වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
පොදු ජන සුවඳ මුසු වුණු වීදි නාට්‍ය කලාව

”සල්ලි නැතිව පින් කරන්න බැරිද බැරිද - සල්ලි තිබිල පව් කරන්න බැරිද බැරිද
පින් කර කර පව් කරන්න බැරිද බැරිද - පව් කර කර පින් කරන්න බැරිද බැරිද
පොදි බැඳගෙන පින් කරන්නෙ පදමට පදමට - පින්කර කර පව් කරන්නෙ පදමට පදමට
සල්ලි නැතිව පින් කරන්නෙ කොහොමද කොහොමද - සල්ලි තිබිල පව් කරන්නෙ නිකංද නිකංද”
1976 දී නිර්මාණය කරන ලද ”වෙසක් දැක්ම” නම් වීදි නාට්‍යයේ අන්තර්ගත මෙම උත්ප‍්‍රාසාත්මක පද මාලාව ඔස්සේ වීදි නාට්‍ය කලාව පිළිබඳ අපූරු අර්ථකථනයක් සපයා ගත හැකි ය. ශ‍්‍රී ලාංකේය නාට්‍ය සංස්කෘතිය තුළ විකල්ප නාට්‍ය සම්ප‍්‍රදායක් ලෙස බිහිවූ වීදි නාට්‍ය කලාවට එම නම මුල්වරට ආරෝපණය කරන ලද්දේ, ප‍්‍රවීණ විචාරක නිහාල් රත්නායකයන් විසිනි. මෙරට වෙනත් කලාංග මෙන් ම වීදි නාට්‍ය සම්ප‍්‍රදාය බිහි වීමට ද ප‍්‍රබල පසුබිමක් නිර්මාණය විය. විශේෂයෙන් ම ධම්ම ජාගොඩ ආරම්භ කළ ”රංග ශිල්ප ශාලිකාව” ඔස්සේ වීදි නාට්‍ය සඳහා ශක්තිමත් පදනමක් සකස් විය. තවද 70 දශකය වන විට මෙරට නාට්‍ය සංස්කෘතියට විකල්ප නාට්‍ය සම්ප‍්‍රදායක අවශ්‍යතාවය තදින් ම දැනී තිබිණි. 1971 තරුණ අරගලය සමඟ ගොඩනැඟුණු පොදු ජන ප‍්‍රවාහය ද මේ සඳහා බලපෑ බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. මේ සියලූ ම කරුණු ඔස්සේ පොදු ජනතාවට වඩාත් සමීප විකල්ප නාට්‍ය සම්ප‍්‍රදායක් බිහි වීමට පසුබිම නිර්මාණය විය. මේ ඔස්සේ පොදු ජනතාවගේ ගැටලූ සාකච්ඡා කළ හැකි නාට්‍යමය වේදිකාවක් ගොඩනැඟිණි. එය ඉතාම වැදගත් ප‍්‍රවණතාවක් බව කිව මනා ය.
ගාමිණී හත්තොටුවේගම, ධම්ම ජාගොඩ දෙපළ මෙරට වීදි නාට්‍ය කලාවේ පුරෝගාමීන් ලෙස හැඳින්විය හැකි ය. මේ අතරින් ගාමිණී හත්තොටුවේගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ (එවකට ලංකා විශ්වවිද්‍යාලය) ඉංග‍්‍රීසි ගෞරව උපාධිය හදාරන සමයේ ඉංග‍්‍රීසි නාට්‍යවල මෙන් ම සිංහල නාට්‍යවල ද රඟපෑවේය. පසුකාලයේ එනම් 1973 දී එතුමා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දී රංග කැබලි සහ සංගීත සොච්චමක් වැනි නාට්‍ය නිෂ්පාදනය කළේය. එම වකවානුවේ ගාමිණී හත්තොටුවේගම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (වර්තමාන කැලණිය විශ්වවිද්‍යාලය) ඉංග‍්‍රීසි විෂය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. උක්ත නාට්‍ය නිර්මාණ පසුකාලීන ව විකල්ප නාට්‍ය සම්ප‍්‍රදායක් බිහි කිරීමට මහෝපකාරී විය. මෙම කරුණ වෙසෙසින් සාකච්ඡා කළ යුතු කරුණකි. එනම් ගාමිණී හත්තොටුවේගම වීදි නාට්‍ය සම්ප‍්‍රදාය බිහි කරනුයේ, දිගු කාලීන හැදෑරීම් සහ අත්හදාබැලීම් මධ්‍යයේ ය. එම කරුණ අංකුර නාට්‍ය ශිල්පීන්ට ඉතා වැදගත් පූර්වාදර්ශයකි. එනම් නව සම්ප‍්‍රදායක් හඳුන්වා දීමේ දී ඒ සඳහා බොහෝ අත්හදාබැලීම්, පර්යේෂණ සිදු කළ යුතු බවයි. හඳුන්වා දෙන නව සම්ප‍්‍රදාය දිගු කලක් පැවතීමට මේ පර්යේෂණාත්මක පසුබිම හේතු වේ.
එමෙන්ම 1974 දී විවෘත වීදි නාට්‍ය කණ්ඩායම නිර්මාණය කිරීම මෙරට වීදි නාට්‍ය කලාවේ මතු නොව සමස්ත නාට්‍ය කලාවේ ම හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ඉන් පසුව එම වසරේ ම පොසොන් පොහෝ දින (1974 ජූනි 04) විවෘත වීදි නාට්‍ය කණ්ඩායම විසින් ස්වකීය ප‍්‍රථම වීදි නාට්‍ය අනුරාධපුර දුම්රිය ක‍්‍රීඩාංගණයේ රංග ගත කරන ලදී. වීදි නාට්‍ය කලාවේ ආරම්භය පිළිබඳ ගාමිණී හත්තොටුවේගම සිය මතකය ආවර්ජනය කරන්නේ මෙසේය,
”ඒ 1974 දී. හේග් කරුණාරත්න, පරාක‍්‍රම නිරිඇල්ල, එච්.ඒ.පෙරේරා, ලින්ටන් සේමගේ, නිමල් චන්ද්‍රසිරි, ජයන්ත ගුණතිලක වගේ අය අසූ ගණන් වනතුරු මා සමඟ සිටියා. දීපානි සිල්වා සම්බන්ධ වුණේ පටන් අරන් මාස හයකට පස්සෙයි. මට කවුරුවත් ඇවිත් වීදි නාට්‍ය පිඟානක තියල දුන්න නෙවෙයි. ඒක මේ කාගෙත් මහන්සියේ ප‍්‍රතිඵලයක්.” (හතා ගැන කතා, 2010: සංස්. අතුල සමරකෝන් සහ සුදේශ් මන්තිලක).
මෙලෙස ආරම්භ වූ විකල්ප වීදි නාට්‍ය කලාවේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දැකිය හැකි ය. වීදි නාට්‍ය රංග ගත කිරීමට නිශ්චිත ස්ථානයක් නොමැත. පොදු ජනතාවට වඩාත් සමීප වීම සඳහා විවිධ ස්ථාන මේ සඳහා තෝරා ගැනීමට සිදු වේ. ඉහත දැක්වෙන ආකාරයට විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ පළමුවන වීදි නාට්‍ය ඉදිරිපත් කර ඇත්තේ, ක‍්‍රීඩාංගණයකයි. ඊට අමතරව පදික වේදිකාවල, විහාරස්ථානවල, වතුකරයේ, දේවාලවල වීදි නාට්‍ය ප‍්‍රදර්ශනය කර තිබේ. තවද වීදි නාට්‍ය නැරඹීමට පැමිණෙන පේ‍්‍රක්ෂකයා පිළිබඳව ද සංවේදී වීම වැදගත්ය. සාමාන්‍යයෙන් වීදි නාට්‍යක් නැරඹීමට පැමිණෙන පේ‍්‍රක්ෂකයා භින්න රුචික එනම් විවිධ අපේක්ෂා, අරමුණු සහිත පිරිසකි. මන්ද ඔවුන් වීදි නාට්‍ය නැරඹීමට අපේක්ෂාවෙන් පැමිණෙන පිරිසක් නොවන අතර අහම්බෙන් වීදියේ දී නාට්‍ය නැරඹීට පෙලඹෙන පිරිසක් බැවිනි. මේ නිසා වීදි නාට්‍යක් පේ‍්‍රක්ෂකයා වෙත ගෙන යෑම සංකීර්ණ කාර්යයකි. එබැවින් වීදි නාට්‍යකින් ඉදිරිපත් කරන පණිවුඩය හැකි තරම් සරල ව පේ‍්‍රක්ෂකයා වෙත ගෙන යෑම නාට්‍යකරුවාගේ කාර්යභාරයකි. ඒ සඳහා නාට්‍යකරුවෝ විවිධ උපක‍්‍රම භාවිත කරති. විශේෂයෙන් භාෂාව සහ සංකේත භාවිතය මෙහිදී විශේෂ වේ.
මෙම සුවිශේෂී නාට්‍ය සම්ප‍්‍රදාය නිර්මාණකරණයට ගෙන ආ ගාමිණී හත්තොටුවේගම ප‍්‍රමුඛ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම වීදි නාට්‍ය 50කට වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කළහ. පොදු ජනතාවගේ ගැටලූ පාදක කරගෙන මෙම වීදි නාට්‍ය නිර්මාණය වීම සුවිශේෂී වේ. ලෝක ආහාර සම්මේලනය, විවෘත වෙළඳපොළ, වෙසක් දැක්ම, උතුමාණෝ නැවත පැමිණේ, නීතියේ කන්‍යාව, මැද පෙරදිග යන්නෝ ආදී පුළුල් පරාසයක විහිද යන වීදි නාට්‍ය මේ අතර පවතී. පොදු ජනතාවට, මහා සමාජයට ප‍්‍රකාශ කර ගත නොහැකි ගැටලූ වෙනුවෙන් පෙනී සිටීම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමෙන් සිදු විය. සැබැවින් ම කලාවෙන් ඉටු විය යුතු කරුණ ඉන් ඉටු වී ඇත.
විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ වීමෙන් පසුව තවත් වීදි නාට්‍ය කණ්ඩායම් කිහිපයක් බිහි වූහ. මේ අතර ජනතා වේදිකාව නම් වීදි නාට්‍ය කණ්ඩායම පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලූ පොදු සමාජය වෙත ගෙන ගියහ. ඊට අමතරව ධාරණ, ජපුර, ගාලූ නඬේ, බිඟුසර, කැලණි ඇත්තෝ ආදී වීදි නාට්‍ය කණ්ඩායම්, වීදි නාට්‍ය කලාව ශ‍්‍රී ලංකාවේ මතු නොව ලෝකයට ගෙන ගියහ.
මෙරට වීදි නාට්‍ය සම්ප‍්‍රදායට මෑත කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලැබුණු දායකත්වය පිළිබඳව ද සාකච්ඡා කිරීම වැදගත් වේ. මෙහිදී 2015 වසරේ දී ගොඩනැ`ගු ර්‍ණඡුැර් ඔයැ්එරු” නම් නාට්‍ය සමූහයට සුවිශේෂී තැනක් හිමි වේ. මේ වටිනා නාට්‍ය සමූහය ගොඩනැඟීමේ දී පුරෝගාමී ව කටයුතු කළ නාට්‍ය ශිල්පීන් පිළිබඳ සඳහන් කිරීම වැදගත් ය. ලසන්ත කුමාර (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨය), රොෂාන් බුද්ධික (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨය), අනුරුද්ධ හීනටිගල (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය), ඉෂාන් ජයසූරිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය), මධුරංග වීරසිංහ (සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) යන නාට්‍ය ශිල්පීහු මෙහිලා පුරෝගාමී ව කටයුතු කළහ.
2015 සිටිඡුැර් ඔයැ්එරු’ නාට්‍ය කණ්ඩායම විසින් වීදි නාට්‍ය විශාල ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන ලදී. ඉන්ිඡුැර් ඔයැ්එරු’ නාට්‍ය කණ්ඩායම මෙරට වීදි නාට්‍ය කලාවට සිදු කළ මෙහෙය පැහැදිලි වේ. උක්ත නාට්‍ය අතරින් වීදි නාට්‍ය දෙකක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. ශ‍්‍රී ලංකාවේ එදා මෙදා තුර කාලයේ නිතර දැකිය හැකි ගැටලූවක් වූ ජාතිවාදය වස්තු විෂය කරගනිමින් නිර්මාණය වූ ”කොඩි ගස” නම් වීදි නාට්‍යය මේ අතර ප‍්‍රමුඛ වීදි නාට්‍යයකි. මෙම නාට්‍ය භද ඍ්ජසිප යන තේමාව පාදක කරගෙන නිර්මාණය වූවකි. නාට්‍ය කණ්ඩායම අපේක්ෂා කළ පණිවුඩය සාර්ථක ව පොදු ජන සංස්කෘතියට ගෙන යෑම සඳහා සිංහල සහ දෙමළ යන භාෂා දෙකම නාට්‍ය නිර්මාණය සඳහා යොදා ගන්නා ලදී. තවද ඉහත සඳහන් කළ ආකාරයට වීදි නාට්‍යක් ඉදිරිපත් කරන ස්ථානය මෙම නාට්‍ය නිර්මාණයේ දී ද වැදගත් විය. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරය ඉදිරිපිට, ශාස්ත‍්‍ර පීඨයේ ”වූස් වල” ආශ‍්‍රිත ව මෙම නාට්‍ය ඉදිරිපත් කෙරිණි. ඊට අමතරව ”කොඩි ගස” වීදි නාට්‍යය 2017 දී මහනුවර සිට පොල්ගහවෙල දක්වා වූ දුම්රිය ස්ථානවල ප‍්‍රදර්ශනය කරන ලදී. රට අභ්‍යන්තරයේ ඇති වන ජනපීඩක ගැටලූවල දී පොදු ජනතාව වෙනුවෙන් වීදි නාට්‍ය කලාව යොදා ගැනීම මෙහිදී සිදු වී තිබේ. ඊට අමතරව 2018 අගෝස්තු මස 21වන දින ”විට යකා” නම් වීදි නාට්‍යය ප‍්‍රදර්ශනය කෙරිණි. මෙහි විශේෂත්වය වන්නේ අගෝස්තු 21වන දා පැවති මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර කේන්ද්‍ර කරගනිමින් නාට්‍යය ප‍්‍රදර්ශනය කිරීමයි. බුලත් විට කෑමෙන් සිදු වන මුඛ රෝග පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම මෙම නාට්‍යයේ අරමුණ විය. මේ අනුව වීදි නාට්‍යකින් ඉටුවන සමාජ මෙහෙවරිඡුැර් ඔයැ්එරු’ නාට්‍ය කණ්ඩායමෙන් ඉටු වී ඇති බව පෙනී යයි.
මේ ආකාරයට ගාමිණී හත්තොටුවේගම ආරම්භ කළ වීදි නාට්‍ය කලාව රට පුරා ම ව්‍යාප්ත වූ බව පෙනී යයි. ඒ අනුව පොදු සමාජයේ සහ විශ්වවිද්‍යාල පද්ධතියේ මෙම නාට්‍ය කලාව අභිවර්ධනය වී ඇති බව පැහැදිලි වේ. එම අභිවර්ධනයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සුවිශේෂී දායකත්වයක් ලැබී ඇති බව ද මෙහිලා සඳහන් කළ යුතුය. විශේෂයෙන් පොදු ජනතාවගේ ආත්මීය ප‍්‍රකාශනයක් ලෙස වීදි නාට්‍ය කලාව අර්ථකථනය කළ හැකිය. එහිදී හඬක් නඟන්නට ශක්තියක් නොමැති පොදු ජනතාව වෙනුවෙන් හඬ අවදි කිරීම වීදි නාට්‍යවලින් සිදු විය. එබැවින් සත්‍ය වශයෙන් ම වීදි නාට්‍ය තුළ මුසු වී ඇත්තේ, පොදු ජන සුවඳයි.
ධනුෂ්ක පුෂ්ප කුමාර
ශාස්ත‍්‍ර පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.