මේ වීරයාගේ සදාතනික ඉරණමද ?

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත‍්‍රී භූමිකාව -112 ලිපිය
අගෝස්තු 4, 2022


 
 ප‍්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායකගේ නාට්‍ය කණ්ඩායම සමඟ නදීශානි පේළිආරච්චිගේ සුසංයෝගය ඇය ලැබූ මහත් භාග්‍යයකි. රාජිතගේ නාට්‍ය නිර්මාණ 7 ක ඇය විවිධ භූමිකා 8 ක් නිරූපණය කළාය. නාට්‍යවේදියකු ලෙස රාජිත සතු සුවිශේෂතා අරභයා වරක් ඇය මට මෙසේ පැවසුවාය.
 
 ”‍රාජිත අයියා කියන්නේ අද අපට සිටින ප‍්‍රධාන පෙළේ වෘත්තීමය නාට්‍යවේදියෙක්. ඔහුගේ විනය, නාට්‍යයේ සමස්තයට කැපවීම හා නාට්‍ය පවත්වාගෙන යන විදිහ ඉතා ඉහළ වෘත්තීය මට්ටමකින් තිබෙනවා. සමහර නාට්‍යවල අපි රඟපාන්න ගියාම මාස 5, 6 ක් ඉතා වෙහෙස මහන්සියෙන් පුහුණු වෙලා, අවසානයේ දර්ශන වාර 3, 4 ක් පමණයි පෙන්වන්න සිදු වෙන්නේ. එවිට අපගේ මහන්සිය අපතේ යනවා. රාජිත අයියා තමන්ගේ නිර්මාණ එසේ නොවන්නට වග බලා ගන්නවා. නාට්‍යය මැනවින් පවත්වාගෙන යනවා. නාට්‍යය පුහුණු වන මාස ගණන පුරා මීට දායක වන ශිල්පීන්ගේ විනය ඉහළින්ම පවත්වාගෙන යන්නට ඔහු උත්සාහ දරනවා. ඒ කාලේ කිසිම දේකට ඔහුගෙන් සමාවක් ලැබෙන්නේ නෑ. ඉතින් අපිත් ඒ විනයට ගරුකරමින් ඇප කැප වෙනවා. නාට්‍යය ආරම්භයේ සිට අවසානය දක්වාම මේ තත්ත්වය ඔහු පවත්වාගෙන යනවා.අනෙක් අතට නාට්‍යය පෙන්වන අවස්ථාවේදී විවිධ ප‍්‍රදේශවල එක් එක් ශාලාවල ගුණාත්මක බව සොයා බැලීමටද ඔහු අමතක කරන්නේ නෑ. ඒ ස්ථානවලට යෑමට පෙරත් ගියාට පසුවත් රාජිත අයියා ඒවාහි ගුණාත්මක බව සොයනවා. ශාලාවල තත්ත්වය, පේ‍්‍රක්ෂකාගාරය, නේපත්‍යාගාරය, කෑම, බීම, වැසිකිළි පහසුකම් ආදී ශිල්පීන්ගේ අවශ්‍යතා පිළිබඳ ඔහු දැඩි ලෙස අවධානය යොමු කරනවා. නාට්‍යය කෙබඳු ශාලාවක පෙන්වූවත් ගුණාත්මක බව ඉහළින් තබා ගෙන එය වේදිකාගත කරන්න ඔහු උත්සාහ කරනවා. රාජිත අයියාගේ නාට්‍ය නිර්මාණ මගේ රංගන ජීවිතයේ සුවිශේෂ පරිච්ෙඡ්දයක්.”‍
 
 රාජිතගේ නිර්මාණවලින් ඇය මුල්වරට රංගනයෙන් දායක වූයේ ”‍වීරයා මැරිලා”‍ (2012* නාට්‍යය උදෙසාය. එහි නදීශානි රඟපෑවේ සුළු වේලාවකදී විශාල දෙයක් කොට සමස්ත නාට්‍යය පුරාවට බලපාන භූමිකාවකි. හෘද සාක්ෂියට එකඟව, අවංකව තම වෘත්තියෙහි නියැළෙන මාධ්‍යවේදියකුගේ ජීවිතය සමාජ, ආර්ථික දේශපාලනික බලපෑම්වලින් වෙනස් වන ආකාරයත් අවසානයේ ඔහුට අත් වන ඛේදජනක ඉරණම පිළිබඳවත් මේ නාට්‍යයෙන් විවරණය කෙරේ. ශ්‍යාම් ප‍්‍රනාන්දු, ධර්මප‍්‍රිය ඩයස්, ගිහාන් ප‍්‍රනාන්දු, ගිහාන් ද චිකේරා, ප‍්‍රසාද් සූරියආරච්චි, ප‍්‍රියංකර රත්නායක, දයාදේව එදිරිසිංහ, සම්පත් ජයවීර, නලින් ලූ‍සේනා ඇතුළු රාශියක් මෙහි රංගනයෙන් දායක වූහ.
 
 බසයක බෝම්බයක් පිපිරීමෙන් පසුව එතැන වැටී තිබුණු හැඳුනුම්පතක් අහුලා ගන්නා පොලීසිය ඒ හැඳුනුම්පතෙහි සිටින තැනැත්තා (ප‍්‍රියංකර රත්නායක රඟපෑ* මරාගෙන මැරුණු බෝම්බකරු යැයි විශ්වාස කරන අයුරු පෙනේ. එහි සඳහන් ලිපිනය අනුව නිවස සොයා යන ඔවුහු මියගිය තැනැත්තාගේ බිරිඳ පොලීසියට කැඳවති. නදීශානි පේළිආරච්චි මෙහි ආරම්භක ජවනිකාවේදී රඟනුයේ පොලීසියට කැඳවනු ලබන, බෝම්බ පිපිරීමකට චෝදනා ලැබූ එකී මියගිය තැනැත්තාගේ (ප‍්‍රියංකර රත්නායක රඟපෑ* බිරිඳ ලෙසිනි. සැබැවින්ම ඔහු බෝම්බකරු නොව බස් රථයේ ගමන් කළ මගියෙක් පමණි.මේ බෝම්බ පිපිරීමට කිසිදු සබඳතාවක් නොමැති මිනිසකු පසුපස ගමන් කළ පොලීසිය ඔහුගේ බිරිඳ ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරනු දක්නට ලැබේ. සමාජ යථාර්ථය හෙළිදරව් කිරීමේදී ජනමාධ්‍යයේ වගකීම අරභයා සමස්ත නාට්‍යයෙන් විවරණය කෙරේ. මේ අසත්‍ය සිදුවීමට ප‍්‍රචාරයක් ලබා දෙන මාධ්‍ය, පොලිසිය ප‍්‍රශ්න කරන තැනැත්තා බෝම්බකරු නොව සාමාන්‍ය මිනිසකුය යන සත්‍යය හෙළිදරව් කොට නිවැරැදි නොකරයි. සමාජ යථාර්ථය විග‍්‍රහයේදී ජන මාධ්‍යයෙහි, මාධ්‍යවේදීන්ගේ වගකීම, හැසිරීම් රටාව මතු නොව වගකිවයුත්තන්, උගතුන් ලෙස සමාජයේ සම්මත මිනිසුන් හා කලකරුවන්ගේ සැබෑ ස්වරූපය, චර්යාවන්ද නාට්‍යවේදියා ගැඹුරෙන් විමසනු මෙහි දක්නා ලැබේ.
 
 ”‍වීරයා මැරිලා”‍ වූ කලී අවන්හලක සාදයක ජවනිකා රාශියකින් සමන්විත නාට්‍යයකි. නදීශානි ඉන්පසුව දක්නට ලැබෙනුයේ එකී අවන්හලේ වයලින් වාදනය කරන්නියක ලෙස හා සේවිකාවක විලසිනි. මේ නාට්‍යයේ ඇය එකිනෙකට වෙනස් භූමිකා ත‍්‍රිත්වයක් රඟන්නීය. මේ අවන්හලට රැස්වෙන වගකිවයුත්තන්, උගතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් යථෝක්ත බෝම්බ පිපිරීමේ සිද්ධිය විග‍්‍රහ කරන ආකාරයෙන් දේශපාලනයේ අතකොලූ‍ බවට පත්වූ ඇතැමුන්ගේ අවස්ථාවාදී, ආත්මාර්ථකාමී චේෂ්ටාවන් ඉසියුම් ලෙස විවරණය වේ. විවිධ ලාභ ප‍්‍රයෝජන, වාසි ලබා ගැනීම උදෙසා ඔවුහු සැබෑව යටපත් කරති. ඇතැම්හු මුදලට පක්ෂග‍්‍රාහී වෙති; විකිණෙති. ඇතැම් මාධ්‍යවේදීහු ආත්ම ලාභය උදෙසා තමන්ගේ මතවාද වෙනස් කොට ගනිති. යහපත් ලෝකයක් ගොඩනැංවීමට අවැසි සාමූහික වගකීම අරභයා ඔවුන්ට අවබෝධයක් නොමැත. ඔවුහු සියල්ලෝම පරිභෝජනවාදී සමාජ ක‍්‍රමයට ගොදුරු වෙත්. නාට්‍යවේදියා මෙහිදී සංකේතානුරූපීව ඉස්මතු කරන ”‍වීරයා”‍ ලෙස සැලකිය හැකි එක් පුද්ගලයෙක් (ගිහාන් ද චිකේරා රඟපෑ* උඩු ගං බලා පිහිනමින් ඊට එරෙහිව නැඟී සිටීමට, යථාර්ථය පෙන්වාදීමට උත්සාහ කළද ඔහුද අවසානයේ මඩ ගොහොරු සමාජයේ ගොදුරක් බවට පත් වේ. නාට්‍යයෙහි දක්නා ලැබෙන කිසිදු උගතකුගේ, කලාකරුවකුගේ හෝ මාධ්‍යවේදියකුගේ සාමුහික සහායක් ඔහුගේ නැඟී සිටීමට නොලැබේ. ඔහු ජීවත් වන සමයේද අධ්‍යාත්මයෙන් මියගිය වීරයකු වනුයේ එහෙයිනි. තම ප‍්‍රතිපත්තිවලට, හෘද සාක්ෂියට එකඟව ඔහු සේවය කළ මාධ්‍ය ආයතනයෙන් වරෙක ඉවත් වේ. ඉන්පසුව ජනතා විශ්වාසය පලූ‍දු කිරීමේ විවේචන ලැබ ඔහුට තවත් ආයතනයක ගොදුරක් බවට පත් වීමට සිදු වේ. අවසන මේ වීරයා කයෙන්ද මරණයට පත් වන්නේ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වීමෙනි. සමාජ ක‍්‍රමය විසින් පෙර ආධ්‍යාත්මයෙන් ඝාතනයට ලක්කරන ලද වීරයා අවසානයේ කායිකවද මරණයට පත්වේ.
 
 ”‍වීරයා මැරිලා”‍ නාට්‍යයෙහි එන බෝම්බ පිපිරීම, හැඳුනුම්පත හමු වීම හේතුවෙන් පොලීසිය ඊට කිසිසේත් සම්බන්ධ නොමැති පුද්ගලයකු හට චෝදනා කිරීම, ජනමාධ්‍ය මේ සත්‍ය සිදුවීම යටපත් කිරීම, අවසන කථකයා ඝාතනයට ලක්වීම යන සංසිද්ධි මා හට සිහිපත් කළේ මෑත භාගයේ තිරගත වූ , සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ The News paper”‍ (2020) චිත‍්‍රපටයයි. මේ ප‍්‍රශස්ත නිර්මාණ ද්වයෙහිම කතා වස්තුවෙහි (Plot) සාම්‍යයක් දක්නා ලැබේ. “The News paper” (2020) චිත‍්‍රපටය කිසිසේත්ම ”වීරයා මැරිලා”‍ (2012) නාට්‍යයෙහි අනුකරණයක් නොවේ. එහෙත් කතා වස්තුව සඳහා ”‍වීරයා මැරිලා”‍ නාට්‍යයෙන් යම් ආභාසයක් සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර ලැබුවාදැයි යන පැනය මේ නිර්මාණ ද්වයම තුලනාත්මක දෘෂ්ටියෙන් විමසන විචාරකයකු තුළ පහළ වීම අරුමයක් නොවේ. “The News paper”‍ චිත‍්‍රපටයෙහිද බෝම්බකරු ලෙස පොලීසිය සැක කරනුයේ නිර්දෝෂී මිනිසෙකි. තම සොහොයුරාට සාධාරණය ඉටු කිරීමට ගුණා (සරත් කොතලාවල) ස්වකීය මිතුරා ලූ‍වී (කුමාර තිරිමාදුර) සමඟ කොළඹට පැමිණ අප‍්‍රමාණ වෙහෙසක් දරයි. ජන මාධ්‍ය මඟින් ඔවුන්ට සාධාරණය ඉටුකොට ගැනීමට අවසානයේ ගුණාට තම ජීවිතය පවා පරිත්‍යාග කිරීමට සිදුවේ. ”වීරයා මැරිලා”‍ නාට්‍යයෙහි වීරයා මෙන්ම “The News paper”‍ හී ගුණා නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වේ. මේ ප‍්‍රශස්ත නිර්මාණකරුවන් යථෝ්ක්ත කලා නිර්මාණ ද්වය ඔස්සේ ඉස්මතු කරනුයේ මඩ ගොහොරු සමාජයක උඩුගං බලා පීනමින්, සමාජ සාධාරණත්වය පතා නැඟී සිටින වීරයන්ට අත් වන සදාතනික, ඛේදජනක ඉරණමක් පිළිබඳවද ? ශ්‍රේෂ්ඨ නෝවීජියානු නාට්‍යවේදී හෙන්රික් ඉබ්සන්ගේ “An Enemy Of The People” (‍1882)නාට්‍යයෙහි පානීය ජලයට වස විස මිශ‍්‍ර වීමට එරෙහිව සටන් වදින වෛද්‍ය තෝමස් ස්ටොක්මාන් නමැති ජන මිතුරා අවසන ජන හතුරකු ලෙස හංවඩු ගැසෙනුයේ මෙලෙසින්ම නොවේද ? ඇතැම්විට රාජිත දිසානායකගේ ”වීරයා මැරිලා”‍ නාට්‍යය සඳහාත් සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරගේ “The News paper”‍  චිත‍්‍රපටය සඳහාත් ආභාසය වන්නට ඇත්තේ හෙන්රික් “An Enemy Of The People” නාට්‍යය විය හැකි යැයි මට සිතේ.

 
 මතු සම්බන්ධයි