නිවස විශේෂාංග ලස්සනට අඳින්න ලස්සනට හැදෙන්න තාත්තා නිතර කීවා

ලස්සනට අඳින්න ලස්සනට හැදෙන්න තාත්තා නිතර කීවා

කේ.ඒ.ඩබ්ලිව් පෙරේරාගේ පුතු ජයන්තදාස් පෙරේරා කියයි

by Test User
March 7, 2024 12:53 am 0 comment

” කෙතරම් කාර්ය බහුල වුවත් තමන්ගෙ බිරිඳ ට දරුවන්ට පණ මෙන් ආදරය කළ අපෙ රත්තරන් තාත්තා මේ සංසාර ගමනේ හැම භවයකදීම මට හමුවේවා කියලයි මම මගෙ මුළු හදවතින්ම ප්‍රාර්ථනය කරන්නෙ…”

පොදු ජන සිනමාවක් බිහිකිරිමේ පුරෝගාමීත්වය ඉසිලූ… දේශීය සිනමාව ආරක්ෂා කරගැනීමේ උත්තුංග වෑයමෙහි නියැළුණු එතුමා තුළ තිබූ සිනමාවට බැඳී ආදරයද මෙතෙකැයි කිව නොහේ.

තම කාර්ය බහුල දිවිසැරියේ නිරතුරු තම හිත පුබුදු කළ ආදරණීය පවුල් ජීවිතයටද නොහිම් සෙනෙහස පිදූ ආදර්ශවත් ස්වාමියකු..සෙනෙහෙබර පියකු ලෙසින් එතුමා ලද නොතිත් ගෞරවය ද කිසිවිටෙක අමතකව නොහේ… 

එවන් උදාරතර සිනමාවේදියකු පිළිබඳව මෙවර සරසවිය මවුපිය වරුණ ට ලියන්නට ගිය ගමනේදී මට හමුවූ සොඳුරු සිතැත්තකු දැන් මා සමීපයේය..සිනමා රිදී තිරය මත හුරුබුහුටි නාඹර යෞවනයකුසේ එදා දුටු මට අද ඔහු පෙනෙන්නේ මුහුකුරා ගිය අත්දැකීමෙන් හා බහුශ්‍රැත බවින් පිරි තැන්පත් පුද්ගලයෙකි..

මෙවර අපේ කතා සිරිත සිරිමත් කරනා සොඳුරු කතා නායකයාණෝ සිනමා ලොව ඉහළම නමක් තබන්නට සමත් වූ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා නම් අසිරිමත් යුග පුරුෂයාය…

සිනාමුසු මුහුණින් තැන්පත් කතා විලාශයෙන් මේ කටහඬ අවදි කරන්නේ එතුමාගේ දෙවන පුතු ප්‍රකට රංගධර…චිත්‍රපට නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂකවරයකුද වන සිනමා රසිකයාට හුරුපුරුදු ජයන්තදාස් පෙරේරා මහතාය.

ප්‍රථමයෙන් සරසවිය “මවුපිය වරුණ ” විශේෂාංගය මහත්සේ අගය කළ අපේ ආදරණීය “ජයන්තදාස් මහතා……

” අපෙ තාත්තා ගැන අගය මට වචනයෙන් කියාගන්න බැරි තරම්..අපෙ තාත්තා අපෙ අම්මාට හදවතින්ම දුන් ගෞරවනීය පවුල් ජීවිතය වගේම දරුවන් වන අපටත් කිසිම දෙයකින් අඩුවක් නොකර දුන්න උතුම් සෙනෙහස තවමත් අපට මතකයි…සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන මටත් හැමතින්ම ආදර්ශය වුණේ අපෙ තාත්තායි.

දන්නවද අමල්..අපෙ තාත්තා නිතර අපට කී වචන පෙළක් තිබුණා..ලස්සනට අඳීන්න..ලස්සනට හැදෙන්න..” ඔන්න ඔය ටික කියමින් තමයි අපෙ තාත්තා අපෙ අම්මාට වගේම අපටත් සැබෑ ආදරයම දී අපව රැකබලා ගත්තෙ..ජාති ජාතිත් මගෙ තාත්තාම මට හමුවන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනය කරනවා..”

මාතර, කැකුණදුර විදානගමගේ කවිනිහාමි රත්නායකගේ නැන්සිනා පෙරේරා සහ ඇරැව්වල , කොද්දුල්ල ආරච්චිගේ විල්බට් පෙරේරා යන දෙපළට හුන් ඇස්දෙකවන් එකම පුතු උපන්නේ කොළඹ ..හැව්ලොක් ටවුමේ ඉසිපතනාරාමයට නුදුරු මධ්‍යම පන්තියේ නිවසකය….ඒ 1926 ක්වූ අප්‍රේල් මස 15 වනදාය..එකම පුතාගේ උප්පැන්නයට තාත්තා දී තිබූ නම වූයේ කොද්දුල්ල ආරච්චිගේ විල්සන් පෙරේරා ය..”විල්සන් “නමට මහ ආරෝවක් ගෙදර පත්තු වූයේ විල්සන් පුතුගේ ආත්තම්මා ගෙනි. ඊට අම්මා ද එක්ව සිටියාය.

“විල්සන් ..? ඒ නොසණ්ඩාල ඉංග්‍රීසි නම මොකක්ද බොලව්..සිංහල නමක් ඔච්චරටම නැතිවුණාද ? ”

කතාව දිග්ගැස්සිණි..තාත්තා අසරණ වූ නියාවෙනි. සැර කතාවෙන් ආත්තම්මා එකපයින්ම කියන්නට වූයේ අපේ කොල්ලාට පරයින්ගෙ නම් එපා..දමාපියව් අප්පුහාමි කියලා..ඒ සිංහල නම අපේ වංශෙටත් ගැළපෙනවා..”

ආත්තම්මා තිර හඬින් එසේ කීවාය..

මෙතුවක් සිනාබර මුවින් මදෙස බලාහුන් අපේ ආදරණීය ජයන්ත කියන්නට වූයේ මේ ටිකය.

“යම් විදිහකින් අපෙ තාත්තාගෙ උප්පැන්නයට අප්පුහාමි නම වැටුණා නම් ලෝකයේ පෙනී සිටින එකම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා අපෙ තාත්තා වන්නට ඉඩ තිබුණා ..”

හෙතෙම සිනාසෙන්නේය.

අපේ ආදරණීය කතා නායක “විල්සන් ” මූලික අධ්‍යාපනයට ගියේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය භූමියේ පිහිටි සිංහල පාසලටය..පස්වන පන්තිය දක්වා එහි ඉගෙනුම ලැබ ඉන් අනතුරුව ගියේ වැල්ලවත්ත බෝයිස් ඉන්ඩස්ට්‍රියල් හෝම් පාසලටය..එහි අටවැන්න තෙක් අකුරු කළ හේ ආනන්ද විදුහලට අනුබද්ධ ඕල්කොට් විදුහලේ සීනියර් විභාගය තෙක්ම උගත්තේය..

කුඩාවියෙහිදී අත්තම්මා මුලින්ම තම කටට හුරුකළ “ස්වස්ථි සිද්ධම්” වචන දෙක කියාදී කිරිබත් කෑල්ලක් කවා “පුතේ..නුඹට යහපතක්ම වේවා යි කියමින් ආත්තම්මා තමන්ට පෑ හරසර සෙනෙහස ඔහු සිතින් කිසිදා මැකී ගියේ නැති.

1948 දී ඉංග්‍රීසි සීනියර් විභාගය සමත් වීමෙන් පසු ඔහුගේ ජීවිතයේ වෙනස්වීම් කිහිපයක්ම සිදුවිණි. අධ්‍යාපන කටයුතු වලට අමතරව ආගමික හා සමාජයීය කටයුතුවලද නිරතවෙමින් පුවත්පත් හා ගුවන් විදුලියටද නාට්‍යය ලියුවේය. එහිදී බටහිර ලේඛකයකුගේ කතාවක් ඇසුරින් ලියූ නාට්‍ය පිටපත තේරිණි. ගුවන් විදුලියේ නාට්‍ය අංශයට එක්ව සිටි ඔහු “ඒ” ශ්‍රේණියේ නාට්‍ය ශිල්පියකු විණි. දැන් අපේ කතා නායකයාණෝ ගුවන් විදුලියේ නාට්‍ය පිටපත් රචකයා ලෙසින් නමක් දිනාගත් අයෙකි.

“අපෙ තාත්තාට හොඳට ලිවීමේ හැකියාව වගේම සිංහල ඉංග්‍රීසි දමිළ බස පිළිබඳ හොඳ දැනුමක් තිබුණානෙ.”

අපේ ආදරණීය ජයන්තදාස් පෙරේරා කියන්නේය.

තම සිතැඟියාවන් අසන්නාට ප්‍රියත්වයකින් යුතුව අසා සිටින්නට තරමේ කතාවෙහි රුසියකු වූ හෙතෙම සමාජ හා ආගමික කටයුතු ආදී සමිති සමාගම්වල විවිධ තනතුරු ද හෙබ වීය.

ගණිතය විෂයට නම් ඔහුගේ කැමැත්තක් ඇත්තේම නැති. ඒ බව වීරරත්න ගණිත ගුරුවරයාද දනී…

“තමුන් මොකටද අසතුටෙන් මෙතන ඉන්නෙ. ගෙදර යනවා”

ගුරුතුමාගේ නියෝගය ලද සැණින් ප්‍රීතියෙන් පිනා යන අපේ කතා නායකයා මිටින් හළ කුරුල්ලකු සේ පාසලෙන් පිටව දිවගොස් නවතින්නේ මරදානේ පිහිටි “ඔලිම්පියා” සිනමාහල ළඟය. එහි ටාසන් අයියාද හිතවතෙකි. බස් කුලිය හා ආහාර සඳහා ගෙදරින් දෙන මුදල් එකතු කරගන්නා ඔහු චිත්‍රපට බලා මරදානේ සිට නාරාහේන්පිට දක්වා පයින් ගිය වාරද අනන්තය.

සිනමාහලේ ඔපරේටර්ලා දැන් ඔහු හා මිතුරුය. රීල් වලින් කැඩී යන කෑලි එකතු කරගෙන ඒවා එකිනෙකට පුරුද්දා සම්පූර්ණ රීලයක් තනාගන්නා හේ මිතුරකු ළඟ තිබූ ප්‍රොජෙක්ටරයක ආධාරයෙන් එම රීලය බිත්තියට යොමු කරන්නේය. චිත්‍රපට දර්ශන පෙනේ.. එක් අයකුගෙන් අයකිරීම සත දහයකි. සමහර රූපරාමු ඔළුව පහළට වැටී තිබේ. එසේවුවද නරඹන්මෝ සතුටේ ගිලෙති. චිත්‍රපට කෑලි පෙන්වා ලැබෙන ආදායමින් ක්‍රිකට් ටීම් එකක් පටන් ගන්නට අරමුදලක්ද ඇති කළේය. එම අරමුදලේ භාණ්ඩාගාරික වූයේ ඊ.ඒ.පී එදිරිසිංහ ය. මෙකල ඉංග්‍රීසි , හින්දි හා දමිළ චිත්‍රපට මෙරට ජනප්‍රියත්වයේම පැවතිණි .

දැන් අපේ සොඳුරු කතා නායක තෙමේ තුරුණු ය. කාර්යශූරය.. දිනෙක නාරාහේන්පිට හෙදි ඇබෑසි විදුහල අසල අතුරු මගකින් බයිසිකලයේ නැඟී යනවිටදී එක් නිවසක පිල්කඩක් මත හිඳ යුවතියක හිස පීරමින් පසුවන්නට වූවාය. .කේශ කල්‍යාණයෙන් ඈ මුහුණ වැසී ගොසිනි. ඒ මුහුණ දැකගැනීමේ උපන් ආසාවකින් හෙතෙම බයිසිකලේ බෙල් එක නාද කළේය. මුහුණෙහි කෙහෙරොද නිරාවරණය කළ ඕ තොමෝ වහා ඔහු දෙස බලා පෑ සිනහව ඔහු හද විනිවිද යන තරමට බලවත් විණි.

මම ආදරණීය ජයන්ත දෙස බලමි.

“ඔව්..ඒ තමයි අපෙ අම්මා ..අපෙ අම්මා එතකොට නර්සස් ට්‍රේනිං ස්කූල් එකේ..කොහොම හරි සිනාවට පස්සෙ දවසක දෙන්නා කතාවකට හැරිලා තියෙනවනෙ. අපෙ තාත්තාගෙ හිතේ පැළපදියම් වුණු ප්‍රථම ආදරයයි ඒ. ”

ඇය හා බැඳී ගිය නොතිත් ප්‍රේමය පුරා වසර පහකට ආසන්න වෙමින් එකිනෙකා මැනවින් හැඳීනීමෙන් පසු ඇය අතගන්නට හෙතෙම තීරණය කළ නමුදු ඒ ඉදිරියේ තවත් ප්‍රශ්නයකි. පරස්ථාවට පළමු රස්සාවක් සොයා ගතයුතුය..

සීනියර් විභාගයේ ලකුණු ඉහළින්ම ඇති බැවින් විශ්වවිද්‍යාලයට යා හැකි නමුත් මවුපියන්ගේ මුදල් තවදුරටත් තමන් මත්තේ වැය කරවනු දැකීමට අකැමති වූ ඔහු රස්සාවක් පතා වෙහෙසුණේය.

රැකියාවක් ද සොයා ගත්තේය..පරණ හම් සපත්තු දෙකේ බැඳී තිබූ මකුළුදැල් ඉවත් කර පොල්තෙල් ගා සපත්තු ඔපකර සුදු දිග කලිසමකින් හා සුදු කමිසයකින් සැරසී මවුපියන්ට වැඳ අලුත් රස්සාවට යන්නට වෙද්දී ” මගෙ දරුවට වරදින්නෙ නැහැ..මං දැනන් උන්නා. ඉස්සෙල්ලාම ගන්න පඩියෙන් පිනකට යමක් කරපන් පුතේ “යැයි හිස අත ගා කඳුළු පිරි නෙතින් යුතුව එදා අම්මා කී සැටි අපේ සොඳුරු කතා නායක තෙමේ ඒ බව පසුකලෙක තම දරුවනට කීවේද පහන් සිතකිනි.

දැන් අපේ ආදරණීය කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මුල්ම පත්වීම ලෙසින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තාවකාලික ලිපිකාර තනතුරකට පත්වූයේය..

ඔහු ලද දිනෙක වැටුප වූයේ රුපියල් පහකි.

අපේ ජයන්ත යමක් කියන්නට සැරසෙයි.

“අමල් …ඔය ලිපිකාර රස්සාව කරන අතරේ වැඩ බලන මැදිවියේ මහත්තයෙක් තාත්තා දිහා බලා තියෙන්නෙ අසතුටකින් වගේ. පස්සෙ අපෙ තාත්තා ඒ මහත්තයාට කියල තියෙනව මගේ වැඩ කටයුතුවල දෝෂයක් ඇත්නම් මට කියන්න. මම නිවැරදි කර ගන්නම් කියලා. ඒ මනුස්සයා ගත්කටටම තාත්තා ට කියල තියෙන්නෙ ඔයා වැඩ කරනව වේගය වැඩියි. ඔහොම ගියොත් අපෙ බඩටත් පහර වදිනව කියන කතාවක්. ”

අපේ ජයන්ත සිනාසෙන්නේය…

ලිපිකාර රස්සාවෙන් ඉවත බලාගත් හෙතෙම පසුව මහර බියන්විල පිරිමි පාසලේ ඉංග්‍රීසි උපගුරුවරයකු ලෙසින් පත්වීමක් ලද්දේය…එහි ඉහළ බලධාරීන්ගේ ද නොමඳ සැලකිල්ලට බඳුන් ව එහි ගුරු මණ්ඩලයේ ගෞරවයටද පාත්‍රවිණි. දැන් අපේ කතා නායකයා ඉමහත් සතුටකිනි.

ප්‍රේමය දලුලා දෙසිතම සෙනෙහසින් උතුරයි..මේ ආදරයට දෙපාර්ශවයේ ම සතුටක් නැති. ඔහුට ඒ නිසාම ගෙදරින් පිටවන්නට සිදුවුවද තමන් තුළ සේම අම්මාගේ ආදරයද එහෙමමය.. පියා නම් තද විරෝධයේමය. වෙනත් විවාහ යෝජනාවක් ගෙන ආ පියාට එකඟ නොවීමෙන් ඒ නිසාමය ගෙදරින්ද පිටමං වන්නට සිදුවූයේ..අම්මා සිහිපත්ව ඔහු හැඬුවේය.

ගෝතමී පාරේ නිවසක් කුලියට ගෙන පදිංචි වූ හෙතෙම එහි සිට ගුරු රස්සාවට ගියේය..පුතු නොදැක හිඳීන්නට නොරිසි අම්මා එහි පැමිණ ඈ අතින්ම පුතු කැමති අහර සකසා දී යන්නට පුරුදුව සිටියාය. අම්මා තම විවාහයට ලැබදුන් ආශීර්වාදය නොවන්නට අපේ ආදරණීය කතා නායකයා සදහටම තනිකඩව ඉන්නටද ඉඩ තිබුණි. එතරම් මව හා පුතු සම්බන්ධය සවිමත්ය.

නැවතත් අපේ ජයන්තගේ හඬ මට ඇසේ.

“එදා අපේ අම්මාගෙයි තාත්තාගෙ මඟුල් දවස..පෙරදාක අම්මා තාත්තාට තෑගි දුන් රන්මුදුව උදේ මඟුලට යන්න මුහුණ සෝදනකොට මුද්ද ලිඳට වැටිලනෙ..අපෝ…අපෙ තාත්තා මාර හිත් අමාරුවකට වැටිලා. වෙච්චි හදිය ගැන අම්මාට කොහොම කියන්නද කියල හිතමින් දුකින් ලෑස්ති වෙද්දී කුලී ගෙය අයිතිකාර රූපසිංහ මෝනා කලබලෙන් ඇවිල්ල උදේ ළිඳට වැටිච්ච පවුමක් බර රන්මුදුව තාත්තාගෙ අතට දීල තියෙනව මේං මුද්ද කියලා. තාත්තාට හිතාගන්නත් බැරිවෙලා…”

රන්මුදුව ලිඳට වැටීමෙන් ඔහු දුක පත්ලේම පසුවෙද්දී රූපසිංහ මෝනා පීටර් නමැති කොලුවකු ලිඳට බස්සවා මුදුව සොයාගෙන අතටම ගෙනැවිත් දීමත් ..ඇයගෙන් ලද ආශීර්වාදයත් ඔහුට අදහාගත නොහැකි තරම් වී..

ආදරය මල්ඵල නැගිණි. අපේ ආනන්දනීය කතා නායකයා හා අතිනත බැඳුණු ඕ තොමෝ මිහිඳුකුලසූරිය වර්ණපේළියගේ තෙරේසා ඇග්නස් පෙරේරා මෙනවියය…ඕ ඒ වනවිට මාණ්ඩලික හෙදි තනතුරක නියැළී සිටියාය…

ප්‍රේමණීය විවාහය තවත් මල්ඵල ගන්වමින් එම දෙපළට හිමිවූයේ පුතෙකි. නයනානන්ද චන්ද්‍රකුමාර පෙරේරා පුතු පළමුවැන්නාය… දෙවැන්නා මා සමඟ තවමත් ආදරණීය සංලාපයක පසුවන ජයන්තදාස් පෙරේරා ය. පවුලේ එකම දියණිය වන තමරා චන්ද්‍රමාලි පෙරේරා තෙවැන්නිය ය.

” කියන්න..ඔබට ඔබේ තාත්තාව හැඟෙන දැනෙන විදිහ…” මම විමසුවෙමි.

දෑස මහත් කර දෙතොල සිනාවෙන් තෙරපා සුසුමක් ඉහළටම ඇදගත් ආදරණීය ජයන්තගේ හඬ ප්‍රීති ප්‍රමෝදයක ගිලී ඇතැයි එක්වරම සිතිණි.

“අනේ..අපෙ තාත්තා මට කතා කරන්නෙ ජයන්ත කියලා..තවමත් වෙලාවකට ඒ හඬ ඇහෙනව වගේ අමල්. ඒ වගෙ පියෙක් ලබන්න අපි කොතරම් පින් කරල ඇතිද කියල හිතෙනවා..අපේ අම්මාට අපෙ තාත්තා ඉතා වටිනා සාර්ථක පවුල් ජීවිතයක් ලබා දුන්නා..සාමාන්‍යයෙන් සමහර කලා පවුල්වල විවිධ කතන්දර තියෙනවනෙ. ඔයත් අහල ඇතිනෙ..හරීම ආදර්ශමත් පියෙක්…අපි හැමෝම ගැන ඕනාවටත් වඩා සොයා බැලුවා..ඒ වගේම මමත් අද සාර්ථක පවුල් ජිවිතයක් ගත කරනවා. අපේ මේ සාර්ථකත්වයේ රහස ආදර්ශමත් පියෙකුගෙන් ලද ආදර්ශයයි. උපනූපන් හැම ආත්මයකදීම අපේ තාත්තා මට හමුවේවා කියා හදවතින්ම මම දිවිහිමියෙන් පතා ඉන්නේ. ලස්සනට අඳීන්න…ලස්සනට හැදෙන්න..ඔය ටික අපට ලක්ෂ වාරයක් කියන්න ඇති. මෙහෙම තාත්තෙක් ලබන්න අපි ගොඩක් පින් කරල තියෙන්නම ඇති”

අපේ ආදරණීය ජයන්ත කොහේදෝ බලාගත්වනමය …ඔහු තාත්තා හා ගෙවූ සමයේ මතක සැමරුම් මැද සැරිසරන්නේ යැයි මට හැඟේ.

අපේ සොඳුරු කේ.ඒ ඩබ්ලිව් පෙරේරා නම් ප්‍රතාපවත් සිනමාවේදියාණෝ උපගුරු රස්සාවෙන්ද වෙන්ව ගුවන් විදුලියේද මෙහෙවරක යෙදී සිටියදී මෙකල සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ “රේඛාව”වැනි කලා නිර්මාණයන් ද බිහිවීමෙන් සිනමාවද වේදිකාවද නවමු මඟකට අවතීර්ණ විණි.

අපේ ආදරණීය කතා නායකයාගේ සිනමා ගමනටද කදිම ආරම්භයක් වූයේ” රේඛාව ” සිනමා සිත්තමේ දෙබස් රචනා කිරීමෙනි. එම රේඛාවෙන් සිනමා කලාවේ වෙනස්කම් රැසක්ම සිදුවිණි . ලෙස්ටර් මහතා ඊළඟට සන්දේශය චිත්‍රපටයේ දෙබස් ලිවීමද ඔහුට පැවරුවේය ..

අපේ ජයන්ත මදෙස බලා සිටින්නේය.

“අපෙ තාත්තා ගුවන් විදුලියේ බෞද්ධ සංගමයේ ලේකම් පදවිය කරද්දි එදා අධ්‍යක්ෂ ජනරාල්තුමා එහි ප්‍රධාන දොරටුව අසල බුද්ධ ප්‍රතිමාවක් හදන්න කළ යෝජනාවකදි ඊට තනිවම විරුද්ධ වුණේ අපෙ තාත්තා. බුදු රුව ප්‍රදර්ශන භාණ්ඩයක් නොවේය කියලා කෙළින්ම කියා තියෙනවා. එය වඩා වෙනස් අරමුණක් වෙනුවෙන් යොදා ගතයුතු ආධ්‍යාත්මික සංකේතයක් කියලත් තාත්තා හඬ නඟල තියෙනවා. ”

ඉන් සිදුවූයේ නිරතව සිටි ඔහුගේ ලේකම්ධුරය අහිමි වී යාමය.

ගුවන් විදුලියේ වෙළඳ දැන්වීම් රාශියක සම්පාදකවරයා වූයේද අපේ කතා නායකයාය..

“අපේ තාත්තා රේඛාව චිත්‍රපටයට පසුව දෙබස් ලියුවේ “ශ්‍රී 296″ චිත්‍රපටයටයි. දෙබස් හා තිර රචනය වගේම සම අධ්‍යක්ෂණයටද යොමු වුණේ ” පිරිමියෙක් නිසා” චිත්‍රපටයෙන්. එතැනදී තාත්තා අත්දැකීම් රාශියක් ම ලැබුවා කීවොත් හරි. බොහෝ අවස්ථාවලදි අධ්‍යක්ෂක සෝමසේකරන් මහතා සමහර ජවනිකා අධ්‍යක්ෂණය කරන්නට..නළු නිළියන් තෝරන්නට එහෙම සෘජුවම තාත්තාට පවරලත් තියෙනවා. මං හිතන්නෙ එහෙම පවරන්න ඇත්තෙ තාත්තා ගැන ඉහළම විශ්වාසයක් තිබුණු හින්දාම වෙන්නැති. ”

ජයන්ත කියන්නේය..

පිරිමියෙක් නිසා චිත්‍රපටයේ මැගිලින්ගේ පුතාට රඟපාන්නට ගත් ගාමිණී ෆොන්සේකා හරහා මාලන් බ්‍රැන්ඩෝ වගේ රංගන ශෛලියක් ඉදිරිපත් කළේ සෙසු නළුවන්ට පහර ගැසීමේ අරමුණින් යැයි ඇතැමුන් කියද්දී හෙතෙම හඬ ගා කීයේ එවැනි ප්‍රතිපත්තියක් තමන්ට නැති බවය.

ජෝ අබේවික්‍රමයන් සාරවිට චිත්‍රපටයේ සාරයියාගේ චරිතය රඟපා සිනමා ගමන ආලෝකමත් කරගත්තා සේම එහි දෙබස් හා තිර රචනය ලිවීමෙන් අපේ ආදරණීය කතා නායකයාද සරසවිය සම්මානයෙන් සම්මානිත වූයේය.

ගැටවරයෝ..යටගිය දවස..ඔබ දුටුදා..සිගිරි කාශ්‍යප ..ආදී චිත්‍රපට රැසක තිර රචනාව..දෙබස් ලිවීමෙන් ලද ජනප්‍රියත්වයට වඩා තමන් ලද වින්දනය හෙතෙම අගය කළේය.

“අපෙ තාත්තා මේ ගමන ආවෙ දුෂ්කරතා මධ්‍යයේමයි. විවිධ අංශ හැදෑරීමෙන් ක්‍රමයෙන් ඉදිරියට ආවේ. විවිධ ප්‍රශ්න මැද්දෙ ගුවන් විදුලියෙත් වැඩ කළානෙ. අපෙ තාත්තා ගෙ කුලුඳුල් චිත්‍රපටය..ප්‍රථම අධ්‍යක්ෂණය “සැනසුම කොතැනද ? ”

“තාත්තා සැනසුම කොතැනද කරන්න ගිහින් නොසිතු වද වේදනා වින්දා. තාත්තාගෙ කුලුඳුල් නිර්මාණය ..ඒ හරහා සමහරු යම් යම් විදිහෙන් සැනසුම සොයන්නත් හැදුවා. ඒ ආත්මාර්ථකාමී අයනෙ..ඒ චිත්‍රපටය තිරයට ගේන්න නිෂ්පාදකවරයකු සොයනවිට සමහරු කතාව ඉන්දීය ශෛලියයට වෙනස් කතාවක් නිසා මග හැරියා..ඉතිං ..තාත්තා සිත් වේදනාවෙන්. සෝමසිරි පෙරේරා මහතා පිහිටට ආවා. එතුමාව මුණගැස්වූයේ අපේ ගාමිණී ෆොන්සේකා කියන ගෞරවනීය සිනමාවේදියායි. කොහොම හරි 66 වසරේ “සැනසුම කොතැනද…” සරසවිය සම්මානයටද පාත්‍ර වුණා..අපෙ තාත්තා එදා ඉහළම සතුටක් වින්දා…”

තාත්තාගේ සාර්ථක සිනමා ගමනට තම ආදරණීය මෑණියන් ලැබදුන් අසමසම කැපවීමද ජයන්ත කෘතවේදී වදනින් කියන්නට වී.

තම ස්වාමියා දිවා රෑ වෙහෙසකර වෘත්තීයකය. ඇතැම් දිනවලදී තම කුඩා දරුවන් ද වඩාගෙන ඔහු සමීපයේම හිඳීමින් ඇවැසි හැම සහයක්ම ලැබදෙන්නට තරම් කැපවූවාය. නළු නිළියනට අහර පාන කෝකියන් ලවා සකස් කිරිමේදී ඕ එහැම නිසියාකාරවම සොයා බලන්නීය..කොටින්ම ඇය ඔහුට සවියක්ම වූවාය. එය ඔහුට මහත් සහනයක්ම විය.

“මම විවාහ වුණාට පස්සෙ චිත්‍රපට තුනක කටයුතු කර තිබෙනවා. නිෂ්පාදක හා අධ්‍යක්ෂක හැටියට. තාත්තාගෙ නිර්මාණවල රඟපාලත් තියෙනවානෙ…එදා අපෙ තාත්තාට අපෙ අම්මා දෝතින්ම දුන්න සහය..කැපවීම ආදර්ශයට අරන් මගේ බිරිඳ අමිතා උදේනි පෙරේරා මහත්මියත් ඒ ආකාරයෙන්ම අද මට සවියක් වී ළඟම ඉන්නවා. මගෙ බිරිඳත් මට මගේ ගමනට ලොකු අත්වැලක්.”

අපේ ආදරණීය ජයන්ත මුවපුරා නැගුණු සිනහවකින් යුතුවම එසේ කියන්නේය..

අපේ ජයන්තගේ ලොකු පුතු රන්දික සුලක්ෂණ පෙරේරා ය.. පුතු රන්දික ගේ බිරිඳ වෛද්‍යවරියක වන අංශුමාලී සකලසූරිය මහත්මිය ය. එම දෙපළගේ දියණිය සුධාරා මෙත්ලිනී පෙරේරා ය. දෙවන පුතු බිනුර යසස් පෙරේරාය. බිනුර පුතුගේ බිරිඳ ස්වප්නා දුලාංජලී පෙරේරා ය.

“මං දැන් සීයා කෙනෙක්..” යැයි කී ජයන්ත….

“අමල් ඔයාට මතක ඇතිනෙ..නේද..අපෙ තාත්තා නිෂ්පාදකවරයකු වුණේ මමයි ගෝතමී පතිරාජයි ප්‍රධාන චරිත රඟපෑ ජනක සහ මංජු චිත්‍රපටයෙන්..ඒවාට හැම සහයම දුන්නෙ අපෙ අම්මා ..”

එසේ කියූ අපේ ජයන්ත දැන් බිම බලාගත්වනමය ..තම දසැඟිලි එකට තෙරපා ගනිමින් හේ නිහඩවමය.

මේ නිහඩ බව මට පසක් වූයේ ඔහු දෑස නැඟි කඳුළක් මා නෙත ගැටීමෙනි.

“අපෙ තාත්තා ලොව පියවරුන් අතර ඉහළම ගුණාංග තිබුණු පියෙක් නේද කියා සිතෙන කොට ……”

ඔහුගේ කටහඬ බිඳුණු ස්වරයකි.

හෙළ සිනමා වංශ කතාවෙහි ඉහළින්ම කියැවෙන අපේ සොඳුරු කතා නායක තෙමේ සිනමාව රැකගැනීමෙහි..ආරක්ෂා කරගැනීමෙහි දැවැන්ත බලවේගයක්ද විය.පොදු ජන සිනමාවක් බිහිකිරිමේ පුරෝගාමියකු ලෙසින් ද ඔහු පිළිබඳව බොහෝදේ ලියැවී තිබේ.

ගුවන් විදුලියට සේම සිංහල සිනමාවටද පනස් වසරක් පුරා ඉටුකළ මා හැඟි මෙහෙවර වෙනුවෙන් ඔහු හරසර උපහාරයටද බඳුන් කැරිණි . හෙළ සිනමාව පොදු ජනතාව අතර ජනප්‍රිය කරවීමේ කාර්යභාරයෙහිලා එතුමා වෙතින් සිදුවූ මෙහෙවර අද්විතීයය. ඒ වෙනුවෙන්ද එතුමා විශේෂ සම්මානයකින් පිදුමට පාත්‍රවිණි.

අපේ ආදරණීය කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මැතිඳුන් දෙබස් රචනයෙන් චිත්‍රපට 10 කට එක්වූ අතර ඔහු අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය සංඛ්‍යාව පහක්ද වේ. එතුමා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව 26 කි.

දීපශිඛා…ස්වර්ණ සංඛ.. සරසවි සම්මානයෙන්ද රෝමයේදී කලාසූරී ගෞරව නාමයෙන් පිදුමට බඳුන් වූ එකම ශ්‍රී ලාංකිකයා ලෙසින් දිනාගත් ඕ.සී.අයි.සී සම්මානයද.. ළසඳා චිත්‍රපටය සඳහා ටෂ්කන්ට් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ලද විශේෂ සම්මානයද ..ස්වර්ණ ජයන්ති සම්මානයද..ස්වර්ණ සිංහ නම් ජනාධිපති සම්මානයද ඔහුගේ මහා මෙහෙවර වෙනුවෙනි …

තමන් දිවිහිමියෙන් කැප වූ සිනමාව ඇස් පනාපිට කඩා වැටෙනු දැක ඔහු මහත්සේ කම්පාවට පත්වූයේය..හමුවන හැම අයකු සමඟම ඒ දුක කීවේය.

” සිනමාවේ දියුණුව වෙනුවෙන් ම කැපවූ අපෙ තාත්තා වගේම තවත් අය ඇති. සිනමාවට අත්වෙමින් තියෙන විපත තාත්තාට ඉහිලුම් දුන්නේම නැහැ. මේ කම්පාව දරාගන්න බැරිව තාත්තාගෙ හිසේ නහරයක් පුපුරලා..අනේ අපේ තාත්තා රෝගාතුර වුණා.”

අපේ ගෞරවනීය කතා නායක තෙමේ මුල් කලදී මිලදීගත් 4 ශ්‍රී 3112 ෆෝඩ් ප්‍රිපෙට් කාරයට මහත්සේ ආදරය කළේය.

“මං මැරුණු දවසට මගෙ හර්ස් එක පස්සෙන් මගෙ කාර් එකත් එක්ක ඔයාලා එන්න.

ඔය මාළු කූරියෙක් අරන් යනව වගෙ මගෙ මිනිය කලා භවනට ගෙන යන්නත් එපා..මට ආදරය කළ අය මා ඉන්න තැනකට එනවනෙ.

මගෙ සොහොන ගිනි ඇවිළෙන විට මගෙ සැනසුම කොතැනද චිත්‍රපටයෙ අවසන් ජවනිකාවෙ අමරදේවයන් ගැයූ “සංසාර ගමනේ..තණ්හා ආශා..”ගීතය විතරක් කාටත් ඇහෙන්න සලස්වන්න .

අපේ සදාදරණීය කතා නායක කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා නම් කෘතහස්ත සිනමාවේදියාණෝ එය එලෙසින්ම කරන්නැයි බිරිඳ හා දරුවන්ගෙන් අවසන් වරට කරන ඉල්ලිමක් ලෙසින් එසේ ඉල්ලා සිටියේය…

පවුලේ හැම නෙතකම කඳුළු ය..

“ඔව්..අමල්. සාමාන්‍ය සම්ප්‍රදාය චිත්‍රපටයක අවසානයේ ගැයුම බෙග් මාස්ටර්නෙ ලැබෙන්නෙ. අවදානමක් වුණත් තාත්තා ඒ සම්ප්‍රදාය වෙනස් කර ඒ ගීතය අමරදේවයන්ට දුන්නා..ඒ වගේම එම චිත්‍රපටයට අගයකින්ද වැඩිවුණා. අපෙ තාත්තාගෙ අන්තිම ඉල්ලීම් තුනම අප එලෙසින්ම ඉටු කළා..”

තවමත් ජයන්තගේ හඬ බිඳී බිඳී ඇසෙයි.

ඔහුගේ තිර රචනයට බඳුන් වූයේ පවතින චරිතයන්ම බව ඔහු තැනූ නිර්මාණයන් සාක්ෂි දරයි. තැනූ හැම නිර්මාණයකම හෙදියකගේ රඟපෑමක්ද ඇත. ඒ හෙදියක වූ ප්‍රිය බිරිඳ නිසාවෙනි.

සිනමාව වෙනුවෙන් 1970දී ඔහු නැඟූ ප්‍රබල හඬින් රටටම හැඟුණේ ඔහු පොදුජන හදවතට කතා කරන සිනමාකරුවකු ලෙසිනි. අපේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරී නරඹා තම සැනසුම කොතැනද චිත්‍රපටයේ සංගීත නිර්මාණය කේමදාසයනට පැවරීමට ගත් තීරණය ද අභියෝගාත්මකය.

රෙක්ස් කොඩිප්පිලි ..උපාලි අත්තනායක..ප්‍රියංකර පෙරේරා ..බියුලා ඩයස් කරුණාරත්න ..ඔස්වල්ඩ් ජයසිංහ ..සම්පත් ශ්‍රී නන්දලෝචන ආදී තවත් අය සිනමාවට හඳුන්වා දුන්නේ ද අපේ කතා නායකයාය. නැටුමට.. කෙළිලොල් චරිතයනට කොටුව සිටි සෝනියා දිසා තැන්පත් මවකගේ චරිතයකට මුල්වරට යොමු කරමින් ගත් පෙරළිකාර තීන්දු තීරණ අදටත් වලංගුය.

ඔහුගේ නිර්මාණයනට මුලින්ම ගීත රචනාවට පිවිසුණු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සේම ධර්මසිරි ගමගේ ශූරීහුද අමතකව නැති.

තවමත් හෙතෙම රෝගාතුරව නවලෝක රෝහල් වාට්ටුවක ගිලන් යහනේමය.

“සිනමාව කඩාවැටීමේ වේදනාව තාත්තාට කොහෙත්ම දරාගන්න බැරිවුණා..”

අපේ ජයන්තගේ හඬ යළි යළි ඇසෙන්නාසේය.

2006ක්වූ අගෝස්තු මස 20 වනදා වනවිට වයසින් අවුරුදු 80 යන්තමින් ඉක්මවා පසුවූ අපේ සොඳුරු කතා නායකයාණෝ එදින යළි අවදි නොවනා දිගු නින්දකට වැටී සිටියේ ඔහුට පෙම්බැඳී සියල්ලනගේ සිත්සතන් මහත් වේදනාවකටම බර කරමිනි.

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT