Home » ප්‍රවීණ කලාකරුවන්ගෙන් ‘ගොන්බන්නා’ චරිතයට හොඳ ප්‍රතිචාර හිමිවුණා – රංගන ශිල්පි අරුණ ශාන්ත

ප්‍රවීණ කලාකරුවන්ගෙන් ‘ගොන්බන්නා’ චරිතයට හොඳ ප්‍රතිචාර හිමිවුණා – රංගන ශිල්පි අරුණ ශාන්ත

by mavan
April 30, 2026 12:40 pm 0 comment

රංගන ශිල්පියෙකු යනු දිනෙන් දින විවිධ නිර්මාණ හරහා අත්දැකීම් ලබා ගනිමින් සතත අභ්‍යාසයෙහි නියැළෙන්නෙකි. අරුණ ශාන්ත වර්තමානයේ රංගන ශිල්පය හදාරමින් අනන්‍යතාවයක් ගොඩනඟාගන්නා වෙර දරන නළුවෙකි. ඔහු මෙි දිනවල විකාශය වන ”මුරුගසන් වරුසා’ ටෙලි නාට්‍යයෙහි “ගොම්බන්නා” නමැති බැරැරුම් චරිතය හරහා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නට සමත් වී ඇත. මෙවර සරසවිය අවකාශයෙහි රංගන ශිල්පි අරුණ ශාන්ත සමඟ මෙසේ සොඳුරු කතාබහක යෙදුනෙමු.

ඔබ රංගනයට පිවිසෙන පසුබිම මොකක්ද?

මම හිතන්නේ ඒ පසුබිම හැදෙන්නේ මම ජීවත් වුණ පරිසරය සමඟ. මගේ ගම පිහිටලා තියෙන්නෙ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අංගම්මැඩිල්ල රක්ෂිතයට මායිම්ව. එහේ වැඩි දෙනෙක් ගොවියෝ. මම පොඩි කාලේ ගොඩක් ගෙවල්වලට විදුලි බලය තිබුණෙත් නෑ. ඒ පැත්තටම තිබ්බේ එක රූපවාහිනියයි. එකත් කළු සුදු, බැට්රියකින්තමයි වැඩ කරේ. මිනිස්සු විස්සක් තිහක් විතර එකතු වෙනවා රූපවාහිනිය බලන්න. අපේ තත්තාත් හොඳ රසිකයෙක් එයා එහේ යද්දි මාවත් එක්ක කරගෙන යනවා. මමත් හරි ආසාවෙන් යනවා. රංගනය ගැන නොවුණත් චිත්‍රපට, නාට්‍යවලින් දැකපු රූපවලට ලොකු ආසාවක් ඇතිවුණා. අපේ ගමේ පන්සලේ වෙසක් එකට පොසොන් එකට නාට්‍ය තියෙනවා අපි ඒවා බලනවා. පාසලේ තියෙන වැඩසටහන්වලට ලොකු පන්තිවල අයියලා අක්කලා නාට්‍ය කරනව ඒව බලද්දි නාට්‍ය කරන්න රගපාන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මං මගේ යාළුවොත් එක්ක එකතුවෙලා පොඩි පොඩි නාට්‍ය කරා.

පස්සේ අපි සාමාන්‍ය පෙළ කරන කාලෙදි අපේ ගමෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියපු අයියා කෙනෙක් හිටියා එයා ජපුර විදිනාට්‍ය කණ්ඩායමට එකතු වෙලා වැඩ කළා. එයා ගමට ආවට පස්සේ අපි ගොඩක් දේවල් එයාගෙන් ඉගෙන ගත්තා. ඒකත් එක්ක තමයි මේකේ රහ හරියටම දැනෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ මේකෙ දෙයක් ඉගෙන ගන්න තියෙන බව තේරුණා. දේවල් හොයන්න පටන් ගත්තා. මම උසස් පෙළ කරේ ගිරිතලේගම මහා විද්‍යාලයේ. දවසක් මට මගේ යාළුවොන්ගේ මාර්ගයෙන් පුළුවන් වෙනවා කුමුදු නිශාන්ත පෙරේරා මහත්තයාගේ වැඩමුළුවකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ තමයි මගෙ ජීවිතය වෙනස් වුනේ. මේ රංගනය කියන කාර්යය හරියටම ඉගෙනගන්නේ මෙහි තිබෙන ගැඹුර අවබෝධ වෙන්නේ. මං හිතන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා මම හරියටම ඉගෙනගන්නේ කුමුදු නිශාන්ත පෙරේරා සර්ගෙන්.

එතැන් පටන් මම දිගටම කුමුදු සර්ගේ වැඩමුළුවලට සහභාගි වෙනවා මට හැකිවෙනවා සර්ගේ නාට්‍යය කීපයකට ටෙලි චිත්‍රපටයකට සහ තවත් ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඊට පස්සෙ මම මහේන්ද්‍ර පෙරේරා මහතාගේ වැඩ මුළුවලට ද සහභාගි වෙලා අධ්‍යන කටයුතු සිදු කරනවා. ඒ අතරෙදි මගේ වාසනාවකට මට හැකි වෙනවා මුරුගසන් වරුසාව ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න. එහි අධ්‍යක්ෂතුමා සංඛ වීරසිංහ අයියා තමයි මට කතා කරන්නේ ගොම්බන්න කියලා අපූරු චරිතයක් තියෙනවා ඒක නිරූපණය කරන්න කියලා. ඉතින් මම හිතනවා මම ජීවිතේ ලබපු ලොකු අවස්ථාවක් එම චරිත නිරූපණය කිරීමට හැකිවීම කියලා.

මුරුගන් වරුසා ටෙලි නාට්‍යයේ “ගොම්බන්නා” චරිතය සුවිශේෂි චරිතයක් වගේම සංකීර්ණ චරිතයක්. මේ චරිතය වෙනුවෙන් ඔබ කළ අධ්‍යයනයන් මොනවද?

මම හිතන්නේ වැඩමුළුවලදි අපි කරපු අභ්‍යාසයන්, අපි කතා කරපු දේවල්, බලපු චිත්‍රපට, සමාජයෙන් ලැබෙන අත්දැකීම් මේ හැමදේම මේ චරිතයට ඉවහල් වුණා කියලා. “ගොම්බන්නා ” කියන්නේ මානසික ආබාධයක් සහිත අහිංසක, ගවයින් බැලීම ජීවනෝපාය කරගත් තරුණයෙක්. මෙම චරිතය ගැන අධ්‍යක්ෂතුමා මට පැහැදිලි කරලා දුන්නට පස්සේ සූදානම් වෙන්න විශාල කාලයක් තිබ්බේ නැහැ. මේකප් ටෙස්ට් එකෙන් පස්සෙ බොරු දත් ටික හදලා සතියකින් රූපගත කිරිම් ආරම්භ කරන්න තිබ්බේ. මම හඳුනන විශ්ෂ අවශ්‍යතා තියෙන මල්ලිකෙනෙක් ඉන්නවා. එයාගෙ හැසිරිම මං සෑහෙන්න අධ්‍යයනය කළා. අන්තර්ජාලය හරහා තොරතුරු එකතු කරගත්තා. ඒ වගේම එවැනි පුද්ගලයන් මේ සමාජයේ මට හම්බවෙලා කතා කරල තියෙනවා . මම හිතන්නෙ ඒ දේවල් මට ගොඩක් වැදගත් වුණා. චරිතය නිරූපණය කරද්දි අ‍ධ්‍යක්ෂකතුමාගේ අනුදැනුම සහිතව. මට හිතෙන්නේ ඉහත කියපු හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් ගොම්බන්නාට එකතුවුණා දැනුවත්ව හෝ නොදැනුවත්වම. එම නිසා ම ගොම්බන්නා කියන ඒ ළෙංගතු සංවේදි චරිතය එළියට ආවා. මට නිහතමානි සතුටක් තියෙනවා, මොකද මුරුගසං වරුසාව නිර්මාණයේ හිටපු ප්‍රවීණ කලාකරුවන්ගෙත් අධ්‍යක්ෂකතුමා ඇතුලු ටෙලිනාට්‍ය කණ්ඩායමෙත් බොහෝ පිරිසකගෙන් මට හොද ප්‍රතිචාර හිමිවුණා. ඒකත් එක්ක මගෙ විශ්වාසය වැඩිවුණා. ඒ වගේම ඒ සියලු දෙනාගේම ගුරුහරුකම් සහ හොඳ සහයෝගයක් හිමිවුණා. අපි සියලුමදෙනාගේ මහන්සියේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ගොම්බන්නා කියන චරිතය සාර්ථකව නිරූපණය කිරීමට හැකිවෙන්නේ. ඒ සියලුදෙනාම ආදරයෙන් හා ගෞරවයෙන් මතක් කරනවා.

රංගන ශිල්පියෙකු විදියට ඔබ කරන අභ්‍යාස මොනවද?

රංගන ශිල්පියෙකු ලෙස සමාජය පිළිබඳව සවිඥානික වීම තමයි මම හිතන්නේ වැදගත්ම අභ්‍යාසය කියලා. මොකද මේ අපි ජීවත් වෙන සමාජයම තමයි රංගන කාර්‍යයේදි අපිට ප්‍රතිනිර්මාණය කරන්න සිද්ද වෙන්නෙ. මම හිතනවා මගේ රැකියාව ඒ සදහා මට ලැබුණු ලොකු අවස්ථාවක් කියලා. මොකද විවිධ තරාතිරම්වල විවිධ මානසික මට්ටම්වල පුද්ගලයින් සමග ගනුදෙනු කිරීමට මේ රැකියාවෙදි මට අවස්ථාව හම්බ වෙනවා. ඒ අත්දැකීම්වලින් මාව පුරවාගැනීමට ලැබීම මට ලැබුණ ලොකු අවස්ථාවක් කියලා මම හිතනවා. මම පුළුවන් සෑම අවස්ථාවකම පොත් කියවනවා. දැනුම සහ අත්දැකීම්වලින් සන්නද්ධ වීම රංගන ශිල්පියෙකුට වැදගත් වෙනවා. ඊට අමතරව ශරීරය, කටහඬ යෝග්‍යව තබා ගැනීමට අවශ්‍යව අභ්‍යාස දිනපතා නොහැකිවුණත් හැකි සෑම අවස්ථාවකම සිදු කරමින් මීළග රංගකාර්ය සඳහා ශරීරය සහ මනස සූදානම්ව තබා ගන්නවා.

ඔබගේ රංගනය වැඩි දියුණු කරගන්න අනුගමනය කරන හෝ අධ්‍යයනය කරන රංගන ශිල්පීන් ⁣කවුද?

මගේ ගුරුවරුන් වෙන්නෙ මහේන්ද්‍ර පෙරේරා මහතා සහ කුමුදු නිශාන්ත මහතා. ඉතිං ඔවුන්ගේ ගුරුහරුකම් සහ මඟපෙන්වීම් මත මගේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. මම අධ්‍යනය කරන්නේ අනුගමනය කරන්නේ ඔවුන් දෙදෙනාම තමයි. විශේෂයෙන්ම මම හිතන්නේ දැනට වර්තමානයේ ලංකාවේ සිටින විශිෂ්ටතම රංගන ශිල්පියා තමයි මහේන්ද්‍ර පෙරේරා මහතා. පුංචි කාලෙ ඉඳන්ම හරි ආසාවෙන් එතුමාගේ රංගනය රස විඳීනවා. මහේන්ද්‍ර පෙරේරා සර් කියන්නෙ විශාල දැනුම් ගබඩාවක් විශ්වවිද්‍යාලයක් ජීවිතයේ කෙනෙකුට මුණගැහෙන්න පුළුවන් දුර්ලභ පුද්ගලයෙක්. ඉතිං ජීවිතයේ මම ලබපු විශාල භාග්‍යයක් තමයි එතුමන් යටතේ රංගනය හැදෑරීමට අවස්ථාව ලැබීම. ඒවගේම කෙනෙක්ට ජීවිතයේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් කියල හිතනව එවැනි පුද්ගලයෙකුගේ ඇසුර ලැබීම.

ලංකාවෙන් ඔබ්බට ගියාම මම හරි ආසවෙන් රසවිඳීන රංගන ශිල්පීන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි මලයාලම් සිනමාවේ ෆහාද් ෆාසිල් සහ හින්දි සිනමාවේ ඉර්ෆාන් ඛාන්. ඔවුන්ගේ නිර්මාණ අධ්‍යයනය කරනවා. හැකි සැම දෙයක්ම උකහාගන්න උත්සහ කරනවා. ඊට අමතරව හැකි සැම අවස්ථාවකම චිත්‍රපට නරඹනවා. වැඩමුළුවලට සහභාගි වෙනවා. වැඩමුළුවලින් හමුවුන මිතුරන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමඟ විෂය පිළිබඳ සොයනවා, ඊට අමතරව අපි චිත්‍රපට සංස්ථාවෙන් සංවිධානය කරන උලෙළවල්වලට සහභාගි වෙනවා, මොකද නිතර දකින්න බැරි නිර්මාණ රසවිඳීන්න පුළුවන් නිසා. හැකි සෑම අවස්ථාවකම වැය කරන්නෙ මේ සඳහා තමයි.

ඔබේ අදහසට අනුව රූපණවේදියෙක් එහෙමත් නැත්නම් හොඳ නළුවෙක් කියන්නේ කවුද?

මම හිතන්නෙ ඒක හැමවිටම සාපේක්ෂයි . හොඳ නළුවෙක් කියලා යම් නිර්ණායක මඟින් කෙනෙක්ව නම් කරන්න අමාරුයි. එක් නිර්මාණය සාර්ථකව චරිතය නිරූපණය කරන රංගන ශිල්පියෙක් තවත් නිර්මාණයක අසාර්ථක වෙන්න පුළුවන්. අපි හැමවෙලේම ගනුදෙනු කරන්නේ මේ සමාජයත් එක්ක පරිසරය එක්ක. ඉතිං මේ දේවල් පිළිබඳ සවිඥානික, සංවේදී සමාජය හොඳීන් අවශෝෂණය කර ගනිමින් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට හැකි පුද්ගලයෙක් හොඳ නළුවෙක් කියලා මම හිතනවා.

ඔබේ රාජකාරි ජීවිතයත් සමඟ රඟපෑම වෙනුවෙන් කාලය සමබර කරගන්නේ කොහොමද?

මම රාජකාරි කටයුතු කරන්නෙ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්යාල සහයකයෙක් වශයෙන්. මගෙ රැකියාව මම ලබපු විශාල අවස්ථාවක් . මොකද මම පිරෙන්නෙ එතනින් විවිධ සමාජ මට්ටම්වල විවිධ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව හිමිවෙනවා. මම හරි සතුටින් මගෙ රාජකාරි කටයුතු සිදු කරනවා. මම හරි ආඩම්බර වෙනවා, එවැනි රැකියාවක් කිරීමට ලැබිම සම්බන්ධයෙන්. ඒ වගේම මගේ කාර්යමණ්ඩලයෙන් විශාල සහයෝගයක් මට ලැබෙනවා.

ඔවුන්ගෙ ඒ සහයෝගය නොලැබුණොත් මට මෙවැනි ආකාරයෙන් කලා කටයුතු සදහා සම්බන්ධ වෙන්න හම්බවෙන්බ වෙන්නෙ නෑ. ඉතිං මම හැකි සෑම විටම මගෙ නිවාඩු අරන් රාජකාරියට බාධාවක් නොවන ආකාරයෙන් කලා කටයුතු සදහා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි වාට්ටු අංක 08 කාර්‍යමණ්ඩලය. වාට්ටු භාර හෙද නිලධාරීතුමිය ඇතුළු සියලුම දෙනා විශාල සහයෝගයක් ලබා දෙනවා. මගෙ සහෝදර සේවක මහත්ම මහත්මීන් මගේ සේවා මුර ආවරණය කරමින් හැකි සෑම අවස්ථාවකම කලා කටයුතු සදහා සම්බන්ධ වීමට මාව දිරිමත් කරනවා. ඒ වගේම අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයේ සියලුම දෙනාට ස්තූතිවන්ත වීමට මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේස මාව දිරිමත් කරමින් කලා කටයුතු සදහා ලබාදෙන සහයෝගයට. ඒ වගේම මම මෙය අවස්ථාවක් කරගන්නවා මම අද සිටින ස්ථානය දක්වා ජීවන මගෙහි පැමිණීමට වචනයකින් හෝ උදව් උපකාර කළ මගේ දෙමව්පියන්ගේ පටන් සියලුදෙනාටම ස්තූතිවන්ත වීමට. සියලු දෙනාටම බොහෝම ස්තූතියි .

ඔබ සම්බන්ධ මීලඟ නිර්මාණ මොනවද?

මුරුගසන් වරුසාව ටෙලිනාටයට පස්සෙ වෙන නිර්මාණයකට දායක වීමට තවම අවස්ථාවක් හිමිවුණේ නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනවා ඉක්මනින් නිර්මාණයකට සම්බන්ධ වීමට මේ වසර තුලදී අවස්ථාවක් ලැබෙයි කියලා. පිටපත් ලිවීම සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තියෙනවා ඒ පිළිබඳව අධ්‍යයනය කටයුතු සිදු කරනවා. පෙර කියු පරිදි විෂයට සම්බන්ධ ස්ථානවල ගැවසෙන්න උත්සහ කරනවා. තිර පරීක්ෂණ සඳහාත් සහභාගී වෙනවා. ඊට අමතරව අධ්‍යයන කටයුතු සිදු කරමින් මාව පුරවාගනිමින් මගේ ශරීරය සහ මනස සූදානමින් තබා ගනිමින් සිටිනවා මීළඟ රංග කාර්ය සඳහා. ඉතින් මං බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම හොඳ නිර්මාණයට දායක වීමට අවස්ථාව ලැබෙයි කියලා.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT