Home » පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම

පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම

by mavan
June 4, 2026 12:07 pm 0 comment

මයිකල් ජැක්සන් මියගියේ මීට අවුරුදු 17කට පෙර ය. දිනය සටහන් කරනවා නම් එය හරියටම 2009 වසරේ ජූනි 25 වැනිදා ය. ජැක්සන් මිය යද්දි ඔහුගේ වයස අවුරුදු 50කි. අද ඔහු සිටියා නම් අවුරුදු 68කි. ජැක්සන් මියගොස් තිබියදි වූවත් එම නාමය තාමත් රැව් පිළිරැව් දෙයි. ඔහු ගැයූ සින්දු ලෝකය පුරා ඔීනම තැනක දිනෙන් දින රසිකයන් අසන්නට පෙලඹෙයි. යුටියුබ් මාධ්‍යයේ වරින්වර මයිකල් ගැයූ ගී රස විඳීති. මේ දිනවල මයිකල් පිළිබඳ බොහෝ දේ කතා කරන්නට පෙළඹෙයි. මන්ද “මයිකල්” නමින් අපදාන ශානරයේ හොලිවුඩ් චිත්‍රපටයක් ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වන නිසාවෙනි. ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමින් තැනූ “මයිකල්” චිත්‍රපටය මේ වනවිට උපයා ඇති ආදායම ලෙස සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 800ක් වශයෙනි. මයිකල් ඩොලර් බිලියන ආසන්නයේ ය. සිනමාපටය සඳහා මේ වනවිට ලැබෙන අති විශාල ප්‍රතිචාර හමුවේ “මයිකල්” චිත්‍රපට⁣යේ දෙවැන්නෙහි නිෂ්පාදන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබේ.

මයිකල් සිනමාපටය අධ්‍යක්ෂවරයා වන්නේ “ඇන්ටොයින් ෆුකුවා” නම් සිනමාකරුවා ය. ඔහු සමිමානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. මයිකල් චිත්‍රපටයේ තිර පිටපත ලියා ඇත්තේ ජෝන් ලෝගන් ය. ජෝන් ලෝගන් යනු “ග්ලැඩියේටර්”, ”ස්කයිෆෝල්”, “ද ලාස්ට් සමුරායි”, “ද ඒවියේටර්”, “රැන්ගෝ”, “හියුගෝ” වැනි සම්මාන පිට සම්මාන දිනූ චිත්‍රපටවල තිරපිටපත් ලියු අයෙකි. මයිකල් චිත්‍රපටය පිළිබඳ ලියුම්කරුගේ පෞද්ගලික සහ අවංක අදහස අනුව එය පරිපූර්ණ චිත්‍රපටයක් නොවුණත් මයිකල් ජැක්සන්ට සාධාරණයක් කිරීමට දරන ලද හොඳ උත්සාහයකි. තිරගත වන්නට පෙර විචාරකයන් සහ ඇතැමි ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයට බැණ වැදුණහ. ඇතැම්හු චිත්‍රපටයේ ධාවන කාලය (Run Time) මදි යැයි බිණුහ. මයිකල්ගේ ආපදානය චිත්‍රපටයකින් පැය දෙකකට සාරාංශ කර පෙන්වීම අපහසු ය. ඔහුගේ ජීවිතයේ පරිමිතය එතරමින් විශාල ය. එය චිත්‍රපට තුනකට නිර්මාණය කළ හැකි ආපදානයකි.

“මයිකල්” චිත්‍රපටය අවසානයේ නිශ්චිත කූටප්‍රාප්තිමය සිදුවීමකින් නිමාවට පත් වන්නේ නැත. සිනමාපටය නිමා වන්නේ මයිකල් තනි පුද්ගල ගායකයකු ලෙස වර්ධනය වන ස්ථානයෙන් ය. මයිකල් ජැක්සන් කියන්නේ කවුද? ඔහු කොහොමද ගායකයෙක් දක්වා වැඩෙන්නේ? ඔහුට තිබුණ ගැටලු මොනවද? ඔහුගේ හැසිරීම මොනවගේද? ඔහුගේ අනන්‍යතාවය (Identity) බිඳ වැටෙන්නේ කෙසේද? ආදී දේවල් සම්බන්ධයෙන් තිර රචනාවෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ සියළු දේවල් සිනමා භාෂාව (Film Language) සමඟ ලිය වූ දෑ තිබේ.

මයිකල් ජැක්සන් පොප් සංගීතයේ රජු ලෙස කිරුළු පලන්නේ කෙසේද? යන්න “Michael” චිත්‍රපටයේ සඳහන් වෙයි. මයිකල් සිය ජීවිතය තුළ ලබාගත් ජයග්‍රහණ සේම ඔහු මුහුණ දුන් ඛේදවාචක සහ ඔහු සතු සංකීර්ණ චරිත ලක්ෂණ නිරූපණය වෙයි. පසුතල නිර්මාණය, වේශ නිරූපණය, රංග වස්ත්‍ර නිර්මාණය ආදී සියල්ලක්ම ඒ යුගය යළි ප්‍රතිනිර්මාණය කරන්නට සමත් වී තිබේ. ජැක්සන්ට පණ දෙන්නේ ඔහුගේ බෑනණුවන් කෙනෙක් වෙන “ජෆාර් ජැක්සන්” ය. ජැක්සන්ට යළි පණදෙන්න ජෆාර්ගේ උත්සාහය ඇගයීමට ලක්කළ යුතුම ය. ජෆාර් විසින් ජැක්සන්ගේ ගමන විලාසය, කතා කරන විලාසය, අත සහ ඇඟිලි හසුරුවන විදිය පවා සෑහෙන අධ්‍යයනයක් සමඟ කර තිබෙන බව දක්නට ලැබෙයි.

මයිකල් ජැක්සන් යනු ලෝකයට සිටි අවසාන සුපිරි ගායකයා ය. අපේ පරම්පරාවේ අවසාන විශ්වීය (Universal) සුපිරි තරුව ඔහුයි. පොප් සංගීතයේ රජු (King Of Pop) ය. ඔහුගෙන් පසුව මිහිමත සිටින කිසිදු ගායකයෙකුට හෝ ගායිකාවකට උන්මාදයෙන් පෙළුණ මයිකල් තරම් ගායකයකු තවමත් බිහි වී නැත. මයිකල්ට ළංවන්නට හැකි ගායකයකු යළි බිහිවෙන්නේ ද නැහැ. ජැක්සන් මිය ගොස් නැත. ඔහු සදානුස්මරණය වේ. ඊට කදිම සාක්ෂිය සැපයෙන්නේ මයිකල් චිත්‍රපටයයි. ඔබ මයිකල් ජැක්සන්ට ආදරය කරන්නෙකු නම් “Micheal” චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න. මේ ඔහුගේ ජීවිතයේ එක් පෙත්තක් පමණකි.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT