දර්ශන තලයක නිෂ්පාදනය සිදුවන ආකාරය පිළිබඳව අත්දැකීම ලබා ගැනීමට ඔහුගේ සිතෙහි ආශාවක් මොදු වෙමින් තිබිණි.ඒ සඳහා ඔහුට අහඹු ලෙස දොරටු විවර විය.එහි ප්‍රතිඵලයක් ලෙස නොදැනුවත්ම රගපෑමේ වරම් හිමි විය.පසුගිය දිනවල තිරගත වූ ධර්ම යුද්ධය චිත්‍රපටයේ ගැමි තරුණයකුගේ භූමිකාව නිරූපණය කිරීමට ඔහුට අවස්ථාව සැලසිණි.මෙවර අප හා පිළිසඳරෙහි එක්වන ඔහු නවක රංගන ශිල්පී රංජුල විජේසේකර.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මම රංජුල විජේසේකර.මගේ මුල් ගම වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරය. අපොස උසස් පෙළ විභාගයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය සහ රැකියාවක නිරත වීම සඳහා කොළඹට පැමිණියා. දැන් මගේ ස්ථීර පදිංචිය මහරගම ඇරැව්වල.මම උසස් පෙළ හැදෑරුවේ වාණිජ විෂය ධාරාවෙන්. මම ඉගෙන ගත්තේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහ විද්‍යාලයේ.
පවුලේ විස්තර ගත්තොත්,
අම්ම, තාත්තා, මල්ලි සහ මම විතරයි ඉන්නේ. මගේ තාත්තා රාජ්‍ය බැංකුවක විශ්‍රාමික ප්‍රධාන කළමනාකරුවෙක්.
තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ.
අම්මා ගෘහණියක්.මල්ලි රාජ්‍ය බැංකුවක විධායක නිලධාරියෙක් වශයෙන් සේවය කරනවා.කාලයක් මම පුද්ගලික අංශයේ ගිණුම්කරණ ක්ෂේත්රයේ විවිධ තනතුරු වල නිරත වෙමින්, පසුව ගණකාධිකාරීවරයෙකු වශයෙන් පුද්ගලික අංශයේ සේවයේ නියැළුණා.ඉතින් රංගනය මගේ වෘත්තීය නෙවෙයි. නමුත් රැකියාව වශයෙන් කරගෙන යන්න සිතුවා.
කොහොමද මේ ක්ෂේත්රයට අවතීර්ණ වුණේ ?
මේක ඇත්තටම අහඹු සිද්ධියක්. මීට අවුරුදු දෙකකට කලින් මගේ පුද්ගලික කාරණයක් නිසා තාවකාලිකව රැකියාවෙන් ඉවත් වුණා .මම ටෙලි නාට්‍ය ඒ වගේම චිත්‍රපටි බැලුවට මේවා නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා මට බලාගන්න දැක ගන්න ඕන වුණා.
ඉතිං මම “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ දෙවන කොටසේ පළමු රූපගත කිරීමේ අවස්ථාවට රංගනයෙන් දායක වුණා.එහිදී ඇතිවුණු රංගනය පිළිබඳ කැමැත්ත මත මම රංගනයත් වෘත්තිමය ආකාරයෙන් පවත්වාගෙන යන්න තීරණය කළා.
මේ දිනවල තිරගත වන ධර්ම යුද්ධයෙහි ඔබ ගම්වැසියෙකුගේ චරිතයක් නේද නිරූපණය කරන්නේ ?
ඔව්. ධර්ම යුද්ධය කියන්නේ මම සම්බන්ධ වන දෙවැනි චිත්‍රපටය. මෙහිදී මම ගැමියෙකුගේ චරිතයකට රංගනයෙන් දායක වුණා.නමුත් මගේ පළවෙනි චිත්‍රපටය නීරා.
කොහොමද එයට ලැබුණ ප්‍රතිචාර ?
ධර්මය යුද්ධය (1) එක චිත්‍රපටය කියන්නේ වාර්තා පෙන්වූ චිත්‍රපටියක්.
ඉතින් ධර්ම යුද්ධය දෙක චිත්‍රපටයට කුමන හෝ චරිතයකින් දායක වීමට ලැබීම ඇත්තටම මම ලබපු භාග්‍යයක් කියලා මං හිතනවා.මෙයට දායක වීම තුළින් විශාල පිරිසකට මගේ රංගනය පුළුල් තිරය මත දැකගන්න ලැබුණා.
ඉතින් කාලයක් ගණකාධිකාරී වෘත්තය යෙදුණු මම, මෙවැනි නිර්මාණයක් තුළින් මාව දැන හඳුනා ගැනීම තුළින් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. එම ප්‍රතිචාර මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි යැයි මම සිතනවා.
ඔබ චරිතාංග නළුවෙක් නේද ?
ඇත්තටම නැහැ. මම තාම අංකුර නළුවෙක්. චරිතාංග නළුවෙක් විදියට රඟපාන්න හොඳ දැනුමක් ඒ වගේම විවිධ චරිත පිළිබඳ අත්දැකීමක් ,අවබෝධයක් තියෙන්න අවශ්‍යයි.හැබැයි මගේ ඉලක්කය කවද හරි දවසක හොඳ චරිතාංග නළුවෙක් වීමයි.
වෘත්තියෙන් රංගන ශිල්පියෙක් ද?
දැනට මම වෘත්තීමය රංගන ශිල්පියෙක් විදියට එම ක්ෂ්ත්රයට අවතීරණය වෙමින් ඉන්නවා.
දැනට රැකියාවයි රංගනයයි සමබරව කරගෙන යන්නේ කෙසේද?
දැනට නිදහස් වෘත්තිකයෙකු වශයෙන් මං රැකියාවෙහි නිරත වෙනවා.
එහිදී මට ලැබෙන නිදහස් කාලය තුළින් තුළින් රංගන කටයුතුවලත් නිරත වෙනවා.
ඉදිරියේදී ඔබ රංගනය වෘත්තිය ලෙස තෝරා ගැනීමට කටයුතු කරන්නේ ඇයි ?
ඇත්තටම මම රංගන කටයුතු තුළින් ලොකු තෘප්තියක් ලබනවා මගේ රැකියාවට වඩා. රංගනය කියන්නේ ඒකාකාරීව යෙදෙන කටයුත්තක් නෙවෙයි.
විවිධ චරිත වල රංගනයෙන් දායකය වීමට ලැබෙන අවස්ථා තුළින්, ඒ වගේම එම නිර්මාණ තිරගතවීම තුළින් හා ඒවා නැරඹීමෙන් මම තෘප්තියක් ලබනවා.
රංගනයට පූර්ණකාලීනව ප්‍රවිෂ්ඨ වීම පිළිබඳ පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාරය මොනවගේද ?
ඇත්තටම මට ඒ සඳහා පවුලේ අයගෙන් බාධාවක් නැහැ. ඔවුන් කැමතියි මම රංගනයේ නිරත වීම සම්බන්ධව.
මේ දිනවල වැඩකටයුතු මොනවාද ?
කුමාර තිරිමාදුර මහතා විසින් අධ්‍යක්ෂණය කරන තුන්වෙනි නිර්මාණය වන බාල්රාජ් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.
ඒ වගේම සාලින්ද රත්නායක මහතාගේ අධ්‍යක්ෂණයක් වන ඉදිරියේදී විකාශනය වීමට නියමිත නවතම ටෙලි නාට්‍යය නිර්මාණයක් සහ ටෙලි චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාවක් ලැබුණා.
ප්‍රභාත් මහතා විසින් අධ්‍යක්ෂණය කරන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
රංගනයට අමතරව ඔබ ජායාරූපකරණයෙහි නිරත වෙනවා නේද?
ඔව්.ඡායාරූප ශිල්පීකරණය මම විනෝදාංශයක් විදිහට කරගෙන යනවා. මෙහිදී මම භූ දර්ශනය, වීදි සහ සංචාරක පැත්ත තමයි ජායාරූප කරණයේදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ.
වත්මනෙහි සමහර නවක ශිල්පීන්ගේ රඟපෑම් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙහි රැඳීම අවමයි.නවකයෙකු විදිහට මෙය ඔබ දකින්නේ කෙසේද?
ඇත්තටම මේකට බලපාන එක් හේතුවක් තමයි තමාටම ආවේණික චරිත ලක්ෂණ හැම නිර්මාණයක තුළින්ම ඉදිරියට පැමිණීම. ඒ වගේම තමයි එකම චරිතයක දීර්ඝකාලීනව රංගනයෙන් දායක වීම.
රංගනය කියන්නේ කවදාවත් ඉගෙන අවසන් කරන්න බැරි පුළුල් විෂයක්.
හොඳ නළුවෙක් වීමට නම් සතතා ආභ්‍යාසය (නිරන්තර පුහුණුවක) යෙදෙන්න ඕනා. ඒවගේම විවිධ විවිධ චරිත අධ්‍යයනය කරලා, හොඳ නාට්‍ය චිත්‍රපටි බලලා , පොත් කියවීම තුළින් හොඳ පන්නරයක් ලබාගන්න ඕනා.
රඟපෑ චරිත අතරින් වඩාත්ම කැමති නිරූපණය කුමක්ද?
ඇත්තටම ඇහුවේ හොඳ ප්‍රශ්නයක් , ඒ වගේම උත්තර දෙන්නා ටිකක් අමාරුයි.
මෙතෙක් කල් මම රංගනයෙන් දායක වුණු සියලුම නිර්මාණවල චරිත වලට මම ගොඩක් කැමතියි.
නමුත් පසුගිය අවුරුද්දේ අග භාගයේ ලස්සන ජයසේකර මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරපු “දස මස කුසලා” මියුසික් වීඩීයෝවෙහි ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වන්න අවස්ථාව ලැබුණා. ගමක දුප්පත් කුලී වැඩ කරන මිනිසෙකුගේ චරිතය තමයි එහි මං නිරූපණය කළේ. මේ චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
චරිතයක් නිරූපණය කිරීමේදී ලැබූ අභියෝග සහ අත්දැකීම් සිහිපත් කරොත් ?
අපි චරිතයක් නිරූපණ කිරීමට ප්‍රථම පිටපත ලැබුණු අවස්ථාවේදී එම පිටපත හොඳීන් කියවා චරිතයේ සියුම් තැන්, චරිතයේ ස්වභාවය සහ ගති ලක්ෂණ හොඳීන් අවබෝධ කර ගැනීම තුළින් සහ අධ්‍යක්ෂකවරයාගේ හිතේ ඇඳීල තියෙන චිත්‍රයට අනුව තමයි අපි චරිතයකට ප්‍රවිෂ්ට වෙන්න ඕන.
නාට්‍යවේදී අධ්‍යක්ෂක අකිල සපුමල් මහතාගේ කුලුඳුල් නාට්‍ය නිර්මාණයක් වන “රූ රැසේ” ටෙලි නාට්‍යයේ මට හේවායෙකුගේ චරිතයක් නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණා. එහිදී මට තිබුණේ කැලයක් මැදින් කඩුවකුත් ඔසවාගෙන කාන්තාවක් පසුපස හඹා ගොස් ඇයත් සමග බෑවුමක් සහිත ගල්තලාවක් මත කරන සටන් ජවනිකාවක්.
මෙහිදී මට අභියෝගයක් හා ලොකු අත් දැකීමක් වූණේ කිසිදු හානියකින් තොරව කාන්තාව පසුපස රූස්ස කැලයක් මැදින් එළවාගෙන යන අවස්ථාවේදී ගල් ගස් මුල් ආදී දේවල් මගහැරගෙන , තරමක බෑවුමක් සහිත ගල්තලාව මත දී නොලිස්සා කඩු හරඹයක යෙදීමයි.
ඒ වගේම ලස්සන ජයසේකර මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ වුණු “දස මස කුසලා” මියුසික් වීඩියෝ එක තුළින් මට ලැබුණු ගමක දුප්පත් ගැමියෙකු චරිතය මට එක්තරා අභියෝගයක් ඒ වගේම ලොකු අත්දැකීමක් වුණා.
මෙතෙක් ආ ගමන පිළිබඳ තෘප්තිමත් ද ?
ඇත්ත වශයෙන්ම ආපු ගමන ගැන මම ගොඩක් තෘප්තිමත්.
ඉදිරියේදිත් වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය, මියුසික් වීඩීයෝ , වෙළෙඳ දැන්වීම් තුළින් රංගනයෙන් උපරිම දායකත්වය දෙමින් ලැබෙන චරිත වලට උපරිම සාධාරණයක් කරමින් මෙම ක්ෂේත්රයේ ඉදිරියට පැමිණීම තමයි මගේ එකම බලාපොරොත්තුව.
කලාවට සම්බන්ධ අය පවුලේ ඉන්නවාද ?
මගේ පවුලේ කිසිම කෙනෙක් ඒ වගේම යාළුවෙක් වත් කලා ක්ෂේත්රයට කිසිම ආකාරයකින් සම්බන්ධ වෙලා නැහැ.
පාසැල් වේදිකාවේ රංගනයෙහි නිරත වී තියෙනවාද?
මම ඒ දවස්වල කිසිම වේදිකාවක් දිහා බලලා වත් නැහැ. නමුත් දැන් මම වේදිකාවට ගොඩක් ඇලුම් කරන කෙනෙක්.
සංගීත අංශයෙන් ඉදිරියේ දී ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
ඇත්තටම නැහැ.
ඡායාරූප ශිල්පීකරණය වගේම ගිටාර් වාදනය කරන්නේ මගේ විනෝදාංශයක් වශයෙන්.
රංජුල,රංජුලව දකින්නේ කොයි විදිහට ද?
මගේ ජීවන ගමනේ මුල සිට අද දක්වා බැලුවොත් , පසුගිය අවුරුදු දෙකෙන් පසු මම කොටුවෙලා හිටපු ඒකාකාරී රාමුවෙන් මිදිලා විවිධ පැති කිහිපයකට, කලාව පැත්තේ දැනුම සහ අධ්‍යාපනය වර්ධනය කර ගනිමින් වෙනස් ආකාරයෙන් ගමන් කරමින් ඉන්නවා.
වසුන්දරා කුමාරී ධර්මරත්න
