටියා. ඒත් එයා හැමදාමත් කිව්වේ ඕක එයාට හරියන්නේ නෑ. කියලමයි. මම අදටත් දන්නේ නැ අම්මා ඇයි එහෙම කිව්වේ කියලා. නමුත් අම්මා ඉන්නතුරුම සුරේන් අපේ ගෙදර ආවම එයාට බොහොම ආදරෙන් සැලකුවා.
අම්මාගේ වියොවත් එක්ක මා වටා සිටි මහා පවුර නැතිවුණා. හරියටම මම හුදකලා බිමක තනිවුණා වගේ දැනුණා. ඒත ජීවිතයට කොහොම හරි මුහුණ දෙන්න ඕන නිසා අමාරුවෙන් හිත හදා ගත්තා. තාත්තා අම්මගේ අවසන් කටයුතු ඉවරවෙලා නැවත වතාවක් ගම්පොළ එයාගේ මහ ගෙදරට ගියා.
ඉන් පස්සේ තමයි මම සුරෙන් සමඟ විවාහ වෙන්න තීරනය කරන්නේ. මේ විවාහයට සුරේන්ගේ ගෙදරින් පොඩ්ඩක් වත් කැමැති වෙන්නේ නෑ. සමහර විට මම නිළියක් නිසා වෙන්න ඇති. මේ නිසාම සුරේන්ට ගෙදරින් ලැබෙන්න තිබෙන කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. ඒ මොනවා නැති වුණත් සුරේන් එක තීරණයක හිටියා. ඒ නිසා අපි දෙන්නා විවාහ වුණා. ජීවිතේ සැප වගේම දුකත් අපි දෙන්නා එකට අත්වින්ඳා.
සුරේන්ගේ ආර්ථික හයිය බිඳුණා කියලා අපි දෙන්නා සැලුණේ නෑ. කොහොම හරි ජීවිතේට මුහුණ දුන්නා. ගෙවල් දොරවල් හදමින් හිටි නිසා ඒවට මගේ මුදල් යට කරලා තිබුණ නිසා අපිට ආර්ථික දුෂ්කරතාත් කොතෙකුත් ආවා. ඒකාලේ සුරේන්ට තිබුණු වාහනය පවා නැතිවුණා. මට මතකයි ඒ කාලේ නාවින්න ඇමැතිතුමා සුරේන්ට පාවිච්චි කරන්න වාහනයක් දුන්නා. නාවින්න ඇමතිතුමා සුරේන්ව සමීපව ආශ්රය කරපු අය. නමුත් මේ දුක් හැමදාමත් තිබුණේ නැත. ටික කාලයක් යනකොට සුරේන්ගේ තාත්තට දුක හිතිලා සුරේන්ට කෝල් කරන්න පටන් ගත්තා.
කන්න නැතිව මැරෙන්නද හදන්නේ අහලා ගෙදර එන්න කිව්වා. සුරේන් ඊට පස්සේ ගෙදරට යන්න එන්න පටන් ගත්තා. ඒත් මම හෙටිටිපොල මහ ගෙදරට ගියේ නෑ. සුරේන් සති අන්තයේ ගිහින් ආවා. මට තවමත් මතකයි ඔහු ගෙදර ගිහින් එනකොට වාහනේ පුරවලා ගෙදරට බඩු එවනවා. සුරේන්ගේ තාත්තා හෙට්ටිපොල හිටපු ලොකුම තොග බඩු මුදලාලි. ඒනිසා ඔවුනට කවදාවත් අඩුපාඩුවක් තිබුණේ නැ. ඇත්තටම ඒ දවස්වල තමන්ගේ පුතා නිළියක් එක්ක පැටලිලා කියන එකට ඒ තාත්තා හොඳටම බය වෙන්න ඇති. නමුත් සුරේන් එයාගේ සියලු දේපළ අතහැරලා මාව විවාහ කර ගත්තා. ඒ ගැන මගේ ලොකු ගෞරවයක් එයාට අදටත් මගේ හිතේ තිබෙනවා.
ටික කාලයක් යනකොට සුරේන්ගේ තාත්තට මේ සේරම අමතක වෙනවා. මම තෙනුකි හම්බවෙනකුරුම සුරේන්ගේ තාත්තා ගාවට ගියේ නෑ. තෙනුකි වඩාගන්න පුළුවන් වුණාට පස්සේ දවසක් සුරේන් තෙනුකිත් වඩාගෙන මාවත් අරගෙන තාත්තාව බලන්න ගියා. එතකොටත් එයා කඩේ කැෂියර් එකේ වාඩිවෙලා හිටියේ. තෙනුකි දැක්ක ගමන්ම බදාගෙන වඩා ගත්තා. ඊට පස්සේ තාත්තා මටත් හරියට ආදරේ වුණා.
ලබන සතියේ
මවුපදවියේ වාසනාවන්ත
පණිවිඩය නදිකාට
