‘හිරු නාළිකාවේ සිඟිති අවුරුදු කුමරා-කුමරි 03 වැනි ස්ථානයට කිරුළු පැලඳී ඩියෝන් ඒඩ්‍රියන් ප්‍රනාන්දු මේ දිනවල විකාශය වන ‘ඔබ එන්න ඇවිත් යන්න ‘ටෙලිනාට්‍යය හරහා පුංචි තිරය ඔස්සේ අප හමුවට පැමිණෙයි. නර්තනයට දස්කම්පාන ඩියෝන්ගේ කලා හැකියාවන් පිළිබඳ සරසවිය හා කතාබහ කිරීමට ඔහුගේ මව වන දිනූෂි පෙරේරා මෙසේ එක්වූවාය.
ඔබේ පුතා සතුව දක්ෂතා රැසක් තිබෙන බව මවක් ලෙස ඔබ හඳුනා ගත්තේ කෙසේද?
ඔව්, මගේ පුතාට අවුරුද්දක් වගේ වෙද්දි ඔහු සතු දක්ෂතා මම හඳුනා ගත්තා . ගීතයක් ප්‍රචාරය වන විට එයට පුතා දක්වන ප්‍රතිචාර, එහිදී එයාගේ හැසිරීම් රටා සමඟ එයාගේ ඇඟේ යම් කලා හැකියාවක් සැඟවී තිබෙන බව මට වැටහුණා. අවුරුද්දයි මාස 09දී වගේ එයා ගීතවලට තාලයට නටන්නත් පටන් ගත්තා. එදා මම සිතාගත්තා නර්තනයටත් පුතාගේ දක්ෂතා තිබෙන නිසා ලලිත් පැරකුම් සර්ගේ නර්තන පාසලට ඇතුළත් කළ යුතුයි කියලා. ඒත් ඒ කාලයේ ඩියෝන් පුතා ගොඩක් කුඩා නිසා අවුරුදු දෙකහමාරේදී මම ලලිත් පැරකුම් සර්ගේ නර්තන පාසලට යොමු කළා.
පුතාගේ නර්තන හැකියාව ඉස්මතු කරන්න ඒ පාසලත් ඉවහල් වෙන්න ඇති?
ඇත්තෙන්ම ලලිත් පැරකුම් සර්ගේ නර්තන පාසලේ මුල් ගුරුවරුන් වන අමා මිස් , සදිල සර් පුතාගේ නර්තන හැකියාවන් තව තවත් ඔපමට්ටම් කළා. ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා එයා නටන වීඩියෝස්වලට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඤඪරධදටඥපදචදඤ02 නමැති ටික්ටොක් ගිණුම ඔස්සේ එයාගේ නර්තන වීඩියෝස් නරඹන්න පුළුවන් .
නර්තනයෙන් ඉදිරියට යවන්නද සිතා ගෙන ඉන්නේ?
පුතා කැමැති ආස කරන අංශයකින් ඉදිරියට ගිහින් එයාගේ අනාගත ගමන්මඟ හදාගන්න අම්මා විදිහට මමත්, පියා විදියට මගේ සැමියාත් එයාට අවස්ථාව ලබාදෙනවා. නර්තනයට දක්ෂතා දක්වන නිසා එයා ඒ අංශයෙන්ම ඉදිරියට ගියත් අපි උදවු කරනවා.
හිරු සිඟිති අවුරුදු කුමරා කුමරිය තරගයෙනුත් ඩියෝන් ජයක් ලැබුවා නේද?
ඔව්, එහෙත් ඊට පෙර පසුගිය අවුරුද්දේ ඊඍ දෙරණ සිඟිති අවුරුදු කුමරා තරගයටත් පුතා ඉදිරිපත් වුණා. එහිදී අවසන් 24 දෙනා අතරට එකතු වෙන්න ලැබුණා. ඉන්පසුව තමයි මෙවර හිරු නාළිකාවේ සිඟිති අවුරුදු කුමරා කුමරිය තරගයට අයදුම් කළේ. අවසන් 12ට තේරුණු මගේ පුතා , අවසන් මහා තරගයේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තා. එය පුතාගේ දිවියට ලොකු වටිනාකමක් ලබාදුන්නා කිව්වොත් නිවැරදියි. එහි විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් මහත්මිය, නයනා කුමාරි මහත්මිය, ගයාන් වික්‍රමතිලක මහතා යනාදීන් පුතා වෙනුවෙන් ලස්සන විනිශ්චයක් ලබාදුන්නා. ඒවගේම හිරු නාළිකාවේ වැඩසටහන් අධ්යක්ෂ චතුර එල්. ජයසුන්දර සර්, මුදිති මාපලගම මිස්, නවීන් දනූෂ් සර් මෙහිදී ආදරයෙන් සිහිපත් කරනවා.
ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් ඩියෝන් පුතා ගැන විශේෂයෙන් අගයා තිබුණා?
ඔව්, හිරු සිඟිති අවුරුදු කුමරා කුමරිය තරගයෙන් පසුව හලාවත මුතුපුර අවුරුදු කුමරා , කුමරි වැඩසටහනේදී නැවත නිල්මිණී තෙන්නකෝන් මහත්මියව අපට හමුවුණා . එහිදී අපේ පුතා ඇයට හරිම ආදරණීයව සැලකීම ගැන ඇගේ මුහුණු පොතේ ලස්සන විශේෂ සඳහනක් කර තිබුණා. එය තරගයෙන් පසු පුතාට ලැබුණු විශේෂම ඇගයීමක් ලෙස මම දකිනවා. හලාවත මුතුපුර අවුරුදු කුමරා කුමරි තරගයට ඉදිරිපත් වෙන්නත් පුතාට මඟ සලසා දුන් සහ ඉන් පුතාට අගයක් එක් කළ එම හලාවත මුතුපුර අවුරුදු කුමරා කුමරිය වැඩසටහනේ අධ්යක්ෂ නිමේෂ් මිරෙන්ඩා මහතාටත් ස්තුතිවන්ත වෙනවා.
ඩියෝන් රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලත් පෙනී සිටිනවා. කොහොමද එයට අවස්ථාව ලැබුණේ ?
ඔව්. ඒකට මඟපෑදුණේ හිරු සිඟිති අවුරුදු කුමරා කුමරි වේදිකාවේදී මුණගැසුණු චූටි දුවකගේ මවක් වන චතුරිකා රත්නවීර නිසයි. ඇය තමයි මුලින්ම රිසෝන් මීඩියාහි අධිපති දේවා අයියා හඳුන්වා දුන්නේ. ඔහුගේ මූලිකත්වයෙන් සහය අධ්යක්ෂ නලින් ගුරුගේ මහතාගේ මඟපෙන්වීමෙන් පළමු රූපවාහිනී වෙළෙඳ දැන්වීමට පුතා පෙනීසිටියේ. එය අධ්‍යක්ෂණය කළේ ඇන්ඩෘපුල්ලේ මහතායි. එවැනි චරිත සමඟ පළමු රංගන කාර්යය සිදුකරන්න ලැබීම පුතාගේ වාසනාවක් කියා මම සිතනවා.
පසුගියදා ටෙලිනාට්‍ය රංගනයටත් ඩියෝන් දායක වුණා?
ඔව්. හිරු නාළිකාවේ විකාශය වන චාමර ජයවීර මහතා අධ්‍යක්ෂණය කරන ‘ඔබ එන්න ඇවිත් යන්න’ ටෙලිනාට්‍යයට පුතා රංගන දායකත්වය දුන්නා..එම නාළිකාවේ වසන්ත වීරද්දන මහතාගේ ඇරයුමකටයි පුතා එයට එක්වුණේ.
ටෙලිනාට්‍යයේ රඟපාද්දි පුතාගේ යම් චකිතයක්, කැමරාවට නුහුරු බවක් පෙනුණාද?
සිඟිති අවුරුදු කුමරා – කුමරි තරගයේදී කැමරාව ඉදිරියේ විශාල පිරිසක් ඉදිරිපිට ඉදිරිපත් කිරීමක් කරන්නේ කොහොමද කියන දේ ගැන ලොකු අත්දැකීමක් ඒ මොහොතේ පුතා ලබාගන්න ඇති කියා සිතනවා. රූපවාහිනී වෙළෙඳ දැන්වීමක ප්‍රධාන චරිතයත් රඟපෑ නිසා පුතාට ලොකුවට චකිතයක්, බියක් දැනුණා කියා මට හැඟෙන්නේ නැහැ. ටෙලිනාට්‍යයේ අදාළ චරිතයට අවශ්‍ය පරිදි ඔහු හැසිරුණා.
ගායනයට නර්තනයට පුතාගේ නැඹුරුව කොහොමද ?
එවැනි අංශ සඳහා දැනට නම් පුතාගෙන් ප්‍රතිචාරයක් නැහැ. අනාගතයේදී ඒවාට දායක වුණොත් එයින්ද ඉදිරියට යාවි.
චිත්‍රපටයකට කතා කළොත් යවනවද?
අනිවාර්යයෙන්. එයාට සුදුසු රඟපෑමක් තිබුණොත් අපි පුතාව ගෞරවාන්විතව චිත්‍රපට රංගනයටත් යොමු කරනවා.
ඩියෝන් පදිංච් වෙලා ඉන්නේ කොළඹින් බැහැර නේද?
ඩියෝන් උපන්නේ අලව්වේ. අපි දැන් පදිංචි ඉන්න හලාවත.
ඩියෝන්ගේ පවුලේ අයත් කලාවට සම්බන්ධද?
මම පාසල් කාලයේ නාට්‍ය හා රංගකලාව හැදෑරුවා. එහිදී සමස්තලංකා ජයග්‍රහණ ලැබුවා. පුතාට ඒ ආභාසයත් ලැබිලා ඇති කියා මම සිතනවා.
ඩියෝන්ට පවුලේ අයගෙනුත් උදව් ලැබනවා ඇති?
මගේ අම්මා සහ ආච්චි අම්මා ආදීන් පුතා වෙනුවෙන් ලොකු කැපකිරීම් කරනවා. ඩියෝන්ගේ තාත්තා හෙවත් මගේ සැමියා රැකියාව නිසා කාර්යබහුල වුණත් හැකි සෑම විටම පුතාගේ වැඩවලට උදවු කරනවා.
පුතා ගැන අනාගත බලාපොරොත්තුත් ඇති?
අම්මා විදිහට මට ඕනේ ඩියෝන් ගුණයහපත් දරුවෙක් කරන්නයි. අනාගතයේ ඔහු කුමන තැනක සිටියත් මනුස්සකම සහ ගුණයහපත්කම නැත්නම් ලබන ජයග්‍රහණවලින් වැඩක් නැහැ. ඔහු අනාගතයේ කලාකරුවකු හෝ වෙනයම් වෘත්තියක හෝ නිරත වුවත් මිනිසත්කම්වලින් පෝෂිත පුද්ගලයකු වනවා දැකීමයි මගේ බලාපොරොත්තුව.
මනෝජ් රුක්මල් කුමාරසිංහ
