නිවස සංවාද ඉන්දියානු සිනමාවට මගේ ළැදියාවක් තියෙනවා

ඉන්දියානු සිනමාවට මගේ ළැදියාවක් තියෙනවා

රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස

by Manjula
March 7, 2024 1:00 am 0 comment

මේ දිනවල තිරගත වන ‘1970 Love Story ’ චිත්‍රපටයේ ‘රෝසි’ නමැති සිනමා නිළියගේ භූමිකාවට පණ පොවමින් ද පුංචිතිරයේ ‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලිනාට්‍යයේ ‘හීන්මැණිකා’ලෙස වෙනස්ම රංගනයකින් ඔබ හමුවට එන ගම්‍යා විජයදාස නම් තරුණ රංගන ශිල්පිනිය මීට පෙර U TURN චිත්‍රපටය හරහා මවක ලෙස ද අපට හමුවිය. සිය නිර්මාණ දිවිය පිළිබඳවත් නර්තන, නිවේදන කාර්යයන් පිළිබඳවත් කතා කිරීමේ අරමුණින් ඇය සරසවිය හා මෙසේ එක්වූවාය.

ඔබේ අලුත්ම ආදර කතාව ගැන හඳුන්වා දුන්නොත් …..? 1970 Love Story කියන්නේ ලංකාවේ මගේ පළමුවැනි සිනමා රංගන දායකත්වය. එය මේ දිනවල ඉතා සාර්ථකව තිරගත වෙනවා. එයයි මගේ අලුත්ම ආදර කතාව

1970 Love Story හි ඔබේ චරිතය ගැන විස්තර කරනවානම් සහ එම චරිතය ඔබට දැනුණු ආකාරය පැහැදිලි කළොත්….? මෙහි මගේ චරිතයේ නම “රෝසි”. මේ රෝසිගේ චරිතය මට ඇත්තෙන්ම ගොඩාක්ම අභියෝගාත්මක චරිතයක් වුණා. මෙය මම ලංකාවේ රගපෑ පළමු චිත්‍රපටය. මේ චරිතය තුළ පැතිකඩ තුනක් තිබෙනවා. එම පැතිකඩයන් තුන සමබරව පවත්වාගෙන යෑම සහ ඒ පැතිකඩයන් තුළ තිබෙන අනන්‍යතාවන් චරිත තුළින් ගෙනහැර දැක්වීම අභියෝගාත්මක වුණා. ඒවගේම ලංකාවේ පළමුවරට රංගනයේ යෙදෙනකොට ඇතිවන අත්දැකීම, කණ්ඩායම් හැඟීම ආදී සියලු දේ මට අලුත්ම අත්දැකීම් වුණා. ඒ සියල්ලත් සමඟ තමයි මට ඒ චරිතය දැනුණේ.

“රෝසි”ගේ චරිතය ජීවමාන කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඔබ සමාජයෙන් ලබාගත්තේ කෙසේද….?

මෙය සිනමා නිළියකගේ චරිතයක් . එහිදී මට මගේ සාමාන්‍ය ජීවිතයේ කොටස්වලින් යම්යම් දේ උකහාගන්න පුළුවන් වුණා. ඊට අමතරව 1970 වකවානුවේ යම්කිසි පැතිකඩයන් අපි පෙන්වනවා.ඒ කාලයේ චිත්‍රපට නැරඹීම තුළින් ඒ පිළිබඳ අත්දැකීම් ලබාගත්තා . ඒවගේම අරුණ ජයවර්ධන අධ්‍යක්ෂවරයාගේ යම්කිසි දර්ශනයක් තිබුණා මේ සිනමා කෘතිය වෙනුවෙන් , මේ චරිතය වෙනුවෙන්. ඔහුගේ එම දර්ශනය හොඳීන් වටහාගෙන තමයි මේ චරිතය නිර්මාණය කරන්න මට පුළුවන් වුණේ

1970 Love Story සඳහා ඔබට ආරාධනා ලැබුණු ආකාරය ගැන කීවොත්…..?

වෙනත් නාලිකාවක මම නිවේදන කටයුතු කරමින් ඉන්න අතරදී මට මෙහි අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන හමුවුණා. ඔහු එම නාලිකාව තුළ නිෂ්පාදකවරයකු ලෙස වැඩකළා. එහෙත් අපි ළඟින් ඇසුරු කර තිබුණේ නැහැ. ඒ වෙද්දී ඔහු මගේ හැකියාවන් සහ වෘත්තිය මට්ටමින් මගේ තත්ත්වය හඳුනාගෙන තිබුණා. ඒ හරහා තමයි මට මේ ආරාධනය ලැබුණේ මම විදෙස්ගතව සිටියදී. ලංකාවට පැමිණි පසු මා ඔහුව හමුවුණා. එවිට මෙහි තිරපිටපත ගැන වගේම මගේ චරිතය ගැනත් මනා හැඳීන්වීමක් කළා. එයින් පසුව තමයි මටත් මේ චරිතය ගැනත් ඔහුගේ දර්ශනය ගැනත් පැහැදීමක් ඇතිවුණේ

1970 Love Story හි අධ්‍යක්ෂවරයා සමඟ ඔබ ගනුදෙනු කළ ආකාරය කීවොත් සහ ඔහු සමඟ මීට පෙරත් වැඩකර තිබෙනවා ද….?

අපි හඳුනාගෙන සිටියට එකට කලා කටයුතුවල යෙදී තිබුණේ නැහැ. ඔහු නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කළ නිසා කෙටි කලක් මම ඔහු සමඟ තරමක් දුරින් ගනුදෙනු කර තිබුණා. පෞද්ගලික මට්ටමින් ලොකු හැඳුනුම්කමක් තිබුණේ නැහැ . මේ චරිතය හරහා තමයි අපි යම් නිර්මාණකරණයක යෙදුණේ. නැවත නැවතත් වැඩකළ යුතුයි යන හැඟීම ඇතිවන අධ්‍යක්ෂවරයෙක් අරුණ ජයවර්ධන කියන්නේ. සිනමා කර්මාන්තය තුළ මා දුටු සුන්දරම පුද්ගලයෙක් ලෙසත් ඔහුව හඳුන්වාදෙන්න මම කැමැතියි

රෝසිට ජීවයදීමේදී අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් ඔබට ලැබුණු සහාය මොනවගේද…..?

මේ චරිතය තුළ ලොකු පසුබිමක් ගොඩනැඟුණා අනෙක් සියලු චරිත සමඟ වැඩකරන්න. ඔවුන්ගේ සහාය අති විශිෂ්ටයි මේ චිත්‍රපටය තුළදී. අත්දැකීම් බහුල ප්‍රවීණ පිරිසක් එක්කයි මෙහිදී වැඩකරන්න ලැබුණේ. ඔවුන් අතිදක්ෂයි. ඔවුන් සියල්ල සමඟ කළ නිර්මාණාත්මක ගනුදෙනුව හරිම සුන්දරයි. ඒවගේම අපට දැනුම බෙදාගන්න, ඉගෙනගන්න, ඉදිරියට යෑමට හොඳ වාතාවරණයක් මෙහි තිබුණා.

ඔබ රංගනයෙන් දායකවූ අනෙක් නිර්මාණ සමඟ සැසැදීමේදී 1970 Love Story කිනම් තැනක් ස්ථානගත කළ හැකිද….?

මට මගේ නිර්මාණ ඇත්තෙන්ම වර්ගීකරණය කරන්න අමාරුයි. පළමු චිත්‍රපටය කියන්නේ විශේෂ ලෙස මතකයේ රැඳෙන චිත්‍රපටයක්. ලංකාවේ රඟපෑ මගේ පළමු නිර්මාණය මෙය නිසා මට 1970 Love Story
හැමදාම අතිවිශිෂ්ටයි.

මෙම නිර්මාණය රූගත කිරීමේදී අමතක නොවන සිදුවීම් එහෙමත් සිදුවෙලා ඇති….?

අපි එකට එක තැනක නැවතී වැඩකළ නිසා බොහෝ සුන්දර අත්දැකීම් තිබෙනවා. සුන්දර කතාබහවලින්, විහිළුතහළුවෙන් රාත්‍රියන් ගතකළා. සියලු මතකයන් ඇත්තෙන්ම විශේෂයි. බොහෝ විනෝදාත්මකව, ආදරණීයව ගතකළ කාලයක් මෙහි රූගතකිරීම් කළ කාලය. අදටත් අපි හමුවුණාම ඒ බැඳීම ඒ විදිහටම තිබෙනවා

මීට පෙර ඔබ රඟපෑ U TURN චිත්‍රපටය ද ඉතා ජනප්‍රිය වුණා.එහි ඔබ මවකගේ චරිතයක් කළේ. ඒ පිළිබඳ මතකාවර්ජනය කළොත් ….?

එහි මම මවකගේ චරිතයක් කළේ. ඔව් ඔබ කී ලෙස ඒ චිත්‍රපටය ඉතා ජනප්‍රිය වුණා. ගොඩක් හොඳ චිත්‍රපටයක් ලෙස එය ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඒ චරිතයත් මට අහඹු ලෙස ලැබුණු චරිතයක් . මෙය මා දෙවනුවට කළ චිත්‍රපටය. U TURN මට ඉතා හොඳ අත්දැකීමක් වුණා. ඒවගේම ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියා මට සිතනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක බලද්දී. “1970 Love Story
” චරිතය සමඟ බලද්දී U TURN චරිතය හාත්පසින්ම වෙනස් චරිතයක්

U TURN සහ 1970 Love Story යන ඔබ රඟපෑ චිත්‍රපට දෙකෙහිම හේමාල් රණසිංහත් රඟපෑවා. ඔහු පිළිබඳ යමක් සඳහන් කරනවා නම්…..?

ඔව්, ඒ චිත්‍රපට දෙකේම හේමාල් රණසිංහ රඟපෑවා. U TURN එකේනම් ඔහු සමඟ තිරයේ ගනුදෙනුවක් මගේ සිදුවුණේ නැහැ. 1970 Love Story චිත්‍රපටයේ වගේම ඉදිරියේදීත් ඔහු සමඟ චිත්‍රපටයක රංගනයේ යෙදෙන්න තිබෙනවා. මම රඟපෑ සියලු චිත්‍රපටවල ඔහුත් චරිතයක් රඟපෑවා. ඒක විශේෂයක් තමයි . හේමාල් සමඟ රඟපාන්න ලේසියි. ඔහු හොඳ කලාකරුවෙක්. සුහදව ඔහු සමඟ කලාව තුළ බෙදාහදා ගැනීමකින් වැඩකරන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුත් එක්ක දිගින් දිගටම වැඩකිරීම හොඳ දෙයක් ලෙස මම දකිනවා.

ඉන්දීය සිනමාවේත් ඔබට ආරාධනා ලැබී තිබෙනවා නේද….?

ඔව්. ඉන්දීය සිනමාවේ මම වැඩකළා.දැනටත් ආරාධනා ලැබෙනවා. ඉදිරියටත් වැඩකරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දීය සිනමාවේ වැඩකරන්න මගේ කැමැත්තක් තිබෙනවා. මම ඒ භාෂාව චතුර ලෙස කතා කරන නිසා සහ මම රංගනය හැදෑරුවේත් ඉන්දියාවෙන් නිසා මම ඉන්දීය සිනමාවට විශේෂ ලැදියාවක් තිබෙනවා . ඉදිරියේදීත් ඉන්දීය නිර්මාණවලට දායකවෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා .

ඔබ කලක සිට විදෙස්ගතව සිටි කෙනෙක්. විදෙස්ගතව සිටියදී දායකවූ නිර්මාණ සහ ඔබේ විදෙස්ගත දිවිය ගැන කීවොත්…..?

මම හැදුණේ වැඩුණේ ඕස්ට්‍රේලියාවේ. ඒ රටේ වෙළඳ දැන්වීම්, ටෙලිනාට්‍ය ආදියට සම්බන්ධ වී තිබෙනවා. පාසල් කාලයේත් විවිධ නිර්මාණවලට දායක වී තිබෙනවා .ඒ වගේම උඩරට, පහතරට, බටහිර නර්තනයත් එහිදී මම හැදෑරුවා . භරත නාට්‍යම්, කථක් ආදියත් හැදෑරුවා. ඒ දේවල් තුළිනුයි මට රංගනයට ඒමට පසුබිම නිර්මාණය වුණේ. නිවේදනයත් ඕස්ට්‍රේලියාවේදී මම ප්‍රගුණ කළ විෂයයක්. ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් ගුවන්විදුලි නිවේදිකාවක් ලෙසත් රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් එහිදී කටයුතු කළා. ඒ පසුබිමත් සමඟයි මගේ මේ ගමන ගොඩනැඟුණේ

මුල්ම රංගන අත්දැකීම නැවත ආවර්ජනය කරනවානම්…..?

එතැනදී මට කුඩා කාලයටම යන්න වෙනවා. අවුරුදු 06,07 ඉඳන්ම මම රංගනයේ යෙදෙනවා. නිවෙසේදී වේදිකා නාට්‍ය රංගනය කිරීමෙන් තමයි මට රංගනයට කැමැත්තක් ඇතිවෙන්නේ. ඉන්පසු පාසලේදීත් විවිධ නාට්‍ය අධ්‍යක්ෂණය කරමින්, තිරරචනය කරමින්, ප්‍රධාන චරිත රඟපාමින් ක්‍රමක්‍රමයෙන් රංගනය කියන දේ දියුණු කරගත්තා.කුඩා කල සිටම ආසාව තිබුණා . සාහිත්‍ය කෘති කියවමින්, රංගනය, චරිත ආදිය හදාරමින් ගැඹුරින් විෂයය ගැන අධ්‍යයනය කරමිනුයි මේ ගමන මම ආවේ.

ඔබ රංගනයෙන් දායක වූ “චණ්ඩි කුමාරිහාමි “ටෙලිනාට්‍යය මේ දිනවල විකාශනය වෙනවා. එහි “හීන්මැණිකා” ඔබට වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති……?

ඔව්. අනිවාර්යයෙන්ම. “හීන්මැණිකා” මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි. ඒ චරිතය අභියෝගාත්මක, සුන්දර චරිතයක් වගේම මා විදෙස්ගතව සිට පැමිණි කෙනෙක් විදිහට බොහෝ අය මගෙන් බලාපොරොත්තු නොවූ චරිතයක් මේක. ඒ චරිතය සාර්ථකව ජීවමාන කළහැකිවීම ගැන මට විශාල තෘප්තියක් තිබෙන්නේ. ඒ චරිතයට ගොඩාක් මහන්සි වුණා.එහි ප්‍රතිඵල දැක්කම සතුටුයි

ටෙලිනාට්‍ය රංගන කාර්යය සහ සිනමා රංගන කාර්යය අතර ඔබට යම් වෙනස්කම් දැනෙනවා ද…..?

ඔව්, නිෂ්පාදන කාර්යය තුළ අපට ඒ වෙනස තේරෙනවා. ටෙලියක් හා චිත්‍රපටයක් ලංකාවේ නිෂ්පාදනය වන ආකාරය හාත්පසින්ම වෙනස්. රංගනය කොහොමත් එකයි. චිත්‍රපටයක, ටෙලිනාට්‍යයක රංගනයේදී අපි ඒ වෙනස ඇතිකරගත්තොත් එතැනදී අපි පසුබෑමකට ලක්වෙනවා . රංගනයේදී අපි එකම විදිහට එකම අවංකබවින් එයට මුහුණදෙන්න ඕනේ. එතකොටයි අපට ඒ චරිතයට සාර්ථකව ,අවංකව සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ. හීන්මැණිකා චරිතය ගත්තත් ඒකට මම මගේ සිනමා කෘති සියල්ලටම වඩා මහන්සි වුණා

චරිත් අබේසිංහ වැනි තරුණ, දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ රංගනයේ යෙදීමේදී ඔබ ලද අත්දැකීම් විස්තර කළොත් …..?

ඇත්තෙන්ම හීන්මැණිකා චරිතය ඒ ආකාරයට දකින්න ලැබෙන්නේ චරිත් අබේසිංහගේ තිබූ නිර්මාණ දර්ශනය නිසා. මේ දිශානතියටයි යන්න ඕන කියන දේ ඔහු පැහැදිලිව දැකලා තිබූ නිසයි මට ඒ දර්ශනය අධ්‍යයනය කරන්න පුළුවන් වුණේ. ඒ අතින් මම ඔහුත් සමඟ වැඩකිරීම භාග්‍යයක් සේ සලකනවා. මේවගේ අභියෝගාත්මක චරිතයක් කරද්දී අධ්‍යක්ෂවරයා හොඳ පැහැදිලි මානසිකත්වයක් තියාගන්න ඕන මෙහෙමයි මේ චරිතය ගොඩනැගෙන්නේ කියලා. ඔහු මට හීන්මැණිකා චරිතය ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සකසා දුන්නා කිව්වොත් හරි. එතැනින් එහාට ඒ චරිතයේ ඉතිරිය සොයාගන්නට එහි අහුමුළු සොයාගන්නට නිදහස දුන්නා. ඒදේ මම හිතන්නේ ගොඩක් වටිනවා.

පාසල් අවධියේදී කලා නිර්මාණවලට දායකවූවාද….?

ඔව්, අනිවාර්යයෙන්ම. පාසල් අවධියේදී මගේ රංගන, නර්තන , නිවේදන කටයුතු බොහෝම තදින්ම කරගෙන ගියා කිව්වොත් නිවැරදියි .පාසලේ විභාගය හෙට නම් අද රෑටත් මම නර්තන, රංගන අංගයක යෙදී සිටියා. ඒ කාලයේ ඉතා කාර්යබහුල වුණා. ඒකට මගේ මවුපියන්ගෙන් ශක්තියක් ලැබුණා සියල්ල සමබරව කරගෙන යන්න. පාඩම් වැඩවලදී අනෙක් ළමයින්ට වඩා මහන්සි වෙන්න වුණා. මොකද අනෙක් කලාකටයුතුත් මම කරගෙන ගිය නිසා.. ආපසු හැරිල බලද්දී ඒ කාලය හරිම සුන්දරයි

ඔබ රූ රැජන තරඟවලට ඉදිරිපත් වී තිබෙනවා. එම සිදුවීම් හා රංගන ජීවිතය අතර සම්බන්ධතාව කවරාකාරද ……?

මම රංගනයට එන බලාපොරොත්තුවෙන් රූ රැජන තරඟයකට සහභාගී වුණේ නැහැ. ඒත් රංගනය හා රූ රැජන තරඟ යන සිදුවීම් දෙක මගේ ජීවිතයට ඉතා සමීපව ගමන් කළා. රූ රැජන තරඟය නිසා රංගනයට වාසියක් ලැබුණෙත් නැහැ. මේ අරමුණු දෙක මගේ ජීවිතයේ වෙනවෙනම තිබූ නිසයි ඒ අරමුණු කරා යන්න පුළුවන් වුණේ. අද වෙද්දී ඒ අංශ දෙකෙන් එකකින් එකකට යම් ආලෝකයක් ලැබෙනවා .

වේදිකාවට ගොඩවූයේ නැද්ද…..?

මගේ ජීවිතයේ හරි අඩකට වඩා මම හිටියේ වේදිකාව මත. අදත් වේදිකාවේ ඉන්නවා නිවේදනයෙන්, නර්තනයෙන් එහෙම. එහෙත් වේදිකාවේ රංගනය පාසල් අවධියේ මම සිදුකළා. එතැනින් එහාට මට ලොකුවට ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. ලැබුණු අවස්ථා පසුපස මම හඹාගෙන ගියේත් නැහැ. මොකද ඒ කාලයේත් අදත් මගේ ලොකුම කැමැත්ත වුණේ සිනමාවේ වැඩකරන එකයි. වේදිකා නාට්‍ය නොකර ඉන්නවා කියා හිතලත් නැහැ. දැනට වේදිකා රංගනයට අවශ්‍ය පසුබිම තවම ගොඩනැගී නැතැයි මම සිතනවා

මෙරට සිනමාව අද තිබෙන තත්ත්වය ගැන ඔබට් තෘප්තිමත් විය හැකිද…..?

රටක් වශයෙන් කලින් කලට අපට තිබුණු විවිධ අභියෝග , ඛේදවාචක නිසා සිනමාව බොහෝ පීඩාවින්දා. සිනමාලෝලියෙක්, කලාකාරිනියක හැටියට අද සිනමාව ගැන ලොකුවට සෑහීමකට පත්වෙන්න බැහැ. මේ රටේ සම්පත්, කුසලතා හා නිර්මාණකරුවන් ගත්තම සිනමාවක් ලෙස අපි මීටවඩා තැනක ඉන්න ඕන කියන දේ මම විශ්වාස කරනවා… අපේ සිනමාව අන්තර්ජාතික මට්ටමේ ඉන්න ඕන කියන දේ මම විශ්වාස කරනවා. අපේ සිනමාව ඒ තැනට ගෙනයා හැකියි කියා මම විශ්වාස කරනවා යම් කැපවීමකින්, දර්ශනයකින් ඉදිරියට ගියොත්

අන්තර්ජාතික සිනමාව සමඟ අපේ සිනමාවත් ක්‍රමයෙන් ගමන්කරන බව පේනවා. අපේ සිනමාව අන්තර්ජාතිකව තිබෙන ස්ථානය ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි …..?

අන්තර්ජාතික සිනමාවේ අපි යම්කිසි පෙරැළියක් කරන්න ඕනනම් යම් පෙරැළියක් දේශීය සිනමාවේ සිද්ධවිය යුතුයි.එවිටයි අපට ඒ වෙනස ඇතිකරගන්න පුළුවන්. අධ්‍යක්ෂවරුන්ගේ, රංගන ශිල්පීන් ආදීන්ගේ යම්කිසි කණ්ඩායම් සහයත් අවශ්‍යයි කියා සිතනවා. සංකල්පමය මට්ටමේ සිටම වෙනස්කමක් අවශ්‍යයි. එයට අනෙක් අයගේ සහායත් අවශ්‍යයි ප්‍රතිපත්තිමය වශයෙන්.නීති රෙගුලාසිවල සිටම ඒ වෙනස්කම ඇතිවිය යුතුයි.දේශපාලනමය වශයෙන් හෝ ඒ පසුබිම සැකසෙන්න ඕන.එහෙම නැතිව කර්මාන්තයක් ගොඩනගන්න අමාරුයි

ඔබේ නිවේදන භූමිකාව පිළිබඳ සිහිකළොත්. මා අසා තිබෙනවා ඔබට භාෂා රැසක්ම හැසිරවිය හැකිබව…..?

මම තවමත් නිවේදන භූමිකාව තුළ සිටිනවා. සිංහල, ඉංග්‍රිසි භාෂාවලින් මම නිවේදනය කරනවා.හින්දි භාෂාවෙනුත් කරනවා අවස්ථාව ලැබුණොත්…රඟපෑමට හැකි මට්ටමෙන් දමිළ භාෂාව කතා කරනවා. නිවේදනය මම හැමදාම කරාවි. මට තවමත් නිවේදනයට ආරාධනා බොහෝමයක් ලැබෙනවා නිවේදනය විෂයය මම ආසම දෙයක්

මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස සහ වෙළෙඳ දැන්වීම් ශිල්පිනියක ලෙස ඔබේ ස්ථානය ගැන හඳුන්වා දුන්නොත්……? වෙළෙඳ දැන්වීම්වලට, මෝස්තර නිරූපණ අංශයට ආදී හැමදේටම තවමත් බොහෝ ආරාධනා ලැබෙනවා . ඒවා රංගනයට සමාන්තරව දිගටම කරගෙන යනවා. ජාත්‍යන්තර හා දේශීය බොහෝ ඕපචදඤඵ සමඟ වැඩකරනවා. ඒක මම කැමැතිම දෙයක්.මට බොහෝ ආරාධනා ලැබෙන අංශයක් මේක

“ගම්‍යා විජයදාස”නම් ගායිකාවක් අපට දැකගන්න නොලැබේවිද…..?

කලක් මම සංගීතය, නර්තනය සමඟ හැදෑරුවා. පසුව නර්තනයටයි මූලිකත්වය දුන්නේ. නර්තනය තුළත් විවිධ ගායන ක්‍රම හැදෑරුවා. කවි කීම, සින්දු කීම, වන්නම් කීම ආදියත් හැදෑරුවා. වෘත්තියමය ගායිකාවක් වීමට මගේ ලොකු ආශාවකුත් නැහැ. එහෙත් මගේ යම් සහජ කුසලතාවක් තිබෙන නිසා යම් නිර්මාණයකදී අවස්ථාවක් ලැබුණොත් ගායනයට යොමුවෙනවා

චිත්‍රපට නිෂ්පාදන අර්ථපතීත්වයට යොමුවීමට අදහසක් නැද්ද…..?

ඔව්, මම දැනටමත් නිෂ්පාදනයට යොමුවෙලා ඉන්නේ. කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. එය එළිදැක්වූවා .මම ඉතා ආසාවෙන් එය නිෂ්පාදනය කළේ. එය සාර්ථක නිර්මාණයක්. ඉදිරියටත් නිෂ්පාදන කටයුතු මගේ අතින් සිදුවේවි කියා මම සිතනවා

සාහිත්‍යකරණයේදී ඔබේ භූමිකාව කතා කළොත්…. ?

ලේඛන කලාවට යොමුවූයේ නැද්ද….? මම ඉතා කුඩා කාලයේ ඉඳන්ම ලේඛන කලාවේ ඉන්නවා. ප්‍රකාශනයට පත්නොකළත් මම දිගටම ලියන කෙනෙක්. මගේ පියාත් ලේඛකයෙක්. ඔහුගේ ලේඛන පුවත්පත්වල පළවෙනවා. ඔහු දක්ෂ ලෙස ලේඛනය හසුරුවන්නෙක්. මම නම් ඒ තත්ත්වයට ගිහින් නැහැ. මට එයට අවශ්‍ය කාලය සහ විනය අඩු බවක් තියෙනවා. මම දක්ෂ ලෙස ලියන කෙනෙක් කියලා හැදෑරීම්වලදී තේරුම් ගිහින් තිබෙනවා. මගේ ලේඛනය තවත් මම දියුණු කරගත යුතුයි. විශ්වවිද්‍යාල සමයේදී නිර්මාණාත්මක ලේඛනය විෂයයක් ලෙස හැදෑරුවා. එය උපරිමයට දියුණු කළත් තව මේ සඳහා මම කැපවිය යුතුයි කියා මම සිතනවා. ලේඛිකාවක් ලෙස යම්කිසි දිනක යම්කිසි නිර්මාණයක් එළිදක්වන්න මගේ ලොකු ආසාවක් තියෙනවා

ඔබ ව්‍යාපාරිකාවක් ද වෙනවා…..? මගේ අධ්‍යාපනික පසුබිම ව්‍යාපාර කළමනාකරණය, අලෙවි. ඊට පෙර මනෝ විද්‍යාව. මගේ අරමුණක් තිබුණා හැමදාම ව්‍යාපාරික පසුබිමක ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කිරීමටත් අධ්‍යාපන පසුබිම එයට එකතු කර ගන්නටත්. අද මම එය සාර්ථකව කරගෙන යනවා. එය මගේ ප්‍රධානතම භූමිකාව කිව්වොත් හරි.

පවුලේ විස්තර සඳහන් කළොත් සහ අවසන් වශයෙන් ඔබේ ආදර කතාවත් මොනවගේද කිව්වොත්…..?

මම තනි දරුවෙක්. අම්මයි තාත්තයි පවුලේ ඉන්නේ. ඊට අමතරව අපේ පවුලේ අනිත් නැන්දලා, මාමලා එහෙම ඉන්නවා. අපි ඉතා සමීප කිට්ටුවන්ත පවුලක්. දැනටනම් මම විවාහක නැහැ. ඒනිසා එතැන වැඩි තොරතුරක් නැහැ. ඉදිරියේදී යම් තොරතුරක් වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම දන්වන්නම්….

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT