නිවස විචාර තාත්තා නළුවෙක් වෙන්න සිහින මැවූ කෙනෙක් නෙවෙයි

තාත්තා නළුවෙක් වෙන්න සිහින මැවූ කෙනෙක් නෙවෙයි

රෙක්ස් කොඩිප්පිලිගේ පුතු ප්‍රසන්න කොඩිප්පිලි කියයි

by Test User
February 15, 2024 2:01 pm 0 comment

“අපේ තාත්තා රැකගෙන හිටිය හොඳ නම හින්දාම අදටත් අපෙ තාත්තාගෙ නාමයෙන් අපටත් සමාජයෙන් හොඳ පිළිගැනීමක් අදටත් ලැබෙනවා..තාත්තා ට ලැබුණු ගෞරවයම අද අපටත් ලැබෙනවා…”

හෙළ සිනමාවෙහි රංගන ප්‍රතිභාවෙන් මොනවට පිරිපුන් ඔහු වඩාත් අපට සමීපවූයේ දුෂ්ටයාගේ චරිත නිරූපණයෙනි.. ආරෝහ පරිනාහ දේහයකට හිමිකම් කී අසමාන පෞරුෂයකින් හෙබි මෙවර ඔබ හමුවට පැමිණෙන අපේ ආදරණීය කතා නායක තෙමේ සිනමා රසික සිත්සතන්හි නොමැකෙන සටහන් තබා ඇතිවාට සැකයක්ද නැති.

මේ අන් කිසිවකු හෝ නොව ප්‍රතිභාපූර්ණ රූපණවේදී රෙක්ස් කොඩිප්පිලි මහතාය…වරෙක ඔහු සිනමා තිරයේ දාමරිකයෙකි. වරෙකදී ආදරණීය පෙම්වතෙකි..තවත් වරෙකදී රසික සමූහයාගේ දෝෂාරෝපණයට පවා ලක්වන තරමේ දයා විරහිත දුෂ්ටයෙකි….

සරසවිය වෙනුවෙන් අපේ සොඳුරු කතා නායකයා පිළිබඳ ඔහුගේ යටගියාව ගැන ඔබට කියන්නට මගක් සොයමින් සිටියදී අපේ ආදරණීය අනුර රත්නායක මහතා මවෙත දුන් සහයට ඔහුට දැනුදු කෘතවේදී වෙමි…

නුගේගොඩ..උඩහමුල්ල පදිංචි අපේ ආදරණීය කතා නායක රෙක්ස් කොඩිප්පිලි මහතාගේ ආදරණීය පුත්‍රරත්නය වන ප්‍රසන්න කොඩිප්පිලි මහතා දැන් මා සමඟ පිළිසඳෙර්ය….ඔහු නිවසේ බරාඳයේ මට සමීපවම සුවපහසු අසුනකට බරදී ප්‍රියමනාප මුහුණින් යුතුව හෙතෙම පසුවෙයි..ඔහු සමීපයේම පසුවන්නේ ඔහුගේ ප්‍රිය බිරිඳ ගුරුවරියක වූ දිලිනි කොඩිප්පිලි මහත්මිය ය..

“අපෙ තාත්තා මා එක්කළ කතාබහට වඩා නිතර කතාබහේ උන්නෙ මේ මගෙ මෝනා එක්ක..අප්..පේ…බලන්න එපායැ තාත්තා එයාගෙ මතක සැමරුම් හැම එකක්ම කියන්නෙ මෙයා එක්ක තමයි..මා එක්කත් විස්තර කියනවා ..නැත්තෙමත් නැහැ..”

සිය ස්වාමියාගේ කතාව අනුමත කරන්නාක් මෙන් දිලිනි මහත්මිය මදෙස බලා සිනාසෙන්නීය ..

අපේ සොඳුරු කතා නායකයාණෝ රෙක්ස් ජෝශප් කොඩිප්පිලිය..ඒ ඔහුගේ උප්පැන්නයේ නමය. උපන්නේ 1938ක් වූ ඔක්තෝබර මස 06 වැනිදාය..ජන්ම ලාභය ලැබූයේ බදුල්ලේ ය..

දොන් හෙන්රි කොඩිප්පිලි සහ එතල් කොඩිප්පිලි මවුපිය දෙපළගේ තෙවැනි පිරිමි දරුවා වූ අපේ කතා නායකයාගේ වැඩිමල් සොහොයුරා ස්ටැන්ලි ය..දෙවැන්නා කිංස්ලි ය. බහ තෝරන වියෙහි පටන්ම නිර්භීත දරුවකු වූ හෙතෙම සැබැවින් ම දඩබ්බර චරිතයකි.

ඉගෙනුම ලැබූ බදුල්ලේ ශාන්ත බීට්ස් විදුහලේ සිය සගයන් සමඟ ගං දියේ නෑමට…ගස් නැගීමට..රණ්ඩු දබරයට සේම කොටින්ම කිවහොත් අනතුරුදායක දේවල්ම කරන්නට ඔහු තුළ තිබුණේ බලවත් කැමැත්තකි..

අපේ ආදරණීය ඔහු පුත් ප්‍රසන්න සිය ගැඹුරු කටහඬ අවදි කරන්නේය..

” අපෙ තාත්තා හරිම පුදුම චරිතයක්…කුඩා කාලේ පටන්ම හරිම ක්‍රියාශීලීයි..ඒ උපන් ගතිය නම් අමල් පසුකාලෙකත් තාත්තා ට තිබුණා”

ඔහු මඳක් හැරී බිරිඳගේ මුහුණ බලා සිනාසී මෙසේද කියන්නේය.

“අපෙ තාත්තා උන්නෙ අප ළඟමයි..ඉතිං..මගෙ මෝනා එක්කල..අපෙ දරු දෙන්නා එක්කල තමයි තාත්තා එයාගෙ අපූරු කතන්දර කියන්නෙ..අපෙ මෝනාත් හොඳට අහගෙන ඉන්නකොට තාත්තා මතක් කර කර එයාගෙ අතීත අත්දැකීම් කියනවා..මමත් විවේක වෙලාවලදි ඉතිං එව්ව අහන් ඉන්නවා..”

අපේ ප්‍රසන්න ඇඟළුම් ක්ෂෙත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි…ඔහු හා මා අතර සංලාපයට ඔහු බිරිඳ දිලිනි තව තව කරුණු සපයමින් ඊට සහය වන්නීය..

අපේ ආදරණීය රෙක්ස් ඉපදී මසකින් පමණ ඔහුගේ පියා කළුරිය කළේය..වෘත්තීයෙන් මිනින්දෝරුවකු වූ ඔහු ත්‍රිකුණාමලයේදී ගං වතුරකට හසුවී මියගිය බව කීවේ අපේ ප්‍රසන්න ය..පියා අහිමිවීමෙන් තනිවූ අපේ කතා නායකයා එතැන් සිට හදා වඩාගෙන ඇත්තේ ඔහුගේ ලොකු අයියා ස්ටැන්ලි ය..

පාසල් වේදිකාවේ කැපී පෙනෙන සිසුවකු වූ අපේ රෙක්ස් එහි ගී ගැයුවේය…වේදිකා නාට්‍යවල රඟපෑවේය..ඊට අමතරව බොක්සිං ..රෙස්ලින්..ආදියෙහිද සමතකු වූ හෙතෙම පිහිනීමට සේම යතුරු පැදි ධාවන ශූරයකුද වූයේය..යතුරු පැදිය සැබැවින්ම ඔහුට සෙල්ලම් බඩුවකි..

“තාත්තා එයාගෙ අම්මා ට කීවෙ මම්මා කියලානෙ..අපිත් ආච්චි ට කීවෙ මම්මා කියලා..නිවාඩු වෙලාවට බයික් එකේ තියාගෙන තාත්තා බදුල්ලේ හැමතැනම එක්ක යනවා.”

පුතු ප්‍රසන්නගේ සිනාමුසු මුහුණ එහෙමමය.

දැන් අපේ සොඳුරු කතා නායක තෙමේ යස තරුණයෙකි…රැකියාවට තෝරා ගත්තේ මිලිටරි හමුදාවය..හේ දැන් හමුදාවේය…එහිදීද ඔහු කැපී පෙනෙනා චරිතයක්ම විය..අම්මාගේ නංගීගේ සැමියා ද හමුදාවේය..ඔවුන් නිවසන නුගේගොඩ..උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචියට රෙක්ස්ගේ පවුලේ අයද පැමිණියේය ..බදුල්ලේදී නොසිටි තරමේ හිතමිතුරන් ද ඔහුට දැන් බොහෝය…

“ඉතිං..අමල් ..අපෙ තාත්තා උඩහමුල්ල ට ආවානෙ..ඔන්න තාත්තා හමුදාවෙන් ඉවත් වෙලා කොළඹ සලාකා ආයතනයේ මැනේජර් කෙනකු හැටියට රස්සාවක හිටියා.”

සලාකා ආයතනයට විවිධ වෘත්තීන්හි අය පැමිණෙති..මේ අය අතර සිටි ප්‍රකට නළුවකු වූ ඔස්වල්ඩ් ජයසිංහ අපේ කතා නායකයාට මුණගැසුණේ මෙතැනදීය..

“ඒ ඔස්වල්ඩ් අන්කල් අපෙ තාත්තාගෙ ලොකු අයියා ස්ටැන්ලිගේ බිරිඳගෙ පැත්තෙන් ඥාති සම්බන්ධයක් ද තිබුණා . සලාකා ක්ලබ් එකේ තවත් අයත් තාත්තාගෙ මිතුරන් වුණා..”

ප්‍රසන්න කියන්නේය..

ඔස්වල්ඩ් ජයසිංහ ඔහුගේ මිතුරු ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාට අපේ කතා නායකයා හඳුන්වා දුනි..එහිදී ඔහුගේ “කතුරු මුවත්” සිනමා සිත්තමේ රඟපෑමට සුළු චරිතයක් ලබා දුන්නේය..එය පොකට්කාරයකුගේ චරිතයකි…රඟපෑමට පළපුරුද්දක් නොමැතිවීමෙන් පොකට්කාරයාගේ චරිතය ප්‍රතික්ෂේප කළ විටදී ඔහුට ලැබුණේ වෙනත් චරිතයකි. එහි ඔහු රඟපෑවේය..පැසසුම් ලැබුවේය..ඒ 1971 වසරේදීය ..

දැන් අපේ සොඳුරු කතා නායකයා චිත්‍රපට නළුවෙකි…ආශක්ත රංගනය නිසාවෙන්ම දැන් දැන් ඔහුට චිත්‍රපට ගලා එන්නේය…

මම අපේ ප්‍රසන්නගේ මුහුණ බලමි .

“අපෙ තාත්තා මං කවදාහරි නළුවකු වෙනව කියන අදහසකින් නම් ඉඳල නැහැ. දෛවෝපගතව තාත්තාට ඒ අවස්ථාව ලැබුණා කියලයි මම හිතන්නෙ… ඒ මුල්ම චිත්‍රපටයෙ රඟපාන්න ගිය වගක්වත් එදා අපෙ තාත්තා එයාගෙ අම්මා ට කියලත් නැහැලු ..රඟපාලා ඉවර වෙලා තමයි ඇවිත් අම්මා ට කියල තියෙන්නෙ ”

මා විමසූ සුන්දරනීය පැනයකට හේ තම බිරිඳගේ මුහුණ බලමින් සිනාසෙන්නේය..

“ඔව්..අමල් . ඒ ගැනත් කියන්නම්කෝ…අපෙ තාත්තාගෙ විවාහය..එතුමිය කැතරින් එස්තර් ( තෝමස්) කොඩිප්පිලි …ඒ තමයි අපෙ අම්මා. මේ විස්තර ඉතිං..මා එක්කල නෙවි..මගේ මෝනා එක්ක තමයි තාත්තා කියල තියෙන්නෙ ..”

අපේ ආදරණීය රෙක්ස් කොඩිප්පිලි ආදරණීය කැතරින් මෙනවිය සමග විවාහ වූයේ පෙම් සබඳතාවකිනි. ඇයද නුගේගොඩ උඩහමුල්ලේමය .. ඒ 1963 දීය..

එම විවාහයෙන් ඔවුන්ගේ පළමු දියණිය වන්නේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ වෙසෙන රොෂාන්ති කොඩිප්පිලි මහත්මිය ය..දෙවැන්නා මා සමඟ කතාබහේ පසුවන ආදරණීය පුතු ප්‍රසන්නය..තෙවැන්නිය අපේ ප්‍රසන්නගේ එකම නැගණිය සුරේඛා කොඩිප්පිලි මහත්මිය ය.

“අපෙ අම්මාගෙයි තාත්තාගෙයි විවාහය ඇත්තමයි ..අපටත් ගෞරවයක්..එතරම් සාර්ථකයි..තාත්තා මැරෙනතුරුම සතුටින් හිටියෙ…අපි ගැන එයා බලනවා..එයා ගැන අපි බලනවා…මම මගේ මෝනා දිලිනි එක්ක විවාහ වෙනකොට මෙයා ගුරුවරියක්..අපෙ විවාහයෙන් පස්සෙ ගුරු රස්සාවෙන් ඉවත් වුණා. ඉතිං.. තාත්තා මගේ මෝනා හා අපෙ දරු දෙන්න එක්ක සතුටින් ම කාලය ගතකළේ..”

අපේ ආදරණීය රෙක්ස් තම බිරිඳට හදවතින්ම ආදරය කළේය..ඇයද පෙරළා එලෙසින්ම ඔහුට ආදරය කළාය…

ගායනයෙහිද කුසලතා පෙන්වූ හෙතෙම ගෙදරදී ගයන අයුරු සැවොම අසා සිටිති..පුතු ප්‍රසන්නගේ දරුවන් දෙදෙනා ගිටාරය වයති. ඔහු ගයමින් නටන්නේය..සීයාගේ මටසිළුටු පැවතුම්වලදී ඒ දරුවන් ද සතුටින් පිනා යති.

තම දරුවන් දෙසද තම දරුවන්ගේ දරුවන් දෙසද බලමින් අපේ ආදරණීය කතා නායකයා අපමණ සතුටක ගිලී යන්නේය..

ලද විවේකයේදී කාමරයකට වැදී පැරණි චිත්‍රපට නරඹන්නේය…ගැයුමෙහි හපන් තම පියාණන් ඉන් සම්මානද දිනා ඇති බව කීයේද ප්‍රසන්නය..චිත්‍රපටවලටද ගී ගැයූ හෙතෙම තම සතුට වෙනුවෙන් කැසට්පටයටද ගී ගැයුවේය.

සතුට ..විමෝදය.. හැරුණුවිට මදුවිතටද පෙම්බැඳී අපේ කතා නායකයාණෝ දුම්වැටිය ප්‍රිය නොකළේය. තමන්ට ඇවැසි ගමනක් ගොසින් ආපසු ගෙදරට එනවිට රෑ බෝවී ඇතිද ඔහුට නොවේ එය වැදගත් වන්නේ…ඒ එන රාත්‍රියේ ඔහුට හිතවත් සංගීත කණ්ඩායමක්ද තම රියෙහි නංවාගෙන ගෙදරට එන්නේය. මේ ගැන අපේ ප්‍රසන්න කීවේ අපූරු කතාවෙකි..

“ඉතිං ..අමල් ඔන්න රාත්‍රියෙ සංගීත කට්ටිය එක්කගෙන ඇවිත් ගෙයි සාලේ එයාලා ගයනවා..වයනවා. ඒ වුණාට සමහරදාට අපෙ තාත්තා හොඳටම නිදි..”

හේ කටපුරා සිනාසෙන විට බිරිඳ දිලිනිද සැමියා දෙස බලා සිනාසෙන්නීය.

චිත්‍රපට නිෂ්පාදකවරයකුද වන අපේ ප්‍රසන්න තම පියාණන් ද රඟපෑ “අහස් මාලිගා”චිත්‍රපටය මිලදී ගෙන ප්‍රදර්ශනය කළේය. කිසිදිනෙක තම දූ දරුවනට සිනමාවට එන්නැයි හෙතෙම කියා නැති.

“අපෙ තාත්තා හැම තිස්සේ ම පිළිවෙළට වැඩ කරන්නයි කැමති..ලස්සනට අඳීන්නත් එහෙමයි..වෙලාවට වැඩ..8 කියා කීවොත් අටම තමයි.අටයි එක නෙමේ. ඒක තාත්තාගෙ සිරිතක්මයි.”

පුතු කියන්නේය..

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ වඩාත් සමීප ඇසුරේ පසුවූ අපේ ආදරණීය රෙක්ස් කා සමඟත් පසුවූයේ හොඳ සිතකිනි..රිදී තිරයේ දුෂ්ටයා වුවද සැබෑ දිවියේ ඔහු කරුණාබර නිහතමානී මහත්මයෙකි. ඒ නිසාම කලා ලොව විවිධ ක්ෂෙත්‍රයන්හි පිරිස ඔහුගේ ඇසුෙර්ය…සිනමාවේද රූපවාහිනි නාට්‍යයේ ද රංගනයෙහි නියැළී බයිසිකලේ සහ කදිරා චිත්‍රපට නිෂ්පාදනය කළේද ඔහුමය…සාජන්ට් නල්ලතම්බි..රෝමියෝ ජුලියට්..ආදී වේදිකා නාට්‍යවලද..ටයිටස් තොටවත්තයන්ගේ රන් කහවණු ඇතුළු ටෙලි නාට්‍යවලද හෙතෙම සිය රංගන පෞරුෂය විදහා පෑවේය..

තිස්ස නාගොඩවිතානයන් දිනෙක ප්‍රසන්න හමුවී මෙසේ කීවේය.

“රෙක්ස් කොඩිප්පිලි කියන්නෙ සම්භාවනීය නළුවෙක්…චිත්‍රපටයක ගරු රඟපෑමක චරිතයක් වුණත් වෙන්න පුලුවන්..එහෙම රඟපෑම් අතින් බැලුවත් වැඩියෙන්ම රඟපෑවෙ අපේ රෙක්ස් කියල කටපුරා කියන්න පුළුවන් ..”

මේ ටික කීවේද ප්‍රසන්නය .

දැන් දැන් අපේ ආදරණීය කතා නායකයාණෝ වියපත්ය..එහෙත් වයසට ගියද හිත තුරුණුව ඇතිසේය…ක්‍රීඩාවටම ඇලුම් සිත එහෙමමය.. ව්‍යායාමය නැතිවම බැරිය.

සිතේ සතුට විමෝදයම සලකා සිටි අපේ ආදරණීය සහෘදයාණෝ තම දෑතින් මුහුණ වසාගෙන හඬන්නට වූයේය…

“අපෙ තාත්තා දුක්වුණ දවස අපෙ අම්මා අපට නැතිවුණු දවසයි..එදා තමයි අපෙ තාත්තා දුකින් ඉන්නව දැක්කෙ..”

අපෙ අම්මා වෙනුවෙන් මම වෛද්‍ය උපදෙස් පැතුවා. වෛද්‍යවරුන් අම්මාගෙ අවදානම් තත්ත්වය අපට රහසේ කීවා…”

අපේ ප්‍රසන්න ගේ හඬ බිඳුණු ස්වරයකි..

තම බිරිඳගේ වියෝව ඔහුට ශෝකාන්තයක්ම විය.

එහෙත්..ඒ දුක හද සඟවා පවුලේ ඇත්තන් සමග සතුටින් හිඳීන්නට ඔහු වෑයම් කළේය…

“තාත්තා කාර්ය බහුල නිසා අප වෙනුවෙන් වෙහෙසුණේ අපෙ අම්මා ..ඒ වගේමයි තාත්තාත් ගෙදර අය ගැන උනන්දුවෙන් සොයා බැලුවා..අපෙ පාසල් වලට පවා තාත්තා උදව් කළා…”

අපේ සොඳුරු කතා නායක තෙමේ දරුවනට බැඳී ස්නේහයටත් වැඩියෙන් දරුවන්ගේ දරුවනට ආදරය කළේය…ප්‍රසන්න පුතුගේ ළමා අවදියෙහි දඩබ්බරකම් ඉවසනු බැරිතැන පහර දී දඬුවම් කළද තම දරුවන්ගේ දරුවනට දක්වන ආදරයේ තරම කියාගන්නට වචන මදි තරමි.

හිමිදිරියේ අවදිවන හෙතෙම නැතිවු අයටද ලෝ සත්ත්වයිනටද මෙත් වඩන්නේය…කතෝලිකයකු වූ හේ නිතර එමඟෙහි පිහිටියේය..

අතීතයේදී යතුරු පැදියේම ගතකළ නිසාවෙන්දෝ බිම ඇදවැටුණු තැන්…තුවාල සිදුවූ තැන්…ඒ නිසාම යම් යම් ආබාධ හේතුවෙන් රෝහලට ඇතුළත් කළ පසුව ඇතැම් මාධ්‍යයන් තාත්තා රෝගාතුර ව ඇතුළත් කළ බවට බොරු පුවත් මවාපෑම ගැනද අපේ ප්‍රසන්න කීවේ කනස්සල්ලකිනි.

“අපෙ තාත්තා ට ඉහෙන් බහින අසනිපයක් තිබුණෙත් නැහැ..කොහොමත් මුකුත්ම අසනිපයක් නැතිවුනත් තාත්තාව මසකට වරක්වත් පරීක්ෂාවට බඳුන් කරවන එක මගේ පුරුද්දක් ..මාධ්‍යවල බොරු පුවත් නිසා අන්තිමේදි ඒවා නිවැරදි කරවන්නත් අපට සිද්ධ වුණා…”

ඉකුත් නත්තල වෙනුවෙන් ජා ඇල පිහිටි දිලිනිගේ මහගෙදරට අපේ කතා නායකයාද ගියේ මහත් සතුටකිනි..ඒ දෙසැම්බරයේ 22 වනදාය. පුතු ප්‍රසන්නගේ උපන් දිනය යෙදී තිබුණේද නත්තල දා 25 වනදාය..

සුපුරුදු කතාබහෙන් යුතු වූ හේ 24 වනදා හිමිදිරියේ ස්නානය කරන අයුරු පුතුටද ඇසිණි. බතික් ඇඳුමකින් සැරසීගත් හෙතෙම දෙවියන්ට යාඥා කොට උදෑසන ආහාරයට වාඩිවී.. අහරින් පසුව නැතිවම බැරි හකුරුද කෑවේය..අනතුරුව ඇඳට ගොස් දිගැදුණේය..පුතු ප්‍රසන්න ඇඳ කොනක හිඳගත්වනමය.

“පුතා ..ඉදිරි ප්‍රෝග්රෑම් එක කොහොමද ඔයාගෙ..” තාත්තා අනෙක් ඇලයට හැරී පුතුගෙන් විමසුවේ ය.

24 දින දහවල 12ට කිට්ටුය.

“තාත්ති ..තාත්ති ..අනේ එන්නකො..ඉක්මනට එන්නකෝ…සීයා ගොරවන්නෙත් නැහැ…මං කතා කළාම කතා කරන්නෙවත් නැහැ..”

තම පුතුගේ කෑ ගෑම අසා හුන් ප්‍රසන්න වහා යහනේ නිදාගත්වනම මෙන් පසුවන තාත්තාට කතා කළේය..

“තාත්තෙ ..තාත්තෙ ..”

ඒ මොහොතේදීම අපේ ආදරණීය කතා නායකයාගේ එක් අතක් පහළට වැටිණි..ප්‍රසන්න ආදරණීය තාත්තා දෙස බලාගත්වනමය …තාත්තා නිහඬය..නිසලය…වහා යාබද නිවසේ හිතවත් වෛද්‍යවරිය කැඳවා ආවේය…අපේ ආදරණීය රෙක්ස් පරීක්ෂාවට බඳුන් කළ ඕ ප්‍රසන්න දෙස බලා යටිතොල පෙරලා හිස දෙපැත්තට සැලුවාය..

වෛද්‍යවරියගේ උපදෙස් මත වහා ජා ඇල රෝහලට ඇතුලත් කෙරිණි ..වෛද්‍යවරුන් ඔහු හඳුනා පණ නල පණගන්වන්නට මහත් පරිශ්‍රමයක් දැරූහ.

“අපට ඕන කරන මනුස්සයෙක් …මෙහෙම අපිත් මහන්සි වුණේ ඒකයි. ඔයාගෙ තාත්තා නැතිවෙලා”

.අපේ පුතු ප්‍රසන්න තාත්තා දෙසම බලා හිඳ දෙඅතින්ම මුහුණ වසාගත්වනම කුඩා දරුවකුසේ හඬන්නට වෙද්දි පවුලේ සැමගේ නෙත් කඳුළටම බරවිණි.

“අපෙ තාත්තා යුතුකම් වගේම මනුස්සකම ආදරය දන්න කෙනෙක්…තාත්තා ගැන කියන්න මට වචන නැහැ..”

අපේ සොඳුරු කතා නායකයාගේ 85 වන උපන් දිනයට පාටි මුකුත් එපා යැයි දරුවනට කීයේය..

මෙතුවක් මා සමග කතාබහේ පසු වූ අපේ ආදරණීය ප්‍රසන්න බිම බලාගත්වනම සිට හිස ඔසවා මදෙස බැලුවේය.

ඔහු දෑස කඳුළින් බරව තිබිණි ..

[email protected]

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT