පසුගියදා පැවැත්වූ 35 වැනි සරසවිය සම්මාන උලෙළේදී, ජිවිතයේ එක්වරක් පමණක් හිමිවන සරසවිය රණතිසර සම්මානය හිමිකර ගත්තේ පුරා දශක 5ට අධික කාලයක් මෙරට සිනමා කලාව වෙනුවෙන් අපරිමිත සේවයක් කරමින් සිය ජිවිතය කැපකළ ප්‍රවීණ රූපණවේදියකුටය. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය. මෙවර සරසවිය සම්මාන උලෙළේ විශේෂත්වයක් ලෙසින් අප විසින් පිරිනමන ලද මෙම රණතිසර සම්මානය නම් ලැබුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය ලෙසිනි.
තම ජිවිත කාලයම සිනමාව, කලාව වෙනුවෙන් වැය කරමින් මෙරට ප්‍රේක්ෂක ජන හදවත් ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු කරලීමේ මෙහෙවරක යෙදෙමින් සැමවිටම යහපත් කලාවක් වෙනුවෙන් පෙනීසිටි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් වැන්නකුට මෙවන් උපහාර සම්මානයක් පිරිනැමිම එක්තරා අන්දමකට අප ලද භාග්‍යයකි. එසේම එය අපට මහත් අභිමානයකි. සම්මාන උත්සවයේ උණුසුම වියැකි යත්දී අප සතිස්චන්ද්‍රයන් හමුවූයේ සිනමාව, කලාව මෙන්ම එහුට හිමිවූ මෙම සම්මානය පිළිබඳවද වන සුහද කතා බහකටය.
ජිවිතයේ එක්වරක් පමණක් හිමිවන, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානයෙන් ඔබ මෙවර පිදුම් ලබනවා. මේ පිළිබඳ ඔබට මොනවද හිතෙන්නේ?
සම්මාන උලෙළක් කියලා කියන්නේ මගේ හැඟීමේ හැටියට සංස්කෘතික අවස්ථාවක්. සංස්කාතිය කියන්නේ හැදියාව, සැකැස්ම. එතකොට මේ යට ගැබ්වෙලා තියෙන්නේ කෘතවේදිත්වය. කලගුණ සැලකීම. මේක පුද්ගලයෙක් කරන දෙයක් නොවෙයි. ආයතනයක් විසින් කරන දෙයක්. පිදිය යුත්තන් පිදිම, කළගුණ සැලකීම අපේ ආගමෙන් අපට ලැබුණු සංස්කෘතික දායාදයන්. බුද්ධත්වයට පත්වූ සිද්ධාර්ථ කුමාරයා පළමුවෙන්ම කළේ තමන්ට බුද්ධත්වය ලබා ගන්නට උදව් උපකාර කළ බෝධියට කෘත ගුණ සැලකීම. ඔය හැදියාව තමයි අපේ සංස්කෘතියෙන් අපට උරුම වන්නේ.
ඒක නිසා මම මුලින්ම මේ කෘතවේදිත්වය බෙහෙවින්ම අගය කරනවා. මේ පිළිබඳ මම සතුටු වෙනවා. අනෙක් පැත්තෙන් දැන් මම ගෙවන්නේ මගේ ජිවිතයේ සැදෑ සමය. ටිකක් අසනිප තත්වයෙන් තමයි දැන් ඉන්නේ. මේ වගේ කාලෙක අපට මේක නිසා ඇතිවෙනවා විශාල සතුටක්. ‘සන්තුෂ්ඨි පරමං ධනං’ ඒකියන්නේ සතුට තමයි පරම ධනය. ඒ පරම ධනය තමයි අපට මේ දුන්නේ. මේ ධනය කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වෙල්ත් කියන එක නොවෙයි. මේවා ඊට වඩා උත්තරීතරයි.ඇත්තවශයෙන්ම කියනවා නම් මේ සම්මාන උත්සවය දිගටම පැවැත්වුණා නම් මිට ප්‍රථම මට මේ සම්මානය ලැබෙන්න තිබුණා. ඉතින් මේ සම්මානය ලබාදිම පිළිබඳ වර්තමාන සරසවිය කර්තෘතුමා ඇතුළු කර්තෘ මණ්ඩලයට සහ සභාපතිතුමන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට මගේ ස්තූතිය හිමිවිය යුතුයි.
මෙවර මෙම සම්මාන රාත්‍රිය ඔබ තුමන්ට සුවිශේෂී අවස්ථාවක් . ඒකට හේතුව තමයි ඔබ තුමන් විසින් ඔබතුමන්ගේ චිත්‍රපටයකින් සිනමාවට හඳුන්වා දුන් ආචාර්ය වික්ටර් රත්නායකයන්ටත් ඔබ සමඟම රණතිසර සම්මාන හිමි වීම. ඒක දෛවෝපගත සිද්ධියක් නේද?
මේ සම්මාන පිරිනමන්නේ ඒඒ අදාළ වර්ෂයන්ට අනුව තිරගත වූ චිත්‍රපටවල විවිධ දක්ෂතා දැක්වූවන් වෙනුවෙන්. නමුත් මට හිමි වු සම්මානය වර්ෂයක් පාසා පිරිනමන විශේෂිත සම්මානයක්. අනෙක් විශේෂත්වය වෙන්නේ මෙම සම්මානය කෙනෙකුට හිමිවන්නේ ජිවිතයේ එක් වරක් පමණයි. කොහොම වුණත් දෛවෝපගත සිදුවිමක් ලෙසින් මටත්, ආචාර්ය වික්ටර් රත්නායකයන්ටත් එකම සම්මාන උළෙලකදි මෙම සම්මානය ලැබුණා. මේක මගේ සතුට දෙගුණ තෙගුණ වෙන්න හේතුවක් වුණා. ඒකට හේතුව තමයි,වික්ටර් රත්නායකයන් මාත් සමඟම එකට සිනමාවට පිවිසි කෙනෙක් වීම.අනෙක් එක තමයි මේ සම්මානයේ නම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණ තිසර සම්මානය වීම. ආචාර්ය ලෙස්ටර් කියන්නේ අපේ සිනමාවේ මුදුන් මල්කඩක්. එතුමන් අනුස්මරණය කරමින් දෙන සම්මානයක් හිමිවුණා කියන්නේ ඒක උත්තරීතර දෙයක්. ඒ වගේම මේ සම්මාන උළෙලේ තවත් විශේෂ දෙයක් සිදුවුණා. ඒ තමයි එක් වසරක හොඳම ගායකයා ලෙසින් මගේ මල්ලි සුනිල් එදිරිසිංහයන් සම්මානයට පාත්‍ර වීම.
අපි තුන්දෙනාම එකම සිනමා පටයකින් සිනමාවට පැමිණි අය. ඒ තමයි මවිසින් අධ්‍යක්ෂණය කළ ‘ මාතර ආච්චි ‘ චිත්‍රපටය. මම අධ්‍යක්ෂණය කරමින් රඟපානවා. වික්ටර් රත්නායකයන් මේ චිත්‍රපටයෙන් චිත්‍රපට සංගිත අධ්‍යක්ෂවරයෙකු වශයෙන් දොරට වඩිනවා. ඒ වගේම සුනිල් එදිරිසිංහ චිත්‍රපට පසුබිම් ගායකයකු වශයෙන් මේ චිත්‍රපටයෙන් දොරට වඩිනවා. ඇත්තටම එදා දවසේ ආචාර්ය වික්ටර් රත්නායකයනුත් සිටියා නම් මොන තරම් සතුටු අවස්ථාවක්ද කියලා මට හිතුණා.
අපිට මේ විදියේ සතුටක් වගේම මේ සම්මාන උලෙළෙන් අපේ තරුණ පරම්පරාවට විශාල ජවයක්, ශක්තියක්, උද්යෝගයක් ලැබෙනවා. කෙනකු සම්මානයකින් ඇගැයීමට ලක් කරනවා කියන්නේ ඒ අයගේ ඉදිරි සිනමා ජිවිතයට ඒක විශාල ධෛර්යයක් ලබා දෙන දෙයක්. ඉතින් එවැනි අවස්ථාවක් සිනමා නළු නිළියන් කාර්මික ශිල්පීන් වෙනුවෙන් ලබා දීමද අපේ ගෞරවයට පාත්‍ර වෙන්න ඕන කාරණාවක්.
ඔබ මිට ප්‍රථමත් සරසවිය සම්මාන හිමිකරගත් සම්මානලාභියෙක්. ආපස්සට හැරිලා බලත්දි මොකද හිතෙන්නේ?
මිට ප්‍රථම මට සරසවිය සම්මානයක් එක් වතාවක් හිමිවෙලා තිබෙනවා.ඒ සම්මානය එක අතකින් මට හිතෙනවා ලෝක වාර්තාවක්ද කියලත්. ඒ මොකද මේ සම්මානය මට හිමිවෙන්නේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ කොටි වලිගය ‘ චිත්‍රපටයේ මම රඟපාපු භික්ෂු චරිතය වෙනුවෙන්. ඒ චරිතය තිරය මත පතිත වෙන්නේ තත්පර 90යි. ඒ තත්පර අනුව තුළ මම කරපු රංගනය තමයි ජුරියේ අවධානයට යොමු වෙන්නේ. මට හිතා ගන්න බෑ ඒ වර්ෂයේ හිටපු විනිශ්චය මණ්ඩලය මේක තේරුවේ කොහොමද කියලා.
ඒ වගේම තමයි ඒ අවුරුද්දේ සරසවිය සම්මාන උලෙළේ නිවේදන කටයුතු කළේ මම. ඒ වගේම ඒ අවුරුද්දේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක මැතිතුමයි. ඒ ඇමතිතුමා ම තමයි මට මහවැලි අමාත්‍යාංශයේ සංස්කෘතික කළමණාකාර ධුරය පිරිනැමුවේ. ඒකෙන් මට ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා. මගේ ජිවිතේ හොදම පරිච්ඡේදය කුමක්ද කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ ඒ මහවැලියේ වැඩ කරපු කාලේ කියලයි. මම කළේ රැකියාවක් නොවෙයි මම කළේ සේවයක්.
ඒ වගේ මම සරසවිය සම්මාන උළෙල හතරක් නැත්නම් පහක් මම නිවේදන කටයුතු කරලා තිබෙනවා. සරසවිය සම්මාන උලෙළට වගේම සරසවිය පුවත්පතටත් මගේ ලොකු බැඳීමක් තිබෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. එක අවුරුද්දක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සරසවිය සම්මානයක් ලැබෙනවා. එවකට එතුමන් ජිවිතුන් අතර ඉන්නවා. ඔහු පිළිබඳ හේතුපාඨය කියවන්න ලැබෙන්නේ ගාමිණී ෆොන්සේකා. ගාමිණී ෆොන්සේකාට ආරාධනා කරන්නේ මම. ඒ වගේ භාග්‍යමත් අවස්ථා මට සරසවියෙන් ලැබිලා තියෙනවා.
මේ දවස්වල ඔබතුමා කාලය ගත කරන්නේ විවේකි සුවයෙන්ද? නැතිනම් නිර්මාණ කටයුතුවල යෙදෙනවද?
මම ගුත්තිල චිත්‍රපටයේ රඟපෑමෙන් පස්සේ රංගනයට යොමුවුණේ නෑ.මට ඇවිදීමේ පොඩි අපහසුතාවයක් තිබෙනවා. අවසන් වතාවට කළේ ගුත්තිල තමයි. සනත් අබේසේකරගේ. අපි ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගත්ත පොතක් නේ ගුත්තිල කියන්නේ. මේ චිත්‍රපටයේ මාත් එක්ක රගපැවේ අයිරාංගණි සේරසිංහ මැතිනිය. මේකත් මගේ රංගන ජිවිතයේ සුවිශේෂී අවස්ථාවක්.
මම අවුරුදු 20 දි තමයි කලාවට, රගපෑමට ආවේ. 1961 වෙස්සන්තර නාට්‍යයෙන්. ඒකේ රඟපෑවෙත් ජූජක බමුණාගේ චරිතය. මම මගේ රංගන දිවිය දිහා ආපහු හැරිලා බලනකොට මම වැඩියෙන්ම කරලා තියෙන්නේ වයසක චරිත. මාතර ආච්චි වගේ චිත්‍රපට කිපයක් විතරයි තියෙන්නේ තරුණ චරිත රඟපාපු. අපි සතුටු වෙන්නේ නැතුව අනිත් මිනිස්සු අපට සතුටු කරගන්න බෑනේ.
ආපස්සට හිතලා බලත්දි ඔබේ සිනමා ජිවිතේ, කලා ජිවිතේ ගැන සතුටුද?
අනිවාර්යයෙන්ම සතුටුයි. මම පූර්ණකාලීනව කලාකරුවකු හැටියට වැඩ කරලා තියෙන්නේ අවුරුදු 10යි. මොකද මම රජයට අනුබද්ධ ආයතන තුනක වැඩ කරලා තියෙනවා. මම ලංකා ගමනාගමන මණ්ඩලයේ ලිපිකරුවෙකු හැටියට තමයි මුලින්ම රැකියාව කළේ.ඊට පස්සේ කළමනාකාරිත්වය දක්වා උසස් වුණා අවුරුදු 20ක් ඇතුළත. මම හරියට සතුටු වෙනවා ඒ කාලය ඇතුළත අනිල් මුණසිංහ වැන්නෝ එක්ක වැඩ කරන්න ලැබීම ගැන. ඊළගට මම වැඩ කළා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ. එතැන අවුරුදු 12ක් වැඩ කළා. එතැනදි මට පැවරුණු දේ තමයි මහවැලි කලාප වල ඉන්න දුදරුවන්ගේ සැඟවුණු කුසලතා හදුනාගෙන ඒවා වර්ධනය කිරිම.ලංකාවේ ඒ දවස්වල හිටපු හොඳම නර්තන කණ්ඩායම තමයි රාජ්‍ය නර්තන කණ්ඩායම. අපි මේ කලාප වල දක්ෂතා ඇති දරුවෝ තෝරාගෙන සාම නර්තන කණ්ඩායම හැදුවා . අපි පිටරට සංචාරවල පවා යෙදුණා.ඒ නිසා මම පුර්ණකාලීනව කලාවට යොමු වුණේ මේ ටිකෙන් ඉවත්වුණාට පස්සෙයි. ඊට පස්සේ මම පූර්ණකාලීනව කලාවට යොමුවුණාට පස්සේ මම එක දිගට ටෙලිනාට්‍ය 11ක් අධ්‍යක්ෂණය කළා. තාමත් දැන් මේ ඉන්න අවස්ථාවේ හැටියට රඟපාන්න අවස්ථාවක් හම්බවෙනවා නම් මම ඒත් කැමැතියි රඟපාන්න.
වර්තමාන සිනමා කලාව ගැන ඔබතුමන්ගේ අදහස කුමක්ද?
අද ඉන්නවා ඉතාම දක්ෂ තරුණ ළමයි රාශියක්. ඒ අතර හො තිර නාටක රචකයෝ, හොඳ චිත්‍රපට අධ්යක්ෂවරු වගේම නළු නිළියන් කාර්මික ශිල්පීනුත් ඉන්නවා. තරුණ පරපුරට කියන්න තියෙන්නේ මේ අයට රඟපෑමේ ආසාව හෝ හැකියාව එන්නේ උපතත් එක්කයි. ඒ උපතත් එක්ක එන කුසලතාවය විතරක් මදි. පොත පත කියවීමෙන්, දේශනවලට, වැඩමුළු වලට යෑමෙන්, නාට්‍ය හා රංග කලාව පිළිබද අවබෝධයක් මේ අය ගත්තොත් ඒ අය ඉතාම උසස් තලයකට එනවා. ඒකට උදාහරණ ලංකාවේ තියෙනවා. මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, වසන්ත විට්ටච්චි වැනි විශාල පිරිසක් ඉන්නවා. ඉතින් කිසියම් කෙනෙකුට උපතින් හැකියාවත් තිබුණත් අත්දැකීමෙන්, සතතාභ්‍යාසයෙන්, පරිණත වෙනකොට තමයි එහි පරිපූර්ණත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම තරුණ පරපුරට කියන්නේ ඒ වෙනුවෙන් කැපවෙන්න, අභ්‍යාස කරන්න. නිරන්තරයෙන් කියවන්න, පුහුණු වෙන්න. එහෙම වුණොත් ඔබට මේ ක්ෂේත්රයේ දිගු ගමනක් තිබේවි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න