Home » කෙළින් හිටගෙන ඉන්න පුළුවන් තාක් මම රඟපානවා

කෙළින් හිටගෙන ඉන්න පුළුවන් තාක් මම රඟපානවා

රංගන ශිල්පී/අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍ර

by Thanushika
January 23, 2025 10:06 am 0 comment

2024 සීතල දෙසැම්බරයේ රිදී තීරය මත ගුරු ගීතය සිනමා සිත්තම දිගහැරුණි.පොත් අතර සැරිසරන්නන්ට නම් ගුරු ගීතය යනු කිසිදා අමතක නොවන සුන්දර නවකතාවකි. සෝවියට් රුසියාවේ බිහිවූ විශිෂ්ටතම ලේඛකයන් අතර ඉහළින් සිටි චිංගීස් අයිත්මාතව්ගේ ” ද ෆස්ට් ටීචර්” ලොව පිළිගත් සුන්දරම නව කතාවක් ලෙස සැලකේ.

දැදිගම වී රුද්‍රිගු ලේඛකයා විසින් “ගුරු ගීතය” නමින් සිංහල බසට අනුවාදය කරන්නේ කිර්ගීසියානු බසින් රචිත, චිංගීස් අයිත්මාතව් නම් ලෝ සුපතල රුසියානු සාහිත්‍යකරුවාගේ මෙම “ද ෆස්ට් ටීචර්” නම් නවකතාවයි. ගුරුගීතය ශ්‍රී ලංකාවේ පාඨකයන්ගේ නොමඳ අවධානය සහ ආකර්ෂණය දිනාගත් කෘතියකි.

දුයිශේන්, අල්තීනායි, පොප්ලර් ගස් අපේ සිතතුළ සිතුවම් කරන්නට ගුරු ගීතය නවකතාව සමත් වී තිබීම විශේෂත්වයකි. උස් කඳුවැටි, ඒ අසල වූ පුළුල් නිම්න, කඳුවැටි අතරින් නිසොල්මනේ ගලා බසින ගංඟා, ඈතට විහිදී ගිය තැනිතලා, සීත කාලයේදී සුදෝ සුදු හිමෙන් වැසී යන මේ සුන්දර සොබා සෞන්දර්ය කියා පාන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ ඈත පිටිසර සුන්දර ගම්මාන පෙදෙසක අසිරියයි.

ගුරු ගීතය නවකතා පොතෙහි මවා තිබෙන මේ අසිරිය සිනමා සිතුවමක් සේ මැවීම ඉතා අසීරු සහ අවදානම් කාර්‍යයකි.

එහෙත් ඒ අවදානම තමාගේ කරට ගෙන ගුරු ගීතය සිනමා සිතුවමක් සේ මවන්නට අධ්‍යක්ෂ උපාලි ගම්ලත් මීට වසර 12 ට පෙර වෑයම් කර තිබුණි. එහෙත් එය ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබෙන්නේ ඉන් වසර 12 ට පසුවය.

” ද ෆස්ට් ටීචර් ” රචනා වන්නේ කිසිදු අධ්‍යාපනයක් නොලද දරු පරපුරක ඉදිරි අනාගතය සමෘද්ධිමත් කරන්නට වෙර දැරූ දුයිශේන් වටාය. දුයිශේන් සෝවියට් සමූහාණ්ඩුවේ ඈත පිටිසර කඳු මුදුනේ පිහිටි සුන්දර ගමක වෙසෙන දරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් පෙනී සිටින අපූරු චරිතයකි. ඒ ගම්මානය සුන්දරය. එහෙත් ජීවිතය දුෂ්කරය.අකුරක් යනු කුමක්දැයි නොදන්නා දරු පිරිසකගේ ඇස්පාදා ලෝකය දකින්නට මඟපෑදූ දුයිශේන් ඔවුන්ට ආලෝකයක් ලබාදීමට පැමිණි දෙවියකු වැනිය.ඒ වටිනා චරිතය සිංහල සිනමා තිරය මත මවන්නට අපේ රටේ තරුණ දක්ෂ රංගන ශිල්පියෙක් සමත් විය.

ඒ ඔබ අප කවුරුත් හොඳීන් හඳුනන රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍රයි. නිහඬ ජීවිතයක් ගත කරන, එහෙත් හඬ නගා ලොවට පෙන්විය හැකි රංගන ප්‍රතිභාවක් ඔහු සතුය.

පසුගියදා සුපුරුදු සුහදත්වයෙන් ඔහු ගුරු ගීතය, ඔහුගේ කලා කටයුතු පිළිබඳ කතා කිරීමට සරසවිය සමඟ එක්විය.

ගුරු ගීතය චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ 2012 දී. මීට වසර 12 ට පෙර. පුදුමත් හිතේවි ඔබට, ඇයි මෙතරම් කාලයක් ගතවුණේ කියල තිරගත වෙන්න. ඒත් මම ඒ පිළිබඳ කතා කරන්නේ නැහැ . අධ්‍යක්ෂවරයා ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා ගුරු ගීතය තිරගත වූදා.

රොෂාන් රවීන්ද්‍ර කවදත් තමාට අදාළ දේ ගැන පමණක් කතා කරන පුද්ගලයෙක් . ගුරු ගීතය තිරගත වීම ඇරඹුණ දා එහි අධ්‍යක්ෂවරයා වන උපාලි ගම්ලත් ප්‍රේක්ෂකාගාරය අමතමින් කියා සිටියේ ගුරු ගීතය ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට ප්‍රමාදවීම කනගාටුවට කරුණක් බවයි.

නැවතත් රොෂාන් තම හඬ අවදිකළේ ගුරුගීතයට තමාට ආරාධනා ලැබුණේ කෙසේද යන්න සරසවිය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහාය.

චිත්‍රපට අධ්‍යක්ෂ උපාලි ගම්ලත් තමයි මට චිත්‍රපටය සඳහා ඇරයුම් කළේ. ඔහු කියා සිටියා ” රොෂාන් ඔබ තමයි දුයිශේන් චරිතයට ගැළපෙන කෙනා” කියල. මම ගුරු ගීතය පොත කියවලා තියෙනවා. එහි දුයිශේන් චරිතයට කවුරුත් ප්‍රිය කරනවා. ඉතින් මම මගේ කැමැත්ත ඒ සඳහා දුන්නා. නේපාලයේ රූගත කිරීම් කරනවා කිව්වාමත් තවත් ආස හිතුණා. ඒක මගේ රංගන ජීවිතයේ අලුත් අත්දැකීමක් වන නිසා.

ගුරු ගීතයේ පිටපත මට ලැබුණ විට මම ඒක කියෙව්වා. මම මුලින්ම සඳහන් කළා වගේ ගුරු ගීතය මම කියව්වේ හරි ආසාවෙන්. ඒත් ගුරු ගීතය නව කතාව පිටපත සමඟ සංසදනය කරන්න බැහැ. මෙය සිනමා නිර්මාණයක්. ගුරු ගීතය කිව්වාම අපේ මනසේ මැවෙන්නේ ගුරු ගීතය පොතේ සඳහන් වන දේ.

ගුරු ගීතය නේපාලයේ උසම ස්ථානය වන එවරස්ට් කඳු වැටියේ, රුසියාවේ සහ ඉන්දියාවේ රූගත කළ බැව් සඳහන්. එය ඉතා බැරෑරුම් සහ අවදානම් කටයුත්තකි. එහි රංගනයෙන් දායක වූ රංගන ශිල්පී ශිල්පිනියන්ට විඳීන්නට සිදු වූ අපහසුතා ගැනද කතා කිරීමට රොෂාන් අමතක කළේ නැත.

අපි කණ්ඩායමක් රූගත කිරීම් සඳහා නේපාලයේ කඳුකර පෙදෙසට ගියා. ඒත් අන්තිමට යන්න ඉතුරු වුණේ අපි හත්දෙනෙක් වගේ පිරිසක්. එහි කඳුකර ප්‍රදේශයට යාමේදී ඇති වූ දුෂ්කරතා නිසා කොටසක් ආපසු හැරිලා ආවා. නේපාලයේ අපි රූගත කළ තැන්වලට යන්න තිබුණේ අති දුෂ්කර ගමනක්. හිම පතනය වැඩියි. අපිට වඩා අඩි ගණනක් දුරින් සිටින කෙනාවත් පෙනෙන්නේ නැති තරමට හිම වැටෙන්න ගත්තා. අපි දවස් ගාණක් ගත කළා යන්න. කිලෝමීටර් ගාණක් පයින් ගියා. ඇත්තටම දැඩි අවදානම් ගමනක් ඒක.

ඉතිරි වූ පිරිසට තමයි චිත්‍රපටයේ සියලු දේ කරන්න වුණේ. මම කළේ රඟපාපු එක විතරක් නෙවෙයි. මගේ කාරිය අවසන් වුණාම මම ලයිට් පවා ඇල්ලුවා එතන හිටපු ඔක්කොටම එහෙම කරන්න සිද්ධ වුණා. ඒ විදිහට සිනමා නිර්මාණයක් කරන්න අමාරුයි. ඒත් ඉතින් කෙසේ හෝ අවම පිරිසකින් ඒ කටයුත්ත කළා.

කෙතරම් දුෂ්කර කටයුත්තක් වුවත් රොෂාන්ගේ රංගන දක්ෂතාවයේ අඩුවක් නම් පෙනෙන්නට නොතිබීම විශේෂත්වයක්.

ඇත්තටම රූගත කිරීම් කටුක වුවත් පොඩි සතුටක් හිතේ තියෙනවා රඟපෑම ගැන. ඒත් චිත්‍රපටය බලන විට හිතුණේ මගේ චරිතය මීට වඩා තවත් හොඳීන් කරන්න තිබුණා නම් කියල. ගුරු ගීතය කියන්නේ උසස් සාහිත්‍ය කෘතියක්. එහි දුයිශේන් චරිතයට ලෝකයම ගෞරව කරනවා. එවැනි චරිතයක් නිරූපණය කරන්න ලැබීමත් සතුටක්. රූගත කිරීම්වලදී සිදු වූ බාධා නිසාත්, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් අවම නිසාත් චිත්‍රපටයේ තිබිය යුතු ප්‍රබලත්වය තරමක් අඩු වුණාදෝ කියලත් මට හිතෙනවා.

වර්තමානයේ අලුතින් තැනෙන නිර්මාණ තිරගත කරගැනීමේදී ගැටලුවලට මැදිවීමට සිදුවන බව බොහෝ නිර්මාණකරුවන්ගේ මුවින් පිටවන කරුණක්. ඒ පිළිබඳ රොෂාන්ගේ මතය වූයේ මෙයයි.

චිත්‍රපටයක් හදලා තිරගත කිරීමේදී ඇතිවන ගැටලු ගැන හැමදාම කතා කරන මාතෘකාවක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනැගිලා නැහැ. ඒකයි මේ සියලු ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. හැමෝම බලන්නේ තනි තනිව ගොඩයන්න. කණ්ඩායමක් විදිහට එකතුවීමක් නැහැ.

ඇතැම් අධ්‍යක්ෂවරු ඉන්දියාවෙන් හරි නළු නිළියෝ ගෙන්වලා තමන්ගේ නිර්මාණය කරනවා. ඔවුන්ට ලංකාවේ නළු නිළියෝ හිටියත් එකයි, නැතත් එකයි. ඒත් මගේ අදහස නම් රටේ සිනමාවට සම්බන්ධ විද්වතුන් ආචාර්යවරු, මහාචාර්යවරු එකතු වෙලා නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි අපේ සිනමාව වෙනුවෙන්.

සිනමාව කියන දේ අවශ්‍යම අංගයක්. එය සමාජය සහ අපේ ජීවිත සමඟ බද්ධ වෙලා තියෙන්නේ. සිනමාවත්, කලාවත් නැති වුණොත් වෙන්නේ සමාජය වල්බිහිවෙන එක.

අද වනවිට සිනමාව ගැන දන්නා තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන් විදෙස් චිත්‍රපට බලනවා. ඔවුන් ඒ නිර්මාණ ගැන දැනුවත්. ඒ අයට බොරු කරන්න බෑ. වෙන රටක නිර්මාණයක් කොපි කරල හැදුවත් ඔවුන් ඒ ගැන දන්නවා.

අපේ රටේ දක්ෂ තරුණ නිර්මාණකරුවන් ඉන්නවා. ඔවුන්ට හොඳ තාක්ෂණික දැනුමක්, සමාජ මාධ්‍ය ගැන දැනුමක් තියෙනවා. ඔවුන් සිනමාව ගැන යාවත්කාලීන වෙනවා. අද ප්‍රේක්ෂකයන් පවා සිනමාව ගැන හොඳ අවබෝධයක් තිබෙන අය. ඒ නිසා අපි කරන නිර්මාණ මීට වඩා උසස් වියයුතුයි. ගුණාත්මක බවින් යුක්තවිය යුතුයි.

රොෂාන් රවීන්ද්‍ර සිනමාවට පා තැබුවේ ආදරණීය වස්සානය චිත්‍රපටයත් සමඟ බව කවුරුත් දන්නා කාරණයක්. එය ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වූවක්. එහෙත් රොෂාන් ජනප්‍රියතාවය පසුපස හඹා නොයන රංගන ශිල්පියෙක්. ඔහු රඟපෑ චරිත කාගේත් මතකයේ රැඳී තිබීම විශේෂත්වයකි. රොෂාන් නිතර මාධ්‍යයේ පෙනී නොසිටින චරිතයක්. ඒ පිළිබඳ රොෂාන් තම අදහස් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

ඇත්තටම කියනවා නම් මට මාධ්‍යයෙන් සහයක් නොමැති තරම්. ආදරණීය වස්සානය තිරගතවන කාලයේදී මට ප්‍රශ්න ටිකක් ආවා. ඒත් මේ වෙලාවේ ඒ දේවල් කියන්න මම අකමැතියි.

එක්තරා කාලයක මතයක් ගොඩනැඟී තිබුණා කියල දැනුණා මෙන්න මේ විදිහට.

මාධ්‍ය නැතුව නළුවෙක් වෙන්න බැහැ කියන මතය. ඒත් මම හිතුවා මම මගේ ගමන තනියම හරි යනවා කියලා. මට ඒ කාලේ දැනුණා ඇතැම් පුවත්පත් පක්ෂග්‍රාහී බවක් දක්වනවා කියල සමහර චරිතවලට. ඔවුන් කැමැති චරිතවලට අවස්ථා ලබා දෙනවා කියල තේරුණා. මම කරන රඟපෑම් ගැන මට විශ්වාසයක් තිබුණා. මම මගේ දක්ෂතාව ගැන කියන්න මාධ්‍ය සොයාගෙන යන තැනට පත්නොවී මාධ්‍ය මා සොයා එන විදිහට මම වැඩකළ යුතුයි කියන තීරණය මම ගත්තා. මම රූපවාහිනී චැට් වැඩසටහන්වලට සහභාගී නොවන තරම්. ඒත් මා සම්බන්ධ වන නිර්මාණවල ප්‍රවර්ධන කටයුතු සඳහා මාව අවශ්‍ය වුණොත් ඒ සඳහා මම මගේ දායකත්වය ලබා දෙනවා.

පසුගිය කාලයේ මා නිර්මාණය කළ තණමල්විල කොල්ලෙක් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. මාධ්‍යයේනුත් හොඳ ප්‍රතිචාර ලැබී තිබුණා. අපි හොඳ නිර්මාණ කළොත්, රංගන දක්ෂතා පෙන්නුම් කළොත් ඉබේම ඒ සඳහා මාධ්‍යවලින් සහයෝගය ලැබෙනවා. මාධ්‍ය සමඟ මම සුහදව කටයුතු කරන කෙනෙක් . මම ඉහත දේවල් කිව්වේ මගේ සිනමා ගමන ආරම්භයේදීම මට සිදුවූ සමහර සිදුවීම් නිසා. ආදරණීය වස්සානය තිරගත වූ කාලයේ එක්තරා පුවත්පතකට මම මගේ තිබෙන ප්‍රශ්න ගැන කතාකළා කලාව සම්බන්ධව. ඒ ලිපිය පළවුණාට පසුව ඊළඟ සතියේ වෙනත් කෙනෙක් කියපු විස්තර සහිත ලිපියක් පළවෙලා තිබුණා මේ විදිහට.

“නැති බැරියාව කියනවාට වඩා අපි පුළුවන් විදිහට තනියම වැඩ කරගෙන යන්න ඕන ” අන්න ඒ වගේ දෙයක් පළකරල තිබුණා. ඉන්පසුව තමයි මම තීරණය කළේ මාධ්‍ය මාව සොයාගෙන එන විදිහට වැඩ කරන්න ඕන කියල මගේ රංගනය පැත්තෙන්. මාධ්‍යයෙන් සිදුවිය යුත්තේ තමන්ගේ යාළු මිත්‍රයන්ව ඉදිරියට අරගෙන නොයා දස්කම් තියෙන අයට අවස්ථාව දෙන එක.

විශේෂයෙන් මම මේදේත් කියන්න ඕන. මම එහෙම ප්‍රකාශ කළේ කිසිම පුවත්පතක් අපහසුතාවයකට පත්කරන බලාපොරොත්තුවෙන් නෙවෙයි. කලාවේ දියුණුවට පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය අවශ්‍යයි. මට මාධ්‍යයට සම්බන්ධ කිසියම් කෙනෙක් කතා කළොත් මම මගේ සහයෝගය ලබා දෙනවා.

සත්‍ය වශයෙන්ම ඔහු එසේ ප්‍රකාශ කළේ මාධ්‍ය පිළිබඳ කළකිරීමකින් නොවන වග ඔහුගේ කතා බහෙන් වැටහුණි. රොෂාන් සැමවිටම තම අදහස් ඉදිරිපත් කරන්නේ තමාගේ ජනප්‍රියත්වය උදෙසා නොව පොදුවේ සිනමාව ඇතුළු කලාවේ දියුණුව උදෙසාය. ඔහුට ඔහුගේ රංගන හැකියාව, අධ්‍යක්ෂණයට ඇති දැනුම පිළිබඳ විශ්වාසයක් ඇත. සිනමාවේදී ඔහුට තමාගේ හැකියාවන් මනාලෙස විහිදා පෙන්වීමට අවස්ථාවක් ලැබී නැත. එයට හේතුව අධ්‍යක්ෂවරු ඔහුගේ දක්ෂතා හරිහැටි හඳුනාගෙන නොතිබීම නිසාදැයි සරසවිය නැඟූ පැනයට ඔහු දුන්නේ සිනහවක් මුසු පිළිතුරකි.

නැහැ. මගේ හැකියාව, දක්ෂතා හඳුනා නොගැනීම නෙවෙයි එතන තියෙන ප්‍රශ්නය. ඔවුන් ඒ ගැන හොඳීන්ම දන්නවා. දැනගෙනත් අවස්ථාවක් නොදීම තමයි ගැටලුව.

මට දුකක් නම් නැහැ ඒ ගැන. සිනමාවේ කුමක් වුවත් මම මතකයේ රැඳුණු චරිත කරල තියෙනවා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ.

රොෂාන් අධ්‍යක්ෂණය කළ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය සම්මානයට පවා පාත්‍ර වූ විශිෂ්ට නිර්මාණයකි. ඔහු මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන අලුත්ම ටෙලි නාට්‍යයක් වන “සිටුවර පුවත ” හි රංගනයෙන් දායක වේ. ඔහු සිටුවර පුවත ගැන දැක්වූයේ මෙවන් අදහසක්.

සිටුවර පුවත කියන්නේ වට්ටෝරු ටෙලි නාට්‍ය කලාවෙන් එහාට ගිය නිර්මාණයක්. ටෙලි නාට්‍ය කලාවත් දැන් වෙනස්විය යුතුයි. ජාතික රූපවාහිනියේ විකාශය වන ගුණාත්මක ටෙලි නාට්‍ය පෙළහර අතරට දැන් සිටුවර පුවතත් එක් වෙලා තියෙනවා. එය චමල් පතිරණගේ අධ්‍යක්ෂණයක්. තවත් ටෙලි නාට්‍යයක් කළා හයිනා දේශය නමින්. ඒ වගේම අලුත් නාට්‍යයකත් රූපගත කිරීම් සිදුවෙනවා.

රොෂාන් එක් අංශයකට පමණක් සීමා වූ ශිල්පියෙක් නොවේ. සිනමාව ,ටෙලි නාට්‍ය මෙන්ම වේදිකාවේත් ඔහු දක්ෂයෙක්. ඔහු මෑතකදී රඟපෑ මිස්ටර් ප්‍රසිඩන්ට් වේදිකා නාට්‍යය අති සාර්ථකව වේදිකාගත විය. මෙරට පමණක් නොව ඕස්ට්‍රේලියාව වැනි රටවලද අති සාර්ථකව වේදිකාගත වීම විශේෂත්වයක්.

ඔහු තව දුරටත් සරසවිය සමඟ පැවසුවේ සිනමාවේ ඔහුට සෑහීමකට පත්වෙන්නට හැකි චරිත නොලැබුණත් වේදිකාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔහුට සෑහීමකට පත්වෙන ආකාරයේ චරිත ලැබුණ බවයි.

ඔහු තමන් ගැන තිබෙන විශ්වාසය තවත් තහවුරු කරමින් කතාබහ අවසානයේ මෙසේ කියා සිටියේය.

මම දැන් මට චරිත ලැබෙනකම් බලාගෙන ඉන්නෙ නැහැ. මට අධ්‍යක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. මම ඉගෙන ගෙන තියෙන දෙයින් ඉදියේදී සිනමාව වෙනුවෙන්, ටෙලි නාට්‍ය වෙනුවෙන් මට දෙයක් කළ හැකියි.

කෙළින් හිටගෙන ඉන්න පුළුවන් තාක් මම රඟපානවා.

ඒ ඔහුගේ අධිෂ්ඨානයයි.ආදරණීය වස්සානයෙන් සිනමාවට පැමිණි රොෂාන් රවීන්ද්‍ර අද ගුරු ගීතයේ දුයිශේන්ට පණ දෙයි.

ශීත සෘතුව පහව ගොස් නිල් අහස පැහැයෙන් දිළිසෙයි. ඈත කඳු මුදුන්වල ඇති සුදෝ සුදු හිම දියවී ගලා යයි. පහළින් පෙනෙන තැනිතලා හරිත වර්ණයෙන් දිස්වෙයි. නොයෙක් සෘතු වෙනස්වීම්වලට මුහුණ දෙමින් පොප්ලර් ගස් නිසොල්මනේ සිටී. කුමන සෘතුව පැමිණියත් දුයිශේන් සහ අල්තීනායි එක්ව සිටවූ පොප්ලර් ගස් ලොවට කියාපාන්නේ , ලොවක් ජයගන්නට දරුවන්ගේ නැණස පෑදු දුයිශේන්ගේ ශක්තිමත් බවයි.

ගුරු ගීතයේ දුයිශේන්ට ජීවය දෙන රොෂාන්ටද කලාව සමඟින් යන ගමනේදී නොයෙකුත් බාධක හමුවේවී. එහෙත් එම බාධක ජය ගැනීමට ඔහු සතු දස්කම් ශක්තියක් වනු ඇත.

ගුරු ගීතයේ මංගල දර්ශනය දින හිඳ ගැනීමට අසුනක් නොමැතිව, බිම හිඳගෙන චිත්‍රපටය නැරඹීමට තරම් ඔහු නිහතමානී විය.

පිළිසඳර නිමාකරමින් රෝෂාන් රවීන්ද්‍ර සරසවියට සමුදුන්නේ තවත් විශිෂ්ට නිර්මාණයන් සමඟින් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙනි.

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT