Home » ප්‍රේමයේ විවිධ ස්වරූප මගේ කවිවලට වස්තු විෂය වුණා

ප්‍රේමයේ විවිධ ස්වරූප මගේ කවිවලට වස්තු විෂය වුණා

ලේඛිකා / ගීත රචිකා උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය වසන්තිකා තුඩුවගේ

by mavan
May 14, 2026 1:20 pm 0 comment

ඉස්කෝලෙ යන කාලෙ තමයි මුලිහ් ම ලියන්න ගත්තෙ. හොරණ තක්ෂිලා මහ විද්‍යාලෙදි, ඒකියන්නෙ මගෙ පාසල් කාලෙ. ඊට පස්සෙ විශ්වවිද්‍යාලීය අවධියේදී නම් ලියන්න බැරි වුණා. ලිවීම මඟ හැරුණ.

ඇත්තටම ඊට පස්සෙ ලියන්න ගත්තෙ කොරෝනා කාලෙ. ඉනුත් මුහුණු පොතේ තමයි මුලින්ම ලියන්න ගත්තේ. එතකොට ඒව යාළුවො බලල කියවලා ඒ ගැන අදහස් කිව්වා. විශේෂයෙන් ම ඔවුන් කිව්වෙ දිගටම ලියන්න කියන එක. ඔය අතරෙ තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවත්වපු නිර්මාණ තරගයකට මගෙ කවියක් යැව්වෙ.ඒකෙදි මගෙ කවියට දෙවෙනි ස්ථානය ලැබුණා. ඒකත් ලොකු හේතුවක් වුණා ඊළඟට දිගටම ලියන්න. ඊට පස්සෙ ඒ ඔක්කොම නිර්මාණ එකතුවක් විදියට ‘ මේඝ ‘ නමින් නිර්මාණ එකතුවක් විදියටත් පළ වුණා පසුව. මම දිගටම ඊට පස්සෙත් මුහුණු පොතේමයි ලිව්වෙ.ඒ අතරෙ තමයි යාළුවො ඇහුව දැන් ගොඩක් ලියල තියෙනව නේද ඔයා පොතක් කරන්න කැමති නැද්ද කියල. ඒ විදියට තමයි මම ලියපු නිසඳැස් එකතු කරල මේ විදියට පොතක් කරන්න අදහසක් ආවෙ.

‘ ආදරේ සඟවාපු තැන් ‘ පුරාම පැතිරී තිබෙන්නේ ආදරයේ විවිධ වේශ. ඒ ගැන කතා කරමු ද ?

ඇත්ත. ආදරය ගැන සියලු පරාසයන්වල විහිදුණ කවි එතැන තිබෙනවා. අපි ආදරය දකින විදිහයි,එය විඳීන විදිහයි. අපේ මව්පියවරුන්ට, ගුරුවරුන්ට, දරුවන්ට ගහකොළ සොබාදහමට ආදරය කරන විදිහයි ඉන් ලැබෙන ආදරය විඳීන විදිහයි මෙහි කැටි වී තිබෙන්නෙ. ඒ අතරිනුත් අපි විඳීන්න ආස ප්‍රේමයයි විරහවයි එහි වැඩිපුර ඉස්මතුව ඇති බව මමත් පිළිගන්නව. මොකද ඒ දෙවිදියම, ඒ කියන්නෙ ආදරයත් විරහවත් දෙකම අපි ගොඩක්ම විඳීනවනෙ. ආදරය විඳීනව වගෙ අපි විරහවත් විඳීනවනෙ නේද ඒකනෙ අපි ගොඩක්ම විරහ ගීතවලට සමීප වෙන්නෙත් නේද.

විරහව විඳීන්න බලපෑ ගායකයන් කවුද ?

තරුණ පරම්පරාව ගත්තොත් සුනිර සුමංග තමා ගොඩක් කැමැති. එතනින් එහා පරම්පරාවෙ ගත්තහම ටී. එම්. ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පීරිස් වැනි ගායකයන්ට හරි කැමතියි. ඔවුන්ගෙ හඬ ඇතුළෙ මම විඳීන්න ආස මිහිරි විරහ රස දැනෙනව මට.

කවියකුට සොයාගන්න පුළුවන් වස්තුබීජ අප්‍රමාණ යි නේද ?

ඒක හරි. සමහර විට මේ ලියවිච්ච හැමදෙයක් ම මගෙ අත්දැකිම් නොවෙන්න පුළුවන්. ඒත් මට ඒව එහෙමයි කියල දැනෙන්න පුළුවන්. ඕනම විටෙක.

උදාහරණයක් ගත්තොත් මේ පොතේ මම නුවර ගැන ලියල තියෙනව. නමුත් නුවර මම උපන්ගමවත් හෝ සම්බන්ධයක් ඇති නගරයක් නෙවෙයි. ඒත් නුවර ගැන මගෙ හිතේ ලස්සන හැඟීමක් තියෙනව. හැමදාටම.නුවරට මම හරිම ආසයි.නුවර කියන්නෙම ප්‍රේමයේ තෝතැන්නක් වගෙ නගරයක්. ඇත්තටම ‘නුවර අහසම ගොළු වෙලා’ කියන කවියට මාත් හරිම ආසයි.ඉතින් ඒ හැඟීම වෙන්නැති මොකක් හෝ කාගෙම හෝ අත්දැකිමක් ලෙස එළියට එන්න ඇත්තෙ. ඉතින් එච්චර ප්‍රේමයක් උතුරා ගිය නගරෙක ප්‍රේමයක් හමු නොවූ පෙම්වත් පුරුෂයකුගෙ මනසේ කියවීමක් තමයි එහි තිබෙන්නෙ.

ප්‍රේමය ගැන කවි ගණනාවක් මේ පොතේ අඩංගුයි. ප්‍රේමය ගැන ඔබේ අර්ථකථනය මොකක්ද ?

අපි හැමකෙනෙක්ම ප්‍රේම කරන මිනිස්සු. ප්‍රේමයෙන් බැඳුණු මිනිස්සු. ඒක ඉදිරියටම අරන් යන්න ඕන කියන එකයි මගේ හැඟීම. අපි මුලින්ම තමාට ආදරය කරන කෙනෙක් විය යුතුයි. ජීවිතය ලස්සන වෙන්න පටන් ගන්නෙ එතැනින්. එහෙම වුණාම අපට ලස්සන පසුබිමක් නිර්මාණය වෙනව. අපි හැමදේම කරන්නෙ අපේ සතුට වෙනුවෙන්. ඒවගේම අපි අනුන් වෙනුවෙන් කරන කැපකිරීම්වලින් අපට සතුටක් වේ නම් එයයි ප්‍රේමය. ඒ ප්‍රේමය තුළ රාගයක් තිබෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්.

කවියෙන් ගීත රචනයට පිවිසුණ අයුරුත් කතා කරමු නේද ?

ඔව්. මම ලියපු ගීත තුනක් මේ වෙද්දි ඉදිරිපත් කරල තියෙනව. සුනිර සුමංග , දේශික කමලාංජන සහ වෛද්‍ය උදිතා කොඩිතුවක්කු ගායනා කරන. ඒ වගෙම තව ගීත කීපයක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතිනවා.

ශල්‍ය වෛද්‍යවරියක් විදියට ඔබ කටයුතු කරද්දි ලැබුණු අත්දැකිම් නිර්මාණ ජීවිතයේ කම්පනයක් ඇති කරන්න බලපෑ තැන් තිබුණාද ?

ඇත්තටම. මම කටයුතු කරන්නෙ උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියක් විදියට. ඔව්. ඔබ කිව්ව වගේම අපි ටිකක් අවිවේකයි. කෙනෙකුගෙ රෝගයක් ජීවිතයක් පිළිබඳ භාරදූර වගකීමක් එක්ක අපි නිතරම ඉන්නෙ. කෙනෙක් තමාගෙ ශරීරයක් කපා කොටා ශල්‍යකර්මයකට ලක් කරන්න අපට ඉඩ දෙනව කියන්නෙම ඔවුන් අපි ගැන ලොකු භක්තියක් විශ්වාසයක් තිබෙනව කියන එකයි. ඒකට අනිවාර්යයෙන්ම අපි ගෞරව කළ යුතුයි.

ඒ වගේම ඔවුන්ව තේරුම් ගන්න ඔවුන්ගෙ පැත්තෙන් ඉඳගෙන ඔවුන්ගෙ හැඟීම් තේරුම් ගන්න කලාව ඉවහල් වුණා කියල මම ගොඩක්ම විශ්වාස කරනවා. කලාව කියන්නෙ හරි ලස්සන දෙයක්. හැමදේම පෙන්නල දෙන අපූරු තැනක්.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT