නිවස සංවාද මගේ ගීත අහන්න කියලා මම බල කරන්නේ නැහැ

මගේ ගීත අහන්න කියලා මම බල කරන්නේ නැහැ

- යොවුන් ගායන ශිල්පිනී හිරුෂි ජයසේන

by Thanushika
August 8, 2024 9:32 am 0 comment

වර්තමානයේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ නැඟී එන ගායිකාවක් බවට පත්ව ඇති ඈ නව රැල්ල සමඟ සංගීතයේ විවිධ ඉසව් සොයා යන්නේ තාරුණ්‍යයේ සංගීත රසකාමී හදවත් මුසපත් කරමිනි. ළමා ගායිකාවක් ලෙස සංගීත ක්ෂේත්‍රයට පැමිණෙ ඈ තම හඬ පෞරුෂයේ තිබූ සුවිශේෂී බව නිසාම ඉතාම කෙටි කලක් තුළ ජනප්‍රසාදය දිනාගනු ලබන්නේ වයස් භේදයකින් තොරවය. 2018 වසරේ

ආදරයක සිත සොඳුරූ

කීව කතාවට නුහුරූ

දෑස පුරා ඇදි පිළි රූ

ඔබ නේද ආලසිත කැළඹූ

ගීත ගායනා කරමින් තම ගීත චාරිකාවේ ආරම්භය සනිටුහන් කළ ඈ ඉතා ටික කලක් තුළ මලිඳු කිරින්දෙගම සමඟ ගායනා කළ

කතිරිනා කතිරිනා

ඔය හැඩහුරුකම්

රතු නපුරු දෙතොල්

කතිරිනා …. කතිරිනා …

ගීතයෙන් ලංකාවේ අතිශයින් ජනාදරය දිනාගනු ලැබුවාය. මෙම ගීතයත් සමඟ ලංකාව තුළ ශ්‍රාවකයන්ගේ පේ‍්‍රක්ෂකයන්ගේ ලොකු ඉල්ලුමක් ඈ වෙත නිර්මාණය වූයේ තව තවත් එවැනි ගායනයන් අවශ්‍ය බවකියමිනි. ගායනයට මෙන්ම නර්තනයට රංගනයට දස්කම් දක්වන ඈ නමින් හිරුෂි හිමායා ජයසේනය. මීට දින කීපයකට පෙර ඈ තම නවතම ගීතය වූ ‘අල්ලන්නට බෑ මට’ නම් වූ ගීතය තම රසිකයන්ට තිළිණ කරනු ලැබීය.

විඳින්න රැඳෙන්න රෑනේ

සොයන්න දුරයි ද මානේ

නෙතින්ම දකින්න මා වත

හැරෙන්න බෑ ආයේ…

ගීතයත් සමඟ මේ දිනවල ගීත ලෝලීන් අතර ජනපි‍්‍රය හඬක් වී සිටින හිරුෂි ජයසේන හා කතා බස් කරමු.

හිරුෂි මේ දවස්වල අලුත්ම ගීතයක් සමඟ තාරුණ්‍යයේ හදවත්වලට ආමන්ත්‍රණය කරන්න පටන් අරන් වගෙයි.

ඔව්…. අලුත් සිංදුවක් කළා. ‘අල්ලන්නට බෑ මා’ කියල වැඩි දවසක් නෑ ජනගත කරල මේ වෙනකොට ලැබෙන රසික ප්‍රතිචාර ඉතාම ඉහළයි. බුද්ධි සංදීප තමයි මේ සිංදුව ලිව්වේ. තනුව නිර්මාණය කළේ චමෙල් ශවින්ද, ගායනය මම කරනවා. රැප් ආටිස් කෙනෙක් විධියට ස්ටෝකියෝ දායක වෙනවා. ඔහු ශ්‍රී ලංකාව තුළ තාරුණ්‍ය අතර ඉන්න රැප් ගායකයෙක්. මේ මුලු කර්තව්‍ය අධ්‍යක්ෂණය කළේ හසින්ත් පතිරණ. අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ අලුත් සින්දුව කළේ.

අල්ලන්නට බෑ මා… කොහොමද රසික ප්‍රජාව ඔවුන්ගේ රසවින්දනයට අල්ල ගන්නේ?

යුටියුබ් ඔස්සේ රසවිඳින්න පුළුවන් බලන්න පුළුවන්. පහසුවෙන්ම.

කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?

තාම සින්දුව ශ්‍රාවකයන් පේ‍්‍රක්ෂකයන් අතරට යන ගමන් තියෙන්නේ. මේ වනවිට නරඹපු අහපු අය ප්‍රතිචාර දක්වමින් කියලා තිබුණා හොඳ විශිෂ්ට නිර්මාණයක් කියලා. මම ඒ රසික ප්‍රතිචාර විශ්වාස කරනවා.

ඔබ මෙතෙක් ගායනා කළ ගීත රටාවෙන් ‘අල්ලනට බෑ මා’ වෙනස් මඟක ගීතයක් ද?

එහෙම වෙනසක් තියනවා මගේ ගීත ගායනා පෙළ ගැස්ම ගත්තොත් වෙනස් මඟක් ගත් ගීත තියනවා. සංවේදී ගීතත් කරල තියනවා. මේ ගීතය මම දකින විධියට ඒ එකිනෙක මගේ ගීත ගායනා ගත්තහම මේ ගීතය සැහැල්ලු හොඳ අප් වෙලා යන මෙලඩියක් තියන ආකාරයට නිර්මාණය කරපු ගීතයක්.

ඇයි ඔබ ගීත ඇල්බමයක් වෙත නොයා එක ගීතයක් පමණක්ම එළිදක්වන්න අදහස් කළේ?

ඉස්සරහට එන මගේ ගීත එකතුවක මේ ගීතය එහි පළමු නිර්මාණය වෙන්න පුළුවන්. දැන් ඇල්බමයක තියෙන ෆෝමැට් එක වෙනස් සින්දු දහයක් දොළහක් නෑ. දැන් අලුත් විධියට ගත්තොත් ගීත ඇල්බමයක් සින්දු පහක හයක එකතුවක්. මේකත් එවැන්නක පළමු පියවර විධියට සලකන්න පුළුවන්. අද ආර්ටිස්ට් කෙනෙකුට ගීත කීපයක් තුළින් එකම කතන්දරයක් කියන්න පුළුවන්. මේ ‘මගේ අල්ලනට බෑ මා’… ගීතයත් ඒ වගේ කතාන්දරයක් කියන්නට තනන පළමු පියවර විය හැකියි. මම කියන දේ කොච්චර දුරට සාර්ථක ද කියල තීරණය වන්නේ මම ඉදිරියට කරන දේත් එක්ක.

ඔබේම කියල ගීත ගොන්නක් අතරේ මේ කීවෙනි ගීත නිර්මාණය ද ‘අල්ලනට බෑ මා’…

මම හිතන්නේ මගේ එකලොස්වැනි ගීත නිර්මාණය කියල. ආලෙන්, කතිරිනා, රූසරා, පහසේ, මට වැටහෙන්නේ නෑ, සයනේ, හැඟුමන්, කිරුළ, මේරී සින්ද ගී, හොරු, ආදී ගීත බොහොමයක් මීට කලින් එළිදැකල තිබුණා. මගේ ගීත ගායනා ඇරඹුම සිද්ධ වෙන්නේ මායා චිත්‍රපටයේ ‘හීනෙන් ඇවිදින්’ කියන පසුබිම් ගීත ගායනයත් සමඟ. ඊට පස්සේ තමයි මගේම හැඟුමන් කියන ගීතයත් සමඟ මගේම ගායනා එකතුවක් එළි දකින්නේ.

ඔබේම ගීත ගායනා අතරේ වඩාත් ඔබව ජනපි‍්‍රය තලයට ඔසවා තැබුවේ කතිරිනා ගීතය නේද?

ඔව්. ඉදිරියේ මගේ උත්සාහයක් තියනවා. ඒ ආකාරයේ ගීත ගායනයක් මත වඩාත් පේ‍්‍රක්ෂක පිරිසක් වෙත යන්න පුළුවන් ගීතයක් හදන්න.

කතිරිනා ගීතය ඔබව වඩාත් ජනපි‍්‍රය තලයට ඔසවා තැබුව නම් ඇයි ඔබ ඒ මාවතේ තවත් ගීතයක් වෙත පියවර නොතැබුවේ.

මගේ පෞද්ගලික ශෛලියක් තියනවා. එතැනදි ඒ අතරේ තැනෙන වෙනත් නිර්මාණත් තියනවා. ලොකු ඕඩියන්ස් යන එකකට සින්දුත් මම හදනවා. නමුත් ඒක බලහත්කාරයෙන් කරන්න බෑ. ස්වභාවිකව ඒ නිර්මාණශිලී අදහස් එන්න ඕනේ. ළඟ ළඟ ඔබ ඔය කියන ආකාරයේ ගීතයක අයිඩියා එකක් එයි කියලා මම විශ්වාස කරනවා.

හිරුෂි ඇයි ඔබ සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරණ ගායිකාවක් පමණක් වෙලා ඉන්නේ. ප්‍රසංග වේදීකාව ඔබට අකැපද?

මම ප්‍රාසංගිකව ප්‍රසංග වේදිකාව තුළින් පේ‍්‍රක්ෂකයන්ට සමීප වෙන්න කැමැතියි. මා පෞද්ගලිකව ආසයි මගේම ඉඩකඩක ස්ටුඩියෝවක ගීතයක් රෙකෝඩ් කරන්න. ඒ හීනය මගේ කුඩා කළ ඉඳලා තිබුණ දෙයක්. හැබැයි මම අනිවාර්යෙන්ම මීට වඩා තව නිර්මාණ කීපයක එකතුවක් එක්ක ප්‍රසංග වේදිකාවට එනවා. ප්‍රසංග වේදිකාව තුළ සමහරවිට අපේ නොවන ගීත ගායනා කරන්න සිද්ධ වෙනවා. අපේ ඔර්ජිනල් ගීත පේ‍්‍ර්ක්ෂකයා අතරට ගිහින් නැත්නම් ඒ වෙලාවට මට සිද්ධ වෙනවා අනුන්ගේ ගීත ගායනයට ඒ දේට මම පෙලඹෙන්න උත්සාහ කරනවා අඩුයි. ඒක හින්දම තව ටිකක් මගේම නිර්මාණ හදල ඒවා පේ‍්‍රක්ෂකයා අතර ජනපි‍්‍රය වුණාට පස්සෙ ප්‍රංසග වේදිකාව එන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබේම ගීතයක් වූ අතිශයින් ජනාදරය දිනූ කතිරිනා ගීතය රැගෙන ඔබට තිබුණනේ ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්න

තිබුණා ප්‍රසංග වේදිකාවට යන්න. ඒ ගිහින් මට ‘කතිරිනා’ කියල ගෙදර එන්න තමයි සිද්ධ වෙන්නේ.

ප්‍රසංග වේදිකාවට ගොඩවෙලා ‘කතිරිනා’ කියල තවත් ඔබේම වෙනත් ගීත දෙකකුත් කියල එන්න තිබුණානේ?

මම කොළඹ එහෙම නම් ඉන්ඩෝ ප්‍රසංගවලට යනවා. එළිමහන් ප්‍රසංගවලට නම් ගියේම නෑ. තව ටිකක් නිර්මාණ කරල ඒ ඕඩියන්ස් එකට මම යනවා. මම හිතනවා එළිමහන් ප්‍රසංග වේදිකාවේ ඉන්න ගී රස විඳින පේ‍්‍රක්ෂකයන්ට තවම මගෙන් සින්දු හැදුණා මදි කියලා. මට තවම හැදිල තියෙන්නේ සීමා සහිත ඕඩියන්ස් එකක්. රැප්, ක්ලැසිකල්, වෙස්ටන් පැත්තට බර සින්දුත් මගෙන් හැදිල තියනවා. කතිරිනා වගේ ලොකු ඕඩියන්ස් එකකට හැදුණ ගීත මගෙන් තව හැදෙන්න ඕනේ. අන්න එදාට මට බය නැතුව එළිමහන් ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්න පුළුවන්.

කතිරිනාත් එක්ක ප්‍රසංග වේදිකාවට තවත් ඔබේ නිර්මාණත් සමඟ ගොඩවුණා නම්, අද සමහරවිට හිරුෂි ප්‍රසංග වේදිකාවේ ජනපි‍්‍රය චරියක්?

මම ලංකාවේ නොවුණත් ඕස්ට්‍රේලියාව ඩුබායිවල ෂෝවලට ගිහින් තියනවා. ලංකාවේ එළිමහන් ප්‍රසංග සංවිධායකයන්ගෙන් මට ආරාධනා අඩුයි. මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ ඉන්ඩෝ ෂෝවලට. ඉවෙන්ට් මැනේජ්ර්ලා අතේ තමයි මාව අවශ්‍ය ද නැද්ද කියලා තීරණය තියෙන්නේ. රවීන් කනිෂ්ක, ඉරාජ් වීරරත්න, රනිඳු, දිනේෂ් කනගරත්න, භාචි සුසාන් වගේ අයත් එක්ක මම වැඩකරල තියනවා. ඕඩියන්ස් එකෙන් හා ප්‍රසංග සංවිධාකයකවරුන්ගෙන් තමයි ඒ ලැබෙන්න ඕනෙ ආරාධනාව මට එන්න ඕනේ. මේ වෙනකොට මට පෞද්ගලික ඉවෙන්ට්වලින් හා ඉන්ඩෝ ෂෝ වලින් තමයි ආරාධනා තියෙන්නේ.

ඉන්ඩෝ ෂෝ හා ස්ටුඩියෝවකට සීමා වී ගීතයක් ගායනා කිරීම තුළම ප්‍රමාණවත් නෑ නේද සාමාන්‍ය රසිකයා වෙත යන්න.

ඒක කලාකාරයගෙන් කලාකාරයාට වෙනස්. එළිමහන් ප්‍රසංග ටාගට් කරල මගේ කැරියර් එක හැදුවෙම නෑ. මම රෙකෝඩින් ආර්ටිස්ට් කෙනෙක් හැටියට තමයි ගොඩක් ආස. පර්ෆෝමින් ආර්ටිස්ට් කීයන දේ ඒකත් එක්ක ෆලෝ වන දෙයක්. අපේ රටේ ඉන්නවා සමහරු අවුුරුද්දකට සැරයක් රටේ කීප තැනකට ගිහිල්ලා තමන්ගේ නිර්මාණ හැකියාව ඉදිරිපත් කරන අය. ඒකත් ඒ අයගේ රුචි අරුචි කම් මත. නමුත් මට රසාස්වාදය පැත්තෙන් අවුට්ඩෝ කල්චර් එක තුළ වැඩිදියුණු විය යුතු දේ තියනවා. කියල හිතෙනවා. ඕඩියන්ස් එකෙන් ප්‍රහාර එල්ලවන අවස්ථා තියනවා. ඔවුන් හරි මනසක නැති අවස්ථා තියනවා. ඔවුන් හරි මනසක නැති අවස්ථා යනවා කියල යන්නමත් බෑ. අපි ලයිව් ප්ලේ කරනකොට එතන කොලිටිය හැදෙන්න ඕනේ. මගේ තියන කැපෑසිටි එකට ටෙක්නිකල් පැත්තෙන් සාධාරණයක් වෙනවද කියලා මම බලනවා. ඒ වගේ හරි විධියට ටෙක්නිකල් පැත්ත බලන තැනකදී මම මගේ ඉදිරිපත් කිරීම කරනවා. මගේ පැත්තෙන් මට අවුට් ඩෝ ෂෝ එකක බලාපොරොත්තු වන කන්ඩිෂන් ටිකක් තියනවා නම් මම අද වුණත් ලෑස්තියි එළිමහන් ප්‍රසංග වේදිකාවේ සැරිසරන්න.

අල්ලන්නට බෑ මා… ඔබේ නවතම ගීතයත් සමඟ අද ඔබට පුළුවන්නේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් වෙත යන්න

කරන්න ඕනේ…. මම ගොඩක් දුර ඇවිල්ල වුණාට මට හිතෙනවා මම තාම මේ පටන් ගන්නවා කියලා. මම මේ කැරියර් එකේ තාම ඉන්නේ පටන් ගත්ත තැන කියලා මට හැමවෙලාවෙම හිතෙනවා. මගේ ගමන ගැන පිටුපස හැරිල ආවර්ජනයක යෙදෙන්න ඕනෙ තැනක මම නෑ කියල මට හැඟෙනවා. තව ටිකක් දුර යන්න ඕනෙ කියන තැන මම ඉන්නවා. ප්‍රේක්ෂකයන් මාවෙත රඳවාගන්න එකතු කරගන්න මට තව වැඩ ගොඩක් කරන්න තියෙනවා. තමන්ගේ තියන අනන්‍යතාවයත් රැකගෙන ඒ තුළම එල්බගෙන නොසිට රැල්ලට යන ගමනක් නොගිහින් මැද මාවතක් මම හොයගන්න ඕනේ මගේ නිර්මාණ ගොන්න තුළින් ඒක පුද්ගල ප්‍රසංගයක් වෙත යන්න.

මේ හීනය සැබෑවෙන දවස කවදද?

ඒක කියන්න බෑ. ආර්ටිස්ට් කෙනෙක් හැටියට මම කවදාවත් මේ කාලෙට මේක කරන්න ඕනෙ කියල මට ප්‍රෙෂර් එකක් දාගෙන නෑ. ඒ ප්‍රෙෂර් එකත් එක්ක ජීවත් වෙන්න ඕනෙ නම් මම මෙලහකට වෛද්‍යවරයෙක් වෙලා. ප්‍රෙෂර් එකන් නැතුව ජීවත් වෙන්න ඕනෙ නිසා තමයි මම ආර්ටිස්ට් කෙනෙක් වුණේ. වානිජ කරණය ඇතුළේ ආටිස්ලාට තියන වටිනාකම නැතිවෙලා තියනවා. තමන් කරන දෙයින් බෙනිෆිට් එකක් එන්න ඕනෙ තමයි. නමුත් මට ඕනේ මම කරන දෙයින් එන්ජෝයි කරන්න. එක එක තාලෙට අපි කරන නිර්මාණවලින් ඒ දේ වෙනස් වෙනවා. මුදල් හම්බකරන්න හැකිවෙයි බැරිවෙයි. නමුත් ඒකම කියල හීන සැබෑ කරගන්න මම ඉක්මන්වෙන් නෑ.

හිරුෂි අද ඔබ වෘත්තිමය වශයෙන් ගායිකාවක්ද?

අද මම වෘත්තිමය ගායිකාවක්. කාලයක් මම හිතුවා විනෝදාංශයක් වශයෙන් ගායනයේ නියැලෙන්න. හැබැයි මට වැටහුණා විනෝදාංශයක් ලෙස මේක කිරීම ඵල රහිතයි කියලා. වෘත්තියක් ලෙස කරනවා නම් අපි මෙහි රැඳිල සිටිය යුතුයි. මම කැමැතියි ගායිකාවක් ලෙස මේ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න.

එක එක අයගේ පසුබිම වෙනස්. මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් විවිධ පැති ගණනාවක අධ්‍යාපනයක් ලැබුවා. එවැනි පසුබිමක තමයි මම මියුසික්වලට එන්නේ. මට මේ කරන දේ ෆුල් ටයිම් කරන්න බැරි වුණොත් මම වෙනත් දේකට යනවා. ඉන්ෂුවරන්ස් එකක් විධියට පිටරට ගිහින් ඉගෙන ගෙන මේගැන තව අවශ්‍ය දේවල් හදාරල මම යම් කාලයක් අරන් මෙහි වෘත්තිමය බව තුළ රැඳෙන්න උත්සාහ ගන්නවා. සමහරවිට මට ඒ දේ කරගන්න බැරිවුණොත් මම මෙයින් ඉවත්ව වෙන දෙයක් කරනවා ගායනය මගේ විනෝදාංශයක් කරගෙන.

ගායිකාවක් වීම ගැන ඔබට කවදා හෝ දිනක පසුතැවෙන්න වුණොත්?

කොහෙත්ම නෑ. පිටරටක ගිහින් හරි මට දෙයක් කරන්න පුළුවන්. මියුසික් වලට මිනිස්සු පුදුම විධියට ආදරෙයි ලෝකෙ කොහේ ගියත් කලාව කරන මිනිහෙකුට ලොකු පිලිගැනීමක් තියනවා අපි කරපු නිර්මාණවලින් හිතුවටත් වැඩිය අපිට වරප්‍රසාද ලැබිල තියනවා. මගේ මියුසික් වීඩියෝ බලල මට ඉන්දියාවෙන් ආරාධනාත් ආවා. හොලිවුඩ්වලින් කැමරාවට ඇක්ටින්වලට ට්‍රේන් වෙන්න ආරාධනාත් ආවා. මම ජීවිත කාලේ කවදාවත් රංගනය කරපු කෙනෙක් නොවෙයි. හැබැයි මම තමයි එතන හිටි කිසිම ඇක්ටින් බ්‍රැක්ග්‍රවුඩ් එකකින් ආපු නැති එකම කෙනා වුණේ. මට වසරක කාලයක් එහෙ ට්‍රේන් වෙන්න ලැබුණා. දැන් මට එහෙ රැකියාව කරන්නත් ආරාධනා ලැබිලා තියනවා. අපි කරපු දේ කවදාවත් නැතිවෙන් නෑ. එහෙම වෙලාවක පෙන්වන්න පුළුවන් කරපු වීඩියෝ මියුසික් වීඩියෝ.

හිරුෂි රංගනය පැත්තෙනුත් ගමනක් යන්න වගේ ලකලැස්ති වෙන්නේ?

ආරාධනා නම් නැතුව නොවෙයි. නමුත් මම මගේ මියුසික් වීඩියෝවල රංගනයටත් දායක වෙනවා. කැමරා පර්ෆෝමන්ස් කියන දේ අද ගායකයකුට ගායිකාවකට වැදගත්.

අල්ලන්නට බෑ…මා… ගීතය ලියවුණේ ඔබේ අදහසකට ද?

මේක නිර්මාණය වන්නේ වසර කීපයකට කලින් මාත් සමඟ වැඩකරපු යාළුවෝ වගයක් එක්ක. එයාල එසේ මෙසේ අය නොවෙයි. ජාත්‍යන්තර කීර්තියටත් පත් නිර්මාණකරුවන් මේ අතර ඉන්නවා. හසින් පතිරණ, රැෆායල් ප්‍රනාන්දු ඇතුළු කලින් ඉඳන් වැඩ කරපු මගේ ටීම් එකේ හිටියා. අපි ඔක්කොමගේ අයිඩියා එකතු කරල අලුත් දෙයක් කරන්න ඕනෙ වුණා. මගේ නිර්මාණ දිහා බලපුවහම ගොඩක් ගැඹුරු පැත්තට කරපු නිර්මාණ තමයි තියෙන්නේ. මගේ ටෙලි නාට්‍ය ගීත වුණත්, සයනේ, හැඟුමන් ආලේ… ගීත ගත්තහමත් ඒවා බොහොම සංවේදී ගීත. මම යෝජනා කළා අපි හදමු සැහැල්ලු නිර්මාණයක් තනුවට බර නොදී කියලා. එහෙම තමයි මේ නිර්මාණය බිහි වෙන්නේ. කෑච් මී ටච් මී කියන දෙවිධියට යන ආකාරයට ඕනෙම කෙනෙකුට අදහස ගන්න පුළුවන් විධියට පේ‍්‍රක්ෂකයා දකින්න කැමති ආකාරයට තමයි අපි මේ ගීතය නිර්මාණය කරන්නේ. ටික කාලයක් මේ ගීතයේ බීට් එක අපි කරල රැපර්ස්ලගෙන් අහලා ඔවන්ගේ අදහසක් එකතුව සින්දුව හැදුවා.

එක ගීතයක් එළිදක්වා කාලයක් නිහඬව සිටින ඔබ නැවත වරක් එක් ගීතයක් එළි දක්වා නිහඬ වෙනවා. මේකට හේතුවක් තියනවාද?

මම හිතන්නේ නිර්මාණයකින් තවත් නිර්මාණයකට යන ගැප් එක මත සාර්ථකත්වයක් තියනවා කියලා. ටිකක් වැඩි කාලයක් අරන් තවත් නිර්මාණයකට යාම එච්චර සුදුසු නෑ කියල මම හිතනවා. මම කැමැති නෑ එකවර ගීත පහ හයක් එළියට දාන්න. එක ගීතයකට පේ‍්‍රක්ෂක ප්‍රතිචාරය ටික කාලයක් බලල තව නිර්මාණයකට යන්න මම බොහොම කැමැතියි. මගේ තියනවා යම් නිර්මාණයකට උපරීමයක් කිරිමේ පුරුද්දක්. ඒ දේ කළාට පස්සේ මට යම් කාලයක් ඕනේ තවත් එකකට සුදානම් වෙන්න. ඉස්සරහට මම උත්සාහ කරනවා ලොකු ගැප් එකක් නැතුව ළඟ ළඟම නව නිර්මාණයක් එළි දක්වන්න. මගේ විදේශ ගතවීම් එක්ක ලොකු ලොකු ගැප්වලට මට යන්න සිද්ධ වුණා. අද ගීත නිර්මාණයේ දී සංගීතය භාවිතය තුළ එය පිළිගන්නා හෝ නොපිළිගන්නා රසඥතාව ගැන මනා වැටහීමක් ගන්න පුළුවන් යම් කාලයක් රසිකයාට ඉඩක් දීමෙන්.

ඔබේ පියා විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන හොඳ ගීත රචකයෙක්, ඇයි පියාගේ ගී පද රචනයක් ගැන නොසිතුවේ?

තාත්තාගේ ගී පද රචනයත් ඉදිරියේදී එන්න තියනවා. තාත්තා මට පොඩි කාලේ ඉඳල ගීත ලියනවා. ගීත එළිදක්වන කාලය අනුව අපි දන්නවා රසිකයින්ගේ ඉල්ලුම කොතනද තියෙන්නේ කියල. මම තව ටිකක් ජනපි‍්‍රය වුණාට පස්සේ තාත්තාගේ ඒ ගී පබැදුම සමඟ මගේ හඬින් එළියට එන්න ඕනෙ කියල මම හිතනවා. තාත්තා ඒ ලිව්ව ගීතය රොක් ශෛලියේ ගීතයක්. මම හිතනවා ඒක හරි කාලෙට එළිදකියි කියලා.

ඔබ ගායනා කරන ‘ආලෙන්’ ගීතය පියාගේ රචනයක් නොවේද?

මේ ගීතය මමත් තාත්තාත් එකට ලිව්ව ගීතයක්. මොකද මට අදහස ආවට ඒකට එන්න ඕනෙ හරි සිංහල වචනය දාගන්න මට බෑ. ඒකට තාත්තා ගේ දායකත්වය අවශ්‍ය වුණා.

නෑ සංවේදනා

මා සිත්තුරේ

පෑ රැඟුමන් නොවෙයි

ඔබේ නෙත් මානයේ

මායාවක් නොවෙයි

ගීයෙන් මා කළේ

ආ හැඟුමන් තමා

මා පුද කළේ

මේ ගීතය අපි හදන්න පටන් ගත්තේ 2021 විතර ගීතය රිලීස් කළේ 2023 දී.

ඔබේ ගීත ගායනා ගොන්නේ හින්දි ගීතයකුත් දමිළ ගීතයකුත් අඩංගුයි?

මෙරී සින්ද ගී, පූචේ මුජේ

කෙයා යේ යෙහී තෙරී සින්ද ගී…. මගේ පළමු හින්දි ගීතය. ගම්මානේ කියන අනෙක් ගීතය තමයි මම දමිළ භාෂාවෙන් කරන පළමු ගීතය. ඒක දිනේශ් කනගරත්නම් එක්ක තමයි මම කියන්නේ. නම්මෝර් කියල ක්‍රොස් කල්චර් දමිළ ගීතයක් ආවා. ඒකේ රීමේක්ස් එක තමයි මම කළේ.

ඔබේම කියා ගීතයක් නිකුත් වීමත් සමඟ කොපමණ කාලයකට පස්සේ ද මේ අලුත් ගීතය ජනගත වන්නේ?

2018 වසරේ අග භාගයේ මගේ පළමු ගීතය එළියට ඒ මෙන් පසු මේ 2024 වසරේ තමයි මගේ අලුත්ම ගීතය එළියට එන්නේ. ඒ කියන්නේ වසර හයක කාලයකට පස්සේ ඔය අතර මම කරල තියන ගීත. හරිම පොඩි ප්‍රමාණයක් තව ටික කාලයක් මට මගේම නිර්මාණ ඔස්සේ එළියට එන්න ඕනේ. මගේම ඒක පුද්ගල වැඩක් කරන්න.

2019 වසරේ ඔබ කළ ‘හොරු’ ගීතය යළිත් කරලියට එනවා නම් හොඳම කාලය මෙය නොවෙයිද?

දැන් ඡන්දෙත් ළඟයි. 2019 ජනාධිපතිවරණයට කළින් තමයි මේ සින්දුව එළියට ආවේ. වගකීමක් ඇතුව ජන්දෙ දාන්න කියන පණිවිඩයත් එක්ක තමයි ඒ සින්දුව දැම්මේ. රජ කරනා අයමයි ලෝක හොරු කියල තමයි එදත් අපි කිව්වේ. අදටත් ඒ ගීතය හොඳට ගැළපෙනවා.

හිරුෂි කරපු ගීත නිර්මාණ මාකට් කරන්න. ඔබ අලසකමක් දැක්වුවා කියල මම කිව්වොත්?

ඇත්තෙන්ම මම රසිකයන්ට පේ‍්‍රක්ෂකයන්ට බලකරල කිව්වේ නෑ මගේ ගීත අහන්න කියලා. මම ආස නෑ කාටවත් බල කරල කියන්න. සමහරු මගෙන් අහනවා ඇයි අනේ ඔයා කරපු සින්දු මාකර්ට් කරන්නේ නැත්තේ කියලා. ඉදිරි කාලයේදී මිනිස්සු අතරට ගිය නැති ගීත අද ඔවුන් අතරට දෙන්න උත්සාහ කරනවා. අද තියන ජනපි‍්‍රය මාධ්‍ය භාවිතයත් සමඟ.

මම හිතනවා එහෙම කළොත් මගේ රසිකයෝ මට තව වැඩිවෙයි කියලා. සමහරු මගේ මුල් ගීත රසවිඳලත් නැතුව ඇති. ගීත මිනිස්සු අතරට යවන මාර්කටින් ටූල්ස් තියනවා. සමහර දේවල් මම කරන්න කැමැති නෑ. අපි ස්මාට් වුණොත් මේක මැනේජ් කරගෙන යන්න පුළුවන් වෙයි. බලමු ඉස්සරහට.

කුඩා කල පටන් ඔබේ හීනයක් තිබුණ ද ගායිකාවක් වීම පිළිබඳ?

ඔව්. මුලදි හිතුවා වෛද්‍යවරියක් ලෙස දිගටම කටයුතු කරල විනෝදාංශයක් ලෙස ගායනයේ නියැළෙනවා කියලා. හැබැයි මගේ පශ්චාත් උපාධියට කලින් කෙටි විවේකයක් ගත්තා. ඒ කාලය තුළ තාත්තා මට කිව්වා මියුසික් කරල බලන්න කියලා.

ගායනය විතරද ඔබ පි‍්‍රය කළේ. වාදනයට හිත යොමු කළේ නැද්ද?

මම කුඩා කාලයේ පටන් පියානෝව ප්ලේ කළා. විභාග කළා ලන්ඩන්යේ ටි‍්‍රනිටි කොලෙජ් ස්කූල් එකෙන් පියානෝව, වයලීන් වාදනය ඉගෙන ගත්තා. සුදුසුකම් සපුරා ගත්තා. පියානෝ වාදනයට වයලීන් වාදනයට මම කුඩා කාලෙත් දක්ෂයි. මම භාරත නාට්‍ය කළා. ගායනා කළා සාමාන්‍ය පෙළ, විශ්වවිද්‍යාලය අධ්‍යාපන කටයුතු එක්ක ඔක්කොම කරන්න බැරි නිසා. අවසානයේ මම තෝරගත්තේ ගායනය හා පියානෝ වාදනය විතරයි. සමහර වෙලාවට මට හිතෙනවා මම ගායනයට වඩා පියානෝ වාදනයට දක්ෂයි කියලත්. මම පළමු වරට යුටියුබ් එකට එන්නේම පියානෝ වාදනයත් එක්ක. එතැනින් තමයි මම මගේ චැනල් එක මමම හදාගත්තේ.

හිරුෂිගේ නිර්මාණ ගොන්නේ සැරිසරමින් ඔබේ ගීත රසවිඳින ආදරය කරන රසිකයන්ට ඔබව සොයාගන්න පහසු මඟ මතක් කළොත්?

හිරුෂි කියල සමාජ මාධ්‍යයේ මාව සර්ච් කළොත් මාව පහසුවෙන්ම ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. මගේ ගීත නිර්මාණ වගේම මගේ දායකත්වය ලැබුණු නිර්මාණත් පහසුවෙන්ම හොයාගන්න කාටත් පුළුවන් වෙයි. මම තව තවත් ඉදිරියේ අලුත් නිර්මාණ එක්ක මගේ ආදරණීය රසිකයන් අතරට එනවා. ඔවුන්ගේ ප්‍රතිචාරත් එක්ක.

හිරුෂි ආදරබර ගී ගායිකාවක් පමණක් වෙලාද?

සමහරවිට මම ඉන්න වයසත් එක්ක මගේ සිතුම් පැතුම් එක්ක සමහරවිට මම තෝරාගන්නා නිර්මාණත් ඒ පැත්තට බරගතියක් තියෙන්න පුළුවන්. ඉන්න වයසත් එක්ක සමහරවිට මටත් ඒ සිතුම් පැතුම් පාලනය කරගන්න බැරි අවස්ථාත් තියනවා. ඉස්සරහට මගේ ආශාවක් තියනවා ෂෝට් ෆිල්ම් ෆෝමැට් එකෙන් සිනමැටික් වීඩියෝ මියුසික් කරන්න. ඒකට තේමා කතා මා ළඟ තියනවා. හිරුෂි කියන්නේ කවුද කියල තවම ගොඩක් අය දන්නෑ. මාව තව ටිකක් කවුරු කවුරුත් හඳුනගත්තම මගේ වගේ වැඩක් මම කරන්න හිතාගෙන ඉන්නවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මේ ශ්‍රී ලංකාව තුළ විවිධ භාෂාවලින් ගීත ගායනයට මම ගොඩක් ආසයි.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT