– ලෙස්ටර් මහතා මට කියන්නේ ‘සොයිසා පුතා’ කියලා
– නිධානය රූගත කළ ඔබේසේකර වලව්ව ඇත්තටම භයංකර තැනක්
– සුමිත්‍රා පීරිස් කියන්නේ අම්මා කෙනෙක්
– දිගටම රඟපානවට තාත්තා කැමැති වුණේ නැහැ
– හිටපු ඇමැතිවරු 3-4කගේම අමාත්‍යාංශවල සේවය කළා
– උප පොලිස් සේවයේ ඉන්න අතරේ පුරාවිද්‍යා පශ්චාත් උපාධියත් ජනමාධ්‍ය ඩිප්ලෝමාවත් කළා
මෙරට විශිෂ්ටතම සිනමා කෘතිය ලෙස සැලකෙන 1972දී තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘නිධානය’ සිනමා කෘතියේ ගාමිණී ෆොන්සේකා රඟපෑ ප්‍රධාන චරිතය වූ විලී අබේනායකගේ ළමා අවධියට රංගනයෙන් දායකවූ නිමල් ද සොයිසා නමැත්තා අද වන විට ‘බෝලන්දේ ධම්මදේව’ නමින් පැවිදිව සිටියි. ගිහියකුව සිටි අවධියේ රංගන ශිල්පියකු මෙන්ම අති දක්ෂ චිත්‍ර ශිල්පියකු, ගුරුවරයකු ද වූ උන්වහන්සේ සිය සිනමා කලා,චිත්‍ර නිර්මාණකරණ දිවිය නැවත ආවර්ජනය කර බලමින් සරසවිය හා මෙසේ සම්මුඛ වූහ.
ඔබවහන්සේට “නිධානය” චිත්‍රපටය සඳහා දායකවෙන්න ලැබුණු ආකාරය මතකාවර්ජනය කළොත් …..?
එයට අවස්ථාව උදාවුණේ තාත්තා නිසයි. මගේ තාත්තා චිත්‍රපට සම අධ්යක්ෂ , කලා අධ්යක්ෂ චිත්‍ර ශාස්ත්‍රඥ ඒ.ජේ. ද සොයිසා. තව ඒ.ජේ. ද සොයිසා කෙනෙක් ඉන්නවා. එයා තාත්තාගේ ඥාති සහෝදරයෙක්. ඔහුත් තාත්තා වගේම හේවුඩ්වල ඉගෙනගත්තේ. ඔහු ගීපද රචකයෙක්. මගේ පියාත් ඔහුත් වැඩකළේ සිලෝන් තියටර්ස් සමාගමේ.. දවසක් තාත්තා ආචාර්ය ලෙස්ටර් මහතාගේ ගෙදර ගියේ තාත්තව “නිධානය” චිත්‍රපටයේ “දියෝනිස්”ගේ චරිතයට තෝරාගෙන තිබුණු නිසා. එහි සහය අධ්යක්ෂ උපාලි පෙරේරා මහතා තමයි තාත්තට එන්න කියලා පණිවිඩය එවා තිබුණේ. තාත්තා මාවයි මල්ලිවයි එක්කගෙන ලෙස්ටර් මහත්තයාගේ ගෙදර ගියේ. ඒ කාලයේ අපි බම්බලපිටියේ ගෙදර හිටියේ..ඒ ගමනේදී ලෙස්ටර් මහත්තයා මාව දැක්ක ගමන් කිව්වා “අම්මෝ, අපි හොයපු මිනිහනේ මේ ඉන්නේ” කියලා. සුමිත්‍රා මහත්මියත් කිව්වා “ඔව්, මෙයා තමයි හරියනම කෙනා”කියලා.
ලෙස්ටර් මහතා කොහොමද ඒ අවස්ථාවේ චරිතය ලබාදුන්නේ……?
ලෙස්ටර් මහත්තයා මාව දැක්කම තාත්තාගෙන් ඇහුවා “මේ කවුද” කියලා. “මේ මගේ පුතා” කියලා තාත්තා කිව්වා. ඉන්පසු ලෙස්ටර් මහතා කිව්වා “තාත්තයි පුතයි දෙන්නම රඟපාන්න ඕනේ නැහැ , පුතාව මම පොඩි චරිතයකට ගන්නම්” කියලා.. එහෙමයි නිධානයේ ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ විලී අබේනායකගේ චරිතයේ ළමා කාලය රඟපාන්න මාව තෝරාගත්තේ…
තාත්තාත් ආචාර්ය ලෙස්ටර් සමඟ වැඩකර තිබෙනවා නේද…..?
ඔව්, ඔහු චිත්‍රපට කලා අධ්‍යක්ෂණය, සහය අධ්යක්ෂණයට අමතරව ලෙස්ටර් මහත්තයාගේ “ගම්පෙරළිය” චිත්‍රපටයේ “සාඳා”ගේ චරිතයත් නිරූපණය කළා. ඊට අමතරව තාත්තා ආචාර්ය ලෙස්ටර්ගේ “කලියුගය, යුගාන්තය” චිත්‍රපටවලත් රඟපෑවා..
“නිධානය”ට දායක වෙද්දී ඔබ වහන්සේගේ වයස කීයද….? ඊට පෙරත් රඟපෑමෙන් ලද ආභාසයක් තිබුණද….?
ඒ කාලයේ මට අවුරුදු 09ක් වගේ ඇති. පාසලේදී නාට්‍යවලට සම්බන්ධ වුණා. කිංස්ලි රාජපක්ෂගේ “සිඟිති සුරතල්” , ජී. ඩී. එල්. පෙරේරාගේ “සාමා” චිත්‍රපටයේත් ‘”සිහසුන” චිත්‍රපටයේත් “කවුද හරි” චිත්‍රපටයේත් ලෙස්ටර් මහතාගේම “ගෝඩ් කිං” චිත්‍රපටයේත් රඟපා තිබෙනවා. “සාමා”හි චරිතය ගැන එතරම් මතකයක් නැහැ. එය 1965 තිරගත වුණේ. ලියෝනි කොතලාවල එහි ප්‍රධාන චරිතය කළේ. රඹුටන් ගසක් වගේ මල් ගසක් යට මාවයි තව ළමයෙක්වයි ලියෝනි කොතලාවල ඔඩොක්කුවේ තියන් හිටියා… “සිඟිති සුරතල්” චිත්‍රපටයේ ජීවරාණි ගීතයක් ගයනවා. එතකොට මමයි තව ළමයෙකුයි එයා ළඟට දුවගෙන එන ගීතමය අවස්ථාවක් මට රඟපාන්න තිබ්බේ. “සිහසුන” චිත්‍රපටයේ ශ්‍රියාණි අමරසේනගේ මල්ලි විදිහට රඟපෑවා. තාත්තා සිලෝන් තියටර් සමාගමට යද්දී අපිව එක්ක යනවා. එහිදී චිත්‍රපටවල සුළු සුළු අවස්ථාවන්ට පෙනීසිටින්න පුළුවන් වුණා. “කවුද හරි” චිත්‍රපටයේත් මම රඟපෑවා. ඒක කළේ “නිධානය”කළාට පස්සේ. ආචාර්ය ලෙස්ටර්ගේ “ගෝඩ් කිං” චිත්‍රපටයේත් රඟපෑවා. “සිහසුන” හි රඟපෑමෙන් පසුව සිනමාවෙන් ඉවත්වුණා
“නිධානය” රංගනයේදී ගාමිණී ෆොන්සේකා සමඟ තිබූ සබැඳීයාව කොයිවගේද….?
ඔහුව මට නිතරම මුණගැසුණේ නැහැ. “නිධානය” දර්ශනතලයේදී දෙමළ නිෂ්පාදන කළමනාකරුවෙක් හිටියා. ඔහු ගාමිණී ෆොන්සේකා මහතාට මාව පෙන්වලා කියනවා “ඔයාගේ වගේම මුහුණක්” කියලා .එතකොට ගාමිණී ෆොන්සේකා මහතා මගේ කන් දෙකෙන් අල්ලලා මගේ මුහුණ තද කරනවා . එහෙම තද කරලා “ඔන්න දැන් මම මගේ මුහුණේ අච්චුව ඔයාට දුන්නා” කියනවා. ඔහුගේ මුහුණ මට දුන්නා දැන් හොඳීන් රඟපාන්න කියනවා වගේ අදහසක් ඒකෙන් ඔහු ලබා දුන්නා…ඔහුව දර්ශනතලයේදී නිතරම මට මුණගැසුණේ නැහැ
ඔබේසේකර වලව්වේ අත්දැකීම් කොහොමද …..?
අම්මෝ, “නිධානය” රූගතකළ රාජගිරියේ ඔබේසේකර වලව්වත් හරිම භයංකරයි. ගුප්තයි. චිත්‍රපටයේ සිටි “දියෝනිස්” වගේ භයංකර පෙනුම තිබුණු මිනිස්සු දෙන්නෙකුත් ඒ වලව්වේ සිටියා. රූගතකිරීම්වලට දින 02, 03කට පෙරත් අපිව ඒ වලව්වට රැගෙන ගියා. පේනතෙක් මානයක ගෙයක් නැහැ. ඒ වලව්වේ ඇත්තෙන්ම භයානක බවක් තිබුණා. මැරුණු සත්තු එහෙම එල්ලලත් තිබ්බා. එතැනට ගියාම බයක් දැනෙනවා. එහි ඇත්තටම හොල්මන් තිබුණු බවට කතාවකුත් ප්‍රචාරය වුණා. ඒ භයංකර හැඟීම් එක්කයි “නිධානය” රූගතකිරීම් කළේ.
ආචාර්ය ලෙස්ටර් සමඟ වැඩකිරීම මොනවගේ අත්දැකීමක් වුණා ද….?
ඔහු හරිම නිහඬ චරිතයක්. වැඩිය කතා කරන්නේ නැහැ . වැඩක් නැති වේලාවට පැත්තකටවී කල්පනා කරමින් ඉන්නේ. ඒවගේම බොහෝම කාරුණිකව අපට දර්ශන ගැන පැහැදිලි කරදෙනවා. සීන් එකක් රූගත කරද්දි කොහොමත් ෂොට්ස් 4ක් 5ක් ගන්නවා..අපි හිනාවෙද්දි කියනවා “දැන් ටිකක් හිනාවුණාට කමක් නැහැ , ටිකක් බයේ වගේ හිනාවෙන්න”කියලා. බිත්තියට සෙවණැල්ල වැටෙද්දිත් දැන් ඒ දිහා බයවෙලා වගේ බලන්න කියනවා. ලෙස්ටර් මහත්තයා කියන්නේ ඇත්තෙන්ම නිහඬ, නිහතමානී චරිතයක්. ඒවගේම ලෙස්ටර් මහතා මිය යනතුරුම සෑම අවුරුද්දකටම වතාවක් ඔහුව බලන්න මම ඩික්මන් පාරේ ගෙදරට යනවා. ඔහුට අමතකව යන අවස්ථාවලදී සුමිත්‍රා නෝනා තමයි මේ අහවලා කියලා මතක් කරදෙන්නේ..ඔහු මට කිව්වේ “සොයිසා පුතා” කියලා. තාත්තාට එතුමා කිව්වේ සොයිසා කියලනේ. ලෙස්ටර් මහත්තයා එක්ක ඉද්දී විනය කියන දේ ගැන කවුරුත් සිතනවා. ඔහු එක්ක ඉද්දි අපිත් හික්මෙනවා, උපාසක තත්ත්වයට පත්වෙනවා
සුමිත්‍රා පීරිස් සමඟ ගනුදෙනු කිරීම ගැන මොකද කියන්න තියෙන්නේ ……?
සුමිත්‍රා පීරිස් නෝනා ඇත්තෙන්ම අම්මා කෙනෙක්.එයාට දරුවෝ නැතිවුණාට ළමයි ඉන්න තැන්වලදී එයා තමයි අම්මා වෙන්නේ. ඇය ළමයින්ව හොඳීන් බලාගන්නවා. අම්මා කෙනෙක්ගේ වගකීම රූගතකිරීම් කරන කාලයේදී එතුමිය හොඳීන්ම ඉටුකරනවා. “ගැහැනු ළමයි” චිත්‍රපටයට අපි සම්බන්ධ නොවුණට දර්ශනතලවලට අපි ගියා. එහිදී ඇය මවක් වගේ ඒ ළමයින්ව බලාගන්න හැටි දැක්කා..
“නිධානයේ” ඔබේ මවට හිටියේ තලතා ගුණසේකර නේද……?
ඔව්, ඇයටත් මගේ සිතේ ලොකු ගෞරවනීය හැඟීමක් වගේම බයක් වගේ තිබුණා. ඇය ඇවිදින්නේ එහෙමත් හරි අමුතු විදිහටනේ. ඇය කතා කරද්දී හයියෙන් කතා කරනවා. එතකොටත් හරිම බය මුසුවුණු ගෞරවයක් ඇතිවෙනවා
නිධානයේ මංගල දර්ශනය දිනයේ මතකය කොහොමද …..?
නිධානයේ මංගල දර්ශනය නිසා තමයි මට පෝළිමේ චිත්‍රපට ආවේ..කොළඹ රීගල් සිනමාහලේ මංගල දර්ශනය තිබ්බේ. එදා මම ඇඳගෙන ගියේ ප්‍රින්ස් ඩ්‍රෙස් ඇඳුම.. ඇඳුම් 03ක් විතර අපට එදා අඳීන්න තිබ්බා. ත්රිකුවාටර් (ඊඩපඥඥ Qභචපබඥප ර්ථචදබඵ) එකකුත් ඇඳලා කකුල් නොපෙනෙන්න මේස් දාලා එදා මම හිටියේ. එදා හැමෝගෙම සුරතලා වුණේ මම. මගේ මල්ලිත්, නන්දා මාලනී අක්කාගේ මල්ලි එහෙමත් එදා සහභාගි වුණා.. ඒවගේම මගේ පාසල වුණු කොළඹ ප්‍රින්ස් කොලේජ් එකේ ගුරුවරුත් චිත්‍රපටය නැරඹුවා. ඔවුන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා. රඟපෑමට මම ආසවුණත් ඉගෙනීමට මට හරිම පෙරේතකමක් තිබුණා.
“නිධානයෙන්” පසුව චිත්‍රපටවලට ආරාධනා ආවේ නැද්ද…..?
අපේ තාත්තා එච්චර කැමැති වුණේ නැහැ මම දිගටම රඟපානවට. මම අධ්‍යාපනය කඩාකප්පල් කරගනියි කියන බය ඔහුට තිබ්බා. ඒ බයටම තාත්තා මාව නැන්දලගේ ගෙදර යැව්වා.
ඔබ වහන්සේගේ පියාවූ ඒ.ජේ. ද සොයිසා රඟපෑමට අමතරව කලා අධ්යක්ෂවරයෙක්…..?
ඔව්. ඔහු රඟපෑම අවසන් කාලය දක්වාම කළා. ඊට අමතරව කලා අධ්යක්ෂවරයෙක් , සහය අධ්යක්ෂවරයෙක් ලෙසත් චිත්‍රපට ක්ෂේත්රයේ කටයුතු කළා. ඒවගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.
එකල කැරැක්ටර් ඩිසයිනර් කියා ක්‍රමවේදයක් චිත්‍රපටවල තිබුණා කියා මා අසා තිබෙනවා ….?
ඔව්. ඒ යුගයේ කැරැක්ටර් ඩිසයිනර් කියා නළුනිළියන් තෝරාගැනීමේ ක්‍රමයක් තිබුණා. එක වගේ පෙනුම තියෙන දෙන්නෙක්ව චිත්‍රපටවලට ගත්තේ නැහැ . ඒ කාලයේ ඩී.ආර්. නානායක්කාරයි අපේ තාත්තාවයි එකම චිත්‍රපටයට ගත්තේ නැහැ. ඒක තමයි කැරැක්ටර් ඩිසයිනර් කරලා බලනවා කියන්නේ . සමහර චිත්‍රපටවල ඩී. ආර්.ට චරිත ලැබුණේ නැහැ අපේ තාත්තා නිසා. අපේ තාත්තාට චරිත ලැබුණේ නැහැ ඩී.ආර්. නිසා
පවුලේ අනෙක් අයත් චිත්‍රපට ක්ෂේත්රයේ දිගටම හිටියද…..?
ඔව්. තාත්තයි , අයියයි මල්ලිලා දෙන්නයි ක්ෂේත්රයේ දිගටම හිටියා. අයියා පද්මසිරි ද සොයිසා. මල්ලි සරත් ධර්මසිරි ද සොයිසා. අනිත් මල්ලි සුසිල් චන්ද්‍රා ද සොයිසා. එයාලා කලා අධ්‍යක්ෂණය පැත්තෙන් වැඩකළා.. අයියා ඩිල්මන් ජයරත්න එක්ක කැමරාකරණය පැත්තත් හැදෑරුවා.
ඔබවහන්සේ තුළ සිටි දක්ෂ චිත්රශිල්පියාගේ මතකය අවදි කළොත්….?
පාරම්පරික චිත්‍ර ශිල්පි ව්‍යාපෘතියේ කථිකාචාර්යවරයෙක් ලෙස මම සේවය කළා. රට වටා නොයෙක් චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වුවා. පියාගේ ආභාසය මගේ චිත්‍ර නිර්මාණකරණයට බලපාන්න ඇති. මහාචාර්ය එස්.පී. චාල්ස් මහතා මගේ විශිෂ්ට චිත්‍ර ගුරුවරයා. මගේ චිත්‍ර යුනෙස්කෝවට පවා ගියා. ලයනල් වෙන්ඩ්ට්හිත් චිත්‍ර ප්‍රදර්ශනය කළා. බොහෝ ඇගයීම්. ලැබුණා ඒවාටත්. කලා සංගමයේ චිත්‍ර ප්‍රදර්ශනවලින් සම්මාන, සහතික ලැබුණා. දෙවැනි, තුන්වැනි ස්ථාන ලැබුණා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් කළ චිත්‍ර ප්‍රදර්ශනවලට සහතික ලබාගත්තා. “කලාකෘති හා පර්යේෂණාත්මක නිර්මාණ” යන තේමාව යටතේ සම්මාන හිමිවුණා. විශ්වවිද්‍යාල සිසුන් සඳහාත් මම දේශන පැවැත්වුවා. “චිත්‍ර කලාවේ නූතන භාවරූපී සංකල්පය ” යටතේ ත් “පරිගණක චිත්‍ර කලාව” යටතේත් දේශන සිදුකළා. කොළඹ ජාතික කෞතුකාගාරයේත් දේශන පැවැත්වුවා. ඊට අමතරව පුවත්පත්වලට චිත්‍ර කලාව පිළිබඳ මම බොහෝ ලිපි ලියා තියෙනවා
ඔබවහන්සේගේ අධ්‍යාපන කාර්යයන් සඳහන් කළොත් ……?
මම හේවුඩ් එකේ චිත්‍ර හා මූර්ති කලාව ඉගෙනගෙන ශිෂ්‍යත්වයකට ඉන්දියාවට ගියා. එහිදී ජ්‍යාමිතික හා ව්‍යවහාරික චිත්‍ර පිළිබඳ ශිෂ්‍යත්වයක් ලැබුණේ . උසස්පෙළට මම කළේ විද්‍යා විෂයයන්. තාත්තා කිව්වා “මගේ තැනට යන්න එකෙක් නැහැනේ” කියලා. එයින් ඔහු අදහස් කළේ චිත්‍ර අංශයෙන් ඉහළට යන්න කෙනෙක් නැහැ කියන එකයි.. ඔහුගේ විෂයය වුණේ කොමර්ෂල් ආර්ට්. ඒවගේම පරිගණක චිත්‍ර කලාව පිළිබඳ ඉගැන්වූ පළමුවැනි දේශකයා වුණෙත් මමයි.
ගුරු භූමිකාව පිළිබඳ සිහිපත් කළොත් …..?
මට ගුරුවරයෙක් ලෙස පළමු පත්වීම ලැබුණේ රත්නපුරයේ කරවිලයාය විද්‍යාලයට. ඒ කාලයේ ගුරු පත්වීම් දුන්නේ පුහුණු ගුරුවරුන් වශයෙන්. අනික ඒකාලයේ ගුරුවරයා විෂයයන් 10ක්හරි උගන්වන්න සූදානමින් ඉන්න ඕනි. මට එහිදී අත්වැඩ සහ චිත්රයි උගන්වන්න දුන්නේ. වැලිමඩ පාසලකත් ඉගැන්වුවා. එහිදී ඉගැන්නුවේ ක්‍රිස්තු ධර්මය. ඒ පාසලේ ක්‍රිස්තු ධර්මය උගන්වන්න කෙනෙක් හිටියේ නැහැ .මම වසර 08ක් ගුරු වෘත්තියේ සිටියා.
ගුරු වෘත්තියට අමතරව තවත් රැකියාවල යෙදී සිටියාද…….?
ඔව්. මම හිටපු ඇමැති ජෝසප් මයිකල් පෙරේරාගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස පොලිස් සේවයේත් කලක් සිටියා. උප පොලිස් සේවයේ ඉන්න අතරේදී මම පුරාවිද්‍යා පශ්චාත් උපාධියත් ජනමාධ්‍ය ඩිප්ලෝමාවත් කළා. ඒ කාලයේ උප පොලිස් සේවයට යාම එතරම් ලොකු දෙයක් නෙවෙයි. උප පොලිස් පුහුණුව ලැබීමෙන් පසුව තමයි ජෝසප් මයිකල් පෙරේරා ළඟට ආවේ..පොලිස් සේවයෙන් ඉවත්වයි පාරම්පරික චිත්‍ර ශිල්පි ව්‍යාපෘතියේ කථිකාචාර්ය තනතුරට ගියේ. සංස්කෘතික අමාත්‍යාංශයෙන් පාලනය වන පාසලකට එම පත්වීම ලැබුණේ. ඒ අතර හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ අමාත්‍යාංශයටත් සම්බන්ධ වුණා. ඊට පස්සේ දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අමාත්‍යාංශයටත් එක්වුණා. පුනරුත්ථාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන සහ ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් එහි රැකියාවක් කළා..අමාත්‍යාංශවල කටයුතු කරද්දි චිත්‍ර නිර්මාණකරණය, වේදිකා නාට්‍ය රංගනය දිගටම කරගෙන ගියා. ජෝසප් මයිකල් මහතා ළඟ වැඩ කරද්දී රෑට චිත්‍ර අඳීනවා. ඔහුත් චිත්‍ර කලාවට හරි කැමැතියි. මම චිත්‍ර අඳීනකන් ඔහු වාඩිවෙලා බලාගෙන ඉන්නවා
ඔබවහන්සේ ඕමල්පේ සෝභිත හිමියන්ගේ ගෝලයෙක් කියා මා අසා තිබෙනවා. කොහොමද ඒ හිතවත්කම ඇතිවුණේ ……?
මට ඕනවෙලා තිබ්බා මට වඩා වයසින් සහ උගත්කමින් වැඩි ගුරුවරයෙක්. මම උන්වහන්සේට ලිපියක් යවා කතා කරලා බැලුවා..ධර්මවිජය පදනම කියා එකක් තිබ්බා…ඒකටත් මම සම්බන්ධ වුණා. මුලින්ම උන්වහන්සේගේ භාවනා පන්තියකටත් ගියා.. ඒ 2018වගේ. සිංහරාජ ආරණ්යයකත් මම ගතකළා…මහණවෙන්න කැමැති ද කියලා ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ මගෙන් ඒ කාලයේ ඇසුවා..එහෙමයි උන්වහන්සේ සමඟ සම්බන්ධතාව ඇතිවුණේ. අදටත් උන්වහන්සේ සමඟ හිතවත්කම ඒ ලෙසම තිබෙනවා
දැන් ඔබවහන්සේ වැඩසිටින ධර්මායතනයට සම්බන්ධ වුණේ කොහොමද …..?
මේ ධර්මායතනය මට ලබාදුන්නේ ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහත්තයා.. දැන් ඉන්න ඉඩමත් ඔහුගේ. ඔහුත් චිත්‍රපටවලට, කලාවට සම්බන්ධයිනේ…. ඒවගේම චිත්‍රපට, ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක්. එතුමයි මමයි කුඩා කාලයේ සිටම යාළුවෝ.. අදටත් මෙහාට ඇවිත් මගේ සැප දුක විමසනවා.
අදටත් ඔබ දරුවන්ට උගන්වනවද……?
ඔව්. අදටත් මම මේ ධර්මායතනයේ පාසල් දරුවන්ට අමතර පන්ති පවත්වනවා.
මහණ දිවියට එන්න විශේෂ හේතුවක් තිබුණාද……?
මම ඉස්සර ඉඳන් මහණවෙන්න ආසාවක් තිබ්බා..තාත්තා ඒකට ඉඩදුන්නේ නැහැ. මට දරුවෝ තුන්දෙනෙක් හිටියා. එක්කෙනෙක් නැතිවුණා. ඉඩකඩම්, ව්‍යාපාර දරුවෝ බලාගන්නම් කිව්වා. ඉතින් මම හිතුවා කුඩා කාලයේ ඉඳන් තිබූ ආසාව වුණු මහණවීමේ ආසාව ඉෂ්ට කරගන්න. මම අවුරුදු 60දී මහණ දිවියට ඇතුළු වුණා. මහණ වුණාට පස්සේ අද වෙනතෙක් මගේ නෝනාව දැක්කේ නැහැ.
ඔබවහන්සේගේ ගිහිකල නම කොහොමද භාවිත වුණේ…….?
මගේ ගිහි නම වුණේ “අගම්පොඩි ලලිත් ආනන්ද ද සොයිසා”. සුමිත්‍රා පීරිස් මහත්මිය කිව්වේ “ලලිත්” කියලා. ලෙස්ටර් මහත්තයා කිව්වේ “සොයිසා පුතා” කියලා . නිමල් ද සොයිසා නමින් තමයි මම බොහෝ ප්‍රසිද්ධ වුණේ. විශේෂයෙන් චිත්‍ර කලාවේදී ඒ නමයි භාවිත වුණේ. අද මහණදම් පුරන මම “බෝලන්දේ ධම්මදේව හිමි”
මනෝජ් රුක්මල් කුමාරසිංහ