නිවස සංවාද මේ නාට්‍යය හාස්‍යයට බර වුණත් ඇතුළත හරය වෙනස්

මේ නාට්‍යය හාස්‍යයට බර වුණත් ඇතුළත හරය වෙනස්

ප්‍රකට නාට්‍යවේදී අසෝක සෙනරත් මුදලිගේ

by Manjula
March 14, 2024 1:00 am 0 comment

සිනමා හා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ වසර 40ක අත්දැකීම් සහිත පළපුරුදු නිර්මාණවේදියකු වන අශෝක සෙනරත් මුදලිගේ සිය නවතම වේදිකා නිර්මාණය සමඟින් මාර්තු පහළොස් වැනි දින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ඔබ හමුවීමට නියමිතය.

ඔබේ අලුත්ම වේදිකා නිර්මාණය ගැන මුලින්ම කතා කරමු

මේ මගේ දහ අට වැනි වේදිකා නිර්මාණය. ‘ සාජන් සාජන් සාජන්’. මාර්තු මස 15 වැනිදා මරදාන එල්පින්ස්ටන් රඟහලේ දී සවස හයට මෙහි මංගල දර්ශනය පැවැත්වීමට නියමිත යි. මේක හාතස්‍යෝද්පාදක නාට්‍යයක්. ඒ වගේම පවුලේ සියලු දෙනාට ම එකට සිට නැරැඹිය හැකි නාට්‍යයක්. විශේෂයෙන් වසර තුනක් පමණ කාලයක් කොවිඩ් වසංගතයෙන් කලාකරුවන් වූ අපේ නිර්මාණ ජීවිතයට ඇතිවී තිබූ බාධාවෙන් පසු මේ නිර්මාණය මම කරන්නෙ.

දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් මේ නිර්මාණය සමඟ එක්වී කටයුතු කරනවා. සමාජයට යම් වැදගත් පණිවිඩයක් දෙන්න මේ නිර්මාණය ඔස්සේ කටයුතු කර තිබෙන්නේ.

ඔබේ නිර්මාණ වෙනස්ය කියා කියන්නේ ඇයි ?

අද ගොඩක් නිර්මාණ හතු පිපෙන්නාක් මෙන් බිහි වුණත් එහි හරය ගැන හිතන්න වී තිබෙනවා කියන එකයි මම විශ්වාස කරන්නෙ. නිර්මාණයකින් වන යහපතක් තිබිය යුතුයි. කුමනාකාර ව හෝ. මගෙ නිර්මාණ හාතස්‍යෝද්පාදක ස්වරූපය දැරුවත් එහි ඇතුළත වෙනම හරයක් සහිත යි. ඒ හැම නිර්මාණයක් ම නිරීක්ෂණය කළොත් ඒ හාස්‍යයමය ස්වරූපය තුළ තිබෙන ගැඹුර වටහාගන්න අපහසු නෑ. එතන යම් සමාජ පණිවිඩයක් මතු කරගන්න පුළුවන්.

ඔබේ මෙවැනි පෙර නිර්මාණවල පවා ඔබ මතු කරන්නේ මේ ගුණයම නේද ?

ඇත්තෙන්ම. දේශද්‍රෝහියෝ, නායකයා, සාජන් සින්නතම්බි, ඇන්කොන්ඩා, ඩාන්සිං ස්ටාර්, මිස් නාගීනා, මාස්ටර් බීන් වැනි නිර්මාණ ගණනාවක් ඔස්සේත් මම උත්සාහ කළේ අර පෙර කී කාරණය මතු කරන්නයි. මිනිස්සු ඒ මතු පිට හාස්‍යය විඳීන අතරේම ඔවුන්ගේ මනසටත් වෙනමම පණිවිඩයක් දෙන්නයි මගෙ වෑයම.

ඔබේ යූ ටියුබ් නාලිකාව ඒඉර් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඔබ මේ නාට්‍ය නිර්මාණ සේම තවත් බොහෝ දේ බොහෝ කතා කරනවා?

ඔව්. මගෙ ඒඉර් යූ ටියුබ් නාලිකාවේ මම ගොඩක් දේවල් කතා කරනවා. විශේෂයෙන් දැන් මේ නිර්මාණ ගැන වගේම කලා ක්ෂේත්‍රයේ බොහෝ දේ ගැන මෙහි මම කතා කරන්න වේදිකාවක් කර ගන්නවා. විශේෂයෙන් සිනමාව සමඟ තිබෙන මගෙ සම්බන්ධය සහ සිනමාව වෙනුවෙන් මගෙ දායකත්වය ගැන මම එහි නිතර කතා කරනවා. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමඟ කරන කතා බහ අත්දැකීම් බොහෝ මෙහි මා බෙදාගන්නවා.

ඔබේ නිර්මාණවල පොදු විශේෂත්ව පිළිබඳත් කතා කරමු.

බොහෝ විට මේ නිර්මාණවල රචකයා, අධ්‍යක්ෂවරයා සේම නිෂ්පාදකයා වූයේත් මම. මම මෙතෙක් කළ නාට්‍ය දහ අටෙන් පහළොවක් ම නිෂ්පාදනය කළේ මම. ඒ නිසා මට හොඳ නිදහසක් නිතරම තිබුණා හරවත් සාරවත් දෙයක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න.

ඔබේ ඉදිරි නිර්මාණ ගැනත් කතා කරමු?

දැන් මේ වේදිකා නාට්‍යයෙන් පස්සෙ තව නිර්මාණ දෙකක් ඉදිරිපත් කරන්න අදහස් කරගෙන ඉන්නේ. එතනදීත් මගෙන් වන විශේෂත්වය තමයි අලුත් දෙයක් ඉදිරිපත් කරන්න නිර්මාණ කාර්‍යයේදි යුහුසුලු වීම. එකම දේ හෝ පිළුණු වූ දෙයක් නැවත නැවත ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමෙන් පලක් නෑ.

ඔබේ නවතම නාට්‍ය නිර්මාණය ගැන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොනවාද ?

එන්න. මේ නිර්මාණය රස විඳීන්න. මොකද මම කිව්ව විදියට අලුත් දෙයක් කරන්න මම උත්සාහ කර තියෙනවා. විශේෂයෙන් කාලානුරූපි සමාජ ආර්ථික වටපිටාවේ පවතින දෙයක්, එහි විපර්යාස නිර්මාණාත්මකව ප්‍රේක්ෂකයා ට ඉදිරිපත් කරන්න යි මම උත්සාහ කර තියෙන්නේ. මේ නිර්මාණය විඳීන ගමන් ඒ අන්තර්ගතය ඔවුන් උරා ගනු දැකීම යි මගෙ කැමැත්ත.

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT