Home » සිනමා නිර්මාණ කරන්න තේමා අපේ ඉතිහාසය, ජනශ්‍රැති සහ මිථ්‍යා කතන්දර ඇතුළේ තියෙනවා

සිනමා නිර්මාණ කරන්න තේමා අපේ ඉතිහාසය, ජනශ්‍රැති සහ මිථ්‍යා කතන්දර ඇතුළේ තියෙනවා

- ලේඛක විකුම් සංජිත් රණවීර

by mavan
May 14, 2026 11:09 am 0 comment

නූතන පරම්පරාවේ තරුණ ලේඛක ලේඛිකාවන් විවිධාකාරයේ නව ශානර ඇසුරින් කෘති රචනා කරයි. ඓතිහාසික – ප්‍රබන්ධ ශානරයට වඩාත් ආසක්ත නූතන ලේඛකයෙකු ලෙස විකුම් සංජිත් රණවීර පාඨකයා අතර ජනප්‍රිය වේ. ඔහු විසින් රචිත “සූර්යනාශ” පාඨක අවධානය දිනූ කෘතියකි. ඔහු විසින් රචිත “හෙටත් නුඹ පිපෙනවද ප්‍රේමී..?’ කාව්‍ය සංග්‍රහය සහ Bookrack ප්‍රකාශනයක් සහ මේ මස 16 වැනිදා තුන්වෙනි කෘතිය විදිහට “DEADLINE” නිකුත්වීමට නියමිතයි. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වන්නේ ලේඛක විකුම් සංජිත් රණවීර සමඟ සිදු කළ කතාබහ සමඟිනි.

විකුම්ට ලිවීමේ උන්මාදය ඇති වුණේ කොහොමද? මොකක්ද ඒ පසුබිම?

ලිවීමේ උන්මාදය ඇතිවෙන්න ප්‍රධානතම හේතුව විදිහට මම දකින්නෙ පාසල් කාලයේ පටන්ම තිබුණු කියවීමේ උන්මාදය. ඒ අනුව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් දේශීය සහ විදේශීය ලේඛකයින් අතින් ලියවුණු නානාවිධ නානාප්‍රකාර ශානරවල කෘතීන් කියවීම ඔස්සේ ලැබූ පරිචය, අභිප්‍රේරණය මං ඇතුළෙ උන්නු ලියන්නාව අවදි කරවන්න සමත් වුණා කිව්වොත් නිවැරදියි. ඒ නිසාවෙන් අධ්‍යයන කටයුතු අතරවාරයේදී ලැබෙන විවේකී අවස්ථාවන්හිදී කෙටිකතා, කවි, නිසඳැස් ආදිය ලියන්න මම උත්සාහ කරා සහ අඩුපාඩු හඳුනාගනිමින්, ඒවා නිවැරදි කරගනිමින් දිගින්දිගටම ලේඛන කටයුතුවල යෙදුණා.

2022 වසරේ ග්‍රන්ථ ප්‍රකාශනයක් ලෙස මගේ මුල්ම නවකථාව වුණු ඓතිහාසික ප්‍රබන්ධ ශානරයට අයත් ‘සූර්යනාශ’ කෘතිය නිකුත්වෙන්නෙ එහි කූටප්‍රාප්තිය විදිහට. ඒ වගෙම මේ වසරේ ජනවාරි මාසයේ ‘හෙටත් නුඹ පිපෙනවද ප්‍රේමී..?’ නමින් මගේ කාව්‍ය සංග්‍රහයක් Bookrack ප්‍රකාශනයක් ලෙසින් ප්‍රකාශයට පත්වෙනවා සහ මේ මස 16 වැනිදා මගේ තුන්වෙනි කෘතිය විදිහට “DEADLINE” නිකුත්වීමට නියමිතයි.

ඔබ ලියූ අලුත්ම නවකතාව තමයි ”ඩෙඩ්ලයින්” කියන්නේ මොකක්ද මෙි නවකතාවට පසුබිම වෙන්නේ?

මගෙ දෙවැනි නවකථාව විදිහට Storyflix ප්‍රකාශනයක් ලෙසින් එළිදකින්න නියමිත DEADLINE කියන්නෙ survival thriller ශානරයට අයත් කෘතියක්. මේ කෘතිය ලියැවෙන්නේ දසවසරකට ආසන්න ප්‍රශස්ත ධුරකාල දෙකකින් පසුව අවිවේකී දේශපාලන සටන්බිමෙන් සමුගෙන, සැනසිලිදායක විශ්‍රාම දිවියක් සොයා මධ්‍යම කඳුකරයට පැමිණෙන හිටපු ජනාධිපතිවරයෙක්, අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත ආකාරයට ඔහු සොයා පැමිණෙන අතීතාවතාර සමූහයක්, ඔවුන් විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන කෲරතර හා ලේ පිපාසිත සැලැස්ම ව්‍යර්ථ කරන්නට දරුණු කුණාටුවක් ඇවිළෙන මොහොතක මීදුමෙන් වෙළාගත් කඳු පන්ති, බිහිසුණු වන මෘගයින් ගැවසීගත් අන්ධකාර කඳුකර වනාන්තර, කාලයේ වැලිතලාවෙන් වැසීගත් ඉපැරැණි උමං මාර්ග මැදින් කාලය, මරණය සහ සොබාදහම සමඟ සටන්වදිමින් ඉදිරියට ඇදෙන ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරුණු අත්දැකීම් සමූහයක් පාදක කරගෙන.

ඔබ වඩාත් ඓතිහාසික ශානරය තුළ ලියන්නට ආශා කරන ලේඛකයෙක්. මේ ශානරය ගැන මෙතරම් ලියන්න පෙලඹෙන්න හේතුව මොකක්ද?

ඉතිහාසය, ජනශ්‍රැති, මිථ්‍යා කතන්දර කියන්නෙ එදා පටන්ම මගෙ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයන්. ඉතින් ඒ ගැන වැඩිදුර හැදෑරීම්, සොයාබැලීම් සහ අධ්‍යයනයන් කරන අතරවාරයේදී ඒ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ ලෝක ප්‍රකට සාහිත්‍ය නිර්මාණ විදිහට සැලකෙන George R.R. Martin»[‰ Game of Thrones, J.R.R Tolkien»[ Lord of the Rings වගේ සිනමා නිර්මාණ කරන්න තරම් විභවයක් සහිත කතන්දර සහ චරිත අපේ ඉතිහාසය, ජනශ්‍රැති සහ මිථ්‍යා කතන්දර ඇතුළෙ තියෙනව කියන එක මට වැටහුණා. මගේ මුල්ම කෘතිය විදිහට වාල්මිකීගේ රාමායණ වීරකාව්‍යයේ සඳහන් රාවණා යුගයට පෙර ලංකාව සහ ප්‍රවාදගත ඇට්ලැන්ටිස් දේශය පදනම් කරගත් ‘සූර්යනාශ’ කෘතිය ලියැවෙන්නෙ එහි ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම ඊළඟට ලංකා ඉතිහාසයේ එක්තරා යුගයක් පදනම් කරගත්, සාම්ප්‍රදායික ඓතිහාසික ප්‍රබන්ධයකට එහාගිය, වෙනස්ම ආකාරයේ කෘතියක්/ කෘති මාලාවක් ලිවීම වෙනුවෙන් අවශ්‍යකරන හැදෑරීම් මේ දිනවල මම කරමින් ඉන්නවා.

ඔබේ කෘතිවලට පාඨකයක්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

තවමත් ක්ෂේත්‍රයට ආධුනිකයෙක් වුණත් සැලකිය යුතු තරමේ පාඨක පිරිසක් සිටීම සහ මගේ නිර්මාණ වෙනුවෙන් ඔවුන්ගෙන් නිරන්තරයෙන්ම යහපත් සහ අවංක ප්‍රතිචාර, දිරිගැන්වීම් ලැබීම ලොකු සතුටක්. හදවතට එකඟව, අවංකව අපි අපේ දේ කරනව නම් මිනිස්සුන්ගෙ ආදරය නිතැනින්ම ලැබෙනව කියල මම විශ්වාස කරනවා. ඉතින් එහෙම ලැබෙන හැම ආදරණීය ප්‍රතිචාරයක්ම බොහොම වටිනවා සහ ඒ හැමෙකක්ම බොහොම ආදරයෙන් ගෞරවයෙන් භාරගන්නවා.

ඔබ සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්න පටන් ගන්නේ කොහොමද? ලියන්න කලින් එදිනෙදා ලියන්න යන දේ ගැන සැලසුම් කරනව ද? ලියන කාලෙට ඔබේ හැසිරීම මොනවගේ ද?

නවකතාවක් ලිවීමේදි මම අනුගමනය කරන්නෙ මට ම අනන්‍ය වුණු ක්‍රමයක්. මුලින්ම මම කතා සංකල්පය ගොඩනඟනවා. හැමදෙයක්ම පටගන්නෙ ඒ ගැන අදහස හිතේ ඇතිවෙන මුල්ම මොහොතේ ඉඳන්. උදාහරණයක් විදිහට DEADLINE ගැන මුල්ම අදහස හිතේ පිළිසිඳ ගත්තෙ වසර කිහිපයකට කලින් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කරන අතරවාරයේදී මීදුමෙන් වැසීගත් කඳු ගැටයක් මුදුනත ඉන්න මොහොතක. කතාවේ මූලික සැකිල්ල ජංගම දුරකථනයේ නෝට්පෑඩ් එකේ ලියැවුණේ ඒ මොහොතේදිමයි. එතැනින් පස්සෙ මාස කිහිපයක්ම මම කතාවට අයත් චරිත, ඔවුන්ගේ හැඩහුරුකම්, ගති ලක්ෂණ, සිදුවීම් ආදිය සැලසුම්කරණයේ යෙදුණා. ඒ වගේම මගේ හිතේ මැවුණු මේ කතාවට අයත් යම්යම් සිදුවීම්, චරිතවල බාහිර ස්වරූපය ලිවීමේ පහසුව සඳහා ඒධ් භාවිතයෙන් රූපමය ලෙස පවා නිර්මාණය කළා. ලිවීමේ කටයුතු පටන්ගත්තෙ ඊටපස්සෙ.

විශේෂම දේ තමයි මේ කතාව මම ලිව්වෙ මුල ඉඳන් අගට නෙවෙයි, කොටස් කොටස් වශයෙන්. ඒ මොහොතේ මට ලියන්න හිතුණෙ කතාවේ මුල, මැද හෝ අග කොටසක්ද ඒ කොටස මම එවෙලෙම ලිව්වා, සහ අවසානෙ ඒ හැම කොටසක්ම කිසිදු අඩුපාඩුවක් නොවන විදිහට එකිනෙක සම්බන්ධ කළා.

සම්පූර්ණයෙන් ම ජංගම දුරකථනය භාවිතයෙන් ඒ ආකාරයට මාස හතක පමණ කාලයක් පුරා ලියැවුණු මේ කෘතිය ලිවීම මට ගෙනදුන්නෙ එක්තරා ආකාරයක අස්වැසීමක්. යථා ලෝකයෙන් පිටත මම ම මවාගත් ප්‍රබන්ධමය ලෝකයක ගෙවුණු ඒ හැම නිමේෂයක්ම ආශ්වාදනීය එකක් වුණා සහ හුදෙක් පොතක් ලිවීමට එහාගිය අත්දැකීමක් මේ ඔස්සේ මට ලැබුණා කිව්වොත් නිවැරදියි.

ඔ⁣බෙි නවකතා ලිවිමෙි ආඛ්‍යාන රටාව, ආකෘතිය, භාෂාව ඔබටම අනන්‍ය වුණ එකක්. බොහෝ පාඨකයන්ගේ අදහස ඔබ ලියන ශෛලිය සිනමාත්මක ශෛලියක් (Cinematic writing) තිබෙන බව. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

කියවනකොට රූප මැවෙන සිනමාත්මක ශෛලියේ භාෂා රටාවක් සහිත පොත්පත් කියවන්න මම ගොඩක් කැමතියි. ඒ රටාව කියවීමට පහසු, වෙහෙසකර නොවන, ආස හිතෙන එකක්. ඉතින් මමත් ඒ විදිහට මිනිස්සුන්ට දැනෙන්න ලියන්න උත්සාහ කරනවා සහ කාලාන්තරයක පටන් ශෛලීන් කිහිපයක් අත්හදා බැලීමෙන් අනතුරුව බොහොම බරසාර සහ විදග්ධ නොවුණු, ඒ වගෙම බොහෝම සරල නොවුණු, මටම අනන්‍ය වූ භාෂා රටාවකින් ලියන්න මම හුරුවෙලා ඉන්නවා. ඒ ශෛලියට පාඨකයින් ප්‍රියකිරීම සහ අවංකවම අගය කිරීම මට ලොකු සතුටක්.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT