Home » මං කවදත් මුදල් ඉදිරියට දාලා ගීත නිර්මාණ කළේ නැහැ

මං කවදත් මුදල් ඉදිරියට දාලා ගීත නිර්මාණ කළේ නැහැ

ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යයේ් සංගීත අධ්‍යක්ෂ චන්දන වැලිකල

by mavan
May 14, 2026 12:03 pm 0 comment

ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය වූ කෝපි කඩේ ටෙලි නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ ඔහු නමින් චන්දන වැලිකලය. ජනප්‍රිය සංගීත වැඩසටහන්වල මෙන්ම ටෙලි නාට්‍යවලද සංගීත අධ්‍යක්ෂවරයෙක් වූ චන්දන වැලිකල මේ වන විට බොහෝ නවක ගායක ගායිකාවන්ගේ ගීත ගායනා සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ. කතාව අඩු හොඳ වැඩ්ඩෙක් මෙන්ම සහෘද හිතවාදියෙක් වූ චන්දන වැලිකලයන් හා අපි කතාබස් කරමු.

ඉතින් මේ දවස්වල කොහොමද තොරතුරු?

සුපුරුදු පරිදි කෝපිකඩේ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු අදටත් කරගෙන එනවා. ඊට අමතරව මේ දවස්වල නම් අලුත් ළමයින්ගේ ගීත ගායනා සඳහා බොහෝවිට සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවීමක් සිදුකරනවා.

ඔබට ආඩම්බරයකුත් ඇති ආසියාවේම දීර්ඝතම ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වීම ගැන?

හිතේ එහෙම දේකුත් නැතුවා නොවෙයිනේ. අපි පෘථක්ජන මිනිස්සුනේ. එහෙම නොවුණොත්නේ පුදුමේ. කෝපි කඩේ මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළේ රංජිත් යාපා ද අල්විස් මහතා. එතුමා කොටස් 54ක් දක්වා සංගීත අධ්‍යක්ෂණය කළා. මම 1988 අග භාගයේදී ඉඳලා කෝපි කඩේ 55 වන කොටසේ සිට අද දක්වා. එහි සංගීත අධ්‍යක්ෂණය සිද්ධ කරනවා.

සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ගමනක් අරඹන්නේ කොයි වගේ ආරම්භයක් ඇතුවද?

ස්වාධීන රූපවාහියට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. සංගීත සහාය නිෂ්පාදකයෙක් ලෙස එවක අයි.ටී.එන් එකේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ තේවිස් ගුරුගේ මහතා. එතුමාගේ විශේෂ ආරාධනයකට තමයි මම ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණේ. එවක ස්වාධීන රූපවාහිනියේ විධායක සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ පී.එල්.ඒ සෝමපාල මහතා. එතුමාගෙන් මට විශාල දායකත්වයක් පුහුණුවක් ලැබුණා. ඒ වෙනකොට පී.එල්.ඒ සෝමපාල මහතා නිෂ්පාදනය කළ මධු රසාංග, චිත්‍ර ගීත සංගීත වැඩසටහන් ඇතුළු එතුමාගේ අධීක්ෂණයෙන් සිදුකෙරුණු සියලු සංගීත වැඩසටහන්වල සහාය නිෂ්පාදයකු ලෙස කටයුතු කරන්න මට භාර කළා.

සහාය නිෂ්පාදකයකු ලෙස ස්වාධීන රූපවාහිනියේ ඔබ ගමනක් ඇරඹුවේ මොන වැඩසටහන් සමඟද?

ආරියසිරි විතානගේ මහතා. ඉඳුනිල් දිසානායක මහත්මිය නිවේදන කටයුතු සිදුකළ මධුරසාංග සංගීත වැඩසටහන. ඊට පස්සේ ආධුනික දරුවන්ගේ සංගීතය වැඩසටහනක් වූ අම්බාස් ගී දම්මාලා, නිත්‍ය කල්‍යාණි ගුවන් තොටිල්ල ආදී නවක තරු සංගීතය වැඩසටහන් සඳහා දායක වුණා.

මෙවැනි වැඩසටහන් කිරීම තුළ ඔබේ ආධුනික බවත් සමඟ ගැටලුකාරී තත්ත්වයන්ටත් මුහුණ දෙන්න සිදු වුණාද?

එහෙම දේවලුත් වුණා මට මතකයි. සහාය නිෂ්පාදක ලෙසින් පුහුණුවීම් කටයුතු ඇතුළු සියලු වගකීම් මා වෙත පැවරුණා. දවසක් නිත්‍ය කල්‍යාණි ගුවන් තොටිල්ල වැඩසටහන කරද්දී එක දවසකට වැඩසටහන් හතරක් පටිගත කරනවා. මටත් අත්දැකීම් අඩුයි. පටිගත කිරීම් සම්බන්ධව මේ වැඩසටහනේ ප්‍රධාන නිෂ්පාදක වුණේ පී.එල්.ඒ. සෝමපාල මහතා එතුමා මට අවශ්‍ය දේ ගැන පැහැදිලි කරල දෙනවා. වැඩසටහන් හතරක් පටිගත කළා. ඒවා විකාශයට පෙර කැසට් නැවත පරීක්ෂා කළා. එතැනදී මට අහුවුණා පටිගත කළ වැඩසටහන් හතරෙන් දෙකක් පටිගත වීමක් සිදුවී නැති බව. සමහර විට මෙය හිතාමතාම කළ දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි මට හීන් දාඩිය දැම්මා මමත් අලුත නිසා මාව අමාරුවේ දාන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ බව පී.එල්.ඒ සෝමපාල මහතා දැනුම්වත් කළාට පස්සේ ඉහළට ගිහින් නිසි බලධාරියා වූ තේවිස් ගුරුගේ මහතා ළඟටම මේ ගැටළුව ඇදිලා ගියා. හැබැයි තේවිස් ගුරුගේ මහතා හරි අවබෝධයකින් මේ ප්‍රශ්නය දෙස බලලා මට කිව්වා. ඊළඟ වතාවේ මේ වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න. නැවත ඒ වැඩසටහන් දෙක ඊළඟ වතාවේ. වැඩසටහන් හතර සමඟ පටිගත කරන්න කියලා. මේ සිද්ධිය මගේ රාජකාරී ජීවිතයේ අමතක නොවන සිද්ධියක් මේ වෙච්ච සිද්ධියෙන් පස්සේ මම හැම වෙලාවෙම රාජකාරි ජීවිතය තුළ කෙනෙක්ගෙන් දොසක් නොවසන්න කටයුතු කරන්න සැමවිටම වග බලාගත්තා.

චන්දන වැලිකල ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයටත් යොමු වෙනවා. ස්වාධීන රූපවාහිනිය තුළ රාජකාරිමය වටපිටාව තුළදීම?

ස්වාධීන රූපවාහිනිය ආධුනික කැමරා ශිල්පීන් යොදාගෙන නිෂ්පාදනය කළ මෙයද එක් කතාවක් ඒකාංගික ටෙලි නාට්‍යය මගේ පළමු ටෙලිනාට්‍යය සංගීත අධ්‍යක්ෂණය. මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ චන්දන ෆොන්සේකා මහතා. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කළ ගීත කතන්දර වැඩසටහනක් වූ සත්සර රංගන වැඩසටහන සඳහා මම සංගීත අධ්‍යක්ෂණය කළා. අනුව දශකය පමණ වන විට ස්වාධීන රූපවාහිනිය මෙගා ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා යොමු වුණා. නමුත් මට ඒ සඳහා දායක වීමක් ලබා දුන්නේ නෑ. ඔය අතරේ කාලයක් යනකොට ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ මහේෂ් සත්සර මද්දුමආරච්චි පිටපත ලියූ ‘සදා’ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කිරීමට ලැබුණා. මේ සදා ටෙලි නාට්‍යය තමයි මගේ මුල්ම මෙගා ටෙලිනාට්‍යය. ඊට පස්සේ ශාන්ත සොයිසා නිර්මාණය කළ මේගා, මිතූ මෙගා ටෙලි නාට්‍ය මම සංගීත අධ්‍යක්ෂණය කළා. වසන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ සිරීගේ ඉරණම, පොඩි මාමා ටෙලිනාට්‍ය දෙකෙත් මට සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව හිමි වුණා. ඔය අතරේ තවත් ස්වාධීන රූපවාහිනිය තුළ නිෂ්පාදනය වූ ටෙලි නාට්‍ය තිබුණා මට සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලබා දුන්නේ නෑ. මමත් ඒ ගැන කතා කරන්න ගියෙත් නෑ. මට දුන්න දේ කරගෙන මගේ පාඩුවේ හිටියා. ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කළ අවුරුදු වැඩසටහන්, පෝය වැඩසටහන් සඳහා නිර්මාණය කළ ටෙලි නාට්‍ය සඳහා සංගීත නිර්මාණය කිරීමට අවස්ථාව උදාවුණා.

ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය පවා සංගීතවත් කරන ඔබ මේ වනවිට ඇගයුම් සම්මානයන්ට පවා පත්වෙලා ඇති නේද?

කොහෙත්ම නෑ. ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසවත් අඩුම තරමින් සුමති, රයිගම්, සම්මාන උලෙළෙකදීවත් සම්මානයක් තියා විශේෂ ඇගයීමකටවත් ලක්වෙලා නෑ. ස්වාධීන රූපවාහිනි කෝපි කඩේ කොටස් දාහ දෙදාහ වගේ. කඩඉම් පහුකරනකොට විශේෂ ඇගයීමක් කළ අවස්ථා තිබුණා. ඒ වෙලාවක ඇගැයීම් සම්මාන තිළිණයක් ලැබුණු අවස්ථා තිබුණා.

මේ වෙනකොට ඔබ ස්වාධීන රූපවාහිනියේ රාජකාරී ජීවිතයෙන් විශ්‍රාම ලබලාද?

ඔව් මම 2022 වසරේ. එම ආයතනයෙන් විශ්‍රාම ලැබුවා.

අයි.ටී.එන්. එකෙන් සමුගෙන ගියත් අදටත් කෝපි කඩේ සඳහා සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායක වන ඔබ සේවයෙන් සමුගන්නට මත්තෙන් කළ අවසන් වැඩසටහන මතකද?

ඔව්. ශනිදා සාදය මේ වැඩසටහන අපි කළේ ජනප්‍රිය සින්දු ආධුනික ගායක ගායිකාවන් දොළොස් දෙනෙක් යොදාගෙන. එහි මුල් ගීතයේ ගායක ගායිකාව ගැයූ ගීතයට කිසිදු ආකාරක හානියක් නොවන ආකාරයට මුල් ගීත ගායනයට සමානව ගායනා කිරීමට ළමයින්ව පුහුණු කරමින් තමයි මේ වැඩසටහන කළේ. ශනිදා සාදය ගොඩක් ජනප්‍රිය වුණා. ප්‍රේක්ෂකයන් අතර සෑම සෙනසුරාදාකම දහවල් එකොළහට මෙම වැඩසටහන විකාශය වුණා. මේ වැඩසටහනේ වූ විශේෂත්වය තමයි අපේ ජනප්‍රිය තලයේ ප්‍රවීණ ගායක ගායිකාවන් ගායනා කළ ගීත ඒ හඬට සමීපව ළමයි දොළොස් දෙනෙක් එකවර ගායනා කිරීම. මේ වැඩසටහනට සහභාගි වූ පෙරදින වාදක මණ්ඩලයත් ආධුනික පිරිස් මගේ නිෂ්පාදනය අධ්‍යක්ෂණයෙන් තමයි මේ වැඩසටහන නිර්මාණය කළේ.

චන්දන වැලිකල විවිධ වැඩ සටහන්වලින් ආධුනික එක්කෙනෙක් තව පිරිස් සඳහා ගායනය මෙන්ම වාදනය පැත්තෙන් ගුරුහරුකම් ලබාදෙමින් ක්ෂේත්‍රයේ මං මාවත් විවර කර දුන් බවක් පවසා සිටිනවා. අද ඒ ඔබේ සෙවණ ලැබූ පිරිස් කවුරුන්ද මේ ක්ෂේත්‍රයේ ඉන්න?

ශනිදා සාදය වැඩසටහනට සහභාගි වූ කාංචනා අනුරාධා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ළමයි හිටියා. අද ඔවුන් විශ්ව විද්‍යාලයෙන් සමුගෙන රටේ විවිධ ප්‍රදේශවල පාසල්වල සංගීත ගුරුවරු. මම සේවයෙන් විශ්‍රාම ගියොත් හරි ශනිදා සාදයත් නතර වුණා.

ආයතන ගතව ඔබ රාජකාරි කරන කාලයේ ඔබේ හිඩැස පුරවන්නට ගෝලබාලයෝ හදන්න උත්සාහ ගත්තේ නැද්ද?

ඒකට ආයතනයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. මම නම් කරලා යෝජනා කළ අයත් ප්‍රතික්‍ෂේප කළා. අවස්ථාවක් දුන්නේ නෑ. කුහකම ඊර්ෂ්‍යාව කැපිලි කෙටිලි උඩු දුවලා තියෙන තැනක දක්ෂයෙක්ට ගොඩනැගෙන්න තියෙන ඉඩප්‍රස්තා ගොඩක් අඩුයි.

නිර්මාණකරණය සඳහා ඔබට දොරටු වැහෙනකොට මේ ක්ෂේත්‍රය ගැන කලකිරීමක් ඇතිවුණේ නැද්ද?

නොතිබුණා නොවෙයි. මම විඳදරාගෙන හිටියා.

ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයේ ඔබේ සුවිශේෂතා මොනවාද?

මම කළ හැම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණයක්ම මම මගේම කරගත්තා. ඒකට මමත් දායක වුණා කියන හැඟීම මා තුළ තියාගෙන තමයි මම හැම වෙලාවෙම කටයුතු කළේ. මියුසික් ටික දාලා සී.සී. එක දීලා හිටියේ නෑ. සංස්කරණ ශිල්පියත් සමඟ එකට වාඩි වී මම හදපු මියුසික් ඒ ඒ රූප රාමු සඳහා මගේ අධීක්ෂණය මත සංස්කරණ කටයුතු සිදු කළා. ඒක සංස්කරණ ශිල්පියාටත් පහසුවක් වුණා. නිෂ්පාදක පවා ඒ පිළිබඳව සතුටු වුණා. මගෙන් ඉල්ලපු දේ දීලා විතරක් හිටියේ නෑ. ඒ නිර්මාණයට මම දුන්න දේ හරියට යෙදිලා තියෙනවද කියලත් නැවත බැලීමක් මගේ නිර්මාණ ජීවිතයේ ගහට පොත්ත වගේ බද්ධවෙලා තිබුණු දෙයක්.

චිත්‍රපට හා වේදිකා නාට්‍ය පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සඳහා දැන් ඔබට ආරාධනා නැද්ද?

අද නිර්මාණය වන බොහෝ ටෙලි නාට්‍ය අඩු වියදමින් කරන්න තමයි ඕනෙ වෙලා තියෙන්නේ. තේමා ගීතය ගත්තත් එහෙමයි ඕනෙ තරම් අඩුවට කරන අය අද ඉන්නවා. ගුණාත්මකභාවය අද නිෂ්පාදනවල නෑ තියෙන්නේ නමට ටෙලි නාට්‍ය කොලිටියක් නෑ. තිබ්බ ගැහුවා නිර්මාණ තැනෙන කාලයක අපිට ආරාධනා නෑ. තවම නම් මට චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණයකට නම් කවුරුවත් කතා කරලා නෑ ලැබුණොත් සතුටින් බාරගන්නවා.

ඔබගේ සංගීත දිවියේ ගුරුවරයා වන්නේ?

පී. එල්. ඒ සෝමපාල මහත්මයා තමයි රූපවාහිනී සංගීතයේ වැඩසටහන්වල ගුරුවරයා ඔහු තමයි. මාව නිෂ්පාදකවරයෙක් ලෙස පත්කරන්නේ. නමුත් මම සංගීත විශාරද විභාගය සමත් වෙනවා. මගේ ගුරු දේවතාවන් වන්නේ බී. වික්ටර් පෙරේරා සංගීතවේදියාණන් එතුමා යටතේ තමයි නන්දාමාලිනී, මායා දමයන්ති, චාරිතා ප්‍රියදර්ශනී පීරිස් වගේ අය බිහි වුණේ. එතුමා තමයි ශාස්ත්‍රීය සංගීතය මට ඉගැන්නුවේ.

ඔබ පාසල් ගුරුවරයෙක් ලෙසත් කලක් සේවය කරනවා නේද?

1985 වර්ෂයේ මම විශාරද විභාගය සමත් වුණා. වයිලින් වාදනය තමයි මම ගොඩක් ප්‍රගුණ කළේ. අනුරාධපුර හොරොව්පතාන මහා විද්‍යාලයට මට ගුරු පත්වීමක් ලැබුණා සංගීත ගුරුවරයෙක් ලෙස මම එහි වසර දෙකක් පමණ සේවය කළා. ඔය අතරේ තමයි මට තේවිස් ගුරුගේ මහත්තයා ආරාධනයක් සමග යෝජනාවක් ගෙන එන්නේ ස්වාධීන රූපවාහිනියට එන්න කියලා.

ගුවන් විදුලියේ නාට්‍ය නිෂ්පාදනයේ නමක් දිනූ පී වැලිකළ ඔබේ පියා තාත්තාගේ මග පෙන්වීම ඔබට රුකුලක් වුණේ නැද්ද?

මගේ පියාගේ මිත්‍රයෙක් තමයි තේවිස් ගුරුගේ මහත්තයා. දවසක් එතුමන් මගේ පියාගෙන් අහලා තියෙනවා පුතා මොනවද කරන්නේ කියලා. ඒ පාර තාත්තා කියලා තියෙනවා ගුරුවරයෙක් ලෙස සේවය කරනවා කියලා. ඒ පාර තේවිස් ගුරුගේ මහත්තයා කියලා තියෙනවා පුතා කැමති නම් ස්වාධීන රූපවාහිනියට එන්න කියලා හැබැයි පී.එල්.ඒ සෝමපාල යටතේ තමයි වැඩ කරන්න වෙන්නේ කියලා.

ඒකට හේතුව එතුමා හරියට වැඩේ නොකළොත් තැනක් කොතැනක් නෑ බනින එක බනිනවා. අම්මා මුත්තා මතක් කරලා. ඒක නිසාම ගොඩක් අය වැඩේ දමල ගහලා යනවා මටත් දවසක් වැරදි දෙයක් කරලා බැන්නා බැනිල්ලක් ආයේ නොකරන්න. මම සෝමපාල මහත්තයගෙන් ඉගෙන ගත්තා කලට වෙලාවට නිවැරදිව වැඩ කරන්න. බී වික්ටර් පෙරේරා ගුරු පියාණන්ගෙන් මම දෙයක් ඉගෙන ගත්තා සමාජයේ ගිහින් ජීවත් වෙන හැටි සංගීත විෂයඥානයට අමතරව.

කලා ක්ෂේත්‍රය තුළ පියා ලබා තිබූ ජනප්‍රියත්වය ඔබට ආභරණයක් කරගන්න තිබුණා නොවේද?

තාත්තා ගුවන් විදුලියේ වැඩ කළා කියලා. මට විශේෂත්වයක් වුණේ නෑ. මම බී. වික්ටර් පෙරේරා මහත්තයා ළඟ වයලින් වාදනය ඉගෙන ගන්න කාලේ එතුමාත් එක්ක ගුවන් විදුලියට ගිහින් සංගීත වැඩසටහන් සඳහා සහය වයලින් වාදකයෙක් ලෙස කටයුතු කළා. නමුත් තාත්තා කවදාවත් මාව එයාගේ පුතා කියල ගුවන් විදුලියට එක්ක ගියේ නෑ. තාත්තා ගුවන්විදුලි ගායික ගායිකාවන් සියල්ලම පාහේ හොඳට අඳුනනවා. සංගීතවේදින් පවා තාත්තගේ හොඳ මිත්‍රයෝ. ඒත් තාත්තා කවදාවත් එයාගේ එකම දරුවා මම කියලා ඒ කාටවත් මට චාන්ස් එකක් දෙන්න කියලා කිව්වේ නැහැ. තාත්තා එයාලා ඉදිරියේ හැසුරුණේ දරුවෙක් එයාට ඉන්නවා කියලවත් නොවෙයි. කවුරුහරි ඇහුවොත් විතරයි මම ගැන කියන්නේ. මගේ අම්මා කුසුමා වැලිකල කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයයේ, නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියක් ලෙස සේවය කළා. තාත්තා පාරෙදි හරි මාව මූණට මූණ හම්බ වුණත් අඳුනන්නෙ නැති කෙනෙක් හැටියට තමයි හැසිරුණේ. හරිම අඩුවෙන් මාත් සමග කතා කළේ. ඒ තාත්තගෙ හැටි, තාත්තා කිව්වේ උඹට පුතේ හැකියාවක් තියෙනවා නම් ඒකෙන් උඹේ දක්ෂතාවයෙන් උඩට වරෙන් කියලා විතරයි.

ඔබේ නිවසත් එවක කලාකරුවන්ගේ නිරන්තරයෙන් පිරී ගොස් තිබූ වකවානුවක් නේද?

එහෙම තිබුණු කාලයක් තිබුණා වික්ටර් රත්නායක ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහත්වරු නිතර අපේ ගෙදර ආව ගියා. එතුමන් දෙපළ තාත්තාත් සමඟ එකතුව රට වටා යමින් සම්මන්ත්‍රණ තිබ්බා. ගායනය ගැන වික්ටර් මහත්තයා සංගීතය අධ්‍යක්ෂණය ගැන කේමදාස මාස්ටර්. තාත්තා රේඩියෝ ඩ්‍රාමා ගැන දේශන තිබ්බා. දවසක් මේ තුන්දෙනා අපේ ගෙදර සතුටු සාමීචියේ යෙදිලා ඉන්නකොට කේමදාස මාස්ටර් අහලා තියනවා පුතෙක් ඉන්නවා නේද කියලා. තාත්තා කියලා ඔව් කියල මොනවද දැන් කරන්නේ කියලා අහලා තියෙනවා. ඒ පාර තාත්තා කියලා දැන් උසස් පෙළ ලියලා ගෙදර ඉන්නවා කියලා. දැන් ඉන්නවද කියලත් අහලා ඒ වෙලාවේ මම යාළුවොත් එක්ක ඇවිදින්න ගිහින් එහෙමනම් මෙන්න මේ කැසට් එක පුතාට අහන්න දෙන්න කියලා එතුමන්ගේ පළමු කැසට්පටය වූ මගේ කාලේ මව්නි කැසට් එක දීල ගිහින් තිබුණා.

ආචාර්ය කේමදාසයන්ගේ “මගේ කාලේ මව්නි” කැසට්පටය ඔබේ අතට පත්වුණාද?

පත්වුණා. මෙන්න මෙහෙම. මම ගෙදරින් යාළුවොත් එක්ක ඇවිදින්න ගිය ගමන ගෙදර ආවේ රෑ දෙගොඩ හරියේ. ඒ පාර ගෙට ගොඩ වෙනකොට අම්මා බැනගෙන ගියා රස්තියාදු ගහනවා ගෙදරවත් නෑ. අද වික්ටර් මහත්තයා කේමදාස මහත්තය ගෙදර ආවා උඹ ගැනත් ඇහුවා. අන්න තාත්තාට හොඳටම කේන්ති ගිහින් බැනලා බැනලා උඹට දෙන්න කියලා කේමදාස මහත්තයා දීලා ගිය කැසට් එකත් විසික් කරලා තාත්තා අන්න නිදි කියලා. ඒ වෙනකොට තාත්තා ඒ කැසට් එක එළියට විසි කරලා අපේ එකාට මේවයේ අගයක් තේරෙන්නේ නෑ කියලා. අම්මා කිව්ව පැත්තේ මම ටෝච් එක ගහලා බලනකොට කැසට් එකේ කවරේ කේස් එක තැනක කැසට් පටය තව තැනක විසිවෙලා මිදුලේ වැටිලා තිබුණා.

මගේ කාලේ මවුනි’ රස වින්දද?

පහුවදාම අහලා බැලුවා තාත්තා නම් වගේ වගක් නැතුව හිටියා. කොහොමත් තාත්තා අඩුවෙන් කතා කළ කෙනෙක්. ඒ බව අපි විතරක් නෙවෙයි දන්නෝ දනිති? මේ කැසට් එක ඇහුවට පස්සේ මට ආශාවක් ඇතිවුණා කැසට්පට අහන්න. ගීත රස විදින්න ඒ ගීත වලට සංගීතවේදී සංගීත යොදල තියෙන හැටි ගැන අවබෝධයක් ගන්න මම නිරන්තරයෙන් ගීත කැසට්පට රසවින්දා. හැබැයි මගේ හිතේ ලොකු පසුතැවීමක් තිබුණා. කේමදාස මාස්ටර් ගෙදරට ආපු වෙලේ මට එතුමන් සමග කතාබහ කරන්න අවස්ථාවක් නොලැබීම ගැන.

ඔබ සංගීතවත් කරපු ගීත අතරින් ජනප්‍රිය තලයේ අදත් ඇහෙන ගීත මොනවාද?

දයාරත්න පෙරේරා ගායනා කරන කේ.ඩී කේ. ධර්මවර්ධන රචනා කරපු ඔබට සිත ආදරේ කරයි ගීතය.

අදහසක් නැද්ද නව පරපුරත් සමඟ අලුත් ගීත කීපයක් කරන්න?

කළා. මම අලුත් පද රචකයන්ගේ අලුත් ගායක ගායිකාවන්ගේ ගීත හතක් නිර්මාණය කරලා ගුවන් විදුලියට ගිහින් දුන්නා. ඒත් අද වෙනකම් ප්‍රචාරය කළේ නෑ. ඇහුවොත් කියනවා කොතනට හරි යොමු කලා කියලා. ඒත් මේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය නොවුණත් මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළට ගායනා කරපු ළමයි මේ ගීත දාලා තියෙනවා.

ඔබට අනන්‍ය වූ රටාවක් සංගීත සංයෝජනයේ තියෙනවාද?

මම තනු නිර්මාණයේදී බොහෝවිට මූලික කරගන්නේ ක්ලැරැන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි කරපු සංගීත නාද රටාවේ සංගීත නිර්මාණ ප්‍රවීණ ශිල්පීන් සමඟ තමයි මම ගනුදෙනු කරන්නේ. අද සංගීත අධ්‍යක්ෂවරයෙක් තනුවක් අරගෙන ගියාට ස්ටුඩියෝවේදි වාදන ශිල්පීනුත් යමක් කරනවා. මේ සඳහා ඒ වෙලාවට තනුව මගේම කියලා ඒ අයගේ අදහසට ඉඩනොදී ඉඳීමක් මා ළඟ නැහැ. ඒ අයගේ අදහසුත් මගේ අදහසට එකතුවීම තුළ ලොකු ශක්තියකින් නිර්මාණය එළි දකිනවා. මගේ යම් නිර්මාණයක් සාර්ථක වුණොත් මගේ නිර්මාණයට දායක වූ හැම කෙනෙක් ගැනම මම සඳහන් කරනවා. ඒක මගේ ගතිය මොකද ඒ අයටත් ඒ මම ලබන ගෞරවය හිමි විය යුතුයි මගේ හැම ගීත තනු නිර්මාණයකටම ලීඩ් ගිටාරය ගැහුවේ මහින්ද බණ්ඩාර.

ඔබ ආගමන ගැන ආපසු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?

සන්තෝසයක් හිතෙනවා මගේ නිර්මාණ ගැන. හැබැයි පොඩි දුකකුත් තියෙනවා අපේ හැකියාවන් ඇගැයීමකට ලක් නොකිරීම ගැන හැකියාව තියෙන අය යට නැති අය තේවිසි ගුරුගේ මහතා, නන්දා ජයමාන මහත්මිය, වසන්ත කුමාරසිරි මහත්මා, ශාන්ත සොයිසා මහේෂ් සත්සර මහත්මයා මම මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරනවා මගේ ගමනට ලොකු ශක්තියක් වීමගැන.

පාසල් කාලයේ පටන් ඔබ සංගීතයට ළැදි පුද්ගලයෙක්ද?

ඔව් මම පුංචි කාලේ නුගේගොඩ හයිලෙක්ස් විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙනුම් ලැබුවා. මගේ පාසල් කාලයේ සංගීත ගුරුවරයා වුණේ කිත්සිරි අලුත් ගේ මහතා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පෙරදිග වාදක මණ්ඩලයේ. එවක මම නිත්‍ය සාමාජිකයේ එදත් මගේ වාද්‍ය භාණ්ඩය වුණේ වයලිනිය.

ඔබේ ඉදිරි බලාපොරොත්තු?

සංගීත කටයුතු නව නිර්මාණ කරගෙන යන අතරේ මගේ අදහසක් තියෙනවා. මගේම නිර්මාණ ඇතුළත් ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න ඉදිරියේදී. ඒ ගැන බලමු නිර්මාණය මගේ අංක එක මම කවදත් මුදල ඉස්සරහට දාලා නිර්මාණ කරන්නේ නෑ සල්ලි ඕනේ තමයි. ගීත පටිගත කළත් දවසකට උපරිම පටිගත කරන්නේ ගීත දෙකක් විතරයි. එයින් එහාට දවසකට පටිගත කිරීම් කිසිවක් නෑ. කොලිටිය කියන දේ මට අවශ්‍ය දෙයක්.

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT