නිවස විචාර ගෝලීය සිනමාවක් කරා යන ලතින් ඇ‍ෙමරිකානු සිනමාවේ නූතන හැඩය

ගෝලීය සිනමාවක් කරා යන ලතින් ඇ‍ෙමරිකානු සිනමාවේ නූතන හැඩය

by Thanushika
June 6, 2024 12:22 pm 0 comment

ලෝක සිනමාව පිළිබඳ කතිකා කරනවිට එහි ප්‍රමුඛයන් අතර හොලිවුඩ්, බොලිවුඩි සහ චීන සිනමාව යන අධිපතිවාදී වාණිජ සිනමා ධාරාවන් අතර, ඊට සාපේක්ෂව ලතින් ඇමරිකානු සිනමා කලාපය පිළිබඳ කතාබහට ලක්වන්නේ ඉ⁣තාම අඩුවෙනි. විශේෂයෙන් ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන්ට ඉහත කී ප්‍රධාන ධාරාවේ චිත්‍රපට දැඩිව වැලඳගන්නා අතර කොරියානු, ඉරාන හෝ යුරෝපීය සිනමාවන් පිළිබඳ යමි ප්‍රමාණයක සැලකිල්ලක් දක්වයි. ඊට හේතුවන්නේ ලතින් ඇමරිකානු සිනමාපටයන්ට හොලිවුඩ්, බොලිවුඩ් හෝ යුරෝපීය චිත්‍රපට තරමි විදේශීය වෙළඳපොළක් නොමැති නිසා. ලතින් ඇමරිකානු සිනමා කලාපය තුළ උතුරු ඇමරිකානු මහද්විපයට අයත් මෙක්සිකෝව සහ දකුණු ඇමරිකානු මහද්විපය තුළ පිහිටි බ්‍රසීලය, ආජන්ටිනාව, කියුබාව, චිලී, කොළොමිබියාව යනාදී රටවලින් නිෂ්පාදනය වන චිත්‍රපට වසරක් පාසා ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ්, සන්ඩාන්ස්, කෑන්ස්, බර්ලින් වැනි ලොව පිළිගත් චිත්‍රපට උලෙළවල්හිදී සමිමානයට, විචාරක ප්‍රසාදයට පත් වීම සුවිශේෂී නිරීක්ෂණයකි. විශේෂයෙන් මෙම දකුණු ඇමරිකානු සිනමා කලාපය තුළ නිර්මාණය වන චිත්‍රපට කලාත්මක සිනමා ධාරාවට ප්‍රවර්ගත වීමත් මුදල් ඉපැයීම අරමුණු කරගත් වාණිජ සිනමා දහරාව පසුපස හඹායෑමට වඩා විශ්වීය (Universally) ලෙස තේමා කරගත් සමාජ-දේශපාලනික කලාත්මක ගණයේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමත් කැපී පෙනෙන ලක්ෂණයකි. ලතින් ඇමරිකානු සිනමා කලාපයේ ඉතිහාසය, සමකාලීන තත්ත්වය, ගෝලීය සිනමාව වෙත ප්‍රවේශ වීම සහ නූතන ප්‍රවණතා මොනවාද? යන්න පිළිබඳ විමසා බැලීම මෙම ලිපියෙන් අපේක්ෂිත අරමුණ වේ.

මූලික වශයෙන් ලතින් ඇමරිකානු සිනමාව යනු පෘතුගීසි සහ ස්පාඤ්ඤ යන ලතින් භාෂාවන් කේන්ද්‍රකරගත් මෙක්සිකෝව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, චිලී, කොලොම්බියාව සහ කියුබාව ඇතුළු ලතින් ඇමරිකාවේ රටවල නිෂ්පාදනය කරන ලද චිත්‍රපට වර්ගයක් ලෙස හඳුනා ගැනීම උචිත ය. 15 ශතවර්ෂයේදී පමණ ලතින් ඇමරිකානු කලාපයට ස්පාඤ්ඤ සහ පෘතුගීසි යටත්විජිතකරණයේ (Colonization) සෙවණැල්ල වැටෙන අතර භාෂාව, සංස්කෘතිය, අධ්‍යාපනය යනාදී ක්ෂෙත්‍රයන් තුළ යුරෝප – ලතින් ඇමරිකානු දෙමුහුන්කරණයක් (Hybridization) සිදුවිය. 19 වැනි සියසේදි යටත්විජිතකරණයෙන් නිදහස් වන ලතින් ඇමරිකානු කලාපය තුළට ජාතිකවාදය (Nationalism) හරහා සිනමා කලාව පැමිණීම සිදුවිය. කොලනිවාදයෙන් නිදහස්ව, එනමි 1960 දශකයේ දී පමණ එවකට ⁣අධිපතිවාදී සිනමාවක් ලෙස නැඟී ආ හොලිවුඩ් සිනමාව, යුරෝපීය සිනමාවට එරෙහිව ‘තුන්වැනි සිනමාව (Third Cinema) යනුවෙන් ජාතික සිනමාවක් ලතින් ඇමරිකානු කලාපීය සිනමාව තුළ නිර්මාණය වීමට මඟ පෑදිණ.

මෙම යටත්විජිතවාදීවූත්, අධ්පතිවාදීවුත් බටහිර සිනමාවට එරෙහිව 1960 දී පමණ ආජන්ටිනානු ජාතිකයන් දෙපළක් වන ‘ෆ්‍රෙඩිරිකෝ සොලානාස්’ සහ ‘ගෙටිනෝ’ නමි සිනමා නිෂ්පාදකවරුන්රුන් දෙපළ විසින් ගොඩනඟන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ‘පළමු සිනමාව (First Cinema)’ හොලිවුඩය ලෙසත්, ‘දෙවන සිනමාව (second Cinema)” ලෙස යුරෝපීය සිනමාවත්, තුන්වන සිනමාව ලෙස හොලිවුඩයේ සහ යුරෝපීය සිනමා නිෂ්පාදන ආකෘතියට එරෙහිව ලතින් ඇමරිකානු කලාපය ලෙස නමි කෙරිණ. මෙය ලතින් ඇමරිකානු කලාපීය සිනමාව තුළ තීරණාත්මක කඩයිමකි. සැබැවින්ම ලතින් ඇමරිකානු කලාපය යුරෝපීයන් හැඳීන්වුයේ තුන්වැනි ලෝකයේ රටවල්වලට අයත් කලාපයක් ලෙසයි. තුන්වැනි සිනමාව ලතින් ඇමරිකානු රටවල ජාතිකවාදී චිත්‍රපට ව්‍යාපාරයක් ලෙස නව යටත් විජිතවාදය, ධනේශ්වර ක්‍රමය සහ මුදල් ඉපැයීම පමණක් අරමුණු කරගත් හොලිවුඩ් සිනමා ආකෘතියට මුළුමනින්ම පාහේ ගොඩනැඟී ප්‍රවණතාවයකි. එය ලතින් ඇමරිකානු සිනමාව තුළ නිශ්චිත වූ ඓතිහාසික මොහොතකි. ෆ්‍රෙඩිරිකෝ සොලනාස් ආර්ජන්ටිනාවේ විප්ලවය සම්බන්ධ ශානර චිත්‍රපට නිමැවීමට වඩාත් ප්‍රසිද්ධ සිනමාකරුවෙකි. විශේෂයෙන් විප්ලවය සහ සිනමාව අතර ඉතා සමීප සම්බන්ධයක් ඇති බව ෆ්‍රෙඩිරිකෝ සොලානාස් සහ ගෙටිනෝගේ මතය විය.

1960 දශකය තුළ කියුබානු විප්ලවය ආරමිභයත් සමඟ මුළු දකුණු ඇමරිකානු මහද්විපයම දේශපාලනික විප්ලවීය පරිවර්තනයට යටත් විය. විශේෂයෙන් ෆ්‍රෙඩිරිකෝ සොලනාස් සහ ගෙටිනෝ දෙපළ විසින් දැමු පදනම හරහා පසුකාලීනව ‘ලුයිස් බුනුවෙල්’ (මෙක්සිකෝවේ සිට පසුව යුරෝපයේ අධි යථාර්ථවාදී සිනමා ව්‍යාපාරයට සම්බන්ධ) සහ ‘ග්ලෝබර් රොචා’ (බ්‍රසීලයේ නව සිනමා ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක්) වැනි ලතින් ඇමරිකානු සිනමාව සඳහා පදනම සැකසු බලගතු සිනමාකරුවන් බිහිවීමත් සමඟ ලතින් ඇමරිකානු සිනමාව 20 වැනි සියවසේ මැද භාගයේදී ජාත්‍යන්තර පිළිගැනීමට ලක් විය. ලතින් ඇමරිකානු සිනමාව විප්ලවීය සහ විමුක්තිකාමී සිනමාවක් වශයෙන් හැඳීන්වීම සුවිශේෂී ලක්ෂණයකි. වසර ගණනාවක් පුරාවට ලතින් ඇමරිකානු සිනමාව තුළ සිදු පරිණාමයත්, වරින්වර සිදුවන දේශපාලනික පරිවර්තන ක්‍රියාවලිය හරහා විප්ලවීය අනන්‍යතාවය, ඉතිහාසය, සමාජ සාධාරණත්වය සහ මානව අයිතිවාසිකමි වැනි මාතෘකා රාශියක් තේමා කරගනිමින් චිත්‍රපට නිර්මාණය කෙරිණ.

චිත්‍රපට මාධ්‍ය හරහා ලතින් ඇමරිකානු සංස්කෘතිය ගෝලීය වශයෙන් ඇගැයීමට දායක වෙමින්, කලාපයේ අධ්‍යක්ෂවරුන් ලොව පුරා ප්‍රධාන චිත්‍රපට උලෙළවලදී විචාරක පැසසුමට ලක්ව ඇත. නිදර්ශනයක් ලෙස ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපට කාණ්ඩය වෙනුවෙන් ලතින් ඇමරිකානු කලාපයෙන් බොහෝ චිත්‍රපට නිර්දේශ නාම ලබා ගනිති. නිදර්ශනයන් ලෙස මෑතභාගය තුළ 2014 වසරේ ‘Wild tales’ නම් ආජන්ටිනානු චිත්‍රපටය, 2015 වස⁣රේ Embrace of the Serpent’ සහ 2018 වසරේ ‘Birds Of passage’ නමැති කොලොමිබියානු චිත්‍රපටද, 2021 වසරේ දී ‘Plaza Catedral’ නමැති පැනමා චිත්‍රපටය ද ඔස්කාර් සිනමා උලෙළේදී නිර්දේශ නාම ලබාගත් අතර 2017 වසරේදී 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය හිමි කර ගැනීමට ‘Fantastic Woman’ නමි චිලී රාජ්‍යය නියෝජනය කළ එම චිත්‍රපටයට හැකි විය.

කියුබාව, වෙනිසියුලාව, උරුගුවේ, චිලී, කොලොම්බියාව සහ බොලිවියාව දශක කිහිපයක් තිස්සේ සැලකිය යුතු චිත්‍රපට නිෂ්පාදනයක් සිදු නොවුණු අතර, ලතින් ඇමරිකානු කලාපයේ කුඩාම රටවල් වන උරුගුවේ, පැරගුවේ, ඉක්වදෝරය සහ මධ්‍යම ඇමරිකාව වැනි රටවල, වාර්තාමය චිත්‍රපට නිර්මාණය වන අතර වෘතාන්තමය චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ ඉතාමත් කලාතුරකිනි. සක්‍රිය ලෙස අඛණ්ඩ නිෂ්පාදන ඉතිහාසයක් පිළිබඳ සොයා ගත හැක්කේ මෙක්සිකෝව, ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය තුළ පමණි. ඊට හේතුව වන්නේ එම රටවල් ත්‍රිත්වය සඳහා ප්‍රමාණවත් තරම් දේශීය වෙළඳපොළක් (Domestic Market) පවතින නිසාවෙනි.

‘Global Media Outlook’ ‘ ආයතනය විසින් 2019-2023 කාල අවධිය පදනමි කරගෙන සකස් කළ වාර්තාවට අනුව, ලතින් ඇමරිකාවේ ප්‍රධාන චිත්‍රපට කර්මාන්ත තුළ 2014 වසරේ සිට වේගවත් වර්ධනයක් සිදු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2018 අවසානය වන විට ලතින් ඇමරිකාවේ මුළු චිත්‍රපට ශාලා ගණන 13,464ක් වී තිබුණි. ආර්ජන්ටිනාව සම්බන්ධයෙන් ගත් කළ, 2018 දී චිත්‍රපට 223ක් නිකුත් විය. පේරු රාජ්‍යය කුඩාම සිනමා වෙළඳපොළ වුවද, 2018 දී ඔවුන්ගේ සිනමාශාලා 661 දක්වා වැඩි වී ඇති අතර 2023 වන විට 789 දක්වා වර්ධනය විය. මෙක්සිකෝව තුළ වැඩිම සිනමාශාලා ප්‍රමාණයක් ඇති ලතින් ඇමරිකානු රට වන අතර, එහි මුළු සංඛ්‍යාව 6,862 වේ. මෙහි දෙවැනි ස්ථානය හිමි වන බ්‍රසීලයේ සිනමාශාලා 3,465ක් ඇත. ආදායම අනුව, අධ්‍යයනය 2023 දක්වා කලාපයේ ස්ථාවර වර්ධනයක් ප්‍රක්ෂේපණය කරයි.

ලතින් ඇමරිකානු කලාපය තුළ පිහිටි රටවල සිනමා කර්මාන්ත තුළ මුළු සිනමා ආදායම ගත්විට 2023දී ඇමරිකානු ඩොලර් බිලියන 3.2කි. වර්තමානයේ මෙක්සිකානු සිනමා කර්මාන්තය තුළින් ලෝක සිනමාව නියෝජනය කරන ‘අල්ෆොන්සෝ කුරාන්’, ‘ගොන්සාලෙස් ඉනාරිතු’, ‘ගිලෙරෙමෝ ඩෙල්ටොරෝ’ වැනි සිනමාකරුවන් ද, බ්‍රසීල සිනමාවෙන් ‘ප්‍රනාන්දු මීරෙල්ස්’ වැන්නන් සමකාලීන ලතින් ඇමරිකානු සිනමාවේ පැවැත්ම සඳහා වැදගත් චරිත වෙති. විශේෂයෙන් බ්‍රසීල සිනමාව ලෝකයට විවර කළ දොරටුවක් ලෙස 2002 වසරේ තිරගත වූ ‘City Of God චිත්‍රපටය වැදගත් වෙි. වර්තමානයේ ලෝක සිනමාව තුළ බූවල්ලෙකුගේ අඬු මෙන් විහිදි ඇති ‘නෙටිෆ්ලික්ස්’ සමාගම විසින් ලතින් ඇමරිකානු සිනමා කලාපයට මුදල් ⁣ආයෝජනය කිරීමත් සහ චිත්‍රපට බෙදා හැරීමත් ලෝකයට ලතින් ඇමරිකානු සිනමාව වෙත ප්‍රවේශ කිරීමට දොරටුවක් වී ඇත.

ලතින් ඇමරිකානු කලාපයේ නොකඩවා සිදුවන සහ වෙනස්වන සංස්කෘතික ගතිකයන් (Cultural Dynamics),, සමාජීය සහ දේශපාලනනික තත්ත්වයන් තේමා කරගෙන සමකාලීන ලතින් ඇමරිකානු සිනමාව ගොඩනැඟී ඇත. සමකාලීනව ලතින් ඇමරිකානු සිනමාව දිගින් දිගටම දියුණු වෙමින් පවතින අතර චිත්‍රපට නිෂ්පාදකයින් නව ආඛ්‍යාන සහ ශිල්පීය ක්‍රම ගවේෂණය කරන අතරම එම කලාපයේ පොහොසත් කලාත්මක හා සංස්කෘතික උරුමයන් ද උකහා ගනී. ලතින් ඇමරිකානු සිනමාව ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින් සමඟ විශ්වීය ලෙස ගනුදෙනු කරමින් ලෝක සිනමාවේ අත්‍යවශ්‍ය සිනමාවක් ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කෙරෙමින් පවතී.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT